Friday, June 20, 2014

ඉතින් මං යන්නයි හදන්නෙ..


 
මා වැනි කවින්දා
එනු මැන ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසනු නොහැකිව
හද සොවින්දා......

උඳුපියලිය මලක් වුව නොතැලෙන සේ මම හුදකලා කුටිය අසලට යමි. කවුළු පියන්පත් වැසූ ලෙසින්ම ය. හද දොරගුළු ලා වසා ලූයේත් එපරිද්දෙන්ම ද? අසන්නට වුවමනා වුව අසනු නොහැකිය.
මුනිවත බිඳිනු නොරිසි ය.

සුවෙන් ද නොදනිමි. හිත පෙළන එකම පැනය එය ය.

සුපසන් අක්ෂර අරගලයක නම් කල්පයක් වුව ඉවසා වදාරනු හැකි ය. නමුත් කියා නොකියා සඟවන ගිලන් බවින් පීඩා විඳියි නම්...... ?

සඳ සැඟවීගෙන
මල් මැලවීගෙන
කුරුල්ලන් ශෝකෙන
කොහේ කොතැනද ඔබ
අසනු මෙන....

ජීවිතය බදා වැළඳ ගනු රිසියෙන්, ප්‍රේමය අත් හැරි යුගයක අහම්බෙන් හමු වූ ස්නේහයේ කවිය ඔබ ය. ප්‍රේමය සේම ජීවිතය ද අත් හැරී තිබූ බව එතෙක් මම නොදැන සිටියෙමි.

වසා ලු කවුළුව පාමුළ මැලවුණි මල් පියලි ය. දින කිහිපයක සිට මා තබා ගිය මල්... දුටුවේ වත් නැතිද? එහි සුවඳවත් දැණුනේ නැතිද...?

කවුළු පියන්පතකට කොපුල තබා මම සිතින් මුමුණමි.

 
‘‘ඉදින් වෙහෙස ද? අත් දෙකට.... ලියලාම.... වෙහෙසද හිතට හිතලාම...
ඩිංගක් විවේක ගන්න.. එන්නකො එළියට.. ඔයා ආවොත් හැමදේම වෙනස් වේවි...

කෝපි දෙකක් හදාගෙන පඩිය උඩ... එක ළඟ වාඩි වෙලා කතා නැතිව බලා ඉම්මු.... ඈත අනන්තය දිහා... ඔයාටවත් මටවත් ළං වෙන්න බැරි.... ඈත අනන්තය දිහා...

කෝපි සුවඳයි, උණුහුමයි එකතු වුණාම හිතේ සංකාවන් ඈතට පාවෙලා යාවි......

මම පොරොන්දු වෙනවා වචනයක්වත් කතා කරන්නෙ නැහැ.. ඔයා හිතන්න... ඔයාට කැමති දෙයක් ගැන... මම හිතන්නම්....... මම හිතන්නම්...  ඔයා ගැන....”

පිච්ච මල් පොකුරක
ඉහුනු පිණි බිඳුවක
දැවටුණු ස්නේහයක
සිහිල අකැපව
සැඟව ගියවෙද......

‘‘අර බලන්න.. අර සමන්පිච්ච වැල... මල් පිරිලා.... ඉස්සරම දවසක මම ඒ මල් පැලය ඉන්දුවෙ මෙතන.... මේ කුටිය ඉස්සරහ.... ඔයාව මතක් කරගෙනමයි... කවදහරි දවසක ඔයා ඇවිත් මේ කාමරේ ඉද්දි..... ලියද්දි..........  රෑ පුරා සුවඳ දිදී පාළු මකන්න කප්පරක් මල් පිපේවා කියල හිත හිත......

......... ඒත් අර එක තැනකින් අතු ඉති වේලෙන්න අරගෙන... ළා දළු පාට මැකීගෙන... මට බයයි පිච්ච වැල මැරේවි ද?

ඉතින් මං යන්නයි හදන්නෙ.....  එකම එක වතාවක් මේ කවුළුව අරින්න... යන්න කළින් මට මූණ ඩිංගක් දැකගන්න...   
 
 

15 comments:

  1. ඉතාම ලස්සනයි නිර්මාණය.

    ReplyDelete
  2. චම්පු කාව්යක් වගේ

    ReplyDelete
  3. මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ මේ මතකය විතරයි

    ReplyDelete
  4. සුවෙන් ද නොදනිමි. හිත පෙළන එකම පැනය එය ය.

    ReplyDelete
  5. මට හිරන්‍ය අයියාගේ කවියක් මතක් වුණා... :) 

    ReplyDelete
  6. එකම එක වතාවක්වත් ඔය කවුලුව යලි අරින්ට එපා...:)

    ReplyDelete
  7. නිර්මාණය අපුරුයි..
    දුක තැවරී නොතිබුණා නම් තවත් අපූරු යි
    ජයවේවා

    ReplyDelete
  8. නිර්මාණය හෘදයාංගමයි. රචනා විලාශය අගෙයි..... නියමයි..

    ReplyDelete
  9. Replies
    1. ස්තුතියි අදහස් පළ කළ හැමදෙනාටම...

      මුලින්ම තියෙන කවුළුපියන් වැසුණු ජනේලය සහිත පින්තූරයත් එක්ක තමයි මේ සිතුවිලි පෙළ ගැහුණෙ...

      Delete
  10. අගෙයි තරු අක්කේ,කවුළුව වහලා තියෙන නිසා තමයි අගේ වැඩි ඔය හැටි.

    ReplyDelete
  11. ගද්‍ය සහ පද්‍ය වහර ඇසුරනි කළ අත්හදා බැලිමක් වගේ... ඔය දෙකම දන්න කෙනෙකුට රස මුසු බසක් ගොඩනගන්න පුලුවන් තරූට ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ

    ReplyDelete
  12. හරිම ලස්සනයි අක්කෙ.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...