Thursday, June 30, 2016

සිහිනයක කෙළවර...

by vishalmisra


මුලින් ම කිව යුතුව ඇත්තේ මෙය සිහිනයක් බව ය.

ඊටත් පෙර මෙය කෙටි කතාවක් ලිවීමට මා දරන ප්‍රයත්නයක් බව ද කිව යුතුම ය.

කෙසේ නමුත් මේ සිහිනයකි. සිහිනයේ ප්‍රධාන චරිත තුනකි. මම, ඔබ සහ ඔහු ය. දැන් ඔබ සහ ඔහු, ඔබ කවුරුන්ද, ඔහු කවුරුන්ද, සිතා ගත නොහැකිව මහත් පටළැවිල්ලක් ඇති කරගනු ඇත. කුමක් කරන්න ද? මට ද එය නිශ්චිත නැත. වරෙක ඔබ ඔහු වේ. ඔහු ඔබ වේ.

සිහිනයට අනුව නම් අප සිටියේ විනෝද චාරිකාවක ය. කොහේදැයි නොදනිමි. සිහිනය ඇරඹුණේ ම රාත්‍රියෙනි. නිවාඩු නිකේතනයකිනි. අප සිටියේ රැයට මුහුණ ලා එහි ආලින්දයේ ය. සුළඟ අතිශය සිහිලැල් ය. නමුත් දාංගල් ය. සීතල සිමෙන්ති බිම ඇතිරූ ඇතිරිල්ලක තරු පිරි අහසට මුහුණ ලා අපි එක පෙලට නිදාගෙන සිටියෙමු. පවුලේ අයත්, හිත මිතුරනුත් එහි වූ බවට ඡායාමය මතකයක් ඇත.

මා සිටියේ ඔබ අසල ය. වසර ගණනාවකට පසු ඔබ කොහේදෝ සිට පැමිණ සිටියේ ය. ( එය කිසිසේත් විය නොහැක්කක් බව එවේලෙහි මට සිහිපත් වූයේ නැත. ) අපේක්ෂිත ආගමනය නිසා උද්දාමයෙන් පිම්බුණු සිතින් මා පොළවටම ඇලී ගියාක් බඳු ය. ඔබේ සිරුරින් නික්මෙනා සුවඳ මගේ නැහැතුඩුවල වැදී කිති කැවිණි. ඔබේ සුසුම් ස්වර මගේ හදවතේ ඇමිණිනි. අපි බොහෝ දෑ කතා කළෙමු. අපේ ඇස් තිබුණේ අහසේ ය. නමුදු අපේ සිත් තිබුණේ එකම ස්වරයක පැටලී එක දැහැනේ ය.

ඔහු ( ඔබ ) සිටියේ ඒ සයනාසන මිනිස් තීරුවේ ම මඳක් ඈතට වන්නට ය. බිරිඳ සහ දරු දෙදෙනා අතර මැද ය. ඒ ඇස් අතර සාංකාවක් කෙවෙමින් තිබුණා දැයි සිහිනය අතරතුරම වුව මා පිරික්සා බැලූ බව මතක ය. එකම විට උද්දීප්තව ද, සාංකාබරිතව ද මා මියෙන්නට ආසන්න වූවා වැනි ය.

වරෙක ඔහු මා අනෙක්පස වැතිරී උන්නේ ය. ‘‘එක් පසෙක ඔබ අනෙක් පස ඔහු. මා මැදින්. දෙන්න දෙපැත්තෙන් ශාන්ති මැද්දෙන්.‘‘ නමුත් මසිත කිසිදු ශාන්තියක් එවේලෙහි නොවූ බව නිසැක ය. දෙදෙනාගේම ඇස්වල සාංකාවන් නොතැවරෙන්නට දෙදෙනාටම හරි මැදින් දෙදෙනාටම අයත් නොවන, නමුත් දෙදෙනාටම අයත් වන නිශ්ශබ්ද තීරුවක සීරු මාරුවේ රැඳී සිටින්නට මා අපමණ උත්සාහයක් දැරූ බව මතක ය.

අප කතා කරමින් සිටියේ ඔබේ නව කතාවෙන් සිනමා සිත්තමක් ගෙත්තම් කරන අයුරු ය. එහි දර්ශන පටිගත කරන ස්ථාන, චරිත රඟන නළු නිළියන්, සංගීත අධ්‍යක්ෂණය මෙකී නොකී බොහෝ දෑ දෙපසින් මිදී මා හරහා හුවමාරු වන්නට විය. මම අසා සිටියෙමි. එවිට හමා ආ සුළඟෙහි කරදියෙන් පෙඟුණු ලුණු රසයක් කැලතී තිබිණි. අප නිදා උන්නේ සූරිය ගස් හෙවණැල්ලක සීතල ළවැල්ලකයැයි දැනෙන තරමට මුහුදේ ඝෝෂාව ඈතින් ඇසිණි.

මොහොතකට පසු ඔහු නැවතත් බිරිඳත් දරු දෙදෙනාත් අතර මැද තමන්ට වෙන් වූ ඉඩ තීරුව සොයා නික්ම ගියේය. ඉක්බිති නිහඬතාවකි. සුළඟේ මිමිණුමට පිළිරැව් දෙන, තුරු සිරි සිරිය අතරමැද තරු එළි නිවි නිවී දැල්විණි.

චාරිකාව නිමවූයේ ඔබේ ( ඔහුගේ ) නිවසිනි. එය විසල් අලංකෘත මැදුරකි. අප වෙනුවෙන් ඔබ නිවසේ සංග්‍රහයකි. බිරිඳත්, ඔබත් ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස දරනු මම දුර සිට බලා සිටියෙමි. මසිත බර වී තිබුණා මතක ය. සියල්ල සිදුවිය යුතු පරිද්දෙන්ම සිදුවෙමින් තිබියදීත් කුමක්දෝ අහිමි ව ගියාක් බඳු හැඟීමකින් දැවි දැවී මා ඔබ මොබ සැරිසැරුවෙමි. එවිට ඔහු සිටියේ කොතැනකදැයි මට මතක නැත. සමහර විට ආ දෙසටම නැවත හැරී ගියා වන්නට ඇත. නමුත් සමුගන්නා වගක් කී බවක් නම් මතක නැත.

ඉක්බිති ඇස හැරිණි. සිහිනයක් බව සිහිව හෝස් ගා හිත ඇවිළිණි. සිත සිත ඉන්නට වෙලාවක් නැත. ඇඳෙන් පැන කුස්සියට දිව ගියෙමි. වෙලාව හයට ආසන්න ය.

...............

කෙටි කතා පන්තියේ ( පන්තියක් ම නොවේ. වැඩමුළුවකි. ) පළමු දේශනය ප්‍රවීණ කෙටිකතාකරුවෙකුගෙනි. කිසිදු අලසබවකින් තොරව අසා සිටිත හැකිය. ඔහු කතාවෙහි දක්ෂයෙකි. කතා කලාවෙහි ශූරයෙකි. එබැවින්ම අතැඹුලක් සේ නිර්මාණකරණය ගැන කතා කරන්නට සමතෙකි. කෙටි කතාවක් නිර්මාණය කරන්නේ කෙසේද? පහදා දෙන්නට ඔහු තෝරා ගත්තේ අපූරු නිදසුනකි.

‘‘ඔයාල දන්නවනෙ ගල් විහාරය. ගිහින් ඇතිනෙ හැමෝම. ස්වභාවික පිහිටි ගල් තලාවක් හාරලා තමයි ගල් විහාරයේ ඒ අපූරු පිළිම නෙළල තියෙන්නෙ. ගල් තලාවන් ඕන තරම් තියෙනවා. ඒත් ඒ හැම ගල් පව්වකම මෙහෙම වැඩක් කරන්න පුළුවන් ද? බෑ...‘‘

ලේඛකයා ගල් විහාරය වර්ණනා කරමින් සිටිය දී මා සිතින් සිටියේ එතැන ය. හිඳි පිළිම, හිටි පිළිමය, සැතපෙන පිළිමය එහි සියුම් සිවුරු රේඛාවක් පවා නිරීක්ෂණය කරමින් පෑ ගණනක් ගෙවා දැමූ හැටි මතක ය. එතරම්ම මා ගල් විහාරය හා බැඳුණේ ඒ පිළිම නිසා ම පමණක් නොවි ය යුතු ය. ඒ නිස්කලංක වටපිටාව නිසා ද විය යුතු ය.

‘‘කවුරු හරි කෙනෙකුට මේ ගල් පව්ව දැක්කම මුලින්ම හිතේ අදහසක් ගොඩනැගෙන්න ඇති එය නිර්මාණයකට සුදුසු බව. ඒ ගැන දිගින් දිගටම හිතන්න ඇති. ඒ සංකල්පනාවලියෙන් බැහැර වෙන්න නොහැකි වෙන්න ඇති. ඉන්පස්සෙ සැලසුම් සකස් වෙන්න ඇති. ඒ සංකල්පීය අදහසට, දැක්මට ශිල්ප ඥානයත් එකතු වෙලා, මහා ශ්‍රමයක් තුළ තමයි ගල් විහාරය උපදින්නෙ. ගල් පව්ව විශාල ප්‍රමාණයක් අහිමි කරගෙන තමයි පිළිම, කැටයම් මතුවෙලා තියෙන්නෙ. කෙටි කතාවත් අන්න ඒ වගේ...”

මම සිතින් සිටියේ ෂාමීට් ගේ රන් රෝස මල ළඟ ය. ජීවිත කාලයක් පුරා කුණු කසල රොන් සුණු සුඟ බැගින් එක්කොට ඔහු තැනූ රන් රෝස මල. එය කිසිදිනක ඔහුගේ ප්‍රේමවන්තිය අත පත්කරන්නට නොලැබුණ බව සත්‍ය මුත් අදටත් ඒ ප්‍රේමණීය ශ්‍රමය අපේ සිත් තුළ රන් රෝස මල් උපද්දන්නේ නොවේද?



Jan Vermeer Painting

‘‘ගල් විහාරය තැනුණු ගල් තලාව වගේ තමයි කෙටි කතා කරුවාගෙ අත්දැකීම. නිර්මාණකරුවගෙ ශිල්පීය කුසලතාවය යොදවල බොහොම අරපරිස්සමට ඒ අත්දැකීමෙන් සාර්ථක නිර්මාණයක් කරන එක හරියට අර ගල් පව්ව හාරල, ගාණට ඔප මට්ටම් කරල පිළිමයක් නෙළනව වගේ වැඩක්. ඒකට හරි දැක්මක් තියෙන්න ඕන. සංයමයක් තියෙන්න ඕන. හැකියාවක් තියෙන්න ඕන. අභ්‍යාසයක් තියෙන්න ඕන. කෙටි කතා ලියන්න හැමෝටම බැරි ඒකයි. ලියන බොහෝ කතා, කෙටි කතා නොවෙන්නෙත් ඒකයි. කවියටත්, නව කතාවටත් වඩා කෙටි කතාව සියුම්. තියුණු යි. අත්දැකීම කියන ගල්පව්වෙන් කෙටි කතාව කියන සියුම් නිර්මාණය මතු කරගන්න ගල් වඩුවෙක් වගේ ලෝබ කමක් නැතිව බොහෝ දේ කපල කොටල අත්හරින්න පුලුවන්කම තියෙන්න ඕන.”

....................

ඉදින් මගේ ගල් පව්ව නැතිනම් අත්දැකීම පෙර කී සිහිනය ය. මම එයින් කෙටි කතාවක් නෙළන්නට වෑයම් කරමි. සැබවින්ම අසීරු ය. සිතුවිලි ඉසිර විසිර යයි.

....................

බොහෝ පමා වී ඇත. විසිරුණු සිහිනයක අතරමං වීමේ ප්‍රතිවිපාක තවමත් ලිප මත ගොජ දමයි. මම පලා මිට සීරුවට එක්කොට ලෑල්ල මත තබා කපාගෙන, කපාගෙන යමි. සිරිස්.... සිරිස්....

....... ඔයා අවසන් වතාවට මං දැක්කෙ 2009 ජනවාරි 12.

‘‘කෙල්ල, මේ හැංගෙන්න ඕන වෙලාවක් නම් නෙවෙයි. ඒත් ඉදිරියට කරන්න තියෙන කප්පරක් දේවල් වෙනුවෙන් පණ ගැටගහගන්න ඕනි. ඒ හින්දා ටික දවසකට වහන් වෙන්න වෙනවා. කවදා එන්න වෙයිද දන්නෙ නෑ..”

දුරුතු හීතල හැන්දෑවක හදිසියේ පැමිණ, හදිසියේ කියා දැමු ඒ වචනවලින් අනතුරුව ඔබේ හුස්ම පොදක්වත් හමුනොවුණි.

‘‘සාමය වෙනුවෙන් හඬ නැගූ සහෝදරයා අතුරුදහන්”

‘‘දේශද්‍රෝහියා රටින් පැන ගිහින්.”

‘‘ඩොලර් කාක්කො. නැති බංගස්ථාන වෙන එකමයි හොඳ.”

හැම කළු ජනවාරියකම අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි විටෙක කන්නලව්වක්, විටෙක තර්ජනයක්, විටෙක ප්‍රශ්නාර්ථයක් රැගත් පුවරුවක් අතැතිව ශිවකුමාරිලා, පාතිමා ලා සමඟ මම ද කොටුව දුම්රියපළ ඉදිරිපිට වැළපුණෙමි. නමුත් ඔබ පැමිණියේ නැත.

චිරිස්.........

‘‘ආහ්”

මහපටැඟිල්ල කරාමයක් සේ උතුරයි. ලේ... හැමතැනම ලේ...

...............

හැමදිනම වගේ මම අදත් මොහොතක් ඔබේ ඡායාරූපය අසල රැඳී සිටිමි.

...... ඔයා නැති වුණාට පස්සෙ ජීවිතේ හිස්වුණා. ඔයා කවද හරි එයි කියල මං බලන් උන්නා. මං උන්නෙ ඇවිදින මළ මිනියක් වගේ. එයා තමයි ඩිංගක් හරි හිතට හයියක් වුණේ. ඒත් එයාට එයාට ම කියල ගෙයක් තිබුණා. තනියෙන් ඉන්න අපේ ගෙදර හැමදාම උන්නෙ මං විතරයි. දැන් අපේ කෙසුත් සුදුවේගන. එයාගෙ ලොකු පුතා ළඟදි බැන්දා. එයා ළඟදිම සීය කෙනෙකුත් වෙයි. ඒත් ඔයා තාම තරුණයි. එදා වගේමයි. මං හීනෙන් දැක්කනෙ. කිසිදෙයක් වෙනස් වෙලා නෑ... ඒ හිනාව, කතාව, සුවඳ එදා වගේමයි... හරි පුදුමයි...


එදා ඒ අවසන් වරට සමුගත් දින විඩාපත් වත මත නොගිලිහී රැඳුණු තාරුණ්‍යයේ දීප්තිමත් සිනහව සිහිනය තුළ වුව ද ඔබ අත්නොහැර සිටි හැටි!!!
 
...............

මම කෙටි කතාව ලිවීම අත්හැර දමමි. ඒ සිහිනයෙහි එක් නිමේෂයක්, බැල්මක්, සුසුමක් වුව අත්හැර දැමිය නොහැක. සියල්ල ගුලි කොට සදහටම හදවතෙහි රැක ගත යුතු ය. ඉතින් මම කතාව ලිවීම අත්හැර දමමි.

සමාවෙන්න, ඉතින් මේ කෙටි කතාවක් නම් නොවේ. සිහිනයක් ද නොවේ. 


8 comments:

  1. කෙටි කතාවක් හෝ වේවා සිහනයක් හෝ වේවා හුදෙක් සිතිවිල්ලක් හෝ වේවා, ඔයා ලියන කතා එදා වගේම අදත් ආසාවෙන් කියවන්න පුලුවන්.
    තරූ අක්කේ ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එකකට කියල කියෙව්වෙ ඔයාගේ බ්ලොග් එක. ලස්සනයි.

    ReplyDelete
  2. සිහිනමය කෙටිකතාවක්.. තව ටිකක් සංස්කරණය වුණා නම් කියලා තැනකදි දෙකකදි හිතුණත් ඒක නොකිව යුතු දෙයක්.. සිහින සංස්කරණය කරන්නට බැහැ..

    ගල් විහාරය ගැනත් යමක් කියන්න ඕනෑ.හවස පහ හය විතර වෙද්දි, ඒ කියන්නෙ හඳ එන්න කලිනුත් - ඉර යන්න කලිනුත් අතරමැද වෙලාවකයි ගල් විහාරෙට යන්න ඕනෑ.බුදු පිළිමවලට මන්ද්‍ර එළියක් වැටෙන්නේ ඒ වෙලාවට.අන්න එහෙම වෙලාවක ගල් විහාරෙට ගිය දවසක මට පුදුමාකාර සැහැල්ලුවක් දැනුණා.වචනවලට පෙරළන්න බැරි විදියේ ආනන්දයක්-ආලෝකයක් දැනුණා.පැවිදි වෙන්න ඇත්නම් කියලා පළමු වරට හිතුණෙත් එතැනදියි..

    ReplyDelete
  3. ලස්සනයි,එක හුස්මට කියවූවා.

    ReplyDelete
  4. ලස්සනයි... ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
  5. හරිම සුන්දර නිර්මාණයක්...හිතට හුඟක් දැනුනා...

    ReplyDelete
  6. ලියනගේ අමරකීර්ති ගේ අටවක පුත්තු මතක් උනා.. ඔහු, 'ඔබ' සහ ඔබ කතාවට හොදින් මැදිහත් වෙලා තියෙනවා .. ගොඩක් දෙනෙකුට කෙටි කතා ලියන්න අමාරු දුක නැතුව අර ගලේ අමතර කොටස් කපලා ඉවත් කරන්න බැරිකම නිසා...

    ReplyDelete
  7. ගොඩක් ආසාවෙන් කියෙවුවා ...
    හරිම ලස්සනයි...

    වියපත් වෙන තුරුම ඔහු වෙනුවෙන් බලන් හිටපු ඇය ...!
    මොකක් උනත් සාර්ථකයි..හිතට දැනුණා

    ReplyDelete
  8. ඔබත්,ඔහුත් දෙදෙනාම එකෙකු වගේ.
    එක සිහිනයක් ගියපු දුර.සිහිනයෙන් අවදි වෙන්න අගිල්ලත් කපා ගන්න වුනා එහෙනම්.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...