පිටු

Thursday, June 2, 2016

මා කිවිඳියක කළේ මගේ නිහඬ බවයි - විපුලි



ඉසුරුගේ ‘‘අප දෙදෙන මැද මහ මුහුද‘‘ කතිකාව පැවති දා එන්.එම්. පෙරේරාවේ කොරිඩෝරය තුළ ලී බංකුවක වාඩි වී විපුලි අක්කාත් මමත් පිළිසඳරක යෙදුණෙමු. එය බොහෝ සොඳුරු, ආදරණීය ජීවිත බෙදාගැන්මක් විය. අනෝරා මහ වැස්සක් කඩා වැටුණු ඒ මොහොතේ රෙකෝඩරයේ පටිගත වූ දෑට එපිටින් ගලා ගිය කතා ගඟ නිමක් නැත.

ඔබ වෙත මේ ගෙන එන්නෙ වැහි බිඳු ගාලගෝට්ටිය අස්සෙන් රෙකෝඩරයේ තැන්පත් වී මාතින් පිරිපහදු වී ‘‘ගගන‘‘ ට ලියැවුණු සංවාද සටහන ය. 



ඔබට කවිය දැනෙන්නෙ කොහොමද?

මට කවිය කියන්නෙ අමුතු දෙයක් නෙවෙයි. හෘද අභ්‍යන්තරයේ සියුම් ප්‍රකාශනය තමයි මට කවිය කියන්නෙ. එක්තරා කාලයක් යනකොට එය ජීවිතයේම ප්‍රකාශනය බවට පත්වෙනවා. කවිය ඒ විදියට  ජීවිතයට බද්ධ වුණාම ඉන්පස්සෙ සමාජයීය වශයෙනුත්, සංස්කෘතික වශයෙනුත්, දේශපාලන වශයෙනුත් මේ හැම අංශයකින්ම සූක්ෂ්ම නිරීක්ෂණයක් බවට පත්වෙනවා. එයින් උපදින සියුම් සංවේදනා තමයි අවසාන වශයෙන් කවිය විදිහට එළියට එන්නෙ.

අනූව දශකයේ මූලාරම්භයේ කවිය ඔස්සේ සමාජගතවුණු ඔබ දීර්ඝකාලීනව කවිය අත්නොහැර කවියෙහි පවතින කිවිඳියක්. ඔබේ කවියේ එළැඹුම, කවි ගමන් මඟ ආවර්ජනය කරන්නෙ කොහොමද?

දීර්ඝ උත්තරයක් ඉල්ලා සිටින ප්‍රශ්නයක්. නමුත් කෙටියෙන් කිව්වොත්, මගේ ළමා කාලයෙදි මං ඉතාම නිහඬ චරිතයක්. ඒ නිහඬතාව එක්ක මගේ ළමාවියේ පරිසරය තුළ මම විඳපු දේවල් ප්‍රකාශ කළේ මුලින්ම චිත්‍ර හැටියට. කාලයත් එක්ක මං නොදැනිම රිද්මයට ඇලුම් කරන්න පටන් ගත්තා. ඒවට ප්‍රතිචාර දැක්වුවා. ජන කවිවලට ඇහුම්කන් දුන්නා. ගොඩක් වෙලාවට අහම්බෙන් තමයි කවි ඇහුණෙ, තාත්තගෙන්, ආච්චි අම්මගෙන්. ජන කවිය ඒ කාලෙ මගේ ප්‍රියතම අංගයක්. මම විවිධාකාර විරිත්වලට ඇහුම්කන් දුන්නා. විරිත් රසයට මගේ හිත බැඳුණා. විවිධ රිද්මයන් මගේ හිතට ඇතුල් වුණා. මගුල් ගෙදර ගියාම එතන තියෙන රිද්මය, ආගමික ස්ථානයකට, පිරිත් මණ්ඩපයකට ගියාම එතන ඇහෙන විරිත, ඒ රිද්මයන්ට පුදුමාකාර බැඳීමක් තිබුණා. මට දැන් අහුවෙනවා මගේ නිර්මාණ ශක්තිය පුබුදුවන්න එතන කුමක් හෝ දෙයක් තිබුණ කියල. මං ඉංග්‍රීසි ළමා කවිවලටත් අතිශයින් ප්‍රිය වුණා. ඒ රිද්මයයි, භාෂාවට තිබුණු ඇල්මයි, නිරීක්ෂණය කළ දේ බෙදා හදා ගන්නට තිබුණු ඇල්මයි විසින් මා කවිකාරියක් කළා. මගේ නිහඬබවත් එයට හේතුවක් වෙන්න ඇති. එක්කො මං චිත්‍ර ඇන්ඳා. නැත්නම් ලිව්වා. ලිවීමෙදි වචන රිද්මයට ගැළපීම මට ලොකු වින්දනයක් වුණා. ඒක ප්‍රාතිහාර්යයක් වගේ මට දැනෙන්න ගත්තා.

මං නිහඬ නිසා කවුරුත් දන්නෙ නැහැ මගේ වැඩ. නමුත් දෙක, තුන පන්තිවලට එද්දි ගුරුවරු නිරීක්ෂණය කළා මගේ ලිවීම. තුනේ පන්තියට එද්දි මගේ කවිය එළියට පැනල ඉවරයි. එතනින් එහාට පාසල් වියේදි ඉතාම ස්වාධිනව, හුදකලාව ම මම මගේ කවිය පිළිබඳ ඇල්ම වැඩිදියුණු කරගත්තා. පාසල් අවදියෙදිම තරුණි පත්තරයටත් කවි ලිව්වා. එතනින් මට ලොකු ගැම්මක් ලැබුණා. මහා කවීන්ගෙ නම් එක්ක මමත් ඉන්නවා. 10 පන්තියෙ දරුවෙක් කියල මගේ කවියකුත් තියෙනවා. ඒ කවි ඇගයීමටත් ලක්වුණා. සුමනා සපරමාදු මහත්මියට ඒ ගෞරවය හිමි විය යුතුයි. ඇය සූදානම් කරල තිබුණා ප්‍රවීණ කවියන් ලවා කවි ඇගයීමක් කරන්න. එතනදි මගෙ සඳැස් කවි අගය කළා. ඒ කවි පිටුවෙන් මතු වුණු පිබිදෙන කිවිඳියක් විදියට මාව හඳුන්වල දුන්නා. පුවත්පත් කවි පිටුවල මගේ කවි පළවෙන්න ගත්තා. ඕක තමයි ආරම්භය.

මගේ මුල් ම කවි පොත ‘‘නික්මනක නිමිත්තක්. ඉන්පස්සෙ ‘‘සකුන්තලාවගේ චූල කාව්‍යයක් සහ ‘‘සැන්දැගැ”. දීර්ඝ කාලයකට පස්සෙ තමයි ‘‘රූ‘‘ කාව්‍ය රූපාවලිය එන්නෙ.



කවියන්ට සාපේක්ෂව ලංකාවෙ කිවිඳියන් හරිම දුර්ලභයි. ලාංකේය කවියේ ස්ත්‍රී භුමිකාව ඔබට දැනෙන්නෙ, ඔබ අර්ථ දක්වන්නෙ කොහොමද?

ඒකත් අර වගේම කෙටි උත්තර නැති ප්‍රශ්නයක්. අපි හැමෝම පුරුද්දට වගේ කියනවා ‘මොනිකා රුවන්පතිරණගෙන් පස්සෙ කිවිඳියක් නැත. කිවිඳියන් කුටුම්භය ඇතුළෙ සිරවෙලා. විවාහ වීම, දරුවන් හැදීම, ගෘහස්ත කටයුතු නිසා කිවිඳියන්ට කවි ලියන්න බැරිය කියලා. ඔය කියන අදහස්වලට එහා යන දෙයක් මා ළඟ තියෙන්නේ. ගෘහස්ත කාරණා සපුරමින් ම අනිත් දේවල් කරන කාන්තාවනුත් ඉන්නවනෙ මේ ලෝකෙ. රට පාලනය කරන අයත් ඉන්නවා. විදේශ සේවයේ නිරත වුණු අයත් ඉන්නවා. එහෙමනම් කවි ලියන්න බැරිකමක් නැහැනෙ. කවිය අතිශය සියුම් දෙයක් බව ඇත්ත. එතන තර්කයක් තියෙනවා. නමුත් ඒ සියුම් කවියටත් කැප වෙන කාන්තාවො ඉන්න එපැයි. ඒ කැපවීම නැතිවෙන්නෙ මට හිතෙන්නේ ගෘහස්ත කාරණාවලට වඩා කාන්තාව ජීවත්වන සමාජ පසුබිමේ තියෙන විවිධාකාර කාරණා නිසා කියලයි.

මම පෞද්ගලිකව දන්නවා ක්ෂේත්‍රෙයහි රැඳෙන්න හරි අමාරුයි. කිවිඳියකට ලැබෙන තැන, ඇගයුම, උත්තේජනය හරි ඩුයි. ‘කිවිඳියන් ඉන්නව ද? කිවිඳියන් ලියනව ද? වගේ ප්‍රශ්න මේ අධිකාරය තුළ මතුවෙනවා. කවියන් මතුවෙන තරමට කිවිඳියන් මතුවෙන්නෙ නැහැ. ඒකට සංකීර්ණ හේතු රාශියක් මට නම් කියන්න පුළුවන්. කිවිඳියකට පවතින්න අමාරුයි. පවතින්න උවමනා කරන වටපිටාව සකසල දෙන්නෙත් නැහැ. කොහොම හරි කඩා බිඳගෙන හොඳ කවි පෞරුෂයක් ඇතිව ආව වුණත් ඒ කවිය පවත්වගන්න වෙනත් නඩත්තුවක් අවශ්‍ය වෙනවා.  තමන්ටම කැපකිරීම් කරන්න වෙනවා. නැත්නම් පවතින්න අමාරුයි.

සමාජය වඩාත් ආදරණීය තැනක් බවට පත්කිරීමේ ක්‍රියාදාමයෙදි කිවිඳියකගේ භූමිකාව තීරණාත්මක ද? අභියෝගාත්මක ද? 

කවියෙක් හෝ වේවා, කිවිඳියක් හෝ වේවා අපේ පරමාදර්ශී වූ තැන තියෙන්නෙ එතැනයි. අපි ඇතුළාන්තයෙන් ඉන්නෙත්, වැඩ කරන්නෙත් එතැන. අපි හෘදයාංගමව හිතන්නෙ අනෙකාගේ යහපත. අනෙකා සහකම්පනය කරන්න අපි ලියන්නේ. අපි අපේ අත්දැකීම බෙදාගන්නෙත් අනෙකාව සංවේදී කරවන්න. කවිය කියන්නෙ පණිවිඩයක් දෙන එක නෙවෙයි. සහෘදයාව සංවේදී කරවීම තුළ ජීවත්වීමේ ආශාව දැල්වීම, ජීවිතයට ආදරණීය වන්නට පෙළඹවීම, ජීවිත අභියෝගයන්ට මුහුණ දෙන්න උදව් කිරීම, ජීවිතය ඥානනය කිරීම. කවියෙකුගෙ, කිවිඳියකගෙ වගේම සමාජයට ආදරයෙන් වැඩ කරන ඕනම කෙනෙකුගෙ අරමුණ. ස්ත්‍රීයක වශයෙන් සහජයෙන්ම ලැබෙන සංවේදීබවේ උරුමය, ධෛර්යසම්පන්න බව මෙතනදි වැඩි දායකත්වයක් ලබා දෙනවා වෙන්න පුලුවන්. කිවිඳියකගේ භුමිකාව කොතරම් තීරණාත්මක ද කියන එක හිතන්න වෙන්නෙ ඇය කවිය සමඟ ජීවිත අභියෝගයන්ට මුහුණ දෙන ආකාරය අනුව තමයි.

‘‘රූ කාව්‍ය රූපාවලිය ඔබේ නවතම කාව්‍ය සංග්‍රහය. රූ හැඩ රූ මැවුණෙ කොහොමද?

මම කවියට ප්‍රිය කරන අතරම වෙනත් කලා මාධ්‍යත් ඇසුරු කරනවා. සිනමාව, නාට්‍යය සහ චිත්‍රය ඒ අතර විශේෂයි. මගෙ හිතට හරි සමීපයි. ඒ මාධ්‍යවල තියෙන, ඒ භාවිතාව තුළ තියෙන රූපය මට ගොඩක් බලපානවා. කවිය ඇතුළෙ තියෙන රූපණය සහ රූපය ගැන මං ගොඩක් හිතනවා. මගේ කවිය තුළ ඒ බව ප්‍රබලව මතුනොවෙන්න පුලුවනි. ඒත් මං ඒ ගැන ගොඩක් හිතනවා. ‘‘රූ කාව්‍ය රූපාවලිය කියල නම් කරන්නෙත් ඒ හේතුවෙන්. ගැහැනියක් විදියට මේ දක්වා ජීවිතය තුළ මං ලබපු අත්දැකීම්, මං ඇසු දුටු දේ මගෙ කවිය තුළ තියෙනවා. මට දැනෙන විදියට ‘‘රූ කාව්‍ය රූපාවලිය යටින් ඒ ස්ත්‍රියකගෙ අනන්‍ය වූ ස්වරය මතුවෙනවා.

කවියේ අත, අත නෑර පවතින්නට මේ සංයමය සහ ධෛර්යය මතුවෙන්නෙ කොතැනින් ද?

උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ඒක ගැළවෙන්න බැරි තැනක් වෙන්න ඇති. අවංකවම කවියත් එක්ක ජීවත් වෙන කෙනාට, අවංකවම අනෙකාගේ කවිය රස විඳින කෙනාට කවිය අත්හරින්න බෑ. කෙනෙක් කියන්න පුලුවනි කිවිඳිය අසාර්ථකයි, කවිය ඉවරයි කියල. ඒව උපකල්පනය කරන මහ ප්‍රලාප. කවි ආත්මයක් ඇතුව අපි ජීවත් වෙනවා නම්, අපි අනෙකාගේ කවිය විඳගන්නවනම් අපි කවියත් එක්කම තමයි ඉන්නෙ. පහුගිය අවුරුදු හය පුරාම මම අනෙක් කවි කිවිඳියන්ගේ කවි වින්ඳා. අලුත් පරම්පරාවෙ කවිය එක්කත් මම රැඳුණා. මගෙ කවි ආත්මය සිඳුණෙ නැහැ. කවි ආත්මය විනාශ වුණේ නැහැ. කවුරු හරි කියනවනම් මගේ කවිය අවසන් වෙලා කියල ඒක හිතළුවක්. එවැනි කතා හරිම වේදනාකාරියි. මම කවිය තුළ දිනෙන් දින අලුත් වෙනවා. මම හැමෝගෙම කවි කියවනවා. ප්‍රවීණ වගේම අලුත් කවීන්ගෙත් කවිය මට ජවය දෙනවා ජීවත් වෙන්න සහ කවිය එක්ක පවතින්න. මට ගැටලුවක් නැහැ ආධුනිකද, ප්‍රවීණ ද කියන කාරණය. ආධුනික කවි කෘතියක් ඇසුරු කරද්දි මං මගේ මුලට යනවා. මමත් මෙහෙම ලිව්ව නේද කියල මට හිතෙනවා. ඒ කවි තුළිනුත් මම යම් වින්දනයක් ලබනවා. මම මහා කිවිඳියක් කියනව නෙවෙයි. මට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මං හැමෝගෙම කවි විඳිනවා. ඒ නිසා මගෙ කවි ආත්මය සිඳෙන්නෙ නැහැ. මං කවිය වෙනුවෙන් හැම විටම පෙනී ඉන්නවා.

කවියට අමතරව මම ළමා පොත් ලියනවා. ළමා පොත් ලියන්නෙ මම ළමයින් ගැන ගොඩක් සංවේදී නිසා. හුඟක් අය දොස් කිව්වා ළමා පොත් ලියනවා, මගේ කවිය නැතිවෙනවා කියල.  ඒ ළමා පොත් ලියල ලැබෙන කර්තෘ භාගයත් මම යොදවන්නෙ කවිය නඩත්තු කරන්න. අවංකවම කියනවනම් කවිය ඇරෙන්න කවිය නිසා බොහෝ දේ නැති කරගත්ත කෙනෙක් මම. පෙනි පෙනීම මට බොහෝ දේවල් කවිය නිසා මගහැරුණා. අතිසංවේදී වීම නිසා ජීවිතේ වැරදුණු තැන් තියෙනවා. හැබැයි අවසානයේ මට ඉතිරි වුණෙත් කවිය විතරයි. මං ජීවිතය බිලි දීල කවිය රකින්න යනවා කියල ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ. එහෙම රොමෑන්ටික්‍ අදහස් මගේ ළඟ නෑ. ජීවිතය සහ කවිය සූක්ෂ්මව බැඳුණට ඒ දෙක අතර වෙනසත් මං අඳුනගෙන තියෙනවා. කවි ලියන්නත් ජීවත් වෙලා ඉන්න ඕනනෙ. ඒ නිසා මගේ ජීවිතය පවත්වා ගනිමින් කවිය ජීවත් කරවන්න මං උත්සාහ කරනවා. 



15 comments:

  1. මට නම් හිතෙන්නේ කවීන්ට වැඩිය් කිවිඳියන් ඉන්නවා කියල. මෙතන ඇය කතා කරන්නේ පත්තරවල ලියවෙන නමක් හදා ගත්ත කිවිඳියන් ගැන. අන්තර්ජාලයේ මෙන්ම බ්ලොග් වලත් , එසේම පොත් පවා පල කල කිවිඳියන් ඕන තරම් ඉන්නවා. අගය කරන්නයි ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා අජිත් අයියේ.. මෑත කාලයේ සයිබර් අවකාශයත් එක්ක විශේෂයෙන්ම මූණුපොත, බ්ලොග් හරහා කිවිඳියන්ට මතුවෙන්න අවස්ථාව ලැබුණා. අන්තර්ජාල කිවිඳියන් ගොඩක් ඉන්නව වුණත් මුද්‍රිත අවකාශය ගත්තම කිරුල දරන්නෙ කවියන්.. ප්‍රමාණාත්මකව වගේම ගුණාත්මකව ගත්තත් මට හිතෙන්නෙ කවියන් තාම ඉදිරියෙන්..

      විපුලි අක්කා තවමත් අන්තර්ජාලය එක්ක ගනුදෙනු නොකරන කිවිඳියක්.. ඒ නිසා එයාට ඒ නූතන ම සයිබර් කිවිඳි පරපුර මුණගැහෙන්නෙ නැහැ.

      Delete
  2. සම්ප්‍රදාය කුඩු කරගෙන යන කෙල්ලෝ ටිකක් ඉන්න එක ආඩම්බරයි....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත... අලුත් කිවිඳි පරපුර තව තවත් හැදෑරීමෙන්, අභ්‍යාසයෙන් මුවහත් වේවි කියල මං හිතනවා. එයාල අලුත් තේමාවන්, වෙනස් අත්දැකීම් කවියට හසුකරගන්නවා... අපේ පරපුරට අත්හැරුණු සයිබර් අවකාශය අලුත් කෙල්ලන්ට ලොකු වේදිකාවක්... අපි ඉතින් දැන්නෙ සයිබරය එක්ක ගනුදෙනු කරන්නෙ...

      Delete
  3. දැන් ඉස්සරට වඩා කවි ලියවෙනවා.කවියේ ලොකු පිබිදීමක් තියෙනවා. අනුව දශකයේ ලියු බොහෝ කවියන් අද ලියන්නේ නැහැ. විපුලිට මගේ සුබ පැතුම්. මා ළඟ තියෙන පරණ පත්තර කවි පිටු වල ඇගේ කවිත් තියෙනවා. දවසක මේ හැමෝම හමුවෙලා කතා කරන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. මමත් උසස්පෙළ කරන කාලෙ පත්තර කවි පිටුවල විපුලි අක්කගේ නම නිතර දැක්කා. පසුකාලීනව ඇය දැන හඳුනාගන්නට ඇසුරු කරන්නට ලැබීම සතුටක්.. කිවිඳියක් වගේම ඇය හොඳ සහෝදරියක්. බින්දි ආයෙම එන කාලෙක කියන්න අපි හැමෝම එකතුවෙන්න අවස්ථාවක් හදාගමු.

      Delete
    2. අර තරු අක්කාගේ කවී සැන්දැව අපිට සන්විදානය කර ගන්න ඉඩක් තිබුනා නම් මේ හැම දෙයටම හොඳ අවස්ථාවක් වේවි.

      Delete
  4. හ්රුදාභ්යන්තරයෙන් එන සියුම් ප්‍රකාශනය තමයි කවිය කියා මේ කිවිඳිය කියන අදහසට එකඟයි.

    ලියන්නන් වාලේ නොලියන කෙනෙක් වුනාම, හරවත් කියා, නිරායාසයෙන් අපේ හදවතට දැනෙන්න ලිව්වම ඇති. අවුරුද්දකට එක වතාවක් ලිව්වත් ඇති, එවැනි හරවත් දේ.

    ReplyDelete
    Replies
    1. විචා........මටත් ඔය වගේ අදහසක් තමයි කියන්න හිතුනේ. අද මුද්‍රිත මාධ්‍යයේ සමහරක් කවි පිටු..ඔහේ හිටු ගානට යනවා. බ්ලොග්ස් නම් කමක් නැහැ, ඒ තමන්ගේම වු ප්‍රකාශන මාධ්‍යයක් නිසා.

      Delete
    2. මම ත් මුලදි හිතට එන හැමදේම ඔහේ ලියල දැම්මා. ඒත් කවි පොත කළාට පස්සෙ ලැබෙන ප්‍රතිචාර එක්ක කවිය ගැන, ජීවිතය ගැන ඊට වඩා ගැඹුරින් හිතන්න ඕන කියන කාරණය නිතරම සිහිපත් වෙනවා.

      ඒ සිතුවිල්ල ම මං වටේ සීමාවක් වෙලාද කියලත් හිතෙනවා. ඒත් හුදකලාව ලියමින් ඉන්නවට වඩා ලිවීම සමාජගත වෙද්දි ඒ ගැන වගකීමෙන් හිතන්න වෙනවා.

      Delete
    3. ඔබ තිදෙනාගේම කථා වලට එකඟයි...සමාජගත වන කවි ලියවෙනවා නම් එතැනදී අනිවර්යේන් කවියාට වගකීමක් තියනවා හරවත් යමක් ලබා දෙන්න..එහෙම උනාම සමහර වෙලාවට හිතන එන හැමදේම ඔහේ ලියල දාන්න බැහැ...මොකද කවියාට ආවේණික වූ ආකෘතියක් රසිකයින් විසින් ඉබේම ගොඩ නගා ගන්නවා..හරවත් නිර්මාණ කරන කෙනෙක්ගෙන් රසිකයින්ඔ ඔහේ ලියවුන වචන ගොන්නක් විතරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ..ඒක හොඳින්ම දැනෙන්නේ තනියෙන්ම නිර්මාණ කරණයේ යෙදිලා, පසුව සමාජගත උනායින් පස්සේ...

      Delete
  5. විපුලි අක්කාට සුභපැතුම්..

    මං හිතන්නෙත් නූතන තාක්සණය එක්ක ඉස්සරට වඩා කිවිදියන්ගේ පිඹිඳීමක් තියනවා....

    කවියට දුන්න අර්ථකථනයනම් අගෙයි...

    ReplyDelete
  6. ජීවිතය සහ කවිය සූක්ෂ්මව බැඳුණට ඒ දෙක අතර වෙනසත් මං අඳුනගෙන තියෙනවා. කවි ලියන්නත් ජීවත් වෙලා ඉන්න ඕනනෙ. ඒ නිසා මගේ ජීවිතය පවත්වා ගනිමින් කවිය ජීවත් කරවන්න මං උත්සාහ කරනවා.

    ReplyDelete
  7. යන්තම් කවියක් දෙකක් ලියු පමණින් කිවිඳියක් හෝ කවියෙක් වෙන්න තියෙන අවස්තාව දැන් වැඩියි ඉස්සරට වඩා. එය අවැඩක් මයි සිද්ද කරලා තියෙන්නේ. කිවිඳියන්ට ගජන්මන් නෝනාගේ කාලේ ඉඳන්ම අද වෙනකල් තියෙන්නේ එකම සැලකිල්ල. එය දිනාගන්න බැරි කුසලානයක් වගේ කියලා දකින්න වෙලා තියෙන්නේ.

    කවි සහ කාව්‍ය සංකල්ප සංවාද වලට විවෘත නොවෙන නිසාත්, පත්තරවල පිටු පුරා ඒවා වෙනුවට භූත කතන්දර ගැන ලියන්න පෙළඹෙන නිසාත් ඒවා අපෙන් ගිලිහිලා ගිහින්.

    සුබපතනවා එක හිතින්ම. දැන් ඉතින් මේ ලින්ක් එක බැලුවනම්...

    ReplyDelete
  8. මොන විදිහක හරි නිර්මාණකරුවෙක් බිහිවෙන්න ඕනම කරන දෙයක් ඇයගෙන් එළියට ඇවිත් තියනවා මම දැක්කා මේ ලියවිල්ලේ..සුබ පතනවා ඇගේ කවි ගමනට...

    //එතනින් එහාට පාසල් වියේදි ඉතාම ස්වාධිනව, හුදකලාව ම මම මගේ කවිය පිළිබඳ ඇල්ම වැඩිදියුණු කරගත්තා.///

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...