Tuesday, January 12, 2016

හැම ගමකටම දුයිෂෙන් කෙනෙක් !!


‘‘අරගලය වෙනම තියෙනවා.. මිනිස්සු වෙනම ඉන්නවා.“

මම දෑත දෙපසට කර රඟ දක්වමින් පැවසීමි. අප උන්නේ කොල්ලුපිටිය ලිබර්ටියෙන් ‘‘හෝ ගානා පොකුණ“ නරඹා විහාරමහා දේවි උද්‍යානය දෙසට ඇවිද එමිනි. කලෙකින් සුන්දර චිත්‍රපටයක් නැරඹීමේ උද්‍යෝගය විසින් මම ද ළමයෙකු සේ හදවතින් දැල්වෙමින් සිටියෙමි.

ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේවල් හුඟයිලු
ඒ දේවල් දැකල එන්න හීන දකින එක හොඳයිලු...

හිතේ ඇමිණී මිමිණෙමින් තිබූ ගී පද කිහිපයක් ගයමින් මම කලබලකාරී කොලොම්පුරය මැද  හිතේ නිස්කලංකය රිසි සේ රස විඳිමින් හුනිමි.

‘‘ඒක හරි ලස්සන චිත්‍රපටියක්. වැඩිහිටියන්ට, පොඩිහිටියන්ට දෙගොල්ලන්ටම.. ලස්සන පරිසරය, රූප රාමු, සංගීතය, කතාව,  රඟපෑම්.. හැමදෙයක්ම ලස්සනයි. අභව්‍ය ගතියක් තියෙනවා තමයි. ඒක මං හිතන්නෙ උවමනාවෙන්ම කළ දෙයක්.. ඒ නාටකීය ගතිය අස්සෙ කියන්න හදන්නෙ වෙනම ගැඹුරු කාරණයක් ජීවිතය ගැන, ලංකාවෙ දේශපාලනය ගැන, වමේ ව්‍යාපාර ගැන... “

 ‘‘මට මාරෙට හිතට වැදුණා උමා ටීචගෙයි, විප්ලවීය ප්‍රේමවන්තයගෙයි මුල් සංවාදය... හරියට අපි දෙන්න වාද වෙනවා වගේ...“

‘‘අරගලය වෙනම තියෙනවා.. මිනිස්සු වෙනම ඉන්නවා.“

මම පෙම්බරාගේ වමතේ එල්ලී ගතිමි.

කල්පනා ලොවක ඇලී ගැලී උන් ඔහු මවෙත යළි කැඳවනු රිසියෙන් මම හෙමිහිට අත කොනිත්තාලීමි. ඔහු නොවේ ඇස් කොණකින්වත් මදෙස බැලූයේ.

සිනමා සිත්තමේ මුල්ම රූප රාමුවේ ඇස් කන් අලවා සිටින මොහොතක ඒ දෙබස් කණ වැකෙත්මත් මා කළේ ඔහුගේ අත කෙනිත්තීම ය. එවර නම් ඔහු කට කොනකට සිනාවක් නගාගත්තේ මා මන්තරයක් මෙන් නිරන්තරයෙන් මතුරන කාරණය සිහිපත් වී විය යුතුය.

‘‘අරගලය වෙනම තියෙනවා.. මිනිස්සු වෙනම ඉන්නවා. අරගලයයි, මිනිස්සුයි එකතු කරන්න මාවතක් තියෙන්න ඕනි.. මම හැමදාම ඔයාට කියන්නෙත් ඔය ටික... අරගලය තියෙන්න ඕන ගමේ, වැඩබිමේ, පාරෙ, බස් එකේ.. මිනිස්සුන්ට දැනෙන තේරෙන විදියට.. ඒක ලිප්ටන් වටරවුමෙයි, ස්ටේෂන් එක ඉස්සරහයි, මාධ්‍ය සාකච්ඡාවලයි, කප්පරක් චෝදනා පත්‍රවලයි තිබිල මදි.. හැමදාම මුවහත් කර කර කියන එකම වචන සෙට් එක නැතිව. මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන විදියට කතා කරන්න ක්‍රමයක් හොයන්න ඕන.“

 ‘‘ඔයා හිතන්නෙ උමා ටීච මහා විප්ලවයක් කළා කියලද ගමට ගිහින්. ඒ වගේ ගම් කොහෙද තියෙන්නෙ. මුහුදක් දැකල නැති ළමයි ඉන්න. ටීච කෙනෙක්ටයි, ළමයින්ටයි ඉල්ලීම් දිනාගන්න පුලුවන් ගම් කොහෙද තියෙන්නෙ?‘‘ 

ඔහුට අවැසි මගේ කන්කරච්චලයෙන් පැන යාමට විය යුතුය.

‘‘අනේ මෝඩයො, හා දැන් මෙච්චර දියුණුයි කියන මේ කොදෙව්වම ගත්ත උණත් ඒ ගමට වඩා වෙනසක් නැද්ද? මූදෙන් එහා ලෝකයක් ගැන නොදන්න ගාණට නෙවෙයිද ඉහළම තැන්වල ඉඳන් පහළම තැන දක්වා අපේ මිනිස්සු හැසිරෙන්නෙ. කතා කරන්නෙ.. ඇත්තටම හොඳ වැඩක් වෙනුවෙන් බෙල්ල ගහල ගියත් එකතු වෙන මිනිස්සුත් මේ රටේ ඇත්තෙම නැද්ද? ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ මිනිස්සුන්ව එකතු කරන්න කෙනෙක්, එකතු කරන්න තැනක්.. මිනිස්සුන්ගේම තැනක් නැති එක නෙවෙයිද?“  

උමා ටීචගේ උදා රැස්වීමේ නොදන්නා දේ ගැන කතා කළ දරුවා මට සිහිපත් වූයේ නිරායාසයෙනි. එවර කට කොණ සිනාවක් පැන නැංගේ මවෙතිනි. ...... 

මම මෙතෙන්ට පැමිණියේ නොදන්න දේවල් ගැන කතාවක් කරන්න. ඇත්තටම නොදන්නා දේවල් මොනවද කියල මං දන්නෙ නෑ. ඒ හින්දා ඒ ගැන කියන්නත් මං දන්නෙ නෑ... දරුවා කියූ වදන් සිහිපත් කරගනිමින්ම මම මගේ සිතුවිලි නැවතත් ඒ මේ අත පෙරළා බැලීමි.   

දරුවන් අබියස මුහුද දිස්වූවාක් මෙන් මහත් වූ ප්‍රමෝදයකින් මගේ දෑස් පොඩි වඩේ කරත්තයක් අසල නැවතිණි.

‘‘විස්සක දෙන්න.“

‘‘මේකිට පිස්සු.... බේබද්දියක් වගේ කොතැන ගියත් වඩේ...“

‘‘ඇයි!!! බේබද්දන්ට විතරද වඩේ කන්ඩ හොඳ? අපිට ඇලජික්ද?“

වඩේ බහාලන කුඩා කඩදාසි බෑගයට  එක්විටම අත් රිංගවන්නට පොර කමින්ම අපි විහාරමහාදේවියේ ගසක් යට වාඩි ලා ගතිමු.



‘‘මේ රට හදන්න ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයකින් මිස වෙන කිසිම දේකින් බෑ..“ එක කටට වඩයක් ඇද බාමින් තමන්ටත් විශ්වාස නැති සත්‍යයක් ඔහු මවෙත පසක් කරවන්නට උත්සාහ දරයි.

‘‘නිදහසෙන් පස්සෙ හැමදාම මතුරන මන්තරයක්නෙ ඔය. ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයකින් යම් බලපෑමක් කරන්න පුලුවන් වෙයි. ඒත් පැවැත්මක් තියෙන්න නම් ඒකට සාමාන්‍ය මිනිස්සු දැනුවත්ව එකතු වෙන්න ඕනි...“ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර පිළිබඳව පමණක් නොව සෑම දේශපාලන ව්‍යාපාරයක් ගැනම බිඳුණු සිතැති මම එකී හිස් බව දීර්ඝ සුසුමක පා කර හරිමි.

‘‘හීන හඹායන්න ඕන. හීන හැබෑ කරගන්න වැඩ කරන්න ඕන. චිත්‍රපටියෙත් කියන්නෙ ඒකනෙ. විප්ලවීය සිහින වුණත් එහෙමයි...“ ඔහු සිගරැට්ටුවකට අත යවයි. අතට පහරක් ගසාලන මම සිගරැට්ටුව ගෙන බෑගයෙහි ඔබා ගනිමි.

‘‘පේනවනෙ, සිගරට් එකක් බොන්නවත් නිදහසක් නැති රටක්..“ ඔහු හිනැහෙයි.

‘‘මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට විප්ලවීය හීන පේන්නෙ නෑ. එහෙම හීන තියෙන බවවත්, දකින්න ඕන බවවත් මිනිස්සු දන්නේ නෑ. ඒ මිනිස්සු අතර ඉඳන් මිනිස්සු දැනුවත් කරන්න, ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් ඕනි... අර පුංචි උන් මුහුදක් ගැන හිතල තිබුණෙ නැහැනෙ ඇස් නොපේන කෙලි පොඩ්ඩ ඒ ගැන කියනකල්. හීන, අරමුණු හැදෙන්නෙ එහෙමයි.. ඒකට උත්තේජනයක් ඕන. ඒ හීන හැබෑ කරගන්න හයියක් ඕන. සැලසුම් ඕන. ඒකට මගපෙන්වන්න කවුරුහරි ඕන..

.....හැම ගමකටම දුයිෂෙන් කෙනෙක් ඕනෙ.

මිනිස්සු දේශපාලනිකව, සංස්කෘතිකව දැනුවත් කරන්න වැඩ කොටසක් කරන්න පුලුවන් කෙනෙක් හැම ගමකම හදන්න ඕනි. මට හිතෙන්නෙ මේ කොළඹට වෙලා දේශපාලඥයොත් එක්ක පොර අල්ලන්න ඔට්ටුවෙන එක තරමටම වැදගත් බිම් මට්ටමට බැහැල වැඩ කරන එක.

‘කොළඹ ඉඳන් රටේ ජනතාවගෙ රසවින්දනය හදන්න බෑ. ගමේ ඉන්න කෙනෙක් ඒක කළ යුතුයි. ‘ මං දැක්කා ඉරුදින පත්තරේ සංවාදයකදි අඛිල සපුමල් කියල තියෙනවා...

ඒ කතාව ඇත්ත. එක්කො අපි ගමට ගිහින් වැඩ කරන්න ඕනි. නැත්නම් අපි ගමෙන්ම ඒ වැඩේ කරන්න කෙනෙක් ගොඩනගන්න ඕනි. කුඩා කණ්ඩායම් විදියට හැම අස්සක මුල්ලකම වැඩ කරන්න යාන්ත්‍රණයක් හැදෙන්න ඕනි... ආණ්ඩුවල කුනුකන්දල් අවුස්ස අවුස්සා මතවාද එක්ක හැප්පි හැප්පි ඉන්න අතරම ඒ වැඩෙත් කරන්න පුලුවන් නම්  මරු.. අරගලයයි මිනිස්සුයි යා කරන්න පාලමක් ඕනි, උමා ටීච කියන්න වගේම..‘‘  

‘‘පිස්සි.. ඔයා දන්න දේශපාලනේ..“ 

එකී සරදම් සිනාවේ සැඟවී ඇත්තේ විරුද්ධතාවක්ද? එකඟතාවක්ද? තේරුම් ගන්නට උත්සාහ දරමින්ම මම මෙසේ පවසමි.

‘‘හැම ගමකටම දුයිෂෙන් කෙනෙක් ඕන.‘‘




27 comments:

  1. දෑස ගිනිකණ වැටෙන මහා ආලෝකයක් නොව,
    ඇවැසි වනුයේ පාර කියමින් දිලෙන නිරතුරු,
    තාරකා එළියක්ම පමණකි.

    ReplyDelete
    Replies
    1. මහා ආලෝකයන් පස්සෙ දුව ඇවිදිද්දි පුංචි තරු එළි නොපෙනී යනවා. උමා ටීචලා වගේ අයට තමයි ඒ තරු එළි පෙන්නල දෙන්න වෙන්නෙ...

      Delete
  2. ලංකාවට විප්ලව හරියන්නේ නෑ.......

    විප්ලවයක් දිනන්න නම් බඩගින්නේ ඉන්න මිනිස්සු අටෝ රාසියක් ඉන්න ඕනේ...

    ලංකාවේ මිනිස්සු බඩගින්න නිසා මැරෙන්නේ නෑ....අනිත් මිනිස්සු බඩගින්නේ තව මිනිහෙක්ට මැරෙන්න දෙන්නේ නෑ.....

    ඒක නිසා ලංකාවේ විප්ලව වලට පැවැත්මක් නෑ....!

    ReplyDelete
    Replies
    1. විප්ලව කියන්නෙ අවි ආයුධ අතට අරන් කරන්න ඕන ඒවම නෙවි. බඩගින්න කියන්නෙ එක හේතු සාධකයක් විතරයි. ලංකාවෙ විප්ලවවලට පැවැත්මක් නැත්තෙ ඒව මහ පොලවට බැහැල කරන විප්ලව නොවන නිසා කියලයි මට හිතෙන්නෙ. හුදකලා විප්ලව...

      Delete
    2. හුදකලා විප්ලව දෙකක් කරන්න ගියානේ කට්ටිය . දැන් ඇති.

      Delete
  3. මොනවා වුණත් දුයිෂෙන්ලා ඉන්න ඔ්නේ...... හැමගමකම.............

    ReplyDelete
    Replies
    1. මා දන්නා අඳුනන දුයිෂෙන්ලා ඉන්න නිසාම පැහැදිලිවම කියන්න පුලුවනි. එක ගමකට එක හොඳ ඔලුවක්, හදවතක් තිබුණොත් ලොකු වෙනසක් කරන්න පුලුවනි.

      Delete
  4. මාතෘකාව බරපතලයි... ඒත් ඉතිං පෙම්වතෙක් ගැන සඳහනක් දැක්කමයි තරූ ගෙ ලියවිල්ලක..

    ReplyDelete
    Replies
    1. පෙම්බර ආකෘතිය මේ ලියවිල්ලට ගැලපෙනවා කියල හිතුණා තිසර. What a nice couple ගැන මම ලිව්වෙත් මේ විදියටමයි. ඒක මට මගේ අදහස් කියන්න ආදරණීය අවකාශයක් හදලා දෙනවා නිරායාසයෙන්ම.

      ස්තුතිවන්ත විය යුතු මගේ හිතේ ඉන්න සිහිනමය ප්‍රේමවන්තයට.

      Delete
  5. කියෙව්වේ නෑ හොදට දිරවගන්න ඕන නිසා පස්සේ කියවනවා..

    ReplyDelete
    Replies
    1. කවදාවත් වෙන වැඩක් නෙවි ඉතින්..

      Delete
  6. යනවද නොයනවද කියල තාම කිරල බලනවා... යන්නත් හිතයි... ගිහින් හිත රිද්දෝගනී කියල බයයි... මට දැන් කියන්න හිත දෙයක්ද තියෙන්නේ කියල..? අගදී අවසානය හොඳ උනත් හිත රිදෙන්නේ මගදිද?

    ReplyDelete
    Replies
    1. හිත රිද්දගන්න දෙයක් තියෙනව කියල මං හිතන්නෙ නැහැ උපේක්ෂා. හිත කොනිති ගැහීම් තියෙනවා තමයි. නමුත් සමස්තය විසින් ඒ වේදනාව මිහිරි අත්දැකීමක් බවට හරවාවි.

      Delete
  7. විප්ලවය විමධ්‍ය ගත කල යුතුයි. නගරයට පමණක් මධ්‍යගත වුනු වචන හරුප බෝඩ් ලාලි විප්ලවය ගමේදී ජීවන අරගලයක් වෙනවා, මිනිස්සුන් සංවාද ශීලී නොවී කුරවල් වෙච්ච ඔලු වලින් එකම වර්ණයක් පමණක් දෑසින් දකින තෙක් අනෙක් වර්ණද ලෝකයේ හැඩයද තේරුම් නොගනු ඇත. අපි කවද්ද ඕන කමින් හදවත ගැහෙන රිද්මෙට ඇහුම්කන් දුන්නේ, අඩුම තරමේ දොස්තරෙක් ලෙඩෙකුගෙවත්, සැබෑ ලෝකය හීන ලෝකයකින් අතික්‍රමණය වෙලා අපි ගොඩක් වෙලාවට ඉන්නේ ජීවත් වෙන මොහොතෙද එහෙමත් නැත්තන් කොහීහරි නොදැන අතීතෙකද නැත්තන් පට්ට ගැහිලා ගිය අතීතෙකද.

    ReplyDelete
    Replies
    1. අපි අතීතකාමී මිනිස්සුනෙ. හීනවලට වැඩි බරක් දුන්නම වර්තමානයෙන් වහන්වෙලා ඉන්න පහසුයි. මමත් ඒ වරදම කරන නිසා දන්නවා. ඇත්ත ලෝකෙ ගැනම හීන දකින්නත්, ඒ හීන හැබෑ කරගන්න මහන්සි වෙන්නත් ධෛර්යය වඩවාගන්න ඕනි.

      Delete
  8. ර රුපියල් විස්සක කෑවේ පරිප්පු වඩේ වෙන්න ඇතිනේ අක්කේ.:)
    කබලෑ දෙව් ගමේ දුයිෂෙන් තරු අක්කානේ.ඒ තරු එළිය හඳ එළියට වඩා ගම එළිය කරයි.ගම හදා රට හදමු.සංකල්පය හොඳයි.

    ReplyDelete
    Replies
    1. අර පුංචි වඩේ.. විස්සට අටක් දෙනවා..

      අපේ ගමේ දුයිෂෙන්ලා කීපදෙනෙක්ම ඉන්නවා මල්ලි. ඒ නිසා මටත් පහසුයි.

      Delete
  9. මම හිතන්නේ පාලන ක්‍රමය ජනතාවගේ අතට ගැනීම සදහා ග්‍රාමීය මට්ටමින් වන සංවිධානවල ක්‍රියාකාරිත්වය වර්ධනය කල යුතුයි සහ ඒවායේ වර්ධනය අනුව ඒවාට අවශ්‍ය බලතල ප්‍රමාණයක් ලබාගත යුතුයි කියල. ඒ වගේම එම සංවිධාන වලින් පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තින්දු තිරණ වලට බලපෑම් කිරිමේ ව්‍යුහයක් සකස්විය යුතුයි.

    ග්‍රාමිය සංවර්ධන කමිටු මගින් දැනට රජයේ නිලධාරින්ගේ අනුමැතියෙන් එක් එක් ගම්වල කරන කුඩා ව්‍යාපෘති වෙනුවට එම කමිටුවට බලය දියයුතුයි එවැනි ව්‍යාපෘති සිදුකිරීමට. එය අධික්ෂණය රජය මගින් කල යුතුයි.

    ඒවගේම ගම්වල පාරවල් දෙපස සකස්කිරීම, ප්‍රාදේශිය අධිකාරින් සමග සහයෝගයෙන් ක්‍රමවත් ලෙස කැලි කසල බැහැර කිරිමේ ක්‍රමවේදයක් සැකසිම. රජයේ ආයතනවල අධික්ෂණය හා එම ආයතනවල අනුමැතියට යටත්ව යම් කොමිස් මුදලක් ලබාගනිමින් බලපත්‍ර, ලේඛන (වාහන බලපත්‍ර,දැව බලපත්‍ර, උප්පැන්න, මරණ සහතික ආදී) ගාස්තු අයකිරිම් සිදුකිරිම සහ ලබාදීම වගේ දේවල් කල හැකියි කියල මම හිතනව සහ ඒ හරහා ග්‍රාමීය මට්ටමින් නායකත්වයන් බිහිකල හැකි වෙනව.

    පාසැල් පාදකවද මෙවැනිම සංවිධාන ව්‍යුහයක් හරහා පාසලේ සංවර්ධනය සිදුකල හැකියි. හැබැයි දැනට පවතින පාසැල් සංවර්ධන කමිටු වලට වඩා ඒවා වෙනස්විය යුතුයි වගේම. සංවර්ධනයෙන් අඩු පාසැල් වලදි රජයේ මැදිහත්වීම වැඩිකල යුතුයි. මෙය නැවතත් ළමයින්ගෙන් සහ ආදිශිෂ්‍යයන්ගෙන් මුදල් එකතුකරන ක්‍රමයක් නොකර ඔවුන්ගේ අදහස් සහ ශ්‍රමයේ යම් කොටසක් ලබාගන්නා ක්‍රමවේදයක් විය යුතුයි.

    එලෙස ශක්තිමත් ප්‍රජාවන්ගේ සංවිධාන සැදිමෙන් තොරව එක් එක් ගමෙහි අවංකව වැඩකරන මිනිසකු සකස් කිරිම පවතින තත්වයත් සමග ඉතාමත් අමාරුයි. දැනටමත් මිනිහෙක් තනිවම ගමක යමක් කරන්න යනකොට ඒක පිලිබදව ප්‍රශ්න ඇතිකරන සහ ඒ මිනිසුන් පිටු පසට අදින ක්‍රමයක් තමයි තියෙන්නේ සහ පවතින තත්වයන් සමග නැවත වැඩක් කරන්න නොසිතෙන මානසිකත්වයක් තමයි මිනිස්සුන්ට හැදෙන්නේ.

    අනෙක් අතට මම හිතන්නේ නැහැ ලංකාවේ කිසිම දේශපාලන ව්‍යාපාරයකට තමන්ගේ කාඩරයේ කෙනෙක් ගමකට යැවිමට තරම් හැකියාවක් තියෙනව කියල. අඩුම තරමේ ප්‍රාදේශිය මට්ටමකට යැවිමට තරම්වත් කාඩරයක් බොහෝ දේශපාලන ව්‍යාපාරයන්ට නැහැ. ඒ නිසා මම හිතනව එවැනි දේශපාලන ව්‍යාපාරත් අඩුම තරමේ මෙවැනි සංවිධාන ව්‍යුහයක් (ග්‍රාමීය, ප්‍රාදේශිය, දිස්ත්‍රික්)සකස්කිරීමටවත් රජයට බලපෑම් කල යුතුයි කියල.

    එලෙස නැතුව මෙම ක්‍රමය තුල දුයිෂෙන්ලව බලාපොරොත්තු වෙන්න පුලුවන් නවකතා හා නාට්‍ය ලෙස පමණයි

    ReplyDelete
    Replies
    1. ගමින් ගමට මේ තත්වය වෙනස් වෙනවා. මගේ සහ මා දන්නා අඳුනන කීපදෙනෙකුගේ අත්දැකීම අනුව නම් අවංකව වැඩ කරද්දි ගම් තුළ යම් වෙනසක් ඇති කරන්න පුලුවනි. ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න නම් අමාරුයි.

      Delete
  10. "හෝ ගාන පොකුණ" මෑතදී ආ පමණක් නොව මෙතෙක් ලංකාවේ නිපදවූ උසස් ගණයේ ළමා චිත්‍රපටයක් බව ආරංචියි. "හඳයා" චිත්‍රපටයෙන් පස්සෙ. ඒ වගෙ ෆිල්ම් එකක් ප්‍රොමෝට් කරන එක වටිනවා.
    ඒ එක්කම තරු ප්‍රේමයටත් සුබපැතුම් ....!

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටය දෙවතාවක්ම නැරඹුවා. ඇත්තටම සුන්දර චිත්‍රපටයක්.. ළමයින්ගෙ හීනයක් ගැන කියවෙනවා වුණාට වැඩියෙන්ම මේ චිත්‍රපටය බලපෑම් කරන්නෙ වැඩිහිටියන්ට.

      ප්‍රේමයට නෙවි ප්‍රේම ආකෘතිය තුළ ලියූ සටහනට සුබ පැතුම් පිළිගන්නම්.

      Delete
  11. පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියවලා මටත් යන්න හිතුනා හෝ ගාන පොකුණ බලන්න.

    ReplyDelete
    Replies
    1. බලල ඇවිත්ම අදහස කියන්න.

      Delete
  12. මටත් ආසාව තිබුනට මේක බලන්න පුළුවන් වෙයිද කියලා තමයො ශුවර් එකක් නැත්තේ.

    ReplyDelete
    Replies
    1. යථා කාලයේදී පුලුවන් වේවි මල්ලි.

      Delete
  13. මම මේ ලියවිල්ල එක්ක ප්‍රේමයෙන් බැඳුනා. තරු අක්කා, අපිට පුළුවන් හැම හීනෙකටම තටු දෙන්න. ඉන්න පරිසරය සහ එහි ඉන්න මිනිසුන් කොහොම කෙසේ කීවත් අති දුෂ්කර වීම ඈත ගමකටම යන්න ඕනෑ නෑ.මේ කොළඹ අහුමුලු වලත් තැන තැන ඔහොම සිදුවීම් තියෙනවා. දරුවන් ඒ ඉන්නා තැනින් පොඩ්ඩක් හරි ඉහළට ඔසවලා තියන්න පුළුවන් දුෂෙයින් ලා තමයි අඩු. අරගලය එහෙමමයි... මිනිස්සු සමහර විට ඒක අමතක කරලා. ඔහේ ඉන්නවා.

    ReplyDelete
  14. හෝ ගාන පොකුණේ රළ නගන හඬ මැද්දෙන් ඇහෙන මේ ප්‍රේම ගීතයත් මිහිරියි තරූ .සතුටුයි ඒ ගැන. අපිත් බැලුවා හෝ ගාන පොකුණ දෙසැම්බර් නිවාඩුවට . කාලෙකින් බලපු හොඳ ළමා චිත්‍රපටියක්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...