Monday, January 7, 2013

රෝස මලක කටු ඇණුනා


රෝස මලක කටු ඇණුනා

හද පතුලින් ලේ ගැලුවා

රෝස මලට නෑ දැණුනේ
මලේ සිනා රැව් නැගුණේ....

මගේ ආදරණීය පුංචි රෝස මල වෙතටයි.....

මගේ පුංචි රෝස මල.. ඔයා කොයි තරම් අහිංසකද? සියුමැලිද? ඔයා කොයි තරම් සුවඳක් අපේ ලෝකෙට අරන් ආවද? අපි හැ‍මෝම ඔයා වටේ ඉඳන් ඔයාගෙ හැඩ බල බල කොයි තරම් නම් සතුටක් ලැබුවද? ලබනවද?

ඉස්සර රට වටේ එක එක වැඩසටහන්වලට යන මම්මා නිතරම ගමට එන්න පටන් ගත්තෙ ඔයා අපි ළගට ආවට පස්සෙ.. මම්මා හැම සති අන්තෙකම ගමේ එන්නෙ ඔයාගෙ හිනා මූණ දකින්න..  ඔයා එක්ක සෙල්ලම් කරන්න... ඔයාගෙ හුරතල් කතා අහන්න... ඔයත් වෙනද මම්ම එනකල් බලන් ඉන්නව නේද? මම්ම ආවම ළගින් හෙල්ලෙන්නෙ නෑ නේද?

ඒත් මේ සති අන්තයේ ඔයා හරිම වෙනස්... නපුරු වෙලා, සැර වෙලා... ඔයා මම්මට ළගට එන්න දුන්නෙ නෑ.. කෑ ගැහුවා. ''ඔයා කොළඹ යන්න කියල '' සැර කළා. පල්ලියෙදි මම්මගෙ අතට ආවෙත් නෑ.. මම්ම උම්ම එකක් දෙද්දි ඔයා අහක බලා ගත්තා.... ඇයි මගෙ දෝණි එහෙම කළේ... මම්මට කොයි තරම් දුක හිතුණද? මම්ම හිතන්නෙ කවුරු නැති උණත් මම්මට ඔයාල ඉන්නව කියල නේද?

චූටි රෝස කැකුළු නපුරු වෙන්න හොඳ නෑ මැණික... රෝස මලේ කටු තියෙන්නෙ ආරක්ෂාවට මිස අනිත් අයව රිදවන්න නෙවෙයි...

ඇයි ඔයා මේ තරම්ම නපුරු උණේ...?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               
මම්ම අළුත් ගෙදරට ගියාට පස්සෙ නිතරම ළගින් ඉන්න බැරි උන නිසාද?

වෙනද හිතේ හැටියට වතුර අරන්, මම්මගෙ කෝප්ප වීදුරු ඔක්කොම පෙළට තියන් තේ හදන්න ඉඩ දුන්නත් මේ සැරේ වතුර අල්ලන්න නොදුන් නිසාද? ඔයාගෙ පපුවෙන් එන රාං රෑං සද්දෙ අහ අහ කොහොමද මම ඔයාට වතුර අල්ලන්න දෙන්නෙ... පහුගිය දවස්වල ඔයාට හොදටම කැස්ස... ඉතින් වතුර සෙල්ලම් කරන්න දුන්නොත් ඔයා ආයෙම ලෙඩ වෙයි. ඒ හින්දනෙ එපා කිව්වෙ... නැත්නම් වෙනද මුළු ගේම අවුල් කරන්න උනත් මම්ම ඉඩ දෙනවා නේද? සාලෙ පුරාම වතුර ඉහිරවගෙන තේ හදන්නත් ඉඩ දෙනව නේද? ඔයා හදල දෙන තේ රස කර කර මම්මත් බොනව නේද?

මම්මගෙ අළුත් ගේ වටේට පොඩි මම්ම හිටවල තියෙන සීනියාස් මල් පාත්තියෙ යාය‍ට මල් පිපිලා... නමක් නොදන්නා පුංචි මල් පදුරු තාරකා වගේ පුංචි කහපාට මලින් පිරිලා... දාස්පෙතියා මල් පාත්තියෙ දැන් පොහොට්ටු ඇවිදින්... දවල් කුමාරි මල් පාත්තියේ පාට පාට මල් එක දෙක පෙති ඇහැරවන්න පටන් අරගෙන.... පාට පාට සමනල්ලු දවස පුරාම ඒ මල් යායට එනවා..... ඔයාට මම්ම පෙන්නුව නේද? ඔයා බඩ පිරෙන්න බයියං කනව වගේ, කුක්කු බොනව වගේ සමනල්ලු බණ්ඩිය පුරව ගන්නෙ මල් පැණි බීල...

ඇයි පුංචි දෝණි ඔයා ඒ මල් කඩල පොඩි කරල දාන්නෙ... මම්ම ඔයාගෙ පස්ස පැත්තට පාරක් ගැහුවෙ රිදෙන්න නෙවෙයි.. ඔයා ආදරෙන් කියන ‍දේ අහන්නෙ නැතිව මම්මගෙ මල් කඩල දාන නිසයි....

ඔයා මුතු අක්ක එක්ක නිතරම රණ්ඩු අල්ලනවා.. මූණ සූරනවා.. මුතු අක්කව හපනවා.. ඒ හින්දයි මම්ම මුතු අක්කට ඔයාගෙන් ඈත් වෙලා  ඉන්න කිව්වෙ. ඒකට කේන්ති ගිහින් ඔයා හයියෙන් කෑ ගැහුවා නේද? මම්මටත් ගැහුව නේද? ඔයා මම්මට යන්න කිව්ව නේද?

ඔයාට හිතෙනවද? මම්ම ඔයාට දැන් ආදරේ නෑ කියල... එහෙම නෑ මැණික.... ආදරේට තමයි ටිකක් සැර වෙන්නෙ... ආදරේට තමයි සමහර දේවල් කරන්න එපා කියන්නෙ...

ඔයාගෙ අම්මත් පුංචි කාලෙ දඟ මල්ලක්.. ඒත් මේ තරම්ම නම් නපුරු උනේ නෑ... හමෝගෙම ආදරේ වැඩියෙන් ලැබුණ හින්දද මගේ චූටි රොස මල මේ හැටි නපුරු වෙලා තියෙන්නෙ...

මේ සති අන්තයේ මම්මා ගමේ ඉදන් කොළඹ ආවෙ ලොකු දුකක් හිතේ තියාගෙන... බස් එකේදිත් සැරින් සැරේ මම්‍මගෙ ඇස්වලට කදුළු පිරුණා, ඔයා නපුරු උන හැටි මතක් වෙලා...  ‍පහුගිය අවුරුදු දෙකහමාර පුරාම මම්මගෙ හිත පිරිල තිබුණෙ ඔයාගෙ ආදරෙන්ද කියල අද මම්මට හිතුණා..... දැන් අයනු ආයනු දන්නෙ නැති උණත් ඔයා ලොකු උන දවසක මම්මගෙ බ්ලොග් එක කියවාවි.. එදාට ඔයා තේරුම් ගනීවි මම්මත් අම්ම තරම්ම ඔයාට ආදරෙයි කියල....

මම්මගෙ රන් කැටේනෙ ඔයා.. සූකිරි බෝලෙන.. චූටි මැණිකනෙ... වස්තු කැටේනෙ....

ගැහැණු දරුවෙක්ගෙ ජීවිතේ ලස්සන වෙන්නෙ එයා නිහතමානී වෙන තරමට.. සරල වෙන තරමට... නපුරු කම ගැහැණු දරුවෙකුට ගැළපෙන්නෙ නැහැ.. ටිකක් ආඩම්බර උනාට කමක් නැහැ. ඒත් නපුරු වෙන්න හොද නැහැ... තාම ඔයාට තේරෙන්නෙ නැහැ මේව... ලොකු උණාම මම්ම තේරුම් කරල දෙන්නම් හොදේ...

මගේ චූටි රෝස මලට දෙවි පිහිටයි... 

22 comments:

  1. චූටිෙෝ ඔෙොම තමයි .... හිත රිවා ගන්න එපා.... ඊළග සති අන්තෙේදී ආදරය කරාවි...එයාට ලස්සන ෙෙල්ලම් බඩුවක් අරෙෙන යන්නෙෝ....

    ReplyDelete
    Replies
    1. මීට කළින් කවදාවත් උනේ නැති වැඩක් මේ වුණේ.. බලමුකෝ එහෙමවත් කරල ආයෙම යාළු කර ගන්න.

      Delete
  2. දෑනුන දේවල් කියන්න විදිහක් නෑ තරූ... එයා ලොකු වෙද්දි තේරුම්ගනී ආදරේ කරන්නෙ කවුද නෑත්තේ කවුද කියල....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් තාම පුංචියි... ඒත් මට දැණුනු දුක නිසාමයි මෙහෙම ලිව්වෙ.. එයා කවද හරි බලාවිනේ..

      Delete
  3. අනේ..

    මම හිතුවේ අර සිංදුව ගැන විචාරයක් කියලා.ඒත් කියවද්දි තමා තේරුනේ අමුතු කතාවක් කියලා

    ReplyDelete
    Replies
    1. සින්දුව ගැනත් ගොඩක් දේවල් ලියන්න කියන්න පුළුවන් නේද?

      Delete
  4. පොඩි එවුන් එහෙම තමා තරු...හිත රිදවගෙන තියෙන්නේ ඔයා වගෙයි...ඔව්ව ඔහොම තමයි අනේ..මොනව වුණත් පොඩි එවුන් ඕවා හිතේ තියාගන ඉන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ලබන සතියෙ වෙද්දි එයාට අමතක වෙලා තියේවි... ඒත් මට තාමත් හිතට දුකයි.

      Delete
  5. පොඩි එවුන්ගේ වැඩ ගැන නම් ඉතිං කවර කතාද... හි හි

    ReplyDelete
    Replies
    1. මෙයත් හරි දග මල්ලක් හිරෑ... කියන කරන දේවල්වලට පුදුමත් හිතෙනවා.. හරි ආසයි වෙලාවකට පොඩි කරල දාන්න හිතෙනව.... අපේ පුංචි කාලෙ අපි ඒ තරම් පණ්ඩිත නෑ නේද?

      Delete
  6. ඊලග සතියෙ ගෙදර ගියාම වෙනද වගේම පොඩ්ඩි මම්මගේ උකුලට ඇවිත් තුරුල් වෙන්නේ නැද්ද බලන්‍න.. පොඩිකමටනේ අකේකේ කරන්න ඇත්තේ.. දැනුං තේරුං ඇතුව කරන දේවල් නෙවීනේ..
    (පොඩ්ඩිට කියන්න මම කිව්වයි කියල පොඩ්ඩිට වඩා මම්මා පොඩි එකෙක් වෙලා කියල)

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි වැරැද්ද මම්මගෙ...

      Delete
  7. මේ පොඩ්ඩිගේ හිනාවයි ලොකු මම්මගේ පෝස්ටුවයි නියමයි. දෙකම හිතට වදිනවා

    ReplyDelete
    Replies
    1. මේ හිනාව වගේම තමයි මෙයා රවන්නත් දක්ෂයි... කේන්ති ගියාම මූණ සූරනවා, නැත්නම් හපනවා... හැබැයි ඉක්මණින්ම දුකත් හිතෙනවා...

      Delete
  8. හ්ම්ම්ම්ම්ම් අර ඔයා අන්තිමට කියපු දේවල් ටික
    ටිකක් තදින් උනත් කමක් නැහැ දුවට කියන්න .
    මන් නම් දරුවන්ට පොඩ්ඩක් වත් තරවටු කරන්න
    කැමති නැහැ .නමුත් අවශ්‍ය තැනදී එසේ කල
    යුතුමයි.
    ඔයා අම්ම කෙනෙක් නිසා මේ පොස්ට් එක බලල දෙයක් කියන්න
    පුළුවන් වෙලාවක ...
    තම මව තුලින් ලෝකය ගොඩ නගන දුවණිය| A little girl,dreaming about her mom.

    අහ තව දෙයක් අර සින්දු කොටස තදින් හිතට වැදුන ,
    මේකට සම්බන්ද නැති දෙකට හිත එක පාරට දිව්වා ...

    ReplyDelete
    Replies
    1. අම්ම ‍නොවීත් ම‍ගේ හිත ‍මේ තරම් රි‍දෙනවනම්, අම්මල තමන්‍ගෙ දරුවො නිසා ‍කොයි තරම් හිතට දුක් ගන්නව ඇද්ද?

      මේ සින්දුව ඇ‍හෙද්දි කටු ඇණුන තැන්වල තුවාල ආ‍යෙම රිදුම් ‍දෙනව ව‍ගේ දැනෙනව ‍නේද?

      Delete
  9. චූටි රෝස මලේ හිනාවට නම් මගෙ හිත ගත්තා. අනේ මේ චුට්ටියා ඔයාට නපුරු නෑ තරු අක්කා..චූටු කෙලිත්ත ඔයාගෙ අවධාණය ගන්න හිතාගෙන එහෙම කරනවා ඇති..ආදරේ මහ ගොඩක් එයාට දෙද්දී...ඒ වගේම එයාට යන්තම් දැනුම් තේරුමක් ඇති වෙද්දී..එයා ඔයාටත් මහ ගොඩක් ආදරේ වේවී..පේන්නෙ නැද්ද සුන්දර හිනාව..

    ReplyDelete
    Replies
    1. මටත් හි‍තෙන්‍නෙ හුරත‍ලේ වැඩි ‍වෙලා.. ‍‍වෙලාවකට නපුරු උණත් හරියට දුකත් හිතෙනව... සං‍වේදී හිතකුත් ති‍යෙනවා.. එයා‍ගෙත් හිත රි‍දෙන්න ඇති මම ටිකක් සැර උණ නිසා...

      Delete
  10. මම්මා දෝනිට ගොඩක් ආදරෙයි වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්... හ්ම්... එක අකුර‍නේ අම්ම‍ගෙන් ‍වෙනස් ‍වෙන්‍නෙ.

      Delete
  11. මම නම් දෙනව පස්ස පැත්තට කෝටූ පාර දෙක තුනක් රිදෙන්නම...

    හී.. එහෙම කිව්වට තව අවුරුදු 10,15 කින් මටත් ඔය වගේ බබෙක් හිටියොත් ගහන එකක් නෑනේ...... :D

    ReplyDelete
  12. තරු අක්කා හරි සංවේදියි නේද? මොනවා උනත් ඕක ටික දවසකින් අමතක වෙලා යාවි. පොඩි උන් එහෙමනෙ. කිසිම සැර වැරයක් නොකරම ළමයි හදන එකනම් එච්චර හොඳ නෑ කියලා මම අහල තියනවා. එතකොට එයාලා ලොකු උනාම උනත් දෙමව්පියෝ බය කරගෙන තමන්ට ඕන දේ කොහොමහරි කරගන්න බලනවලු. මම එහෙං මෙහෙන් කියවපුවා තමයි ඔය.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...