ඈ සිත්තරී.
පුංචි සිත්තරී.
ආධුනික
කියන්නත් බැරි තරමට ආධුනික ඒ පින්සල් පහරවල් වෛවර්ණයි. ළාමකයි. මල් පෙති උඩ හිරු
කිරණ දඟ කරන පිණි බින්දු, සමනල්ලු, ගහකොල, ඇලදොල, සුරංගනාවො, පුංචි පැංචන්ගෙ සිඟිති
හිනා ඇගේ සිත්තම්වල සැහැල්ලුවෙන් සැරිසැරුවා.
........
එක්තරා
දවසක්.. අහසත් වලාකුළුවලින් බරවෙලා තිබුණු..
ඈ උන්නෙ චිත්‍රාගාරයක..
චිත්‍රයෙන් චිත්‍රයට පියමනිමින්. චිත්‍රයෙන් චිත්‍රයට කතාවක් මවමින්..
''මොකද
හිතෙන්නෙ මේ චිත්‍රය ගැන'' ඈ හැරී බැලුවා.
සිත්තරා.. මහා
සිත්තරා..
ඒ සිත්තම්වලට පණපෙවුණු හදවත ඇස්දෙකට අරගෙන ඔහු උන්නා හිනැහි හිනැහී... පුංචි
සිත්තරීගෙ ඇස් ආයෙත් නැවතුණා සිත්තම ළඟ. පපුව ගිඩි ගිඩි ගගා ගැහෙද්දි.
වැලිතලාවක
වැටුණු බෝපත.. එය කහ පැහැතියි. ඒත් ඒ කසාවර්ණය දුඹුරු පැහැයට හැරෙමින් තිබුණෙ. යාංතමට
එක් කොණකින් කොළයේ ජීවය දැවෙමින් දුඹුරු නාරටි දැල මතු වෙමින් තිබුණා. ඒ බෝපත තමයි
මතු වෙලා ඇලුණෙ ඇස්වල වැඩියක්ම. තැනින් තැන දූවිල්ලටම හැරිල ගිය බෝපත්වල ලකුණු
තිබුණා. ඈතින් බොඳ වෙලා පෙණුනා ඇත් පවුරක සේයාවක්... අහසයි.. ඇත් පවුරයි යා වෙලා
වගෙයි....
''අධ්‍යාමිකත්වය
වුණත් ක්ෂය වෙන දෙයක් කියලයි මට හිතෙන්නෙ. අවසානෙ ඉතිරි වෙන්නෙ ශුන්‍යත්වය.. නිවන
කියන්නෙ ඒකට ද මන්ද?
ඒත් අපි තාමත්
හිර වෙලා ඉන්නෙ......... උපදින්නෙ මැරෙන්නෙ ඒ හිර ගේ ඇතුළෙමයි. ඒ හින්දම සංසාරෙ
දිගයි.. දිගම දිගයි...
ඈත ඇත්
පවුරෙන් එහා ජීවිතයක් තියෙන බව දැනෙනවා. හරියටම පැහැදිලි නෑ. බොඳවෙලා. ඒත් එතෙන්ට
යන්න පුළුවන්කමක් නෑ. පුළුවන් වුණත් ඕනකමක් නෑ... සමහරවිට සංසාරෙ කෙළවර තියෙන්නෙ
එතනින් එහා පැත්තෙ වෙන්න ඇති...''
පුංචි
සිත්තරීගෙ කටහඬ වෙව්ලුවා. ස්වර බිඳුණා විටින් විට. ඒත් ඈ කිව්වෙ මෙතෙක් සිත්තම්
සමාධියෙන් පහළ වූ සිතුවිලි... ඈ හෙමිහිට මහා සිත්තරාගෙ ඇස්වලට එබුණා. ඔහු උන්නෙ
සිත්තමේ ඇලිලා.
''දන්නෙ නෑ ..
මට හිතුණු දේවල්...'' ඈ ආයෙත් හෙමිහිට කිව්වා. වරදක් කළා වගේ පසුතැවීමක් දැනෙමින්
තිබුණා.
දිගු හුස්මක්
මුදා හැරි මහා සිත්තරා ඈ වෙත හැරුණා.
'' සමහර විට
වෙන්න ඇති. නිර්මාණකරුවට නොපෙනෙන පැති
රසිකයො අල්ලගන්න වෙලාවල් තියෙනවා.''
ඇයට සැනසුමක්
වගේ හැඟීමක් දැණුනා.
''චිත්‍රවලට
ගොඩක් කැමතියි වගේ නේද?'' ඔහු ඇහුවා. එවෙලෙ ඒ ඇස්වල අමුතු දිලිසීමක් තිබුණා.
''මං අඳිනවා..
නෑ මං කිව්වෙ...'' ඇය ඉක්මණින් මුල් වචන මකල දැම්මා. ''මං අඳින්න කැමතියි....''
............
මහා සිත්තරාගෙ
කට කොණ නැටුවෙ ඔච්චමට වගේ. ඔවුන් උන්නෙ විහාරමහාදේවියෙ සීතල සිමෙන්ති බංකුවක. අධි
සීතලෙන් හිරි වැටිල තිබුණෙ ඇගේ හිත.
''මේ මොනවද
මේ... මොන්ටිසෝරි බබාලට හොඳයි.''
මහ සිත්තරාගෙ
දෑතින් නොසැලකිල්ලෙන් අතහැරී යන
සිත්තම්වල කුරුල්ලො ඉකිබිඳින්න ගත්තා. මල් මැළවුණා. තුරුලතා වියැලිලා අහස
කළු වුණා. සුරංගනාවො ලැජ්ජාවෙන් ඇකිළුණා.
ඇගේ සිත්තම්
එකින් එක පෙරළා බැලූ ඔහු විඩාපත් බවක් පළ කරමින් දෑත් දෙපසට දිගු කරල දිගු ඈනුමක්
ඇරියා. ඒ හා සමඟ හමා ආ පල්වුණු මීවිතක දුර්ගන්ධය මිහිරි සුවඳක් වගේ පුංචි
සිත්තරීගෙ හිත කුල්මත් කළා.
''යමු මා
එක්ක'' මහා සිත්තරා නැගී සිටියා. ඉකිබිඳින සිත්තම් බංකුව මත එහෙමම තියෙද්දි ඈ ඔහු
පසුපස ඇදුණා.
.................
ඉන්පස්සෙ පුංචි
සිත්තරීට ඉර, හඳ පෑව්වෙ ඒ සිත්තර කුටියෙ ඇතුළෙ. දාවලේ කැන්වසය මත දුවන මහා සිත්තරාගෙ පින්සල්
පහරවල් අපූරු සිත්තම් මැව්වා. අනුරාගයේ පින්සල් පහර රාත්‍රිය වර්ණවත් කළා.
පුංචි සිත්තරී
උන්නෙ තුන්හිතම පුරෝගෙන. හිනා වෙවී.. හිනා වෙවී.. දවස පුරාම...
තේ හැදුවෙ,
බත් ඉව්වෙ, රෙදි හේදුවෙ, සායම් හේදුවෙ, පින්සල් හේදුවෙ, මීවිතට අඩුකුඩුම සරි
කෙරුවෙ හිනා වෙවී.. හිනා වෙවී.. දවස
පුරාම...
ඒත් පුංචි
සිත්තරීට සිත්තම් අමතක වුණේ නැහැ. ඈ දවස් ගාණක් සිත්තමක දැහැන්ගත වෙලා උන්නා.. ඒ
සිත්තම පුරාම තිබුණෙ ප්‍රේමය.. ඉමක් නිමක් නැති ප්‍රේමය... ඇගේ හිත පිරිල තිබුණෙත්
ඒ ප්‍රේමය..
මහා සිත්තරාගෙ
ඇහැ ගැටෙනකල් ඒ චිත්‍රය.. ගේ පුරාම, ඈ පුරාම නින්නාද දිදී රැව් දුන්නෙ ඒ ප්‍රේමය.
''මේ මොකක්ද
මේ? ... මේ චිත්‍රෙ පුරාම ඉන්නෙ මං..... ඕනම කෙනෙකුට තේරෙනවා... පිස්සුද?'' ඔහු
ගිගිරුව අහස වගේ. ඈ කඩා වැටුණා වැස්ස වගේ.
ඉන්පස්සෙ ඇගේ පින්සල්වල
මකුලු දැල් බැඳුණා. සායම් ඵලකය අළු බඳුන උණා. කුස්සියෙ දුම් වළලුවල එතිලා දුක්මුසු
සුසුම් හිස් අහසට පාවෙලා ගියා.. රාත්‍රිය කටු අනින්න ගත්තා.
................
දවසක්.. මීවිත
ගලා යන රැයක.. චිකන් ඩෙවල් සුවඳක් කුස්සියෙන් නික්මිලා ආලින්දය හරහා අලස ගමනින්
පාවෙලා ගියා.
සිත්තර මිතුරු
හිනා හඬ ඇගේ සවන්කුහරවල හැප්පිලා හදවත දෙදරුම් කෑවා.
'' ඇත්තටම
ගෑණුන්ට බුදු වෙන්න බැරි ඇයි බං..'' ඒ අසංයම වාක්‍ය ඛණ්ඩයේ තැන තැන අවකල් මත්බවක්
රැඳී තිබුණෙ...
''ගෑණුන්ට බුදුවෙන්න බැරි ....'' ඒ මහා සිත්තරාගෙ හඬ. ''උන්ට
බුදු වෙන්න බැරි, අතාරින්න පුරුද්දක් නැති හින්දා... අල්ලගත්ත කිසිදෙයක් අතාරින්නෙ
නෑ. කූඩැල්ලො වගේ එල්ලිලාම ඉන්නවා..'' එහෙම කියල ඔහු මහා හයියෙන් හිනැහුණා. හරියට
කුස්සියට ඇහෙන්න වගේ.
ටික්ස්.....
ගෑස් ලිප ගිනි දැල්ල හංගගත්තා.
...................
ඈ හෙමිහිට
පිටුපස දොරින් පිටවුණා. ඇගේ අත රැඳුණ මල්ලෙ පින්සල් කිහිපය මකුළු දැල් අතරින් එබිල
බැලුවා... සායම් ඵලකය සැනසුම් සුසුමක් හෙළුවා. ගල් ගැහුණු සායම් ටියුබ උණුහුම් වෙවී, උණුහුම් වෙවී දියවෙන්න ගත්තා.
ඉතින් ආව වගේම
ඈ යන්න ගියා.
තවත් කල්ඉකුත්
වුණු බෝපතක් දූවිලි පොළවට එකතු වුණා.
පව් අප්ප සිත්තරි....
ReplyDeleteගුරු සිත්තරු හැමෝම එහෙම නැහැ හැබැයි නේද.....?
සිත්තරී ගැන මොනවා කියන්නද කියලා මම මේ කල්පනා කරන්නේ..
ReplyDelete//වැලිතලාවක වැටුණු බෝපත.. එය කහ පැහැතියි. ඒත් ඒ කසාවර්ණය දුඹුරු පැහැයට හැරෙමින් තිබුණෙ. යාංතමට එක් කොණකින් කොළයේ ජීවය දැවෙමින් දුඹුරු නාරටි දැල මතු වෙමින් තිබුණා. ඒ බෝපත තමයි මතු වෙලා ඇලුණෙ ඇස්වල වැඩියක්ම. තැනින් තැන දූවිල්ලටම හැරිල ගිය බෝපත්වල ලකුණු තිබුණා. ඈතින් බොඳ වෙලා පෙණුනා ඇත් පවුරක සේයාවක්... අහසයි.. ඇත් පවුරයි යා වෙලා වගෙයි....//
ReplyDeleteදැකපු ලස්සණම ලිපියක් තරු....හරිම අපූරු ලියවිල්ලක්...
නපුරු සිත්තරෙක් වගේ.සිත්තරි ගත්තු තීරණය හරි.ඇයි තමන්ට වටිනාකමක් නැති තැන රැදෙන්නේ...?
ReplyDelete''ගෑණුන්ට බුදුවෙන්න බැරි අතාරින්න පුරුද්දක් නැති හින්දා... අල්ලගත්ත කිසිදෙයක් අතාරින්නෙ නෑ. කූඩැල්ලො වගේ එල්ලිලාම ඉන්නවා..''
ReplyDeleteමේ කතාව ගැන උදේ ඉඳන්ම ඔටුව හිතනවා. ගෑණු විතරද අතාරින්නෙ නැත්තෙ කියලා...
හරිම ලස්සනයි...නිර්මානශිලියි ....සිත්තරිට දැන් තියෙන්නේ එයාගෙම කියලා චිත්‍රයක් අඳින්න පටන් ගන්න
ReplyDelete"උන්ට බුදු වෙන්න බැරි, අතාරින්න පුරුද්දක් නැති හින්දා... අල්ලගත්ත කිසිදෙයක් අතාරින්නෙ නෑ. කූඩැල්ලො වගේ එල්ලිලාම ඉන්නවා..'' හැමදාම වගේ.., අක්කගෙ කතාවක විනාඩි 5ක් විතර හිත නතරවෙන තැනක් තියෙනවා :)
ReplyDeleteලස්සනයි කතාව!
අමුතුම ආකෟතියක්... වෙලාවකට ලමා කතාවක් වගේ දැනෙනවා. එාහමත් නැත්නම් අනික් අතට ගද්‍ය කාව්‍ය සම්ප්‍රදාය ගැන අත්හදා බැලූවක් වගේ කොහොම කියෙව්වත් නිර්මාණ ශීලියි
ReplyDeleteතරු නම් තරුවක්ම තමයි. රස වින්දෙමි.
ReplyDeleteනිර්මාණාත්මක වෙනස්ම කතාවක්.
ReplyDeleteකියවා රස වින්දෙමි !
ReplyDeleteපිරිමි හිතන්නෙ එයාලට විතරයි හැම දේම පුලුවන් කියලා. ගෑණුන්ටත් අත හරින්න පුලුවන් බව පෙන්වන්න පුංචි සිත්තරී.
ReplyDeleteපුදුම ලස්සනයි
ReplyDeleteදැන් සිත්තරීට තියෙන්නෙ බින්දි කිව්වා වගේ හැමදේම අමතක කරලා අලුත් චිත්ර͆යක් අදින්න ගන්න.තරූටත් එහෙමම කියන්නම්.
ReplyDelete