Tuesday, June 17, 2014

අපේ දරුවන්ගෙ හෙට දවස


‘‘ලොකු මම්මයි, පොඩි මම්මයි පුංචි කාලෙ මෙහෙ ඉඳන් දැන් ලොකු අම්මලගෙ ගේ තියෙන තැනටම පයින් යනවා..”
මං එහෙම කිව්වෙ චූටි දෝණිට ( චූටි මිමීට....) පුංචි කපටිකමකුත් හිතේ තියාගෙන තමයි එහෙම කිව්වෙ... මේ විසිඅට වෙනිදට දෝණිට අවුරුදු හතර සම්පූර්ණ වෙනවා.. දැන් වඩන් යන්න බැහැ බරයි. ටිකකින් අත් දෙක රිදෙන්න ගන්නවා.... මගේ ගෙදර ඉඳල එයාලගෙ ගෙදරට හැතැප්ම බාගයක් විතර තියෙනවා. ඒ දුර ටිකක් පයින් ඇවිදවන්න ඕනැවටයි මං එහෙම කිව්වෙ. 
හැබැයි ඒ කතාව බොරුවක් නෙවෙයි. මමයි, ලොකු නංගියි අවුරුදු හතර පිරෙන්නත් කළින් මේ දුර පයින් ඇවිදල තියෙනවා... එක වගේ මහපු ලස්සන ගවුම් පොඩි ඇඳගෙන. හැමෝම හිතුවෙ නිවුන්නු කියල. ඒත් අපි අතර අවුරුද්දක පරතරේ තිබුණා....
චූටි දෝණිගෙ චූටි අතින් අල්ලගෙන හෙමින් හෙමින් ගුරු පාර දිගේ ඇවිදගෙන යද්දි හිතට අමුතුම සතුටක් දැනෙනවා.. 
ක පොත් දාහක් කියෙව්වත් ලබන්න බැරි, මෙන්න මෙහෙමයි කියල විස්තර කරන්නත් බැරි නිස්කලංක සතුටක්...
චූටි නංගි සෙනසුරාදා උදේ වරුවක් වැඩ නිසා මම සෙනසුරාදා උදේ ගෙදර යන්නෙම දෝණිව බාර ගන්න බලාගෙන... සෙනසුරාදා උදේ වරුවට මමනෙ දෝණිගෙ අම්මා. මම එහෙමයි එයාට කියල දීල තියෙන්නෙ. ‘‘අම්ම නැති වෙලාවට ඔයාගෙ අම්ම තමයි මම්මා...”
‘‘අම්ම නැති වෙලාවට කවුද මගේ අම්මා...  වෙලාවකට දෝණිම ප්‍රශ්නෙ අහල දෝණිම උත්තර දෙනවා.. ‘‘අම්ම නැති වෙලාවට ඔයා තමයි මගේ අම්මා..”
ළ.ක්‍රි.වී.ය ත් එක්ක බැඳිල, ළමයි වෙනුවෙන් රට වටේ වැඩ කර කර ඇවිදපු මාව, හැම සති අන්තයකම ගෙදරට අද්දපු ආදරයේ රැහැන වුණේ  චූටි දුව... සංසාරෙ කවදා හරි දවසක එයා මගේම දරුවෙක් වෙලා ඉන්න ඇති.. ඒ තරම්ම පුදුමාකාර බැඳීමක් අපි අතර තියෙන්නෙ...
ඉතින් ලොකු මම්මයි, පොඩි මම්මයි චූටි කාලෙ ඇවිදගෙන ගිය පාරෙ චූටි දෝණි ඇවිදගෙන ආවෙ සතුටින්..
‘‘ගස්කොලන්, මල් දිහා බල බල, කුරුල්ලන්ගෙ සින්දු අහ අහා, හුළඟ වැදි වැදී පයින් ඇවිදින එක ගොඩක් හොඳයි..මං දෝණිට කිව්වා.
‘‘ඉතින් කුරුල්ලො සින්දු කියන්නෙ නෑනෙ.. එයා මට කියනවා. පණ්ඩිත ආච්චියෙක්.
‘‘ඔය ඇහෙන්නෙ කුරුල්ලන්ගෙ සින්දු තමයි... එයාල සින්දු කියන්නෙ එහෙමයි..මං එයාට කුරුලු කිචි බිචිය අහන්න ඉඩ දුන්නා...
අපි දෙන්න ඇවිදගෙන එනවා... ඔන්න කහපාට මල් පුරෝගත්තු කනේරු ගහක්.. ගෙඩිත් පිරිලා..
‘‘මම්මෙ අර ගෙඩි කඩල දෙන්න..දෝණි කිව්වා.
‘‘ඒ ගෙඩි කන්නෙ නෑ.. වස... කෑවොත් මැරෙනවා..මං දෝණිට කිව්වා.
‘‘මං දැන් ලොකුයිනෙ... ඒ හින්දා කන්නෙ නෑ.. බලනවා විතරයි.දෝණි මට කිව්වා.
ඉතින් මං ගෙඩියක් කඩල අතට දුන්නා... එයා කනේරු ගෙඩිය කරකව කරකව බැලුවා.. මං එයාට කනේරු මලක් කඩල දීලා ඒක උරල පැණි බොන හැටි කියල දුන්නා. අපිත් පුංචි කාලෙ කනේරු ගස් හොය හොය මල් කැඩුවනෙ ඒ පැණි බින්දුවට තියෙන පෙරේතකමට...
‘‘මී මැස්සො, සමනල්ලු ඇවිත් මේ පැණි බොනව.. අපි එයාලටත් මල් ඉතුරු කරන්න ඕන.. ඔක්කොම මල් කඩන්න හොඳ නැහැ...මං දෝණිට කිව්වා. එයා මල් දෙකකින් සෑහීමකට පත් වුණා.
‘‘චූටි බින්දුවයි නේ තියෙන්නෙ... රසා......යි..” දෝණි ඇස් නටව නටව කිව්වා... දඟ මල්ලක් වගේම කෝලම් මල්ලක්..
ඉතින් අපි දෙන්න හෙමිහිට ඇවිදගෙන ආවා.. අතරින් පතර මං එයාව වඩා ගත්තා.
ඒත් දෝණි වැඩියෙන්ම කැමති වුණේ පයින් ඇවිදගෙන යන්න....
..................................
අපි දරුවන්ට කොයි තරම් ආදරේද? අපේ දරුවන්ගෙ ජීවිත ලස්සන වෙනව දකින්න, අර්ථවත් වෙනව දකින්න, බියෙන් සැකෙන් තොර සාමකාමී සමාජයක් එයාලට අයිති වෙනව දකින්න අපි කොයි තරම් ආස කරනවද?
ඒත් මේ මොහොතෙ අපේ නොවන අපේ මව්බිමේ ඇවිලෙන ජාතිවාදී ගිනිදැල් අපේ හිත් දවාලන මහා ගින්නක් වේවිද කියන බය මට තියෙනවා.. ඉතිහාසයේ සිදු වූ වැරදි ආයෙම ආයෙම සිදුවෙන්නෙ අපේ අනුවණකම්, ආත්මාර්ථකාමීකම්, උඩඟුකම්, තණ්හාවන් නිසා නෙවිද?
අද මේ විනාශ වෙන්නෙ, විනාශ වෙලා යනතුරු අපි නිහඬවම බලා ඉන්නෙ අපේ දරුවන්ගෙ හෙට දවස...
මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙළ ගැහෙමු. සියලුම වාදභේදයන්ට එරෙහි වෙමු.



මට මුස්ලිම් යාළුවො ඉන්නෙ හරිම සීමිතව... මෑතක අඳුනා ගත් කිහිපදෙනෙක් විතරයි. ඊයෙ දවසෙ මම ඒ හැමෝටම කතා කළා. පණිවිඩ යැව්වා... මගේ සංවේගය බෙදා ගන්න අතරම අපි සාමකාමීව මේ ජාතිවාදී උන්මන්තකයින්ට එරෙහි වෙන්නෙ කොහොමද කතාබහ කළා. ඒ එක මිතුරියක් ලියා එවූ මේ සටහන ඇස්වලට කඳුළු ගෙනාවා.
‘‘මට බය මාත් එක්ක හිතවත්ව උන්නු යාළුවොත් වෙනස් වෙයිද කියල. ඒත් ඔයා මෙහෙම කියද්දි හිතට ලොකු හයියක් දැනෙනව තරූ. පින් ඔයාට..”

26 comments:

  1. මගේ මුස්ලිම් යාලුවෙක්ට මම ඊයේ කිවේ මේ රට අපේ වගේම උඹලාගේත් රට කියලායි.
    කොහොමත් අපි ඉතිහාසේ කරපු වැරදි වලින් පාඩම් ඉගෙන ගන්න කැමති ජාතියක් නෙමේයිනේ තරු අක්කේ.එක නිසා ජාතිවාදී ගිනිදැල් ගැන තරු අක්කාට තියෙන බය සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. 83 වුණ දේ ගැන මට තේරුමක් නෑ.. ඒත් එයින් පස්සෙ මුළු රටම මුහුණ දුන්නු ව්‍යසන ගැන අපි දන්නවනේ.... ආයෙමත් එහෙම තත්ත්වයක් ඇති වෙනව නම් ඒක වළක්වන්න අපි හැමෝම මුල් වෙන්න ඕනනෙ...

      Delete
  2. තරු ඔයාලා මේවා ලියන්න ලියන්න එක්කෙනෙක් දෙන්නෙක් හරි ආදරය ගැන වචනයක් හැරි වැඩියෙන් කතා කරයිනේ ඒක තමයි මෙවෙලේ වෙන්න ඕනේ.

    තරු මේ බ්ලොග් ලෝකයේ හෝ ලංකාවේ මාව දැකපු හැමෝම දන්නවා රියාස්.(බොහොම ස්තුතියි රියාස්)මම ලංකාවට ආවම මාව බලාගන්න ඉටුදේවතාව තමයි රියාස්. මගේ යාළුවන්ගේ ගෙවල් වල වෙසක් කූඩු හදන්න පන්සල් වල මාළු ටැංකි හදන්න, දන්සල් වල කෑම උයන්න, වෙසක් බලන්න, රෑ එකට දෙක වෙනසකම් අපේ යාළුවන්ගේ තොරන් ගහන්න,පාන්දර දෙකට තුනට නැගිටලා සිල්ගත් මිනිසුන්ට උදේ පාන්දර කෑම ගෙනිහින් දෙන්න වගේ රියාස්ට කිසිසේත්ම සම්බන්ද නැති දේවල් රියාස් මගේ යාළුවන්ගේ ගෙවල් වල පන්සල් වල කලා. ඒ රියාස්ට මම කවදාවත් කියලා නෙමෙයි. රියාස්ගේ වැටුපට එහෙම කලයි නොකලයි කියලා කිසිම වෙනසක් නෑ.
    මට සිංහල රියදුරෝ විතරක් නෙමෙයි කතෝලික රියදුරොත් ඉඳලා තියෙනවා. කවදාවත් රියාස් තරම් මනුස්සකමින්, කැපවීමෙන් කිසි දෙයක් කලේනෑ. පුළුවන් හැමවෙලේම මගෙ හොඳකම භාවිතා කරන්න තමයි උත්සාහ කලේ. ඒත් රියාස් මට මගේ යාළුවන්ට මගේ ගෙදර මිනිසුන්ට හැමදාම එකම විදියයි. මගේ යාළුවෝ,අපේ අක්කලා, මගේ පොඩි එවුන් පවා රියාස් දැක්කේ නැත්නම් මූණ එල්ලගන්නවා. රියාස් එක්ක මම රියාස්ගේ ආගම ගැන කතා කරාමත් රියාස් මට කියපු දේ ආගම් ජාති නැතිව එයාට නිදහස්ව හිතන්න පුරුදු කරාට ස්තූතියි කියලා. රාමසාන් දවසෙත් මට ගෙදර යන්න ඕන වුනාම කැමැත්තෙන්ම මගේ ගමේ ගෙදර දවස් දෙකේ තුනේ ගමන් ගිය කෙනෙක්.
    ඒ මිනිස්සු ජාති වාදියිද? මට තේරෙන්නෙ නෑ. ඒත් කාගෙවත් පව් වලට අපිට ඒ මිනිස්සුන්ට ගල් ගහන්න පුළුවන්ද?

    ඊගාවට අපේ අක්කගේ සර්. එයා හින්දා අපිට ලැබුන දේවල් ගැන කියන්න ඕනෙ නෑ. අද මගේ සහෝදරිය ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක් වෙන්නේ, ඇයගේ ස්වාමියා ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්නේ ඒත් මුස්ලිම් මනුස්සයෙක් හින්දා. ඉස්සර මම ලංකාවට ආවම මට අපේ අක්කාවත් තනියම වාහනයක් නොදෙන කාලේ එයාගේ පෙජරෝ එක මට ඕනෙ තැනක රවුම් ගහන්න දෙන්නේ. මට ක්ලබ් යන්නද මම කැමති කෑම කන්න ඕනේ කොහෙන්ද මට හිතන්නවත් උවමනාවක් තිබුනේ නෑ. ඒමියි මායි කීවම එයාගේ නොවන එයාගේ දරුවෝ කියලා එයාෆෝට් එකේ ඉඳන්ම අපි වෙනුවෙන් වාහන, අපාර්ට්මන්ට් , ටුවර්ස් දුන්නේ. ඒ කාලේ මේ දැන් වගෙ ආපි රස්සා කරලා සල්ලි තියෙන කාල නෙමෙයි. මම ස්ටුඩන්ට් කෙනෙක්. කොටින්ම එයාගෙම ළමයිනුත් මට හිනාවෙනවා උඹලාම එන්න ඕනේ අපේ ඩැඩාගෙන් ඔහොම චාන්ස් එකක් ගන්න කියලා. මේ කියන ඔෆීස් කම්ප්ලෙක්ස් එකේ හැමෝම හිතන් හිටියේ මම අපේ අක්කගේ නංගි කියලා නෙමෙයි එයාගේ ළඟම නෑයෙක් කියලා. මම එයාගේ ඩිරෙක්ටර් කෙනෙක්ගේ නංගී කියමු. අපේ අක්කගේ සර්වන්ට් සුනාමි එද්දි මාතර කෙනෙක්. එයාගේ පවුලේ කිහිප දෙනෙක් කරදරයට පත්වුනා. එවෙලේ අපේ අක්කවත් නෙමෙයි ගියේ ඩූල්. සල්ලි ඔක්කොම වියදම් කලේ එයා. අන්තිමට අක්කයි අයියයි එක්ක එකතුවෙලා ගෙයකුත් හදලා දුන්නා. කොටින්ම ඒ මගේ පොඩි කාලේ ඉඳන් ඉන්න වීරවරයෙක්. හැබැයි මුස්ලිම්.
    ඉඳලා හිටලා අදටත් අපේ අක්කට කෝල් කරලා මම ගැන විස්තර ලබා ගන්න බැරි වුනාම මට කෝල් කරලා මාව හොයන මනුස්සකම ආඹ්හරණයක් කරගත්ත මනුස්සයෙක්.

    ඊගාව මට සනීපම පුද්ගලයා මලීකා. මලීකාඇයත් මුස්ලිම්. ඇය මගේ ක්ලයන් කෙනෙක් මුලින්ම. ඒත් එයා මට කියන්නේ මම එයාගේ ගෝල්ඩන් ඒන්ජල් කියලා. දවස් දහයක් විතර ගියාම මට කෝල් කරලා බලනවා. මම උත්තර නොදුන්නොත් මගේ යාළුවන්ට කෝල් කරලා මම හොඳින්ද කියලා බලනවා. ලංකාවට ආවම මම කන්න ආස හැම කෑමම හදල දෙනවා. කකුල කැඩිලා ඉන්දෙදි කෑම අරගෙන වෙනම ආවා. මේ අර රාමසාන් දවස් වල. ඒ අයගේ ගෙවල් වල දවල් කෑම හදන වෙලාවකත් නෙමෙයි. මගේ යාළුවෝ ඒ ගෙවල් වල ගියාමත් එහෙමයි. එයා මෙහේ ආවමත් මාත් එක්ක කෑමට යන්න මම කරන ඕනෙ පිස්සු වැඩක් දරාගෙන අල්ලාට ස්තුතිවන්ත වෙන්න මට ඔයා වගේ නීස් කෙනෙක් දුන්නට කියන කෙනෙක්. මේ කියන්නේ අවුරුදු අසූවක කාන්තාවක්. එයාගේ අක්කා අවුරුදු 84ක කාන්තාවක්. ඇයත් එමමයි. මගේ අසනීපය ගැන මටත් වඩා වොරි වෙන්නේ එයාලා දෙන්නා. හැමදාම මාව පොඩි එකෙක් වගේ ගිෆ්ට් අරන් දෙන මිනිස්සු. පොල් චොකලට් අරන් දීලා ගියේ ගිය මාසේ. එයාගේ වත්තේ ගහේ අඹ බිම වැටෙනකොටත් රංගි හිටියා නම් කියලා මගෙ යාළුවන්ටත් කෝල් කරල කියන මිනිස්සු.
    මේ ඔක්කොම ආදරය නොදී ආදරය ලබා ගන්න බෑ කියන්න. අපි ඉස්සෙල්ලම අනෙකාට ආදරය දෙන්න ඕනේ. (සිංහල මිනිස්සු වගේ කරදරයක් වෙන්නේ නෑ උදව් කරන්න ගියා වුනත්) මේ කොහේවත් ඉන්න තිරිසන් සත්තු වගේ මිනිස්සු වෙනුවෙන් අපි මේ වගෙ මිනිසුන්ටද මේ හිරිහැර කරන්නේ?
    මට තේරෙන්නේ නෑ තරු. මම තවම රියාස්ටවත්, මලීකාවත්, දේවිටවත්, මිස්ටර් ඩූල්ටවත් කතා කරලා සමාව ඉල්ලුවේ නෑ. ඔයා වගේ නෙමෙයි එහෙම කරන්නවත් බැරි තරමට මම අඩපණ වෙලා.

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලීම, මේ මොහොතෙ අපි ඔයාලව තනි කරන්නෙ නෑ කියන පණිවිඩයත් දෙනවා රංගි.. ඒ නිසා කතා කරන්න... අඩුම තරමෙ එයාලගෙ හිතට සැහැල්ලුවක් දැනෙනවා..

      මගේ මුස්ලිම් යාලුවො හැමෝම වගේ කිව්වෙ බහුතර සිංහල අය අන්තවාදී නොවන බව එයාල දන්නව කියල.. තමන්ගේ හිතේ දුක, බය, සැක සංකාවන් බෙදා ගන්න ලැබෙන එක සැනසීමක්...... අඩුම තරමෙ මනුස්සකම බිඳ ගන්නෙ නැතිව මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න එයාලට ශක්තියක් වේවි...

      Delete
  3. පින්තූරේ ඉන්නේ හරිම හුරතල් පැටික්කියක්. ඔයාගේ ජීවිත කතාවේ කොටස් හරිම අපූරුයි. මම ඒවා කියවන්නේ ආසාවෙන්.

    ඔය ජාතිවාදී, ආගම්වාදී ප්‍රශ්නවලදි කතා කරන්ටවත් හිතෙන්නේ නැත්තේ, කට වහගෙන, මුකුත් නොකර, රට විනාසවෙන්ට ඉඩදීලා බලා ඉන්න හැම ජාතියකම මිනිස්සු හන්දා. හැමෝම එකතුවෙලා අපි 'ලාංකිකයන්' වෙන්ට කාලේ හරි.

    ReplyDelete
    Replies
    1. අනේ මට තෙරෙන්නේ නැත්තේ මේක තමයි.
      මේ ප්‍රශ්නය ගැන මම මගේ මුස්ලිම් යාලුවා එක්ක කතා කලා කියලා හැමෝම හැදුවේ මගේ කට නවත්තන්න.
      මම කිවේ හැම ආගමකම අන්ත්වාදය හරිම බයානකයි.කොයි ආගම උනත් ඉසෙල්ලා අනික් අයගේ නිදහසට ගරු කරන්න ඔනේ කියලා.
      තලේයිබාන් බවුද්ධයොයි ,තලේයිබාන් මුස්ලිමුයි දෙකම නැතිවෙවා කියලයි මගේ පැතුම.
      එත් උගත් බුද්දිමත් මගේ මිත්‍රයින් කට වහගෙන හිටපන් යකෝ ඔවා යලුවො අතරේ කතා වෙන්නේ නෑ කිවම..
      මට තෙරෙන්නේ නෑ මම හරිද වැරදිද කියලාවත්.

      Delete
    2. පින්තූරෙ ඉන්නෙ මගේ චූටි නංගිගෙ දුව පොඩ්ඩි... මගේ රෝස මල.. මං එයා ගැන මීට කළිනුත් ලියල ඇති... එයා ගැන ලියන්න නම් කප්පරක් කතා තියෙනවා මේ අවුරුදු හතරට.... ගොඩක්ම මං මේව ලියන්නෙ එයා ලොකු වුණාම කියවන්නත් එක්ක....

      බෝ පැලේ.....

      හැමෝටම සිසිල දෙන බෝ පැලයක් වගේ අපි අනිත් අයගෙ හිත් සුවපත් කරන්න නම් කතා කරන්න ඕන නංගි..... කතා කරන්න ඕන කාටවත් බනින්න, දොස් කියන්න නෙවි... ජීවත් විය යුතු වඩා යහපත්ම විදිය මොකක්ද කියන එක ගැන, අපි අනිත් අය එක්ක ආදරෙන් ඉන්නෙ කොහොමද කියන එක ගැන අපි අපි අතරම සංවාදයක් ගොඩ නැගෙන විදියටයි...

      අපි හැමෝම මනුස්සයො කියන එක තේරුම් ගත්ත නම් ඇති... ජාතිය, ආගම,

      Delete
  4. ආදරය කරන්න ජාතියක් හුරු කලාම මිනිස්සු එකමුතුවෙනවා, එකමුතු වුනාම මිනිස්සු වංචාවට ප්‍රෝඩාවට එරෙහිව නැගී සිටිනවා, එක වලක්වන්න් තිය්යෙන සරලම උපක්‍රමය තමා ජාතිවාදය ඇවිලීම.

    ReplyDelete
    Replies
    1. අපි ආදරය කරන්නු හුරු වෙමු.. හුරු කරවමු...

      Delete
  5. අපි වචනයෙන් විතරක් කරන්න හදන දේවල් තරූ ක්‍රියාවෙන්ම කරනවා....

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවෙ ආදරණීය වචනයකට වුණත් කළ හැකි දේ බොහොමයි තිසර..

      Delete
  6. අපේ උන්ට මංඥං ඒකයි....
    යුද්ධෙ තියන කාලෙ රහ කර කර බැලුව... ලේ රහට ඉව අල්ලන් තළු මැරුව...
    දැන් ආයෙත් ඒ ලේ රහට ඉව අල්ලනව...
    ලොකෙන් උතුම් රට කීවට තියෙන්නෙ ගෝත්‍රික මානසිකත්වයක්

    ReplyDelete
    Replies
    1. අපි ඒ ගෝත්‍රික මානසිකත්වයෙන් මිදෙමු මහේෂ්... මිදෙන්න උත්සාහ කරමු...

      Delete
  7. විය යුත්තේ මෙයයි... නොවන්නේද මෙයයි..

    චීවරය... චී.... චී.....

    ReplyDelete
    Replies
    1. බුදු දහම අවබෝධ කර ගත්, සැබෑ බෞද්ධයන්... සැබෑ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉදිරියට ආ යුතු වෙලාව මේ.. තවත් නිහඬව ඉන්නවා කියන්නෙ මහා ව්‍යසනයනට පාර හැදෙන්න ඉඩ දෙනව කියන එකයි....

      මාතලන් අයියගෙ ලිපියත් මං බැලුවා... ඒ විදියෙ මැදිහත් දැක්මක් වගේම ක්‍රියාත්මක වීමකුත් අවශ්‍යයි අද..

      Delete
  8. ජාතිවාදය ඇති නොවේවා. දනන් තුළ ආදරය ඇතිවේවා.

    ReplyDelete
    Replies
    1. ඒ එසේම වේවා නලින් අයියේ...

      Delete
  9. හැමදෙම මැදි පිලිවෙත හොදයි ,අපිට අතීතය මතක සති දෙකයිලු නේ

    ReplyDelete
    Replies
    1. අතීතයෙන් ඉගෙන ගත යුතු පාඩම් අමතක කරන එක තමයි ගැටලුව....

      Delete
  10. ලිපිය හරිම වැදගත් තරූ....

    අනික් දේවල් කෙසේ වෙතත් මේ වෙලාවේ රටේ ඇතිවෙමින් තියෙන ජාතිවාදී ප්‍රවණතාවයට අපි එකහෙළා විරුද්ධ විය යුතු අතර ම ඒ වෙනුවෙන් අපිට හැකි හැම දෙයක් ම කරමු. ඒ වෙනුවෙන් වූ ඔබේ මේ රචනාවට අපේ ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. අතීතයෙන් පාඩම් ඉගෙන ගත් සුළු පිරිසක් හරි මේ රටේ ඉන්න එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්......

      Delete
  11. තරුගෙ සොයුරියගෙ සුරතල් පුංචි දෝණි වගේ අපේ රටේ ළමා පරපුරට ලස්සන, සාමකාමි, නිදහස්,රටකට පසුබිමක් හදලා තියන එක අපි හැමෝගෙම යුතුකම නේද තරු.?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම.. ඒ වගකීම අපි හැමෝටම තියෙනවා..

      Delete
  12. ඕක අක්කේ ඉතින් ජාතිවාදය අවුස්සන මිනිස්සු කීප දෙනෙක්ගේ වැඩක්.. ම්ම හිතන්නේ නෑ අපේ අයට ආයි ජාතිවාදයක් ඕන කියලා.. කලින් සිද්ද වුන දේවල් වල හැටියට.. ඒත් මේ හැම එකක්ම අස්සේ දේශපාලන පටු අරමුණුත් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි....

      Delete
  13. අද තියෙන තත්වයට මේ ලිපිය හරිම වැදගත්.අපි හැමෝම මිනිස්සු.ධනය බලය වෙනුවෙන් කෑදර කමක් හදාගත්තු ආත්මාර්ථකාමී නපුරු මිනිස්සු ටිකක් ජාතිවාදයක් ඉස්සරයට දාගෙන මේ රට වනසන්න දගලන වෙලාවක ‍අපි හැමෝම අපි වෙනුවෙන් අපේම රටේ අනෙක් ජාතීන් වල මිනිසුන් වෙනුවෙන් එකමුතු විය යුතුයි.
    අදයි මේ පැත්තට ආවේ.දිගටම එනව.
    චූටි දෝණි හරිම හුරතල් ......
    http://wehilihini.blogspot.com/

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...