පල්ලි මංගල්ල වලින්
පුළුවන් තරම් ඈත්වෙලා ඉන්නයි මං කැමති. ඒ සද්දබද්දවලටයි, තදබදේටයි, අරුමෝසම් සරුව
පිත්තල වැඩවලටයි වැඩි කැමැත්තක් නැති නිසා.
ඒත් ගමේ පල්ලියෙ මංගල්ලෙ
කියන්නෙ කොහෙත්ම මගහැරෙන්න ඉඩ දිය නොහැකි වාර්ෂික වතාවතක්.. එහෙම වෙන්න හේතු
කාරණා ගොඩක් තියෙනවා... පල්ලියයි මම යි එකටම වගේ හැදිලා වැඩිල උස්මහත් වුණේ..
පල්ලිය කියන්නෙ ජීවිතේම කොටසක්.. පල්ලියත් එක්ක බැඳුනු සොඳුරු මතක බොහොමයි..
අපි පුංචි කාලෙ අපේ ගමට
පල්ලියක් තිබුණෙ නෑ.. හැතැප්ම හතරපහක් දුර ගෙවාගෙන මහ පල්ලියට යන්න ඕන.. ඒ නිසා
මතක හැටියට පුංචිම කාලෙ අපි පල්ලි ගියේ විශේෂ අවස්ථාවල විතරයි.. නත්තලට, පාස්කුවට,
මංගල්ලෙට වගේ...
ඒත් හතර පහ පන්තියට
එද්දි බයිසිකල් පදින්න පුරුදු වෙලා තිබුණ නිසාත්, සත්ප්‍රසාද ලබල හදවත
දැහැමියාවෙන් පිරිල තිබුණ නිසාත් ඉරිදා පූජාව වැරැද්දුවෙ නැහැ... ඒ කාලෙ ඉතින් බයිසිකල් දහ පහළොවක් එක පෙළට පල්ලි
යන එකත් හරි විනෝද වැඩක්. තේක්ක කැලේ මැද්දෙන් කට්ටිය එක පොකුරටමයි යන්නෙ බයට... ඒ
දවස්වල ඉරිදා පූජාවට නොයනවයි කියන්නෙ හිතට බොහොම අමාරු දැනෙන වැඩක්.. දැන් එහෙම නොවුණට..
ඒ විදියට කාලය ගත වෙද්දි
පල්ලියකට කියල ඉඩම් කෑල්ලක් දුන්නෙ අපේ සීය කෙනෙක්. මුලින්ම ඒ ඉඩමෙ අත්තිවාරම
දැම්මෙ දහම්පාසල් ගොඩනැගිල්ලකට.. පස්සෙ පුංචි පල්ලියක් වුණේ ඒ අත්තිවාරම. ගමේ
පල්ලියෙ අත්තිවාරමේ ඉඳන්ම අපේ ශ්‍රමය, කැපවීම තියෙනවා. පල්ලියට උවමනා ගල් කැපුවෙ
අපේ තාත්තලමයි. වැවේ ඉඳන් වතුර ගෙනාවෙ මහා බැරල්වලට පුරවගෙන කරත්තෙක. පල්ලිය හදන්න
ශ්‍රමය දුන්නෙ ගමේ අයමයි කිතුනු බොදුනු භේදයක් නැතිව.. අදටත් පල්ලියෙ ඕනැම වැඩකදි
බොදුනු සහෝදරත්වයෙන් ලැබෙන සහය අප්‍රමාණයි.
අපේ පුංචි අත්වල කරගැට
එනකල්ම අපිත් ගල් ඇද්දා.. උදව් කළා. වැඩිහිටියො වැඩ කරන අතරෙ අපි සෙල්ලම්
කළා... ඔය විදියට පල්ලිය උස්මහත් වුණේ අපිත් එක්කම.. හරියට සහෝදරයෙක් වගේ... ගමන්
සගයෙක් වගේ... පල්ලිය ජීවිතයෙන් වෙන් කරන්න බැරි ඒ නිසයි.
ඒ ඉතිහාස කතන්දරේ 1994
නත්තල් රාත්‍රිය හරිම සුවිශේෂයි. එදා දවස පුරාම පල්ලියට උළු තිබ්බා. අපේ තාත්තල
විවේකයක් ගැන නොහිතාම එක දිගට වැඩ කළා. බිත්ති නග්ගලා, වහලෙ හැදුව පල්ලියෙ මුල්ම
වතාවට පූජාව තිබ්බෙ ඒ නත්තල් රෑ. වැලි පොලවෙ වාඩි වෙලා අපි පූජාව ඇහුවෙ ලෝකයම
දිනුව තරම් සතුටකින්. ඒ සුන්දර මතකයට මේ වෙද්දි වසර විස්සක් ගත වෙලා.
පල්ලියෙ මුල්ම සංක්‍රිස්තියන්
මම. ඒ වෙද්දි උසස්පෙළ කරලත් නැහැ. ඒත් පුංචි පල්ලියෙ වැඩ ඒ තරම් අමාරුවක් වුණෙත්
නැහැ. දහම් පාසල, ගීතිකා කණ්ඩායම, තරුණ සමිතිය, ළ.ක්‍රි.වී. සමිතිය, කිතුනු ඒකක මේ
හැමදෙයක් එක්කම ජීවිතේ ඇති වුණේ පුංචි වෙනසක් නම් නෙවෙයි. සමාජ ජීවිතයට මුල්ම
අඩිතාලම වැටුණෙ ගමේ පල්ලියෙන්.. ඉතින් කොහොමද දෙපයින් නැගිටින්න අත දුන්නු ඒ දිව්‍යමය
පියස අමතක කරන්නෙ.
කුළුඳුලේම හිතේ පෙම්
සිතුවිලි ඉපදුණේ, දළු දැම්මෙ, හිතේම අවසන් ගමන් ගියේ කඳුළු හංගගෙන පුරුදු විදියට
හිනාවෙලා උන්නෙ ඒත් මේ පල්ලියෙමනෙ.. ඒ මතක මතු වෙවී ඇස් සීතල වුණත් පල්ලියට
ඇති ආදරය වෙනස් වෙන්නෙ නෑ..
මේ ගැන ලියන්න හිතුණෙ
පසුගිය සතිඅන්තයේ පල්ලියෙ මංගල්‍යය පැවැත්වුණු නිසා. මංගල්‍යය කියන්නෙ අපේ පවුලෙ
අය පල්ලියෙ පදිංචි වෙලා ඉන්න කාලයක්... මමත් ඉස්සර එහෙමයි දැන් ඈතින් උන්නට.. පරම්පරා
ගාණකට එහා අතීතයෙ වගා කරන්න කියල ඇවිත් පදිංචි වුණු සොයුරන් දෙපළකගෙන් පැවත එන
හින්ද මුළු ගමේම කතෝලිකයො එකම නෑ පරපුරකටයි අයිති වෙන්නෙ...
ඉතින් ගමම එකතු වෙන
මංගල්ලෙ කියන්නෙ ආදරය සතුට ඉතිරිලා යන උත්සව අවස්ථාවක්.
පාදුවා නගරයේ සුද්දවර
ඔබා
පුදම් මේ ගී ගයා..
මුදුනෙ මල් තබා...
අපේ පල්ලිය කැප කරල
තියෙන්නෙ ශුද්ධවු අන්තෝනි මුනිතුමාට...
සාමාන්‍යෙයන් පල්ලි
මංගල්ලවල දකින්න ලැබෙන කඩ වීදි නැතත්, රසකැවිලි කඩ කිහිපයකුයි, සෙල්ලම් බඩු
වෙළෙන්දොයි, අයිස්ක්‍රීම් වෑන් දෙක තුනකුයි, රඹුටන් ලොරියකුයි තිබුණා.. හිතේ ලොකු
ආසාවක් තිබුණ පුංචි කාලෙ වගේ අයිස් චොක්ස් එකක් කකා පයින්ම ගෙදර යන්න...
ඒත් කට්ටිය එක්ක කයියට
මැදිවෙලා කාලය ගෙවුණා නොදැනීම. 12 ට විතර බලද්දි අයිස්ක්‍රීම් වෑන් යන්න ගිහින්...
බූන්දියි පුහුල් දෝසියි අරන් එන්න ආවා. මම නම් ආස නැහැ බූන්දි, පුහුල් දෝසි කන්න. මගෙ හිත ගියේ එවෙලෙ බැදල මැදට
ලුණු මිරිස් දාල උණු උණුවෙම දෙන උළුඳු වඩේවලට..
මුල්ම සංක්‍රිස්තියන් ////
ReplyDeleteමේ කියන්නෙ මක්කැයි අය්යෝ...
දන්නෙ නැහැ නෙව කියල දෙන්ටකො...
බලං ගියාම හුගක් අය පැණි රහට වඩා කැමති දය්ය කැම වලටනෙව
සංක්‍රිස්තියන් කියන්නෙ පල්ලියෙ වැඩ කටයුතු භාරව ඉන්න කෙනාට. අන්නවිරාල කියලත් කියනවා... ඒ කාලෙ පල්ලියෙ යතුරු භාරව තිබුණා.. පූජාව ලෑස්ති කළා.. ඔය වගේ සීමිත වැඩ ටිකක් තමයි මට පැවරිලා තිබුණෙ.. ඒ මං පොඩි නිසා වෙන්න ඇති...
Deleteඅන්නවිරාල කෙනෙකුට පැවරෙන වැඩ ගොඩක් තියෙනවා..
පල්ලි ගැන මගේ දැනුම නම් අල්පයි... එත් පහුගිය දොහේ දින දෙකක් විතර මං ගැවසුනේ හලාවත ආරච්චිකට්ටුව කටුනේරිය මූදුකටුව කියන ප්‍රෙද්ශවල. ඒ තැන්වලදි තරු රසිවත් මතක් වුණත් අංකයක්වත් තිබුනේ නෑ අමතන්න. මේ ගමන් වලදි පල්ලි කීපයකටම ගොඩවැදුණා... බොහොම සුන්දර රාත්‍රියක් ගතකළා මූදුකටුව වෙරළ අසබඩ.
ReplyDeleteනලින් අයිය ඒ පැත්තේ මොකුත් විශේෂ වැඩක්වද්ද? මුහුද අද්දර පල්ලිවල තියෙන්නෙ අමුතුම සුන්දරත්වයක් තමයි .. මුහුදු වැල්ලයි, මුහුදු හුළගයි එකතු වුණාම දැනෙන්නෙ වෙනස්ම හැඟීමක්... ආරච්චිකට්ටුව, කටුනේරිය පැත්තෙ නම් දන්නා අඳුනන අයත් ඉන්නවා...
Deleteඅපි ඉන්නෙ මුහුදු කරයෙන් දුරට වෙන්න බෞද්ධ වටපිටාවකනෙ.. ඒ නිසා වෙන්න ඇති අපේ ගම්වල ක්‍රිස්තියානිකම, බෞද්ධ සංස්කෘතියත් එක්ක පෑහිලා වෙනස් මුහුණුවරක් ගන්නෙ....
ලංකාවේ පල්ලි වලින් මම ආසම පල්ලි වලින් එකක් තමයි මාරවිල මූදුකටුව පල්ලිය අපි නම් කියන්නෙ අකුරුස පල්ලිය. කොයි කාලේ ආවත් විනාඩියකට හරි ගිහින් එන එක දැන් පුරුද්දක්. ආයෙ තලවිල හා හිණිදුම. ඒ ඒ පරිසර වලටම ආවෙනික වූ වටපිටාවන් තියෙන හින්දා වෙන්නැති.
Deleteඅර පරණ පන්සලකට ගියාම වගේ හිත ඔහේ රවුම් ගහන්නේ පුරුද්දට වගේ ඕවට ගියාම.
කුරුස පල්ලිය මමත් ආසම තැනක්.. සෙනග නැති දවස් තමයි ගොඩක්ම නිස්කංලක.... තලවිල නම් යැවෙනවා.. හිනිඳුම ගිහින් තියෙන්නෙ එක සැරයයි.. ඒත් ගොඩාක් ඉස්සර...
Deleteපල්ලි යන්න වගේම පන්සල් යන්නත් මං ආසයි රංගි.. මොන හේතුවක්ද මන්දා ඔය කොයි තැනට වුණත් කැමති වැඩිය සෙනග නැති නිදහස් වෙලාවලට තමයි...
ඒක කතෝලිකනම් නෙවෙයි- රෙපරමාදු, ඒත් බලන්නම ඕනැ පල්ලියක් - වුල්ෆෙන්ඩෝල්- Wolvendhaal.
Deleteසූසාන භූමියක් ඇතුලෙ තියෙන කුරුස පල්ලිය ඇත්තටම ශාන්ත තැනක්... කීප සැරයක් ම ගිහින් තියේ
Deleteමෙන්න මං බුන්දි ගැන ලියවුණු කතාවක්
ReplyDeleteඇත්තටම පල්ලි ගැන ලොකු දැනුමක් නෑ එත් පල්ලි වලට යනවා ,මං ගාව බයිබලයක් තියෙනවා තවම කියවලා ඉවර කරන්න බැරි උනා ,
බූන්දි ගැන කතාව බැලුවා...
Deleteබයිබලය මමත් තාම සම්පූර්ණයෙන් කියවල නැහැ... සමහර විට කියවලත් ඇති.. මුල ඉඳන් අගට කියවල නැහැ..
සහෝ උඔටත් මගේ සැලියුට් එක. අනිත් ආගාම් වලට ගරහන කාලේක බයිබලයක් ලග තියාගෙන ඉන්නවා කියන්නේ එල ද බ්‍රා.
Deleteඅපේ ගෙවල් ගාවම පල්ලියක් තියෙනවා. ඒත් ඒකෙ මංගල්ලයන් නම් නෑ. කැළණියේ වරාගොඩ පාරේ සැන් පෝල්ස් ඉස්කෝලේ පල්ලිය. ඒකට තමයි ඉරිදා පූජාවට එහම් ක්‍රිස්මස් අය යන්නේ. මංගල්ලෙකට යන්නේ වත්තල පල්ලියේ මංගල්ලෙට. ඇත්තටම ඒ කාළේ ඒක මංගල්ලයක්ම තමයි. මිනිස්සුන්ට විනෝද වෙන්න දේවල් නොතිබුන කාලේ. ක්‍රිස්මස් බුඩිස් කියලා නෑ හැමෝම එනවා ඔතෙනට. කළු දොදොල් අම්මලා. උක්ගස් අංකල්ලා. මට හොඳට මතකයි.
ReplyDeleteආගම් භේදයක් නැතිව පල්ලි මංගල්ලවලදි කඩවීදි සරනවා... අපේ ගමේ පල්ලියෙ ප්‍රසිද්ධ නැති පුංචි පල්ලියක් නිසා කඩ දෙකතුනක් තමයි හැමදාම තියෙන්නෙ...
Deleteපල්ලි වල වැඩ ගැන දැනුමක් නෑ , එත් පය පල්ලි වල මංගල්ලෙට ගහන තෝරන් නම් බලන්න ආසයි, හරිම නිර්මාන්ශීලියි
ReplyDeleteඅපේ පල්ලියෙ හැමදාම හදන්නෙ පොල් තොරණක්.. මේ තොරණට හැම ගෙදරකින්ම ගහක පොල් දෙනවා.. ඉස්සර නම් ගෙදරක පොල් ගහක් පල්ලියටම කියල වෙන් කරල තිබුණලු.. මංගල්ලෙන් පස්සෙ මේ පොල් විකුණල ලැබෙන ආදායම පල්ලියට...
Deleteපොල් තොරණ හදන වැඩේ ගොඩක් වෙලාවට භාර වෙන්නෙ තරුණයින්ට.. මේ වැඩේදි ආගම් භේදයක් නැතිව ගමේ තරුණයො රෑ දවල් නැතිව මහන්සි වුණා...
තොරණ එක පැත්තකින් නිර්මාණශීලි වැඩක්.. තවත් අතකින් එකමුතුකමේ සලකුණක්... හැම පල්ලියකම ඒක එහෙමම වෙනවද කියල නම් මම දන්නෙ නැහැ...
මෙවැනි තොරන් වෙනුවෙන් අනවශ්‍ය වියදම් කරන එකට නම් මම එකඟ නෑ...
මටත් පල්ලි ගැන නම් ලොකු දැනුමක් නෑ.. පල්ලියේ මංගල්ලේ කාලේට රස කැවිලි කන්න තමයි වැඩිපුරම ගියේ...
ReplyDeleteඅපිත් පුංචි කාලෙ කැවිලියි, සෙල්ලම් බඩුයි, වළලු වගේ අරුමෝසම් දේවලුයි නිසානෙ මංගල්ලවලට යන්න වැඩියම ආසා..
Deleteමටත් පල්ලියේ මංගල්‍යය ඒ තරම් වැදගත් වුනෙ නෑ. ඒත් ඉස්සර අපි ඉඳලා හිටල පල්ලියේ මංගල්ලෙට නිවාඩු දාගන්නවා. ඒවයෙ නම් ඉතින් දවස් ගණන් කඩ වීදි සංචාර කරන්න පුළුවන්. අනික අපේ ගෙවල් වල බොහෝ අය පිට රට වල ඉඳන් ඇවිත් හමුවෙන්නෙත් පල්ලියේ මංගල්ලෙට වගේ. යාළු මිත්‍ර සමාගම් බොහෝයි.
ReplyDeleteමේ දවස් වල කුරුස පල්ලියෙත් මංගල්ලේ නේද?
පොල් වගේ දේකින් ඒ කරන නිර්මාණය හරිම ලස්සනයි. ඔය කිසිම තැනක ආගම් ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ තරු. එහෙම ඒවා තියෙන්නේ මේ ෆේස්බුක් වගේ සමාජවල හා දේශපාලනය කරට ගත්ත මිනිස්සුන්ගේ. ඉස්සර අපිත් ඔය පිරිත් දානේ ගෙවල් වල වැඩ කරනවා. කැටයම් කපනවා අරවා මේවා කරනවා. ඒත් දැන් අපේ ජීවිත වලට ඒ වගේ සැහැල්ලු අවස්ථා එන්නේ නෑ. අනික අන්තිමට මම ගිය පිරිත් ගෙදර 2010 පිරිත් අහන්න හිටියේ හතර දෙනයිද කොහෙද ඇඹිළිපිටියේ වෙලත්. ඒත් දානේ වෙලාවට දාහකටත් එහා සෙනග ආවා. පිරිත් දවසේ රෑ කෑම වෙලාවටත් දෙසීයක් විතර හිටියා. දැන් මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ.
අතීතයේ නම් කුල ප්‍රශ්න හෙම තදටම තිබිල තියෙනවා අපේ ගම්වලත්.. දැන් නම් ආගම් භේද, කුල භේද හිතන්න බැරි තරමට හැමෝම නෑකම් වලින් බැඳිලා..
Deleteඉස්සර වගේ නෙවෙයි අපේ පැත්තෙ වුණත් රංගි පොදු වැඩවල යෙදෙන්න, මළගෙදරක වුණත් රැයක් ගත කරන්න එන කට්ටිය අඩුයි.. එක අතකින් ජීවිත අරගලවලින්ම හෙම්බත් වෙලා වෙන වැඩවලට සම්බන්ධ වෙන්න වෙලාවක් නැති කම වෙන්නත් ඇති... තවත් අතකින් තරගකාරී ජීවන රටාව මිනිස්සු බොහොම පුංචි ලෝකවල හිර කරල දාලා....
කුරුස පල්ලියෙත් මංගල්ලෙද? ඒ ගැන දැනුවත් නැහැ...
තරුරසීගේ මේ හැම සටහනක් තුලම මම දකින්නේ ඔබේ තියෙන සරළ, චාම් ජීවන රටාව කියලා මට හිතෙනවා.
ReplyDeleteඒ තමයි මං ජීවත් වෙන්න කැමතිම විදිය අරූ...
Deleteමටත් ලොකු දැනුමක් නැතත් මමත් හරි ආසයි පුඡාවට ගිහින් දන ගහගෙනඉන්න
ReplyDeleteමමත් ආසයි පන්සල් යන්න... ඒ වගේම මං ගමේ ඉන්න කාලෙ කළ ළමා සමිතියෙ ගොඩක් හිටියෙ බෞද්ධ දරුවො.. අපි ඉතින් ළමයින්ව පන්සල් එක්ක යනවා. බෝධි පූජා තියනවා.. මල් පෙරහැරවල් යනවා.. දන්සැල් දෙනවා.. ඒව හරි සුන්දර මතක.. දැනට වුණත් පන්සිල් දීලා, බණ කතාවක් කියල දීලා... පුංචි භාවනාවක් ළමයින්ට කරන්න හැකියි මට... ඒ අතීතය නිසා...
Deleteමෙන්න මගේ සැලියුට් එක ඔබට බොක්කෙන්ම
Deleteපල්ලියක මංගල්‍යක් ගැන ලොකු වැටහීමක් නැතත් මමත් ආසයි මිහිරි හඬින් ගීතිකා ගැයෙන ඒවා අහගෙන ඉන්න නිසංසලේ..:)
ReplyDeleteකොහොමත් තරගෙකට වගේ දුවන අපේ ජිවිත වල සමාජ සම්බන්ධකම් ගිලිහෙන්න නොදී අල්ලාගෙන තියෙන එක තැනක් තමයි ඔය පල්ලියක මංගල්‍යක්.පංසලක කථිනයක් කියන්නේ තරු අක්කේ.කොයි තරම් වැඩ රාජකාරි තිබුනත් ඒවගේ ඒවා මඟ අරින්න හිත දෙන්නේ නැහැ.හැබයි ඒවාත් සැනකෙළි වෙනවාට මමත් කැමති නැහැ.
හැමදේම දැන් සැණකෙලි වෙලා ඉවරයි නෙ මල්ලි... අකමැත්තෙන් වුණත් ඒව අස්සෙ ඉඳගෙන ආදරය මනුස්සකම ගැන කතා කරන්න, ඒ වෙනුවෙන් වැඩ කරන්න අපට සිද්ද වෙලා තියෙනවා...
Deleteමම ආගමක් අදහන්නෙ නැති උනාට අපේ පරම්පරාව බුද්ධාගමේ නිසා හැම එකාම මාව බලෙන් බුද්ධාගමට දාල. ඒක වෙනම කතාවක්. ඒත් මමත් පල්ලියත් එක්ක සෑහෙන සම්බන්ධ කමක් තිබ්බ.. පල්ලියෙ choir එකේ තබ්ල ගැහුව ගොඩ කාලයක්. වැලිවිට පල්ලිය කිවුම මං හිතන්නෙ හරි ප්‍රසිද්දයි. හැම මංගල්ලෙකටමයි වෙඩිමකටමයි ordination එකටමයි ෆාදර් ගෙදරට ඇවිල්ලම මට කියනව එන්න කියල. අපේ තාත්ත නැතිවෙච්ච වෙලේ පල්ලියෙ ෆාදරුයි වැලිවිට මීසමේ ඔක්කොම ඇවිල්ල පැය බාගයක් විතර pray කරා. ඒකට මට පස්සෙ වලියකුත් වැටුනා (ඊනියා) බුද්ධාගම් කාරයින්ගෙන්. මට ආයිත් ඒ සුන්දර (සුන්දරයි කිවුවෙ තාත්තගෙ මලගම නෙමෙයි හරිය) කාලෙ මතක් උනා ඔයාගෙ මේ පොස්ට් එකෙන්. හෙහ්...හෙහ්.....(පල්ලියෙන් තමයි මම සංගීතෙ කියන්නෙ මොකද්ද කියල හරියටම ඉගෙන ගත්තෙ.. ඒක නං නොකියම බෑ....)
ReplyDeleteපල්ලිය කලා හැකියාවන් දියුණු කරගන්න ගොඩක් උදව් වෙනවා තමයි.. විශේෂයෙන් සංගීතය.. ගායනය.. පුංචි කාලෙ ඉඳලම ගීතිකා ඇහෙනවා, ගයනවනෙ...
Deleteස්තුතියි අදහස් බෙදා ගත්තට...
මෙච්චර මෙහේ රටක ඉදලත් ඔය පල්ලි වල දේවල් ගැන නම් වැඩි දැනුමක් නෑ.. හැබැයි ලොකු උත්සවයක් නම් අනිවා බලන්න යනවා..
ReplyDeleteමට මතකයි ගිය අවුරුද්දෙත් මේ කාලෙ මේවගේම පල්ලියක වාර්ෂික මංගල්‍යයක් ගැන ලිව්වා. ඇත්තටම ඒක ගමේ සංස්කෘතික මංගල්‍යයක් සියලුම දෙනා හමුවන තැනක් සුන්දර පරිසරයක්. මම ඉන්න කිට්ටුව තියෙනවා බුරුල්ල පිටිය පල්ලිය ඒකෙ මංගල්‍යය මේ සති අන්තයේ තියෙනවා. ඒ මංගල්‍යයට මම වාර්ෂිකව ගිහින් තියෙන නිසා මේ සුන්දරත්වය විදල තියෙනවා රෑ දෙගොඩ ජාමෙ වෙනකල්
ReplyDelete