පුංචි ම කාලෙ මගේ සුන්දර ම මතකය විසල් පොල්
වත්තක් මැද මැටි ගඩොල් බිත්ති බැඳල සුදු හුණු ගාපු, පොල් අතු හෙවිල්ලපු, සීතල
සිමෙන්ති පොළවක් තිබුණු පුංචි ගෙයක අම්මයි, තාත්තයි, ලොකු නංගියි එක්ක ගෙවපු ජීවිතේ...
අවුරුදු පහක් වෙද්දි ඒ ලස්සන වටපිටාව දාලා ගෙවල් පොකුරක් මැදට එන්න සිද්දවුණත් මං
හැමදාම ආදරය කළේ ‘කණු කැලේ‘ නමින් හැඳින්වුණු ඒ කැලෑබද ගෙදරටම යි. මගේ අතීතකාමය
කොතරම්ද කියනවනම් අන්තිමේ ඒ ළමා කාලෙ සුන්දර මතක කැටි වුණ බිමේ ම මගෙ ම කියල පුංචි
ගේ පොඩ්ඩක් හදාගෙන සතිඅන්තයේ හරි නිස්කලංකව ඉන්න ඉඩක් ලැබුණු එක වාසනාවක් කියලයි
හිතෙන්නෙ.
ගේ වටේටත්, ගුරු පාර දිගත්, අවට වතුවලත් අපමණක්
පිපෙන සීනු මල් (වල් ළූණු), පොඩිසිඤ්ඤමරං මල්, ගිනිසීරියා මල්, වැට මාර මල් විරල
අත්දැකීමක් නෙවෙයි. ඒත් එක දවසක ගමේ යද්දි පාර දිගටමත්, මගේ දුප්පත් මාළිගාව වටෙත්
එක යායට පිපිල තිබුණු පොඩිසිඤ්ඤමරං මල් දැක්කම මගේ හිත නතර වුණේ හිම බිමක. ඒ
වෙද්දි හිම වැටෙන රටවල ඉන්න මිතුරු මිතුරියන් හිම ගැන කවි ලියමින් උන්නා. හිම
පින්තූර වත් පොතේ සැරිසරමින් තිබුණා. ඉතින් මමත් කවියක් ලිව්වා මටත් හිම කියල.
‘‘අපේ
ගේ පිටිපස්සෙ පතහත් එක්ක පුංචි කැලෑවක් වැවෙන්න ඇරල තියෙන්නෙ.. ඒක මහා
ගෝටුල්ලක්... ගිනිතිල්ල, කිරිමදුවැල් තව නොදන්නා වැල් ගාල්වලින් වැහිලා...
මල් පිපෙනවා... ඒවට සමනල්ලු එනවා... චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා... ඒ නිසා කපල
දාන්න හිතෙන්නෙ නැහැ....
මේ
සති අන්තෙ ගෙදර යද්දි ඒ පොඩි කැලෑව පිරෙන්න පොඩිසිඤ්ඤමරං පඳුරුවල මල් පිපිලා...
සුදුම සුදු පාටයි... හිම වැටිල වගේ... ලස්සනයි... සමනල්ලුත් එනවා... ඒවයෙ මල් පැණි
තියෙනවද අනේ මන්ද? පාර දිගට ත් එහෙමමයි... මේ මල් පිපෙන කාලෙ වෙන්න
ඇති....
ඒ දිහා බලන් ඉද්දි හිතුණා අනේ මේ මල් පඳුරට වෙන ලස්සන නමක් තිබුණ නම් කියල...“
රංගි
ගෙ කමෙන්ටුවකට මං උත්තර බැඳල තියෙන්නෙ ඒ විදියට. ඒ මල් යාය ට හිම මල් කියන නම යෝජනා කළේ පොඩ්ඩි. ( පොඩි කුමාරිහාමි)
හිම මල් කියන්න අමාරු නිසා හිමාලි කියමුද? ‘‘යායට පිපුණම හිමාලියා කියමු” එහෙම යෝජනා කළේ අරූගෙ අඩවියේ අරූ (අරුණ).
.......................
අන්තිමේ ‘‘මටත් හිම‘‘ කවිය මගේ ‘‘තරු ඇස් රහස්‘‘
කවි පොතටත් එකතු වුණා. පුංචි සංස්කරණයක් එක්ක.
කවි පොත එළිදක්වන පොඩි උත්සවයක් ගමේ තිබුණා මේ
අවුරුද්දෙ ජනවාරි 16 වෙනි දා. එදා කබලෑ දෙවිගම ප්‍රජාශාලා වත්ත එළිපෙහෙළි කරල
තිබුණත් පසුබිමින් වුණ වත්ත (තල්කට්ට) සුපුරුදු විදියට ළඳු කැලෑ සළු පිළි එක්කම
උත්සවයට සහභාගි වුණා. වැටෙන් මෙහාට එබි එබී පොඩිසිඤ්ඤමරං මල් යායක් තිබුණා. හැබැයි
පාට වියැකෙමින්. හිම සේල ඇතිරිල්ලක තරම් කලඑළියක් තිබුණෙ නෑ. ඒත් සමහර විට එයාලට
සතුටු හිතෙන්නත් ඇති අපිත් ඔය පොතේ කවියක ඉන්නවනෙ කියල.
පොත ගැන කතා කළ නාමල් අයියගෙ ඇස්වලට ( මහින්ද
නාමල් ) ඒ මල් යාය සම්මුඛ වෙලා තිබුණා. එයා තමන්ගෙ කතාවදි පැමිණ හිටි අයගෙ අවධානය
ඒ මල් පැත්තට යොමු කරල විශේෂයෙන් ඒ කවිය ගැන කතා කළා.
‘‘හැම අවුරුද්දකම, හැමදාමත් ඔයාල මේ මල් දකින්න
ඇති. ඒත් ඔයාලට දැනුණද ඒ මල් ගැන මේ විදියට?‘‘ එයා සභාවෙන් ඇහුව ප්‍රශ්නයක්.
ඉන්පස්සෙ කවිය ගැන විග්‍රහයක් කළා. එදා ආව ගමේ බොහෝ දෙනෙකුට අදටත් මතක තියෙන මගේ කවිය ‘‘මටත් හිම.” පොඩිසිඤ්ඤමරං මල් දකින හැමවෙලාවකම එයාලට කවියත්,
මාවත් මතක් වේවි.
...................
මැයි පළමුවෙනිදා ගමේ හැමෝම පොදුවේ දානයක් දෙන
දවස. ස්වාමින් වහන්සේලාට දන් පිළිගැන්වීමෙන් පසුව ගමේ හැමෝමත් සප්පායම් වෙනවා. එදා
දානෙට ඇවිල්ල උන්නු නැන්ද කෙනෙක් හෙමිහිට මගෙන් මෙහෙම අහනවා.
‘‘දුවේ මං ඔයාගෙ කවි පොතක් නංගිගෙන් අරන් ගියා.
එදා කිව්ව පොඩිසිඤ්ඤමරං ගැන ලියල තියෙන කවිය මට හොයාගන්න බැරිවුණානෙ.”
සතුටත්, දුකත් මුසුවුණු අමුතු හැඟීමකින් මගේ හිත
බරවුණා. මං දන්නවා ඇය ස්වාමිපුරුෂයත් නැතිව, අසනීප දරුවෙකුත් එක්ක කුලීවැඩක් කරන්
තනියම ජීවත් වෙන කෙනෙක් බව. විශේෂයෙන් ඇවිත් සල්ලි දීල පොතක් අරන් ගිහින් කවියක් ගැන
හොයනව කියන්නෙ කොයිතරම් අපූරු දෙයක් ද? කොතරම් හිත කම්පනය කරවන මානුෂික කාරණාවක්ද?
‘‘නැන්දෙ ඒ කවියෙ මාතෘකාව ‘මටත් හිම‘ ඒ නමින්
බලන්නකො“
මමත් හෙමින් කිව්වා.
.....................
පසුගිය ජූනි 05 වැනි දා මීගමුව මාරිස්ටෙලා
විදුහලේ පැවති කවි පොත ගැන සංවායෙදිත් ‘‘මටත් හිම‘‘ කවිය සාකච්ඡාවට ලක්වුණා.
නාමල් අයියා ඒ ගැන කතා කළේ මේ විදියට.
‘‘මටත් හිම‘‘ මේ කවිය අතිශය සරල එකක්නෙ. මේ පුංචි දූල පුතාල
එක්ක මේ ගැන කතා කරන්න ඕන නිසයි මම මේ කවිය ගැන වැඩිපුරම කතා කරන්නෙ. මේ කවිය
ලියපු අක්ක හෝ නැන්දා කොළඹ ඉගෙන ගෙන හෝ රැකියාව කරල නිවාඩුවට ගමට යනකොට දකිනවා ගමේ
පුංචි පුංචි සුදු පාට පොඩිසිඤ්ඤමරං මල් වටේට පිපිල තියෙනවා. එතකොට එයා ඒක තමයි හිම
කියල දකින්නෙ. අන්න ඒක තමයි දැකීම. කුලියාපිටියෙ කබලෑ දෙවිගමට හිම වැටෙන්නෙ නෑනෙ
මළාට. අපි දන්නවනෙ. එතකොට එයා දකිනවා හිම බිඳිති, හිම බිඳිති. හැබැයි මේ හිම
බිඳිති ඉවර වෙලා අන්තිම කවිය ලිව්වෙ නැත්නම්!
කලෙකින් ගම් බිම් බලා එන මං
පිළිගන්න පේ වෙලා වාගේය දැන්
ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල එළාගෙන
සඳ සිනා සලා මඟ බලාගෙන
පිනි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
හිරු මියෙන හැන්දෑවෙත්
හිම බිඳිති හිමබිඳිති
සුදු මොට්ටු මල් කිනිති
දැන් කවිය මෙතිනින් නැවතුණා නම්, එහෙම වුණා නම්
මේ කවියට ලැබෙන වටිනාකම හරිම අඩු එකක්. එතනින් එහාට ගිහිල්ලා ‘දැන් මේ මොන ගහේ මල්
ද සුදු පාට’
කියල මේ කවිය ලියන අක්ක, නැන්ද කල්පනා කරනවා. ඒ කල්පනාව තුළින් තමයි දැකීම
උපදින්නෙ. මේ කවියෙ මුල් කොටසෙ ආනන්දය තියෙනවා, ඒකෙන් ප්‍රඥාවකුත් දෙන්න ඕන.
ආනන්දයේම ප්‍රඥාවකුත් තියෙනවා. ආනන්දයයි, ප්‍රඥාවයි වෙන් කරන්න ඕන නැහැ. දැන් ඔන්න
බලන්න අතනින් පස්සෙ මෙන්න මෙහෙම කෑල්ලක් මේ කවියට තියෙනවා.
පොඩි සිඤ්ඤො නැසුවාද
හැබෑටම
මේ හැටිම සුදු සිනා
සලාගෙන
කරුමයෙන් උරුමයට ආ නමක
වග වාසගම් රිදුම්
නොගෙනේද...
අන්න එතැනදි හිම බිඳිති වලින් එහාට ගිය හිතන්න
දෙයක්, මහා ප්‍රඥාවක් තියෙනවා. මේ සුදු පාට මල් පිපිල තියෙන්නෙ කොහෙද? පොඩිසිඤ්ඤ මරං
කියන ගස්වල. ඒ නම ඇහෙද්දි ගස් මිනිස්සු මරනවද කියල ප්‍රශ්නයක් එනවා. පොඩි සිඤ්ඤො
කියන කෙනාගෙ කකුලෙ ඇනිල මේ කෝටුවක් පොඩි සිඤ්ඤො මැරෙනවා. මෙච්චර ලස්සන මල් පිපෙන
ගහට ඇයි දෙයියනේ අපි එහෙම නමක් දැම්මෙ, නේද? ඕකෙ කෝටු ඇනුනු දාස් ගාණක් ඉන්නවනෙ.
මටත් ඇනිල තියෙනවා. මං මේ ඉන්නෙ. මං හරියට බය වුණා පොඩි සිඤ්ඤො මරං කෝටුව ඇනුණ
දවසෙ. ඇයි මැරෙනව කියලනෙ හිතන්නේ. කොහොමද මේ සිනා සලන මල් ගහ පොඩි සිඤ්ඤො මැරුවෙ. ‘කරුමයෙන්
උරුමයට ආ නමක වග වාසගම් රිදුම් නොගෙනේද‘ නම්, වාසගම් කොයි තරම් මිනිසුන්ව
රිදවනව ද?
රත්න ශ්‍රී විජේසිංහ කවියා ලියන්නෙ ගීතයක්
‘ලෙංචිනා මගෙ නංගියේ‘ කියල. එයා ඡන්දෙට ගියාම නම් මිනිසුන්ව රිදවන හැටි දකිනවා.
ඡන්ද පළේදි නම කියවෙන කොට අඩුකුලේ කියන අය කැළඹෙන හැටි දැකල තමයි ඔහු මේ ගීතය
ලියන්නෙ. නම් ගම් කොච්චර මිනිස්සුන්ව රිදවනවද? පුදුම විදියට රිදවනවා. අපි ගොඩක්
නම් දාල තියෙන්නෙත් නරක විදියට. අපට කුරුල්ලෙක් ඉන්නවා කැහිබෙල්ලා. කොච්චර ලස්සන
කුරුල්ලෙක්ද කියල බලන්න. ඒ නම ගැළපෙනවද? එහෙම
කරන්න හොඳ නෑ. අන්තිම නරකයි. රටේ බහුතරයක් සිංහල ප්‍රදේශවල දෙමළ සහෝදරයන් සිංහල
ඉගෙනගෙන සිංහල නම් දාගන්නවා. ඒ ජාතික සමඟිය වෙනුවෙන් නෙවෙයි. ඇයි ඒ නම් ගම්
මිනිසුන්ව රිදවන නිසා, ප්‍රතික්ෂේප කරන නිසා. ඒ සංස්කෘතියේ සුන්දරත්වයට කැමති අපට මේක
හරි වේදනාවක්. හිම බිඳිති අස්සෙ මේ අවසන් කෑල්ල එකතුවීමෙන් කවිය හුදු
සෞන්දර්යාත්මක කාරණාවකින් එහාට ගිහිල්ලා අපට මාර දේවල් හිතන්න පුරුදු කරනවා. අන්න
ඒක තමයි කවියේ ලක්ෂණය, කවියේ මෙහෙවර. අන්න ඒ දැකීම තමයි කවිය කවියක් බවට
පත්කරන්නෙ.
...................
විපුලි නිරෝෂණී සහෝදර කිවිඳිය ඒ ගැන අදහස්
දැක්වුවෙ මේ විදියට.
‘‘ඒ
වගේම මං හරිම කැමතියි ඇය ඉතාම සරල අත්දැකීම්වලට යනවා. ඇයගේ ජීවන වටපිටාවෙ තියෙන
අත්දැකීම් සරලව කියනවා මෙන්න මෙහෙම. මාතෘකාව ‘මටත් හිම‘
කාලෙකින් ගම්බිම් බලා
එන මං
පිළිගන්න පේ වෙලා
වාගේය දැන්
ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල
එළාගෙන
සඳ සිනා සලා මඟ බලාගෙන
පිනි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
හිරු මියෙන සැන්දෑවෙත්
හිම බිඳිති හිම බිඳිති
සුදු මොට්ටු මල් කිනිති
පොඩි සිඤ්ඤො නැසුවාද
හැබෑටම
මේ හැටිම සුදු සිනා
සලාගෙන
කරුමයෙන් උරුමයට ආ නමක
වග වාසගම් රිදුම්
නොගෙනේද...
පොඩිසිඤ්ඤමරං
ගහ ගැනයි කියන්නෙ. හැබැයි ඇය කියන්නෙ ‘මටත් හිම‘ කියල. ගෙදර එන විට දැනෙන ආස්වාදය,
උණුසුම්බව, පිළිගැනීම ඇය එය අර්ථ දක්වන ආකාරය. ‘හිම බිඳිති හිම බිඳිති - සුදු
මොට්ටු මල් කිනිති‘ ඇය පිළිගන්න මඟ බලාගෙන ඉන්නෙ. සරල අත්දැකීමක්. නිමිත්තක්.
නමුත් එය අපූරු නිමිත්තක්. පොඩිසිඤ්ඤමරං කියල කරුමෙට ලැබුණු නමක් තමයි තියෙන්නෙ.
මේ
පොඩි දරුවො පරිසරයට සංවේදී නම් දැකල ඇති පරිසරයෙ නම්වල හරි අපුරු ලස්සනක් තියෙනවා.
ඔබත් නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරගන්න කැමති නම් පරිසරයට, ගහකොලවලට සංවේදී
වෙන්න. ඒ තුලින් ඔබට දකින්න පුළුවන් මේ කියන අර්ථකථන. ඒ තුළින් අපූරු රූප මැවේවි,
අපුරු උපමා මැවේවි ඔබට. ඒව කොහෙන්වත් කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ. ඒව පැනනැගෙන්න අප
තුළින්මයි. අපේ අත්දැකීම් ඇසුරින් තමයි. පරිසරයත් එක්ක කුඩා කාලෙදිම අපේ කවිත්වය
වර්ධනය කරගන්න පුළුවන්. ඔබ පරිසරය එක්ක කරන සංවේදි ගනුදෙනුව එක්ක තමයි ඒ හැකියාව
බිහිවෙන්නෙ.”
ඉතින්
ඔන්න ඕකයි මගෙ හිම මල් යායෙ කතන්දරේ.
ඔයාගෙ කවි පොතවත්, ඔයා විටින් විට හදුන්වලා දීලා තියෙන පොත්වත් මට තාම කියවන්න වාසනාව ලැබිලා නෑ.
ReplyDeleteමේ කවිය වගේම කවියෙන් කියවෙන දෙයත් අපූරුයි. ඒක දැනෙනවා මහා වචන ගොඩකින් කියන දේකට වඩා. සරල පද ටිකකින්, සරල විදිහට ලොකු ගැඹුරක් තියෙන මෙහෙම කවි කියවන්න ලැබෙන්නෙ අඩුවෙන්. "පොකුරු වැහි" වගේම ඔබත් ඒ විරල හැකියාව ඇති කිහිප දෙනාගෙන් කෙනෙක්.
දැනටමත් කිවිඳියක් වෙලා තියෙන ඔබට දිගු ගමනක් යන්න සුබ පැතුම්! තරු රසී
ස්තූතියි සඳ වියමන්. ඔයා ඉන්නෙ ටෝකියෝව කිට්ටුව නම් මට ළඟදිම කවි පොතක් එවන්න පුලුවන්කමක් තියෙනවා. ඔය පැත්තට එන කෙනෙක් ඉන්නවා.
Delete‘‘මටත් හිම‘‘ ලියද්දි ඒ කවිය මෙතරම් දුරක් යයි කියල හිතුවෙ නැහැ මමත්..
කිට්ටුව කියන්නෙ තෝක් යොවෙම තමයි.
Deleteස්තූතියි ඔයාගෙ වචනෙට. මම තව මාස තුනයි දවස් පහකින් ගෙදර. එතකොට ඔය පොත් ඔක්කොම කියවන්න පුළුවන්
එහෙමනම් ආවම දෙන්නම්...
Deleteඇඳක පෙරලිලා යටි අතට, කකුල් දෙකත් පද්ද පද්ද කියෝපු කවි පොතක තලුමරන්න තිබ්බ කවි වලට වඩා තිබ්බේ විඳින්න දේවල්. මම තාමත් හොයනවා ඒ පොතේ අහුමුලු. මේක මම විශුවලයිස් කලේ මටම ආවේනික විදියකට. වැඩේ කියන්නේ වර්ණ එක්ක යමක් කියනකොට මම ගොළුවෙන එකයි. ඉතින් එක අකුරක්වත් , රේපයක්වත් ලියවෙන්නේ නැහැ. සමාවෙන්න මට ඒකට...
Deleteනුවර කුමාරි
අනේ නුවර කුමාරි අන්න අර බ්ලොග් එකේ මකුළු දැල් කඩා දාලා ආයෙම වාසයට එන්න.
Deleteඅපූරු සටහන..... සරල සිදුවීමකින් කියන ලොකු කතාවක්... ඒක ලස්සනට පැහැදිලි කරලා තියනවා නාමල් කියපු අයියා මාරිස්ටෙලා විද්‍යාලේ දී නේද....
ReplyDeleteසුභපැතුම් අක්කට... තවත් මේ වගේ නිර්මාණ කරන්න...
.
නාමල් අයිය ගමේදි කළ කතාව තවමත් මට ලැබුණෙ නැහැ. එදා දැක්වූ අදහසුත් එකතු කරන්න තිබුණා නැත්නම්.
Deleteස්තුතියි නංගි...
මේ බ්ලොග් අඩවයෙ මං දැකපු සුන්දර ම සටහන.. අර මුලම හරියෙ ලියවිලා තිබුණ ගම තෙල්සායම් පින්තාරුවක් වගේ. හොයාගෙන එන්න හිතෙනවා..!!
ReplyDeleteඔය කවිය මගෙත් මතකයේ රැඳුණු කවියක්.. වෙලාවක තරු ඇස් රහස් ගැන ලියන්න හිතන් උන්නත් තවම බැරි වුණා.. ඒ කවිපොත කියැවීම පවා මුනිවර සැනසුමක්..!
තවමත් අපේ පැත්තෙ ඒ ගැමිකම යම්තාක් දුරකට රැකිල තියෙනවා කියල හිතෙනවා වර්ෂා.. අපි පුංචි කාලෙ උන්නු ඒ ඉඩමෙ තමයි මම ගේ හැදුවෙ. ගොඩක්ම නිස්කලංකයි. ගෙදර ගිහින් ඉන්න වෙලාවට හරියට ආරාමෙකට ගියා වගේ සැනසීමක් දැනෙනවා...
Delete‘‘ඒ කවිපොත කියැවීම පවා මුනිවර සැනසුමක්..!‘‘ මේ වචන ටිකට හරිම සතුටු හිතුණා. මට ලැබුණු අගනාම ඇගයීමක්.. විපුලි අක්කත් කිව්වා නිස්කලංකව විඳින්න පුළුවන් කවි තියෙනවා කියල... ස්තුතියි වර්ෂා... පොත ගැන විශේෂයෙන් නොලිව්වත් මේ ටික ම ඇති...
තරු අක්කගෙ පොත ලඟ තිබුනත් තවම කියවගන්න බැරුව ගියා. මං පොඩි විවේකයක් ගන්නයි ඉන්නෙ මේව කියවගන්න.
ReplyDeleteමම පටිගත කරල දෙන්නයි හිතන් ඉන්නෙ. බලමු ඉක්මණින්ම.
Deleteමේ බාලොලියා මල් නේද? අපි පොඩි කාලේ කලෑවට වෙන්න ඔනේ තරම් තිබ්බා. අපි ගඳපාන වගේ නමක් කිව්වද මන්දා... මට හරියටම මතක නෑනේ.
ReplyDeleteමොනවා වුනත් තරුගේ පොත ගැන වෙන කතාබහ ගැන අවංකවම සතුටුයි.
(අපි ඉතින් කවි කියවන්න දන්න ඈයෝ නෙවෙයිනේ. )
මගේ කවි ගැන ගමේ අය කතා කරනව අහන්න ලැබෙන එක ලොකු සතුටක් රංගි. කවියට ආගන්තුක පිරිසකට ඒ ගැන හැඟීමක් ඇති කරන්න ලැබුණු එක ලොකු සතුටක්...
Deleteආයෙමක් කවි ගැන කතා කරන්න ගමේ වැඩසටහනක් කරන්න කියන ඉල්ලීම් ලැබෙනවා
ඔයාගේ පොත මම කියවල ඉඅවරයි. යමක් ලියන් හිතන් ඉන්නේ තවම වෙලා නැහැ. මගේ හිතේ ඔය ප්‍රශ්නේ ආව. මොන මල ගැනද මේ කියන්නේ කියල. පොඩි සිඤ්ඤෝ මරං කියල දන ගත්තේ දැන්. ඒ විචාරයත් හරිම අපුරුයි.
ReplyDeleteස්තුතියි අයියේ.. සමහර වෙලාවට මම කවිය ලියද්දි නොහිතුව තරම් ගැඹුරක් විචාරය කරන අය දකිනවා. නිර්මාණය සමාජගත වුණාට පස්සෙ නිර්මාණකරු පසුකරගෙන ලොකු දුරක් යනවා කියල මට හිතෙනවා.
Deleteහරිම සරල ඒ උනත් ගැඹුරු අදහසක් දෙන නිර්මාණයක් තරු...මෙහෙම කියවනවා ඇරෙන්න මේ එක කවි පොතක්වත් තාම කියවන්න ලැබිල නැහැ...මේ පාර ලංකාවට ආවම අරගෙන යන්න කවි පොත් ගොන්නක්ම...
ReplyDeleteඔයා ගමේදී විදින ඒ නිස්කලංක කමයි, ඒ අමුතු හැඟීමයි මම හරියටම දන්නවා...ඒක නිකම් භාවනාවක් වගේ හැඟීමක්...දැන් අවුරුදු 6 ක් තිස්සේ මොනවා ලැබුනත්, ඒ දේ විඳගන්න නැති අඩුව මැකෙන්නේ නැහැ...ඔයා ගම ගැන ලියන දේවල් දැක්කම මට හරිම ලෝබයි ඇත්තටම... :)
ස්තුතියි...
Deleteගම ගැන විශේෂ බැඳීමක් තිබුණත් මට නගරයත් සුන්දර තැනක්. මේ කොතනක වුණත් මට හමුවුණේ හරිම අපූරු මිනිස්සු. ඒ නිසා මම ගම නගරය දෙකටම ආදරෙයි.
වැඩි සද්ද නැති හුළගෙ සර සරයයි, කුරුළු හඬයි විතරක් ඇහෙන ගෙදරට වෙලා නිස්කලංකව ඉද්දි ඒකේ අමුතුම වින්දනයක්, සැනසීමක් නම් තියෙනවා ඇත්තටම.
තරු අක්කගෙ කවි පොත මේ දවස් වල කියවමින් යනව...ටිකකට නැවැත්තුව මොකද කවි හදිස්සියෙ කියවන්ඩ බෑ..හදිස්සියෙ කියෙව්වහම රහ නෑ...කියවල මොනව හරි ලියන්ඩ ඕනෙ...මට ඒ පොත ගොඩක් වටින එකක් මොකද කතුවරයගෙ අත්සන සහිත පොත් මං ගාව හරිම අඩුයි :)
ReplyDeleteඑදා නේද අපි මුලින්ම හමුවුණෙත්..
Deleteමටත් ඔය ලෙඩේ තියෙනවා කවි පොතක් එක දිගට කියවන් යන්න බැරිකම... හෙමින් තමයි කියවන්න ඕන. ලිව්වෙ නැතත් කමක් නෑ. කියවන්න.
http://www.welfordpark.co.uk/
ReplyDeleteඒ මල් නම් ඇත්තටම ‘‘හිම බිඳු මල්‘‘... හරිම ලස්සනයි.
Deleteඅවුරුද්දකට සුමාන දෙකක් පමණ තමයි අරින්නේ
Deleteඒකනෙ.. සකුරා මල් සමය වගේ.. ආසයි දකින්න.
Deleteදැනුණා දැනුණා හොඳටම දැනුණා.ඔයා මේ ලියල තියෙන්නේ මා ගැනත් එක්ක මගේ ජිවිතයේ පංගුවක්. මා නිතරම කියන පොඩි කාලයේ හිටි පොඩි ගෙදර මගේ ජිවිත කතා පංගුව.
ReplyDelete‘‘පොඩි කාලයේ හිටි පොඩි ගෙදර‘‘ ඒව හිතෙන් මැකිල නොයන සිහිනම ය සුන්දරත්වයක් ඇති අත්දැකීම්... වෙලාකට ඇත්තටම එහෙම වුණාද? නැත්නම් පුංචි කාලෙ මැවුණූ හීන ද කියලත් හිතෙන තරම්... නේද බින්දි?
Deleteතරුරසී, මේ වගේ සුන්දර ගම්මාන වල හැදෙන කවියට සංවේදි හිත් ඇති අය හැමදාමත් දකින පරිසරය ඇතුලේ වෙනමම ලෝක දකිනවා. ඔයා ලියලා තියන විදිහ හරිම ලස්සනයි.. මේ වගේ මතක අමතක වෙන්න නම් ඊට වඩා හදවතට දැනෙන පරිසරයක අපි ඉන්න ඕන.. ඒත් මං හිතන්නේ වරක් හිත පත්ලටම දැනුනු හැඟිම් අමතක වෙන්න නැ.. කවියයි මේ ලිපියයි දෙකම හරිම ලස්සනයි...
ReplyDeleteබොහොම තුති! නගරයට මං ආදරය නැතිව නෙවි. ඒත් ගමේ මතකය හිතේ සදාතනිකව ඇඳිල තියෙනවා. අනික මං තාමත් හැම සතිඅන්තයකම ගෙදර යනවනෙ. ඉතින් බැඳීම්වත්, මතකයවත් ගිළීහෙන්නෙ නෑ.
Deleteඅක්කගෙ පොත ගැන කියවලා ලියන්න හිටියත් තාම ඉස්පාසුවක් ලැබුණේ නැහැ. ඒ සමහරවිට මගෙ වචන වලින් ඒ කවි වලට අසාධාරණයක් වේවිදැයි කියලත් හිතෙන නිසයි..
ReplyDeleteසටහන හිතට දැනුණා..
මමත් කවි ගැන නොලියන්නෙ ඔන්න ඔය බය නිසාම තමයි. මගෙ අතින් කවියට අසාධාරණයක් වෙයි කියන හැඟීමට.. නොලිව්වට කමක් නෑ, වින්දනම් ඒ ඇති...
Deletesuperb post please read
ReplyDelete