ඊයේ ඔෂින් පුංචි අත්වලින් ෂෙඩර් පැළ හිටවනවා.. (
රූපවාහිනියෙ ආයෙම ඔෂින් පෙන්නනවනෙ..... ) ඒ දකිද්දි වසරක මතකය අළුත් වුණා... මේ
සුවිශේෂ අත්දැකීම ලියන්න ඕන කියල හිත හිතා හිටියෙ... ඒත් දවසින් දවස කල් ගියා...
දැන් ඔෂින් මගේ මතකය අළුත් කර කර ලියන්නම බල කරනවා....
පසුගිය වසරේ අද දවසේ ( 2011.06.07 ) මම ජපානයේ ඕසකා
ගුවන් තොටුපළින් මගේ සිහින දේශයට ඇතුළ් වෙන්න තරම් වාසනාවන්ත උණා... මාස දෙකහමාරක
අධ්‍යයන කටයුත්තක් වෙනුවෙනුයි ජපානයට යන්න අවස්ථාව ලැබුණේ. එක් අධ්‍යයන චාරිකාවකදී
මුණ ගැහුණු ගම්මානයක ප්‍රධානම ආදායම් මාර්ගය උණේ ෂෙඩර් දැව.. ගම්මානය වටා තිබුණු කඳු පෙළ දැවැන්ත ෂෙඩර්
ගස්වලින් වැසී තිබුණා.. අපේ මාර්ගෝපදේශකයා කිව්වෙ මේ ෂෙඩර් ගස් අවුරුදු ගණනාවකට
පෙර වගා කළ ඒවා බවයි.. දැන් ඒ ෂෙඩර් ගස් විශාල ව්‍යාපාරයක පදනම උණත්, කපා දමන හැම
ගසක් වෙනුවෙන්ම නැවත පැළයක් රෝපණය කරන බවයි ඔහු කීවේ....
අතීතයේ ඔෂීන් වගේම බාල, මහළු, වැඩිහිටි බොහෝ දෙනෙක් වන
වගාවට හවුල් වෙන්න ඇති කියල ඔෂින් බලද්දි මට හිතුණා...
ජපන්
රටේ උපත ලබා ලංකාවට ආව
බෝනික්කා
ගැන හීන මවපු
පුංචිම කාලෙ ඉඳල
ඔෂීන්
එක්ක අත් අල්ලන් ආව,
නොරිකො
සං දෙවොන්දරා සං
මුණ
ගැහුණට පස්සෙ,
වැඩි
දියුණු වුණ ජපන් හීනයක් මගෙ හිතේ තිබුණා....
ඒ
හීනය හැබෑ වෙන දවසෙ
තාමත්
මට අදහන්න බෑ....මේ ඇත්තක්මද?
( ජපානයට අරන් ගිය
මගේ පුංචි මතක සටහන් පොතේ 2012.06.05 වෙනිදා පළමු පිටුවෙම ලියල තියෙන්නෙ මේ පද
පේළි ටික.... )
ලෝක සිතියම කළුද,
සුදුද කියලවත් දන්නෙ නැති පුංචිම කාලෙ ජපානය අපේ හීන අතරට එක් වෙන්නෙ '' ජපන් රටේ
උපත ලබා ලංකාවට ආව බෝනික්කා '' නිසානෙ.... රෙදි හැට්ට ඇදල මමත් ඒ ගීතයට මොන්ටිසෝරි
වේදිකාවෙ නටල තියෙනවා...
![]() |
( මේ තියෙන්නෙ පොටෝ එක.. දෙවෙනියට ඉන්නෙ මම.... පළවෙනියට ඉන්නෙ හයහතර දන්න කාලෙ ඉඳල මගේ ළඟින් ඉන්න යාළුවා. අදටත් ඒ යාළුකම එහෙමමයි.. )
|
ඊළඟට ජපානය හිතට ළං උණේ
''ඔෂීන්'' නිසා... ඔෂීන් බලද්දි හැම වෙලේම හිතුණ දෙයක් තමයි හිමේ සෙල්ලම් කරන්න
ලැබුණ නම් හොඳයි කියල. ඔෂීන් ගෙ මුණත් ජපන් බෝනික්කාත් අපූරුවට
ගැළපුණා...
මේ විදියට ජපානය
සුන්දර මතකයක් වෙලා තියෙද්දි තමයි දෙවොන්දරා සං නොරිකො සං ව කැන්දගෙන හිතට ළං
උණේ... ඒ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා සහ මළගිය ඇත්තෝ නවකතා එක්ක....
ජපන් සංස්කෘතිය ගැන ලොකු පැහැදීමක්, ආදරයක් මේ පොත් නිසා ඇති උණා... නොරිකො සං දැන
අඳුන
ගත් දා ඉඳල ඈ ගැන ආදරයකුත් අනුකම්පාවකුත් හිතේ තිබුණා.. දොවොන්දරා
සං මීට වඩා ඈ ගැන හිතන්න තිබුණා... ලංකාවෙ අපෙන් ජපානයේ නොරිකොට සිදු වුණේ
අසාධාරණයක් කියලයි මගේ හිත කිව්වෙ....
ජපානයට යන්න කළින්
කාර්යාලයේ හිතවතෙක් මා අතට දුන් කවිය මේ
තියෙන්නෙ...
ගත පුරා දැවටී සීතල වැටෙන හිම
ගස් පුරා ලස්සන සකුරා පිපෙන බිම
ඔබ දෙනෙතින් ජපානය දෙස බලමි මම
හමුවෙලා කියන්න නොරිකෝ අමතක නොකළබව
අනේ ඉතින් නොරිකෝව නම්
කවදාවමත්ම අමතක වෙන්නෙ නැහැ... ඒත් ජපානයේ හිටිය මාස දෙකට නොරිකෝ කෙනෙක් නම්
දකින්නවත් ලැබුණෙ නැහැ... හීන මවපු ජපානයට වඩා වෙනස් ජපානයක් දැක්කෙ...
උසස්පෙළ කරද්දි නාට්‍ය හා රංග කලාව විෂයක් විදියට තෝර
ගත්ත නිසාම නෝ, කබුකි නාට්‍ය කලාවන් ගැන ඉගෙන ගන්න ලැබුණා.... ඔන්න ජපානයට හිත ගැට
ගහපු තවත් රැහැනක්.....
ජපානයට හිත වෙළුව තවත් රන් හුයක් තමයි පර්ල් එස් බක් ගේ
''සකායි'' පොත....... සුනේත්‍රා
රාජකාරුණානයක පරිවර්තනය කරල තියෙන්නෙ.. එක් උපන්දිනයකට ලොකු නංගිගෙන් ලැබුණු තෑග්ග
තමයි සකායි......
ආරියවංශ රණවීරයන්ගේ පරිවර්තන නිසාම හයිකු කවි දැන හඳුන ගත්තා.... රස
වින්ඳා.... හයිකු කවියත් මගේ හිත ජපානයට තව තවත් ළං කළා..... ''මිණි
පැමිණි'' පොතත් මා එක්ක ජපන් ගිහින් ආවා...
කවබත යසුනරි ගෙ කෙටි කතා පොතකුත් ජපානයට ඇති ඇල්ම වැඩි
කළා...
ඉතින් මේ පොත් කියවීමේ උණ නිසාම ජපානයට යද්දි, ජපානය ගැන
අද පරපුරේ ජපානයේ කෙනෙක්වත් නොදන්න තරම් දේවල් මම දැනගෙන හිටියා...
පාඨමාලාව ගැන තිබුණ උනන්දුව වගේම ජපන් පන්සල්, තේ
පානෝත්සව, ඉකෙබානා මල් කලාව, Hot springs, හයිකු කවි, කිමෝනෝ, සුසානභුමි වගේ
දේවල් ගැන මගේ තිබුණු උනන්දුව නිසාම අපේ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂතුමිය ඒ හැම
අත්දැකීමක්ම ලබන්නට අවස්ථාව සලසා දුන්නා...
''තරංගි සන් හින්දා අපිත් සාම්ප්‍රදායික
ජපානයේ හැඩතල අඳුන ගන්නවා'' පාඨමාලාවට සම්බන්ධ උණ අනෙක් රටවල අය කිව්වා...
ජපානයට ගිහින් දෙවෙනි දවසේ ඉඳන් හෂී වලින් ( Chopsticks- කෝටු දෙකෙන් ) කෑම කන්න මම පුරුදු උණා.. හැමෝම පුදුම උණා ඒ තරම් ඉක්මණින් වැඩේ අල්ල
ගත්තට... හිටපු ටික කාලෙදි එයාලගෙ භාෂාවත් තරමක් දුරට මට හුරු උණා.... මම ජපානයට
තියෙන ඇල්මයි, දැනුමයි, ඉක්මණින්ම දේවල් උකහා ගැනීමේ හැකියාවයි නිසා පාකිස්ථානෙන්
ආව සෆීරා නිතරම විහිළු කළා ''පුනර්ජනම්.... පුනර්ජනම්...'' කියලා...
සමහරවිට පෙර ආත්මෙක ජපානයේ හිටියද දන්නෙත් නැහැ... මේ තරම් ජපන් උණක්
තියෙන්නේ....
ඉස්සර ඉඳලම මම කිව්ව දෙයක් තමයි එක දවසකට හරි ජපානයට යන්න ඕන කියල... ඒ හීනය හැබෑ
උණේ නොහිතපු විදියට.... සකුරා මල් පිපෙන කාලයක ජපානයට ගිහින් එන්න ඕන... ඒ හීනයත්
කවදා හරි සැබෑ කර ගන්නවා.... මොකද මම ජපානයට යද්දි සකුරා මල් සමය නිම වෙලා....
ජපානයේ හරිම වටින අත්දැකීම් ගොඩක් තියෙනවා... එකින් එක තරු අමුණන්නම් මගේ
සයිබර් අහසට......
















