පිටු

Tuesday, December 22, 2015

පියන්කාර සොයුරාගේ පුතා වෙනුවෙන්


අනුවේදනීය කතාවක් අසන්නට ලැබුණා. ඒ අපේ කවිකාර පියන්කාර සොයුරාගේ පුතා අසනීපයෙන් බව. ඉතින් මේ අපි සියල්ලන් මනුෂ්‍යත්වයේ නාමයෙන් එක් විය යුතු මොහොතක්. කවි ලියන, පොත් ලියන අපි කවුරුවත් මහා පොහොසතුන් නොවන බව ඇත්තක්. නමුත් අපි සැවොම එක් වූ තැන මහා පොහොසත්කමක් නිතැතින්ම උපදිනු ඇති.

මගේ කවි පොත ගමට ගෙන යාම වෙනුවෙන් සකස් කළ වැඩපිලිවෙලේ එක් අංගයක් වූ ළමා පොත් එකතුවට මුදලින් පවා උදව් කරන්නට බොහෝ දෙනෙකු ඉදිරිපත් වුණා. මා බලාපොරොත්තු වන්නේ ළමා පොත් ටිකක් එකතු කර ගැනීම පමණයි, ආරම්භක පියවරක් විදියට. මුදලින් උදව් කරන්නට සූදානම් වූ සැමගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ සියලු මුදල් පියන්කාර සොයුරාගේ පුතා වෙනුවෙන් ලබා දෙන ලෙසයි. මේ පණිවිඩය තවත් අය වෙත ගෙන යන්න.

අස්ථි රෝගයක් නිසා කල් නොයවා මෙම සැත්කම කිරීම වැදගත් බව වෛද්‍යවරුන් විසින් පවසා තිබෙනවා. ජනාධිපති අරමුදලින් ලක්ෂ පහක් ලැබෙන බවත් තවත් ලක්ෂ විස්සක මුදලක් එකතු කරගත යුතු බවත් පියන්කාර වෙතින් අප කළ විමසීමේ දී දැනගන්නට ලැබුණා. නව යොවුන් තරුණ දරුවෙකුගේ ජීවිතය සහ අනාගතය වෙනුවෙන් අපට හැකි උපරිම සහයෝගය ලබා දෙන්නට කටයුතු කරමු.

ඒ සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ වූ සටහන සහ විස්තරය සහිත ඡායාරූපය...

‘‘කවියෙකුට සවියක් වෙන්න
එන්න ඔබ මෙහි එන්න
ඔබට හැකි පමණකින්
කවි ලියන පියෙකුගේ
ආදරණීය පුතෙකුට
පිළිසරණක් වෙන්න...

උඩගෙදර යට කඩේ නමැති කාව්‍ය සංග්‍රහයෙන් ඔබ හමුවට පැමිණි පියන්කාරගේ බන්දුල සොයුරාගේ පුතණුවන් රෝගාතුර වී ඇති අතර ඔහු scoliosis නමැති රෝගයෙන් පෙළේ . එය සුවපත් කරගැනීම සඳහා රු. 2500000( ලක්ෂ 25ක ) පමණ මුදලක් වැය වන අතර මේ අවස්ථාවේදී ඔහුට අත් වැලක් වෙමු. ස්තූතියි.‘‘



Saturday, December 19, 2015

තවත් තරු ඇස් රහසක්....


මම උපන්නෙ, හැදුණෙ වැඩුණෙ, ජීවත්වුණේ ආදරය දෝතින්ම දරාගෙන. ඒ වෙනුවෙන් මම මගේ පවුලටත්, නෑ හිතවතුන්ටත්, ගම් පියසටත්, සිප්සතර හැදෑරූ ගුරු දෙගුරුන්ටත්, සෙනෙහස පෑ හිතමිතුරු සැමටත් ණයගැතියි ඇත්තෙන්ම. ජීවිතය මේ තරම් සරල, සැහැල්ලු, සුන්දර අත්දැකීමක් වුණේ ඒ බැඳීම් එක්ක.

ඉගෙනීම් කටයුතු සහ රස්සාව එක්ක අගනුවරට ඇවිත් වසර 15 ක් ගත වුණත් මම තාමත් ගමට ආදරෙයි. මම තාමත් ගමේ ලොකු දුව, ලොකු අක්කාම තමයි. ඒ ආදරය වෙනස් වෙලා නෑ.  



ඉතින්, මගේ කුළුඳුල් කෘතිය ‘‘තරු ඇස් රහස්“ කාව්‍ය සංග්‍රහය ගමට ගෙන යාමේ සතුට නිමිති කරගෙන උත්සවයක්  සහ වැඩසටහන් මාලාවක් ගමේ දි පවත්වන්නට කටයුතු සූදානම් වෙනවා. ඒ පුංචි ගම්මානෙන් මුල්ම වතාවට විශ්ව විද්‍යාලයට ආව වගේම, මුල්ම වතාවට පොතක් එළිදැක්වුවා වගේම ගමේ සෙසු දූ දරුවන්ටත් එයින් යම් පන්නරයක් ලබා දිය හැකි නම් එයයි මගේ සතුට. ඒ වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීම මගේ අරමුණ.

2016 නව වසරේ දුරුතු මහේ 16 වෙනි සෙනසුරාදා. කුලියාපිටිය, කබලෑදෙවිගම මගේ ගමේ දී ඒ උත්සවය පැවැත්වෙනවා.

එදින උදේ වරුව දරුවන් සඳහා ළමා වැඩසටහනකුත්, සවස කවි පොත එළිදැක්වීමේ උත්සවයත්, රාත්‍රියේ ගීත රස වින්දන වැඩසටහනක් සහ සිනමා දැක්මක් වැඩසටහන් පෙළගැස්මට ඇතුළත්.

ගමේ දරුවන් වෙනුවෙන් ළමා පොත් එකතුවක් ආරම්භ කරන්නටත් බලාපොරොත්තු වෙනවා. දැනට මා ළඟ තියෙන පොත් එකතුවෙන් එය අරඹන්නට හැකියි.

මට ඔයාලගෙනුත් උදව්වක් ඕන. ගමේ දූ දරුවන් වෙනුවෙන් ආරම්භ කරන මේ පුංචි පුස්තකාලයට හැකි නම් පොතකින් දායක වෙන්න. ළමා පොත්, පාසල් විෂයන්වලට අදාළ පොත්, යොවුන් සාහිත්‍ය කෘති විශේෂයි.

නවකතා, කෙටිකතා, කවි පොත් වුණත් වටිනවා. නමුත් බහුතර වැඩිහිටියන් කියවීමේ සංස්කෘතියට හුරු නැහැ. ජීවන අරගලයත් එක්ක කියවීමට වෙලාවක් හොයාගැනීම අපහසු වීමත්, කියවීමේ වටිනාකම ගැන අදහසක් නැති වීමත් එයට බලපානවා. අපේ ගමේ කියවීමේ සහ රස විඳීමේ සංස්කෘතිය දියුණුකරන්නට මේ දවස යම් අත්වැලක් සපයාවි කියල මම විශ්වාස කරනවා.

උදව්වෙන්නට කැමති අයට මරදාන පාතිමා දෙව් මැදුරු භූමියේ ළ.ක්‍රි.වී. කාර්යාලට හෝ සමාජ සාමයික කේන්ද්‍රයට පොත් භාර දිය හැකියි.

වැඩිදුර විස්තර ඉදිරියෙදි....( tharurasi@gmail.com )










Friday, December 11, 2015

වෙල්ලස්සේ සැරිසරන පේ‍්‍රමයේ ආත්මය...


ගෙන යා හැකි ඔබට මා
නිසල සිරුර
පෙර දවස මවිසින්
පිළිකෙව් කර අතැර ආ
එනුවරට..
හිස් දෙපතුළින් පිටුපා ඇවිද ආ
ඒ කටුක මඟ දිග ම
මල් පාවඩ අතුරමින්
මා නමින්...

නමුදු මා ආත්මය මෙහි ය...

වෙල්ලස්සේ හේන්, කෙත්වතු
පිස හමා එන
කටුක දාඩිය පුසුඹ සිඹිමින්
පැලක ඇවිළෙන සුදහ ගින්දර
සුසුම් උණුහුම ළයෙහි රඳමින්
සැරිසරන්නෙය  මා ආත්මය
මේ බිමෙහි ම............

රුදුරු අතෙකින් මිදුණු උණ්ඩය
දැදුරු කළ විට ඉහ මොළ
මහත් අදරින් වැළඳ ගත්තෙමි
මේ කඳුළු බිම.....
හරිත පැහැසර දිවිය තෙදබල
නොමසුරුව පැහැදූ
දිළිඳු දෑසක නැඟෙන කඳුළක
සිහිල සිත රැන්දූ.....

අවසන් නිමේෂයෙ
දෑතින්  එසැවුණු
මිදි යුෂ කුසලාන
පිරුණි රුහිරෙන්ම..
සමවනු කෙලෙස ඒ ලෙය
හෙරොද් වධකාගාරයෙහි
කපාල දුර්ගයෙහි
කල්වාරි කඳු මුදුනෙහි
ගලා ගිය ලේ කඳට.......

සසලවා ළය
පේ‍්‍රමයේ මඟ
කියා දුන් ඒ
රුහිරු ගඟුලට.......

‘‘ෆාද මැරුණෙ අපි වෙනුවෙන්. සභාවත් නෑදෑයොත් එකතු වෙලා ෆාදගෙ මලකඳ කොළඹට අරන් ගියා. ඒත් ෆාදගෙ හොඳම හරිය මෙහෙ. ඇස් දෙකයි, මොළෙයි, ලේ ටිකයි... ඒවා තැන්පත් කළේ මේ බිමේ. මේ පොළවෙන් උපදින අල කොල ගෙඩි කාලා හැදෙන අපේ ළමයි ෆාද පැතූ සාධාරණ ලෝකය ගොඩ නගාවි...“

- බුත්තල ගැමියෙක්

වෙල්ලස්සේ දුප්පත් ජනතාව වෙනුවෙන් පරිසරය වෙනුවෙන් විප්ලවීය සේවයක් ඉටු කළ ගරු මයිකල් රුද්‍රිගු නි.ම.නි. පියතුමා 1987 නොවැම්බර් 10 වන දා බුත්තල අලූකලවිට දී දිව්‍ය පූජාව පවත්වමින් සිටින අතරතුර නාඳුනන තුවක්කු කරුවකුගේ වෙඩි පහරකින් මරණයට පත් විය.

‘‘තරු ඇස් රහස්‘‘ 48 -49 පිටු

විමුක්ති දේව ධර්මය හදාරමින් සිටියදී ‘‘කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවූවෝ‘‘ තේමාව ඇසුරේ මයිකල් රුදිගු පියතුමාගේ ජීවන දර්ශනය සහ ජීවිතාදර්ශය පන්ති කාමරයෙන් මිදි හද ගැඹර කලත්තන විට දී මාතින් ලියැවුණු කවියකි මුලින්ම සටහන් වනුයේ.




2004 - 2010 කාලය තුළ බුත්තල කතරගම පාරේ 12 කණුව අසල ‘‘සුබසෙත්ගෙදර‘‘ මට මගේ ම ගෙදර තරමට හුරු වී තිබිණි. ළ.ක්‍රි.වී. කටයුතු වෙනුවෙන් අපි වසරකට තුන්වතාවක් බොහෝ විට බුත්තල ගියෙමු. වසර මුල අනුශාසක පුහුණුව, වසර මැද ළමා වැඩමුළුව, වසර අවසන ප්‍රාදේශීය සමුළුව වශයෙන් ඒ ආ ගිය ගමන් ගැන හදවතෙහි සොඳුරු මතක සැමරුම් රැසක් ශේෂ ව පවතී.

මයිකල් රුද්‍රිගු පියතුමා නාඳුනන තුවක්කරුවකු අතින් ඝාතනය වුණේ සුබසෙත්ගෙදර පුංචි මැටි පැලක ය. අද එය ම සිමෙන්තියෙන් තනා උළු තැබූ කුඩා නිවසකි. නමුත් තුවක්කු කට කුරුමානම් ඇල්ලු කවුළුව එය ම ය. ඒ පුංචි කුටිය තවමත් ඒ මතක සටහන් රන්දාගෙන නිසොල්මන්ව හිඳි.

බුත්තල සහ අලුකලවිට ගම්මානයේ අප සමඟ කටයුතු කළ තරුණ තරුණියන් කිහිපදෙනෙකුගේම පියවරුන් නොවුණි. 88-89 භීෂණ සමයේ ඒ පියවරුන්ගේ ජීවිත උදුරාගෙන තිබූ හෙයිනි. නිවස ඉදිරිපිටම තම පියාට භුමිතෙල් වත් කර පැදුරු වලින් වසා ගිනි තබන අයුරු දුටු දියණියක්ද විය. ඒ අවට බොහෝ පවුල්වල පියවරුන් ඒ අන්ධකාර සමය විසින් බිලිගෙන තිබුණි. එවන් අවිචාර සමයක ය මයිකල් පියතුමා ද මරු කටට බිලි වූයේ...


මේ මතකය අලුත් වූයේ අතුල විතානගේ විසින් ලියා තිබූ පහළ ඌවේ ප්‍රාණ පරිත්‍යාගය - මයිකල් රුද්‍රිගු පියනම පිළිබඳ මතකය  යන ලිපිය ඇස ගැටීමෙනි. 

මයිකල් පියතුමාගේ ජීවිතය ගැන මේ වන විට පළ වී ඇති එකම කෘතිය ඉන්දු පෙරේරා විසින් ලියන ලද ‘‘පන්සලේ බණ කියූ කතෝලික පියතුමා‘‘ කෘතිය බව ද සඳහන් කර තබනු රිසියෙමි.