Thursday, June 5, 2014

හිතේ නැවතුණු කතාවක්...



By Sathish Welan
‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හමුදාකරණය සහ අපේ අනාගතය කියල චන්ද්‍රපාල කුමාරගේ නීතිඥ මහත්මයගෙ කතාවක් අහන්න ලැබුණා මෑතකදි. ඒ කතාවෙදි කියවුණේ ලංකාවේ හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ ආරම්භය ගැන.. ක්‍රියාකාරිත්වය ගැන.. එහි වර්තමාන තත්වය ගැන.... පොදු ජනතාවගෙ ඇස්වලට වැලි ගහල සම්මත කර ගන්න පණතක් විදියට තමයි ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත හැඳින්නුවෙ... ‘බොහෝ අවස්ථාවල එය ක්‍රියාත්මක වෙන්නෙ මානව හිමිකම් උල්ලංඝනය වෙන අමානුෂික මුහුණුවරකින්.. ලංකාවෙ නීතිය වල්වැදීමේ තවත් දරුණු පැතිකඩක් මේ.... අපි එයට එරෙහි විය යුතුයි.. ඒ තමයි කතාවෙ සාරාංශය...

මේ කතාව යන අතරෙ මට මතක් වුණේ මෑතක කියවපු නවකතාවක්.. එය ඉන්දීය නවකතාවක පරිවර්තනයක්.


 


සුපුරුදු විදියට පොත අතට අරන් කවරය බලල පසුකවරයට ඇස් දිව්වා.

‘‘... රොහින්ටන් මිස්ට්‍රිගේ A fine Balance කෘතිය පාඨක අවධානයට යොමු වූ, ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වූ මහඟු කෘතියකි. 1970 මැදභාගයේ ඉන්දියාවේ පැවති දේශපාලනික, සමාජික තත්ත්වය මේ නවකතාවෙන් පිළිබිඹු වේ.

දේශපාලන කැළඹීම නිසා ඉන්දියානු රජය හදිසි නීතිය පනවයි. අසමාන ගතිපැවතුම් හා අසමාන සමාජ තත්වයන් ඇති පුද්ගලයෝ හතරදෙනෙක් එකම නිවසක එක්ව ජීවත් වෙති. ඔවුන්ගේ ප්‍රාර්ථනා, සුන් වූ බලාපොරොත්තු, ඔවුන්ගේ ඉරණම, සිදුවීම් මේ සියල්ල නොසිතූ අයුරින් එක්ව බැඳෙන්නේ කිසිවකුට නොකිව හැකි පරිද්දෙනි. මිස්ට්‍රිගේ කතාව ජීවමානය. අමතක කළ නොහැකි චරිතයක් ඔහු මවා දක්වයි. දයාව, හාස්‍යය හා ප්‍රතිවේදය ගැබ්ව ලියැවුණු මෙම නවකතාව හොඳින් නිර්මාණය වී ඇත. එය අපේ යුගයේ සිටින ප්‍රතිභා ශක්තියෙන් පරිපූර්ණ නවකතාකරුවෙකුගේ බලවත් නිර්මාණයකි.”

ඉන්පස්සෙ ඉතින් පොතේ පළමු පිටුවේ ඉඳන් ඉදිරියට.... එහෙම යද්දි තමයි මේ කොටස මුණගැහුණෙ..

‘‘ මේ පොත අතට ගෙන සැප පුටුවක හිඳින ඔබ පොත කියවා ඇතැම් විට සතුටක් විඳිය හැකියැයි ඔබ සිතනු ඇත. කතාවේ අවාසනාවන්ත සිදුවීම් කියවූ පසු ද ඔබ හොඳින් ආහාර ගනියි. ආශාවන් හා එයින් පලායාම පිළිබඳව අතිශයෝක්තියෙන් වර්ණනා කර ඇතැයි ඔබගේ අසංවේදී බව නිසා ඔබ කතුවරයාට චෝදනා කරයි. එහෙත් මේ ශෝකාන්තය කල්පිතයක් නොවේ. සත්‍යයකි.

-          Honor de Balzac, Le Pere Goriot -

ඉතින් කතාව කියවගෙන යද්දි මේ කල්පිතයත් නොවේ සත්‍යයක්ය කියන කාරණය හරියට හිතට වධ දුන්නා, සමාජය මේ තරම්ම දුෂ්ට ද කියල හිතෙද්දි දැඩි කම්පනයකුත්, මිනිස්සුන්ට මේ තරම්ම දුක් විඳින්න පුළුවන්ද කියල හිතෙද්දි අප්‍රමාණ කණගාටුවකුත් දැණුනා....
ඒත් ඒ තරම්ම දුක්කන්දරාවක් දරාගෙනත් හිනාවෙන් ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු ඉන්නව නේද කියල හිතෙද්දි මනුෂ්‍යත්වය ගැන මහා ආදරයකුත්, දයාවකුත් ඇති වෙන එක වළක්වන්නත් බැහැ...
 
මේ කතාවෙ ප්‍රධාන චරිත කිහිපයක්ම තියෙනවා. ඒ අතර වැඩියෙන්ම අපට මුණ ගැහෙන, හිත් කම්පනය කරවන, විටෙක හිනා ගස්වන, විටෙක කඳුළු පුරවන අපුරු යාලුවො තමයි දිනා දලාල්.. ඊශ්වර් දර්ජී.. ඕම්....මනෙක්..... අමතක නොවන හිතේ ඇඳුණු චරිත.... අසමාන ගති පැවතුම් ඇති එකම නිවසක ජීවත් වෙන හතර දෙනා තමයි මේ...
 
දිනා නව යෞවනයෙදිම පියා අහිමිව එකම සොහොයුරාගෙ අණසක යටතෙ හැදෙන වැඩෙන නිදහස් අදහස් තියෙන අපූරු කෙල්ලෙක්. ඇයට හමුවන සිහිනමය ප්‍රේමය  රස්ටම්. එක වහළක් යට කූඩු වුණත්  බොහෝ සුන්දර ප්‍රේම කතාවන් වගේම මේ ආදර බන්ධනය, විවාහ බන්ධනය කෙළවර වෙන්නෙත් අනපේක්ෂිත විදියට. හදිසි අනතුරක් නිසා සිදුවන රස්ටම්ගේ මරණයත් එක්ක.
 මහා නගරයක, මහල් නිවාසයක, කුලී ගෙදරක ඇය තනිවෙනවා. ඉන්පස්සෙ ජීවිතය ගැටගහගන්න දිනා දරන්නෙ අපමණ වෙහෙසක්.
ඇය ඇණවුම් භාර අරගෙන ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඇගේ ටේලර්ලා දෙන්න විදියට තමයි අපට ඊශ්වර් දර්ජී, ඕම් මුණ ගැහෙන්නෙ. මාමයි, බෑණයි.... කුල පීඩනය තදින්ම බලපැවැත්වෙන ඈත ගම්මානයකින් පැමිණෙන මේ දෙන්නා කොයි තරම් කටුක කඩඉම් පහු කරල තියෙනවද කියන එක අදහාගන්නත් බැරි තරම්. කුල ක්‍රමය මේ තරම්ම අමානුෂික විදියට මිනිසුන්ව පීඩාවට පත් කරනවද? ස්ව උත්සාහයෙන් දියුණු වුණ සාමාන්‍ය මනුස්සයෙක් වුණු ඕම්ගෙ තාත්තා නාරායන්ව බිලිගන්නෙත් කුල මාන්නයට එකතු වුණු දේශපාලන බලපුළුවන්කාරකම.. අවසානයේ ඕම් ලිංගික බෙලහීනයෙක් කරල, හිඟන්නෙක් බවට පත් කරන්නෙත් ඒ බලපරාක්‍රමයමයි....

දිනා ඇගේ කුලී නිවසින් එක් කාමරයක් කුලියට දෙනවා, ඇගේ පාසල් වියේ මිතුරියකගේ පුතෙකුට. ඒ තමයි මනෙක්.
සුන්දර කඳුකරයෙන් මහා නගරයට පිවිසිලා එකී නගරයේ ජීවන අරගලයන්ට මැදි වෙන මනෙක්... යටත් විජිත පාලනයේ ප්‍රතිඵලයක් විදියට බෙදී වෙන්වන සමාජයක පීඩාව හිසින් දරාගෙන ජීවත් වෙන මනෙක්ගේ මව්පියන්...  විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍ය අරගලවල ඉදිරියෙන් සිටින, ඒ නිසාම පොලිස් අත්අඩංගුවේදී මිය යන අවිනාශ්... මනෙක් හරහා අපට හමුවන පුද්ගලයින් කිහිප දෙනෙක්... 

අවිනාශ්ගේ මරණයත්, ඔහුගේ පවුලේ අය මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමත් දැන ගන්නා මනෙක් සිය දිවි නසාගන්නවා. ඒ තමන්ගෙ මිතුරා ගෙන ගිය ජීවන අරගලය තේරුම් නොගැනීමේ, යම් තරමකින්වත් එයට සහනයක්, සහායක් නොදීමේ පසුතැවිල්ල හිතේ දරාගෙන....

ඉතාම සුළු චරිතයක් වුණත් හිතේ ඇඳෙන විදියට නිර්මාණය කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. නිවාස කුලී එකතු කරන්න එන ඊබ්‍රහිම්ගෙ දුෂ්ටකමට හිතේ තරහක් ඇති වනු වෙනුවට ඒ දුෂ්ටකම පිටුපසින් තියෙන ඔහුගේ අසරණකම ගැන අනුකම්පාවක් ඇති වෙන්නෙ. ස්වභාවයෙන්ම දුෂ්ට වී අන්‍යයන් පෙළිමත්, අසරණකම නිසා අන්‍යයන් දුකට හෙලීමත් පැහැදිලිව හඳුනාගන්න හැකි තරමට කතුවරයා මනුෂ්‍යත්වය විනිවිද දකිනවා. එලෙසින් දකින්න අපේ හදවත මනස අවදි කරනවා...

දේශපාලන බල අරගල නිසා ඉන්දියානු රජය පනවන හදිසි නීතියෙන් මිනිසුන් කොයි තරම් පීඩාවට පත් වෙනවද කියන කාරණය මේ නවකතාව පුරාම විටින් විට මතුවෙනවා. දේශපාලන සටකපට කම්, රැවටිලි, නැළවිලි මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ මොන තරම් අමානුෂික විදියට ද? ඒත් මේ මිනිසුන් මනුෂ්‍යත්වයේ තෙතමනය නොසිඳගෙන ඒ සියල්ලට මුහුණ දෙන ආකාරය.. විටෙක හාස්‍යයක්, විටෙක වේදනාවක්, විටෙක දැඩි ආවේගයක් ජනිත කරන සුලුයි...
 
නගර අලංකරණය මුවාවෙන් දුප්පතුන් පිටු දකින විදිය, මුඩුක්කු පැල්පත් විනාශ කරන ආකාරය කියවෙද්දි මෑතභාගයේ ලාංකීය සමාජය මුහුණ දුන් එවැනි අත්දැකීම් සිහියට නැගෙන එක වළක්වන්න අමාරුයි.
කෘතියෙන් කියවෙන්නෙ හැත්තෑව දශකයේ ඉන්දියාවේ සමීප රූපයක් වුණාට, එය විසිඑක්වෙනි සියවසේ ලාංකීය සමාජයට කොයි තරම් දුරට සමාන වෙනවද කියල පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට දැනෙන්න ගන්නවා... ‘‘ඉන්දියාවෙ තරම්ම දරුණු තත්ත්වයක් ලංකාවෙ නැහැනෙ කියල ඕනම නම් හිත හදාගන්නත් පුළුවන්... ඒත් අපි මේ යන්නෙ ලෝකෙම ධනවත්තු වගේම අන්ත අසරණ දිළින්දොත් ඉන්න අසිරිමත් අනාගතයකටද කියල මට නම් හිතෙනවා.
 
ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල තත්ත්වය මීට වඩා වෙනසක් නැහැ. ධනවාදයට අත්වැල් අල්ලන දේශපාලනය දුප්පතුන්ගේ කුසගින්දර, හිත් ගින්දර නොසලකා හරිනතාක්කල් මෙවැනි ඛේදවාචක නිමක් නොවේවි...

පොත වැසු පසුත්... හිත කතාබහක... මං දන්නෙ නැහැ ඔබටත් එහෙම වේවිද?

දුකක්, කම්පනයක් එක්කම මනුස්සකම ගැන අපමණ දයාවකිනුත්, ජීවිතය ගැන උද්‍යෝගයකිනුත් හිත පිරිල යනවා....
 
Rohinton Mistry
 
Rohinton  Mistry – A Fine Balance
‘’සමබරතාවය’’
පරිවර්තනය - චිත්‍රා අයි පෙරේරා
ප්‍රකාශක - විදර්ශන
මිල - රු. 750.00

( පොතේ හිමිකරු ඉසුරු…. පොත ලබා දුන් බාසුරු…. සොයුරන්ට තුති. )

24 comments:

  1. //"‘‘ඉන්දියාවෙ තරම්ම දරුණු තත්ත්වයක් ලංකාවෙ නැහැනෙ” කියල ඕනම නම් හිත හදාගන්නත් පුළුවන්.."// එහෙම හිත හදාගෙන තමයි මේ ඉන්නේ , ස්තුතියි පොත කියවන්නම්

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ගොඩක් දෙනෙක් ඉන්නෙ එහෙම හිත හදාගෙන තමයි... තවම මට මොනවත් උණේ නැහැනෙ කියල...

      Delete
  2. හිනාව ලාභ නෑ... ඒත් කදුළු කියන්නෙ සිල්ලරයි...
    යුද්ධය නුවමනාවක්... සාමය ප්‍රෝඩාවක්...
    මරණය ලාභයි... ඒත් ජීවිතේ දුර්ලභයි...

    ඒ තමා යුද්ධෙ... කාටවත් කැමැත්තක් නැති ඒත් ලෝකාරම්භායෙ ඉදං තියෙන නොවෙනස් වෙනස් වීමක්...
    ඒක ඇතුලෙ ඉදං බලන එකයි එළියෙ ඉදං බලන එකයි වෙනස් තරු

    ReplyDelete
    Replies
    1. ‘‘හිනාව ලාභ නෑ... ඒත් කදුළු කියන්නෙ සිල්ලරයි...
      යුද්ධය නුවමනාවක්... සාමය ප්‍රෝඩාවක්...
      මරණය ලාභයි... ඒත් ජීවිතේ දුර්ලභයි...‘‘ ඇත්තම තමයි...

      මං හිතන්නෙ ඔයා යුද්දෙ අත්දැකීම්වලට කෙළින්ම මුහුණ දීල තියෙනවා... ඔබේ කතාවට එකඟ වෙන්න පුළුවන්...

      පොතේ කතා කරන්නෙ යුද්ධයක් ගැන නම් නෙවෙයි...

      Delete
  3. මේ පොත කයවලා නෑ හොයාගන කියවන්නම් ස්තුතියි සටහනට.

    ReplyDelete
    Replies
    1. කියවන්න.. දුක, සතුට, සිනා ඒකට ගලාෙගන යන ෙපාතක්..

      Delete
  4. විදර්ශන පුකාශන ගොඞක් හොදයි. මෙිකත් හොයාගෙන කියවන්න ඔිනේ.

    ReplyDelete
    Replies
    1. විදර්ශන පොත් ගුණාත්මක අතින් සැලකිය යුතු තැනක ඉන්නවා කියල මටත් හිතෙනවා.

      Delete
    2. එක ඇත්ත.ගොඩක් විදර්ශන පොත්වල ගන්න යමක් තියෙනවා තමයි.

      Delete
  5. ඉතින් දැන් මේ පොත මටත් කියවන්න හිතයි තරු අක්කාගේ විග්‍රහයට පස්සේ.

    ReplyDelete
    Replies
    1. මං කියන නිසාම නෙවෙයි... කියවල බලන්නකෝ.. ගාණ නම් සැරයි. හොයාගන්න බලන්න මල්ලි...

      Delete
  6. පොත හොයන්න කියලා බලධාරියා දැනුවත් කරන්න ඕන අක්කේ.. ;)

    ReplyDelete
    Replies
    1. මමත් බලධාරියාව මුණගැහෙන්න නියමිතයි... කෙල්ලට වැඩ වැඩි කරනව නේද ඔයා..

      Delete
  7. හොයාගෙන කියවන්න වටින පොතක් වගේ, විබාගෙන් පස්සේ කියවනවා.

    ReplyDelete
    Replies
    1. එක හුස්මට කියෙව්වා මම.... දුක්ඛදායක අත්දෑකීම් තිබුණ වුණත්, හාස්‍යයෙනුත් අඩුවක් නැහැ... ඒ වගේම කාරුණික හැගීමක් දැනෙනවා ඒ මිනිස්සු ගැන...

      Delete
  8. සමහර ඉන්දියානු නූතන යුගයේ පොත් කියවන කොට මොනවා වුනත් ලංකාව හොඳයි නේද කියලා හිතෙනවා!

    උදාහරණ-
    අරවින්ද් අඩිගා ගේ වයිට් ටයිගර්, බිට්වීන් ඇසසිනේෂන්ස්
    විකාෂ් ස්වරූප් ගේ Q&A

    මේ රචකයා ගැන අසා තිබුණත් කියවලා නෑ. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ... සමහර ඉන්දියානු පොත් කියවද්දි ලංකාවෙ අපි වාසනාවන්තයි කියල හිතෙනවා.

      අයිය කියපු එක පොතක්වත් මට කියවන්න ලැබිල නැහැ.

      Delete
    2. කකා කියන අරවින්ද් අඩිගාගේ පොත් දෙකම මම කියෙව්වා. කකා කියන කතාව හරි තමයි..ඒ පොත් හොයාගෙන කියවන්න.

      Delete
  9. Good one. Really want to read.

    ReplyDelete
  10. ඔබ කියද්දි මේ පොත මගේ ලඟත් තියෙනව නේද කියල මතක්වුනේ.

    ReplyDelete
  11. ලස්සණ පොතක් තරූ. හොයාගෙන කියවන්ට ඕනි. පොත් සාප්පුවකට යන්ට කාලේ හරි...:)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...