පිටු

Tuesday, July 15, 2014

තුලන ගමන...

By An He
 
ලෝකයම හරි කලබලයි.. තරඟකාරීයි.. අරගලකාරීයි.. සංකීර්ණයි... ඒ මැද නිසලව අකම්පිතව සන්සුන්ව දිවි ගෙවීම ලේසි වැඩක් නෙවි... මහා මේඝයක් වගේ කලබලෙන් ගලාගෙන යන ජීවිතේට ඉඳහිට හරි විවේකයක් දෙන එක හොඳයි, නිස්කලංක වෙන්න... හිතන්න.... ඒ වගේම අපේ ජීවිත මෙහෙවර ගැන මෙනෙහි කරන්න. ‘‘නැවතීමම ය ගමන..... සංසාරයම ය නිවන... සේකර ප්‍රබුද්ධ තුළ කියන්න හදන්නෙත් මේ කාරණයමද කියලත් හිතෙනවා...

සුපුරුදු විදියට මෙවරත් තුලන ධර්ම විවේකයට සහභාගි වුණා.. විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන සත්දෙනෙක් අප කණ්ඩායමට අයත් වුණා. හරියට සත්පහන් දැල්වුවා වගේ.. නීති ක්ෂේත්‍රය, මනෝසමාජ විද්‍යාව, කිතුනු දහම, සමාජ සේවා වගේ විවිධ පැති අතරට මගේ සාහිත්‍ය කලා හදවතත් එක් වුණා. මේ තියෙන්නෙ පසුගිය වසරවල මගේ අත්දැකීම්...


තුලන නිස්කලංක හරිත වටපිටාව, කාලාගාරයක අපූර්වත්වය වචනවලට එහා ගිය ජීවිත අර්ථයක් මතුකරනවා. මේ වාරයෙදි අලුත් නිර්මාණ කිහිපයක්ම එක් වෙලා තිබුණා.
 



මේ නිර්මාණය වටා සැරිසරමින් අපි අරුත් මතු කර ගන්න මහන්සි ගත්තා. පසුව සැබෑ අරුත හමුවුණේ නිමැවුමට සම්බන්ධ කලාකරුවකුගෙන්මයි.. ජේසුතුමන්ගේ පළමු ප්‍රාතිහාර්යය කානා නුවර මංගල උළෙලේ වතුර මිදිරස  බවට හැරවීමනෙ.. මේ තියෙන්නෙ ඒ වතුර පිරවූ බඳුන්වල සංකේතාත්මක අනුරුවක්. ඒ ඇතුළෙ මිනිස් රූපත් සංකේතාත්මකයි. වේදනාව, තනිකම, ආදරය, පීඩාව, සතුට වගේ විවිධ හැඟීම්වල හිරවෙලා ඉන්න මිනිස්සු. වතුර වයින් වුණා වගේ ජීවිත අලුත් කර ගැනීම ගැන තමයි මේ නිර්මාණයෙන් කතා කරන්නෙ. අපි මතු කරගත් අරුතට සැබෑ අරුත තරමක සමීපබවක් තිබුණා... කලා නිර්මාණයක් නිර්මාණකරුවා අපේක්ෂා කරන අර්ථය ඉක්මවා ගිහින් බහු අරුත් මතු කරන්න පුළුවන්නෙ. එය විඳින රසිකයාගේ බුද්ධිමය ප්‍රභාව අනුව සිදුවන්නක් මට හිතෙන්නෙ.

 

අපි මුලින්ම හිතුවෙ විශාල බඳුන් තුළ සිරගත වුණු මිනිස් රූප තමන් තුළම සිරගත මිනිසුන් සංකේතවත් කරනවා කියල. දකුණු පසින් ඒ ස්වයං සිරගත මිනිස් රූ පසුකරගෙන එද්දි බිත්තියක තියෙන මේ කටුකම්බි වැටකින් එහා සිර කළ මිනිසුන් අපි හිතුවෙ සමාජ වටපිටාව විසින් සිරගත කළ මිනිසුන් කියල.. පසුව දැනගන්නට ලැබුණු විදියට ඒ උතුරුකරයේ අවතැන් කඳවුරක දසුනක්.

To Love To Serve    

ඇලොයි පියතුමා අසුවිය සම්පූර්ණ කළා. නමුත් තාරුණ්‍යයේ ප්‍රභාවෙන් එතුමා දේවධාර්මික කරුණු පහදන ආකාරය හරිම හෘදයාංගමයි. මෙවර ධර්ම විවේකයේ ප්‍රමුඛ තේමාව වුණේ ‘‘ප්‍රේමය සහ සේවය ප්‍රේමය තුළ සේවය තමයි වඩාත් ගැළපෙන්නෙ. ආදරයෙන් තොර සේවයක් පවතින්නෙ නෑ වගේම සේවයෙන් තොර ආදරයක් පවතින්නෙත් නෑ.. පොදු

ආදරයෙන් සහ සතුටින් ලෝකයේ යහපත වෙනුවෙන් සේවය කිරීම තමයි අපේ ජීවිත කැඳවීම. සමාජ දේශපාලන වටපිටාව තුළ යහපත වෙනුවෙන් සේවය කිරීම අතීතයේදි වගේම අදත් හරිම අභියෝගාත්මක නිසා දුක්විඳීම මරණය වුණත් හිමිවෙන්න ඉඩ තියෙනවා. හරියට ජේසුට වුණා වගේ. බයිබලීය අත්දැකීම්, පුද්ගල අත්දැකීම් හරහා මේ කාරණය ගැනයි මා සහභාගි වූ දින තුනේම මෙනෙහි කළේ.. සාකච්ඡා කළේ.

එළිමහන කුරුළු ගීතයෙන් පිරිලා. බලන බලන අත කොල පැහැය. තරමක තද සුළඟක් නිරන්තරයෙන්ම තිබුණෙ. හරිම සනීපයි.දවසින් වැඩි වෙලාවක් ලැබුණේ නිස්කලංකව තනිවම ඉන්න. මට මා සමඟම කතා කරන්න. මට මා තුළම නිහඬ වෙන්න... ඒ ඇතුළාන්ත නිහඬබව අත්දැකීම හරිම අමාරු වැඩක්. ඒ තරමටම මගේ හිත කතන්දරකාරියක් වෙලා....

රිදී සිත්තම්...

තුලන නේවාසිකව සිටින කාලය තුළ සෑම දිනකම රාත්‍රී ආහාරයෙන් පසුව චිත්‍රපටයක් නරඹන්නට අවස්ථාව ලැබෙනවා. එය වැඩසටහනේ මූලික තේමාව සමග බද්ධව යන සිනමා සිත්තමක් බොහෝ විට.


 
 
පළමු දිනය අවසානයේ අපි නැරඹූ චිත්‍රපටය කන්දහාර් . සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ ඉරාන චිත්‍රපටයක් බවයි පැවසුණේ. ඇෆ්ගනිස්තානයේ යුධකාමී වටපිටාව තුළ මිනිසුන් දෛනිකව මුහුණදෙන අපමණක් ගැටලු, දුක්ඛිත තත්වයන් මෙහි දිගහැරෙන්නෙ. ප්‍රධාන චරිතය නෆාස්. ඇය ඇෆ්ගනිස්තාන කාන්තාවක්. ළමාවියේම ඇයව කැනඩාවට රැගෙන යන නිසා ඇය ජීවත් වෙන්නෙ තමන් උපන්බිමෙන් බොහෝ දුරස්ව. නමුත් ඇගේ සොයුරිය ජීවත් වෙන්නෙ ඇෆ්ගනිස්තානයේ කන්දහාරයේ. බිම් බෝම්බයක් නිසා දෙපා අහිමි වූ සොයුරිය දිවි නසාගන්නා බව දන්වමින් ලියූ ලිපියක් නෆාස්ට ලැබෙනවා. ඇය තීරණය කරනවා තම සොයුරිය හමුවන්න. ඉරානයට පැමිණෙන නෆාස් දේශසීමා ඔස්සේ කන්දහාරය කරා යන ගමනයි මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නෙ. ඒ ගමන තුළ ඇය දකින, විඳින දේමයි අපිත් චිත්‍රපටය තුළ දකින්නෙ. විඳින්නෙ.

ඒ හදකම්පා කරවන දසුන් දකින කෙනෙකුට මොනම විදියකටවත් යුද්ධය, ගැටුම්, ලේ වැගිරීම් අනුමත කළ නොහැකි වනු ඇති... ඒත් ලේ පිපාසිත මිනිසුන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම.... ජීවිතයට, ලෝකයට ආදරය කරන මිනිසුන් හමුවේ ඇති අභියෝග ඉතාම සංකීර්ණයි. ප්‍රබලයි.

 

දෙවන දින අවසානයේ Nobody's Child. ළමා වියේම මව්පියන් අහිමිවන දැරියක කැපකරු මව්පිය සෙවණේ ලබන අනාදරය, අවමානය, නොසලකා හැරීම ඇය මානසික රෝගියකු බවට පත් කරනවා. නමුත් ආදරවන්ත මිනිසුන් කිහිපදෙනෙකුගේ අප්‍රතිහත ධෛර්යය සහ ඇයගේ කැපවීම තුළ ඇය අවසානයේ තම මානසික දුබලතා ජයගෙන ජීවිතයේ සතුට සහ සැනසුම ළඟා කරගන්නවා.

දරුවන්ගේ ජීවිතයට ආදරය, රැකවරණය, අගය කිරීම කොයි තරම් අවැසි ද ඒ නොලබන දරුවන්ගේ ජීවිතයට සිදුවන හානිය කොතරම්ද නැවත නැවතත් හිතන්න පොළඹවන චිත්‍රපටයක්..

තුන්වන දිනය ඉරිදා දිනය... ආයතනයේ හැම දෙනාම රාත්‍රී ආහාරය ගත්තෙ එකට. ඒ දිනය අවසන් වුනේ සංගීත සන්ධ්‍යාවකින්... පියානෝව වාදනය කළේ පියතුමා, අපේ බලවත් ඉල්ලීමට. ‘‘දැන් ඇඟිලි වැඩ කරන්නෙ නැහැ. ඒ නිසා පියානෝව ප්ලේ කරන්න හිතෙන්නෙ නැහැ... එහෙම කියල වාඩි වුණත් ලතින්, ඉංග්‍රීසි, සිංහල ගීත ගණනාවක්ම වාදනය කළා.

මේ සොඳුරු අත්දැකීම තව දින දෙකක් දුර ඇදුණත් මට සඳුදා හිමිදිරියෙම සමුගන්න සිදුවුණා. පුංචි දුකක් දැණුනත් මං ඒ ගැන ඒ තරම් දුර හිතන්න ගියේ නැහැ. ජීවිතේ එහෙම තමයි. නවතින්න බැහැ. යන්න වෙනවා ඉදිරියට. දුක සතුට, සැනසුම, අරගල මේ සියල්ල මැදින්.

නැවතීමත් ගමනක්.. මේ ජීවිත ගමනත් එක්තරා නැවතුමක් තමයි.

2014 ජූලි 11-13

9 comments:

  1. Nobody's Child වලට හිත ගියා. බලන්න ඕනේ අක්කෝ..

    ReplyDelete
    Replies
    1. 80 දශකයේ නිර්මාණය වුණු චිත්‍රපටියක්... මට නම් ඉතින් ඉංග්‍රීසි චිත්‍රපට බලන්න ඒ හැටි අවස්ථා ලැබිල නැහැ... දැන් තමයි ටිකක් බැලෙන්නෙ...

      බලන්න ඒක දුක හිතෙන කතාවක්... ඒත් ආදරයට කොයි තරම් බලයක් තියෙනවද මිනිස් හිත් සුවපත් කරන්න කියල දැනෙනවා.. අනික මේක ඇත්ත කතාවක්...

      Delete
  2. ස්තුති යි ලස්සණ අද්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට....

    ReplyDelete
  3. මෙච්චර ෆිල්ම් බලන මමවත් මේ ෆිල්ම් දෙක බලලා නැහැනේ.. බලමුකෝ..

    ReplyDelete
  4. Nobody's Child හොද චිත්තරපටයක්

    ReplyDelete
  5. දෙකම බලල නෑ...
    බලන්න ඕන
    දැං බාගන්න හොයාගන්න ඕන

    ReplyDelete
  6. මේ තැන දැකගන්න ආසයි....

    ReplyDelete
  7. හදකම්පා කරන දසුන් කොයි තරම් ඇහුවා වුණත් දැක්කා වුණත් අපේ මිනිස්සු දැන් ඒවා ගැන ඒ තරම් සංවේදී නැහැ තරු අක්කේ.ඔය වගේ ඇස් වලට කඳුළු ගෙන චිත්‍රපටි බලන්න මම ඒ තරම්ම කැමති නැතත් අර Nobody's Child බලන්න නම් ආසාවක් ඇති වුණා.

    ReplyDelete
  8. හ්ම්ම් .. නැවතීමත් ගමනක් බව හිතෙන්ට ගත්තා

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...