පිටු

Saturday, September 7, 2013

‘‘මා ඔබේ සහෝදරී”



ඇස් කෙවෙණි රිදුම් දෙයි. බලහත්කාරයෙන් සිර කළ කඳුළු කැට ඇස් අගිස්සේ පෙරළි කරයි. සුසුමකට මුවා වී හුස්ම ද හිර වෙනු ඇතැයි මට සිතේ.

‘‘මට සමාවෙන්න.. හැමතිස්සෙම මට අමතක වෙනවා. මං විතරයි ආදරේ කියල.” හතර අතේ දුවන සිතුවිලි එක්තැන් කොට වචන බවට පෙරළන්නට මම වෙර දරමි. හිත අකීකරුය.

‘‘දැන් මං කිව්වද එහෙම කතාවක් ” නොරිස්සුම් වේදනාවක් කැටි වු වදන් යළි හිත මත පතිත වේ.

‘‘ ආදරේ නෑ කිව්ව නං මට හිත හදා ගන්න පුළුවන්... ඒත් ඔයා නොකියා  කියන්නෙ ආදරේ කරන්න එපා කියල. ආදරේ කොන්දේසි විරහිත වෙන්න ඕන කියන ඔයාම මට කොන්දේසි දානවා..........   කොන්දේසි විරහිතව ආදරේ කරන්න කියන එකම බරපතළ කොන්දේසියක් නෙවෙයිද ? ”

සියුම් කේන්තියක් මතු වෙමින් එනු දැනේ. කෝපයක් අවුලුවා ගැනීම යහපතක් විය හැකිය. නෙතග කඳුළු අරගලයට ඉන් සෙතක් සැලසෙනු ඇත. 

‘‘ආදරේ කියන්නෙ නිදහසට කියන තවත් නමක් කියන ඔයාට බැරි ඇයි මගේ හිතට දැනෙන්නෙ මොනවද කියල අඩු තරමෙ අහන් ඉන්නවත්... එහෙම කියන්න නිදහසක් .... අඩු තරමෙ මගෙ හිතේ තියෙන දේවල් ඔයාට ලියන්න නිදහසක්වත් මට නැද්ද? ... ”

රිදුම් දෙන සිත අතීත මතක මත එල්ලෙයි.

‘‘මට මෙයා කියන්න එපා...” කතා බහක අතරතුර මගෙන් ගිලිහුණ වදනක් අල්ලාගෙන ඔහු සැර විය. අනතුරුව වැරදීමකින්වත් එයා මෙයා නොකියන්නට මම පරිස්සම් වූයෙමි. එල්ලෙන්නට වැලක් අවැසි නම් එය මම ම සපයා ගනු මිස ඔහු සමග එල්ලෙන්නට මට උවමනා නැත. පිළුණු ප්‍රේමයක නීරස වැළඳීම ජීවිතය ම අජීර්ණ කරවන්නකි.

‘‘ සහෝදරී කියන වචනෙට මං පොඩ්ඩක්වත් කැමති නෑ. ” දිනක් මම ලියා තැබුවෙමි.

නමුත් හැරෙන තැපෑලෙන් ආ ලියමන ඇරඹී තිබුණේ ද සිත මත දුක අතුරමිනි.

‘‘ සහෝදරී ”

මම ඇතුළතින් දැවී ගියෙමි. මා ප්‍රේමය යැයි සිතා සිටින දෙය මේ හෘද සංවාදය මත දිග හැරිය හැක්කක් නොවන බව මසිත පුන පුනා මට ම අනතුරු අඟවයි.

ඉදින් මුනිවත ම මගේ ආත්මයේ දෝංකාරය බවට හරවා ගනිමි.


ඔහු ගේ දහසක් සහෝදරියන් අතර එකියක වන්නට මට අවැසි නැත. එසිත මත ලැගුම් ගෙන, නික්ම ගිය ප්‍රේමයේ සුළං රැළි බොහෝ කවිවල අකුරු අතරින් එබිකම් කරනු මම දැක ඇත්තෙමි. එබඳුම තවත් කවියක සුසුමකට නිමිත්තක් වී රැදෙන්නට මට අවැසි නැත.

අපේ බැඳුම ඔහුගේ ජීවිතයේ අතිවිශිෂ්ඨතම බැඳුම නොවන බව මම දනිමි. නමුත් මගේ දිවියේ සුන්දරතම, විශිෂ්ඨතම බැඳුම ය  මෙය. සදහටම එය එසේ නොවිය හැකි මුත් අද මට දැනෙන්නේ එලෙසිනි.

පුරුෂ ලෝකයේ අවලස්සන ආත්මාර්ථයට නැවතත් සිත රිදවන්නට ඉඩ නොදෙමියි කොතරම් සිතා සිටිය ද කරුමය වන්නේ ප්‍රේමය නොදන්නා අහුමුළුවලින් හීන් සීරුවේ හදවතට රිංගා ගැනීම ය.

මම දැන් සෑම ලිපියක්ම මෙලෙස අවසන් කරමි.

‘‘මා ඔබේ සහෝදරී”

එලෙස ලියන හැම විටකම මගේ හද දෙදරවා ඉරි තැළී යනු මට දැනේ. 

දෝතින්ම ගෙන හිස දරා ගත් කටු ඔටුන්න මම තව තවත් හිසට ම තද කර ගනිමි. කටු ඇනී, සිදුරු වී හදවතින් ලේ ගලන යුරු සිත්පිත් නැත්තියක සේ බලා හිඳිමි.


20 comments:

  1. හරිම අගෙයි සහෝදරි.. පුරුෂ ලෝකෝ ආත්මාර්තය ගැන මීට වඩා ටිකක් කතා කරන්න තිබ්බ කියල හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් නවකතා දහසක් ලියන්න හැකි...

      Delete
    2. ඇයි පුරුෂයින් විතරද ආත්මාර්තය ඇතුව කටයුතු කරන්නේ.?ආත්මාර්තය අපි හැමෝගෙම තුල අඩු වැඩියෙන් තියෙන දෙයක් නෙමේද...?

      Delete
  2. හරි ම ලස්සණ යි...ලියල තියන රටාවත් අපූරු යි. මොකද්දෝ ගීතයක් තියනව මේ වගේ. මතක නෑ නේ.

    ReplyDelete
    Replies
    1. නිල් උපුල් නුවන් පෙති
      මල් විලට අගේ ඇති
      ඔබ කොහෙද පබාවතී
      මා ඔබේ...........
      මා ඔබේ ජයම්පතී....

      ඒක නේද සින්දුව.... මේ මාතෘකාව දාද්දි මගෙ හිතෙන් ඒ සින්දුව ඇහුණා...

      Delete
  3. ලස්සනයි තරු..

    //කරුමය වන්නේ ප්‍රේමය නොදන්නා අහුමුළුවලින් හීන් සීරුවේ හදවතට රිංගා ගැනීම ය//ඒ කරුම උරුමයට මම හුගක් කැමතියි.


    ReplyDelete
    Replies
    1. ඒ කරුම උරුමයට මමත් කැමතියි.

      Delete
  4. ආ. සහෝදරී... සහෝදර ප්‍රේමයෙන් ඉන්න එක හොඳ නැද්ද ඉතින් ??

    කරුමය උරුමයක් කර ගත්තොත් ඉතින් ඒක නරුමයක් වෙලා මරණයක් සිද්ධ වෙන්නත් පුළුවන් හොඳද ?

    ReplyDelete
    Replies
    1. සහෝදර ප්‍රේමය ඇත්තටම කොයි තරම් හොදද?

      ප්‍රේමය අපේක්ෂිත තැනදි සහෝදර එකතු වුණාම හිත අවුල් වගේ...

      Delete
  5. මටනම් දැනෙන්නේ ගිතයකට හදපු සිතුවිල්ලක් වගේ අදහසක්. එහෙමත් නැත්නම් ගිතයක විෂුවල් එකක ස්ක්‍රිප්ට් එකක්වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම අදහසකින් ලිව්ව නෙවෙයි...

      දයා අයියට පුළුවන් නේද ගීතයක් ලියන්න...

      Delete
  6. මට දැනෙන හැටියට, ආදරය කියන්නේ තර්ක බුධියට ගෝචර නොවෙන, තමන්ගේ යටි හිතට දැනෙන එකකට එකක් ගලපගන්න බැරි ඉතාමත් සුන්දර හැගීම් එකතුවට. අපි ආදරය කරන කොට ඒ සුන්දර මොහොතේ සම්පුර්ණයෙන් ම ජීවත් වෙනවා. හිත, ලෝකය ඒ සුන්දර හැගීමේ නැවතිලා වගේ අපිට දැනෙනවා. කාලයත් හෙමින් ගමන් කරනවා වගේ ...

    ඒත්, ජීවිතය එයට වඩා වෙනස්. ජීවිතය කියන්නේ යම්තාක් දුරට තාර්කික වූ, සිද්ධි මාලාවක් ලෙස එකිනෙක බැඳුනා වූ දෙයක්. පිටින් බලා යම්තාක් දුරට විශ්ලේෂණය කල හැකි, සැම දෙනාටම පෙනෙන උඩු සිත මගින් ධාවනය වන යාන්ත්‍රණයක්. එහිදී අපි හේතු ඵල දහම ගැන කතා කරනවා. කාලය දෙස ලොවට දැනෙන ලෙස දකිනවා.

    නිසැකයෙන් ම, මෙහිදී ආදරය් හා ජීවිතය ගැටෙනවා. හරියට හැගීම් හා තර්කනය, උඩු සිත හා යටි සිත ගැටෙනවා වගෙයි. මෙහිදී ආදරය කරන දෙපාර්ශවය එකතු වී ජීවිතය හා ආදරය අතර තුලිත බවක් ගොඩ නගා ගත යුතු ය යන්න මගේ අදහසයි. ඒත් ගැටුම ඇති වන්නේ එක් පාර්ශවයක්, මෙයට අකමැති වූ විටයි. එවිට අනෙකා තමන්ගේ යටි සිත සමග ජීවත් වෙමින්, විදවමින්, ජීවිතයෙන් පලා යාමට උත්සාහ කරනවා. නැතිනම් යටි සිතේ ඇති හැගුම් මඩිමින්,විදවමින් රළු ලෙස ජීවිතය ගෙවීමට වෙර දරනවා. මෙවන් අත්දැකීම් ඇති අය ගැන මා දන්නා එක සත්‍යයක් තිබෙනවා. එනම්, මිනිසුන් මරණයෙදී තමන් කල හොඳ නරක වගේම, තමන් කෙදිනකවත් කියා ගැනීමට නොහැකි වූ සුන්දර ආදරණීය හැගුම් පොදි ගහ ගන්නව.

    ReplyDelete
    Replies
    1. මුල්ම වතාවට ඇවිත් අපූරු විග්‍රහයක් කරල තියෙනවා...ස්තුතියි...

      හිතන්න කාරණා කිහිපයක් තියෙනවා...

      Delete
    2. හරිම අපූරු විග්‍රහයක්...'සිතුවිලි දහර ' කියන්නේ නිකංද? :)

      Delete
    3. ගැලපෙන නමක් :)

      Delete
  7. //කොන්දේසි විරහිතව ආදරේ කරන්න කියන එකම බරපතළ කොන්දේසියක් නෙවෙයිද ? //

    හපොයි මාත් හිතන්නේ ආදරේ කරන අය කොන්දේසි විරහිතව ආදරේ කරන්ට ඕනි කියලා. නැත්නම් එතන තියෙන්නේ ආත්මාර්ථකාමීබවක්.

    ඔය සහෝදරයව අමතක කරලා දාන්ට සහෝදරී...:)

    ReplyDelete
    Replies
    1. එහෙම කරල කොහොමද පොඩ්ඩි.. ලිවීමේ සිතුවිලි උපදින උල්පත තියෙන්නෙ ඔය අවුල්තැවුල් වලමනේ.............

      Delete
  8. හරිම සියුම්ව ලියල තියේ :) අගෙයි...

    ReplyDelete
  9. මේ වගේ ලස්සන ලියවිල්ලකට දාන්න තරම් ලස්සන කමෙන්ට් එකක් හිතට එන්නේ නෑ අප්පා

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...