ගෙන යා හැකි ඔබට මා
නිසල සිරුර
පෙර දවස මවිසින්
පිළිකෙව් කර අතැර ආ
එනුවරට..
හිස් දෙපතුළින් පිටුපා ඇවිද ආ
ඒ කටුක මඟ දිග ම
මල් පාවඩ අතුරමින්
මා නමින්...
නමුදු මා ආත්මය මෙහි ය...
වෙල්ලස්සේ හේන්, කෙත්වතු
පිස හමා එන
කටුක දාඩිය පුසුඹ සිඹිමින්
පැලක ඇවිළෙන සුදහ ගින්දර
සුසුම් උණුහුම ළයෙහි රඳමින්
සැරිසරන්නෙය මා ආත්මය
මේ බිමෙහි ම............
රුදුරු අතෙකින් මිදුණු උණ්ඩය
දැදුරු කළ විට ඉහ මොළ
මහත් අදරින් වැළඳ ගත්තෙමි
මේ කඳුළු බිම.....
හරිත පැහැසර දිවිය තෙදබල
නොමසුරුව පැහැදූ
දිළිඳු දෑසක නැඟෙන කඳුළක
සිහිල සිත රැන්දූ.....
අවසන් නිමේෂයෙ
ම’දෑතින්
එසැවුණු
මිදි යුෂ කුසලාන
පිරුණි රුහිරෙන්ම..
සමවනු කෙලෙස ඒ ලෙය
හෙරොද් වධකාගාරයෙහි
කපාල දුර්ගයෙහි
කල්වාරි කඳු මුදුනෙහි
ගලා ගිය ලේ කඳට.......
සසලවා ළය
පේ‍්‍රමයේ මඟ
කියා දුන් ඒ
රුහිරු ගඟුලට.......
‘‘ෆාද මැරුණෙ අපි වෙනුවෙන්. සභාවත් නෑදෑයොත් එකතු
වෙලා ෆාදගෙ මලකඳ කොළඹට අරන් ගියා. ඒත් ෆාදගෙ හොඳම හරිය මෙහෙ. ඇස් දෙකයි, මොළෙයි, ලේ ටිකයි... ඒවා
තැන්පත් කළේ මේ බිමේ. මේ පොළවෙන් උපදින අල කොල ගෙඩි කාලා හැදෙන අපේ ළමයි ෆාද පැතූ
සාධාරණ ලෝකය ගොඩ නගාවි...“
- බුත්තල ගැමියෙක්
වෙල්ලස්සේ දුප්පත් ජනතාව වෙනුවෙන් පරිසරය වෙනුවෙන්
විප්ලවීය සේවයක් ඉටු කළ ගරු මයිකල් රුද්‍රිගු නි.ම.නි. පියතුමා 1987 නොවැම්බර් 10 වන දා බුත්තල
අලූකලවිට දී දිව්‍ය පූජාව පවත්වමින් සිටින අතරතුර නාඳුනන තුවක්කු කරුවකුගේ වෙඩි
පහරකින් මරණයට පත් විය.
‘‘තරු ඇස් රහස්‘‘ 48 -49 පිටු
විමුක්ති දේව ධර්මය හදාරමින් සිටියදී ‘‘කිතු දහමේ
විමුක්ති හරයට පණ පෙවූවෝ‘‘ තේමාව ඇසුරේ මයිකල් රුදිගු පියතුමාගේ ජීවන දර්ශනය සහ
ජීවිතාදර්ශය පන්ති කාමරයෙන් මිදි හද ගැඹර කලත්තන විට දී මාතින් ලියැවුණු කවියකි මුලින්ම සටහන් වනුයේ.
2004 - 2010 කාලය තුළ බුත්තල කතරගම පාරේ 12 කණුව
අසල ‘‘සුබසෙත්ගෙදර‘‘ මට මගේ ම ගෙදර තරමට හුරු වී තිබිණි. ළ.ක්‍රි.වී. කටයුතු
වෙනුවෙන් අපි වසරකට තුන්වතාවක් බොහෝ විට බුත්තල ගියෙමු. වසර මුල අනුශාසක පුහුණුව,
වසර මැද ළමා වැඩමුළුව, වසර අවසන ප්‍රාදේශීය සමුළුව වශයෙන් ඒ ආ ගිය ගමන් ගැන
හදවතෙහි සොඳුරු මතක සැමරුම් රැසක් ශේෂ ව පවතී.
මයිකල් රුද්‍රිගු පියතුමා නාඳුනන තුවක්කරුවකු
අතින් ඝාතනය වුණේ සුබසෙත්ගෙදර පුංචි මැටි පැලක ය. අද එය ම සිමෙන්තියෙන් තනා උළු
තැබූ කුඩා නිවසකි. නමුත් තුවක්කු කට කුරුමානම් ඇල්ලු කවුළුව එය ම ය. ඒ පුංචි කුටිය
තවමත් ඒ මතක සටහන් රන්දාගෙන නිසොල්මන්ව හිඳි.
බුත්තල සහ අලුකලවිට ගම්මානයේ අප සමඟ කටයුතු කළ
තරුණ තරුණියන් කිහිපදෙනෙකුගේම පියවරුන් නොවුණි. 88-89 භීෂණ සමයේ ඒ පියවරුන්ගේ
ජීවිත උදුරාගෙන තිබූ හෙයිනි. නිවස ඉදිරිපිටම තම පියාට භුමිතෙල් වත් කර පැදුරු
වලින් වසා ගිනි තබන අයුරු දුටු දියණියක්ද විය. ඒ අවට බොහෝ පවුල්වල පියවරුන් ඒ
අන්ධකාර සමය විසින් බිලිගෙන තිබුණි. එවන් අවිචාර සමයක ය මයිකල් පියතුමා ද මරු කටට
බිලි වූයේ...
මේ මතකය අලුත් වූයේ අතුල විතානගේ විසින් ලියා
තිබූ පහළ ඌවේ ප්‍රාණ පරිත්‍යාගය - මයිකල් රුද්‍රිගු පියනම පිළිබඳ
මතකය යන ලිපිය ඇස ගැටීමෙනි.
මයිකල් පියතුමාගේ ජීවිතය ගැන මේ වන විට පළ වී ඇති එකම කෘතිය ඉන්දු පෙරේරා විසින් ලියන ලද ‘‘පන්සලේ බණ කියූ කතෝලික පියතුමා‘‘ කෘතිය බව ද සඳහන් කර තබනු රිසියෙමි.
අමතක මතකයන්.. ස්තුතියි තරු
ReplyDeleteඅගෙයි තරූ............ හැබෑ මිනිසුන් ගැන කොච්චර ලියුවත් මදි නේද????
ReplyDeleteඅදයි ඇහුවේ!! අගය කරමි!
ReplyDeleteස්තුතියි... නොදැන සිටි දෙයක්.
ReplyDelete88-89 භීෂණ සමයේ කොයි තරම් ජිවිත මේ පොළවෙන් උදුරා ගන්ට ඇද්ද ?ආයෙමත් නම් එහෙම යුගයක් එපා.
ReplyDeleteසැබෑ මිනිසෙක් ගැන සංවේදි සටහනක්.
ReplyDeleteඅතීත මතක අලුත් කළා ඔබ.
ReplyDeleteස්තූතියි
ReplyDeleteතරු ඇස් රහස් නිසා දැනගෙන උන්නා.. ඔය කියන බුත්තල 12 කණුවේ ස්ථානය මට හොඳට මතකයි. :)
ReplyDeleteපියතුමන් දෙව් මව් තුරුලේ සැනහේවා...
ReplyDeleteනිර්මාණය ඉතාම සංවේදියි..
නොදැන හිටි දෙයක් මේක
ReplyDeleteඅදයි කියෙව්වේ. නොදැන සිටි කතාවක්.
ReplyDelete