පිටු

Saturday, March 14, 2015

ඇගෙත් උපන්දිනය...





මැදින් මහ එළඹෙද්දි අමතක වුණු සුවිශේෂ උපන්දිනයක් තිබුණා.

ඒ මගේ පුංචි දියණියගේ තුන්වෙනි උපන්දිනය. ඈ තමයි තරුරසී. මගේ සිතුවිලි වන්දනාවේ සයිබර් අවකාශගත නිම්නාදය...

ඇගේ උපත ජීවිතේ විශාල හිස්තැනක් පිරවූ බව අමතක කළ නොහැකියි. ඇය ජීවිතයට අයත් කර දුන් දේ බොහෝයි. මිල කළ නොහැකියි. 

වසර තුනක කාලයක දනි පනි ගාමින් තරුරසී ආ ගමන ගැන නිහතමානී සතුටක් තියෙනවා. මම තරුරසීට ආදරෙයි..

..........

මම මෙලොව එළිය දුටු දවසත් මැදින් මහේමයි... හැමදාමත් වගේ දැනෙනවා ජීවිතේ කොයිතරම් සොඳුරු ද, ආදරණීය ද කියල. සුවිශාල සෙනෙහස් ගඟුලක මැදි වෙලා ජීවත් වෙන්න තරම් මම වාසනාවන්තයි.

අම්මා, තාත්තා, නංගිල, මල්ලිල, මගේ සෝනු, චූටි මිමී, සසෙන් බබා ඇතුළු නෑදෑ සනුහරේත්, ගමේ බිම් අඟලක් ගාණෙත්, හිත මිතුරු හැමෝගෙමත්, ළක්‍රිවී පවුලේත් ආදරය මැද ජීවත් වෙන්න ලැබීම ගැන හිතද්දි මීට වඩා ස්වර්ගයක් තව තියෙනවද කියලත් මට හිතෙනවා.

උපන්දිනයට සුබ පැතුම් එක් කළ හැම දෙනාටම ස්තුතියි. ලැබුණු සුබපැතුම් දෙතුන් සියයක් අතර මේ සුබ පැතුම හැමදාමත් මතකයේ රැඳේවි. දේව දූතියකගෙන් ස්වර්ගීය හසුනක්..


‘‘ඔන්න... එකමත් එක දවසක්.. පුංචි දේව දූතයෙක්.. පාවෙලා.. පාවෙලා... පොළවට අවා.. එයාගෙ සුදු පාට තටු අතුරුදහන් වුණා.. පොළවෙදි, ආයෙ තටු ලැබෙන්න ආදරේ එකතු කරගන්න ඕනෙ..කියන දේව නියෝගය එයා පිළිගත්තා.. මිනිස්සුන්ගෙන් ආදරේ හොය හොය ගියා.. මිනිස්සුත් ආදරෙන් දුප්පත් නිසා, පාපයෙන් පිරිලා නිසා.. දේව දූතයාට දෙන්න එයාලා ළඟ ආදරේ ඇබින්දක්වත් තිබුණෙ නෑ..

ඉන්පස්සෙ මේ දේවදූතයා හිතුවා... තමන් ආදරේ ගන්න කලින් මිනිස්සුන්ට ආදරේ දෙන්න... දේව කරුණාවෙන්, එයා සදාකාලෙන් කාලයක් පුරාම, ස්වර්ගීය තේජස බිමට වගුරපු තැන් වලින් හටගත්ත මල්වල ආදරය ගැන ලිව්වා... ඒ විතරක් නෙවෙයි.. දේදුන්නෙ පාටකින් පාටක් වෙන් වෙන තැන් වලත්..

සදාකාලය කොයි තරම් දිගද කියලා නොදන්න කාටවත්, සදාකාලයෙන් කාල මැන ගන්නත් බැරි නිසා, එයාට තව කොයි තරම් කාලයක් ආදරය උගන්වන්න වෙයිද කියලා අපි කවුරුවත්ම දන්නෙ නෑ. ඒ කොහොම වුණත්.. දැන් එයා වැඩ පටන් අරන්.. අවුරුදු තිහක් නම් පහු වෙලා කියලා දෙවියන්වහන්සෙ ඊයෙ රෑ හීනෙන් මට කිව්වා..

කොහොම වුණත් එයාගෙ වැඩ බලන එක තමයි මගෙ දේව කාරිය. එයා ආදරේ බෙදන හැටි සමානද බලන එක. ඒත් මේ දවස් වල එයා වැඩිපුර කාටදෝ ආදරේ බෙදන බව ආරංචියක් තියෙනවා.. ඒ ගැන දේව සභාවම කතා වෙනවා.. ඒත් දේවදූතයන්ට ආදරේ වැඩියෙන් බෙදනවාට දඬුවමක් නෑනෙ.. තව තවත් බෙදන්නම කියනවා මිසක.. ඉතින් මේ දේවදූතයාට තව අවුරුද්දක් දේවකාරිය කරන්න වෙනවා.. දෙවියන්ගෙ දේවකාරිය ගෙවෙන මායිම් තමයි, මනුස්ස ලෝකෙ උපන් දින කියන්නෙ.

දේව දූතයන්ට උපන්දින නැහැ. එයාල සදාකාලය පුරාම ඉන්නවානෙ. ඒත් මනුස්ස වෙස් ගත්තාම.. මිනිස්සු විදිහට හැසිරෙන්න වෙනවා. අත්තටුත් නැතිවුණ එකේ... කෝම නමුත්!!! ඒ නිසයි සුබ උපන්දිනයක් කියලා කියන්න වෙන්නෙ...''


Monday, March 2, 2015

අම්මලාගේ කඳුළු



Alessandro Allori, Madonna with the Symbols of the Passion of the Christ, 1581
අපි උන්නෙ අලුත් රැකියා ස්ථානයේ වටපිටාවට හුරු වෙමින්.  එක්වනම ජීවිතේ සිදුවූ බරපතල වෙනස භාර ගනිමින් එක්තරා අවුල්සහගත බවක, නොසන්සුන් බවක ගැලී උන් කාල වකවානුවක්. 

මාත් එක්ක දමිල සොයුරු සොයුරියන් කිහිපදෙනෙක් අලුත් තැනට ඇවිත් උන්නා. මින් පෙර එකම රැකියා ස්ථානයේ සේවය කළත් අපි එකිනෙකා දැනහඳුනාගෙන හිටියෙ නැහැ. ඉන් එක් දමිල සොයුරියක් වැඩ භාරගත්තෙ අප සැමටම පසුව. අළුත් රැකියා පියසෙ ඇයට වාඩිවෙන්න නිශ්චිත අසුනක් තිබුණෙ නැහැ. මුල් දවස් කිහිපයේ  තැනින් තැන වාඩිවෙන්නට ඇයට සිදුවුණා. විටින් විට තමන් වාඩි වී සිටි අසුනෙන් ඉවත්වෙලා වෙනත් තැනකට යන්න වුණාම ඇයටත් වඩා දුක හිතුණෙ මට.  

‘‘කමක් නෑ තරංගි.. කොහේ හරි කමක් නෑ, වර්ක් කරන්න තැනක් තිබුණම ඇති... මට පුරුදුයි. නයින්ටීන් නයින්ටි ඉඳල අපි ඩිස්ප්ලේස්. තැන තැන තමයි ජීවත් වුණා. තාම අපේ ඉඩම්වලට යන්න බෑ. කන්කසන්තුරේ හයි සෙකියුරිටි සෝන් එකේ අපේ ගෙවල්. අවුරුදු විස්සකින් දැකල නෑ.. මේක මොනාද?”
 
ඇය කිව්වෙ ඇස්වල කඳුළු තියාගෙන හිනාවෙමින්. 

‘‘ඔයාල කැමති නැද්ද මෙහෙ පදිංචි වෙන්න..”
 
‘‘මෙහෙ පර්ච් එක කීයද? අපි කෝම මෙහෙ ඉඩම ගන්නද අප්පා. යේක අපේ ඉඩම සෙල් කරාගන්න පුළුවන් උනා නම් බලන්න තිබුණා.”
 
මගේ මෝඩකමට ඇහුව ප්‍රශ්නෙ ගැන මට දැණුනෙ ලැජ්ජාවක්. අපි කොයිතරම් සරල විදියටද ගන්නෙ ජීවිත කාලයක්ම විඳෙව්ව, තවමත් නිමාවක් නැති උතුරු නැගෙනහිර සහෝදර ජනතාවගෙ ප්‍රශ්න. 

..............................

‘‘අවුරුදු තිහක් යුද්දෙ හින්ද නැති වුණ හැමදේම අමතක කරන්න පුළුවන්. අපේ ස්වාමිපුරුෂයො, දෙමව්පියො, සහෝදර සහෝදරියො ඒ හැමෝමත් අමතක කරන්න පුළුවන්. ඒත් අපිට අපේ දරුවො අමතක කරන්න බෑ. අපේ දරුවන්ට මොකද වුණේ කියල හිතද්දි හැමදාම අපි පිච්චෙනවා. අම්ම කෙනෙකුට දරුවෙක් අමතක කරල ජීවත් වෙන්න බෑ. සිංහල වුණත් දෙමල උණත් මුස්ලිම් උණත් අම්මල එහෙමයි. ”

අපි උන්නෙ විහාරමහාදේවියෙ එළිමහන් පියසක. වෙනදට වඩා නිදහස් හැඟීමක් දැණුනා. පැය ගාණක් ඇදුණ කතාබහට කාකි නිල කබාවලින් කිසිම බාධාවක් එල්ලවුණේ නැහැ. ඒ නිදහස් අවකාශය ඇතුළෙ අපේ කතාබහ යොමු වෙලා තිබුණෙ උතුරු නැගෙනහිර කාන්තාව මුහුණ දෙන ප්‍රශ්නවලට. දරුවන් අහිමි වූ මව්වරු, වැන්දඹු මාතෘ මූලික පවුල්, ළමා මව්වරු, ආර්ථික ගැටලු නිසා ගණිකා වෘත්තියට යොමු වූ කාන්තාවන්.... 

දකුණේ කාන්තාවන් මුහුණදෙන සාමාන්‍ය ගැටලු පවා දෙතුන් ගුණයක වැඩි බරකින් උතුරු නැගෙනහිර කාන්තාව මත පැටවී තිබෙනවා. දමිල, මුස්ලිම්, සිංහල භේදයක් නැතිවම. ඒ අතරත් යුද්දය නිසා පීඩාවට පත් දමිල කාන්තාවගේ ගැටලු අතිශය බරපතලයි. පුරුෂ පාර්ශවයේ බල අරගල අතර හැමදාමත් පීඩාවට පත් වුණේ ගැහැණුන් සහ දරුවන්...

දරුවන් අතුරුදහන් වූ අම්මලා තුන්දෙනෙක් අපේ කතාබහට එක්වෙලා තිබුණා. උතුරු නැගෙනහිර සහෝදර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධව දකුණේ අසංවේදි බව ගැන කතාබහ අතර තුර එක්විටම ඒ අම්මලා ගමන් මලුවලින් තමන්ගෙ දරුවන්ගෙ ඡායාරූප එළියට අරගත්තා. 

‘‘අපිට ඕනෙ එකම එක දෙයක් දැනගන්න විතරයි. අපේ දරුවො ඉන්නවද නැද්ද කියල විතරක් කියන්න. ඉන්නවනම් එක මොහොතකට හරි අපිට දරුවො දකින්න ඉඩක් දෙන්න. එකසැරයක් පෙන්නන්න. පෙන්නල තියාගන්න. ඒ ඇති..”
 
ඒ ආයාචනය අපේ ඇස්වලත් කඳුළු පිරෙව්වා. 

‘‘අපේ දරුවො ත්‍රස්තවාදී වැඩ කළේ නෑ. නිකම්ම අල්ලගෙන ගියා. මොනා වුණාද දන්නෙ නෑ... අපිටත් දරුවො ගැන ලොකු හීන තිබුණා.  යුද්දෙ තියෙද්දිත් අපි දහදුක් වින්දා දරුවො රැකගන්න. එයාලට උගන්නන්න. අපේ දරුවන්ට වුණේ මොකක්ද කියල විතරක්වත් කියන්න...”

.................

ඒ අම්මලාගෙ කඳුළින් බර ඉල්ලීම ජාතිවාදය යැයි අරුත් ගැන්විය හැකිද?  ජාතිවාදයේ චෝදනාවෙන් හදවතක ඇවිළෙන වේදනාව නොසලකා හැරීමෙන් සංහිඳීමක්, සැනසීමක්, සහසම්බන්ධයක් ගොඩනගන්නේ කෙසේද? 

සත්‍යය යුක්තිය ඉල්ලා සිටීම ජාතිවාදය යැයි අරුත් ගන්වනු වෙනුවට එකිනෙකාගේ හැඟීම් තේරුම් ගනිමින් කටයුතු කිරීම වඩා වැදගත් නොවේද?

උතුර දකුණ සැමවිටම ඇවිළෙන්නේ අනෝන්‍ය තේරුම්ගැනීමේ, සවන්දීමේ, ගරුත්වයේ, ප්‍රේමයේ මුල් සිඳගනිමිනි. දැන්වත් වෙනස් විය නොහැකි නම් මේ කඳුළු උල්පත් කිසිදා නොසිඳෙනු ඇත. ඒ කඳුළුම තව තවත් අප එකිනෙකාගෙන් දුරස් කරනු ඇත. උතුරේත් දකුණේත් දේශපාලකයින් වටහා ගත යුතු වැදගත්ම දෙය මේ කඹ ඇදිල්ලෙන් කාටවත් සෙතක් අත් නොවන බව ය.

Monday, February 23, 2015

තටු බිඳුණු සමනලයෙකුගෙන් අතුල් පහරක්





ඒ ගල් පහර වැදුණෙ මූණට ම. නෑ... හිසට ම. නෑ.. පපුවට ම.. ම්හ්.... සකල සර්වාංගයට ම.. 

දෑස් නිලංකාර වෙලා, මුළු ලෝකය අඳුරකින් වැහිල තිබුණා මොහොතක්. ඒ සා කම්පනයක්, තිගැස්මක් ඇති කරමින් රූප රාමුවක් නැවතුණ තැනක් ගැන පෙර මතකයක් ඇත්තෙම නැති තරම්. 

නාග්රාජ් මංජුලේ ගේ Fandry ( ඌරා ) නිමාවෙන්නෙ කට්ට කළුවර ලෝකාන්තයකට අපව තල්ලු කරමින්. අන්ධකාරයෙන් ආලෝකයට එන්න, මොලේ හෙල්ලෙන්න වදින බරපතල ප්‍රහාරයක් ඒ.  ආලෝකය දකින්න අපට ඇරයුම් කරන්නෙත් සන්තානගත අන්ධකාරයට දමා ගසන ඒ ගල්ගෙඩි පහර විසින්මයි. 

කම්පනීය හදගැස්ම මන්දගාමී රිද්මීය ලතාවකට කෙමෙන් සෙමෙන් අවතීර්ණ වෙද්දි,  මනස ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ දුගී දුප්පත් ගමක, කුල පීඩනයෙන් හෙම්බත්වෙලා උන්නු මිනිස් ප්‍රාණීන් කිහිපදෙනෙක් එක්ක හෘද සංවේදී සංවාදයකට එකඟ වෙලා තිබුණා.


ජබියා....... 

සමනලයෙක් තරමට අහිංසක නව යෞවනයෙක්. ගැටවර දීප්තියෙන් බැබළෙන රවුම් ඇස් දෙකත්, පොපියන සිනහවත් එකතුවුණු දැකුම්කළු කාලවර්ණ රූපකාය, උදා ඉරු එළියේ බබළන විල් දියතලයක් තරමටම පැහැදිලියි. සිරියාවයි. ඒත් ඒ සිරියාවට බැබළෙන්න ඉඩදෙන බිමක නෙවෙයි ඔහු ඉපදිලා තිබුණෙ. ජබියා අයිති වුණේ අස්පර්ශිත කුලහීන පරපුරකට. දුප්පත්කම, නූගත්කම වගේම කුල පීඩනයත් ඒ ගමේ මනුස්සකම ගිලගෙන ඇති බවකුයි පෙණුනෙ. ජබියාගේ පවුලෙ රැකුණෙ ඌරන් අල්ලා මස්කර ගම්මානයට ලබා දීමෙන්. කූඩ මලු වියා උපයා ගන්නා සොච්චම් මුදලින්. 

කරුමය උරුමය ලෙස භාරගත් පවුලක ඉපදුණත් ජබියාට ලස්සන හීන තිබුණා. ඉගෙනගන්න, රැකියාවක් කරන්න, ප්‍රේම කරන්න, ලස්සනට ජීවත්වෙන්න.. ඕනෑම යෞවන හිතක උපදින සිහින.. නමුත් අස්පර්ශ කුලයක උපන් පවට ජබියාට හීන දකින්නවත් අවසරයක් තිබුණෙ නැහැ. 

ඔහු පාසල් යනවා. ඉගෙනගන්නවා. හැකි උපරිමයෙන් පවුලේ බරටත් උරදෙනවා. කුලවන්ත අපහාස, උපහාස, රිදවුම් නැමුණු හිසින් විඳ දරාගන්නවා. මිත්‍ර සන්ධානගතව ජීවිතය විඳිනවා. මල් හී සර පහර වැදිල ඒ යොවුන් හදවතත් ගැහෙන්න ගන්නවා. නිසංසලේ ඔහු ඒ පෙම් සිතුවිලි විඳගන්නවා. ඒ අතර අපමණක් හීන එක්කාසු වෙනවා. 


ඇය ශාලු. කුලීන පවුලක දැරියක්. ඒ ඇස් ඉස්සරහ ප්‍රේමණීයව පෙනී සිටීම ජබියාගේ සිහිනයක්. ඒ සිහිනයට පණ දිය හැකි කිසිම අත්වැලක් පේන මානෙක නැහැ. ඔහු මිථ්‍යා විශ්වාසයක පිහිට පතන්නෙ ඒ නිසා යැයි හිතන්නට පුළුවන්. හරියට ලංකාවෙ අපි ඉනා බේතකින් කෙනෙකුගේ හිත දිනාගන්න හැකි වේයැයි හිතන්නා වගේ.

කළු පැහැති කුරුල්ලකුගේ අලු තමන් සිත්ගත් අය මතට හෙළීමෙන් ඒ හදවත දිනා ගත හැකි වේය යන මිථ්‍යාව හඹා යන ජබියා ගැන විටෙක දැනෙන්නෙ දුකක්. අනුකම්පාවක්. සිහිනය සහ යථාර්ථය අතර වෙනස කොතරම් විශාලද? ඛේදනීයද? සිනමා සිත්තම ඇරඹුමේ සිට අවසානය දක්වාම ඒ ඛේදනීය යථාර්ථය සංකේතවත්ව දිගහැරෙනවා.  

හිත කැළඹුව එවන් එක් සිදුවීමක් මේ. ජබියා තමන්ගෙ යාලුවත් එක්ක අයිස් පැකට් වෙළඳාමෙ යනවා. පා පැදියෙන්. එක් දවසක පාපැදිය පසෙක නවත්තල දෙන්නම සුරතල් සතුන් විකුණන්න තියෙන තැනක ගැවසෙනවා. කූඩු කරපු කුරුල්ලො, ලස්සන මාළු බලමින්. නිදහසට වැටකොටු බැඳ මිල කළ සුන්දරත්වය. ඒ මිල ගෙවන්න හැකියාවක් ජබියලගෙ පන්තියෙ අයට නැහැ. ඒ අයගෙත්, ඔවුන්ගෙ සිහිනවලත්, ඒ කූඩු කළ සතුනුත් අතර වෙනසකුත් නැහැ.  ඒ අතරෙදි පසුපසට එන ලොරියකට යටවෙලා ජබියාගෙ බයිසිකලය කුඩුපට්ටම් වෙන දසුන හරිම වේදනාකාරීයි. ප්‍රේමණීය සිහිනයක් හඹා යන මේ ගැටවරයා තුළ ඉන්න අහිංසක දරුවා මතු වෙන්නෙ ඒ මොහොතෙදි. ඔහු පැය ගාණක් ඉකිබිඳිමින්  හඬා වැටෙනවා. ඒ අවස්ථාව ජබියාගෙත්, ජාතිය, ආගම, කුලය, පන්තිය නිසා පීඩාවට පත්වෙන සියලු මිනිසුන්ගේත් ජීවිත ඉරණමේ පිළිබිඹුවක් වගේ. 


ප්‍රේමණීය හිනයක වෙලෙමින්, නැහැවෙමින් ගම පුරා දුව ඇවිදින යෞවන මනමාල රවුම් ඇස් කෝපයෙන්, ද්වේශයෙන් ඇවිලුණේ කොහොමද? ඒ දැකුම්කළු වුවනත නිරන්තරයෙන් රැඳුණු අහිංසක පෙම්පාට වියැකුණේ කොහොමද? ඒ වෙනුවට වෛරීය වේදනාවක් පැලපදියම් වුණේ කොහොමද? මේ බව දැනගන්න Fandry බලන්නමත් ඕන නැහැ. වසර ගණනාවක් ඇවිලුණ, දසදහස් ගණන් ජීවිත විනාශ කළ, මනුෂ්‍ය සම්බන්ධතා සුනුවිසුණු කළ, ජාතිවාදයට ගිනි පිම්බ අපේම අතීතයට එබිල බැලුවත් තේරුම් ගන්න පුළුවනි.

සමනල සිහිනයක සැරිසරමින් උන්නු ජබියා අතට ගල්දෙන්නෙ සමාජය. ගල් ගහන්න ඔහු උසිගන්වන්නෙ සමාජය. දශක ගණනාවක් ලාංකීය සමාජය භීතියෙන් ගල්ගැස්වූ ත්‍රස්තවාදය බිහිකරන්නෙත් එවැනිම සමාජ ක්‍රියාදාමයකින් නොවේද? මේ සිනමා සිත්තම මත තබා අපට අපගේම සමාජය, අපගේ අතීතය, වර්තමානය, අනාගතය කියවා ගත හැකියි. 

නිදහසින් පසුව බිහිවුණු හිතුවක්කාරී දේශපාලන ක්‍රියාකලාපයන් නිසා, සමාජය මනුෂ්‍යත්වයෙන් පිරෙනු වෙනුවට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, කුලවාදයෙන්, පක්ෂ පාට පන්තිවාදයෙන් හිස උදුම්මාගත් ජරාජීර්ණ සමාජයක් බවට පත්වීමයි සිදුවුණේ. එහි ප්‍රතිඵලයි ත්‍රස්තවාදය, මැර පාදඩ දේශපාලනය, දූෂණය, භීෂණය, වංචාව....... මේ බව ගැඹුරින් තේරුම් අරගෙන අවංකවම කැපවන සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට ලාංකීය සමාජයම එක් විය යුතු මොහොතක Fandry හරහා අවදි කරන හෘදය සාක්ෂියේ හඬ හරිම ප්‍රබලයි. අප එයට සංවේදී විය යුතු තීරණාත්මක කාලයක් මේ. 

කවියෙක් වුණු සිනමාවේදියා කවියක් ලෙසින්ම චිත්‍රපටයේ රූප රාමු එකින් එක පෙළගස්වනවා. සංගීතයෙන්, රංගනයෙන් ඒ කවියට ජීවය දෙනවා. පරිසරයත් චිත්‍රපටයේම භූමිකාවක් වන තරමට තේමාව සමඟ ආත්මීය බැඳීමක් තියෙනවා. මේ සියල්ල එක්ව ගත්තම එය ඇත්තටම අපූරු චිත්‍රපටයක්. අනුවේදනීය චිත්‍රපටයක්. සුඛාන්තමය සමාජ වෙනසක් අපේක්ෂා කරන ශෝකාන්තයක්. ජබියා වැනි අහිංසකයින් අතට ගල් දෙන මේ සමාජ ක්‍රමය විවරණය කරන අතරම, එය වෙනස් කිරීම අපේ වගකීමක් බව බරපතල කම්පනයක්, තිගැස්මක් සමඟ දැනෙන්නට සලස්වන සංවේදී චිත්‍රපටයක්.

අවසන් රූප රාමුව.. එය මනුෂ්‍යත්වය මත බලහත්කාරයෙන් පටවන පීඩනයෙන්, නොමිනිසුන් බිහිකරන්නට පාර තනන සමස්ත සමාජ ක්‍රමයට  එල්ල කරන දැවැන්ත අතුල් පහරක්. 

Nagraj Manjule