Tuesday, September 10, 2013

සිකුරා නළල් තලේ...






අම්මපා සිකුරු කියන්නෙ නම් මහම මහ අමාරුකාරයෙක්... සුන්දර කරදරකාරයෙක්.... ඔලමොට්ටලයෙක්... මෝඩයෙක්... දුෂ්ටයෙක්....  

ඇත්තමයි මේ කියන්නෙ. අද්දැකීමෙම්ම යි.... 
කාලෙකට ඉන්නවා උන්නද මළාද වත් නොබලා.. ආයෙම හතර අතේ විසිරිලා තියෙන හිත් අවුස්සල දානවා පුළුන් ගෙඩියක් ඉහිරවනවා වගේ... 

එකම දවසක් ඇතුළෙ මේ හැටිම පෙම් කතන්දර.. සිකුරු උච්ච වෙලා දෛවය තුච්ච බව මතක් කරල දුන්නු උද්දච්ච දවසක්... පෙම්බර සැප්තැම්බරයේ නපුරු නමය ....

මැදි වයසත් පේන නොපේන මානෙ කොලොප්පම් කර කර ඉද්දි, නර කෙසුත් එබිකම් කර කර ඉඟි බිඟි පාද්දි සිකුරුටත් ඔල්මොරොන්දන්ද මන්ද ? ළපටි කොලු කෙලිත්තියො ඕන හැටියෙ ඉද්දි මං වටේ පෙම් උගුල් අටවන්න මේ හැටිම අර අදින්නෙ...

උදෙන්ම නිසොල්මනේම පියාඹගෙන ඇවිත් කවියක් දුරකථන තිරයේ ලැගුම් අරගෙන... මල්පියල්ලක් සුළං රැල්ලකින් සැලිලා ... වෙළිලා .. කිතිකැවිල යනව වගේ හිතත් සිලි සිලියෙ සෙලවිලා ගියා..

මම රාත්‍රිය නිසා .... ඔබ තරු ලකුණක් වීදෝ
ඔබ තරු මිණක් නිසා ... මම රාත්‍රියම වීදෝ
මම රාත්‍රියම වීදෝ.........
ඔබ මට නොදිසෙන දිව නිල් අහසේ
නෙත් වෙහෙසන්නැහැ මං
වෙනස් නොවී ඔබ ... පෙරදා වාගෙම
එතැනම ඉන්නව නම්....
ඉන්නා බව දැනෙනවනම්....

කවියක්ද? ගීතයක්ද? තාලයක් මතුවුණා හදවතින්ම... මං හෙමිහිට මිමිණුවා... ( දන්නවා බලන බව මේ සටහන. ලියා එවන්න ඉතිරියත්. මගේම තාලෙකට මුමුණ මුමුණ ඉන්න බැරියැ.. තනිකම කන්දොස්කිරියාවක් වෙලා හිත ළග මැසිවිලි නගන වෙලාවට... )  

මේ තරම් සුන්දර පෙම්බර කවි හිතක් මග ඇරෙනකල් මර නින්දෙ හිටිය සිකුරු අල්ල ගන්න ඇත්නම් මට.....

හවස් යාමෙ තුන් හතර වතාවක්ම ඇමතුම්... ඉපැරණි සොල්දාදු පෙම්වතා... හීනියට හිත ඉරි තැළෙනව නම දකිද්දි තාමත්... පිස්සුද හැටිද අනේ මන්ද? කොහොම උණත් ‍වසර 15 ක නොකැඩී කැඩි කැඩී යන මිතුදමේ නිල උරුමකරු ඔහුම යි. මම දිය යට හංගන මිත්‍රත්වයේ, සෙනෙහසේ රබර් බෝලෙ අරන් හිටි ගමන් උඩ මතුවෙනවා... ඔහු ම... එපා කිව්ව‍ට අහන්නෙත් නැතිවම...

''ඇයි මේ කවදාවත් නැතුව.. ඔයාට මොනා හරි ප්‍රශ්නයක් ද? නැත්නම් මොකුත් උදව්වක් ඕනෙ වෙලාද?" මනුස්සයගෙ තරම දන්න හින්දම මං ඇහුවා... ‍සෞම්‍ය එළඹීමකින් නම් නෙවෙයි පොල්ලෙන් ගහන්න වගේ...

ඔයා තමයි මේ ලෝකෙ මට ඉන්න එකම දුෂ්ටයා... විහිළුවට වගේ මං එහෙම කියද්දි හක හක ගාලා සැහැල්ලුවෙන් හිනා වෙන්න පුළුවන් තරමට  කිසිම වගකීමක් නැති තක්කඩි මිත්‍රයෙක් ඔහු.

''අයියෝ....... නෑ පිස්සුද? නිකං කතා කළේ... දුක සැප බලන්න..." එහෙම කිව්වත් දිග්ගැහෙන කතාබහේදි දැනෙනවා ප්‍රශ්නයක් බව... මංසලකට ඇවිත් කොහේ යන්නද අහනව මගෙන්... '' මට වෙන කවුරුත් නෑනෙ මේ වගේ දේවල් කතා කරන්න.. "

හිත කොණක සොහොන්ගත කරල ඇටසැකිල්ලත් දිරල ගිය ප්‍රේමයකට පණ දෙන්න හදනව ද? ඔහොම්මමයි හැමදාම.....  හිත හදාගෙන සැනසිල්ලෙ එක මගක යද්දි මැදින් කඩන් පනින කඩාකප්පල්කාරයෙක්.. මේ සැරේ නම් බැරි වෙයි පැහැර ගන්න හිතෙන් අංශුවක්වත්...

'' මං සීරියස්මයි කියන්නෙ.. දැන් මං මගේ ජීවිතේ යන්න ඕන පාර තීරණය කරල ඉවරයි. ආයෙම හැරෙන්න මට බෑ.. ඔයාගෙ වගකීමක් නැති වැඩ හින්ද ඔයා ඔයාටමත් කර ගන්නෙ අසාධාරණයක්.. ජීවිතෙන් අවුරුදු ගාණක් බලාපොරොත්තුවකට යට කරල බලන් ඉන්න වෙන එක කොයි තරං අපරාධයක්ද? ආයෙ නම් මං එහෙම මෝඩකමක් කරන්නෙ නැහැ. ඇත්තමයි... ඔයා මට හොද යාළුවෙක්.. යාළුවෙක්.... යාළුවෙක් විතරමයි...''

මගේ ආදරයට, ඇණුම්බැණුම්වලට හැදෙන කෙනෙක් නම් මේ වෙද්දි අපේ ළමයි ඉස්කෝලෙත් යනවා.   ඒ හින්දා ඇවිළෙන්න හදන හිත සන්සුන් කරගෙන සාමකාමී ධර්ම දේශනාවක් අවසා‍නයේ මං යාළුකම තහවුරු කළා... එයාට ව‍‍ගේම මටත් ඒත්තු ගන්වන්න. යාළුකමෙන් එහාට කවදාවත් යන්න බැරි අපේ හිත් ගැන ..

හපෝ මේ සිකුරු, හිත එක තැනක තියාගෙන ඉන්න දෙන්නෙම නැති හැටි... .....

පාවුලෝ කොයියෝගෙ ''මා නොවන මා" නිදි පෙත්තක් විදියට අතේ තියාගෙන සයනාසනාරෑඪ වෙලා ඉද්දි ආයෙම නාඳුනන අංකයකින් ඇමතුමක්... නමක් ගමන් නොකියා නැළවෙන්න හදන පිරිමි හඬ ගැන මට දැණුනෙ නොරිස්සුමක්... සහෝදර ප්‍රේමයෙන් ළං වෙලා මානසික වධ බන්ධන පමුණුවන කෛරාටික පිරිමි පරාණයක් ගැන සංකා සිතින් මං ටිකක් තදින් කතා කළා...

'' ඒයි මචෝ මං .................. කැම්පස් එකේ...'' එවර ඔන්න නාඳුනන්නා බය වෙලා හැඳුනුම්පත ඉදිරිපත් කළා. මදෑ... අහිංසකයා... තව ඩිංගෙන් මං බැනල ඇමතුමත් විසන්ධි කරනවා.

දෑසම නොපෙණුනත් හදවතින් ලෝකෙම දැක්ක අපූරු යාළුවෙක් ඔහු. ගීතයෙන් සරසවි බිම ගීතවත් කළ, කොයි වෙලේ බැලුවත් මල් යායක් මැද උන්නු හැන්ඩි කොළුවා... අතේ සුදු සැරයටියයි, මුවේ පෙම් ගීතයයි වැරදුණේ නැති...

'' අද ෂෝ එකකට ආවා හොටෙල් එකක. ගෙදර ගියෙ නෑ බං... කම්මැලිකමට කතා කළේ. ''

 බං බොලං මිත්‍රත්වයෙන් අතීතයට ගිය අපි නතර වුණේ සරසවි පෙම් කතන්දර මැද. අන්ධ අඳුරට පෙම් බැන්ද හිත අයිතිව තිබුණෙ මගේ හොඳම යෙහෙළියකට. ඒ නිසා ඒ පෙම් කතාවෙ අගමුල මං දැනන් උන්නා... මගේ කතා දැනන් උන්නෙ මං ම විතරයි. ඉතින් තනිකඩ ජීවිතේ නිධාන කතා, අතීත කතා, වර්තමාන කතා මැද දන්නෙම නැතිව හදවත් කතා කරන්න අරගෙන.

''හැමදෙයක්ම ලැබිල තියෙනවා බං.. ඒත් ජීවිතේ මොකක්දෝ හිස්තැනක් තියෙනවා. අඩුවක්. කොහෙද ඉතින් උඹ ඒ කාලෙ අපිව ගණන් ගත්තෙ නෑනෙ. "

වැඩි බජනයක් නොතිබුණත් අපි අතර අදෘශ්‍යමාන රැහැනකුත් තිබුණා මිත්‍රත්‍වයේ.. . ඒ දවස්වලත් මට මතකයි කෙල්ලො සීයක් මැද හිටියත් මං කතා කළ ගමන් මගේ හඬ අඳුන ගන්නවා. ගී හඬ ඇහුණොත් මමත් නැවතිලා අහන් ඉන්නවා.. එතනින් එහාට දෙයක් තිබුණෙ නෑ.

'' ඒ කාලෙ අපි මොකටද කොච්චරවත් හිටියෙ මල් කුමාරය වගේනෙ... වටේටම කෙල්ලො...'' මං හිනා උණා.

'' ඇස් පේන්නෙ නැති එකා මමනෙ. උඹට තිබුණනෙ මල් යාය පීරගෙන ළගට එන්න. ''

ඔන්න සිකුරු පාර වරද්දගන්නයි හදන්නෙ... මං රතු එළි දැල්ලුවා. අදෘශ්‍යමාන තරංග වෙලා ගිහින් හිත ළග දැල්වෙන්න.   

'' එන්නං වෙලාවක ඒ පැත්තෙ.. ආසයි මට උඹේ ප්‍රිය බිරින්දෑ අඳුන ගන්න..ඒ පින්වන්ති... පෙම්වන්ති... දැන් පත්නි.. ''
ඒ මගේ යෙහෙළිය නෙවෙයි. වෙනත් ස්ත්‍රියාවක්.... මෑත දිනෙක යෙහෙළිය හමු වුණා දුම්රියක.. දරුවයි ඒ දරුවගෙ තාත්තයි එක්කම.

ඉක්බිති ප්‍රිය භාර්යා වර්ණනාව... මමත් ප්‍රීති නාද දෙමින් අහන් උන්නා.

ඇමතුම විසන්ධි කරන්න කළින් බලහත්කාරයෙන්ම ගීතයක් අහ ගත්තා.. සරසවියෙ මතක මල් පෙති හිතින් පිරිමදිමින්...

මං ළග පිරිල ඉතිරිලා පිටාර ගලන ආදර උල්පතක් තියෙනවයි කියල ප්‍රේම පාරාදීසෙ අතරමං වෙලා ඉන්න මේ අහිංසක නරපණුවො හිතන් ඉන්නවද මන්ද? දෙයියො දනී. මමත් මේ යන එන මං නැතිව හිස් හදවතත් අරගෙන ළතැවිල්ලෙ බලන් ඉන්නවා මගේ ප්‍රේම උල්පත ළග.... කොයි වෙලේ වෑහෙයිද කියල ආදරේ බින්දුවක්.... 
හිත සැ‍නහෙන එක වචනයක් ඇහුණත් හිතේ පිපෙනවා මල් දහසක්... මනින්න බැරි තරම් දුරක හිටියත් රැකවල් දේවදූතයෙක් වගේ ජීවිතේ ළගින්ම ඉද්දි හිතෙනවා අයිතියක් මොකටද ඉතින් මෙහෙව් පෙමකට කියලා....

ඕන්න ඔහොමයි ජීවිතේ හැටි.. චක්කරේ වගේ කැරකෙනවා එක තැන... එකම විදිහට... . හිස් හදවත් තියාගෙන වට වන්දනාවෙ යනවා අපි. අහිංසක නර පණුවො නෙවෙයිද මේ හැමෝම කොහෙදෝ තියෙන ජීවිතයක් හොය හොයා දුව ඇවිදින...

අම්මපා අහුවුණෝතින් සිකුරු මට අල්ලලා හකුරු කරල හංගනවා වක්කඩේ සත්තමයි... මෙන්න කැට...


2013.09.09

24 comments:

  1. //අම්මපා අහුවුණෝතින් සිකුරු මට අල්ලලා හකුරු කරල හංගනවා වක්කඩේ සත්තමයි... මෙන්න කැට...//
    අහු වුණොත් මටත් මතක ඇති ව කියන්න කෝ....

    ReplyDelete
    Replies
    1. සිකුරුත් එක්ක බේර ගන්න ගනුදෙනු තියෙන අය බොහොම ඉන්නව වගේ...

      Delete
  2. ඔය සිකුරා අහු උනොත් ඔක්කොටම කලින් මං ඌට මඟුලක් සෙට් කරනවා.. ඇයි යකෝ ඔව්ව බෙල්ලෙ එල්ල ගත්තම තියෙන මල වදේ දන්නෙ කොල්ලො වෙච්ච අපිනෙ :ප්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පව් අප්පා මේ කොල්ලො...

      අපි වෙන්න ඇති පින් පුරපු අය...

      Delete
  3. දැන් මේ කියන්නේ සිකුරා කවුරු හරි සෙට් කරලා දීලා කියලද? :D

    ReplyDelete
    Replies
    1. හැම තිස්සෙම සිකුරා පාර වරද්ද ගන්නවා පොඩ්ඩි....

      Delete
  4. අහිංසකයි කියන්ඩ බෑ හැම නර පණුවටම. ආදරේ උල්පත ලඟට ගිහින් බින්දුවක් වෑස්සෙයිද කියල බලන් ඉඳලනම් හරියන් නෑ රජෝ. අර ගැහැනු මායම් ද මොනවද කියලා හැටහතරක් තියේලු. ඒවයින් එකක් කාරිය යොදාගත්තොත් නරකද? මොනව වුනත් අපුරු යෙදුම් ටිකක් තියනවා.

    ReplyDelete
    Replies
    1. භාෂාත්මක අත්හදා බැලීමක් කරන්න හිතුවා... වෙනද ලියන රටාව වෙනස් කරල.. ඒත් ඒක ඒ තරං හරි නැහැ වගේ...

      මායම් ගැන නම් කියන්නෙ තියෙන්නෙ කෙල්ලෙ ඔක්කොම මායම් යටයි එක මායමකට කියල තමයි...

      Delete
  5. තරු,
    මම ආසයි මේ කතා ශෛලියට.... දැන් හරි නෑ වගේ හිතුණට, අවුරුද්දකින් හමාරකින් ඇවිත් කියවල බලන්නකො...!

    සැහැල්ලුවෙන් උඩ පැන පැන නටන දොල පාරක හිනාව අස්සේ මොන තරම් කතන්දර හැංගිලා තියෙනව ද?

    -ලොකු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු...

      මටත් ඕන උණේ මේ ලියන්නියගේ දෛවයට ඇයම හිනා වෙන විදියට හාස්‍යයක් එක්ක ලියන්න.. ඇත්තටම මං මේ රටාව හිතින් ලියද්දි තනියෙන් හිනා වෙවී හරිම ජොලි මූඩ් එකක හිටියෙ... ඒත් ලියවිල්ල ඇතුළට ඒ ගතිය ඇවිත් නෑ කියල මට හිතෙනවා....

      කොහොම උණත් මතකයන් අමතක වෙලා නොයන්නත් මෙහෙම ලියල තියන්න හිතුවා...

      Delete
  6. වෙනද වගේම ලියවිල්ල නම් කදිමයි.
    අපුරු වචන ටිකකුත් සිතට ආපු විදියටම අකුරු වෙලා තිබෙන එකත් හරි අපුරුයි.
    සිකුර මේ සැරේ සලකලවත් ද?.

    ReplyDelete
    Replies
    1. මං හිතන් ඉන්නෙ සිකුරට සලකන්න....

      Delete
    2. සිකුරට පුදන තරමට සැලකිල්ලත් අති විශිෂ්ටයි.

      Delete
  7. අපූරුයි. මම අදමද කොහෙද ආවෙ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  8. අනේ තරුවෝ ඕකා මා එක්කත් හිටියා කාලයක් දැන්නං යන්නම ගිහින්...
    ලස්සන ලියැවිල්ලක් තරුවෝ..

    ReplyDelete
    Replies
    1. හිටිය එකේ ප්‍රතිඵල නේන්නං අර ගෙදර තියෙන්නෙ.. පුංචි සුරංගනාවියො දෙන්නෙකුත් ලැබිල තියෙන්නෙ..

      Delete
  9. ලියවිල්ල නං හරිම අපූරු යි, තරූ අක්කේ. සරල වචනවලින් ලොකු අදහසක්. කවදා හරි සිකුරා ආයෙත් ඒවී. එදා‍ට අල්ලා ගමු.

    ReplyDelete
    Replies
    1. සිකුරා අල්ල ගන්න ඕන කට්ටිය ගොඩයි‍නෙ.. හොද පාඩමක් උගන්වන්න පුළුවන් වෙයි.

      Delete
  10. අපූරු මතක සටහන් ගීයක් වගේ පෙළ ගස්වලා සිකුරා කියන්නේ යෞවනයනේ..

    ReplyDelete
    Replies
    1. ගීතයක් ලියන්න වෙන්නෙ අයියටම තමයි...

      Delete
  11. දයාබර තරුරසී,
    ඔයාගේ අතින් ලියවෙන මේ දේවල්...අනේ මන්දා...ඇයි මට වෙන දේවල්ම ඔයාගේ බ්ලොග් එකේ ලියවෙන්නේ...ඔයා කවුරුද කියල නොදැන හිටියට ඔයාට මුණ දෙන්න වෙන සිද්දි මගේ ජීවිතේට බොහොමත්ම සමානයි. එකයි ඔයා මේ ලියන ලිපි මගේ හිතට මෙච්චර දැනෙන්නේ...
    ආදරේ ඉල්ලන් හිඟා කෑවත් සමහර වෙලාවට එකම එක ආදර වචනයක් වත් අහන්න නොලැබෙද්දී, එක දිගටම බලාපොරොත්තු කඩවෙද්දී, හිතේ දුක පිරිලා ඉතිරිලා ගිහින් තියෙද්දි...කිසිම දවසක හීනෙන්වත් හිතුවේ නැති කෙනෙක්ගෙන් මුළු හදවතක් පුරවපු ආදරයක් කකුල් දෙක ළඟටම එනවා...ඒත් අපේ හිත පුරෝලා පරිස්සමින් තියාගෙන ඉන්න ඒ ආදරේ නිසා අපි ළඟටම ආපු ආදරේ වෙනුවෙන් දෙන්න තරන් දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ...අනේ මන්දා...සිකුරා වැරදිද, අපි වැරදිද? :(

    ReplyDelete
    Replies
    1. කවුරුවත්ම වැරදි නැහැ.. ජීවිතේ හැටි එහෙම තමයි නේද?

      අපි ජීවිත කාලෙම කරන්නෙ අපි ළග නැති දෙයක් හොයාගෙන යන එකනෙ.... මේව කියවල දුක් ගන්න නම් එපා... මමත් මට වෙන දේවල් දිහා හිනාවකින් බලන්න පුරුදු වෙන්නයි හදන්නෙ.......

      Delete
    2. //අපි ජීවිත කාලෙම කරන්නෙ අපි ළග නැති දෙයක් හොයාගෙන යන එක//
      මේ කතාවනන් ඇත්තම ඇත්ත...ළඟ නැති දේ ගැන සර්ව සුභවාදීව හිතන්න අපි පුරුදු වෙලා ඉන්නේ මොන එකකටද මන්දා...මොකද කොයි තරන් එහෙම හිතුවත් ඒක එහෙම වෙන්නෙත් නැහැ...එහෙම වෙන්නෙ නැහැ කියල දැන දැනත් ආපහු ඒ විදිහටම හිත හිත අපි හිත් රිද්දගන්නවා...මමත් කවදා හැදෙයිද මන්දා...

      //මමත් මට වෙන දේවල් දිහා හිනාවකින් බලන්න පුරුදු වෙන්නයි හදන්නෙ.......//
      ඒ අතින් ඔයා මට වඩා ගොඩක් ඉදිරියෙන්...මාත් උත්සාහ කරනවා පුළුවන් උපරිමයෙන්...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...