පිටු

Sunday, April 9, 2017

පොරොන්දු දේශයේ අවතැන් මරියාවෝ...


පොරොන්දු දේශයේ අවතැන්
මරියාවන්ගෙ සුසුමින් ගිනියම්ව
කේපාපිලව් අහසට ගතු කියත්
මහී මාතාවෝ...
දැවි දැවී ගිනිගත් සුළඟින්
ඉරිතැලී මිහි මව් ළය
නංවා දූලි වළාවෝ
විරුද හඬ නංවත් නිහඬවම...

මල්වර දියණියන්
වහං කොට ඉටි තිරයෙන්
දැළි රවුළු ඇදි යොවුනන්
මුවා කොට මව් සෙනෙහෙන්
පුරුස බල සිඳී ගිය පණ කෙඳි
ගැට ගසනු වස් මියැදෙනා තුරු
සිය බිම්කඩ ඉල්ලා සටන් වදිත්
මරියාවෝ...

පතරංග පවුරු පදනම්
කටුකම්බි අට පොටින්
වහංගු කළ අපේ නිජ බිම්
දකින්නට වරක් තබන්නට අඩියක්
අටවාගන්නට පැලක්
මිහි මවුන් සහවාසයෙන්
ලබා අස්වනු නිවාලන්නට
පැටවුන්ගෙ කුසගිනි
ඉඩක් දෙන්නැයි ඉල්ලා
හඬා වැළපෙත් මරියාවෝ...

අට්ටාල මත නැගුණු මව් ඇසගින්
නොනැවත ගලා හැලෙනා කඳුළු ඇලි
මේ මගේ පුතු ය... මේ මගේ දූ ය...
කෝ කොයිද ඒ දරු
‘‘මී පුප් නොලදිම් - දරු ද නොලදිම්
රන් කැටි පුතා කෝ කොයි‘‘
පේදුරු තුඩුව සිට දෙවුන්දර දක්වාම
රෑ දිවා පෙන්ව පෙන්වා දරු රූ
හඬා වැළපෙත් මරියාවෝ...

හෙරොද්, පිලාත් රජ මැති ඇමති
ඒ ලේ කඳුළින්ම සෝදා දෑත් 
පිසදා ධවල පිළියෙන්
පඬුපුල් අසුන් මඟහැර
සිහසුන් අරා වැජඹෙත්...
පතිනි මවු පියොවුරෙන්
මදුරා පුරය ගිනිගත් බැව්
උහු අමතක කරත්...

පින්තූරය අන්තර්ජාලයෙනි.

‘‘අපිට යේක වෙන මොනා එපා. අපේ දරුවන්ට ළමායින්ට මොකද වුණේ කියන්න. අපේ ඉඩම් ටික ආපහු දෙන්න. ඒ ඇති. අපිට දුක තමා විඳල පුරුදු. අපේ ඉඩම ලැබුණ නම් කෝම හරි ජීවත් වෙනවා.‘‘

කේපාපිලවු යුදහමුදා මූලස්ථානය අසල සත්‍යග්‍රහයේ නිරත මව්වරු... 2017.04.07  - ජීවිත කාලයක කඳුළු සමඟ ගත කළ එක් දිනක්... 


15 comments:

  1. පවු මේ අම්මල. මේ අයගෙ දරුවො එල් ටී ටී ඊ යට බැදිල සටන් බිමේ මියයන්න ඇති. ගෙදරට හොරෙන් ළමයි මොකද කරන්නෙ කියල හොයල බැලුවනම් අද මේ දුක නෑ

    ReplyDelete
    Replies
    1. එල්ටීටී සොල්දාදුවො විතරක්ම නෙවෙයි, පාසල් යමින් සිටි දරුවන් පවා අතුරුදහන් වෙලා තියෙනවා. ඒක සාරි පොටේ හංගන් දරුවො රැකගන්න බැරි වුණ කාලයක් දෙපාර්ශවයෙන්ම. අපි දන්න දේට, දකින දේට වඩා මේ ගැටලුව බරපතලයි. සංකීර්ණයි. එල්ටීටීඊ එක අවි අතට ගන්නත් පෙර ඉතිහාසයක් මේ අර්බුදයට බලපාල තියෙනවා...

      Delete
  2. යුද්ධය උතුරට -දකුණට දෙකටම ඒක වගේ තමයි..දකුණේත් ඉන්නවා තමන්ගේ ළමයාගේ මලකදවත් නොදැකපු අම්මලා තාත්තලා ..

    ReplyDelete
    Replies
    1. කොහේ කොතැනක වුණත් පුරුෂ බල අරගල ඇතුළෙ, යුද්ද වලින් ගොඩක්ම පීඩාවට පත්වෙන්නෙ දරුවො, කාන්තාවො... ඒක තමයි ඇත්ත.

      Delete
  3. පොරොන්දු දේශය කියන්නේ ඊශ්‍රායලයට
    හැබැයි දමිල රටක් බිහිවුනොත් ඒකත් ඊශ්‍රායලය වගේම කාටවත් හොල්ලන්න බැරි රටක් වෙයි

    ReplyDelete
    Replies
    1. මම මෙතනදි පොරොන්දු දේශය කියන වචනය යොදාගත්තෙ දෙමළ සංවිධානත් නිජභූමිය ගැන කතා කරනවා. සාමාන්‍ය ජනතාව මේ යුද්දයත් එක්ක පටළවගන්නෙත් භුමියේ නිදහස, අයිතිය, සමානව සැලකීම වගේ සාධාරණ ඉල්ලීම් එක්ක...

      ඒත් මට අවධාරණය කරන්න උවමනා වුණේ ජනවාරි 08 ඡන්දයට පෙර දුන්න පොරොන්දුවත් තමයි ඉඩකඩම් නිදහස් කරල දෙන එක... දෙමළ මිනිස්සු ඒ සාධාරණ අපේක්ෂාවත් ඇතිවයි අලුත් පාලනයකට ඡන්දය දුන්නෙ. නමුත් තාමත් කොටසකට තමන්ගෙ ඉඩම් ලැබිල නෑ. පොරොන්දු දේශය කියන එකෙන් මම අදහස් කරන්නෙ වෙනම රටක් නෙවෙයි. තමන් ඉපදුණු, හැදුණු වැඩුණු ගොවිතැන් කරගෙන ජීවත් වුණු භුමිය කියන එක...

      Delete
  4. විමල් වීරවංශගෙ ගෝල බාලයෝ මොකක් හරි උද්ඝෝශණයක් කෙරුවොත් කිසිම හෙවිල්ලක් නොකර ඒක වංචාවක් කියලා නිගමනය කරන අය ඉන්නවා. එහෙනම් මේ දෙමෙල්ලුන්ගේ උද්ඝෝෂණ ඒ වගේම කපටිකම් වෙන්න බැරිද? මේ පිටිපස්සේ වෙනත් ජාතිවාදී සංවිධාන නැද්ද? මේ ගැන හමුදාවේ මතය මොකක්ද? අනිත් අතට ඇයි මුන්ට හමුදා කඳවුරු වල ඉඩම්ම ඕනේ වෙන නැනකිකින් විකල්ප ඉඩම් දෙන්න කියන්නේ නැත්තේ මොකද?

    ReplyDelete
    Replies
    1. හමුදා කඳවුරු බැඳල තියෙන්නෙ ඒ මිනිස්සු ඉපදුණු හැදුණු වැඩුණු, ගොවිතැන් කරගෙන ජීවත් වුණු ඉඩම්වල. ඒ තමන්ගෙ ඉඩමයි මේ මිනිස්සු ඉල්ලන්නෙ.

      හිතල බලන්න අපි ජීවත්වෙන ඉඩමෙන් යන්න කියල එතන කඳවුරු බැඳල නොදන්නා පැත්තක ඉඩම් කෑල්ලක් දුන්නොත් අපට ඒක කොහොම දැනේවිද?

      Delete
  5. දරුදුක කියන්නේ උහුලන්න අමාරු දුකක් ඇත්ත.
    ඒක ජාතියක් ජම්මයක් විදිහට අඩු වැඩි වෙන්නේ නෑ.
    71දි, 89දි සහ 30 වසරක යුද්ධයෙදි දුක් විඳි සියලුම අම්මලාට තමන්ගේ දරුවන්ට මොකද උනේ කියලා දැන ගන්න අයිතියක් තියෙනවා.
    ඕනෑම රජයක් ඒ ගැන සොයා බලලා කඳරුවු වල දැනට නැති නම් ඔවුන් දැනට ජීවතුන් අතර නැති බවට උපකල්පනය කරනවා කියලවත් ඒ අය වෙනුවෙන් මරණ සහතික නිකුත් කරනවා නම් ඒ අම්මලාට හිත හදාගන්න ඇහැක් වේවි කියලා හිතනවා

    ReplyDelete
  6. හරිම දුක් බරයි. මේ වගේ තවත් අම්මලා දහස් ගණනක් අපේ රටේ ඇති.

    ReplyDelete
  7. ස්තුතියි තරු මේ ගැන ලිව්වට. තමන්ගෙ ඉඩමකින් පාරකට අඩියක් දෙන්න අපි අකමැතියි.ඉතින් එහෙව් එකේ.....

    ReplyDelete
  8. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මේ ආණ්ඩුවෙනුත් සාධාරණ විසදුමක් නොලැබෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. මේ තරමින් හරි ඉඩම් නිදහස් වුණේ එහෙම නොකර බැරි වුණ නිසා, ජාත්‍යන්තර මැදිහත්වීම් නිසා... අවංක උවමනාවක් තියෙන පාටක් පේන්නෙ නැහැ.

      බහුතර ජනප්‍රිය සිංහල අධිපතිවාදී මතයට මේ ආණ්ඩුවත් යටයි. යහපාලනය ගැන මොන විදියට කතා කළත්... මට දැනෙන්නෙ එහෙමයි මල්ලි.

      Delete
  9. ඒ මිනිසුන්ට දරුවන්ට වෙච්ච දේවත් දැන ගන්න අරින්න බැරිද ආණ්ඩුවට - දෙකම එකයි

    ReplyDelete
    Replies
    1. දෙකම එකයි ඇත්තටම. තමන්ගෙ බලය සහ වාසිය ගැන විතරයි හිතන්නෙ. තමන්ගෙම ඉඩම් නිදහස් කරගන්නත් අරගල කරන්න වෙලා තියෙන්නෙ, ගෙයින් ගෙට ගිහින් මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න කියල ඉල්ලපු අම්මලටම වීම මහා ඛේදවාචකයක්...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...