Sunday, September 15, 2013

කිරිලි හිත සසැලවූ කුරුලු හිත


සතිඅන්තයේ ගම්බිම් බලා යන හුදකලා දුම්රිය ගමනට ඈ හැමදාමත් කාව හරි කැන්දගන්නවා.. කාව හරි කිව්වට අප්‍රාණවාචී කවුරු හරි.. ඒ කියන්නෙ පණ නැති මුද්‍රිත අකුරු අතරින් සුසුම් ඇහෙන, කඳුළු හැළෙන, සිනා නැගෙන පණ ඇති මිනිස්සුන්ගෙ හදගැහෙන රිද්මය අහුවුණ පොතක් වගේ දෙයක්.. වගේ දෙයක් කිව්වට ඇත්තටම පොතක්.. නැත්නම් පත්තරයක්...

කිරිල්ලියක් වගේ හෑල්ලු හදවතින් මෙදා වංගියෙ ඈ දුම්රියට නැගුණෙ ‘කුරුලු හදවත’ත් එක්ක. සරල කතන්දරයක හැඩරුව දැණුනා මුලින්ම. එක හුස්මට කියවන් යතෑකි. ඇයට හිතුණා. ඒත් මුල් පරිච්ඡේදයෙදිම කිරිල්ලිගෙ හිත සැළුණා අසාමාන්‍ය විදියට.. මෙන්න මේ අකුරු අහුර නිසා...

‘‘ඇදේ දිගා වී සිටි දිනසිරිට දීගල්ල කියන ගමේ නම ඇසුණ විගසම හරි මිහිරි හැඟීමක් ආවා. ගිය අවුරුද්දෙ ලොකු මාම බැන්දෙ කුලියපිටිය වළං හදන පොඩි ගමකින්. ඒ ගමටත් මිනිස්සු කියන්නෙ වළංගංගොඩ. ඒ නැන්දලාගෙ පොඩි ගමේ වලං හදන ගෙවල් දෙක තුනයි තියෙන්නෙ. ඒත් වළංගංගොඩ. පුදුමයකට වගේ ඒ ගමත් වෙල් යායක් අද්දර...”

පුදුමයකට වගේ මේ කියන වළංගංගොඩ තියෙන්නෙ කිරිල්ලිගෙ ගම කිට්ටුවමයි. ඈ ගියෙත් දීගල්ල රේවත මහා විද්‍යාලයටමයි. පුංචි කාලෙ  ඉස්කෝලෙ පිටිපස්සෙ දෙවට පාර දිගේ ඇවිත් වෙල් යායට ගොඩ වෙලා, ගඩාගෙඩි කඩමින්, රණ්ඩු සරුවල් වෙමින් වළංගංගොඩ මැදින් යන ගුරුපාරට ගොඩවෙලා, කොහුමෝල්, පොල් වතු  මැදින් ගෙදර ආ හැටි මතක් උණා.. ඒ තමයි ගෙදර එන්න තිබුණ දිගම, දුෂ්කරම මාර්ගය... ඒත් පුංචි කොක් රෑනට ඒ පාර තරම් හිත් ගත්තෙ නැහැ වෙන කිසිම පාරක්.

දැන් නම් නැන්දෙ මාමෙ කියල කතා බහ කරන ළෙංගතුකම් තිබුණත් ඒ කාලෙ හදිසියකටවත් වළංගංගොඩේ ගෙදරකට ගොඩ නොවදින උද්දච්චකමක් තිබුණා. අඩුම තරමෙ වතුර ඩිංගක්වත් බිව්වෙ නැහැ. ඒ ළමයි එක්ක මිත්‍රකම් වුණත් ඈතින්.. රණ්ඩුසරුවල් වුණාමත් කුලකතන්දර කියවුණා. පුංචි කමට කොහෙන් ආවද එහෙම සිතුවිලි. අනික තමන් පවා කුල පීඩනයක ගොදුරක් වෙලා ඉද්දි...

ඒ ගම් පළාතෙ අප්පුහාමිල, දිසානායකල, බස්නායකල, රාජපක්ෂල අතර ප්‍රනාන්දුල, පෙරේරල, කුරේරල වුණත් අහසින් වැටුණ වගේ මිනිස්සු. පරම්පරා තුනහතරකට එහායින් වගා කරන්න සිංහලේ යනව කියල ගෝණවිල, දංකොටුව, නයිනමඩම, බෝලවත්ත පැත්තෙන් ආව මිනිස්සු. දැන් නම් ආවාහ විවාහ වෙලා, නෑමිත්‍ර සම්බන්ධතා තහවුරු වෙලා, කාලය ගතවෙලා ගම්කාර පිටගම්කාර වෙනසක් නෑ. නැත්තෙමත් නෑ...

කිරිල්ලිත් ප්‍රනාන්දු කෙනෙක් වීම නිසා සිද්ද වෙච්ච හිත් තැවුල් මතක් උණා.. කුරුළු හදවතේ පිටුවෙන් පිටුව පෙරළෙද්දි...

ඈ ශිෂ්‍යත්වෙ පාස් වුණ වෙලාවෙ බස්නායක වලව්වෙන් එන්න කියල පණිවිඩයක් එවල තිබුණා. කොළඹින් කැන්දන් ආව සීදේවි මැණිකෙ. තාත්තගෙ බයිසිකලේ වාඩිවෙලා එහෙ ගිය හැටි තාමත් මතකයි.  ඒ මැණිකෙ කිව්වෙ විශාකාවට දාල දෙන්නම්. ඉන්න තැනකුත් හොයල දෙන්නම්. ළමයට හොඳට උගන්නන්න කියල. ඇගේ දුවත් ඒ විභාගයම ලියල ගොඩක් අඩු ලකුණු අරන් තියෙද්දිත් කිරිල්ලි වෙනුවෙන් දක්වපු කරුණාව වලව් අත්දැකීම්වල නොකිළිටි මතකයක්...

කිරිල්ලිගෙ ඉස්කෝලෙ ඒ කියන්නෙ දීගල්ල රේවත මහා විද්‍යාලයෙ ගුරුදෙවිවරු හිටිය ඒ කාලෙ. වැඩිදෙනෙක් ගමේම මිනිස්සු. ගම්කාර මාන්නයෙන් හිස උදුම්මා නොගත්. ඒ අතර කීප දෙනෙක් හිටිය කුරුලු හදවතේ සිරිමලී මැණිකෙ වගේ අයත්.. ඇයට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකකමත්, වසරේ හොඳම ශිෂ්‍යාව නාමයත් අහිමි වෙන්න බලපෑව එකම නුසුදුසුකම සිංහල කතෝලිකකම.... ඒ වෙනුවෙන් අරගල කළ ගුරුවරු පිරිසක් හිටිය බවත් ඈ දැනගත්තෙ ගුරුවරුන්ගෙන්මයි. ඒ නිසා සම්මාන සහතික නොලැබුණත් ඒ ආදරය ඇගේ හිතේ කෙටිල තියෙනවා. තාමත් මගතොටක දැක්කත් නැමිල වඳින්න හිතෙන්නෙ ඒ දක්වපු මනුස්සකම නිසාමයි.

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමෙදි ඇයට වැරදීමකින් පළඳවල තිබුණෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකා බැජ් එක. ලැබිය යුතුව තිබුණෙ නිකම්ම ශිෂ්‍ය නායිකා බැජ් එකක්. පහුවදා ඒකත් අරන් විදුහල්පතිතුමා ළගට ගියාම ‘‘ වැරදීමකින් උණත් ඔය ළමයට ලැබිල තියෙන්නෙ හරි බැජ් එක.. ඔන්න ඕක තියාගන්න..” කිව්වා. ඉන්පස්සෙ ඉස්කෝලෙන් අස් වෙනකල්ම ඈ පැළැන්දෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකා බැජ් එක.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එද්දි කිරිල්ලි හිටියෙ පිට්ටනියෙ. එල්ලෙ මැච් එකකට ලෑස්ති වෙමින්. ඒ දවස්වල ඈ එල්ලෙ ටීම් එකේ කැප්ටන්. සමස්ත ලංකා පවා ගියා එල්ලෙ ගහන්න. ඉස්කෝලෙ දෙපැත්තක්ම වටවෙලා තිබුණෙ කැලෙන්. උණ බම්බුවක් හොයා ගන්න එක මහ දෙයක් නොවුණ ඒ පළාතෙ රබර්  බෝලයක් ඇරෙන්න වෙන පහසුකමක් ඕන උනෙත් නැති නිසා එල්ලෙ තමයි ඔවුන්ට ගැළපුණම ක්‍රීඩාව. කොන්වන්ට් එකේ කෙල්ලො බිංදුවට පැරදුණාම ඔච්චමට කියන්න පුරුදු වෙලා හිටියා ‘‘ මේගොල්ලො ඉතින් එල්ලෙ පිති කපල තියෙන්නෙ පෙකණිවැල උඩ තියාගෙනනෙ ” කියල.

‘‘අන්න ප්‍රතිඵල ඇවිත් ගිහිල්ල බලල එනවලා...” ක්‍රීඩා සර් කෑගැහුවා. ‘‘එල්ලෙ ගැහුවට පාඩුවක් වෙලා නැහැ” කිරිල්ලි ගුරුතුමා ළගින් විදිල්ල වගේ ඉගිලෙද්දි ඔහු හිනැහිලා එහෙම කිව්වා.

ප්‍රතිඵල බලල ආපහු හැරෙද්දි සිරිමලී මැණිකෙ.. නෑ ඒ කුරුළු හදවතේ සිරිමලී මැණිකෙ නෙවෙයි. ඒ වගේම බොහොම හිතට ගත්තු වෙන මැණිකෙ කෙනෙක්.

‘‘හොඳයි සන්තෝසයි. විභාගෙ පාස්වෙලා තියෙන්නෙ හොදට. සයන්ස් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. ඔය ළමයින්ගෙ දෙමව්පියන්ට බෑ ඕවට වියදම් කරන්න. පන්ති යන්න ඕන. කුරුණෑගල නැත්නම් මීගමුවෙ. පොත්පත්වලට හුගක් සල්ලි ඕන.. කලා හරි කොමස් හරි කරන්න.”

අතක පයක ඇණුන කටුවක්වත් ගන්න බැරි කිරිල්ලිට දොස්තර හීනයක් තිබුණෙ නැහැ කවදාවත්. එහෙව් එකේ මෙහෙව් කතන්දර මොකටද? ඒ උද්දච්ච කතාව ඇගේ හිතේ කොණක ඇමිණිලා තියෙනවා අමතක නොවෙන්නම.

‘‘ඔයාගෙ ඇගේ ලේවලත් තියෙන්නෙ කලාව. ඒ හින්ද ඔය ළමයා කලා විෂයන් කරන්න.” එහෙම කිව්වෙ සිංහල ගුරුතුමී. ඒ අවවාදෙ නොකිළිටි ගොයිගම හදවතකින් පැන නැගුණක් බව කිරිල්ලි දන්නවා.

ආයෙම කිරිල්ලිගෙ හිත සැලෙන්න ගත්තා දිනසිරි කුරුලුගංගොඩ ගුවන් විදුලියට තැපැල්පත් දාන සිදුවීමෙන්...

ඇගේ ඉරණමත් කණපිට පෙරලුවෙ ඔය වගේම තැපැල්පතක්.. සෙලාන් ගී සාදයට කවියක් දැම්ම තැපැල්පතක 96 උඳුවප් මහේ දවසක... ඊළඟ ශනිදාවෙම ඒ කවිය කියැවිලා තිබුණා කමල් දේශප්‍රියගෙ හඬින්.. කිරිල්ලිගෙ කූඩුවෙ ලිපිනයත් වැරදියට ලිව්ව ලියමනක් මග අහගෙන කොහොමින් කොහොමින් හරි කැදැල්ලටම ඇවිත් තිබුණා. ඉමක් කොණක් නැති කතාවක ආරම්භයක් වුණා ඒ තැපැල්පත... අවුල්තැවුල් ගිරිදුර්ගය තරණයක අවසානයෙ දැන් ඈ සුවිසල් අහසක් හිමි කිරිල්ලියක්.. හිතේ හැටියට පියඹන්න නිදහස තියෙන. ඒත් ඒ අහසෙ ඈම ලකුණු කර ගත්ත සීමා මායිම් තියෙනවා. ඒ ආත්මාරක්ෂාවට කියලයි ඈ කියන්නෙ. ඒත් ඇත්තම කතාව නම් ඈ හරිම බයගුල්ලියක්..

දැන ගියොත් කතරගම.. නොදැන ගියොත් අතරමඟ කිව්වට කිරිල්ලි ඉගිල්ලුණේ කොහෙත්ම දන්න අහසක නෙවෙයි. මගතොටක් අහගෙනත් නෙවෙයි. හිතේ හෝදිසියට ඔහේ ආව ගමනක්... වෙලාවකට කිරිලි හිත යකඩ පිහාට්ටක් කර ගත්තත් ඒකත් ඉරිතැළිල කඳුලු ගලන වෙලාවල් තියෙනවා. ආපහු හැරිල බලද්දි හිතෙනවා. කුරුලු හදවත වගේම කිරිල්ලිගෙ හදවතත් නවකතාවක් නේද කියල.

දුම්රිය ගමන නිමවෙද්දිත් කුරුලු හදවතේ කිචිබිචිය නිමි නෑ.. ඇත්තටම එක හිතින් කුරුලු හදවතත් එක්ක ගමන යන්න බැරි තරමට අතීත මතක එබි එබී හිත අවුල් කළා. ඒ හින්ද ‘කුරුලු හදවත’ ගැන වෙනම සටහනක් ලියන්න කිරිල්ලි එක හිත් හිතා ගත්තා.



මතුපිටින් පෙනෙන සරල සුන්දර කතන්දරයට එහා ගිය කටුක යථාර්ථයක් ලියනගේ අමරකීර්ති ‘කුරුලු හදවත’ ඇතුළෙ ගැඹුරින් ස්පර්ශ කරන්න උත්සාහ දරනවා. අපි හැමෝම ඉන්නෙ හතරවටින්ම හංස ගීත ඇහෙන කාලෙක නේද කියලත් කුරුලු දියවන්නා ඔයේ හැංගිලා යද්දි කිරිල්ලිට හිතුණා. 

39 comments:

  1. ඇත්තටම හරි ලස්සනයි මේ post එක ... මට මෙක කියවන්න ලැබුනේ පොත් කියවන අය කියන FB සමුඋහයේ ඔයා දාල තිබුන post එක ඔස්සේ... පොතක් දිහා බලාගෙන එකට තමන්ගේම ජිඉවිතේ ඇසුරෙන් අතුරු කතාවක් ලියන්න දරපු සාර්ථක උත්සාහයක් විදිහටයි මම මේක දකින්නේ... තව තවත් මේ වගේ ලස්සන blog posts ලියන්න ලැබේවා! කියලා සුබපතනවා :)

    ReplyDelete
    Replies
    1. අපි හිතනවා පොත්වල තියෙන්නෙ ඇත්තම නෙවෙයි කියල.. ඒත් සමහරවලට ඇත්ත ජීවිතේ පොත්වලට වඩා ආශ්චර්යමත්...

      ස්තුතියි සුබපැතුමට...

      Delete
  2. හ්ම්.ම්..ම්..ඔය ඔය කියන ගම් ආසන්න ගමක,නිවස පිහිටි ඉඩම වැවකට එක් පසක් මායිම්ව ගතකල සොදුරු අතීතය ඔබ මේ ලිපියෙන් කුලප්පු කලා.
    ඉස්සර අපි පන්සල් වෙල් අයිනෙ තිබෙන උන පදුරු වලින් කරටි කැබලි කීපයක් කපාගෙන ඇවිල්ල,රැහැල පොල් තෙල් අතුල්ල අතුල්ල ගිනි ගොඩේ රත් කර කර පදම් කරපු එල්ලේ ගහන උන බැට් ටුව මතක් කොලා.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයිය කොහෙද ඒ හිටියෙ... ගිහින් නැති පලාතක් නැහැනෙ බැලුවම...

      Delete
    2. දුම්මලදෙනි යේ...

      Delete
    3. ඒ කියන්නෙ දංකොටුව කිට්ටුව නේද? අපේ තාත්තගෙ නෑදෑයො ඉන්නව ගෝණවිල, කිරාගාර පැත්තෙ.

      Delete
  3. පොත කියවන්නම හිතෙන විදිහට ලියැවිලා..

    ReplyDelete
    Replies
    1. පොත හොදයි... කියවලම බලන්න...

      Delete
  4. තරු,
    මමයි මගේ වැඩපලේ කෙනෙකුයි අපේ වැඩපල තියන පුංචි කඳු ගැටය අයිනෙ ඉඳන් ඉහල නගින උණු සුලං රැළිවල අත්තටු විදහගෙන පාවි පාවී ඉන්න කපුටු රෑන් දිහා බලාන හිටියා දවසක්. මට ඇහුණා යාළුවාගෙන්...

    "මොන හේතුවකට මුන් මේ විදිහට පාවි පාවී ඉන්නව ද?" කියල...

    එයා අහනවා...
    "හොඳයි ඔයාටත් ඔය වගේ පාවෙන්න පුළුවන් නම් ඔයත් ඕක කරන්නේ නැද්ද?" කියාලා.

    පොත හොයාගන්න ඕනියි හිතා ගත්තා....!

    තුති.

    ReplyDelete
    Replies
    1. නිදහස ගැන හිතද්දි කුරුල්ලන්ව මතක් වෙනවා එක සැරේටම... ඒත් කුරුල්ලන්ට තියෙන නිදහසත් කොයි තරම් සීමාවලින් බැදිලද කියල හිතෙනවා...

      Delete
  5. හ්ම්..... තරු ඔය ලස්සනට ලියල තියෙන්නෙ ආස හිතෙන්න කියවන්න. ඒකනේ අපි කියන්නේ කොටස් විදියට ලස්සන කතාවක් දිග අරින්න කියලා... ඒකට හොදම කාලය තමයි මේ...

    ReplyDelete
    Replies
    1. ලියන්න තමයි හිතන් ඉන්නෙ... තියන එකම ප්‍රශ්නෙ උදේ හවා ''ඉතුරු කොටස දාන්නකො'' කියන කන්කෙදිරිය අහන් ඉන්නෙ කොහොමද කියන එකයි.

      Delete
  6. එක හුස්මට කියවලා අන්තිමටයි කතුවරයාගේ නම බැලුවේ.. මම හිතුවේ පුංචි ගෑණු ළමයෙක් ගයපු ලස්සන කුරුලු ගීතයක් කියලයි..

    ReplyDelete
    Replies
    1. මහාචාර්යතුමෙක් ලියපු ලස්සන නවකතාවක්...

      Delete
  7. ලස්සණ යි අනේ. කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. කියවල බලන්න... සුරස පොත් ප්‍රදර්ශනේදී 30% වට්ටමක් දෙනවා කියල ආරංචියි.

      Delete
  8. \\අතක පයක ඇණුන කටුවක්වත් ගන්න බැරි කිරිල්ලිට දොස්තර හීනයක් තිබුණෙ නැහැ කවදාවත්. //

    තරු.....මම ඔය වාක්‍යයට හරි කැමති උනා. ලියනගේ අමරකීර්තිගේ කතාව වගේම ඔයාගේ කතාවත් ලස්සනයි වගේ. ඇයි ලියන්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ලියන්න තරං දෙයක් තියෙනවද කියල හිතෙනවා..

      තවත් අතකින් ගත්තම හැම ජීවිත කතාවකමත් කතා දහසක අසිරියක් තියෙනවා... මේ බ්ලොග් එක ඇතුළෙ නං මාව ලියවිලා ගොඩක් දුරට....

      Delete
  9. සුපිරි ලිපියක් තරු....වැඩි යමක් ලියන්න කාලේ මදි මේ මොහොතේ..

    ReplyDelete
    Replies
    1. ඇවිත් බලල වචනයක් හරි ලියල දෙන ධෛර්යයම මදෑ නලින්...

      Delete
    2. සමාජ සත්කාරයක් විදියට , අර සිලුමිනේ ඉන්න 'විචාර යකාට' මේක පෙන්නන්න.

      Delete
    3. කවුද සිළුමිණේ විචාර යකා....

      මම නම් ලියන්නෙ විචාර නෙවි.. පොතක් කියෙව්වම ගීතයක් ඇහුවම මට දැනෙන දේ.. මම විදින දේ... විචාර විධි ගැන මම මෙලෝ හසරක් දන්නෙ නෑ... ඇත්තටම.

      Delete
  10. මම හිතන් හිටියේ මේ පොත් කතා කියවන්නෙ නෑ කියලා. කොහෙද හැම එකාම පොත් අරගෙන අපිට මෙහෙම අගේ කරනකොට අපි රහත් වෙලැයි දුක නොහැදි ඉන්න?

    කුරුළු කතාව විතරක් නෙමෙයි තව කොයි තරම් මිස් වෙන දේවල් අපිට තියෙනවද?

    මේ ගම ගැන කියනකොට මතක් වුනේ අවුරුදු කිහිපයකට කලින් ඉඩමක් බලන්න අපිත් ඔය පැත්තේ ගියා. අපිටත් ආවේ අර ඔයාට ආපු කතා ටිකමයි. ඒත් අපි නම් එතනින් එහා හිටපු හින්දා ප්‍රශ්නයක් වුනෙ නෑ.... ආයේ ඉඅ ඉඩමට මම යැවෙයිද කියලා දන්නේ නෑ. ඒත් ආයේ ආවොත් මේ කුරුළු කුමාරිවත් බලන්න යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා.. ඔය පැත්තෙ කෙනෙක් මේ අහ ඇවිත් අයනවනම් කියන්න පොත් ටිකක් එවන්නම්....

      ආයෙම ආවම හදිසි අනතුරුවල නොවැටී කුරුලු කුමාරිවත් බලන්න එන්න....

      Delete
  11. ඇත්තේන්ම තරු මේක හරිම අපුරු ලියවිල්ලක්.
    හරියට ගීතයක් වගේ.
    ලියනගේ අමරකීර්ති මහත්මයා මහාචර්යවරයෙක්ද..?

    ReplyDelete
    Replies
    1. ආචාර්ය මං හිතන්නෙ...

      Delete
  12. මම දැකපු ලස්සනම විචාරය...හරිම අපූරුයි තරුරසී...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.... ජීවිතයත් එක්ක බැදිල යන නිසා වෙන්න ඇති එහෙම ලස්සනක් මතු වෙන්නෙ..

      Delete
  13. මම මේක කීප වතාවක්ම කියෙව්වත් මට හිතෙන්නෙ කුරුලු හදවත කෘතියේ අන්තර්ගතය පුද්ගලික අත්දැක්මක් බවට පත්කරගෙන කියලා... පොතට කරපු විචාරය නම් ලස්සනයි හැබැයි ඒ ලස්සන වෙන්නේ කුරුලු හදවතත් මේ බසින්ම ලියා ඇතිනම් විතරයි..

    ReplyDelete
    Replies
    1. දයා අයියට දැණුන දේ හරි.. කුරුලු හදවත එක්ක මතු වුණු පුද්ගලික මතක ටිකක් ලියා දැම්මෙ.

      කුරුලු හදවත ලියා ඇති විදිය හොදයි... ගොඩක්ම සරලයි. හැබැයි ඒ සරලකමේ තියෙන අවදානම තමයි වැඩි දෙනෙක් පොත කියවල කතන්දරයක් රස විදල ඒකෙ ගැඹුරට නොයා ඉදියිද කියන කාරණය....

      Delete
  14. සමාවෙන්න තරුරසී. මගේ සිඩ්නි සිතුවිලි අඩවියට ගොඩ වැදිල යන බව දැනගෙන හිටියට මේ තරම් විශිෂ්ටව ලියන බව මම දැනගත්තෙ අද! අපූරුයි... ආචාර්ය අමරකීර්ති (නැත්තම් අමරෙ අයිය) මේක ශෙයා කරල තිබුණ ෆේස් බුක් එකේ. එතනිනුයි ආවෙ.

    ජය!

    ReplyDelete
    Replies
    1. විශිෂ්ටව ලියනවයි කියන එක සතුටක්.. ඇත්තම කතාව නම් ලියන්න උත්සාහ කරනවා... විශිෂ්ට විදියට නෙවෙයි හිතට දැනෙන විදියට........

      Delete
  15. හ්ම්ම්....හොයාගෙන කියවන්නම හිතුණා...

    ReplyDelete
    Replies
    1. කියවන්න වටිනවා...

      Delete
  16. පොත හොයාන කියවන්න ඕනෙ.

    අපූරුවට වචන අමුනනවා ඔයා. අද තමයි බ්ලොග් එකට මම මුලින්ම ආවෙ. සුබපැතුම්!!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...