සොඳුරු ම අරුණැල්ලක පහස........
ඉර එළිය යාම්තමට කෝලිත්තං පාන්නට පටන් ගත්තා
පමණි. සුළඟේ තැවරුණ සිහිලැල්ල සෙමෙන් සෙමෙන් හිරු රැස් තුඩගින් සොරකම් කරගන්නාක්
මෙනි.
‘‘මීටත් වඩා උදෙන්ම එන්න තිබුණ නම්..“ සිත
මිමිණීය. හිමිදිරිය කොතරම් අසිරිමත් වනු ඇති ද? සිහිලැල් වනු ඇති ද? සිත විමසමින්
තිබිණි.
අප සිටියේ ආනවිළුන්දාව අභය භුමියේ වැව්
සොයුරු සොයුරියන් මහත් සෙනෙහසින් බැඳි අත්වැලක් සේ දිස්වන්නා වූ වෑ කන්ද මත ය. එල්ලංගා
නම් වූ පැරණි වාරි ක්‍රමයකට සැකසූ වැව් පද්ධතියක් සතුවීම මෙම අභයභුමිය සතු
සුවිශේෂත්වයක් බව මා දැන ගත්තේ පසුව ය.
වැව් දියට පෙම් බැඳි කුරුලු කෙවිල්ලන්...
වැව් දිය සරැළි මත පළිගු සිත්තම් මවනා හිරු
එළිය ඇහි පිය මත අමුණන්නේ මහත්ම වූ අසිරියකි. කුරුලු පාරාදීසයක් වූ ආනවිළුන්දාව
අභය භූමිය එමොහොතේ නම් කුරුලු කෙවිල්ලන්ගේ දාංගලයෙන් එතරම්ම කලබලකාරීව තිබුණේ නැත.
කුරුල්ලන් උඳුවප් සිහිල මැද පිට ගං බලා ගොස් ඇතිවාද, නොදනිමි.
විසල් තුරුපෙළින් හෙවන වූ වෑ කන්ද වටා එක්
පසෙකින් වැව ද, තවත් පසෙකින් ළඳු කැලෑව සහ ගම්මණ්ඩියද පසු කරමින් යන විට මැවෙනුයේ
අසිරිමත් හරිත දසුනකි. වැව් දිය මත දිය කාවුන්, කොරවක්කන් සැරිසරනු ද, තුරු මත ජලජ
ශාක ආවරණ මත කොකුන් නිදහස් සුවය විඳිනු ද දකිත හැකි ය.
විසල් මාර ගස් සෙවණක වැව් දියට මුහුණ ලා තණ
බිස්සක වාඩි ගත් විට දවසක්ම වුව නිවී සැනසිල්ලේ දැහැන් ගත වන්නට හැකිය. වැව ද,
හරිත තුරු සමූහය ද, කුරුල්ලන් ද, විසල් අහස ද මවන්නේ අපූරු සිත්තමකි. දාංගල් සුළඟ
කොපුලත හාදු තබා කඩිමුඩියේ පැන දුවන විට සමාධිගත සිත මොහොතකට සසැලී ඉක්බිති නිවී
සැනහී යනු ඇත.
මුතු වැලක අසිරිය මවන මුතු පන්තිය
මුතු වැලක අසිරිය මවන මුතු පන්තිය ධීවර
ගම්මානය වෙත යා හැකි පටු ගුරු පාර ඇරඹෙනුයේ ද අභයභූමිය වෑ කන්දේ එක් පසෙකිනි.
අභයභූමියට පිවිසෙන මාවත් කිහිපයක් ඇති අතර අප භාවිත කළේ කොළඹ හලාවත ප්‍රධාන
මාර්ගයේ ආනවිළුන්දාව හන්දියෙන් හැරී අභයභූමිය තුළට ගමන් කළ හැකි මාවත ය. තරමක්
අබලන් ය. නමුත් මේ වන විට මාර්ගය ඉදි වන ලකුණු පැවති බැවින් සුබවාදී බලාපොරොත්තු
දල්වා ගත හැකිය.
වෙල් යායක්, ළඳු කැලෑවක්, ඉස්සන් කොටු රැගත්
කලපු දිය මැදින් මුතු පන්තිය ගම්මානය කරා දිවෙන මාවත ද සොඳුරු ය. අපට සොඳුරු වුව
එහි ජීවත් වන ධීවර ජනයාට නම් එය තරමක දුෂ්කර ගමනක් ද විය හැකි යැයි සිතේ.
වසර
ගණනාවකට එපිට ළක්‍රිවී දූ දරුවන් සමඟ පුරා දවසක්ම මුතු පන්තිය ගම්මානයේ ගත කළ
අයුරු සොඳුරු මතකයකි. එදින රෑ ගිනිමැලය පැවති දෙව් මැදුරු බිම කිසිදු වෙනසක් නැත.
එදවස පරිදිම ය. එදා සිටි දරුවන් අද නව යොවුන්, තරුණ දරුවන් විය හැකි ය. හඳුනාගන්නේ
කෙලෙසද?
ගම්මානය කෙළවර වනු යේ මහ සමුදුරෙනි. දීප්තිමත්
උදෑසන හිරු එළියෙන් නැහැවුණු නිල් සයුර නිරන්තර සිනාවෙන් ආලෝලනය වන්නාක් මෙනි.
අහස් නිල ට අත්වැල් අල්ලන්නාක් වැනි දීප්තිමත් නිලකින් සැරසුණු සයුරට සුසුදු
රේන්දයක් ඇල්ලූ කලෙක මෙන් දිස්වන ළවැල්ල පිවිතුරු ය. සොඳුරු ය. ඒ නොකිලිටි වෙරළ තීරය සංචාරක ඇස ගැටී විනාශයට පත් වේද යන හැඟුම සිත පෙළන විට මේ ලියවිල්ල ගැන ද සාංකා මතු වේ.
මා දැල් ඇදෙනා රිද්මය....
දෛනික ධීවර ජීවන අරගලයේ එක් මොහොතක් ඇස
ගැටුණේ ඒ මනස්කාන්ත අහස් සයුරු ප්‍රේමය පසුබිමේ තබාගෙන ය. රිද්මයානුකූලව ගැයෙන
අම්බාව - ධීවර ගීතය සමඟින් රිද්මයට අසීමිත ශ්‍රමයක් කැටි වන මා දැල් අදිනා ධීවර සමූහයකි.
අම්බාවේ බස සිංහල ද, දෙමළ ද වෙන් වෙන් ව හඳුනා ගත නොහැකිය. භාෂාවන් දෙකක මුසුව
මෙන්ම කිසිම භාෂාවකට අයත් නොවන වචන පවා ධීවර මුවින් ගිලිහෙන්නාක් මෙනි.
අප්‍රමාණ ශ්‍රමයක් වැය වනු ඇති බවට ගලනා
දහදිය ගඟුල සාක්ෂ්‍ය ය. නමුත් ඒ දැල් ඇදීමේ සමස්ත ක්‍රියාවලිය පුරා ඇත්තේ අපූරු
ලාලිත්‍යයකි. රිද්මයකි. සුන්දරත්වයකි. ධීවර ජීවිතයේ ‘‘වේදනාත්මක අසිරිය” (බත්තලංගුණ්ඩුව නව
කතාවෙන් සොරා ගැණුනි.) දෑස අබියස මැවුණු මොහොතකි.
කුරුලු පාරාදීසය මැදින් මුතුපන්තිය කරා ගිය
මග ආපසු පැමිණීමේ දී වෙනස් කරන්නට සිදු විය. මාර්ගය පිළිසකර කරමින් පැවති බැවිනි.
අහඹු හදිසි වෙනස්වීම් ජීවිතයට එක් කරන විස්මිත අසිරිය කෙබඳුද?
ආනවිලුන්දාව වැව්
පද්ධතියේ තවත් සුන්දර පැතිකඩක් නරඹමින් මයියාව හරහා ප්‍රධාන මාවතට පිවිසෙන්නට ඉඩ
ලැබිණි. ඒ තවත් අතීත මතකයකට පියාපත් ලැබදෙමිනි. වසර ගණනාවකට එපිට මයියාව සංස්කෘතික
මධ්‍යස්ථානයේ තරුණ තරුණියන් සමඟ දිනක වැඩසටහනක් කළ මතකය සමඟිනි.
සැබවින්ම ජීවිතය අහඹු අසිරිමත් ප්‍රාතිහාර්යයක්
නොවේද?
( ආනවිළුන්දාව අභයභූමිය පිළිබඳව අගනා
තොරතුරු රැසක් ‘‘ආනවිලුන්දාව අභයභූමිය” , ‘‘තෙත්
බිමක අසිරිය - ආනවිලුන්දාව අභයභූමිය ” මෙම
ලිපිවලින් හමුවනු ඇති. )
2015 උඳුවප් මහේ 23 වන දින
ගිහින් අපිටත් එක්ක බලන් ආවට ස්තූතී. ෆොටෝ ටික ලස්සනයි.
ReplyDeleteස්තුතියි ඔමා..
Deleteසුන්දර චාරිකා සටහනක් තරූ . හිතේ සතුට පිරි නව වසරක් වේවා !!
ReplyDeleteඇත්තටම සුන්දර නිස්කලංක චාරිකාවක්.. සුබ නව වසරක් අයියේ..
Deleteඅපූරැයි තරෑ. සුබ නව වසරක් වේවා!
ReplyDeleteඑසේම වේවා...
Deleteඔන්න මට ඉරිසියා හිතෙනවා...
ReplyDeleteජ ය වේ වා !!
ඉරිසියා හිතන්න ඕනි ගමනක් තමයි.
Deleteරූප ටික සුන්දරයි.............. අගේ අැති
ReplyDeleteකැමරා ඇස හිමි හදවතට ඒ ස්තුතිය හිමි විය යුතු..
Deleteපරණ මතක ඇවිස්සුව සටහනක්.
ReplyDeleteආනවිලුන්දාවේ මාගෙත් මතක මහ ගොඩාක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අවට තව මහ ගොඩාක් වැව් වලත්.
ඇත්තටම ඒ වැව් සංස්කෘතියෙන් හරියාකාර ප්‍රයෝජනයක් ගන්නේ නෑ කියලාත් මේ දැන් මතක් වුනා. වැව් පාළුවට ගිහින් නේද? වටේ පිටේ ගම්වල මිනිස්සු බයිසිකල් හින්දාම ට්‍රාන්ස්පෝර්ට් පැවතෙනවා වෙන්න ඕනේ. ඒත් ඒ ගම් අවට ජීවිතය කොයිතරම් කර්කශ වුනත් බොහොම ඒත් අහිංසක නිහතමාණි අමුතු සංස්කෘතියකුත් තියෙනවා නේද? ධීවර සංස්කෘතියද මන්දා?
පරණ මතක කොයි තරම් ඇවිස්සුණාද කියනවනම් අපි දෙන්න කාලෙකට පස්සෙ අද දීර්ඝ කතාබහකටත් වැටුණා.
Deleteබයිසිකල්, බයික්, ත්‍රීවීල්, ලෑන්ඩ් මාස්ටර් හෙම පාවිච්චි වෙන බව පේනවා. පාරවල් නම් තවම අබලන්. හැදෙමින් පවතිනවා.
නිහතමානී අහිංසක මිනිස්සු බව නම් දැනෙනවා. අපි යන දවසෙත් පාරෙ ශ්‍රමදානයක්. මිනිස්සු හිනාවෙලා බොහොම උවමනාවෙන් මග විස්තර කිව්වෙ.
මේ අගනා පරිසරය යලිත් සංචාරකයන්ගේ පාරාදීසයක් වීම ගැන ඇතිවන්නේ විශාල සතුටක්. පහුගිය යුද සමයේදී මේ ප්‍රදේශයේ තිබුන LTTE ක්‍රියාකාරකම් නිසා මේ ප්‍රදේශය තහනම් කලාපයක් වී තිබුණා. යුද හමුදාවත්, නාවික හමුදාවත් විශාල කැපවීමක් කළා මේ ප්‍රදේශය මුදාගන්නට.
ReplyDeleteමම මේ බව දැන උන්නෙ නැහැ. ස්තුතියි.
Deleteපුත්තලම් පාරෙන් අනුරාධපුරේ යනකොට ඔය ආනවිලුන්දා ප්‍රදේශය පසු කර ගොස් තිබෙනවා.හැබැයි ඔය පරිසර පද්ධති බලන්න ගිහින් නැහැ.මේක දැක්කම එව්වායේ යන්න ආසාවක් ඇති වුනා.
ReplyDeleteගිහින් එන්න මල්ලි. ලස්සන අත්දැකීමක් වේවි.
Deleteතරු, වෙනදා වගේ ම හොඳ සටහනක්.
ReplyDeleteස්තුතියි.
Deleteපින්තූර ටික දැක්කම අපිටත් යන්න හිතුනා අක්කේ.
ReplyDeleteනිවාඩුවකට ආවම අපි යමු. නිදහසේ හිතන්න, දකින්න, ලියන්න, අඳින්න, පින්තූර ගන්න.. ඒ වටපිටාව අපූරුයි.
Deleteතව ෆොටෝ නැතෙයි
ReplyDeleteතියේ නං බුකියට හරි අප්ලෝඩ් කරන්නකො
ලස්සනයි පිංතූර ටික
තව පින්තූර කිහිපයක් ඇති. ඒවත් මේ හා සමානම ඒවා...
Deleteසෑහෙන දවසකින් මේ පැත්තට එන්න උනේ.සුභ නව වසරක් වේවා තරූ...!!!
ReplyDeleteඔබටත් සුබ නව වසරක්..
Deleteපොටෝ ටික ලස්සනයි.
ReplyDelete