Wednesday, January 16, 2013

සුන්දර සති අන්තේ...




ඒකාකාරී දවස් පහකට පස්සෙ එන සති අන්තයට මං හරිම ආදරෙයි.. ‍ගමේ ගියත්, වෙනත් වැඩක නිරත උණත් සති අන්තය සැබවින්ම සුන්දරයි. ආදරණීයයි. සිකුරාදා හැන්දෑවට කාර්යාලීය හිතමිත්‍ර නඩයෙන් සමුගන්නෙ මං ''සුබ සති අන්තයක් වේවා...'' කියලමයි.. ඒ වෙලාවට මට දැනෙනවා මගේ හිත අමුතු නිදහසකින් සතුටකින් පිරිල යනව ව‍ගේ... එකම කාලසටහනකට ගලා ගෙන යන සතියේ දවස් පහට ජීවත් වෙන්න හුස්ම දෙන්නෙ සති අන්තය.. ධෛර්යය දෙන්නෙ සති අන්තය... 


දීපවාලි නිවාඩුවත් ආව නිසා මේ සති අන්තය ටිකක් දීර්ඝ උණා.. 

ළ.ක්‍රි.වී. එකතුවක්... 

සිකුරාදා හැන්දෑවෙ ළ.ක්‍රි.වී. එකමුතුවකට සහභාගි වෙන්න ලැබුණා. කාලෙකට  පස්සෙ කට්ටිය එකතු වෙලා හිනා, කඳුළු, රස කතා, ජීවිතේ ගැන කතා එක්ක සෙනසුරාදා දවසත් ගත වුණා. ( ළ.ක්‍රි.වී. කියන්නෙ ‍මොකක්ද කියල බ්ලොගය බලන කවුරුත් අහන නිසා මේ සමගම ඒ ගැනත් ලියන්න ඕන. ) අවුරුද්ද පටන් ගනිද්දිම ළමා එකමුතු කරන්න සූදානම් වෙන නවක අනුශාසකවරු පුහුණු කරන්න ඕන.. ඒ ගැනයි මේ එකමුතුවෙදි කතාබහ උණේ. 

අපට තියෙන ලොකුම ගැටලුව තමයි දැන් සමාජ වැඩවලට ‍නව යොවුන්, තරුණ තරුණියන් සම්බන්ධ කර ගන්නට තියෙන අසීරුකම.. විශේෂයෙන්ම ළමා ලොවට ගිහින් ළමයින්ව ‍තේරුම් අරන් ඒ අය එක්ක වැඩ කරන්න කැමැත්තක් තියෙන කොල්ලෙක්, කෙල්ලෙක් සොයා ගැනීම අභියෝගයක්.. තමන්ගේම වූ ඉලක්ක හඹා යන සමාජයක අනෙකා වෙනුවෙන් පුංචි කාලයක් වත් වෙන් කරන්න සූදානම් අය කොයි තරම් අඩුද? 

පියතුමාගෙ ගෙවතු වගාව

මරදාන දේවස්ථානයේ පුංචි පියතුමා පල්ලිය වත්ත පුරාම වගා කරල. ඇපල්, පෙයාර්ස්, තේ පැල, රම්පෙ කරපිංචා, දඹල, ගොටුකොල, මඤ්ඤොක්කා, බතල, කතුරු මුරුංගා, සලාදකොල, මිංචි, ගස්ලබු... පුංචි ඉඩකඩේ නොයෙක් වගාවන්. '' අක්කෙ කොහාමද මගෙ ගෙවත්ත " කියල බොහොම ආඩම්බරෙන් වත්ත වටේම කැන්දන් ගිහින් පෙන්නුවා. ඇත්තටම අපූරු වගාවක්. ආදර්ශ ගෙවත්තක්. මරදාන වගේ පරිසරයක මේ වගේ වගාවක් පවත්වගැනීම අපුරුයි. 

'' මල්ලියෙ අස්වද්දන්න ඕන මනුස්ස හදවත්. ඒක අමතක කරන්න එපා.. '' මම එහෙම කිව්වෙ නැහැ. ඒත් ආ‍යෙම මුණ ගැහුණ දවසක ඒ ගැන සංවාදයකට යන්න ඕන....

''ධනවාදය බරපතල පාපයකි."

කිතුසර කණ්ඩායමේ අජිත් හැඩ්ලි පෙරේරා ලියූ ''ධනවාදය බරපතල පාපයකි'' පොත එළිදැක්වීම තිබුණෙ 13 හවස මාරිස්ටෙලා විදුහලේ. ඒ ගැන මූණුපොතේ දාපු සටහන දැකල ( හරීගෙ හීනලන්තය ලියන ) හරී මල්ලි අහල තිබුණ එන්නෙ කොහොමද කියල. ඉතින් මම එන්න පාරත් ලියල, මගේ දුරකතන අංකයත් එක්ක මූණුපොතේ පණිවිඩයක් තිබ්බා. හරී මල්ලිත් ආව පොත එළිදැක්වීමේ උත්සවයට. ආවමයි මම දන්නෙ මම මේ පාර කියල තියෙන‍්නෙ එයා ඉගෙනගත් ඉස්කෝලෙටම එන්නනේ. 

කථිකාචාර්ය චමීර පෙරේරාගෙ කතාවෙදි හිතට අල්ලපු කාරණය තමයි එතුමා ''දේශපාලනය'' ගැන කළ විග්‍රහය. මිනිසාගෙ පොදු යහපත වෙනුවෙන් වෙනුවෙන් වැඩ කිරීමලු දේශපාලනය. දේශපාලනය කියන්නෙ හරිම උත්තරීතර කාර්යයක්ලු. ආර්ථිකයයි, ‍දේශපාලනයයි එකට යන්න බැරි කාරණා දෙකක්ලු. නමුත් අද දේශපාලනය යොදා ගන්නෙ ආර්ථිකය තමන්ට වාසි වෙන විදියට කළමනාකරණය කර ගන්නලු. ඒ නිසාම දේශපාලනයේ මුඛ්‍ය පරමාර්ථය යටපත් වෙලා ධනේෂ්වර සමාජයේ අතකොළුවක් බවට පත්වෙලාලු. මේ ආර්ථිකය කළමනාකරණය කරන දේශපාලන බලය පවුලක් වටා කේන්ද්‍ර වීමලු වඩාත්ම භයානක. 

හ්ම්...හ්ම්.. ඇත්ත තමයි. මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කිරීමයි දේශපාලනය කරනවා කියන්නෙ. එහෙමනම් හැම කෙනෙකුටම අයිතියක්, යුතුකමක්, වගකීමක් තියෙනවා දේශපාලනය කරන්න.

මහින්ද නාමල් සොයුරාගෙ දේශනයෙදි තහවුරු කළේ බයිබලයේ පැරණි ගිවිසුමේවත්, නව ගිවිසුමේ ජේසුතුමාගෙ දේශනාවලදිවත් කිසිම විටක ධනවාදය අනුමත කරල නැති බවයි. කිතුනු දහම ධනපති පන්තියේ දහමක් බවට පත් වෙන්නෙ ක්‍රම ක්‍රමයෙන්. ක්‍රි.ව. 500 පමණ වන විට. 


ඔන්න ඉරිදා දවස ගෙවුණා. ආදරණීය මිනිසුන් මුණ ගැහුණ, හිතන්නට බොහෝ කාරණා ජීවිතයට එක් කළ දවසක්.


සෙනෙහසේ නවාතැනක්


දීපවාලි නිසා සඳුදා නිවාඩුනේ. මගේ හොදම යෙහෙළියක් කුලී නවාතැනින් නැවතත් මහගෙදරට සම්ප්‍රාප්ත වුණ නිසා ඒ දවස වෙන් කළේ ඇගේ ගෙය අස්පස් කරල දෙන්න. මගේ පවුලේ අයගේ නිවෙස් හැරුණම මගේ වගේ ආදරණීය නිවෙස් කිහිපයක්ම තියෙනවා මට ඕනෑම වෙලාවක දොරටු විවෘතව පවතින. මගේ යෙහෙළියගේ ගෙයත් එයින් එකක්. 


ඇගේ තාත්තට වයස 80ක්. කතා සාගරයක්. ආදරයේ උල්පතක්. අම්මාට 78 ක්. ඈ දාන පාරමිතා පුරන්නියක්. ඒ වගේම සෙනෙහස් සාගරයක්. පුදුමාකාර විදියට මැදිහත්ව ජීවිතේ දිහා බලන අකම්පිත චරිතයක්... ධෛර්යවන්තකම, මෙත්සිත උතුරනවා කොයි මොහොතෙත්. ඒ අම්මගෙයි, තාත්ත‍ගෙයි මූණ දැක්කත් හිත පිරෙනව. දෙමව්පියො නම් මෙන්න මේ වගේ වෙන්න ඕන කියල උදාහරණයකට ගන්න පුළුවන් අපූරු මව්පිය යුවළක්. 


සාලෙත් පිළිවෙලක් කරල, යාළුවගෙ පොත් එකතුවක් ‍වෙන් කරල කබඩ් එකට දාලා, කාමරෙත් අස් කරල දීලා මමත් පොත් කීපයක් උස්සන් ආව. හිතට සතුටුයි. 


නෙත් අගට කඳුලක් ගෙනා ''නේත්‍රා ''


උපුල් ශාන්ත සන්නස්ගලගෙ නේත්‍රා අරන් ආවෙ යාළුවගෙ පොත් එකතුවෙන්. අන්තිමට නම් හිතුණෙ ඇයි මං මේ පොත කියෙව්වෙ කියල. පොත නරකයි කියනව නෙවෙයි. මිනිස්කමේ යථාර්ථය වෙන්න ඇති‍ මේ. ඒත් ඒ ඇත්ත මට දරා ගන්න අමාරුයි. විශ්වගෙ අම්මගෙ මරණෙන් පස්සෙ මම පොත කියෙව්වෙ නැති තරම්. උඩින් පල්ලෙන් පෙරළගෙන ගිහින් අන්තිම පිටු ටික විතරයි නැවත කියෙව්වෙ. විශ්ව ගැන මහා අනුකම්පාවක්, දුකක්, දුල්ලෑව ගැන අප්‍රසාදයක්, නේත්‍රා ගැන කේන්තියක් එක්ක දැණුනු කම්පනය කොයි තරම්ද කියනවනම් නිදිදෙව්දුවත් අමනාප වෙලා ආවෙ බොහොම පමා වෙලා. 


ඔන්න සති අන්තය නිමා වුණ හැටි. 


මේ හැමදේම අතර කවියක් දැවටි දැවටි උන්නා හිත ළඟ. තවමත් හරියට පද ගැළපුණේ නැහැ. සමහරවි‍ට කවමදාවත්ම කවිය ලියා ගන්න බැරි වේවි. ඒ උනත් මේ කවියට මං හරිම ආදරෙයි. 

( පසුගිය සති අන්තෙ ගමේ ඉදන් ආවෙ චුටි දෝණි එක්ක රණ්ඩුවක් දාගෙන හිතේ දුකෙන්නෙ. මේ සැරේ  දුරකථනයෙන් කතා කළාම දෝණි කියනවා '' මම්මෙ ඔයා පයින් එන්න එපා. අම්මයි, මායි ඔයාව එක්කන් යන්න එනවා " කියල. පව් මගේ රන් කැටේ. එයාගෙ හිතේ මම ගෙදර එනව කියල.  ඒ වෙලාවෙ නම් මට ඉගිල්ලිලා ගෙදර යන්න හිතුණා. )


7 comments:

  1. අර්ථවත් සති අන්තයක්නේ ගෙවිලා තියෙන්නේ...

    ReplyDelete
  2. සති අන්තය ලස්සනට ගත කරලා. මම නම් පොත් සෙට් එකක් එක්ක සති අන්තය ගත කරපු එක විතරයි කලේ. කොහේවත් යන්න ලැබුනේ නෑ.
    ල.ක්‍රි. වි. ගැනත් ඉදිරියේදි ලියන්ඩ.

    ReplyDelete
  3. මාර සති අන්තයක්

    ReplyDelete
  4. නියම සති අන්තය. සති අන්තයත් මේ වගේ ගතවෙද්දී කම්මැලිකමක් නැහැ :)

    ReplyDelete
  5. //ළ.ක්‍රි.වී//

    කියන්නෙ ළමා ක්‍රියාකාර වීරයෝ නේද තරු අක්කා..? ඔයා අපේ පැත්තෙ යන්නෙ ඒකටද ?

    තරු අක්කට අපූරු සති අන්තයක් ලැබිලා...අනේ ඉතින්..මම සති අන්තෙත් ඔෆීසියේ :(

    ReplyDelete
  6. මෙහෙම සති අන්ත අපිට නෑ බං.. නැගිටිනවා කනවා නිදාගන්නවා.. හිහි දුක තමා...

    ReplyDelete
  7. සති අන්තෙ මං නම් නිදා ගන්නවා :D

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...