පිටු

Tuesday, October 11, 2016

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි!!!





ගැහැනු දරුවන් නැත්නම් දියණියන් වෙනුවෙන් වෙන් වූ දිනය අදයි. ප්‍රථම වරට දියණියන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර්ජාතික දිනයක් ප්‍රකාශයට පත්කරන්නෙ 2012 වසරෙදි. ලොව පුරා දියණිවරුන්ගේ ජීවිතවලට විනාශය කැන්දන මෙබඳු කාරණා පිළිබඳ සමාජයේ විශේෂ අවධානය යොමු කිරීමටයි, කතිකාවක් ඇති කිරීමටයි මෙවැනි දිනයක් අවශ්‍ය වෙන්නෙ.

ලිංගිකත්වය පදනම් කරගත් වෙනස් කොට සැලකීම,

ලිංගික අපයෝජනයට, සූරාකෑමට ලක්කිරීම,

අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර හා පෝෂණය වැනි මූලික මිනිස් අයිතීන් පවා අහිමි කිරීම

ළමා විවාහ නිසා අවදානමට පාත්‍රවන ගැහැනු දරුවන්ගේ ළමාවිය

ඒ වගේම නවීන ලෝකය තුළ ජීවිත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්න ගැහැනු දරුවන් සවිමත් කරන්න ලෝක මට්ටමින් අවශ්‍ය පියවර ගැනීමත් මේ දිනය අපට අවධාරණය කරනවා.

2011 වසරේ නිව්යෝර්ක් නුවර පැවැත්වුණු කාන්තාවන්ගේ ජීවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 55 වන සභාවාරයේදී තමයි මුල්වරට මෙම යෝජනාව මතුවෙන්නෙ. ඉන්පසුව සංවිධානයේ සියලුම සාමාජික රටවල එකඟත්වයෙන් යුතුව මේ දිනය සෑම වසරකම ඔක්තෝබර් 11 දින සැමැරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තීරණය කරනවා.

කාගේ උණත්, අගුපැලක වීදියක මහා මැදුරක සිටියත් දියණියන්ගේ ජීවිත ගැන වගකීමෙන් හිතන්නට, ඒ ජීවිත සුරක්ෂිත කරන්නට අපි හැමෝම අවධානය යොමු කළ යුතුයි. දියණිවරුන් වෙනුවෙන් ගැයෙන මේ ගීත ඒ ගැන අලුත් සිතුවිල්ලකට, අධිෂ්ඨානයකට අප රැගෙන යාවි.

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනිවූ
බාලිකා ලොව මැලවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ පියාඹමින්
සිනා සිසී හිඳිනා
ඒ සිනා මා බොලඳ නෙතේ
උණු කඳුළක් කරනු එපා

මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා

පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - නීලා වික්‍රමසිංහ



කෑ ගසා පවසාවී
හිරුට හැකි වේ නම්
සිය නෙතින් දුටු දේ
ඉකි ගසා මුමුණාවී
මිතුරු වන සියොතුන්
යෙහෙළියට වූ දේ...

දැවී ළිප ළඟ වේල සරිකර
කඩපළට දී අලුයමින්
අඳුරු ලඳු මඟ ගෙවා අකුරට
දිවූ මුව පැටවී
කුරා කුහුඹුවෙකුටවත් වරදක්
නොකළ දියණියනේ
නුඹට සිදුවූ දේ...

ළපලු පත් බිඳ කුරුළු නෙත් සිඳ
දැමූ අසරණ අඩවියේ
රුදුරු නොමිනිස් දැලක සිරවී
හැඬූ අසරණියේ
අතු පැලේ පණ නලයි සිඳුණේ
දිරිය දියණියනේ
නුඹට සිදු වූ දේ.....

පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී




මගෙ දුවේ නුඹ අවදියෙන් නම් 

මේ රැයේ මිහිරි ම වෙලාව යි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹට ම යි
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාව යි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාව යි 
මේ පොළව කොතරම් සුන්දරද
මගෙ දූත් තනියම හිනාවෙයි

ගන කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැති යි
ලොව දුන්නු දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතු යි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොව ම ඔබටත් ආදරෙයි

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ


දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑවුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි..

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹේ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරි වෙයි..

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහඩිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
ගෙනියන්නෙ ඒ අභිමානයයි

ගායනය- සුනිල් එදිරිසිංහ
පද රචනය- බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය- ආචාර්ය රෝහණ වීරසිංහ




22 comments:

  1. Replies
    1. මමත් කැමති, විවිධ වැඩවලදි කතා කරල තියෙන ගීත කීපයක්...

      Delete
  2. අපූරු සින්දු ටික.නමුත් පුතුන් වෙනුවෙන් අගෝස්තු 11ත්,දූවරුන් වෙනුවෙන් අද දිනයත් පමණක් වෙන් කරනවාට නම් වැහි දැරිවි කැමති නෑ.හෑම දිනයක් ම දරුවන්ගේ දවස්..

    අනිත් අතට මේ වෙද්දි ලෝකය වෙනස් වෙමින් යනවා.දූ පුතුන්ට සමාන ව සලකන කාලයක් උදා වෙමින් තියෙන්නෙ.එය එසේ වනු පිණිස,දූවරුන්ට ශක්තිමත් ව ජීවත් වීමට සලස්වනු පිණිස කාලය උදා කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ නැත්නම් ලෝකයේ වටිනාම දේවල් වෙනුවෙන් දිනයක් විතරක් වෙන් කරන එක ප්‍රමාණවත් නැහැ. හැම දවසක්ම අයිති දරුවන්ට. එහෙම තමයි විය යුත්තෙ. ඒක ඇත්ත...

      නමුත් මෙවැනි දිනයක් නම් කිරීමෙන් ඒ ගැන විශේෂ අවධානයක් යොමු වෙන එක හොඳයි... කිසිම හැඟීමක් දැනීමක් නැති මිනිස්සුන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇනල පෙන්නනව වගේ දෙයක් වෙන එක වැදගත් කියල හිතෙනවා වර්ෂා...

      Delete
  3. ////
    මේ මිහිරි දේවල් නුඹට ම යි
    සේපාලිකා මල් බිමට බැහැලා
    ඇවිදින්න යන වෙලාව යි

    නිල් තාරකා බිම බලාගෙන
    වැව් දියට පෙම් බැඳි වෙලාව යි
    මේ පොළව කොතරම් සුන්දරද
    මගෙ දූත් තනියම හිනාවෙයි

    ගන කළුවරට අප පෙම් කළොත්
    ඉර හඳ තරුවලට ණය ගැති යි
    ලොව දුන්නු දේවල් අද අපට
    හෙට ලොවට පෙරළා දිය යුතු යි

    ඔබ මේ ලොවට ආදරේ නම්
    මුළු ලොව ම ඔබටත් ආදරෙයි
    /මගෙ දුවේ නුඹ අවදියෙන් නම්
    මේ රැයේ මිහිරි ම වෙලාව යි
    දොර ඇරන් එළියට ආවොතින් ////////

    ///ගන කළුවරට අප පෙම් කළොත්
    ඉර හඳ තරුවලට ණය ගැති යි /////
    පොඩ්ඩක් ඩෝප් තරු. ගණන් ගන්න එපා. මම හිනාවෙන්න ආසයි. මම නෙමේ දරුවන් හිනාවෙනවා බලන්න අපි කවුරුත් ආසයි. දූවරු තමයි රජවරු. ඒ කිව්වේ රජ අරුතෙන් නෙමේ හොඳේ. මට සහ ඇයට (මා සිපගන්නී සහ මා රැකගන්නී..මගේ ආදරණීය යක්ෂනී...සහ මගේ ජීවිතය )ඔක්කොටොම කියලා ඉන්නේ එක දුවයි. කෝදුවයි. එයා අපි දෙන්නටම වඩා හරි ප්‍රගතිශීලියි. හරි ඉදිරිගාමියි.

    අපේ දූ සහ සියලු දූවරු වෙනුවෙන් තරු ලියු මේ අකුරු කෙරූ ලිපියට අපේ ආචාරය!!!!!. මේ පෝස්ට් එක මහා සීතල දවසක ලැබෙන උණුසුම් කෝපි කෝප්පයක් වගේ (බ්‍රැන්ඩි සහිතව )... This is our salute!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණ අයියේ... දූලට අප්‍රමාණව ආදරේ කරන තාත්ත කෙනෙක් මටත් ඉන්න නිසා තේරුම් ගන්න පුලුවනි.

      Delete
  4. අපූූරුයි තරුරසී.
    මගේ දියණිය ගැන මා ලියූ ගීතයක් වගේ කවියක් මේ. (aluthaupankavi.blogspot.com)

    නුඹේ මේසය අතැර දමමින් - මගේ මේසය වෙතට අවුදින්
    ජීවිතේ මුල් අකුරු අමුණන දියණියේ
    ඉඩ ලබා දී නුඹේ අකුරට - තිත තබාගෙන මගේ වැකියට
    නික්ම යමි මේසයෙන් ඉවතට දියණියේ

    ජීවිතේ බෝ අකුරු ලියැවුණු - බිඳුණු හීනෙක කඳුළු කැටිවුණු
    අකුරුවල බර හඳුනනා රළු මේසයේ
    නුඹේ සියුමැලි අැඟිලි තුඩගින් - ලියැවෙනා මුදු අකුරු අතරින්
    ජීවිතේ දිගු පාර සොයනා දියණියේ

    සටන්බිම් වෙත සවිය මෙලවුණු - අතරමඟ අවි අතින් ගිලිහුණු
    අකුරු ගිනිගෙන දැවී අළු වුණු, මේසයේ
    මිනිස් ගුණ නැණ සුවඳ හඳුනන පණකුරක් වී හෝඩියේ
    ජීවිතේ ගැන අලුත් කවියක් ලියනු හෙට දින දියණියේ


    ReplyDelete
    Replies
    1. ලස්සන ගී පද රචනයක්නෙ... ගීතයක් විදියට එළිදක්වන්න අදහසක් නැද්ද?

      Delete
    2. එහෙම අදහසක් තිබෙනවා තරු. බලමු ඉදිරියෙදි...

      Delete
  5. දෝණිලා වෙනුවෙන් ලියැවුනු ගීත අතරින්, මම ආසම ගීතය මෙන්න මේක.

    සිරිමා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ
    දස මර සේනා දිනූ බෙලෙන්
    ජයපැන් කරඬුව දෝත දරා
    නිදන්න දූ කුමරී

    බක්කුල මහ තෙරිඳු බෙලෙන් - නිදුක් නිරෝගී වේවා
    සූවිසි මුනිඳුන් පින් මහිමෙන් - නිරතුරු ආයු වැඩේවා
    අසූ සාර දහසක් දම් තෙද කඳ - සෙවණ දෙවා සුරකීවා

    සිරි දළදා සමිඳු නමින් - ළතෙත් ගුණය ඉතිරේවා
    වම් සිරිපා රන් පද්ම බෙලෙන් - අනන්ත නුවණ වැඩේවා
    මහා සීවලී මහිමි අනුහසින් - ඉසුරු සැපත් බෝ වේවා

    පද රචනය: ආචාර්ය අජන්තා රණසිංහ
    තනුව හා ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී අක්කෙ බෙදා ගත්තට.. මේ සින්දුව ඩවුන්ලෝඩ් කරගත්තා.සිරි දළදා සමිඳු නමින් කියන තැන ඉඳලා පද ටික ගොඩක් ම දැනෙනවා.

      Delete
  6. කුමාරදාස සපුතන්ත්‍රී තමන්ගෙ දියණිය සුහර්ෂී නමින් ලියූ ගීතයක් මේ... අහන්න ලැබිල නම් නැහැ.
    සුහර්ෂී

    පුංචි පුංචි මල් පිපිලා
    බිංදු බිංදු පැණි පිරිලා
    රංචු ගැහී කුරුළු පැටව් සින්දු කියනවා
    ගේ වට සමනළ පිහාටු මිදුලේ වැලි කෝම්පිට්ටු
    පුංචි දුවට ඇහැරෙන කල් බලා ඉන්නවා

    රුව ලස්සන අඩුවුණාට
    රන් කහවණු හිග උනාට
    දූට මගේ හොඳ ලස්සන හිතක් තියෙනවා
    ඒ ලස්සන හිත පිපිලා බිංදු බිංදු පැණි පිරිලා
    උපන්බිමේ හතරකොණේ සුවඳ බෙදනවා

    හිත නළවන ගී සීපද
    හතර අතින් ඇහෙයි දිනක
    එපා දුවේ ඇහිපියන්න නුඹ රැවටෙනවා
    ඇහැකණ නොපියා හිටියොත් මුලූ ලෝකෙම අතට අරන්
    අදට වඩා සතුටින් හිනැහෙන්න ලැබෙනවා

    ගායනය - ටී.එම්. ජයරත්න
    තනුව සහ සංගීත නිර්මාණය - රෝහණ වීරසිංහ
    ගී පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී

    ReplyDelete
  7. මගේ දියණිය සිහිවුණා!
    මේ ඇය දියණියන් ගේ දිනය වෙනුවෙන් ලියූ ලිපියක්:
    http://www.stuff.co.nz/world/85229764/Unicef-These-photos-prove-how-much-education-can-change-a-girls-life


    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියෙ මේ ලිපිය බෙදාගත්තට... ලෝකයේ දසඅත දූවරුන්ගෙ ඉරණම ගැන දුවගෙ ලිපිය හරිම වටිනවා. මම ඒකෙ මූණුපොතේ බෙදාගත්තා.

      Delete
  8. මේ ගීතය උපුටා ගත්තෙ තුන්කල් ගී දැහැනින්- සන්ධ්‍යක්කට ස්තූතියි.

    ගායක ගායිකාවන්,ගේය පද රචකයන් සිය දූ දරුවන් වෙනුවෙන් ගීත ගායනා කිරීම මෙන්ම , ගීත පද රචනය ද සිදු කර තිබෙනවා...
    මේ ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් විසින් පද රචනය කර ඇත්තේ චිත්‍රා සෝමපාල හා පී.එල්.ඒ සෝමපාල යුවළගේ එකම දියණිය වන පියුමි වෙනුවෙන්....තනුව හා සංගීතය වික්ටර් රත්නායකයන්ගේ...
    පුංචි පුංචි තරු කැට මැද
    දිලිසෙන සඳ වත
    තරු මොකටද සඳ මොකටද
    මට මගෙ දුව ඇත...
    සිනහ වෙන්නෙ ඉඳ හිටලයි
    ආඩම්බර කම
    නිදා වැටෙයි මා නැතිනම්
    ඒ නිදිමත නැත
    මගේ කුඩා කාලය සිහි
    කරන ඇගේ වත
    පුතුන් සතර දෙනෙකුට නැත
    එක දුව ළඟ ඇත...
    තිලක තබා නළල් තලේ
    හැන්දෑවට හැඩ
    වැලි බත් මුට්ටියට තමයි
    ඈ ඇති තැන වැඩ
    මුළු ගෙදරම හරි පාළුයි
    නැති කල ඇගෙ හඬ
    පුතුන් අතර පියුමි දුවේ
    හද තුළ ඉඩ ඇත...

    https://www.youtube.com/watch?v=Sey-6E0o8mQ

    ReplyDelete
    Replies
    1. අහලා නොතිබුණු සින්දුවක්.. අනේ.. පුදුම ලස්සනක් අක්කේ.. ස්තූතියි ගොඩක් බෙදා ගත්තට..

      Delete
  9. තවත් මතකයට නැගුණු ගී කිහිපයක්...

    බනින්නෙපා පොඩි දෝණිට - වික්ටර් රත්නායක
    පිපුණු මලේ රුව එමල දනී දෝ - නන්දා මාලනී
    දිල්හානී දුවනී - ඉන්ද්‍රාණි පෙරේරා
    සුවඳයි මුවේ මල්පැණී
    හෙමින් සැරේ පා තබනා දුවේ හර්ෂණී - මිල්ටන් මල්ලවාරච්චි
    දූ අනුරාධා - සනත් නන්දසිරි
    රත්තරන් දුවේ - රෝහණ විරසිංහ-නන්දා මාලනී

    ReplyDelete
  10. දීපිකාගෙ ගීතය ඇහුවෙ අද. ස්තූතියි තරු අක්කා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි.. මගෙත් හිත පාරවපු ගීතයක් ඒ... සේයා, ඉසප්‍රියා, විද්‍යා, සඳමාලි, මනම්පේරි......... ඔක්කොමලව මතක් වෙනවා. ඒ වචන ඇහෙද්දි.

      Delete
  11. අපි හිතනවා, උද්ඝෝෂණ කරනවා, සටන් කරනවා, සම්මේලන තියනවා, පෙළපාලි යනවා, කාන්තා අයිතිවාසිකම් දිනාගන්න. නමුත් මම මෙතැන කොම්පියුටර් කොටන අතරේ, අපේ උන්දැ උයනවා, රෙදි හෝදනවා, මිදුල අතුගානවා.

    අන්න ඒක තමයි ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි ඇත්ත, ගැහැනිය ඒ හැම වැඩක්ම සතුටින් කරාවි ආදරය, සැනසීම පිරුණු පවුල් ජිවිතයක් ඇතුළෙ.. එහෙම නැත්නම් ඉතින් දුකක් තමයි...

      Delete
  12. දූලා දෙන්නෙක්ම ඉන්න නිසා මටත් හැඟෙනවා මේ දේ නැඟී. සින්දු ටිකටත් ස්තුතියි. දුවල දෙන්නේක්මද ඉන්නේ කියල නිතර අහන අපේම උන් නිසා මේකත් ලිව්වා.
    https://kolambagamaya.blogspot.co.uk/2016/07/blog-post_13.html

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...