Sunday, September 1, 2013

වරදකාරී හෘදය සාක්ෂියක රිදුම




වරදකාරී හෘදය සාක්ෂියක රිදුම ද සමග මම කුරණ ‘‘ගාමිණි පාර නැවතුමෙන් බසයෙන් බැස ගතිමි. ඉකුත් පෙබරවාරියේ දවසක මුල් වරට මේ මග ම මා ඔහු හමුවන්නට ගියේ මෙවැනි ම සුන්දර උදෑසනක ය. අධ්‍යයන කටයුත්තක් සහා අවැසි ලියවිලි කිහිපයක් සොයා ගන්නට ය.

ඔහු චිත්‍ර ශිල්පියෙකි. චිත්‍ර ගුරුවරයෙකි. චිත්‍ර සාහිත්‍ය කලා විචාරකයෙකි. කවියෙකි. ලේඛකයෙකි. බොහෝ කලාවන්හි දස්කම් පෑවෙකි. ‘‘ශ්‍රී ලංකාවේ නූතන චිත්‍ර මූර්ති කලාවේ නව ප්‍රවණතා කෘතියේ කතුවරයා ය. ඒ සියල්ලටම වඩා සුන්දර මිනිසෙකි. අප හමු වුයේ එකම දිනක් පමණක් වුව ද එය සදාතනික මතක සැමරුමකි.

ඒ ෂෙල්ටන් ආරච්චිගේ මහතාය.

මා සොයා ගිය ලිපි ලේඛන කිසිවක් ම හමු නොවුණත් මට තවත් සොඳුරු මව්පිය යුවළක් හමුවිණි.

එදා ගන්ධාරි කලායතනය අබියස වැසී තිබුණු ගේට්ටු පියන් අද මුළුමනින්ම විවෘතව තිබිණි. සුදු රැළි පාලම් කොඩියක් හිසට ඉහළින් ලෙළ දුනි. සදාකාලික වියෝ වේදනාවේ තරම අකුරු කළ බැනර් හතර වට ය.

එදා මා සමග වාඩි වී කතා කළ, විහිළු කළ, සෙනෙහස පෑ වේවැල් පුටුව ඉස්තෝප්පුවේ හුදකලාවම ළතවෙමින් සිටියේය.

‘‘අනේ මහත්තයා බලන්නකො මේ තරංගි ඇවිත්.. ඔයා කිව්වෙ තරංගි එයි කියල නිසල දෙන අබියස ඈ හඬා වැළපුණි. 

ඒ ඔහුගේ ප්‍රිය බිරින්දෑ ය. 

‘‘ ටෙලිෆෝන් එකෙන් කතා කළ හැටියට මං හිතුවෙ සාරි අදින, සෑහෙන වයස කෙනෙක් කියල... බැලුවම මේ බටු ඇටයක් නෙ....“ එසේ කියා හිනැහෙන්නට අද ඔහු අවදි වන පාටක් නැත. 

මවිසින් ම දල්වා ලූ සිහින සැබෑ කරලන්නට පමා වීම පිළිබදව මම සිතින් සමාව යැද්දෙමි. එසේම එකී සිහිනය ඉටු වන තුරු නොඉ අප හැර යාම පිළිබව දොස් කියන්නට ද මට අවැසි විය.

‘‘ පෙරේදා ඔයා කතා කළාට පස්සෙ මං කිව්ව තරංගි කතා කළා. එයාගෙ පොතකට ඔයාගෙ ලිපියක් ගන්නව කිව්වා. ඔයාගෙ විස්තරත් ඇහුවා ඔයාගෙ පොතක් පළ කරල උපහාර උත්සවයක් කරන්නත් එයාලගෙ අදහසක් තියෙනවා කියල. ඉතින් හරි සන්තෝස උණා...

සැබවින්ම මා කතා කළේ සිකුරාදා සවස ය. ඔහු සමුගෙන ඇත්තේ එදින ම රාත්‍රියේ ය. කොතරම් දෛවෝපගත ද?

පෙර කී අධ්‍යයන කටයුත්ත වෙනුවෙන් අවැසි ලිපි සොයමින් ඉපැරණි රාවය පත්තර පෙරළන විට මම ෂෙල්ටන් මහත්මයා විසින් ලියා තිබූ ලිපි, කවි ද එකතු කළෙමි. ආර්.ආර්. සමරකෝන්, සුනිල් ශාන්ත, මහගමසේකර, කෝකිලදේවි වැනි කලාකරුවන්ගේ අනුස්මරණ වෙනුවෙන් ඔහු ලියූ කවි, ලිපි ඒ අතර බොහෝ විය. එවන් කළගුණ දත් අපුරු කලාකරුවකු සාහිත්‍ය කලා ලොවේ බොහෝ දෙනෙකුට අමතක වී තිබිණි. වසර දහයක පමණ කාලයක් ඔහු රෝගාතුර නිහැඬියාවක ගිලී සිටීම එයට හේතුව ද?

‘‘ පෙරේදා රෑ දොළහමාරට විතර දාඩිය දාලා හොදටම නැගිට්ටා.. අමාරු ගතිය දැණුනා. එයාම පන්සිල් අරගෙන, මෛත්‍රී භාවනාව කරල, මම නිදුක් වෙම්වා කියල තුන්සැරයක්ම කිව්වා... ඉන්පස්සෙ ඉතිපිසෝ ගාථාව කිව්වා..ගෙයින් එළියට බහිනකල්ම. ඉස්පිරිතාලෙ යන්න බැහැම කිව්වා.. ඒත් අපි අරගෙන ගියා... මගදි නැති වුණේ...

පහුගිය කාලෙ දිගටම ඇහුවෙ බෞද්ධයා චැනල් එක. කියෙව්වෙ බෞද්ධ පොත්පත්... අන්තිමට කියව කියව හිටියෙ නිවන් මග කියල පොතක්...”

ඇය පොත මවෙත ගෙනෙන්නී ය. මම නිවන් මග පෙරළා බලමි. ඒ මග අපට කොතරම් දුර ද?

‘‘හරිම ආසයි අර සින්දුවට.... ඇසේ මධුර ජීවනයේ ගීතා... එදත් මුණුබුරු මිණිබිරියො වට කරගෙන ඔය සින්දුව කිව්වා...”

‘‘ එයා මරණයට සූදානම් වෙලා හිටියෙ. මටත් බණ දහම් කියල දිදී මාවත් සූදානම් කළා. මහත්තයා සැනසීමෙන් මරණයට මුහුණ දුන්නෙ.. එයා වාසනාවන්තයි...”

සෙවණැල්ල සේ ළග සිටි ඔහු ගේ දයාබර බිරිඳ පවසන්නී ය. අපේ උපහාර නැතිවාට අඩුවක් වී නැතැයි මට සිතේ. නිවී සැනසුණු සිතින් ඔහු මෙලොව අත්හැර ගොස් ඇත. එයම කොතරම් වාසනාවක් ද?

‘‘ let go… අත්හරින්න... මරණයට බය වෙන්න හොද නෑ.. ඒ ගමනත් සතුටින් යන්න ඕන. ” වරක් ඇලොයි පියතුමා කී කතාවක් මට සිහිපත් වේ.


නිසල දෙණ අබියස හිඳ මම ඔහුගේ පළ වී ඇති එකම පොත පෙරළමි. එය දෙස් විදෙස් චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ පිළිබදව ලියැවී ඇති අපූරු ලිපි එකතුවකි. ලිපි 135 කි. සාහිත ගුණයෙන් ද පිරිපුන් ය. සිතුවම් පිළිබඳව වචනයෙන් මැවූ තවත් සිත්තමකි. ඒවායේ මාතෘකා ද හරි කදිම ය. 

කලාගාරයක දැවෙන කල්පනා....
සිවුරක්, කැන්වසයක්, තෙලිතුඩක්... 
තෙලිකුඩු ඉහිරුණි.... 
භක්තිමත් අනුරාගයේ තෙලිතුඩ....

ඔහු පිළිබදව ලිපියක් ලියන්නට සිතා සිටියෙමි. පත්තර මිතුරන්ට ඔහු ගැන ලියන්නැයි ඉල්ලන්නට සිතුවෙමි. ඔහුගේ නිර්මාණ එළිදැක්වීමක් සමග උපහාර උළෙලක් කරන්නට සැලසුම් කළෙමු. නමුත් ඒ සිහින සිහින ලෙස තිබියදී ම ඔහු නික්මී ඇත.

පමාව ජීවිතයේ බොහෝ කාරණාවන් සමග බද්ධ වී තිබේ. ඒ බොහෝ පමාවන් ගැන ළතැවිල්ලක් නැත ද, මේ පමාව කලක් ගතවන තුරු හිත පාරවනු ඇතැයි සිතේ...

නමුත් එක් සැනසුමක් ද ඇත. අපේ සිහින පිළිබඳ දැන සිටි ඔහු ඒ පහන් හැඟුම ද සිත්හි දරාගෙන සන්තොසින් නික්මෙන්නට ඇත.


ඇසේ මධුර ජීවනයේ ගීතා... නාමු අමාදහරේ

ෂෙල්ටන් ආරච්චිගේ මහත්මයාණෙනි....  ආදරණීය පියාණෙනි ඔබට නිවන් සුව....

2013.09.01

13 comments:

  1. ඔහුට නිවන් සුව !

    ReplyDelete
  2. නිවන් සුව පතමි....

    ReplyDelete
  3. එතුමා ගැන මෙපමණින් හරි දැනුවත් කලාට තරූට බොහොම ස්තූතියි. එතුමාට නිවන් සුව පතමු.

    ReplyDelete
  4. ඇත්තටම මේ වගේ සොඳුරු මිනිසෙක් ගැන අපිව දැනුවත් කලාට තරුට ස්තූතියි. ඔහු නිවී සැනහේවා කියලා පතනවා.

    ReplyDelete
  5. එතුමාට නිවන් සුව පතමි.!
    බටු ඇටේටත් ස්තුතිය් හැංගිලා තිබෙන දේවල් වලින් අපිව දැනුවත් කරනවට.

    ReplyDelete
  6. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.. එතුමා ගැන දැනුවත් කළාට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  7. අපි නොදන්නා මෙවැනි අය තව කොයි තරම් ඇතිද...?
    ඔහුට නිවන් සුව පතමි..!

    ReplyDelete
  8. නිවන් සුව පතමි.

    ReplyDelete
  9. මමත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔහුට :(

    ReplyDelete
  10. එතුමාගේ පැතුමන් ඒ ආකාරයෙන්ම ඉටුවේවා!

    ReplyDelete
  11. නිවන් සුව පතමි..!
    දැනුවත් කිරිමට ස්තූතියි !

    ReplyDelete
  12. තරුරසී.......බොහෝ කලකට පෙර ෂෙල්ටන් ආරච්චිගේ මහතා ලියු දෑ පුවත්පත් වලින් කියවා ඇත.ඔහුට නිවන් සුව පතමි.ඔබට ස්තූතියි.

    ReplyDelete
  13. ඇත්තටම ඔහු අප්‍රකටව ජීවත්වූ කෘතහස්ත කලාකරුවෙක් බව හැඟුනේ ඔබේ මේ සටහනත්, බූන්දි වෙබ් අඩවියේ පළවූ ඔබේ මේ ලිපියත් නිසා...මමත් දැනගෙන හිටියේ නෑ එතරම් විස්තයරක්...

    මෙවන් කලාකරුවෝ සදා ජීවමානයි... කලාකරුවාණෙනි ඔබට සුබ රාත්‍රියක්....

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...