පිටු

Thursday, April 28, 2016

සසර සැරිසරන තෙක් ඔබ මගේ... ඔබ මගේ...


අවුරුදු නිවාඩුව ගත උණේ ගමේ පුංචි පැංචියන් එක්ක. විශේෂයෙන්ම චන්දු පුතු එක්ක. පාන්දර ම ඇහැරින එයා කෝලම් දදා ඉන්නවා. යාම්තං හය වෙද්දි කාගෙ හරි අතකට පැනලා එළිමහන් සක්මනට යන්නයි කල්පනාව. මං ගෙදර උන්නු දවස් ටිකේ මාව දැක්ක ගමන් හිනා කටක් පුරවන් අත් දෙකම දිගු කරන්නෙ මම්ම වගේම එයත් රස්තියාදුවට කැමති නිසා... එයා වඩාගෙන ඇවිදින එක, කකුළෙ තියන් නළවන එක තමයි මගේ නිවාඩුවෙ ප්‍රධානම රාජකාරි වුණේ.

ළා පින්නෙන් හාත්පස සිසිල් වුණු හිමිදිරියක මම චන්දුත් වඩා ගෙන පාර අද්දර සක්මන් භාවනාවක... පාරෙන් එපිට ප්‍රජා ශාලා වත්ත. මේ ඉසව්වෙ ගිරව්, පොල්කිච්චො, මයිනො, කොබෙයියො, කහ කුරුල්ලො, චූටික්කො, කොට්ටෝරුවො අඩුවක් නෑ. අයියලගෙ කැන්ද ගහ කුරුලු නිවහනක්. පුතා හරිම ආසයි සත්තු දිහා බලන් ඉන්න. එදා ගෙඳ පඳුරුවල එල්ලි එල්ලී කෑම හොයපු මාල ගිරවෙකුත් උන්නා. තේක්ක ගහේ කොල හැලුණු අති ඉතිවල ඔන්චිල්ලා පැද්ද ගිරා පවුලම මං පුතුට පෙන්නුවා.

අපේ චන්දු බබා

ප්‍රජා ශාලා වත්තෙ නිලමෙ මාමගෙ ගව සම්පතත් දිගේලි කරල උන්නා. එළදෙනයි පැටියයි එක ළඟම. චන්දු බබා නිලමෙ සීයාගෙ මේ තැත්තන්ටත් හරිම කැමතියි. මම මේ කුරුලු යාළුවොයි, ගව යාළුවනුයි පෙන්න පෙන්න ඉද්දි පාරෙ එහා ඉමෙන් මතු වුණා හරක් දෙන්නෙක් ලණු පොටින් බැඳගෙන ඇදන් යන මිනිසුන් දෙන්නෙක්. 

මේ තරම්ම උදෙන් මේ ගෙනියන්නෙ ආදරයට නොවන බව පැහැදිලියි. ඒ දක්කාගෙන එන මිතුරන්, ප්‍රජා ශාලා වත්තෙ උන් නිලමෙ මාමාගෙ ගව අම්මයි පුතයි දුටු ගමන් එකිනෙකාට කතා කරගන්න ගත්තෙ හරිම දුක හිතෙන විදියට. දිග කෝටුවකින් පහර දිදී අරන් ගිය ගවයින් දෙන්නා කෑ ගැහුවෙ ‘‘අනේ අපිව බේරගන්න‘‘ කියන්න වගේ. අර ගව අම්මයි, පුතයි කෑ ගහන්න ගත්තෙ ඒ දුක දැනිල වගේ... එක් වතාවක එක් මිනිසකුගේ අතින් ලණුපොට මුදාගත් හරකෙක් දුවගෙන ගිහින් එළදෙන ළඟ නැවතිලා දුක කියන්න පටන් ගත්තා. කෝපයෙන් වියරු වැටුණු මිනිසා එල්ල කළ පහරවල් කොයිතරම් දරුණුද කියනවනම් ඒ සතා ආයෙම පාරට වැටුණෙ හරිම අසරණ විදියට... ඒ මිනිසුන් දෙදෙනා තුළත් පෙනෙන්නට තිබුණෙ ජීවිතයෙන් වෙහෙසට පත් පීඩිත පෙනුමක්... ඒ පීඩාව අර අහිංසක සතුන් මත පැටවෙන බවයි මට හිතුණෙ.

මං පුතු අරන් ගෙට ගියේ ඒ දසුන බලාඉන්න බැරි තරම් අමිහිරි නිසා... සුන්දර හිමිදිරියට ඒ දසුන එක් කළේ දරන්නට බැරි බරක්. මට මතක් වුණේ ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීතය... වික්ටර් රත්නායකයන්ගේ තවත් අපූර්ව තනු නිමැවුමක්...



බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ

උගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල හැපී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ

මානව ජීවිතය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සමීපව බැඳී සිටින ගවයා ගැන මේ තරම්ම සංවේදීව ලියවුණු තවත් ගීතයක් නැති බවයි මගේ හැඟීම. ගව, මානව සබැඳියාව විනිවිදින මේ ගී පද, මිනිසාගේ අකෘතඥභාවයට දොස් නඟන්නෙ හදවත කීරි ගස්වමින්... කොතරම් හෘදසංවේදී පද නිමැවුමක් ද?

මේ ගීතය පිළිබඳව ‘‘සසර සැරිසරන තෙක්‘‘ පත් ඉරු අතර රැඳුණු පුවතක් දුටු විට මට දැනුණේ මහත් පුදුමයක්. ‘‘බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ“ ගේය පද සංකල්පනාව ප්‍රේමකීර්ති සිතේ උපදින්නෙ තිඹිරිගස්යාය රන්දෝලි අවන්හලේ මී විතක් සමඟ කටගැස්මට හරක් මස් ඩෙවල් එකක රස බලමින් ඉන්න විටක කියන කාරණය... ඒ මුවගට රසය උපද්දන අහිංසක ජීවිතයක කටුක පැවැත්ම මෙතරම්ම හෘදයාංගමව ගීතයකට එක්කරන්නට ඔහුට හැකි වුණේ කෙලෙසින්ද? එලෙස පද ගැළපූ සංවේදී සිත ම නැවතත් ඒ කටගැස්ම වෙත ම බැඳෙන්නේ කෙලෙසින්ද? 

ඒ එක්කම මට සිහිපත් වුණේ චින්තන ධර්මදාස කොහේ හෝ තැනක ලියා තිබූ මේ අදහස..  

‘‘පාපයෙහි පත්ළටම ගිළී යන අයෙක් ඉන් යළි උපදින්නෙ සාන්තුවරයෙක් විදියට වෙන්න පුලුවන්‘‘  



ගීතනාත් කුඩලිගම සංස්කරණය කළ ප්‍රේමකීර්ති ජීවන පුවත ඇතුළත් ‘‘සසර සැරිසරන තෙක්‘‘ කෘතිය කියවා අවසන් කළේ මෑතක. ප්‍රේමකීර්ති කියන්නෙ මම හද පත්ළෙන්ම ආදරය කරන ගේය පද රචකයෙක්. අවුරුදු 42 ක් තරම් කෙටි කාලයකදි මේ තරම් අපූරු ගී ගොන්නක් කොහොම ලිව්වද කියල හිතාගන්නත් බැරි තරම්. කෘතිය තුළ කීප තැනකදිම ඒ ගැන සඳහන් වෙන්නෙ සංසාර හුරුවක් විදියට.

ගීතනාත් කුඩලිගම

ප්‍රේමකීර්තිගේ මව්පස, පියපස ඥාතීන්, පළමු බිරිඳ දයා ද අල්විස්, දෙවන බිරිඳ නිර්මලා ද අල්විස්, දුව සුරංගි සහ පුතා පූර්ණ, වෘත්තීය සගයන් මේ සියල්ලන් සමඟ කළ සංවාද, ලබා ගත් ලිපි ඇසුරින් සකස් කර ඇති මේ කෘතිය ඉතා අගනා ප්‍රයත්නයක්. විශේෂයෙන් එක් කාලයක ලක්බිම රිද්ම අතිරේකයේ පළ වූ දයා ද අල්විස් මහත්මිය විසින් ලියූ ‘‘එකෝමත් එක දවසක‘‘ ලිපි පෙළත් කෘතියට ඇතුළත්. තමන්ගේම ජීවිතයේ අනේක විද දුක්ඛ දෝමනස්සයන් එතරම්ම මැදිහත්, සංවේදී, කාව්‍යමය හදවතකින් නැවත ලියන්නට හැකිවීමත් අපූරු දෙයක් කියලයි මට හිතෙන්නෙ.

ප්‍රේමකීර්ති ද අල්විස්

ගේය පද රචකයෙක්, නිවේදකයෙක් ලෙස චිරප්‍රසිද්ධ ප්‍රේමකීර්ති සුන්දර කවියෙක්, චිත්‍ර ශිල්පියෙක්, යහපත් මිත්‍රෙයක්, අපූරු මිනිසෙක් කියන්නට අප්‍රමාණව කරුණු කාරණා ‘‘සසර සැරිසරන තෙක්‘‘ කෘතිය පුරා ම. ඔහුගේ සරල ගී, ජනප්‍රිය ගී, චිත්‍රපට ගී මේ ගී සියල්ල ඇතුළත් ගී නාමාවලියත්, ඡායාරූප ගොනුවත් ගීතයට, ප්‍රේමකීර්තිට පෙම් බඳින සහෘදයනට අපූරු ධන නිධානයක් වේවි.  

මේ මා හද පත්ළෙන්ම ආදරය කරන ප්‍රේමකීර්ති ලියූ ගීයක්...

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැළිලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වෙයි
සසර සැරි සරන තෙක් ඔබ මගේ.. ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

නා ගසක් දලු දමා වසන්තය එලඹිලා
මද පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබේ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුවත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ

පොතට නම එන්නෙ එතනින්...


‘‘සසර සැරිසරන තෙක් ........ ඔබ මගේ..... ඔබ මගේ....

ප.ලි.

මේ ලිපිය ලියමින් සිටින අතරතුර ගීතනාත් කුඩලිගමයන් හමුවන්නට ලැබීම අහඹු අසිරියක්... පොතට ඇතුළත් නොවූ බොහෝ දෑ කතාබහ කරන්නට ලැබීම අමතක නොවන මතකයක්...  

Sunday, April 10, 2016

Universal Movies වෙතින් හිමාලයට...





කොටුව මල්වත්ත පාරෙ Universal Movies වෙත ගොඩවැදුණම ලෝක සිනමාවේ විශිෂ්ඨත්වය, අපූර්වත්වය ඇස් අද්දරම රඟදෙනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නෙ. විකල්ප ධාරාවේ චිත්‍රපට, සම්මානනීය චිත්‍රපට, ආන්දෝලනාත්මක චිත්‍රපට, සොයා ගන්නට අසීරුම චිත්‍රපට ඕන වුණාම අපි යන්න පුරුදු වෙලා උන්නෙ  මල්වත්ත පාරට. Universal Movies වෙතට. අවැසි සිනමාපටය කොහෙන් හෝ හොයා දෙන්නට තරම් ඔවුන් සිනමාවට ළෙංගතුයි. 

‘‘මේ ෆිල්ම් එක ලස්සනයි. බලන්න.“ කියා අත තැබූ එකදු චිත්‍රපටයක්වත් හදවතින් බැහැර වූයේ නැහැ. ඒ තරම්ම ඒ ඇගයීම අගෙයි. නිසැකයි. ඉකුත් සෙනසුරාදාවේ ගිනි ගහන මද්දහනේ ‘‘විශ්වීය සිනමා පියස“ට ගොඩවැදුණු මොහොතේ දැනගන්නට ලැබුණෙ නම් ඇවිළෙන කාරණයක්.

‘‘අපි චිත්‍රපටි වැඩේ නවත්තන්න හදන්නෙ..“

මගේ විතරක් නෙවෙයි, ඒ මොහොතේ එතැනට ගොඩවෙලා නම් ලැයිස්තුවක් අත දරන් චිත්‍රපට සොයමින් උන්නු තරුණයාගේ ඇස් පවා උඩ ගියා.

‘‘ඇයි ඒ.. අපරාදෙනෙ..“ මට කියවුණේ ඉබේටම.

‘‘මේ වැඩේ කරගෙන යන්න හරිම අමාරුයි. ගේ දොර දරුවන්ගේ වැඩ පවා අතපසු වෙනවා.. වෙන බිස්නස් එකක් වගෙ නෙවෙයිනේ. චිත්‍රපටි ගැන හොයන්න ඕන. රෑ නිදිමරන් ඩවුන්ලෝඩ් කරන්න ඕනි. බලන්න ඕනි.. වගකීම වැඩියි. . වෙහෙස වැඩියි.‘‘

හේතු සාධාරණ ය. එබැවින්ම කිසිවක් කිව නොහැකි නමුත් මම යළි යළිත් කිව්වෙ එය අපට නම් බරපතල පාඩුවක් වන බවයි. 

රාවයේ චැප්ලින් කොලම ලියන එරික් Universal Movies වෙත ගොඩවැදුණ බව මම දැන සිටියා. ඔහුගේ අලුත් නව කතාවේ පවා ඒ ගැන සඳහනක් තිබුණා.

‘‘ධර්මසිරි පතිරාජ මහත්තයා, යාපනේ ලෙක්චර් සාමිනාදන් විමල් මහත්තයා ළඟදිත් ඇවිත් චිත්‍රපටි අරන් ගියා. මේ වැඩේ නවත්තන බව මම කිව්වෙ නැහැ.“ 

චිත්‍රපටි කීපයක් රැගත් මම ආපහු හැරුණෙ වසා දමන්නට මත්තෙන් ආයෙම යන අදහසත් හිතේ ඇතිව... බ්ලූ රේ චිත්‍රපටියක් හොයන්නට වෙනත් වීඩියෝ හල් දෙකකට ගොඩ වැදුණම මට වැඩි වැඩියෙන් Universal Movies වල අගය දැනෙන්නට ගත්තා. නමුත් ඉතින් කරන්නට දෙයක් නැහැ. 

ජීවන අරගලය අබියස ජීවන සෞන්දර්යය ගිලිහී යන බවට තවත් සාක්ෂියක්...


සිහින උපදින්නෙ සිහිනවලින්ම වෙන්නත් පුලුවන්.. සමහර සිහිනවලට නම් අත්තටු දෙන්නෙ පොත්, ගීත, සිනමාව, සංගීතය මෙවැනි සකල කලාවන්.. හිමාලය ආශ්‍රිත පරිසර සැරිසරකට නොහිම් ආශාවක් උපදින්නෙත් ඒ විදියට... ‘‘හිමාලය‘‘ සිනමා සිත්තමේ රිදී තැටිය සහිත කවරය දුටුමතින් හිතේ ඇලෙන්නෙත් ඒ නිසාමයි. 

‘‘හිමාලය“ චිත්‍රපටය නේපාලයේ හිමාල කඳු වැටිය ආශ්‍රිතව දිවි ගෙවන ජන සමූහයකගේ කටුක ජීවන අරගලය හා බැඳුණු ධෛර්යය, ආදරය, මනුෂ්‍යත්වය පිළිබඳව වන අපූරු සිනමා සිත්තමක්. පසුබිම නේපාලය වුණාට එය ප්‍රංශ නිමැවුමක්. 


යැක් ගව තවලමක් සමඟ ඉතාම දුෂ්කර මඟක් ගෙවා ධාන්‍ය හුවමාරුව වෙනුවෙන් කඳුකර ලුණු අලෙවි කිරීමට යන ගමනක් මුල් වන මේ චිත්‍රපටය වැඩිහිටි සහ තරුණ පරපුර අතර වන පරම්පරා ඝට්ටනයත්, තවත් විටක සාම්ප්‍රදාය සහ නූතනත්වය අතර ගැටුමක් විදියටත්, මනුෂ්‍ය පැවැත්ම සහ සොබාදහම අතර ගැටුමක් විදියටත් දකින්න පුලුවනි. වඩා වැදගත්ම දේ මේ කුමන ගැටුමක් තුළ වුවත් මනුෂ්‍යත්වය වියැකී නොයා රැකගන්නට සිනමාකරුවා පෙළඹෙන ආකාරය. 

මතකයේ රැඳෙන සුන්දර සිනමා ගෙත්තමක්... ‘‘හිමාලය‘‘.



Directed by

Produced by

 Written by
Starring

Music by

Distributed by

Release dates
13 September 1999 (U.S.)

Running time
108 minutes

Country

Language

Tuesday, April 5, 2016

ජීවන සැරිසරක අසිරිය ‘‘පරදේසී‘‘


‘‘මේ Black & Black කියල Coffee shop එකක් තියෙනවද, කොළඹ?“
මම පෙම්බරාගෙන් විමසමි.

‘‘දන්නෙ නැහැ ඇයි?‘‘

‘‘නෑ මේ එරික් ඉලයප්ආරච්චිගෙ පරදේසී නවල් එකේ එහෙම කෝපි අවන්හලක් ගැන කියැවෙනවා. ඒ විස්තර දකිද්දි යන්නම ආස හිතෙනවා..‘‘

‘‘මැට්ටියෙ ඔය නවකතාවල තියෙන්නෙ ඇත්තම ඇත්ත ද? Black & Black නම් මන්දා.. Barista, Coffee Bean, Common Coffee House, Cup Cafe  වගේ තැන් තියෙනවා..‘‘

‘‘ඇත්තද?‘‘

‘‘ඇයි ඔයා ගිහින් නැද්ද?‘‘

‘‘නැහැනෙ..‘‘

‘‘අනේ මන්දා ඔයා නම්.. ‘‘

ඒ කෝපි අසපුව පිළිබඳ කෙටි විස්තරය කොතරම් සිත් ගන්නේද කිවහොත් එවන් කෝපි බිමක් සොයා ගැනීමේ සාංකාවෙන් පෙළෙන්නට වීමි. අන්තර්ජාලය පිරික්සා බැලුවේ එබැවිනි.

මද වෙලාවකින් දුරකථනයට එන කෙටි පණිවිඩයකි. "dawasaka ekkaragena yannam."



‘පරදේසී‘ රැගෙන කලක් ගත වී තිබිණි. කියවීම දිනෙන් දින අතපසු වූයේ සිත බර කරන විදග්ධ බරසාර භාෂා රටාවක් හිතේ මැවී මැවී තිබුණු බැවිනි. එරික් ගේ නම සමඟම එවන් සම්භාව්‍ය භාෂාමය මංමුලාවක් සිදුවන්නේ මන්දැයි නොදනිමි. සිනමාවට ඇති ඇල්ම නිසා ම රාවයේ චැප්ලින් කොලමට හිත බැඳුණ ද විටෙක ඒ අකුරු අතර සැරිසැරීමට උදාසීන බවක් දැනේ. එය ද භාෂාව සමඟ ඇති වන දුරස්ථභාවය නිසා සිදුවන්නක් මිස විෂය හෝ අන්තර්ගත කාරණා කෙරෙහි ඇති අකමැත්තක් නොවන බව දනිමි.


මිත්‍ර ඉල්ලුමකට අනුව පරදේසී බාර කරන්නට සිදු වූ දවසක දුම්රියේ දී පිටු කිහිපයක් පෙරළා බැලීමි. මගේ බරසාර හීනයට වෙඩි වැදුණි. පරදේසී කෙරෙහි හද බැඳුණි. එය සකල කලාවන්ගේ අපූර්ව සංකලනයක් බඳු නවකතාවකි. කලා රස වින්දනයෙහි මුවහත් මනසක්, සියුම් හදක් ඇති ලේඛකයකුට ම මිස මෙවැනි නවකතාවක් ලිවිය හැක්කේ කාටද?

එරික් ඉලයප්ආරච්චි


‘‘ඇයි ඔයා පරදේසී නවල් එකට ඔච්චර කැමති...‘‘

පරදේසී ගැන විටින් විට මාතින් කියැවෙන දෑ අසා සිටින ඔහු විමසයි. ම්........ මම ද සිතින් විමසා බලමි. ‘‘ඇයි මම පරදේසී නවකතාවට කැමති!!!‘‘

‘‘ඒ නවකතාව මට විඳින්න පුලුවන්... එක හුස්මට කියවන්නත් පුලුවන්... මං කැමති මගේ හිත ඇදෙන කාරණා කීපයක්ම තියෙනවා... ඒ නිසයි මං හිතන්නෙ මට පරදේසී දැනෙන්නෙ...

ඒක නවකතාවක් විතරක්ම නෙවි. සකල කලාවන්ගෙ සංකලනයක්. සංගීතය, චිත්‍ර, සාහිත්‍යය, ඡායාරූප, ජීවමාන ප්‍රතිමා කලාව, සිනමාව මේ හැම දේම තියෙනවා. සමහර සිදුවීම් විස්තර වෙන්නෙ හරියට සිනමා රූප රාමු වගේ. එරික් මාර සිනමා රසිකයෙක්නෙ. මං හිතන්නෙ ඒ විඳීම නවකතාව ගොඩනඟන්නත් උදව් වෙලා තියෙනවා.. මමත් ඔය හැම කලාවකටම කැමතියිනෙ. ඒ නිසා කතාව කියවගෙන යද්දි එක එක විදියෙ කලා කෘතිවලින්, කලාකරුවන්ගෙන් පිරුණු කලාගාරයක සැරිසරනවා වගේ හැඟීමක් දැනෙනවා... මං ඒකට කැමතියි...

හවානා නුවර වීදි චිත්‍රයකි.

තවත් දෙයක්, මේ පවතින සමාජ, ආර්ථික වටපිටාව නිසා අත්තටු කපල දාගන්න සිද්දවුණත් මං හරිම ආසයිනෙ රස්තියාදු සැරිසරට... පරදේසී නවකතාවෙ ප්‍රධාන චරිතය මං කැමති විදියෙ සැරිසරන්නෙක්. ගම් රටවල් අතර විතරක් නෙවි, සාහිත්‍ය කලාව, සංස්කෘතිය, මනුෂ්‍ය ජීවිත අතරත් එයා සැරිසරනවා. ඒක හරිම සුන්දර තවත් වෙලාවකට මාරාන්තික රස්තියාදුවක්... මං ඒකටත් කැමතියි. මං දකින හීනයකට පොතක පිටු අතර හරි පියාපත් පැළැන්ඳෙන එක සතුටින් විඳින්න පුලුවන්...

කියුබානු ජීවමාන ප්‍රතිමා කලාවෙන්...

පරදේසී ඇතුළෙ අන්තර්ජාතික ප්‍රේමයන් තියෙන්නෙ. ඒත් ඒ ප්‍රේමයන් ඇතුළෙ වුණත් ඉන්නෙ සුන්දර කොදෙව් ආදරවන්තයෙක්... විශ්වීය ප්‍රේමයක් නඩත්තු කරන්න උත්සාහ කළාට එයාට ඒක අමාරු වැඩක්. මටත් ඒක අමාරු වැඩක්නෙ... ඒ නිසා තේරුම් ගන්න පුලුවනි. කොච්චරවත් ඇස්වල කඳුළු පුරවගන්න, හිත බර කරගන්න, ජීවිතයම ආදරය කරගත්ත ඒත් ආදරය අහිමිවෙන ආදරවන්තයෙක්...

අපේ සමාජවාදී සිහින රාජ්‍යයට හීනි කම්මුල් පාරවල් ගහන්න වගේ දැනෙනවා කතා නායකයා එක්ක කියුබාවෙ සැරිසරද්දි ලැබෙන අත්දැකීම්වලට... අපි හිතන තරම් සමාජවාදී චේතනා සුපිරිසිදු නැති බව, පිරිසුදු වුණත් මේ ධනවාදී ගෝලීය වටපිටාව ඇතුළෙ ඒ හීන මහපොළවට ගේන්න කොයිතරම් අමාරුද කියන එක, එතැනත් වැඩියෙන්ම පටි තදකරගන්න සිද්දවෙන්නෙ, පීඩාවට පත්වෙන්නෙ දුප්පත් අසරණ මිනිස්සුම තමයි කියන ඛේදනීය ඇත්ත අවබෝධ වෙන්නෙ දුකකුත් එක්ක. චිංගීස්ගෙ සමුගනිමු ගුල්සාරි කියවද්දි දැනෙනව වගේම රිදුමක් දැනෙනවා.. ඒ තරම්ම බරපතල විදියට නැතත්...

අපේ කථකයා කියුබාවෙ හවානා නුවර පැවැත්වෙන සාහිත්‍ය වැඩමුළුවට සහාභාගි වෙන අතරෙ කියුබාව, ලතින් ඇමරිකානු, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල ලේඛක ලේඛිකාවන් හඳුනගන්නවා.  ඒ ජීවන අත්දැකීම් එක්ක දිගහැරෙන දේශපාලන කතන්දර අපට අපේ රට ගැනත්, අපේ ලේඛන කලාව ගැනත් අලුතින් හිතන්න පෙළඹවීමක් ඇති කරන තරම්...  

මං කැමතිම නවකතාවෙන් මතු කරන තවත් පැත්තක් තමයි ලියන්නෙක් තමන් ලියන දේට කොයි තරම් අවංක වෙන්න ඕනද? කැප වෙන්න ඕනද? කියන කාරණය. ලියන්නො විතරක් නෙවි හැම නිර්මාණකරුවෙක්ම. ලංකාවෙ සිද්දනොවෙන්නෙත් ඒකමනෙ...

මං පරදේසීට කැමති කොටින්ම ජාතික අන්තර්ජාතික ප්‍රේම කතන්දර, ගැඹුරු දේශපාලන කතන්දර, සකල කලාවන්ගෙ විස්මිත සෞන්දර්ය නවකතාවකට අරන් තියෙන සරල, අපූරු ගතිය හින්දා...‘‘

‘‘හ්ම්‘‘

................

‘‘පාඨකයො කියන්නෙ අවලම් ජාතියකට“ යි කියමින් ආර්ජන්ටිනා ලේඛිකා මාර්තා මිලීනා අසූසීනා කට ඇරියේ අප සැම බියපත් කරන කතාවක් කියන්නට ය. 

‘‘කියන්න ඕන දේ කෙළින්ම කියාපිය කියන්නෙ අපිව ජුන්ටාවෙ මැරයන්ට මාට්ටු කරන්න. ලතින් ඇමරිකාවෙ මැජිකල් කියන්නෙ වාරණයෙන්, මරණයෙන් බේරෙන විධියකට... රියලිසම් කියන්නෙ සිය දිවි නසාගන්න විස කුප්පියකට...‘‘

180 - 181 පිටු

..................................

‘‘පරදේසීවල මල්වත්ත පාරෙ යුනිවර්සල් මූවීස් ගැනත් තියෙනවා. මමත් හොඳ ෆිල්ම්ස් හොයාගන්නෙ එතනින්නෙ. මතකද මං ඔයාට දවසක් කිව්වා රාවයෙ චැප්ලින් කොලම ලියන එරික් ෆිල්ම්ස් ගන්න එතනට එන බව...‘‘

‘‘හ්ම්..‘‘

‘‘මේ නව කතාවත් හරියට චිත්‍රපටියක රූප රාමු වගේ අකුරුවලින් මවල තියෙනවා...‘‘

‘‘හ්ම්... කවුද පොත කරල තියෙන්නෙ..‘‘

‘‘ගොඩගේ..  හයසීයයි...‘‘

‘‘හ්ම්..‘‘ 


..............................



එකී ගීතය ගැන අස්වින්දයාගේ ලෝකය බ්ලොග් අඩවියෙන් කියවන්න.


Guantanamera in English


I am a truthful man
From where the palm tree grows
And before dying I want
To let out the verses of my soul

My verse is light green
And it is flaming red
My verse is a wounded stag
Who seeks refuge on the mountain

I grow a white rose
In July just as in January
For the honest friend
Who gives me his open hand

With the poor people of the earth
I want to cast my lot
The brook of the mountains
Gives me more pleasure than the sea