පිටු

Friday, March 21, 2014

රහසේ හඬනා අප හැඬුම්...






''එදා ඇස්වලින් කියපු කතාව ඇත්තක් නෙවෙයිද? ඒක විතරක් මට කියල යන්න..'' 

ඈ තිගැස්සුණා. අසාමාන්‍ය විදියට ඇගේ හිත ගැහෙන්න ගත්තා. ආදරෙයි කියූ අයත්, ආදරෙයි නොකියා කියූ අයත්, ආදරෙයි කියා පිටුපා ගිය අයත් උන්නු අතීතයේවත්, තවමත් ආදරේ ඇස්වල තියාගෙන ඈත ඉඳන් බලා ඉන්න අය අතරෙවත් මේ තරම් ආක්‍රමණශීලී හදවත් පැහැර ගන්නෙක් ඇයට හමුවෙලා තිබුණෙ නැහැ. 

''එදා කියන්නෙ කවදද?''

''එදා කවි කුටියෙදි.. තාමත් ඒ බැල්ම මගේ හිතේ නැවතිලා. ඒ බැල්ම හිත අස්සෙ ගුලි කරගෙන ආව ගමන තමයි මේ..'' 

................................

ඒ එදා... කියන්නෙ වසර දෙකකට එහා අතීතයක්.. ඇයට මතක නැහැ, ඒ තරම් හිත ඇමිණෙන බැල්මක් ඇගේ ඇස්වල තිබුණද කියල. ඒ අපමණ සැහැල්ලුවකින් උන්නු දවසක් බව නම් මතකයි. එදා ඇරඹුණු වැටලීමක් ද මේ...!!! 

ඈ හිතුවෙ ''නාස්තිකාර පුත්‍රයා'' ගැන දැනගන්න තිබුණු උවමනාව මත වත්පොත හරහා ඔහු ජීවිතයට ගොඩවැදුණු බව. බයිබලය කියවගන්න උදව් ඉල්ලන ඔහු හිත කියවන්න ලෑස්තිවෙයි කියල ඇයට හිතුණෙ නැහැ. නාස්තිකාර පුත්‍රයා යන වදනම අසාධාරණ බවයි එදා ඈ ඔහුට කිව්වෙ. අවදානම් දරමින් ජීවිතය සොයාගෙන ගිය අකීකරු පොඩි පුතා පියාණන්ගේ හදවතේ වැඩි ඉඩක් දිනා ගත් බවයි ඈ පහදා දුන්නෙ. 

''ආදරය දිනා ගන්න, ජීවිතේ තේරුම් ගන්න අවදානම් දරන්න වෙනවා.''  

ඒ අකුරු පෙළට යටින් ඈ හිනා මුණක් යැව්වා ඔහුට.

''ඔය තරම් ලස්සනට ආදරය ගැන ලියන ඔයා ඇයි මේ හැටි ආදරේට බය... ඔයා ආදරය වෙනුවෙන් අවදානම් දරන්න ලෑස්ති නෑ...'' හැරෙන තැපෑලෙන් ආව අකුරුවල තිබුණෙ හිත හිරිවට්ටන ඉන්ජෙක්ෂන් එකක්. සෑහෙන නිහඬතාවකට පස්සෙ උණත් ඇයට ලියා යවන්න දෙයක් හිතට ආවෙ නෑ... 

''අර තරම් ලස්සනට භාෂාව හසුරුවන්න දන්න කෙනා මෙහෙම ගොළු වෙන්නෙ ඇයි..?'' ඒ චෝදනාත්මක අකුරු පෙළත් ඔහුගෙන්මයි. ලැබුණෙ හරිම කෙටි පිළිතුරක්. 

''මන්දා?'' 

ඇත්තටම ඈ දන්නෙ නෑ. ඇයි මේ හැටි ජීවිතේට බය, ඇයි මේ හැටි ආදරේට බය කියල. හිත පාරවගන්න තියෙන අකමැත්ත මිස ඒ බයට අන් සාධාරණ හේතුවක් තියෙනවද? ඉරිතැලුණු හදවතක මලක් පිපෙන්න ආදර වැස්සක් ඕනි බව ඇත්ත... ඒත් වැහි වැටෙන හැම මොහොතකම ජීවිතයම මුවා කරගෙන පළා යන්නයි ඇයට උවමනා වුණේ. 

..................

''එදා...!!! එදාමනෙ අපි අඳුන ගත්තෙ. එදාමනෙ අපි මුලින්ම කතා කළේ. ඔයා හරි ආඩම්බරේට උන්නෙ.. මං කවි පොත් අතගගා ඉඳල යන්න ගියේ...'' ඈ කිව්වෙ විස්මයෙන් ඇස් විසල් කරගෙන. 

''සාමාන්‍යයෙන් මං එහෙමයි කාන්තාවො ළඟ දියවෙන්නෙ නෑ. දියවෙන්න කැමති නෑ. ඉඳහිට මෙහෙම වුණාට............. එදා ඔයාගෙ ඇස්වල මං දැක්කෙ හිර කර ගත්ත වේදනාවක්.. හුදකලාවක්... ඔයාගෙ බැල්ම හරියට ඒ හුදකලාවෙන් මාව ගළවගන්න කියනව වගේ.... ''

ඇත්තටම ඈ ගල්ගැහුණා. ඇගේ ඇස් එහෙම කතා කරන බවක් කවදාවත්ම, කවුරුවත්ම ඇයට කියල තිබුණෙ නෑ. 

''දැන් නම් කවුරුවත් දිහා බලන්නත් බයයි...'' 

''ඇයි?'' 

''නෑ ... ඉතින් ඔය විදියටම අනිත් අයටත් පෙණුනොත්. ඒකයි...''

''හැමෝටම බෑ ඇස්වලින් හිත කියවන්න....'' ඔහු හිනැහුණා.

''ඔයා දන්නවා.. කෙල්ලෙක්ගෙ හිත ආක්‍රමණය කරන කලාව. මහ කට්ටයෙක්..'' ඇයත් හිනැහුණා. 

''ඔව්.. සමහර විට.. මට උවමනා කරන හිත්... හැමෝගෙම නෙවෙයි. ඔයාගෙ හිත හෙල්ලුණා. මං දන්නව ඒක...'' ජයග්‍රාහී හැඟීමකින් ඒ ඇස් දිලිසුණා. 

ශාස්ත්‍රීය සංවාද, දේශාපාලන වාද විවාදවල දි ඇරුණම ආදරය ගැන කතා කරන හැම විටකම ඒ ඇස්වල තියෙන්නෙ හිත හොළවන දිලිසීමක් තමයි. දෑසට දෑස හමුවුණ මුල්ම දවසෙ මුල්ම තත්පරයෙදිමයි ඒ දිලිසීම ඇගේ හිතේ නුහුරු වෙව්ලීමක් බවට පත් වුණේ. ඒත් ඒ එදා  කවි කුටියෙදි නම් නෙවෙයි. ඊට බොහෝ කලකට පසුව දවසක..

ඒත්......? දැන්... දැන්.. ඇයට ඕන පළායන්න, ඔහු වෙතින්.... ඒ බවත් ඇගේ ඇස්වලින් ඔහු කියවගන්න ඇති.

''ඔයා මේ හැටි බය මට ද? නැත්නම් ඔයාටම ද?'' 

''දන්නෑ..'' ඈ කිව්වෙ දුර ඈතක නෙත් රන්දගෙන.

''මං දිහා බලල උත්තර දෙන්න...'' ඉල්ලීමක් වුණත් එහි තිබුණෙ ආඥාදායක ස්වරයක්. ඈ හැරුණා ඔහු වෙතට. ඒ ඉලක්කගත බැල්මට බොරුවක් කරන්න හිත දුන්නෙ නැහැ ඇයට. 

''සමහර විට මට ම...''  

සමහර විට නෙවෙයි, ඇත්තටම ඈ බය ඇයටම. ආදරවන්ත හිතක් ළඟ අසීමිත විදියට ලෝබ වෙන ඇගේ හිත ගැනමයි ඇයට බය...

............................



'' ආ... මේ චොක්ලට් එක දෝණිට.. මේ පොත ඔයාට... '' 

ඈ බෑගයෙන් එකින් එක එළියට ගනිමින් ඔහු අත තැබුවා... හරියටම ඔබට අයිති ජිවිතය ඔබ ගන්න... මට මගේ හිත අරන් යන්න ඉඩදෙන්න කියන්න වගේ... 

''එදා ඇස්වලින් කියපු කතාව ඇත්තක් නෙවෙයිද? ඒක විතරක් මට කියල යන්න..'' ඔහු එහෙම ඇහුවෙ ඒ මොහොතෙ.... නිරුත්තර නිසල අවකාශයක සීතලට කඳුලක් මිදෙමින් තිබුණා හදවතේ කොණක.

''ඇස් පුංචි දේටත් තිගැස්සෙනවා..  ඒ තිගැස්ම ආදරයමයි කියල හිතන්න එපා... ඇස් රහස් හංගන් ඉන්නවා. ඒත් හැමවෙලේම ඇස්වල රහස් කියවන්න යන්න එපා.. තේරුමක් නෑ.. සමහරවිට ඒ තේරුම කෙළවර තියෙන්නෙ මහා දුකක්...'' ඈ  කිව්වෙ ඇස් හංගන්...

''අපි කවදද ආයෙම හමුවෙන්නෙ...'' 

''සමහරවිට... කවදාවත්ම නෑ....'' ඈ නැගී සිටියා.

''ඒත් මං දන්නවා එක දෙයක්... ඔයාගෙ හිතේ මම ඉන්නවා...'' 

''මං පරිස්සම් කර ගන්නම් හැමදාටම.. ඔයාවයි.. අද දවසයි මගෙ හිතේ...'' ඈ හිනැහුණා, සැහැල්ලුවෙන්. සැහැල්ලුවම වුණත් විටෙක අසීමිත බරක් බව හිතමින්...

9 comments:

  1. ///ඇස් පුංචි දේටත් තිගැස්සෙනවා.ඒ තිගැස්ම ආදරයමයි කියලා හිතන්න එපා.ඇස් රහස් හංගන් ඉන්නවා.ඒත් හැමවෙලේම ඇස් වල රහස් කියවන්න යන්න එපා//......මේක තමයි තරූ අපිට පැටලෙන ඇත්ත....///ආ........මේ චොක්ලට් එක දෝනිට..මේ පොත ඔයාට///හිතන්න ගොඩක් දේ ඉතිරි කරලා ලස්සනට ලියලා..............

    ReplyDelete
  2. ආදරය කියන එක සුන්දර දෙයක් තමයි. ඒක එක පැත්තකින් සංකීර්ණයි. නමුත් මුලු ජීවිත කාලෙටම ආදරේ කර කර සම්බන්ධතා ඇති වෙමින් නැතිවෙමින් දිගුකාලීනව දුක්විඳින එක ආදරය කියන එකේ සාමාන්ය තත්වය වෙන්න ඕනත් නෑ කියල මට හිතෙනවා. එක් අරමුණක් ඇතිව සාර්ථක දිගු ගමනක් යන එක් ආදරයක් ඇතිකරගන්න එක තමයි සාමාන්ය දේ වෙන්න ඕනේ.

    ReplyDelete
  3. ඔ්‍ය සිංදුව හරි ලස්සනයි ලා සද පායනා රැයේ..දිලිසේ...තරු සේ..

    ReplyDelete
  4. හ්ම්ම්ම්..... සිතට තදින් දැනුන......

    ReplyDelete
  5. //සමහර විට නෙවෙයි, ඇත්තටම ඈ බය ඇයටම. ආදරවන්ත හිතක් ළඟ අසීමිත විදියට ලෝබ වෙන ඇගේ හිත ගැනමයි ඇයට බය...//

    සම්පූර්ණ ඇත්ත!!! :)

    ReplyDelete
  6. ''අපි කවදද ආයෙම හමුවෙන්නෙ...''

    මිනිස්සු හැමටම තියෙ ප්‍රශ්නයක්... මනසකට මනසක් හමු වෙනවා නම් මොනා කරන්න බැරිද?

    ReplyDelete
  7. හැමදාමත් හැමෝවම අමාරුවේ දාන්නේ ඔය මායාකාර ඇස්ම තමයි.

    ReplyDelete
  8. කටින් බොරු කිව්වත් ඇස්වලින් කියන්නේ ඇත්ත නේද ??

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...