මිනිස්සු තමන්‍ගෙ වාසනාවන්ත බව මනින්‍නෙ එක එක කාරණාවලින්.. වාසනාව තියන්‍නෙ
වස්තුව, දේපළ, යාන වාහන, තනතුරු ඔය වගේ දේවල් මත කියල හිතන අයනෙ වැඩි...
මම ගොඩක් වාසනාවන්තයි කියල මට හිතෙන්‍නෙ අතිශයින් දයාබර මිනිස්සු ඇසුරු කරන්න ලැබුණු
නිසා, ආදරවන්ත පවුලක නෑසිය හිතමිතුරන් මැද ජීවත් වෙන්න ලැබුණු නිසා.... ජීවිතේ
විවිධාකාර අත්දැකීම් ලබන්නත්... විවිධාකාර මිනිසුන් අතර, ගම්දනව් අතර සැරිසරන්නත්
ලැබුණු නිසා.... කොටින්ම එක තැන පල් නොවන ආදරවන්ත ජීවිතයක් ලැබුණු නිසා...
මේ තවත් ඒ වාසනාවන්ත බව අත්දකින්න ලැබුණු අපූරු සති අන්තයක්...
2013.01.18 සිකුරාදා....
හැන්දෑවෙ නිර්මල මරිය නිකායේ ගරු තිස්ස බාලසූරිය පියතුමාට ගෞරව
දක්වන්න අවස්ථාව ලැබුණා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයෙදි. එතුමා බොහෝ කලක සිට
දන්නා හදුනන දයාබර පියතුමෙක්.. ( ඒ මතකයන් වෙනමම ලිවිය යුතුයි. ) රාත්‍රී 10 පමණ
වන තුරු එතැන සිටි නිසා දිගු කලකින් හමුනොවුණ දයාබර හිත් රැසක් හමු වුණා... අවමංගල්‍ය
සංවේගාත්මක හැගීම් පරයා මංගල සිරියක් මතුවුණා. කාලෙකින් හමුවන විට මිතුරු
මිතුරියන් ප්‍රීතියෙන් ඉපිලෙන හිත අවමංගල්‍ය අවස්ථාවකට ගැළපෙන විදියට සංවර කර
ගැනීම හරිම අමාරුයි. බාලසූරිය පියතුමා උණත් සතුටින් මේ සමාගමය දිහා බලන් ඉන්න
ඇති...
පියතුමාගේ නිසල දේහය ඉදිරිපිට ලියා තිබූ මේ කතාව මගේ සිත් ගත්තා... එය
එතුමා විසින්ම කරන ලද ප්‍රකාශයක්...
‘‘
පීඩිතයන්ට
සේවය කිරීමෙන්ද, ඔවුන්ගේ අවශ්‍යතාවන්හිදී උපකාර කිරීමෙන්ද, තමා සතු වස්තුව හා
හැකියාවන් බෙදා ගැනීමෙන්ද, සිතින් හා හදවතින් ඔවුන්ගේ දුක් හා කරදරත් ඒවාට මූලික හේතුත් ගැඹුරින්
විමසා බලා තේරුම් ගැනීමෙන්ද, ඔවුන්‍ගේ අරගලයට මැදිහත් වීමෙන්ද, දැනීම දියුණු වන
පොදු මත ඇති කිරීමෙන්ද, සමානාත්මතාවය හා සාධාරණය කරා ළගා විය හැකිය. ”
2013.01.19 සෙනසුරාදා
අවදි වුණේ පාන්දර තුනට. විවාහ මංගල්‍යයකට සහභාගි වෙන්න බගවන්තලාවේ යාමට
තිබුණු නිසා. තුනහමාරට විතර සමාජ හා සාමයික කේන්ද්‍රය ඉදිරිපිට සිටින විට විවෘත
ජනෙල් පියන් අතරින් බාලසූරිය පියතුමාගේ තනි වුණු නිසල දේහය දකින්නට ලැබුණා. කොතරම් පිරිසක් පිරිවරා සිටියත් අවසන් ගමන
යන්නට වන්නේ තනිවම නොවේද?
හැටන් හරහා බගවන්තලාව දක්වා ගමන් මග සැබවින්ම සුන්දරයි. පළමු වතාවට කිතුනු දේවස්ථානයක
දමිළ විවාහ මංගල්‍යකට සහභාගි වෙන්න ලැබුණේ. ඒ වගේම මුල්ම වතාවටයි මම තේ වතු
ආශ්‍රිත මංගල අවස්ථාවකට සහභාගි වුණේ. මෙම මංගල උත්සවය පුරාම කිතුනු, හින්දු, බටහිර
සංස්කෘතින්වල කලවමක් දක්නට ලැබුණා.
තේ වත්‍තට අයත් පොදු ශාලාවකයි විවාහ උත්සවය පැවතුණේ. ශාලාවට ඇතුල් වෙන තැන කෙසෙල් ගස් දෙකකින් සහ ගොක් කොලවලින් සරසල තිබුණා. අපි හැමදෙනාවම පිළිගත්‍තෙ පැන් ඉහළ, නළලේ තිලක තියල හින්දු සම්ප්‍රදායානුකුලව. ඔබට සිතා ගත හැකිද ප්ලාස්ටික් පිගානක ආහාර අසුරනයක් එලල ව්‍යංජන කිහිපයකින් සංග්‍රහ කරන, අතුරුපසට ඇඹුල් කෙසෙල් ගෙඩියක් දෙන වෙඩිමක් අප අවට.
නමුත් ඒ විවාහ උළෙල අතිශයින් සරලයි. අවම වියදමක් දරන්න උත්සාහ කරල තිබුණා. නිස්කාරණේ මගුල්වලට වියදම් කරන සල්ලිවලින් දුප්පත් කෙල්‍ලො කී දෙනෙක්ව නම් බන්දල දෙන්න පුළුවන්ද?
තේ වත්‍තට අයත් පොදු ශාලාවකයි විවාහ උත්සවය පැවතුණේ. ශාලාවට ඇතුල් වෙන තැන කෙසෙල් ගස් දෙකකින් සහ ගොක් කොලවලින් සරසල තිබුණා. අපි හැමදෙනාවම පිළිගත්‍තෙ පැන් ඉහළ, නළලේ තිලක තියල හින්දු සම්ප්‍රදායානුකුලව. ඔබට සිතා ගත හැකිද ප්ලාස්ටික් පිගානක ආහාර අසුරනයක් එලල ව්‍යංජන කිහිපයකින් සංග්‍රහ කරන, අතුරුපසට ඇඹුල් කෙසෙල් ගෙඩියක් දෙන වෙඩිමක් අප අවට.
නමුත් ඒ විවාහ උළෙල අතිශයින් සරලයි. අවම වියදමක් දරන්න උත්සාහ කරල තිබුණා. නිස්කාරණේ මගුල්වලට වියදම් කරන සල්ලිවලින් දුප්පත් කෙල්‍ලො කී දෙනෙක්ව නම් බන්දල දෙන්න පුළුවන්ද?
මනාලිය වසර පහක් පමණ අප සමග කොලොම්පුරේ ළමා සංවිධානයේ කටයුතු කළ
නැගණියක්. යෝජනාවක් අනුව ඇය විවාහ උණේ ඇගේ බාල සොයුරියන් තිදෙනාටත් අවස්ථාව
සලසා දිය යුතු නිසයි. ඉතින් මුළුමනින්ම ආගන්තුක මේ අළුත් ජීවිතයට කොතෙක් දුරට සාධාරණයක්
ඉටු කරන්නට ඇයට හැකි වේවිද? හදවතින්ම සුබ පතන අතරම මට ඈ ගැන මහත් සංවේගයක්ද දැණුනා....
2013.01.20 ඉරිදා
පාන්දරින්ම කොළොම්පුරන් පිටත් උණා. දෝණිගෙ අකුරු කියවීම යෙදිල තිබුණ
නිසා. පුංචි සුරංගනාවියක් වගේ ඈ... ‘‘ අ” වෙනුවට කිව්‍වෙ අයන්න කියන්න ලොවටම ඇහෙන්න
සින්දුව. ඒකත් නරක නෑ. අම්මල, මම්මල වගේම ඇයත් සින්දු පිස්සියක්.
ඥාති සොයුරෙකුගේ විවාහ මංගල්‍යක් වෙනුවෙන් වව්නියාවේ සිට තවත් ඥාති
පිරිසක් පැමිණියා. ඔවුන්ගේ නිවසේ සේවය
කරන දමිළ යුවතියකුත් පැමිණ සිටියා.. අහිංසක පුංචි කෙල්‍ලෙක්.
දන්නා දෙමලෙකුත් නැතත් ඈ සමග හිතවත් වන්නට මා දන්නා මිනිස්කමේ භාෂාව උදව්වක් උණා.
දන්නා දෙමලෙකුත් නැතත් ඈ සමග හිතවත් වන්නට මා දන්නා මිනිස්කමේ භාෂාව උදව්වක් උණා.
‘‘පේර් එන්න තංගච්චි?”
‘‘ කවීතා ”
“ ඌර් එන්න ”
‘‘නයිනතිව්”
ඔන්න ආරම්භය.
රාත්‍රී 11 පමණ වන විට බිත්තියකට හේත්තු වී ඈ නිදා වැටෙමින් සිටියා.
‘‘ කවිතාව අපේ ගෙදර එක්ක යන්නද? නිදා ගන්න. ” මම ඥාති සොයුරියගෙන් විමසූවා.
‘‘ ඔයා දෙමළ දන්‍නෙත් නෑ. ඒ ළමයා සිංහල දන්නෙත් නෑ. අපූරුවට තියෙයි.” ඈ කිව්වා.
‘‘අවුලක් නෑ. මට මැනේජ් කර ගන්න පුළුවන්.. දැනටත් අපි කතා කළා ”
කවීතා කිසිම පැකිලීමක් නැතිව සතුටින් මාත් එක්ක ආවා. ගෙදරට ආවම ඇයට
කුතුහලයක් දැනෙන්න ඇති. ගෙදරට ඉන්න එකම මිනිස් ප්‍රාණියා මමනෙ. ඇය දීර්ඝ ලෙස
දමිල බසින් ඇසූ දේවල් මම තේරුම් ගත්‍තෙ ඉවෙන් වගේ.
‘‘ තමිල් තෙරිය ඉල්‍ලෙ.” මා කීවත් ඇගේ කතාව නැවතුණේ නැහැ.
ඇත්තටම ඇගේ දීර්ඝ කතාවේ වචනයක් දෙකක් අල්ලගෙන මම අනුමාන කළා ඇය අහන්නෙ කුමක්ද යන්න.
‘‘ අම්මා අප්පා?”
‘‘නෝ අම්මා අප්පා... ” අංග චලනත් ඉංග්‍රීසි කෑලිත් උදව් කරගෙන මම ඇගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා.
‘‘මැරේජ්” එවර ප්‍රශ්නයට එක වචනයයි.
‘‘නෝ මැරේජ්”
ඉන්පස්‍සෙ ඇය දීර්ඝ කතාවක්... මොනවත්ම නොතේරුණත් මම තේරුණා වගේ හිනැහුණා.
එකම පුංචි ඇඳයි කාමරේට තියෙන්‍නෙ. ඇයට රාත්‍රී නිදන ඇඳුමකුත් දීල, බිමට පැදුරක් දාල, මදුරු දැල එලල නිදා ගන්න සැලැස්සුවා.
‘‘ තැන්ක් යූ අක්කා.. ” ඇය හිනාවෙලා කිව්වා.
‘‘ ගුඩ් නයිට් තංගච්චි” මමත් කිව්වා.
නිදා ගන්න ඇඳට ගියාම නම් පුංචි දුකක් හිතුණා ඇයි මම කවීතාට ඇඳ දීලා බිම නිදා ගන්න නොගියෙ කියල. ඒත් ඒ වෙද්දිත් ඈ සුව නින්දක.
හිත් යාවෙන්න භාෂාවක් ඕනමද? ඕනවෙන්‍නෙ උවමනාවයි ආදරයයි නේද?
පසුවදා උදේ මංගල උත්සවයට මම සැරසුණේ සල්වාරියකින්. මා දුටුමතින්ම කවීතාගේ
මුහුණේ ලස්සන සිනා මලක් පිපුණා. ඇය තමන් ඇඳ සිටි සල්වාරියටත් මා දෙසටත් ඇගිල්ල
දිගු කළේ ඒ සුන්දර සිනාවෙන්මයි.
පෝස්ට් දෙකක් අතර යම් කාලයක් තිබුනොත් හොඳයි ණේද? තව පොඩ්ඩෙන් මෙක මග ඇරෙනවනේ
ReplyDeleteකතාව නම් ඇත්ත... ඒත් මොනා කරන්නද ලියන්න බල කරන හිත නවත්තගන්න බැහැනේ... අනික කාලය හීසරෙන් ඉගිල්ලෙනවා.. ලියන්න තියෙන බොහෝ දේ මතකයෙන් ගිලිහෙනවා.... ආයෙම මෙවන් වැරදි නොකර ඉන්නම්...
Deleteමෙහෙම පෝස්ට් දාන්න එපා දෙයියනේ. කියවන්න අමාරුයි.
Deleteදසවට එක ගානේ දැම්මහම හරි. ලියන්ඩ හිතෙන වෙලාවට ලියලා ඩ්‍රාෆ්ට් එකේ තියන්න. එක ගානේ පබ්ලිශ් කරන්ඩ
අද පළ කළාට මේව එකක් වත් අද ලිව්ව ඒව නෙවෙයි මල්ලී... කවිය නම් ටිකක් පරණයි.. අද දාන්න හිතුණා... මොනා කරන්නද? හිතට වැට කඩුළු බදින්නත් බැහැනෙ..
Deleteඒත් ඔන්න හිතට ගත්තා.. ආයෙම එක දවසට ලිපි දෙකක් දාන්නෙ නැහැ...
//හිත් යාවෙන්න භාෂාවක් ඕනමද? ඕනවෙන්‍නෙ උවමනාවයි ආදරයයි නේද?//
ReplyDeleteඇත්තම අත්ත...
අත්දැකීමෙන් මම එහෙම කිව්වෙ හිරෑ..
Deleteஎன்ன ஒரு அற்புத வார.
ReplyDeleteඅන්ඩර දෙමල වගේ මල්ලී...
Delete2013.01.20 ලිපියට මා ඉතාමත් කැමතිය.
ReplyDelete//අතිශයින් දයාබර මිනිස්සු ඇසුරු කරන්න ලැබුණු නිසා, ආදරවන්ත පවුලක නෑසිය හිතමිතුරන් මැද ජීවත් වෙන්න ලැබුණු නිසා.... ජීවිතේ විවිධාකාර අත්දැකීම් ලබන්නත්... විවිධාකාර මිනිසුන් අතර, ගම්දනව් අතර සැරිසරන්නත් ලැබුණු නිසා.... කොටින්ම එක තැන පල් නොවන ආදරවන්ත ජීවිතයක් ලැබුණු නිසා...//
ReplyDeleteජීවිතයේ වාසනාවන්තකම ඇත්තටම රැදී තියෙන්නෙ මේ මතින්.. කොයිතරම් මුදල් තිබුනත් වැඩක් නැහැ. තනිවම ජීවත්වෙනවනම්..
සුබ පැතුම් අක්කේ.. යහපත් සුබ ජීවිතයට..!!! :)