පිටු

Tuesday, February 16, 2016

බම්බු වෙදා ගේ සිට ධර්මිෂ්ඨ සමාජයට



නාට්‍ය කලාව අපේ ජීවිත එක්ක මුලින්ම පැටලෙන්නෙ මොන්ටිසෝරියෙදි මට දැනෙන විදියට. මගේ මුල් ම මතකය තමයි ගමරාළ දිව්‍ය ලෝකෙ ගිය හැටි රඟදැක්වූ ආකාරය. ටීච තමයි ඒ දිව්‍ය ලෝකෙන් ආව අලියා වුණේ. එයා රෙද්දකින් තමන්ව වහගෙන අත හොඬවැලක් විදියට පෙන්නුම් කළා. ගමරාළ පිටිපස්සෙන් වැටිල දිව්‍ය ලෝකෙ යන්න අලියගෙ නැට්ටෙ එල්ලුණු ගැමියො අතර මාත් උන්නා.
ඉන්පස්සෙ දහම් පාසල, ළක්‍රිවී (ළමා ක්‍රියාකාරී වීරයෝ) සමිතිය, තරුණ සමිතිය, පාසල් සාහිත්‍ය සමිතිය, උසස් පෙළ නාට්‍ය කලා විෂය ධාරාව නාට්‍ය කලාවට තිබුණු ඇල්ම වැඩි කළා. 

පුංචිම සන්දියෙ වැඩියෙන්ම රඟ දැක්වුණේ බම්බු වෙදා. 

මම බම්බු වෙදායා.. මම රටේ වෙදායා
ඕනම ලෙඩකට දෙන්නේ එකම කසායා.. 

ඇයි දොම්පෙට යන පාර අහපු හැටි..

දොම්පෙට යන පාර කොයි බදෝ.. මාමේ මට කියාදෙනවදෝ
බතල හොඳට බැහැල තියෙනවා.. හාරනකල් ටිකක් ඉන්නවා...

මහදැනමුත්තගෙ කතන්දර, අන්දරේ සීනි කෑව හැටි ඔය වගේ හාස්‍ය රසයෙන් පිරුණු කතන්දරනෙ පුංචි කාලෙ අපි වැඩියෙන්ම රඟ දක්වන නාට්‍ය. ඒවයෙ නිෂ්පාදක, අධ්‍යක්ෂක, නළු නිලියො, ප්‍රේක්ෂකයො ඔක්කොම අපි තමයි. මට  නිතරම සිද්දවුණු අලකලංචියක් තමයි වේදිකාව මත හාස්‍යය උත්පාදනය වෙන අවස්ථාවල හිනාව නවත්ත ගන්න බැරි වීම. ඉතින් කොයිතරම් දක්ෂ නිළියක් වුණත් වේදිකාව පිටිපස්සට දුවලා හිනාව ඉවර කරගෙන එන්න සිද්ද වුණා.



ඔහොම ආව නාට්‍ය ඇල්ම වැඩි දියුණු වුණේ ළමුන් කැටුව යන අනුශාසක කෙනෙක් විදියට ළක්‍රිවියට සම්බන්ධ වුණාම. ළමුන් එක්ක වැඩ කරන්න අපි නාට්‍ය ජවනිකා, රංගනයන් උදව් කරගත්තා. ළමුන් වෙනුවෙන් පැවැත්වූ වාර්ෂික සන්නිවේදන වැඩමුළුවෙ එක් වරුවක්ම වෙන් වුණේ නාට්‍ය කලාව ගැන කතා බහට සහ නාට්‍ය කරන්න. ඉතින් අපිත් නොදැනිම නාට්‍ය ශිල්පියො වෙනවා මොහොතකට හරි.

සමීර නිශ්ශංක ( දැන් මීගමුව මාරිස්ටෙලා විදුහලේ නාට්‍යාචාර්ය), ක්‍රිශාන්ත ද සේරම් (  නාට්‍යෙව්දී, බිංගිරිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථීකාචාර්ය) සහෝදරවරුන් මුල් වෙලා අපි දෙවරක් ළක්‍රිවියෙ ජාතික මට්ටමින් නාට්‍ය වැඩමුළු පැවැත්වුවා. දිගටම වැඩමුළුවලට සම්බන්ධ වෙන්න නොහැකි වුණත් පහසුකම් සපයන්නියක් විදියට ඒ වැඩමුළුවලට උදව් වුණ නිසා එයිනුත් යම් අත්දැකීම් ලැබුණා. ඇත්තටම නාට්‍ය ගැන පිස්සුවක් වෙන තරමට ඇල්මක්. ඒත් අනිත් වැඩ අතර ඒ ඇල්ම යටපත් වුණා.

නාට්‍ය එක්ක ළක්‍රිවියේ තිබුණු බැඳීම ‘‘බාලයන් තුළින් නව ලොවක්‘‘ කියන ළක්‍රිවි දැක්මත් එක්ක බද්ධ කරගනිමින් නාට්‍ය කලාවත් එක්ක ඉදිරියටම ගිය දෙන්නෙක් තමයි ශානක මල්ලි (වෙන්නප්පුව), ජූඩ් මල්ලි. ( කුලියපිටිය) එයාල අද ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. රාජකදළුවෙ ලංකා ත් මේ මොහොතෙ මතක් වෙනවා. 


අවුරුදු පහකට විතර එපිට ශානක මල්ලිටත්, ජූඩ් මල්ලිටත් මහා ඕනෑකමක් තිබුණා ළක්‍රිවිය එක්ක නාට්‍ය කණ්ඩායමක් පටන්ගන්න. විශේෂයෙන්ම එයාල ලබා ගත්ත දැනුම ළක්‍රිවියත් එක්ක බෙදාගන්න. ‘‘අපිට මේ ගමන එන්න මුල් අඩිතාලම දැම්මෙ ළක්‍රිවිය. ඒ නිසා අපි ලබාගත්ත දේවල් ළක්‍රිවියත් එක්ක බෙදාගන්න එක අපේ යුතුකම.‘‘ එහෙමයි එයාල නිතරම කිව්වෙ.

ඉතින් මුල්ම සාකච්ඡාවන් හෙම කරලා ළක්‍රිවී අනුශාසකවරුන් එක්ක අපි වැඩේ පටන්ගත්තා. පළමු හමුවීම් තිබුණෙ ආඬිඅම්බලම සමාජ හා සාමයික කේන්ද්‍රෙය. ෆාද තිස්ස බාලසූරියගෙ මධ්‍යස්ථානෙ. ආරම්භක පියවරට ශක්තියක් වුණු එවකට ළක්‍රිවී ජාතික අධ්‍යක්ෂ ගරු ජෝ කුරේ පියතුමාවත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි. ආර්ථීක ගැටලු විසඳගන්න ගරු මේරියස් පියතුමා සහය දුන්නා. ප්‍රභාත් අයියා, පෝල් මල්ලි, මම ඇතුළුව විස්සකට එහා පිරිසක් එකතු වුණා. අපි නමකුත් දාගත්තා. ඒ තමයි ‘‘තලෙන්තු නාට්‍ය කණ්ඩායම‘‘ 

ජීවිතයට ලැබී තිබුණු තලෙන්තු කොයි තරම් වුණත් අපිට දිගටම තලෙන්තු නාට්‍ය කණ්ඩායම එක්ක ඉන්න බැරි වුණා. "අක්කා රඟපෑවෙ නැතත් කමක් නෑ. ලියන්න පුලුවන්නෙ. අක්ක අපි එක්ක ඉන්න." එයාල කිව්වෙ එහෙමයි. මමත් ආරම්භයෙදි පුදුමාකාර උද්‍යොගයකින් තමයි නාට්‍ය වැඩමුළුවට ආවෙ. ඒත් ටික දවසක් යද්දි ගමේ යන්න තියෙන සති අන්තය අහිමි වෙන බව දැනෙද්දි මගේ හිත පසුබාන්න ගත්තා. මාස ගණනක් ගතවෙද්දි එකිනෙකා හැලිලා නාට්‍ය කණ්ඩායමට ඉතිරි වුණේ කිහිපදෙනෙක්. 

නමුත් ශානක සහ ජූඩ් මල්ලිලා කිසි විටක තමන්ගෙ උත්සාහය අත්හැරියෙ නැහැ. ක්‍රමයෙන් ළක්‍රිවියට බාහිරින් තරුණ පිරිසක් මේ නාට්‍ය කණ්ඩායම එක්ක අත්වැල් බැඳගත්තා. ඉන්පස්සෙ කණ්ඩායමට නමක් තිබුණෙ නෑ. නමුත් එයාල දිගටම වැඩමුළු පැවැත්වුවා. අභ්‍යාස කළා. නිර්මාණ කළා. හෙමින් හෙමින් නමුත් බොහොම සාර්ථක ගමනක් ඉදිරියට ආවා. නාමල් ජයසිංහ සහෝදරයා අත්වැල් බැඳගැනීම නාට්‍ය කණ්ඩායමට ලොකු ආශිර්වාදයක් වුණා. මරදාන ළක්‍රිවි කාර්යාලය ඒ වෙනුවෙන් පහසුකම් සපයන නවාතැනක් වුණා. වත්මන් ළක්‍රිවී ජාතික අධ්‍යක්ෂ ගරු නිලූෂන් පියතුමා ඇතුළු ජාතික කාර්යාලය ලබා දෙන සහයත්, නිර්මල මරිය නිකායේ ප්‍රාෙද්ශාධිපති ගරු රොහාන් සිල්වා පියතුමාගේ දිරිගැන්වීමත් නාට්‍ය කණ්ඩායම මහත් කෘතවේදීව සිහිපත් කරනවා.

ඉතින් ඒ නමක් නැතිව ආව නාට්‍ය කණ්ඩායම Unnamed Theater Group නමින් දැන් කෙටි නාට්‍ය දැක්මක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ පෙබරවාරි 18 වෙනිදා සවස 3.30 ට සහ 7.00 බොරැල්ල පුංචි තියටර්හි දී.. 


ජූඩ් ක්ලෝඩියස් ගේ  ‘‘දාහක් දෙනවකෝ“, ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘, සමන්ත පරණලියනගේ ගේ ‘‘කිරිඅම්මා අවතාරය‘‘, ප්‍රදීප් ඇරෑගම ගේ ‘‘ආණ්ඩුවෙන් රස්සාවක්‘‘කෙටි නාට්‍ය ඒ අතර වෙනවා.  Unnamed Theater Group සමඟ කළ සංවාදයක් මේ. 

1.   මොකක්ද මේ Unnamed Theater Groupකියන්නේ?

දැනට අපි දකින බහුතර නාට්‍ය කණ්ඩායම් බොහෝ වෙලාවට කිසියම් අධිකාරියක් මගින් මෙහෙයවමින් යන්නක්. එක පුද්ගලයකු වටා හෝ සංවිධානගත ආයතන ව්‍යුහයක් තුළට ඒකරාශිවීමක්. Unnamed Theater Group මේ තත්ත්වයෙන් ඈත් වුණ එකක්. නාට්‍ය කලාව තමන්ගේ ප්‍රකාශන මාධ්‍ය කරගත්ත තරුණ තරුණියන් පිරිසක් තමයි මේකෙ ඉන්නේ. ඒක මෙහෙයවන්න කවුරුත් නැහැ. ඒක පවතින්නේ එකිනෙකාගේ වැඩ කිරීමේ උවමනාව මත. අපේ එකතුවේ පදනම වෙන්නේ ඒකම තමයි.

2.   මේ නමක් හදාගන්න කරන වැඩක් ද? නමක් නැතිව වැඩක් කරන්න පුලුවන් වාතාවරණයක් මේ මොහොතෙ ලංකාවෙ තියෙනවයි කියල ඔබ හිතනවද?

නමක් හදාගැනීමේ උවමනාවක් අපට නැහැ. නමුත් අපේ ප්‍රකාශන මාධ්‍ය වන නාට්‍ය කලාවත් එක්ක වැඩ කිරීමේ, අපේ සමාජ කියවීම බෙදා හදාගැනීමේ උවමනාවක් අපට තියෙනවා. ඒකට නමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. නමක අවශ්‍යතාව මතුවෙන්නෙ අපි කරපු නිර්මාණ ටික සමාජය ඉදිරියට අරන් යන්න ඕන වුණාම. මොකද වැඩේට වඩා නම වැදගත් කියල හිතන සමාජයක් මේක. කසාදයක් කරගන්න ගියාම කුලේ මොකක්ද? පරම්පරාව කොයි වගේද? ජාතිය, ආගම මොකක්ද කියල හොයන රටක නිර්මාණකරුවන්ට වුණත් එවැනි මිනුම්දඬුවලින් බේරිලා ඉන්න අමාරුයි. කොතරම් හොඳ නිර්මාණ කළත් අපෙත් ජාතකේ හොයයි නේද?

අපි එකතුවක් විදියට අවජාතකව බිහිවුණේ. මේ නිර්මාණ ටික ප්‍රේක්ෂාගාරයක් ඉදිරියට ගෙන යාමේ උවමනාව දැඩි නිසා මේ අවජාතක දරුවට නමක් දෙන්න උවමනා වුණා. ඉතින් අපි බොහොම උජාරුවට නමක් දාගත්තා. ඒ තමයි Unnamed Theater Group.

3.   නමක් නොතිබුණාට මේ වෙද්දිත් ඔබ සම්මානිත නාට්‍ය කණ්ඩායමක් ?

ඔව්. ඒක හරි.

පසුගිය වසර කිහිපය තුළ අපි කරපු නිර්මාණ පෙන්වා ගැනීමේ වේදිකාව බවට පත්වෙන්නෙ යෞවන හා රාජ්‍ය නාට්‍ය උළෙලවල් දෙක. අපි ඉදිරිපත් කළ හැම නිර්මාණයක්ම වගේ ඇගයීමට ලක් වුණා. ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘ නාට්‍යය 2013 යෞවන නාට්‍ය උළලේදී හොඳම නිෂ්පාදනය, හොඳම පිටපත, හොඳම අංගරචනය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම නළුවා, නාට්‍ය උළලේ තුන් වන ස්ථානය ආදී ලෙස සම්මාන ලබා ගත්තා. මෙම නාට්‍යයම 2014 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම පිටපත, හොඳම නිෂ්පාදනය, දෙවෙනි ස්ථානය ඇතුළු සම්මාන 6 ක් දිනාගන්නවා.

ඒ වගේම ‘‘කිරි අම්මගෙ අවතාරය‘‘ නාට්‍යය 2015 යෞවන සම්මාන උළලේ හොඳම නිළිය, හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන 03 ක් ලබා ගත්තා. ‘‘දාහක් දෙනවකෝ‘‘ නාට්‍යය 2015 යෞවන සම්මාන උළලෙදි හොඳම පිටපත, හොඳම අංග රචනය, හොඳම වේදිකා පරිපාලනය ඇතුළුව සම්මාන 04 ක් දිනාගන්නවා. 

සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කළා නෙවෙයි. නමුත් අපේ මහන්සිය යම් ඇගයීමකට ලක්වීම සතුටක්.

4.   18 වෙනිදා පුංචි පුංචි නාට්‍ය එකතු කරගෙන පුංචි රඟහලේ කෙරෙන වැඩේ මොකක්ද?

මේ මාසෙ 18 වෙනිදා අපි මේ කරපු නිර්මාණ කිහිපය වේදිකාගත වෙනවා. සම්මාන උළෙලකින් ලැබෙන සම්මානයකින් කුල්මත් වෙලා, ඒ වැඩේ එතනින් නතර කර දැමීමේ උවමනාවක් අපිට නෑ. කවුරුවත් අපට අනුග්‍රහය දක්වයි කියල බලාගෙන ඉන්නෙත් නැහැ. මොකද අපේ උවමනාව වුණේ මේ නිර්මාණ ප්‍රේක්ෂාගාරයක් වෙත ගෙන යාම. එහෙම නොවුණොත් වසර ගණනාවක අපේ සාමූහික කැපකිරීමෙන් වැඩක් නැති වෙනවා.

මේ සමාජයෙ ජීවත් වෙද්දි අපිට දැණුනු රිදුණු තැන් තියෙනවා. ඒ ගැන අපට කියවීමක් තියෙනවා. ඒ රිදුම, ඒ කියවීම තමයි මේ නිර්මාණ හරහා එළියට එන්නෙ. සමාජයත් එක්ක අපේ කියවීම ගළපගන්නෙ කොහොමද, ගැළපෙන්නෙ කොහොමද, අපට එකට ගමනක් යන්න පුලුවන්ද කියල ප්‍රායෝගිකව අත්හදා බලන්න තමයි මේ සූදානම.

පෙබරවාරි 18 වෙනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි රඟහලේ අපි කළ කෙටි නාට්‍ය හතරක් වේදිකාගත වෙනවා. ‘‘දාහක් දෙනවකෝ“, ‘‘කිරිඅම්මා අවතාරය‘‘, ‘‘ආණ්ඩුවෙන් රස්සාවක්‘‘ සහ ‘‘ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු.‘‘එන්න, ඇවිත් බලන්න, අපිත් එක්ක එකතුවෙන්නකියන ඇරයුම කරන්න කැමතියි.

5.   ලංකාවෙ නාට්‍ය කලාව පවතින්නෙ අගනුවර කේන්ද්‍ර කරගෙන, මේ තත්ත්වය වෙනස් විය යුතුයි නේද?

වේදිකා නාට්‍ය දැඩි උවමනාවෙන් බැලීමේ පුරුද්දක් අපේ රටේ මිනිස්සුන්ට නැහැ. කෙටි නාට්‍ය සම්බන්ධයෙන් තත්ත්වය තවත් බරපතලයි. කොළඹ තත්ත්වයත් ඒකයි. කොළඹින් පිටට ගියාම එහෙම පිරියක් වත් නැහැ. මේ තත්ත්වය වෙනස් කිරීම නිර්මාණකරුවන්ට විතරක් කරන්න පුලුවන් කාරණාවක් නෙවෙයි. ඒකට මුලු සමාජයක් සූදානම් විය යුතුයි.

අපි දියුණු නාට්‍ය කලාවක් පවතිනව කියන රටවල සමාජ තත්ත්වය ඒ විදියයි. ලෝකයේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නාට්‍යකරුවන් නාට්‍ය පෙන්නුවේ එහෙම සමාජයකට. ඒ නිසයි ඒ නිර්මාණ සමාජ පිළිගැනීමට සමාජ අවධානයට ලක්වෙලා ඒ විශිෂ්ඨත්වයට පත්වෙන්නෙ. ලංකාවෙ සමාජය තාම එතෙන්ට පරිණාමය වෙලා නැහැ. සමහර විට එතෙන්ට එන්න අපට සෑහෙන කාලයක් යාවි. ඒ යුගය එන තෙක් අපි මේ මොහොතේ වැඩ කළ යුතුයි. නැත්නම් ඒ අවස්ථාව තවත් ප්‍රමාද වේවි. අද අපි කරන දේ උපරිමයෙන් කළාම ඇති. ඒකට කොළඹ ද, කොළඹින් පිට ද කියන එක ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. දිගටම අපි හැමෝම වැඩ කරනවනම් කොළඹින් පිටතත් නාට්‍ය බලන ප්‍රේක්ෂාගාරයක් හැදේවි. ඒ වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙලක් සම්බන්ධව අපිත් හිතමින්, සාකච්ඡා කරමින්, සූදානම් වෙමින් ඉන්නවා.

6.   Unnamed Theater Group ඉදිරි ගමන කොහොම වේවිද?

ලොකු සැලැස්මවල් අපට නැහැ. අනික නිර්මාණ කිරීමේ හදිස්සියකුත් නැහැ. එකතුවක් විදියට අපි කොච්චර කල් වැඩ කරනවද, නොකරනවද කියල තීරණයකට ඇවිල්ලත් නැහැ. ඒ මොනව වුණත් මේ මොහොතේ වැඩ කිරීමේ දැඩි උවමනාවක හැමෝම ඉන්නවා. ඒකට හැමදෙනාම තමන්ගේ උපරිමය ලබා දෙමිනුත් ඉන්නවා. එකිනෙකා කරන කැපවීම මත තමයි අපේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඒක මේ අපේ එකතුවේ ඉන්න සාමාජිකයින්ගෙ කැපවීම පමණක් නෙවෙයි. නිර්මාණ අගය කරන, නිර්මාණ කළ යුතුයි විශ්වාස කරන, ඒ නිර්මාණ සමාජගත කළ යුතුයි කියල හිතන හැමෝගෙම වගකීමක්, කැපකිරීමක්. ඒ කාරණා මත තමයි අපේ ඉදිරිය තීරණය වෙන්නේ.

8 comments:

  1. නාට්‍ය කලාවට මමත් ආස උනාට ලොකුවට නාට්‍ය බලපු කෙනෙක්නම් නෙමෙයි. ඒ ඇත්තටම අවස්තාවක් ලැබුනේ නැති නිසා. මම හිතන්නේ රිදී තිරය පුංචි තිරය, හැම එකකටම වඩා නළු නිලියෝ උනත් වේදිකාවට තමා ආදරේ. ගොඩක් අය කියන්නේ එහෙම තමයි. ඇත්තටම ප්‍රේක්ෂකයින් ඉස්සරහා රියල් ටයිම් රඟපාන එක කොයි තරම් බැරෑරුම් කර්තව්‍යයක්ද?

    ReplyDelete
  2. කොයිතරම් දඟ දැම්මත් නමක් නැතුව පවතින්න බැහැ. නමක් නැති එකම නමක් වෙනවා. ඊළඟට කණ්ඩායමේ එක එක අයට නම් හැදෙනවා. එහෙම නැතුව පවතින්න මාධ්‍ය ඉඩ ලබා දෙන්නේ නැහැ.
    ඇත්තටම මේක නම් හදා ගැනීමේ සවිඥානික හෝ අවිඥානික අරමුණක මුල් පියවර.
    මම මේ කණ්ඩායමේ නාට්‍ය නරඹලා තියෙනවා. හැකියාවක් තියෙන කණ්ඩායමක් බව අවිවාදිතයි. එක ම උපදෙස මේ පාරිභෝගිකවාදී සමාජයේ යන ගමනක් දැනුවත්ව යා යුතුයි. නැත්නම් ගොදුරක් බවට පත්වෙලා තමා නතර වෙන්නේ.

    ReplyDelete
  3. අන්නේම්ඩ් කියල කියන්නෙත් සමහර විට ඉස්සරහට හොද ටැග් එකක් වෙන්න පුලුවං.
    අපි නාට්ටි වලට රගපෑවොත් ඉතිං ගහකට කොලේකට තමා
    අපේ නාට්ටි කෙරුවාව ඒ තරං හොදයි. හිහි
    හැබැයි ඉස්කෝලෙ කාලෙ හොද නාට්ටි පිටපත් කීපයක් රචනා කරල තියෙයි
    දැං නං අපි පට්ට මොට්ට ල නෙ හෙහ්.
    නාට්‍ය උලෙල සාර්ථක වේවා යන ගමන ජයෙන් ජයම වේවා..

    ReplyDelete
  4. නාට්‍ය කරුවන්ට ගොඩක් වැදගත් ලිපියක්

    ReplyDelete
  5. පහුගිය ටිකේ මටත් නාට්‍ය ටිකක් බලන්න ලැබුනා.ටෙනිසන් කුරේගේ ශිවම්මා-ධනපාල,දෙයියොත් දන්නේ නැහැ,චරිතේ හොරු අරන්.වගේ කිහිපයක් තමයි බලන්න ලැබුනේ.දෙහිවල ජයසිංහ රගහල අපිට කිට්ටු නිසාගැටළුවක් නැතුව බලන්න පුළුවන්.නැතිනම් අර 6.30 දර්ශනය බලලා එන්න ගියාම සමහර විට ප්ර්වාහන් ගැටළු එහෙම ඇති වෙනවා.

    තරුඅක්කාත් නිළියෙක්නේ හිටං....:)

    ReplyDelete
  6. සාර්ථක වෙන්න කියා ප්‍රතන කරනවා. හෙට නේද. කලින් දැක්ක නම් නෙලුම්යායෙත් දාන්න තිබුන.

    ReplyDelete
  7. මාර්තු මාසේ මොකක් හරි තියනවද? ලංකාවේ ඉන්න නිසා බලන්න යන්න

    ReplyDelete
  8. හොද වේදිකා නාට්‍යක් බලන්න මගෙත් ලොකු ආසාවක් කාලෙක ඉදන් තියෙන්නේ. බලමු ඒකට වෙලාවක් ආවොතින්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...