Thursday, June 26, 2014

අඳුරු යුගයක ඇවිළෙන මතක...



 
සමාව....!!!!!
සමාව ඉල්ලන්නෙ දැන්ද?

අනික ඉල්ලන්නත් කළින්මනෙ මම නම් සමාව දුන්නෙ... බයේ ගැහි ගැහී උන්නු කාලය, අනුන්ගෙ ගෙවල්වල නිදාගත්තු කාලය, කැලෑවල රෑ ගත කරපු කාලය මේ හැමදෙයක්ම අමතක කරල සමාව දුන්නෙ බොහොම ඉස්සරින්... එහෙම සමාව දීලා කුළුඳුල් ඡන්දෙත් දෙන්න හිතන් උන්නෙ උන්දැලටමනෙ. ඒ කුළුඳුල් කතිරෙ වයඹ මහා ඡන්ද මංකොල්ලෙට අහුවෙලා සුන්නත්දූලි වෙලා ගිය එක වෙනම කතාවක්...

අපි වින්ද දුක් කන්දරාවට සමාව දුන්නත්, අර අහිංසක මල්හාමි මාමගෙ කටට වෙඩි උණ්ඩයක් ගිල්ලවල උන්දැගෙ ජීවිතේ උදුරගත්ත එකට නම් සමාවක් දෙන්න අමාරුයි. ඉස්කෝලෙ යන එන අතරෙ නාරං බිකක්, බුල්ටෝ එකක් අපි ගත්තෙ ඒ මනුස්සයගෙ කඩෙන්. ඒක පොඩි සිල්ලර බඩු කඩයක්, අන්ධකාර ගුහාවක් වගේ. කොහු මෝලට දන් දීල දකුණු අත වැලමිට ළඟින්ම නැති වයසක මනුස්සයා.. දේශද්‍රෝහීන්ට මරණය කිව්වට මල්හාමි මාමා දේශද්‍රෝහියෙක් වුණේ කොහොමද කියල නම් මට තේරුමක් නෑ....

හැන්දෑවට අඩියක් ගහගත්තම කටකමසිරියාවක් නැතුව විමුක්තිකාමීන්ට බැණ වැදුණට ඒ මනුස්සයගෙ කටට වෙඩි උණ්ඩයක් ඔබන්න ඕනද? ඒ බැනුමත් සාධාරණයිනෙ. අතට කීයක් හරි ලැබෙන කඩ පොඩ්ඩත් වහල දාන්නෙයි කියල ලියුම් දාල යනකොට, නොබැන ඉවසන්න නම් මුනිවරු වෙන්න ඕන.. නැත්නම් කෝටිපතියො වෙන්න ඕන.

උන්දැ දන්න සමාජවාදෙ. හයහතරක් නොදන්න බේබදු තාත්ත කෙනෙක්නෙ කියල හිතල සමාව දෙන්න තිබුණා...

අනික ජනාධිපතිවරණෙ වෙලාවෙ ඡන්ද පොලට යමින් හිටි ලොකු සීයට වෙඩි තිව්ව එක... සමාවක් දෙන්නම බෑ. උපතින්ම උන්දැ ගොලු, බිහිරි... කොයි තරම් අහිංසක මනුස්සයෙක්ද? අලියට කෙළින් කතිරෙ ගහන එක ඇරෙන්න මෙලෝ දේශපාලනයක් දැනන් උන්න මනුස්සයෙක් නෙවෙයි. මිනී පිට්ටනියෙ හැංගිලා ඉඳන් ඒ තාත්තට වෙඩි බින්දෙ පණ ගැහුණ මනුස්ස හදවත් ඇත්තො නම් වෙන්න බෑ... ලොකු සීයගෙ ලොකු පුතා පළාතෙ විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක් වෙලා ඉද්දියි එහෙම විපත්තියක් උණේ.‍

ඉන්පස්සෙ අවුරුදු ගාණක් ජීවත් වුණත් ලොකු සීය උන්නෙ දකුණු අත පණ නැතිව. උන්දැගෙ ලොකු පුතා හමුදාවෙන් අල්ලගත්තලු. අදටත් ඉන්නවද, නැද්ද, වුණේ මොකක්ද කවුරුවත් දන්නෙ නෑ...   පුතා ජේවීපී කියල අන්තිමේ තාත්තට වන්දියක්වත් ලැබුණෙ නෑ. 

‘‘නොදැනලු වෙඩි තිව්වෙ.. ඡන්දෙ දාන්න යන අය බය කරන්නලු. ගම්වල අහිංසක මිනිස්සු බය කරල, ඡන්දෙ දාන්න තියෙන අයිතියත් නැති කරල ලබා ගන්න පුළුවන් විමුක්තියක් නැති බව අර පන්ති පහෙන් කියා දෙන්න නැතිව ඇති ... කරන්න ඕන රටේ තොටේ සිද්දවෙන කිසිම දෙයක් ගැන වගේ වගක් නැතිව එදා වේල හොයාගන්න ඔට්ටු වෙන මිනිස්සුන්ගෙ ඇහැ කණ පාදල තමන්ගෙ කතිරය හරියට පාවිච්චි කරන්න ඕන කරන දහිරිය දෙන එක නෙවෙයිද? කැපුවත් කොල, කැපුවත් නිල් කියල පක්ෂ බදන් අදහන් ඉන්න ගම්මුන්ව බය කරල වෙනස් කරන්න නං ඉතින් මේ රටෙන් බාගෙකටත් වඩා වෙඩි තියල දාන්න වෙයි.

හැබැයි අපේ තාත්ත නම් අදටත් ජීවත් වෙලා ඉන්නෙ ඒ ලොකු සීයගෙ ලොකු පුතා හින්ද? අපේ ගම් පළාතෙ මරන්න ඕන යූඑන්පී කාරයන්ගෙ නම් ලැයිස්තුව ආවම ඒ මාම කිව්වලු.. ‘‘ අයියව මරල දාල අක්ක ළමයි එක්ක දුක් විඳිනව බලන් ඉන්න බෑ. බය කරල පක්ෂෙ වැඩවලින් අයින් කරන්නම් කියල... තාත්තගෙයි, අපෙයි විමුක්තිය උදා වුණේ ඔන්න ඔය විදිහට. නැත්නම් විමුක්තිකාමීන්ගේ සද්ගුණවත්භාවයට හෙම නෙවි.

මේව ඉතින් ‘ලු කතා විතරක්ම නෙවෙයි.. අහපු දැකපු විඳපු කතා. මගේ පුංචි හිතේ පැලපදියම් වෙච්චි කතා...

ඒ හැම දෙයක්ම එහෙම වෙලා තියෙද්දිත් මම නම් සමාව දීලයි උන්නෙ... ඒ ගොඩක් බලාපොරොත්තු ඇතිව.. ඒත් ඒ බලාපොරොත්තුත්  බිඳිල ගිහින් ගොඩක් කල්..

ඒ හින්දම උන්දැලගෙ ලොක්ක සමාව ඉල්ලුව නොඉල්ලුව කියල කිසිම වෙනසක් සිද්ද වෙන්නෙ නෑ... අනික තවදුරටත් මට කිසිම බලාපොරොත්තුවක් නෑ උන්දැලගෙ විමුක්තිය ගැන..


 

අනුන්ගෙ ගෙවල්වල, කැලෑවල ගත වුණු නිමක් නැති රාත්‍රීන් ගණනාවකට පස්සෙ අම්මා අන්තිම ආඥාවත් නිකුත් කළා. ‘‘මට තවත් මේ ළමයි එල්ලගෙන තැන් තැන්වල ලගින්න බෑ... වෙන දෙයක් වෙන්න මම ළමයි එක්ක ගෙදර ඉන්නවා.

ඒ මහා අන්ධකාර සමයක්.. මං පුංචියි. ඒත් ඒ මනුස්සකම් ගිලිහිලා ගිය භීෂණකාරී අන්ධකාරෙ මැද මගේ පුංචි හිතත් නිරන්තර බයකින් ඇවිලි ඇවිලි තිබුණ මතකයි. මට බලපෑවෙ එකම හේතුවයි. ඒ අපේ තාත්තා ආණ්ඩු පක්ෂෙ කෙනෙක් වීම. ඒ ඇරෙන්න රටේ තොටේ වගවිත්ති ගැන අවබෝධයක් මට තිබුණෙ නැහැ.

රජ මැතිවරු ඉලක්ක කර ගන්න බැරි වුණ විමුක්තිකාමීන් ඒ වගේ ගම් මට්ටමේ දේශපාලන ක්ෂුද්‍ර ප්‍රාණියො ඉලක්ක කර ගනිමින් උන්නා. ඒ අනතුරු හෙවණැලි අපි වටේ සැරිසරමින් උන්නා. තැන තැන මුණු මුණු, කුටු කුටු.. බියෙන් සැලෙන වේව්ලන ඇස්.. හුළඟ පවා නොසන්සුන්. රෑ මැද ඇහෙන බල්ලන්ගෙ බිරුම් සද්ද, රතිඤ්ඤා සද්දයක් උණත් අපිව බයෙන් සලිත කළා.

ඉතින් එදා රාත්‍රියෙ කොහොම හරි අපි හැමෝම උන්නෙ ගෙදර..  අපිව තනි කරන්න බැරිකමට තාත්තත් අපි එක්කම උන්නා. ඒ කාලෙ එකම කාමරේ බිම එලන පැදුරක අපි හතරදෙනයි අම්මයි, තාත්තයි නිදාගන්නෙ එක පෙළට. අම්මයි තාත්තයි, නංගිල දෙන්නයි, මල්ලියි මමයි. මල්ලි පුංචියි. අවුරුදු දෙකක් නෑ.

රෑ මැද ඈතින් ඇහෙන්න ගත්ත බල්ලන්ගෙ බිරුම් හඬ එන්න එන්නම ළං වුණා. තාත්තා ඇහැරිලා. හුස්ම ගන්න හඬ ඇහුණා. මේ වගේ බලු බිරුම් සද්දෙට රැවටිලා ගෙදරින් පිටවෙලා, රෑ තිස්සේ ලඳු කැලෑවල ඉඳල කිසිම දෙයක් සිද්ද නොවුණ නිසාමද මන්ද, තාත්තා එදා කලබල වුණේ නැහැ. ඔහේ අහගෙන උන්නා. අන්තිමට අහල පහල ගෙවල්වල බල්ලොත් බුරන්න ගත්තා. කොටියා ආවෝ ආවෝ කියල නොදුවා උන්න දවසෙම ඇත්තටම කොටියා ඇවිත් තිබුණා. මහා සේනාවක වගේ අඩි සද්ද ගේ වට කරන හඬ ඇහෙද්දි සහළවල උණ ගත්ත ගානට මං ගැහි ගැහී උන්නෙ. ඒ බය විස්තර කරන්න වචන නෑ. කාමරේ අන්ධකාරෙ පිරිල තිබුණ නිසා තාත්තගෙවත්, අම්මගෙවත් මූණු පෙණුනෙ නෑ. ඒත් ඒ දෙන්නගෙ හුස්ම හඬ මහා කුණාටුවක් වගෙයි මට දැණුනෙ.

‘‘අද නං එනව වගේ... අම්මා තාත්තට කෙඳිරුවා. තාත්තා ගල් ගැහිල උන්නෙ.

ඒ අතරෙ තමයි පිටිපස්සෙ දොරට තට්ටු කරන සද්දෙ ඇහුණෙ.

‘‘අපි පොලිසියෙන්.. මේ දොර අරිනවා.” ඒ උගුර යටින් කළ ගිගිරුමක්. වැඩි හඬක් පිටනොවෙන්න. අම්මයි, තාත්තයි නිහඬවම උන්නා. ඒ නිහඬබව ඇතුලෙ මොන තරම් බයක්, තැතිගැන්මක්, කැළඹීමක් තියෙන්න ඇත්ද කියල අද මට හිතෙනවා.

‘‘දොර ඇරියෙ නැත්නම් දොර කඩනවා.” නොනවත්වා දොරට තඩිබාන හඬ ඇහුණා. ඒ වෙලාවෙ මම කොතැනද, කොහොමද උන්නෙ කියල මට මතක නෑ.

තාත්තා නැගිට්ටා.. අම්ම මල්ලිවත් වඩාගෙනම තාත්තගෙ ඇඟේ එල්ලුණා.

‘‘එපා එපා.. දොර අරින්න එපා.” තාත්තා අම්මා දිහා බලන්න ඇති. වෙන කරන්න දෙයක් නෑ වගේ බැල්මක් තියෙන්නත් ඇති.

තාත්තා සාලෙට ගියේ එළියෙ විදුලි බුබුළුත් දල්වාගෙනමයි.

‘‘ලයිට් නිවනවල” ගිගිරුම් හඬක් නැගුණෙ සාලෙ කවුළුවෙන්. තුවක්කු කටක් සාලෙට එල්ල වෙලා තිබුණා. වෙඩි තියනවනම් ඒ කවුළුවෙන් ඕන හැටියෙ වෙඩි තියන්න තිබුණා. ජනෙල් පියන් තිබුණෙත් නැහැනෙ. මං ඒ වෙලාවෙ උන්නෙ කාමරේ දොරකඩ උලුවස්ස අල්ලගෙන. හරියටම ඒ තුවක්කු කටට කෙළින්. ඒ තුවක්කුවක්ය කියල මට තේරුනෙත් නැහැ. මං බලන් උන්නෙ අම්මයි, තාත්තයි දිහා.

තාත්තා උඩ අගුල පන්නල දොර ඇරියා. දොර අරිනවත් එක්කම පිටිපස්සෙ ඉස්තෝප්පුවෙ උන්න හැඩි දැඩි මනුස්සයෙක් තාත්තගෙ නළලට තුවක්කුවක් තිබ්බා. ඒ පිස්තෝලයක්ලු. මං පස්සෙ දැනගත්තෙ.

‘‘තමුසෙ නේද ................ ” කළු තොප්පියයි, කළු ඇඳුමයි එක්ක කට්ට කළු අවතාරයක් වගේ පෙණුන ඒ මනුස්සයා තාත්තගෙ නම ඇහුවා. තව මොන මොනවදෝ කතා ගොඩක්. තර්ජන ගර්ජන. මට මතක නෑ. කළු අඳුරු මුහුණු විටින් විට ජනේලෙනුත් එබුණා.

ඒ අතරෙ තමයි අම්ම මල්ලිත් වඩාගෙන තාත්තයි, පිස්තෝල කටයි මැද්දට පැන්නෙ.

‘‘එයාව මරනවනම්, මටයි, දරුවන්ටත් වෙඩි තියල මරල දාන්න.” අම්මගෙ හඬ වෙව්ලුවා. ඒත් අම්මා ඇඬුවෙ නෑ.

අන්ධකාර රාත්‍රියක, අවි අමෝරාගත් විසිපහක් තිහක් වටේ සැරිසරද්දි අම්මගෙ හිතට ඒ තරම් හයියක් ආවෙ කොහොමද කියල මට තාමත් හිතා ගන්න බෑ. ඒ වෙලාවෙ අපි හතර දෙනා කෑ ගහපු සද්දෙ ගොඩක් ඈතට ඇහුණ කියලයි පස්සෙ ගමේ අය කිව්වෙ.

අම්මා තාත්තට ඉස්සරහින් තුවක්කුවට මූණ දීගෙන, හෙමිහිට තාත්තව මුවා කරගෙන සාලෙටත් ඉන්පස්සෙ කාමරේටත් අරන් ආවා. බය කරන්න මිස කොකා ගස්සන්න නියෝගයක් නොතිබුණු නිසාම වෙන්න ඇති විමුක්තිකාමී අන්ධකාර හෙවණැලි අම්මව වළක්වන්න උත්සාහ කළේ නෑ.

තාත්තා නිදි පැදුරෙම ඉන්ඳවුනේ වාරුවක් නැතිවම වෙන්න ඇති. නංගිල දෙන්නයි මමයි තාත්තා වට කරගත්තා. තාත්තා වෙව්ලන හැටි මට දැණුනා. එයා හයියෙන් හයියෙන් හුස්ම ගත්තා. මගේ තාත්තා ඒ තරම් අසරණ වෙලා උන්නු දවසක් මම තවත් දැකල නැහැ. තාත්තා අත්දෙකින්ම අපිව තුරුල් කර ගත්තා.

අම්ම මල්ලි වඩාගෙන කාමරේ දොරකඩමයි උන්නෙ. සාලෙට ආව කීප දෙනෙක් තාත්තට කිව්වා දේශපාලන වැඩවලින් අයින් වෙන්න. අයින් වෙනවයි කියල බැනර් එකකුත් දාන්නලු. පත්‍රිකාවක් දුන්නා ගමේ හැමෝටම පෙන්නන්න. කියන විදියට වැඩ නොකළොත් කරදර වෙයි කියලත් කිව්වා.

කොයි තරම් කාලයක් ගෙවුණද මන්දා. ඒ මිනිස්සු ගෙයින් පිට වෙලා, වත්තෙනුත් පිටවෙලා ඈතින් ඈතට ගිය බව දැණුනෙ බල්ලන්ගෙ බිරුම් සද්දෙ ඈතටම ඇදිල ගියාට පස්සෙ.

සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ අන්ධකාරෙ මැද්දෙන් අහල පහළ අය එකා දෙන්නා ගෙදරට ආවා. අපේ කෑගෑමට එන්න ආව ඉස්සරහ ගෙදර මාමගෙ පිටේ තුවක්කු කටක ලකුණු තියල. අල්ලපු ගෙදර මාමගෙ මූණ ඉදිමෙන්න පාර කීපයක් වැදිලා... 

ඒ අස්සෙ ලොකු අම්මා ( තාත්තගෙ අම්ම ) ඒ මහ රෑ හැතැප්ම බාගයක් විතර මග ගෙවාගෙන තනියෙන්ම ගෙදරටම ඇවිත් තිබුණා. දෙයියනේ දරු කැක්කුම වෙනුවෙන් අම්ම කෙනෙකුට දරන්න බැරි අවදානම මොකක්ද? බල්ලන්ගෙ බිරුම් සද්දෙ එක්ක ලොකු අම්ම දැකල තිබුණා සේනාවක් එනවා පාර දිග. ඊට ටිකකට පස්සෙ වෙඩි හඬකුත් ඇහුණලු. ඉවසගෙන ඉන්න බැරිම තැන එයා පාරට බැහැල තිබුණා. ලොකු අම්මට මගදි හමුවුණාලු චේගුවේරා කොල්ලො අපේ ගෙදර ඇවිත් ආපහු යනවා. ඈ එහෙමයි හැඳින්නුවෙ. ළමයෙකුට අසනීපයි වාහනයක් හොයන්න යනවා කිව්වලු.

‘‘ඔය ගෑණි ඔය බොරු කියන්නෙ. ඒ ........... ගෙ අම්මා” සැරපරුෂ හඬක් නැගුණලු.

‘‘යන්න අරිනවා.. යන්න අරිනවා කිව්වලු” එක්කෙනෙක්..

‘‘පුතාට කරදරයක් නෑ... ගෙදර යනවා, ගෙදර යනවා” කිව්වලු තව කෙනෙක්.

ඒත් ලොකු අම්ම නැවතුණේ අපේ ගෙදරටම ඇවිත්..

............................

පහුවෙනිද උදේ ගම වටේම බයිසිකලෙන් ගිහින් අර පත්‍රිකාව හැමෝටම පෙන්නුවෙ මම. එදාම තාත්තා බැනර් එකක් දැම්මා පක්ෂයේ තනතුරුවලින්, සියලුම දේශපාලන වැඩවලින් අයින් වෙනව කියලත්.

ඉන්පස්සෙ ආයෙම ටික කාලයක් අපි උන්නෙ ගෙදරින් පිට. ඒ රාත්‍රී සැඟවීම් එපාම වෙලා, අම්ම තාත්තව ගෙදරින් පිට කරල අපි එක්ක ගෙදරම උන්නා. එහෙම උන්නු දවස් දෙකකම ආයෙමත් එයාල ආවා. එක දවසක් පත්‍රිකා වගයක් බෙදා ගෙන ගියා. අම්මයි අපියි විතරක් උන්නු නිසා දොර අරින්න ඕන නැහැ කියල ජනේලෙන්ම කොල ටික දීල ගියා.

අන්තිමටම ආව දවසෙ ටික දෙනයි උන්නෙ. දෙන්නෙක් ගේ ඇතුළටම ඇවිත් අම්ම එක්ක කතා කළා. එයින් එක්කෙනෙක් කැරළි කොණ්ඩයක් තිබුණු පැහැපත්, උස කරුණාවන්ත තරුණයෙක්. අහල ගම් හතකවත් කෙනෙක් නෙවෙයි. අම්ම උන්නෙ මල්ලි වඩාගෙන. මම අම්මගෙ ගවුමෙ එල්ලීගෙන.

‘‘අක්කෙ අයියට කියන්න ගෙදර නිදා ගන්න කියල. අපෙන් කරදරයක් වෙන්නෙ නෑ.” ඔහු කිව්වා.

‘‘දුව ඉගෙනගන්න දක්ෂයි කියල ආරංචියි. හොඳට ඉගෙනගන්න” කියල මගෙ ඔලුවත් අත ගෑවා. ඒ අතරෙ උඩු රැවුල අතින් පිරි මැද පිරිමැද එබිකම් කළ කෙනාව මම අඳුන ගත්තා. ඒ අපේ මාම මයි. ඉතින් මගේ හිතේ තිබුණු බය නැති වෙලා ගියා.

රෑ මැද්දෙ වීදි සංචාරය කළ කණ්ඩායම මහ දවාලෙම ඇවිත් තාත්තව මුණ ගැහිල කියල තිබුණා ‘‘රෑ තිස්සෙ දරුවන්ව දාලා ගෙදරින් පිට ඉන්න එපා.. ආයෙම කරදරයක් වෙන්නෙ නෑ” කියල.

එතන තිබුණෙ අප්‍රමාණ මනුස්සකමක්. ඇත්තටම තාත්තගෙ ජීවිතේ බේරුණේ මනුස්සකම නිසා. එදා එහෙම නොවෙන්න අපේ ජීවිතවලට මොන වගේ ඉරණමක් අත්වෙන්න තිබුණද කියල හිතන්නත් අමාරුයි. ඒත් ඒ මනුස්සයොම අවට ගම්වල ජීවිත උදුරගෙනත් තිබුණා..

කාලෙකට පස්සෙ අපිට ඒ මාමව නැති වුණා. එයා එක්ක උන්නු ගොඩක් දෙනෙකුට වුණ දෙයක් නැහැලු. අදටත් ඒ අවසන් රාත්‍රී හමුවීමෙ දැවටිලා තිබුණු අප්‍රමාණ මනුස්සකම මගෙ හිතේ ඇඳිල තියෙනවා.

.............................

මම මගේ මුල්ම ඡන්දෙ දෙන්න පෙරුම් පුරාගෙන හිටියෙ එයාලටමයි. ඒ පරම්පරාව ම කොල එළි දල්වද්දි, පොතපත නිසා හදවත සමාජවාදී වෙලා තිවුණයින් වෙන්න ඇති. ඡන්දෙ දානව තියා ඡන්ද කාඩ් එක ඇහැටවත් දකින්න ලැබුණෙ නෑ. ඒ ඉතිහාසගත වුණු වයඹ මහා ඡන්ද මංකොල්ලෙ.

තවත් කතාවක්...

ඉතින් සමාව ඉල්ලීම වැදගත් තමයි. ඒත් වඩා වැදගත් වෙන්නෙ අපි අතින් වුණ වැරදි මොනවද හොයල, බලල ඒව නිවැරදි කර ගන්න එක. සමාව වචනයට එහා ගිය ක්‍රියාදාමයක්, ප්‍රතිපදාවක් වෙන්න ඕන... 

එහෙම බලාපොරොත්තුවක් තියන්න පුළුවන් විමුක්ති ව්‍යාපාරයක් ලංකාවෙ බිහි වෙන එක හීනයක්ම ද කියල මට හිතෙනවා. 

 

66 comments:

  1. මුලින් මිනිස්සුන්ට මනුස්සකම කියන්නේ මොකක්ද හුරු කරලා ඉන්ට වෙයි අක්කේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අමාරුම නමුත් කළ යුතුම වැඩේ නගා...

      Delete
  2. ඇත්තටම අපි එහෙම යුගයක් පහු කළා නේද? ඔතන කරුමේ උනේ ගමේ ඉන්න හැම එකාම ඔය ව්‍යාපාරෙට බන්ද ගත්තා. සමහර ගොන්නු තමන්ගේ පන්ති වෛරය, කුල වෛරය, පරණ ආරවුල් ඔක්කෝම බේරගත්තා.. ඔය එකෙක්වත් අපේ ගෙවල් වලට නම් ආවේ නෑ. මොකෝ මම දෙපැත්තම බැලන්ස් කරගෙන උන්න නිසා. මගෙත් අපූරු අත්දැකීමක් තියෙනවා ජෙප්පන්ගේ කජු කිරි කොල්ලෝ ගැන. වෙලාවක ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස හරි.. විමුක්ති ව්‍යාපාරයක වටිනාකම තේරුම් ගන්න බැරි මිනිස්සු අතටත් ආයුධ ලැබුණා.. ඒක හරි භයානකයි... අපරාදෙ අහිමි වුණු තරුණ ජීවිත....

      Delete
    2. කොටි ඒ අය දෙමළ ජනයගෙ එකම නියෝජිතය කියල කිව්ව වගෙ කතාවක්නෙ මේක.ජවිපෙ නිර්ධන පන්තියෙ එකම නියෝජිතය කියල වශයෙන් පත් කළේ කවුද?
      මිනීමරුවො කීප දෙනෙකුට එහෙම නියෝජනයක් කරන්න පුළුවන්ද
      වෙනත් මත දරන අය මරන එක එදා ජවිපෙ දේශපාලනය.

      Delete
  3. 88/89 ගැන මටනම් මතක මෙච්චරයි. අම්මා කකුල් දෙකේ තියලා මාව නිදි කරවන වෙලාවෙ කවුදෝ කට්ටියක් ඇවිත් අම්මාගෙයි තාත්තගෙයි අයිඩින්ටි අරන් ගියා. මගේ එකම අත්දැකීම එච්චරයි............

    ඒත් පස්සේ කාලේ දේශපාලන විද්‍යාව ආසාවෙන් ඉගෙන ගත්ත කාලේ. ඔය ගැන ටිකක් කියවලා බැලුවා. වැඩිහිටියන්ගෙන් ඇහුවා. මං ඊට පස්සේ හිතාගත්තා ඒක නොහොබිනා විප්ලවයක් කියලා...... ලැජ්ජා නැතුව සමාව ගන්න පුළුවන් නම් එල්.ටී.ටී.ඊ එකත් හෙට අනිද්දා සමාව ගනියිනේ. අපරාදේ ඔච්චර මිනිස්සු මැරුණේ............. ඔය සමාව ගැනිලි ටික මුලින් ම කරගත්තා නම් ලෝකේ එක යුද්ධයක්වත් නෑනේ................

    ReplyDelete
    Replies
    1. මට නම් මියගිය විමුක්ති පෙරමුණේ අය ගැනත් දුකයි.. රටට අවශ්‍යම කරන තරුණ පරපුර...

      සමාව ගැනීමේ අර්ථයක් තියෙන්නෙ ජීවිත වෙනසකටත් ගියා නම් තමයි... ජේවීපී වර්තමාන පැවැත්මෙ එහෙම වෙනසක ලකුණු නැහැනෙ...

      Delete
    2. +++++++++++++++++++++++++
      හිට්ලර්ල ,ඉඩි අමින්ල, ජෙප්පො,කොටි ඔක්කොම පෝලිමේ සමාව ගනියි.

      Delete
    3. ////සමාව ගැනීමේ අර්ථයක් තියෙන්නෙ ජීවිත වෙනසකටත් ගියා නම් තමයි... ජේවීපී වර්තමාන පැවැත්මෙ එහෙම වෙනසක ලකුණු නැහැනෙ.../////

      ඇත්තටම එහෙම වෙනසක් නැද්ද....

      Delete
    4. වෙනසක් නැහැ කියන්න බැහැ නේද?
      අතීතයේ වරදක් කෙරුවා.නමුත් දැන් ඒ වරද තේරුම් ගෙන තිබීමම විශාල දෙයක් නේද?

      Delete
    5. සෝමවංශ මහ කඩප්පුලි කතාවක් කිව්ව නේද මහවැලිය හදද්දි ගැඩවිල්ලු මැරෙනව කියල.භීෂන සමයෙ ජවිපෙන් මැරුම් කාපු අයගෙ පවිල් වල අය ආයෙත් මරනව ඒ කතාවෙන්.
      ඔය ඔක්කොම මැරුම් කාපු අහිංසකයො උන්ගෙ ආන්ඩුවක් එවෙලෙ ආව නම් ද්‍රෝහියො වෙනව.
      චීනයෙ මේ වගෙ ද්‍රෝහීන්ට ශාප කරන එක ඒ අයගෙ පවුල් වල අයටලු පැවරුනේ.මෙහෙම කරද්දි සමහරු සිහි නැතුව වැටුනලු.
      මතවාදයක් නිසා මනුස්සකම නැතිවෙන හැටි තමයි කියවෙන්නෙ.
      ජේවීපී අය මට කියන්නෙ මම සංවේදී වැඩිලු,විඥානවාදී ලු,න්‍යායේ ප්‍රායෝගික භාවිතය ගැන දැනුම මදිලු.
      පරපීඩක කාමුකත්වයට සමාජවාදය කියල කියන භාවිතාවටයි මම කැමති නැත්තෙ.

      Delete
  4. අපේ දිවියේ ගෙවී ගිය අදුරු යුගයක් ගැන අගනා සටහනක්.... මිනිසත් බව නොමැතිව මිනිසත්බවයක උපන් පව...

    ReplyDelete
    Replies
    1. ජේවීපී එක ඇතුළෙ අප්‍රමාණ මනුස්සකමුත් තිබුණා.. ඒත් දුර නොබැලූ මෝඩකමුත් තිබුණා.. එයින් දුක් වින්දෙ මේ රටේ සාමාන්‍ය මිනිස්සුම තමයි...

      Delete
  5. මේ අගනා වටිනා කතාව කිව්වට තරුගෙ කටේ මසුරං දාන්න වටිනව ඇත්තමයි.

    ReplyDelete
    Replies
    1. හැලපේ මේක කෙටි කතාවක් විදියට ගත්තොත්. ඉතාමත් ඉහළ ඝනයේ කෙටි කතාවක් නේද? මොකක්ද ඒ ගැන උඹේ අදහස...

      Delete
    2. මට අර තාත්තා අසරණව දරුවෝ බදාගෙන ඉන්න මොහොත මාර විදියට දැණුනා බං.. ඇත්තටම එවන් අවස්ථාවකදි, උඹලා අපි උනත් අන්ත අසරණයඉ නේද බං...

      Delete
    3. ඇත්තටම මටත් හිතුණා මේ අත්දැකීම කෙටිකතාවකට ගැළපෙනවා කියල...

      එදා තාත්තා වෙව්ලපු හැටි, බයෙන් තැතිගැණුනු මුහුණ, එයාගෙ දාඩිය සුවඳ මට තාමත් මතකයි....

      Delete
    4. මේ ළමය මේක අත්දැකීමක් හැටියටයි ලියල තියෙන්නෙ.කෙටි කතාවක ආකාරයෙන් ලීව නං ඉතාම ඉහල මට්ටමේ කෙටි කතාවක් මේ අත්දැකීම ආශ්‍රයෙන් ගොඩ නංවන්න තිබුනා.
      ඇත්තටම මචං අර තාත්තට ඒ වෙලාවේ ඇතිවුණු හැඟීම් අපටත් දැනෙන ආකාරයට අගේට ලියවිලා තියෙන්නෙ ඇයට ඒ මොහොත ජීවිතේ කිසිදාක අමතක නොවන මොහොතක් වුන නිසා වෙන්න ඇති.මේ වගේම පියෙකුට දැනුන තවත් හිත පාරවන කතාවක් අපේ මාමගේ පුතාගෙන් දවසක් මට අහන්න ලැබුණා.

      Delete
    5. කෙටිකතාවකට වඩා මේක ඇත්ත අත්දැකීමක් නිසා තමයි අපිට ගොඩක් දැනෙන්නේ මම හිතන්නේ...

      හැලපේ කියලා තියෙන ඒ අසරණ හැඟීම මේවගේ සාර්ථකව නොවුනත් කෙටිකතාවකින් ඉදිරිපත් කරන්න මමත් උත්සාහා කලා... මෙතන තියේ වෙලාවක් ඇතොත් කියවන්න.

      Delete
  6. රුදුරු දියවැලක් ඔස්සේ මනුස්සකම ගහගෙන ගිහිල්ල මහ සමුදුරේ ගැඹුරෙම අන්තර්දාන වෙලා මිනිසුන් තිරිසනුන්ටද නිගාදෙන අයුරින් හැසිරුනු යක්ෂයින්ගේ යුගයකි ඒ!!!!

    ඔබ විඳි වේදනාව මමද වින්දෙමි ..තරූ...ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. තවත් අත්දැකීම් තියෙනවා... හෙමිහිට ලියන්නම්... මට මේ සිද්දීය ලියන්න හිතුණෙ අනුර කුමාර ඒ යුගයේ සිදුවුණු වැරදි වලට සමාව ඉල්ලපු නිසයි.....

      සමාව දෙන්න පුළුවන් වැරදි වගේම සමාව දෙන්න බැරි වැරදිත් තියෙනවනේ...

      ස්තුතියි අයියෙ.. අදහස් දැක්වුවට....

      Delete
    2. මේව ලියන්න.ලොකු අඩුවක් පිරවීමක්.හරිම සතුටුයි.

      Delete
  7. එකින් එකට අපි අපේ කාලේ මුහුණදීපු සිදුවීම් වචන කරන්නම ඕනේ කියලා හිතෙන්නේ මේ ඔයාලගේ සටහන් කියෙව්වම. අඩුගාණේ ඉස්සරහට ඒ වැරද්ද නොවෙන්න හරි ඒක එක්කෙනෙක් හරි කියෙව්වොත්. එහෙම දවසක ආවෝත් තරූලා අපි බලාපොරොත්තුවුන දේශය කවදහරි අපිට ලැබේවිනේ.
    මට මතකයි අපේ ගෙදරට 'සහෝදරයෙක්' ඇවිත් අපේ අප්පච්චි එක්ක ලොකු ආගිව්මන්ට් එකක් ගිය දවස. එයා කැපුවත් කොල. එදා දැනුණේ මොනවගේ හැඟීමක්ද කියලා මට මේවෙලේ මතකේ නෑ. සමහරවිට අපි මුහුණදීපු භීශණය මීට වඩා බොහෝ දරුණු එකක් වුන හින්දා වෙන්න ඇති. අනික රාජ්‍ය සේවකයෝ හිටිය අපේ පවුලට දෙපැත්තෙන්ම ආව තර්ජන වලට මුහුණදෙන්න වුන හින්දා අපිට ඒ වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නත් ඇති.

    ReplyDelete
    Replies
    1. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න මිනිස්සු ලංකායෙ හරි අඩුයි රංගි... ඒක හරි දුකක්.. වගේම පවක්..

      Delete
  8. අර මැද්දෑවේ තියෙන පින්තූරේ කතාවේ තියෙන හුඟක් දේ එක මොහොතින් කියලා වගේ අක්කේ..

    පහු කරපු යුග වල අමිහිරි දේවල් කොච්චර තියෙනවද.. එහෙම වෙලත් මිනිස්සු ආයෙම ඒ කාලයක් ඇදලා ගන්නත් බයක් නැති හැටි එක අතකට..

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූරෙ දැක්කම මට මතක් වුණේ අපි පුංචි කාලෙ බැලුව කාටුන් එකක්.. ඒකෙ යුද්දයක්... කුරුල්ලො එකතු වෙලා තුවක්කු වලට මල්, පළතුරු පුරවනවා... වෙඩිතියද්දි යන්නෙ මල් පළතුරු... දැන් ඉතින් එහෙම කාටුන් එකක්වත් නැහැනෙ... ආදරය උගන්වන....

      Delete
  9. මගේ ඇස් ලේසියකට තෙමෙන්නේ නැ . බොරු මොකටද මේක කියවලානං කදුළු බින්දු දෙකක් ඇවිත් පිහදාගත්තා.

    ඔය මානසික මට්ටම යම්තාක් දුරට මටත් තිබුනා . ආච්චිලාගේ ගෙදර ඉදපු දවසට කොලපාට හෙවනැලි වලින් . අපේ ගෙදර ඉදපු දවසට රතුපාට හෙවනැලි වලින්

    //එහෙම බලාපොරොත්තුවක් තියන්න පුළුවන් විමුක්ති ව්‍යාපාරයක් ලංකාවෙ බිහි වෙන එක හීනයක්ම ද කියල මට හිතෙනවා//

    විමුක්තිය ව්‍යපාරතුලින් ගොඩ නගන්න බැ , විප්ලවය ගොඩ නැගෙන්න ඕන තනිතනිව මිනිස්සුන්ගේ හදවතේ , ඉන්පස්සේ ඒක එලියට ඇවිත් සංවිධානය වෙන්න ඕන . එතකොටයි ඒක සාර්ථක විප්ලවයක් වෙන්නේ

    ආර්ථික
    සමාජිය
    දේශපාලනික
    ආගමික

    ඔය මොන විදිහේ විප්ලවයක් උනත් එහෙමයි .

    මට . මම . මගේ රාමුව ඇතුලේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ඔය විදිහේ පරිවර්තනයක් බලාපොරොත්තු විම හරි අමාරු වැඩක් හැබැයි කරන්න බැරි කමක් නැ.

    හැබැයි එතකොටත් අවසානයේ ලේ හැලෙයි ,
    ලේ නොහැලෙන විප්ලව නං බලාපොරොත්තු වෙන්ඩ බැ......



    ReplyDelete
    Replies
    1. ‘‘විප්ලවය ගොඩ නැගෙන්න ඕන තනිතනිව මිනිස්සුන්ගේ හදවතේ‘‘ ඇත්ත....

      ඒ තනි තනි මිනිසුන් එක්ව සමාජයම යහපත් තැනක් කරන්න වෙහෙස වෙන්නත් ඕන... එවැනි ශ්‍රමය වැය කිරීමක් කැපකිරීමක් අත්‍යවශ්‍යයි කියල මම හිතනවා...

      සිතුවිල්ලක්, වචනයක්, ක්‍රියාවක් වුණත් වැදගත්...

      Delete
    2. සිතුවිල්ලක්, වචනයක්, ක්‍රියාවක්

      විතරක් නෙමෙයි තරු

      තරුණ පරම්පරාව අතරේ අද ඒක වෙමින් පවතිනව . ගැටලුව තියෙන්නේ පරිවර්ථනය සිද්ධ වෙන්නේ කදවුරු දෙකක් විදිහට. එක් කොටසක් ජාතිකවාදීව ගොඩ නැගෙනව , තව කොටසක් නුතනවාදිව ගොඩ නැගෙනව . අපට තියන අවාසනාව තමයි , අර හැමදාම ඉදිරිගමනට අකුල් හෙලුව අවජාතක පන්ඩිත නාකි පරම්පරාව අතර මැද්දේ හිටගන ජාතික වාදීන්ට සහ නුතන වාදින්ට එකතු වෙන්න දෙන්නේ නැ ,

      ඒ දවස එනකං බලාගන ඉම්මු

      Delete
    3. අධ්‍යාත්මික විප්ලවයක් අත්‍යවශ්‍යම යුගයක් මේක...

      Delete
    4. අටම් කියනවා වගේ අපි බලාපොරොත්තු වෙන ඒ පරිවර්තනය දුර වුණත් කවදා හරි සැබෑවක් වේවි කියලා මටත් විශ්වාසයි,

      Delete
  10. මේවා වෙන කාලේ මම ඔබ හැම දෙනාටම වැඩිය වැඩිමල් කෙනෙක්. මට පැති දෙකෙන්ම බලන්න අවස්ථාව ලැබුන. JR ගෙ ක්‍රියා කලේ ඔවුන් හැමදාම බලයේ ඉන්නව කියන විස්වාසයෙන්. එහෙම දෙසපලුවන්ට කත් ඇද්ද ගම් මට්ටමේ මිනුස්සු දිහවෙත් බැලුවේ කේන්තියෙන්. රජය පක්ෂය තහනම් කරල සාමාජිකයන් මරණ තත්වයකදී තරුණ මනස විකල් වෙන එක පුදුමයක් නෙමේ.
    කොහොම උනත් මනුස්ය ගාතන මොනම විදිහකටවත් සදාරණීය කරන්න බැහැ. අද වගේම එදත් තිබුනේ මිනිස් ජීවිත වලට කිසිම වටිනාකම් මොදීපු රජයක්. වගකීමකින් යුතු ආණ්ඩු තිබුනම් උතරේ හෝ දකුණේ මේ විසාල මිනිස් ගතන නවත්වා ගන්න තිබුන.
    කාගෙ කාගේත් වැරදි වලින් උනේ කොන්ද පන ඇති තරුණ පරම්පරාවක් නත්වීම. අද එහි ප්‍රතිපල අප විදිමින් සිටිනවා.

    ReplyDelete
    Replies
    1. 71, 88/89, වසර 30 ක යුද්ධය මේ හැම අවස්ථාවකම මිය ගිය, මරා දැමුණු තරුණ ජීවිත ගැන අපි ගැඹුරින් හිතන්න ඕන... අපේ සමාජයට සිද්ධ වුණු බරපතලම හානිය තමයි ඒ තරුණ ජීවිත අහිමි වීම.. මමත් එය පිළිගන්නවා.... මේ අවස්ථා තුනේදිම තරුණ නැගිටීම් සිදු වුණේ සාධාරණ හේතු මත... එයට ලංකාවෙ පාලන තන්ත්‍රය වගේම ආගමික සමාජ සංස්ථා පවා වග කියන්න ඕන...

      ඒ නිසාම එවැනි අවිචාර යුගයන් නැවත ඇති නොවන ලෙස වැඩ කිරීමේ වගකීම අපට තියෙනවා... ඒ වෙනුවෙනුයි මේ සංවාදය, කතිකාව වැදගත් වෙන්නෙ...

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට...

      Delete
  11. සිර ගෙයක් තුල වෙන කතා වලින් පලක් නැහැ නේද? මොකද ජීවිතය ගෙවන්න වෙන්නේ සිර ගෙදර නීති මාලාව අනුව. නීති පනවල තියන්නේ සිරකරුඅවන් පහසුවෙන් පාලනය කිරීමට. නීති හදන්නේ සිර ගෙදර පාලකයන් ඔඋන්ගේ අදිපත්‍ය හා පහසුව තකා .
    මෙහිදී තෙරුන් හත යුත්ත අපි සියල්ලම ලංකාව තුල සිරකරුවන් බව. නිදහස යන්නේ තේරුම අප අතරින් ගිලිහී හමාරය. අද අප නිදහස යන්න නිර්වචනය කරන්නේ ලෝකයේ අනෙක් රටවල මිනිස්සු කරන ආකාරයට නොවේ.
    සිර ගෙයක් තුල කාලයක් සිටිනවිට එම ජීවිතයට පුරුදු වෙනවය . එහෙම අයට හිරෙන් එලියට ආවත් හිරේ ඇතුලේ හිටියන් මීට වඩා හොඳය කියා සිතෙනාවය. අද මුළු ලංකාවම සිටින්නේ මෙම මානසික තත්ත්වයේය.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත... මටත් ගොඩක් වෙලාවට හිතෙනවා මේ අපේ රට කියල හිතුවට මේ රට අපේ නෙවෙයි නේද කියල.... ඉස්සර රට දාල යන්න එපා කියපු මම දැන් යන්න හදන අයව උනන්දු කරනව මිස වළක්වන්නෙ නෑ....

      නිහඬව බලා ඉන්නවට වඩා හිර ගේ ඇතුළෙ වුණත් කවුරු හරි හුස්ම ගන්න හඬක් ඇහෙනවට මං කැමතියි...

      අපේ

      Delete
    2. කැරලිකරුවන්ගෙ ආන්ඩුවක් ආවා නම් සිරගෙයක් ඉදිවෙයි.මැතිවරණ නොපවත්වන මැර ආන්ඩුවක් බිහිවෙයි.එවැනි රහස් පොලිස් ආන්ඩු තමයි නැගෙනහිර යුරෝපයෙ රුසියාවෙ තිබුනෙ.කැරළිකරුවන් වැරදි කලා නම් ඔවුන් එළැවන්න වෙන්නෙ වීදි සටන් වලින්.බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ මහිමය එයයි.
      ඔබ කියන එක හරි .කැරළිකරුවන්ගෙ ඇදිරි නීති වලට ,තුන්ඩු කෑලි වලට ටී පනස් හයට බය වෙලා මිනිස්සු හිරගෙදරක ජීවත් වෙන කොට කාලයක් ගියාම ඒකට හුරු වෙන්නත් ඉඩ තියෙනව.ඔබ අදහස් කළේ එය වෙන්න ඇති.

      Delete
    3. නැහැ.. මම අදහස් කළේ නම් එය නෙවෙයි... අපි නිදහසේ ඉන්නව කියල හිතුවත් දැනටමත් අපි ඉන්නෙ හිර ගෙයක.. ඒ සිරගත බව තේරුම් අරන් හිතන, කතා කරන, වැඩ කරන මිනිසුන් ඉන්නවා අපේ නිදහස වෙනුවෙන්... සමහර විට ඒක ඵලරහිත වැඩක් වගේ කෙනෙකුට පෙනෙන්නත් පුලුවන්... නමුත් එවැනි මිනිසුන් ඉන්නවා... ඒ ගැනයි මං කිව්වෙ... මං කැමති ඒ මනුෂ්‍යත්වයටයි...

      කතාවක් තියෙනවා බලය නැතිතාක් දේශපාලකයො සාන්තුවරු.. බලය ලැබුණම යක්ෂයො කියල... ඒ කතාව නම් කොයි දේශපාලන පක්ෂයට උණත් ගැළපෙනවා කියල තමයි හිතෙන්නෙ අතීතය, වර්තමනාය ගළපල බැලුවම....

      Delete
    4. ඔව් ඇත්ත,අපේ මිනිස්සු නිදහස අර්ථ දක්වන්නේ හරිම ගතානුගතික විදියට.
      දැන් ගොඩක් අය කියනවා ඉස්සර පාරේ තොටේ යන්න බැහැ කොයි වේලේ බෝම්බ පුපුරයිද කියලා බයයි දැන් එහෙම නැහැ නිදහසේ ගමන් කරන්න පුළුවන් කියලා.එත් ඒ අය දකින්නේ නැහැ ඔය ප්‍රභූවරුන් යයි කියා ගන්නා අය රැකවලුන් පිරිවරාගෙන,සමාන්‍ය මිනිස්සු ගමන් කරන පාරවල් වහගෙන ඔවුන් ගමන් කරනකොට,රටේ ප්‍රධන නගර වල පාරවල් වහගෙන රේස් පදිනකොට තමන්ගේ නිදහස ආයෙමත් උල්ලංඝනය වෙලා තියෙනවා කියන එක දකින්නේ නැහැ.

      Delete
  12. ජෙප්පෝ වනාහී තමන්ට නැති දේ ඇති, තමන් අයත් නොවන (එහෙත් කෙසේ හෝ ඇතුලත් වීමට උත්සාහ කරනා පන්තියට අයත්, තමන් ට වඩා හොඳ පාසැලකට ගිය, තමන් ට වඩා පොර්ශත්වයක් ඇති මිනිසුන්ට වයිර කරන සහ අවස්තාව ලද සැනින් ඔවුන්ව කම්බස් කිරීමට සෑදී පැහැදී සිටින අමනයන් රන්චුවකි.....

    ඔවුන් විමුක්තිය යනුවෙන් හඳුන් වන්නේ තම වයිරයට ලක්වූ හොඳින් ජීවත් වන මිනිසුන් මරා දැමීමයි...

    ReplyDelete
    Replies
    1. ඒ හැඳින්වීම හැම කෙනෙක් වෙනුවෙන්ම ගැළපෙන්නෙ නෑ....

      යහපත් අරමුණු තිබුණ, යහපත් මිනිසුන් ඒ විමුක්ති ව්‍යාපාරය ඇතුළෙ හිටියා.. අපි බය වුණ එක ඇත්ත.. නමුත් අපේ තාත්තා බේරුණෙත් මනුස්සකම් දන්න අය හිටි නිසා...

      Delete
  13. ගොඩදෙනෙක් තරුරසීගේ තාත්තා වගේ වාසනාවන්ත වුනේ නෑ... තමන්ගෙත්, දරු පවුලෙත් හැමදෙයක්ම කෙස්ගහක් වගේ වාසනාවක රැඳිලා තිවුන පව්කාර කාලයක් ඒක...

    ReplyDelete
    Replies
    1. තාත්තා හැමෝම එක්ක හරි හිතවත්.. මිනිස්සුන්ට හරියට උදව් කරනවා. කාටවත් කරදරයක් නෑ..... ඒ නිසා තමයි ගොඩක් අවස්ථාවල තාත්තගෙ ජීවිතේ බේරුණේ.

      Delete
  14. බොහෝ වෙලාවට කතා කරන්නෙ කැරළිකරුවන්ගෙ පැත්තෙන්.අදෝනා ශෛලියෙන් විමුක්ති ගී කියන ඔවුන්ගෙ අදහස් වලට අනුව ඉතා අහිංසකව දස සිල් රකිමින් සිටි කැරළිකරුවන් අල්ලාගෙන වධ දී ටයර් දමා පිලිස්සූ බව.
    මම නම් කිසිමදාක එජාපයට චන්දය දුන් කෙනෙක් නොවෙයි.ඒත් ජනතාව බිය වැද්දීම තම දේශපාලනය කර ගත් මේ පිරිස එදා බලයට ආවා නම් මොන තරම් භීෂනයක් මුදා හරීවිද
    භීෂනය අපේ පැත්තට තිබුනෙ නැති තරම්.අපේ ගමේ දෙන්නෙක් අල්ලගෙන ගියා.දෙන්නම ජීවතුන් අතර.කුල අසහනය වගෙ ප්‍රශ්නත් අපේ පැත්තෙ තිබුනෙ නෑ.කුල ප්‍රශ්න තිබුන ගම්වල කසිලි බිසිලි තිබිල තියනව.

    මේ ත්‍රස්තවාදීන් අතින් සමාජ පිළිල විනාශ වුනා කියල සමහරු කියනව.ඒත් ඒ 1% ක් විතර.ඉතුරු 99% ම අන්ත අහිංසකයො.පන්ඩිත ලිපි ලියන බ්ලොග්කාරයෙක් එයාගෙ බ්ලොග් එකේ ඇනෝ කොමෙන්ට් එකක් දාල තිබුන එහෙම කියල.එක නායකයෙක් කිව්ව වාරි කර්මාන්ත කරන කොට ගැඩවිල්ලු මැරෙනව කියල.

    භීෂනයෙන් පස්සෙ දිවයින පත්තරේ ඒ ගැන ලිපි පලවෙන කොට මම හුඟක් දුක්වුනා.විශේෂයෙන් පාසල් සිසුන් මරපුව ගැන අහල. පස්සෙ දැනගත්ත ඒ මැරුම් කාපු අයත් මිනී තුන හතර මරපු අය කියල.ඒ විතරක් නොවෙයි ඒ ලිපි පළැ අක්ළේත් කැරළිකරුවන් කියල.කැරළිකරුවන් කැරැල්ලෙන් පස්සෙ පත්තර රස්සාවට ගියා.
    මවු පෙරමුනු වගෙ ඒව හදාගෙන කැරලිකරුවන් සමාජ අනුකම්පාව ලබා ගැනීමේ ප්‍රයත්නයක් යෙදුනත් කැරළිඅකෘවන්ගෙන් මැරුම් කාපු අසාර්ණාය්න් එහෙමවත් දෙයක් කළේ නෑ.
    කැරළිකරුවන්ගෙ ම්ලේච්ඡත්වය ගැන අහස පොලව දෙස් දෙනව විතරයි.
    මේව ගැණ කතා කරන්න ඕන.කැරලිකරුවන් කියන්නෙ සමාජයෙම කොටසක් පිටසක්වලින් ආ අය නොවෙයි.මේ වගෙ දරුණු මිනීමැරුම් කරන්න මේ අය හැඩ ගැසුන හැටි ගැන පර්යේශන කළ යුතුව තිබුන.

    ReplyDelete
    Replies
    1. තරුණ නැගිටීම් තුනක් සිද්ද වුණා... ඒ තරුණ නැගිටීම් මර්දනයෙන් නැත්තටම නැති කරල දැම්මා.. ඒ ගැන ආඩම්බර වෙනව වෙනුවට, පුරසාරම් දොඩවනව වෙනුවට කරන්න ඕන, කරන්න තිබුණෙ ඇයි මෙහෙම වුණේ කියල ගැඹුරින් හොයල බලල ආයෙම එවැනි තත්ත්වයක් ඇති නොවෙන් තරුණ අසහනයට පිලියම් හොයන එක... ඒත් අපේ රටේ සිද්ද නොවෙන්නෙත් ඒකම තමයි....

      ඕනෑම කැරැල්ලක්, විප්ලවයක් වැඩියෙන්ම බලපාන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට.. වැඩියෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට... විප්ලව කරන, යුද්ද කරන පිරිමි මැරෙද්දි ඉතිරි වෙන ගැහැණු සහ දරුවන් අප්‍රමාණ දුක් විඳිනවා.. අනික මැරෙන්නෙ දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො බොහෝ වෙලාවට...

      මේ හැමදෙයක් ගැනම හිතල අපි සාමකාමී සමාජයක් ගොඩනගන එක ගැන හිතන්න ඕන... මට හිතෙන දේ.. ලේසි නැහැ කියල මම දන්නවා...

      Delete
  15. ගොඩක් අවස්ථාවල උනේ ඌරගේ මාලු ඌරගේම ඇඟේ තියා කැපීමත්, ඌරො කැකුණ තලනකොට හබන් කුකුල්ලු මඟුල් කාපු එකත් තමයි.

    ReplyDelete
    Replies
    1. එවැනි තත්ත්වයක් තිබුණා...

      Delete
  16. මේ යුගය ගැන බොහොම නපුරු අත්දැකීම් කීපයක් තියෙනවා. අපේ පවුලම බොහෝම දුක් වින්දා. තුන්දෙනෙක් ජීවිත බේරගත්තා. එක්කෙනෙක් අදටත් මරණ සහතිකෙත් නැහැ. මේ අහිංසකයෝ. මේවාට හවුල්වුන් මැති ඇමතිවරු.

    ReplyDelete
    Replies
    1. ඒ අතීතය ගැන අපි කතා කරන්න ඕනෙ වර්තමානයේ ඒ වැරදි සිද්ද නොවෙන්නයි.. ඒත් අරූ අපි තාමත් වනන්තරේම තමයි නේද?

      Delete
  17. තරූ කියන කතාව ඇත්ත.හැමදේකම දෙපැත්තක් තියෙනවා උණාට මේ ජෙප්පෝ නිසා අහිංසක මිනිස්සු දහස් ගාණක් නිස්කාරණේ මැරිලා ගියා.ඒකට සමාව දෙන්න බෑ කොහොමටවත්ම.මොකද සමාව කියන වචනෙට ඒ මැරිච්ච මිනිස්සුන්ට ආයෙත් පණ පිහිටුවන්න බැරි නිසා.උන් මැරුවේ මැරිච්ච මිනිහව විතරක් නෙවෙයි, ඒ මිනිහගේ සමීපතම හැමෝවමයි.තරූගේ අත්දැකීමම ලබපු තව කොච්චර දරුවෝ ඇතිද තවම තමන්ගේ තාත්තාව ඇස් පනාපිටම මරලා දානවා දැකපු.ඒ කම්පනයෙන් පිච්චිලා ගිය.

    මගේ සීයාව (තාත්තාගේ තාත්තාව) මැරුවෙත් ජෙප්පෝ.දේශපාලනය කළ නිසා.සීයගේ මරණය අපේ ජීවිතවලට තාම බලපානවා.ඒ කටුක අත්දැකීම් කරපින්නාගෙන සමාවක් දෙන්න බැහැ කොච්චර මනුස්සකමට හිතුවත්.

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලනව කියද්දි මට ඒ අතීතය මතක් වුණා... ඒ නිසයි ලියවුණේ... මේ තරම් දුර යයි කියල හිතුණෙ නැහැ මේ කතාබහ...

      කාටවත් දොස් කීමට වඩා මැදිහත්ව බලල අපි අපේ වැරදි හදා ගනිමු.. ඒකයි විය යුත්තෙ...

      Delete
  18. පැපොල රෝගියෙක් ලවා වලක් හාරවගෙන ,ම්ලේච්ඡ විදියට ඒ මිනිහව මරල එයා හාරපු වලටම දාල බල්ලෙක් වගෙ වලලන්න ජවිපෙ සාමාජිකයගෙ විප්ලවීය ජීවගුනය හදපු රෝහන විජේවීර කියන්නෙ මොනතරම් තිරිසනෙක්ද මෘගයෙක්ද කියල හිතෙනව.මේ වගෙ මිනීමැරුම් කරන්න ඇත්තෙ දහම් පාසල් ගිය ළමයි.
    සමනල විප්ලවය කියන බ්ලොග් එකේ විජේවීරව මෘගයෙක් ලෙස හදුන්වල ඔහුගෙ මරණය ගැන සතුට පළ කරනව
    ඇත්තටම 1971 දිත් 1989 දිත් මිනිස්සු මෘගයො කරපු ඒ මෘගය ට ශාප වේවා.
    මේ තිරිසන් අපරාදෙ ගැන තොරතුර ලැබුනම අජිත් පැරකුම්ගෙයි,සුමිත් නිරිඇල්ලගෙයි බ්ලොග් වල පළ කළා.තව විප්ලවකාර බ්ලොග් කීපයකමත් පළ කළා.
    අද උපාසක බලල්ලු වගෙ පන්ඩිත කතා කියන්නෙ ,මනුස්සකම ගැන කියවන්නෙ මොන තරම් තිරිසන් මෘගයොද කියල හිතෙනව

    භීෂන සමයේ ජවිපෙ පැපොල රෝගියෙක් ලෙඩ ඇදෙන් ඇදගෙන ගොස් මැරූ හැටි.ජවිපෙ ම්ලේච්ඡත්වය අමතක කර පොලිස් හමුදා ම්ලේච්ඡත්වය ගැන කතා නොකළ යුතුය.

    http://www.pathula.com/index.php/archives/1381

    ජයතිලක එක් උදෑසනක ප‍්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත‍්‍රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. අපි යනකොට මිනිහ හිටියේ ලෙඩ ඇඳේ. පැපොල හැදිල. ගෙදර අය කීව සනීපවුනහම ගෙනියන්න කියල. ඒක ඉක්මනින් සනීප වෙන අසනීපයක්ද කියල සෝමෙ අයිය ඇහැව්ව. උන් උත්තර දුන්නෙ නැහැ. අපි පබිලිස් ගෙනෙන කොට ගෙදර අඳෝනා තිබ්බ. අපි තුවක්කු එල්ල කරල ඒ අය නිහඬ කළා. පාලූ තැනක පබිලිස්ට කියල අපි වළක් හෑරුවා. මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප‍්‍රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. මිනිහ පොලීසියට වගේම, අපටත් කීකරු වුණා. සෝමෙ අයිය ඇහැව්ව මේ වළ හෑරුවෙ මොකටද කියල. පබිලිස් උත්තර දුන්නෙ නැහැ. එතකොට සෝමෙ අයියාම ඒකට උත්තර දුන්නා. පොලිස් ඔත්තුකාරයො වළලන්න කියල. පබිලිස් අවසාන උත්සාහයත් දැරුව, තමන් නිදොස් කියල කියන්න. ඒත් ඒකට අවසරයක් ලැබීමට පෙර මගේ උදලූ බඳ පහරෙන් හිස්කබල ගලවලා ගියා. ඒත් මැරුණෙ නැහැ. අපි පබිලිස් පණ පිටින් වළට තල්ලූ කළා. පබිලිස් මොනවදෝ කියනව වගේ ගොර ගොර ගාල පැහැදිලි නැති ශබ්දයක් පිටකළා. පබිලිස් හෑරුව වළේ, උගේ ශරීර කූඩුව ඔබන්න මදි. ඒක හින්ද ආයෙත් මම දණිස් පොල්කටු වලට උදැල්ලෙන්, ගහල කකුල් ඉස්සරහට නැමුවා, එතකොට කුරු මිනිහෙක්ගෙ තරමට පබිලිස් කොට උනා. ඊට පස්සෙ ගෙදර හදපු බල්ලෙක් මැරුණහම වළලනව වගේ, වැඩි ගැඹුරක් නැති වළට දමල පස් දැම්ම.

    ReplyDelete
  19. සමාව ගන්නවාට වඩා සමාව දෙන එකයි අමාරු.තරු අක්කා මේ තරම් වරදක් තමන්ට කරපු විමුක්තිකාමීන්ට සමාව දුන්නා කියන්නේම උතුම් ක්‍රියාවක්.

    ඔය 88,89 යුගයේ මම අවුරුද්දක,දෙකක දරුවෙක් නිසා ඔය අත්දැකීම මට නැහැ.ඒ වගේම තුන්වෙනි තරුණ නැගිටීමත් ඒ ඔස්සේ ගොඩ නැගුණු වාර්ගික ගැටුම තුලත් මට සජීවී අත්දැකීම් නැහැ.නමුත් යම් දෙයක් ගැන සංවේදී වෙන්න අත්දැකීම් ලබන්නම ඕනේ නැහැනේ.ඒ නිසා මේ තරුණ නැගිටීම් තුන ගැනම වේදනාවක් තියෙනවා.

    මනුස්සකම නැති මිනිස්සු මේ ලෝකේ නැහැ.මනුස්සකම් නැති අයට මිනිස්සු කියලා ආමන්ත්‍රණය කරන්නෙත් නැහැ.ජේවිපි එක තමන්ගේ ක්‍රියා මාර්ග ගැන අද කණගාටු වෙනවා.නමුත් ඔවුන්ව ඒ තැනට තල්ලු කරලා දාපු අය මේ ගැන දැන් දරන්නේ කුමන මතයක්ද?

    කොහොමවුණත් තරු අක්කා කියලා තියෙනවා වගේ අපි අතිතයෙන් පාඩම් ඉගෙනගන්නා ජාතියක් නොවෙන නිසාත් රෑ වැටුණු වලේ දවල්ටත් පෙනි,පෙනි වැටෙන්න දක්‍ෂ නිසාත් තමයි 71සිදුවීමෙන් පාඩම ඉගෙන නොගෙන මේ තරම් තරුණ ජිවිත විනාස කරගත්තේ.එකෙන් විනශ වුණේ තරුණ ජිවිත විතරක් නෙමේ රටේ ආර්ථිකය,සමාජය ,සංස්කෘතිය මේ හැමදේමයි.

    ReplyDelete
    Replies
    1. තමන්ට පුද්ගලිකව මෙහෙම හතුරුකම් කළ පක්ෂයකට මුල්ම චන්දය දෙන්න හිත හදා ගත්ත කියපුවම මටත් පුදුම හිතුන.

      Delete
    2. මම ගොඩක් රුසියන් සාහිත්‍යයට ළැදියි... ඒ හරහා සමාජවාදය, වාමාංශික අදහස් ගැන හිතේ ඇල්මක් ඇති වුණා...

      ඒ වගේම උසස්පෙළ මම ආගම විෂයක් විදියට හැදෑරුවා. එතනදිත් අපට ඉගැන්නුවා පාවෙන ඡන්ද ක්‍රමය ගැන... ඒකෙන් අදහස් කළේ ‘‘පාරම්පරික දේශපාන පක්ෂය හරි පෞද්ගලික වාසි තකා හරි චන්දය පාවිච්චි කරන්න එපා... ඒ වෙනුවට කාලීන සමාජ දේශපාලන වටපිටාව සලකල බලල පොදු යහපත ගැන හිතල ඡන්දය පාවිච්චි කරන්න‘‘ කියල.... අද වගේ මතකයි මේ කිතුනුකම සහ දේශපාලනය කියන මාතෘකාව ගැන කතාබහේදි මේ දැක්ම දුන්නෙ සිස්ට මරියගොරෙට්ටි...

      අනික ඒ වෙද්දි තරුණ අසහනයට හේතු වුණ කාරණා ගැනත් යම් අවබෝධයක් තිබුණා... ඒ නිසා තමයි අර තරම් දුක් විඳල තියෙද්දිත් හිත හදාගන්න පුළුවන් වුනේ....

      Delete
  20. මුල සිටම ජවිපෙ දේශපාලනය වුනේ බිල්ලෙක් මැවීමයි.ඩඩ්ලි පාරවල් ලොකු කරන කොට ජවිපෙ ප්‍රචාරය කළාලු ඩඩ්ලි පාරවල් හදන්නෙ ඇමරිකන් හමුදාව ගොඩ බස්සන්න කියල.
    දියතෙ මේක දැකල මට හිනා ගියා.ඉන්දියාව ලංකාව අල්ලන්න හදනව කියන එකත් ඔය වගෙම මනස්ගාතයක්.ජවිපෙ උපායමාර්ගය වුනේ ඉන්දියන් හමුදාව දකුණට කැදවා ඔවුන්ගෙන් දකුනේ ජනයා පීඩාවට පත් කරවා වියට්නාම් පන්නයේ ගරිල්ලා යුද්ධයක් දීර්ඝ කාලීනව කිරීමයි.
    මෙය සාර්ථක වුනා නම් රටේ ජනගහනයෙන් බාගෙකට වඩා මැරෙනව.ජේවීපී කාරයො හැංගිල ඉදල ඉන්දියන් හමුදාවට ගහනව.මෝඩ ඉන්දියන් කාරයො ගම් වලට පැනල මිනී අම්‍රල ගෑනු දූෂනය කරල එක විජ්ජුම්බරයක් කරනව.විජේවීර ල කැලේ ඉදන් හිනා වෙනව.ඒ අතරෙ විරුද්ධවාදීන් මරල පන තියන දෙතුන් දෙනා කියන්නෙ ජේවීපී කාරයො බවට පත් වෙනව.විරුද්ධ ඔක්කොම ඉන්දියන් ඔත්තු කාරයො.
    එක්කො ඉන්දියාව පැත්තට යන්න ඕන නැත්නම් ජේවීපී වෙන්න ඕන.ශ්‍රී ලංකා,යූ ඇන් පී වගෙ ඔක්කොම පක්ෂ ඉන්දියන් ගැත්තො ඒ කියන්නෙ දේශ ද්‍රෝහියො.

    මේක අසාර්ථක වුන බව අපි දන්නවනෙ.ජනතාව බිය පත් කිරීම කියන ජවිපෙ මූලධර්මයම වැරදියි.

    හෙළා දකින කොට හැමෝම කරපු අපරාධ හෙලා දැකීමත් ඔවුන් මේ අපරාධ වලට පෙළ ඹුනේ ඇයි කියා පර්යේශන කිරීමත් වැදගත්.දෙවන ලෝක යුද්දයෙන් පසු ප්‍රචන්ඩත්වය ගැන මෙවැනි පර්යේශන සිදු කෙරුනා.

    පරපීඩා කාමුකතව්යෙන් පෙළුන අය ජවිපෙට බැදුන අය සිටිය හකියි.එවකට පැවති රජය මෙය හොදින් අධ්‍යනය කළා.ඔවුන් මේ අයමයි ගෝනි බිල්ලන් ලෙස ජවිපෙ මර්ධනයට යොදා ගත්තෙ.ඔවුන්ගෙ මනෝ ලිංගික අවශ්යතාවයන් ඉටු වුනා.ඔවුන් කටවල් කපමින් බෙලි කපමින් ,තුන්ඩු කෑලි වලින් කඩ වසමින් ඉන්දියන් ආක්‍රමනිකයාට සහ ධනපති ආන්ඩුවට එරෙහිව තම යුග මෙහෙවර කරමිනුයි සිටියෙ.
    ත්‍රස්ත මර්ධනය ගැන මනෝ විද්‍යාව ඇතුළුව විද්‍යාත්මක පුහුණුවක් ලබා සිටි හමුදා නායකයන් මේ ඓතිහාසික වීරයන් අත් අඩංගුවට ගෙන ඔවුන්ට වධකාගාර වල රාජකාරි පැවරුවා.ඔවුන්ගේ යුග මෙහෙවර වෙනස් වුනේ ලිබරල් මානව නිදහස හා නූතනත්වය වෙනුවෙන් ක්‍රියා කිරීමට.නමුත් ලැබුන ලිංගික තෘප්තිය එකයි.

    ReplyDelete
    Replies
    1. ‘‘මේක අසාර්ථක වුන බව අපි දන්නවනෙ.ජනතාව බිය පත් කිරීම කියන ජවිපෙ මූලධර්මයම වැරදියි.

      හෙළා දකින කොට හැමෝම කරපු අපරාධ හෙලා දැකීමත් ඔවුන් මේ අපරාධ වලට පෙළ ඹුනේ ඇයි කියා පර්යේශන කිරීමත් වැදගත්.දෙවන ලෝක යුද්දයෙන් පසු ප්‍රචන්ඩත්වය ගැන මෙවැනි පර්යේශන සිදු කෙරුනා‘‘

      ඉහත ප්‍රකාශයට සම්පුර්ණයෙන්ම එකගයි...

      Delete
  21. ඒ කාලෙ මහ පුදුම කාලයක්.එහෙම යුගයක් මීට ඉස්සර තිබුනෙත් නෑ.ආයෙ එයි කියල හිතන්නත් බෑ.හිතෙන හිතෙන අයව මරනව.ජේවීපී එකයි ආන්ඩුවයි තරඟෙට මිනී මරනව.
    ජේවීපී එකෙන් බස් ස්ට්‍රයික් එකක් කලා.ඒකට උදවු නොකළ ඩ්‍රැයිවර්ල මරන්ඩ පක්ෂය තීරණය කළා.ජේවීපී නියෝගය කඩ කළාලු ඩිංගිරි බන්ඩ කියල රියදුරෙක්.මරන්ඩ නියම වුන ඩිංගිරි බන්ඩ අදුරන්නෙ නැතිව පළාතෙම ඩිංගිරි බන්ඩල මැරුවලු.ඊට පස්සෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බැනර් ගැහුවලු.අත් වැරදීමට අපේ කණගාටුව කියල.සමාව ඉල්ලීම වගෙ තමයි.
    පවුලෙ සාමාජිකයන් ඉදිරියෙ කෙනෙකුව දැලිපිහියෙන් බෙල්ල කපල මරන එක මන් ම්ලේච්ඡයි.පක්ෂය මේව ගැන සැළකිලිමත් වෙන්න තිබුන.
    මරපු අයගෙ මිනී දනිහෙන් ඉහලට එසවීම තහනම් කිරීම හා එම නියෝග වලට පිටුපෑ අවස්ථා වල මිනී වලෙන් හාරා එළියට දැමීමටත් ජවිපෙ කටයුතු කළා.හැබැයි ඒ ජේවීපී කාරයන්ගෙ මිනීත් බල්ලො කපුටො කෑව.
    අපි නොවේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයයි මිනී මැරුවෙ කියල කෙනෙක් කියයි.ඒව බයිල එහෙම ව්‍යාපාරයක් කොහෙවත් තිබුනෙ නෑ.අන්තරේ වගෙ තමයි.

    කොහොමටත් මිනී මරපු ජේවීපී අයව නම් ආන්ඩුවෙන් මරපු එක සාධාරණයි.ඒත් අහිංසකයොත් මැරුන.

    ReplyDelete
    Replies
    1. දෙපැත්තෙන්ම සිදුවුණ මරා දැමීම් ම්ලේච්ඡයි... ඒ අතර පෞද්ගලික කෝන්තරාත් පිරිමහගත්තනෙ...

      මේ අතීත සිද්ධිවලින් අපි පාඩම් ඉගෙන ගන්නවනම් අලුත්ගම වගේ සිදුවීම් නැවත ඇති වෙන්න විදිහක් නැහැනෙ....

      Delete
  22. මේ ඇත්ත කතාවක්ද තරූ?

    රුසියානු කතාවලට නම් ආසයි. ඒත් අපේ රටේ මෙහෙම දෙයක් වෙනවා කීවාම පොත කියවනකොට එන හැඟීමට වඩා වෙනස්. තාමත් රට ගැන අවංකව හිතන, අවංක, පරම්පරාවක් අපිට බිහිවෙලා තියෙනවද?

    සමාව දුන්නත්, නොදුන්නත් ජීවිතේ සමහර දෙවල් තියෙනවා අත් ඇර දැම්මාම හිතට සහනයක් ලැබෙන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතා ගොඩක් අතර එක කතාවක් පොඩ්ඩි... මං හිතන්නෙ පුංචි කාලෙ මුහුණ දුන්නු බිහිසුණුම අත්දැකීම නිසා වෙන්න ඇති මේ සිද්ධිය ලේසියෙන් අමතක වෙන්නෙ නැත්තෙ...

      ‘‘සමාව දුන්නත්, නොදුන්නත් ජීවිතේ සමහර දෙවල් තියෙනවා අත් ඇර දැම්මාම හිතට සහනයක් ලැබෙන‘‘ ඔයාගෙ මේ කතාව එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි...

      Delete
  23. තරුරසී කදිමි ලිපියකින් අවුස්සලා දැම්ම නිසා ඉතාම වටිනා සංවාදයක් ගොඩනැගෙමින් තියනවා !

    ReplyDelete
    Replies
    1. සංවාදය වටිනා විදියට ඉදිිරියට යනව නම් හොදයි... වෛරී සිතුවිලිවලින් තොරව මේ දේවල් දකින්න පුළුවන් නම් අනාගතය ගැන යහපත් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් වේවි....

      Delete
  24. මේ වගේ අත්දෑකීම් අපිට නෑ....ඒ අතං අපි වාසනාවන්තයි.තාත්තට ඒ වෙලාවෙ දැනුනු හැගීම් ගැන කියන්න වචන නැතිව ඇති.ලස්සන කෙටි කතාවක් විදියට ලිව්වනම් තවත් හැඩයි

    ReplyDelete
    Replies
    1. ම්... කෙටිකතාවක් ලියන්න ඕන...

      Delete
  25. මම මගේ අදහස පළකරන්න අන්තමටම වගේ එන්නෙ. 87,88,89 අපිට දැනුම් තේරුම් ඇති වයසෙදි අහන්න දකින්න ලැබුණ සත්‍ය සිදුවීම් තමයි මේව අපි කවුරුත් අමාරුවෙන් මුහුණ දුන් යුගයක්.

    මම තඹුත්තේගම හිටියෙ. ඔය කාලෙ හතරවටින් භිෂනය වෙලගත් අවදිය අපේ පාසල් කාලෙ .ඒ යුගය වෙනවටි අපේ පවුල්වල හැම පක්ෂෙකමට දායකවෙච්ච අය හිටියා අප්පච්චි සහ අප්පච්චිගෙ සොහොයුරන්. ඒනිසා සමාජයේ සිදුවෙන්නෙ කුමක්ද යන්න ගැන වැටහිමක් තිබුණා. ඒනිසා තරමක් දුෂ්කර වූ කාලයක් තැන්තැන්වල ලගිමින් ගෙවන්න සිදුවුනේ අප්පච්චිට පිරිමි පුතුන් තුන්දෙනා (මමත් එක්ක) කරදඬු උස්මහත් වෙන කාලෙ නිසා.

    එය කාලෙත් කියවන්න ලියන්න පුදුම ආසාවක් තිබුනේ ලෙනින් කාල්මාක්ස් රැසියානු සාහිත්‍ය, එංගල්ස් සියලුම ප්‍රගති ප්‍රකාශන පොත් රාක්ක ගනන් දවසට දෙකට ගිනිබත් වුණා ඒ සියල්ල සිදුවුනේ අපිව රැකගන්න.

    ඒත් ඒ ඉතිහාසයට වෛර කරන්නෙ නැහැ. සතුටින් අපහු හැරිල ඒදිහා බලනව. මගෙත් එක්කම එකම පාසලේ මටවඩා පන්ති දෙකක් ඉහලින් අනුරකුමාර දිසානායක එකම පාසලේ ඉගනගත්ත අද පක්ෂ නායකයෙක් විදිහට ඉතිහාසයේ වැරදුන තැන් පිලිගෙන නියම නායකත්වයකට පණ පොවන ගමෙන් ආ සුන්දර මිනිසෙක් දකින විට සතුටක් ඇතිවෙනවා.

    වැරදුන හැම එකක්ම නිවැරදි කරගෙන යන්න හැකිනම් අනාගතය සුබ වේවි. මට හිතෙන්නෙ එහෙමයි

    ReplyDelete
  26. ෂාහ් මේ ලිපිය දැක්කේ නැහැ. ඇත්ත අත් දැකීමක් නම් කතා කරන්න වටිනවා. ඒ දවස් වල මම හිටියේ සෝවියට් දේශයේ. මේක නරෝද්නික් වාදයක් එහෙම නැත්නම් මිනිසුන් මැරීමක් තුලින් විප්ලවයක් කල නොහැකි බවක් කිව්වම මගේ ජවිපෙ යාලුවෝ මට බැනපු එකයි කලේ. ඇත්තටම මට හිතෙනවා විජේවීර මහත්මයට වැරදුන ආකාරය දක්වල ලිපි පෙළක් ලියන්න. සමාජවාදය ඔය විධිහට හදන්න පුලුවන්නම් ලෝකේ එහෙනම් සමාජවාදී වෙලා මෙලහට.
    http://nelumyaya.com/?p=3498

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...