Monday, June 9, 2014

හිත ඇහැරිලා..


 
හිත ඇහැරිලා.. ඒත් ඇහිපිය නිදි.. එහෙම වෙනව නේද?
මගේ සතිඅන්තය ගෙවෙන්නෙ ගමේ, තනියෙන් ඉන්න අපේ ගෙදර.

ඉරිදා උදේ පහන්වෙන්නෙ මට එහෙමයි. පාන්දර හතරහමාරට පහට පුරුද්දට හිත ඇහැරෙනවා. ඒත් ඇහිපියි නිදි... ඇහිපිය අරින්නෙ දැන් මේ ඇති කියල හිතටම හිතුණු වෙලාවට තමයි... ඇස් වහගෙන හිටියත් හිත සැරිසරනවා. ගමන් වියදම් නැහැනෙ.. ඕන අහක ගිහින් එන්න පුළුවන්.... එහෙම ඉද්දි ඇහෙනවා කුරුලු කිචි බිචි... ලේන් ටිං ටිං... හරක් පැටවුන්ගෙ උම්බෑ... හීතල හුළං රැලි කවුළු තිර අස්සෙන් රිංගනවා.. ‘‘කම්මැලියා නැගිටිනවා කියන්න වගේ... වටේම ඉර එළියෙන් නැහැවිලා කියල දැනෙද්දි මං හෙමිහිට ඇස් අරිනවා.. කොට්ටෙ ළඟම තියෙනවා පොතක්.. බොහෝ වෙලාවට කවි පොතක්. උදෙන්ම කවියක්.. නැත්නම් පොතකින් පිටුවක් දෙකක්... ඒක හරි ලස්සන වැඩක්...

ඒ වෙලාවට අනේක වාරයක් හිතෙනවා තනිකඩ ජීවිතේ කොයි තරම් නිස්කලංකද? සැහැල්ලුද? කියලා...

නිලමෙ අත්තගෙ දෙවෙනි දුව හැමදාම උදේට හරක් ටික කැන්දන් යන්නෙත් මේ වෙලාවට.. ‘‘ හා යං පුතා.. ඉතින් කිව්වම අහල ඉක්මණට යන්කෝ... හා හා ඔය මල් පාත්ති පාගන්න එපා.. මෙහෙන් මෙහෙන්...” ගෙට ගෙවැදිලා ගත වුණු මුල්ම රාත්‍රිය පහන් වෙන මොහොතෙ මේ හඬට පුදුම වෙලා මං ඇඳෙන් පැනල ගිහින් ජනෙල් තිර අස්සෙන් බැලුව මතකයි... ඒ පවුලෙ කවුරුත් හරකුන්ට කතා කරන්නෙ දරුවන්ට වගේ... ඒ දරුවො ටික මගේ මල්පැලත් පාගගෙන මිදුල මැද්දෙන් දුවන එක තමයි වෙලාවකට හිතට අමාරු... ඒත් කටක් ඇරල මොනවත් කියන්නැහැ මම කවදාවත්ම... දරුවන්ගෙ දාංගලේ එහෙම තමයිනෙ...

‘‘ලොකූ එන්න තේ බොන්න... ලොකු නංගි කතා කළාම තමයි ඔන්න මම සයනාසනාරූඪ සමාධියෙන් බැහැර වෙන්නෙ.
මගේ නිදන කුටියෙ කවුළුවෙන් බැලුවම පේන මානෙ තියෙන්නෙ ලොකු නංගිගෙ ගේ. මං මේ තරම්ම චණ්ඩියෙක් වෙලා ගෙදර තනියෙන් ඉන්නෙ ඇත්තටම ඒ ලොකු නංගිගෙ හයියෙනුත් තමයි... එයා මට දෙවෙනි අම්ම වගේ...

ඉරු රැස් අඟිලි තුඩගින් කිතිකවයි කොපුලක්
චූටිකි බටිති මුවගින් දිග හැරෙයි තනුවක්
කවුළු තිර සසැලි සසැලි එබිකම් කරයි සුළඟක්
සිහිලැල් පවන් රැල්ලක රැඟුමක කෝපි මල් සුවඳක්...

ලැසි ලැසිව සිතුවිලි සැරිසරක්....
අලසව පියැවෙනා දෙනෙතක්...

අහා සුව සහනය ... හුදකලා සයනය....
 
 
උදෑසන සුපුරුදු වතාවත්වලින් පස්සෙ ගේ, මිදුල අතුපතු ගාල හෙම ආයෙමත් සාලෙ පැදුරක් දාලා, නැත්නම් පුටුවක් අරගෙන සමාධිගත වෙනවා... පොත් එක්ක.. නැත්නම් රාවය එක්ක.. එහෙමත් නැත්නම් ලියවිල්ලක් එක්ක... ඉදිරි දොර මුහුණ දාල තියෙන්නෙ පෙරදිගට... ඉර එළිය ලෝබ නැතිවම ගේ හැමතැනම ඇවිදිනවා.. හුළඟ උණත් එහෙමයි..

තනියෙන් ඉන්න අපේ ගෙදර අවට වැඩිපුරම තියෙන්නෙ ගහකොල, දකුණු අත පැත්තෙන් පටු ගුරු පාර, ඉන් එපිට බුලත් කොටුවක්.. ඉදිරියෙන් තව නිවෙස් දෙකකට යන පුංචි පාරක්.. ඉන් එපිට පේන මානෙ ගහකොල විතරමයි.. ගෙවල් තියෙන්නෙ ටිකක් ඈතින්...  වම් පැත්තෙන් ලොකු නංගිගෙ ගේ පොඩ්ඩ. ගේ පිටිපස්සෙ පතහ.. ළඳු කැලෑව.. මේ අතර මැද බාගෙට හැදුණු හුදකලා ගෙයක්.. ඒ ගේ මැද්දෙ හුදකලා තරුවක්...
දැන් ඉතින් හිතේ සිත්තමක් ඇඳෙන්න ඇතිනෙ.. ‘වස පාලුයිනෙ.. කෙනෙකුට හිතෙන්න පුළුවනි.. ඒත් මම නම් ඒ පාලු නිස්කලංක ගතියට හරිම ආදරෙයි...

නමයෙ දහයෙ පන්තිවල ඉද්දි තමයි මම මුලින්ම ජයසේන ජයකොඩිගෙ අරලිය මල් ආරාමය, උපේඛා පොත් බැලුවෙ.  ඒ පොත් කියවද්දි හිතුණා අනේ මටත් උපේඛා තෙරණියට වගේ ආරාමයක් හදාගෙන නිසංසලේ ඉන්න ඇත්නම් කියල.. ගොළු දයාපාල ගැන බයක් නොහිතුණාම නෙවෙයි... දැන් ගෙදරට වෙලා නිසංසලේ ඉද්දි හිතෙනවා මං පෙරුම් පිරුව ඒ අසපුව නේද මේ කියල... මගේ නිවන මගේ පැල්පතයි...

ඉස්සරහ වත්තෙ පොල්ගහක බෙනවල ගිරා රංචුවක් ඉන්නවා... උන්ගෙ දාංගලෙත් බලා ඉන්න ආසයි... ඒ හරියෙ නිතරම ඉන්නවා කොට්ටෝරුවෙකුත් පොල් ගස්වලට කොට කොට... හොට නොපැටළෙන බව ටක්කෙටම දන්න නිසා වෙන්න ඇති, ඒ කොට්ටෝරුවා නිතරම පොල් ගස්ම තෝර ගන්නෙ. යාළු ගිරවුන්ට ගෙවල් හදල දෙන්නෙ මේ කොට්ටෝරුවා වෙන්න ඇති.... කුලිය කීයක් අය කරනවද දන්නෙ නෑ....
චූටික්කො, බට්ටිච්චො, මයිනො, බත්කූරො, සමනල්ලු මේ වෙලාවට නිදහසේ සැරිසරනවා... හරියට මගේ හිත වගේ... ගොඩක් වෙලාවට පොතපතින් මගේ නෙත, හිත උදුරගන්නෙ මේ යාළුවො තමයි.
තනියෙන් ඉන්න අපේ ගෙදර ටෙලිවිෂනයක්, රේඩියෝවක්, කොම්පියුටරයක් මේ මොනවත්ම නැහැනෙ.. ඒ හින්දා පොතපත, සොබාදහම, මිනිස්සු එක්ක හෘදයාංගම ගනුදෙනුවලට ඕන තරම් වෙලාව තියෙනවා ගමේදි...

මිදුලෙ පුංචි තීරුවක දවල් කුමාරි මල් පිපිලා තියෙනවා ලස්සනට... මේ දවස්වල සීනියාස්, තාරකා මල් නැහැ. පහුගිය නියඟෙට පිච්චිලාම ගිහින්.. ඒත් ආයෙම තැනින් තැන ජීවිතේ අහුලගෙන නැගිටින බවට ලකුණුත් තියෙනවා.. හැම සතිඅන්තෙම මිදුල උදළු ගාන්න තියෙන කම්මැලිකමට උඳුපියලිය වැවෙන්න ඇරලයි තියෙන්නෙ.. මේ දවස්වල ගෙයි පිටිපස්සෙ උඳුපියලිය තීරුව උඩට සුදු පාට තේක්ක මල් වැටිල තියෙනවා. හරියට මුතු කැට වගේ... ලස්සනයි... තේක්ක මල් පොකුරු පොකුරු පිපුණම හැබෑම ලස්සනක් තියෙන්නෙ. බිම වැටිල තියෙන පුංචිම පුංචි තේක්ක මලක් අතට අරන් බලන්න. හරි අහිංසක පාටයි...

තනිකඩ ජීවිතෙත් වෙලාවකට ඒ තරම්ම අහිංසකයි.. සරලයි.. සුන්දරයි...

පෙත්තෙන් පෙත්ත ඇහැරෙන මල් එක්ක හිනා වී
පිටුවෙන් පිටුව පෙරළෙන පොතකට පමා වී
ඉරු එබිකම් පාන අහස ට මුවා වී
හිතුමතේ සිතුවිලි දසඅතේ සරා වී

නිසංසල සිහින පොකුරක්
නිරන්තර නිවන් හැඟුමක්....

අහා සුව සහනය .... හුදකලා නිවහන....
 


මහගෙදරින් සමුඅරන් මං මගේ හුදකලා නිවහනට ආවෙ 2012 උඳුවප් මාසෙ නත්තලට. ඒ දවස්වල නිදන කාමරේට විතරයි දොරක් තිබුණෙත්.. දැන් නම් ගේ හතරවටින්ම වැහිලා... මුල්ම කාලෙ අම්මා ආවෙ නැති දවස්වලට මට රෑට නින්ද යන්නෙම නැති තරම්... එක එක සද්ද ඇහෙනවා. ගැස්සිලා ඇහැරෙනවා. අන්ධකාරෙ මැද්දෙන් භුත හෙවණැලි පේනවා. හෙලවුණ හිත නිශ්චල වෙලා, ඒ හෙවණැල්ල මැකිල යනකල්ම මං ඇස් ඇරගෙන බලන් ඉන්නවා.  හොල්මන් බය නැති කරගන්නෙ එහෙමයි. හොල්මනක් නෙවෙයි කියල ස්ථිරෙටම දැනෙනකල් ඒ දිහාම බලන් ඉන්න ඕන... පුංචි කාලෙත් මං එහෙම බලන් ඉඳල තියෙනවා.

සමහර දවස්වලට, කියවන්න හරිහමන් පොතකුත් නැති වුණාම හරි පාළුවක් දැනෙනවා.. අන්න ඒ වෙලාවට හිතෙනවා හුදකලා සයනයට තව කොට්ටයකුත්, ඒ කොට්ටයට හිස තියාන සුන්දර හදවතක් තියෙන මනුස්සයෙකුත්, ඒ මනුස්ස ශරීරය ඇතුළෙ ගැහෙන උණුහුම් පපුවක ගැස්මකුත් තිබුණ නම් අපූරුයි නේද කියල....

රෑ මැද ඇසෙන හඬ නිදි සුව බිඳින සඳ
භීත සිතුවිලි සිහින වැටකඩුලු බඳියි හද
උණුහුමක් නොහඳුනන සීත ඇතිරිලි වුවද
රාත්‍රිය මෙතරම්ම දිගු මන්ද අසන්නෙද...

සීතලම සයනයක උණුසුම් සිහිනයක්
ප්‍රේමයම හිලව්වට අයදිනා පෙම් හිතක්..........

අහෝ සන්තාපය .... හුදකලා සයනය
 
 
 
මිදුලෙ තණකොල වැවෙන්න ඇරියෙ හැමදාම මිදුල උදළුගාන්න බැරි නිසා. ඒත් දැන් තණකොල වැවිලා... තණකොල කපන යන්ත‍රේ මට උස්සගන්න බැරි තරම් බරයි.. ඒ වැඩේට ධෛර්යය උපදවා ගන්න හරිම අමාරුයි. මිදුල වටෙන්ම ළඳු කැලේ කරදඬු උස්වෙවී උස්වෙවී ගේ වටකරගෙන සතුරු සේනාවක් වගේ අවි අමෝරන් ඉන්නෙ. හැමදාමත් මල්ලිට කරදර කරන්නත් බැහැනෙ. උදළු පාරවල් දෙකක් ගහද්දි මට හති. පුරුදු නෑ ඒ වැඩ... අතට හුරු පෑන, පින්සල, යතුරු පුවරුව මිස කැත්ත, උදැල්ල නෙවෙයිනෙ.

මකුළු දැල් කඩාගන්නෙ ප්ලාස්ටික් පුටු දෙක තුනක් එක පිට තියලා ඒ උඩ නැගල.. හරිහමන් උසක් තියෙන එකක්යැ... දවසක කොන්දක් කඩාගෙන තමයි මකුළු දැල් කැඩිල්ල අහවර වෙන්නෙ...

විදුලි බල්බ ටිකක් ගෙනත් තියාගෙන සති දෙකකට වැඩියි.. මගේ අත පොවන මානෙන් ඉහළ ඇති වැඩක් නිසා තවමත් විදුලි බල්බ ටික පෙට්ටිවලමයි... අහෝ දුකකි..

සමන්පිච්ච මල්වැල බිම දිගේ අතු විහිදනවා බලන් ඉන්න බැරිකමට නාරාසනෙන් වළවල් හාරල, ඉනි හතරක් ඉන්ඳවල, ලණු ඇදල පුංචි අත්වාරුවක් හදල දුන්නා. පිච්ච වැල් හීන්සීරුවෙ අතින් අල්ලල ලණුපොටකට වාරු කරල තිබ්බා. ලබන සතිය වෙනකල්වත් ඒ අත්වාරුව අල්ලන් ඉඳියි කියල හිතන්න අමාරුයි.. දැනටමත් ඉණි හතර බිම ද දන්නෙ නැහැ. පුරුෂ ධෛර්යයෙන් කළ යුතු වැඩ.. හිතේ හයිය තිබුණට ශරීර කූඩුවෙ හයිය නැති හැටි හැබෑටම...    

මේ වගේ තනිහිතේ හයිය මදිවෙන වැඩපල මතක් වෙද්දි නම් හිතෙනවා ගෙදර උන්දෑ කෙනෙක් නැති එකේ පාඩුව කියල.

ලන්ද ගේ වට සැදී අවි අමෝරාගෙන
සියුමැලි දෑත සවි සරදමට උරගාන
පුරුෂ බල නොතරම්ද තනිකමට සවිගේන
හිත අගිහ කොනහමින් නිරතුරුම දොස් නගන

සැහැල්ලුව කොතරම්ද හුදකලා ජීවිතේ
සැහැල්ලුව එතරම්ම බරකි තනි මාවතේ




 
ඔය වගේ සිතුවිලි අතර සැරිසරද්දි තමයි මේ කවි සංකල්පනාව ලියවුණේ... ඒක කවි කතාවක්ම කරන්න හිතුණෙ හුදකලා ජීවිතේ අභියෝගයක් තියෙනවා වුණත් මං මෙහෙම ජීවත් වෙන්න හරිම කැමතියි කියල කියන්නත් එක්ක.

ඉස්සරම තනිකමට පෙම් බැන්දෙ හිත් වේදනා දරාගන්න බැරිකමට.. දැන්නම් තනිකමට පෙම් බඳින්නෙ තනිකඩ ජීවිතේ තියෙන නිස්කලංකකමට, සැහැල්ලුවට..  තනිකම භාවනාවක් වගේ විඳින්න පුළුවන්.. සමාධියක් වගේ දැහැන්ගත වෙන්න පුළුවන්..
තනි ජීවිතේ අමාරුකම් නැතිවම නෙවෙයි.. ඒත් හුදකලාවයි, බන්ධනයයි තරාදියෙ දාලා කිරල බැලුවත් තවමත් බර වැඩි වෙන්නෙ හුදකලාවටම තමයි.
මං මේ තනිකඩ ජීවිතේට හරිම ආදරෙයි...

21 comments:

  1. //තනිකම භාවනාවක් වගේ විඳින්න පුළුවන්.. සමාධියක් වගේ දැහැන්ගත වෙන්න පුළුවන්...//

    මටත් වෙලාවකට තනිකමට පුදුම ආසාවක් දැනෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හුදකලාව සියලුම කලාවන්වල උපත කියල කියනවනෙ පොඩ්ඩි... ගෙදර නිස්කලංකෙ ඉද්දි හිතෙන දේවල් තමයි මේ...

      Delete
  2. ඇත්තටම තනිකඩ දිවිය හරිම නිදහස් නිස්කලංකයි. තමන් කැමැති විදියට තීන්දු තීරණ ගන්න හැකියි. මා ද ඒ තනිකඩ සුන්දරත්වය හොඳින් විඳ තියේ.
    උදේ පාන්දර එලාම් එකට ඇහැරිලා මාත් පැය බාගයක් විතර නින්දත් නොනින්දත් අතර මනසින් යා හැකි හැම තැනටම යනවා. දවසේ කළ යුතු දේවල් මෙනෙහි කරනවා.
    කිසිවට නොසිතන්න තනිකම දුකක් කියා.

    ReplyDelete
    Replies
    1. කිසිවිටක නොසිතමි තනිකම දුකක් කියා.... තනිකමේ සැහැල්ලුව අත්විඳින්නෙ ලැබෙන්නෙ නම් සුළු වෙලාවකට තමයි...

      Delete
  3. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න හඩුගද ඔබේ ඉන්න බෑ ළගින්...

    හිහි

    ReplyDelete
    Replies
    1. මම ආසම සින්දුවක්.... අනේ මෙහෙම නාස්ති කරන්න එපා...

      හිනා යනව නම් තමයි..

      Delete
  4. තනිකම තරම් සුන්දරම දෙයක් මටනම් නෑ, මමයි මගේ පාඩුවයි, මගේමා ලෝකවල තනිවෙලා, කාගෙන්වත් කරදරයක් නෑ, මට ඕනා තැනකට පියාබගෙන ගිහින්, මඩ වලකටත් පැනලා හොඳ හැටි මඩ නාල, දඟ වැඩ දෙකතුනක්ම කරලා, වැස්සෙන් නාල, අව්වෙන් වෙලාගෙන, මගේ ලෝකේ සුන්දරත්වය විඳින කොට අනේ ඉර ඉලිය අස් මත්තේ දඟ කරනවා, අම්ම තේ එක ගෙනත් පොඩී කියනකොට කම්මැලිකමින් මන් ඇස් දෙක අරින කොට අනේ මන් මගේ ලෝකෙන් මන් ගෙදර ඇඳ උඩට වැටිලා.

    ReplyDelete
    Replies
    1. අපි තෝරගන්නෙත් මොන ජීවිත පැවැත්මද ඒක අර්ථවත් කරගන්න එක තියෙන්නෙ තමන් අතම තමයි...

      Delete
  5. තනිකමට ගොඩක් මිනිස්සු කැමැති අනිවා ,මමත් අපේ තියෙනවා පොඩි ගෙයක් කටුමැටි ගහලා හැදුව ගෙයක් වගේ එකක් එකේ තමයි ඉන්නෙ ගෙදර ගිය ගමන් ගෙදර ඉන්නවාට වඩා මාර සැපයි බූරු ඇද දිග ඇරගෙන ඉන්නෙ ,වටේටම වගා කරපු වතු තියෙනවා ........

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම නිස්කලංක වටපිටාවකට තමයි මම කැමති...

      Delete
  6. තනිකම කියලා කියන්නේ කවදාවත් සතුරෙක් නෙවෙයි , තනිකම නිර්මාණ උල්පතක් කලාකරුවෙකුට නම් ,
    හැමදාම තරු රසී පොස්ට් කියවනකොට ගීතයක් මතක් වෙනවා
    අද මතක් වුනේ මේක

    ඈත එපිට ගම්මානෙන් නැග එන
    බට ලී හඬ අතරේ
    ඉතාම දුක්බර කවියක් මතුවෙද
    ඇය නිදි නොමැති පැලේ..
    මලානිකව හඳ එලිය ගලා එන
    අම්බලමක හෙවණේ
    බලා ඉඳිමි ඔබ හිඳින විමන් දොර
    දැල්වෙන එළිය බඳේ..
    වේදනාව නෙතු අගට ගලාලා
    ඉකිලන නිහඬ රැයේ
    නීල නුවන් තරු කැට බොඳ වෙනවා
    කාටත් හොර රහසේ..

    ReplyDelete
    Replies
    1. ''තනිකම නිර්මාණ උල්පතක් කලාකරුවෙකුට නම්'' අැත්තම තමයි...

      ලස්සන ගීතයක්.. ඒ් ගීයටත් මං කැමතියි.. මටයි මෙග් පැල්පතටයි ගැළෙපනවා..

      Delete
  7. mata uthure hambechcha gahaniyata dakaththa, narasanaya, udalla wagema panath, pinsalath ekase hurui.mama asa, adare ewan gahaniyatai.ada loketa ehema hada gahima godak watinawa.kawi kathawen matath igena gatha haki oyatath hithimata athi deyak eka.
    godak lassana adahasak.hitha dannema nathuwa sahallu una.ada mama harima nosansunwa hitiye iye nisa.heta gana dan hithanna lesi .

    mita ,

    Derrick

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතින් නිස්කලංකෙ පොතක් බලාගෙන පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්නෙ බ්‍රද.. ඒ දෙමළ අම්මල ළග තියෙන හිත් ධෛර්යයෙන් අංශුවක්වත් මට නැහැ. පොළව එක්ක හැප්පෙන්න අමාරුයි...

      මොකෝ හිත අවුලෙන් වගේ... කොහොම වුණත් මේ ලියවිල්ලෙන් සහනයක් වුණා නම් සතුටුයි...

      Delete
  8. තරු,
    මට නම් කියන්න තියෙන්නේ ඔයාගේ පරිසරය ගැන කියවද්දි මට නම් ඊර්ෂයායි කියලායි.
    මාත් ආසයි කිසිම හාවක් හූවක් නැති ලෝකයත් එක්ක කිසිම සම්බන්දයක් නැති තැනක් මගේ කරගන්න. ඒත් අපිට ස්වභාවදහමෙන්ම එහෙම අවසර දීලා නෑ.
    මම හැකිවිදියට නිවාඩු දවසට එහෙම බලෙන් විඳීමකට යනවා. හැට හුට හමාරක් ෆෝන් කෝල්ස් අමතක කරලා, ටී වී එක නැතිව කිස්ම ශබ්දයක් බද්දයක් නැති මගේම ලෝකේ. ඒත් ඒක සැබෑවක් වෙන්නේ කොයිතරම් නම් සුළුකාලෙකටද? කුරුල්ලෝවත්, හරක් පැටව්වත් කවුරුත් නෑ. ජනේලක් ඇරපු ගමන් සී සී කඩ දුවන නාගරික පරිසරය ...
    එතකොට මම හිතින් බලංගොඩට යනවා. අපේ වත්තේ කන්ද උඩට ඉබේම. මම විතරක් කාත් කවුරුත් නැති කාටවත් නොපෙනී ඉනන් මගේ මනසේ සිහින බංගලාව ට

    ReplyDelete
    Replies
    1. සමහර විට රංගි ගෙදර ගියාම හැම හුස්මක්ම මට මේ තරම් වටිනවා කියල හිතෙන්නෙ, සතියෙ දවස් පහම මම ඒකාකාරී අසීරුවෙන් දරාගන්න ජීවිතයක් ගත කරන නිසාම වෙන්න ඇති....

      ඔයාලගෙ ගෙදර කන්ද උඩ මීටත් වඩා නිස්කලංක ඇති...

      කොහොම වුණත් රංගි ආයෙම ලංකාවට ආවම තනියෙන් ඉන්න අපේ ගෙදරත් එන්න... ඒ කාලය නියංසායකට අහුවුණ දුෂ්කර කාලයක් නොවේවා කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ...

      Delete
  9. තනිකමට හුරුවෙන්න ඕන කොහොමත්. අපේ වයසේ අයනම් විශේෂයෙන්ම. තනිකම භාවනාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. හිත සැහැල්ලු නම් හුදකලාව නිස්කලංකව විඳින්න පුළුවන් භාවනාවක් තමයි...

      Delete
  10. ඔයා බන්ධනයයි, තනිකමයි තරාදි වල දාල බර කිරන්න යන්න එපා... කොහොමටත් දැන් ඉන්න තත්වෙට බර වැඩි වෙනවා. මට නම් ඔය දෙකම අනිකට වඩා හොඳ අඩු වැඩි කියලා කියන්නෙ නෑ. දෙකටම අදාල හොඳ නරක තියනවා. හැබැ‍යි මම බර කිරුවොත් වැඩි වෙන්නේ බන්ධනයට.. ඒ දැනට මම ඉන්න තත්වය අනුව.

    ලෝක ස්වභාවය තමයි බන්ධනයට ලක්වීම... තනිකම කියන්නේ ව්‍යතිරේකය. ඒ නිසාම තනිකම කියන්නේ වඩා අපහසු තෝරාගැනීම. මගේ පෞද්ගලික හැඟීම නම් තනිකම කියන්නේ හරිම අමිහිරි දෙයක් කියලා... ඔයාගේ 'තනිකම' උණත් සුන්දරව පේන්නේ ඒක අපිත් එක්ක බෙදාගන්න පුළුවන් නිසා නේද?

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන්න ඇති තිසර... තනිකම සුන්දර වෙන්නෙ ජීවිතේ බෙදාගන්න තනිකමක් නොදැනෙන්න ගොඩක් ළෙංගතු හිත් මං වටේ ඉන්න නිසා වෙන්න ඇති...

      Delete
  11. තනිකම,හුදකලාව ජිවිතේට මේ තරම් සුන්දර,සරල,සැහැල්ලුවක් ඇත්තටම එකතු කරනවද තරු අක්කේ..?

    එක අතකට තරු අක්කා ඉන්න පරිසරේ එක්ක ඔය තනිකම සුන්දර වෙන්න එක පුදුමයක් නෙමේ.අපි මෙහේ ඉන්නේ තනිකරම කොන්ක්‍රිට් වනාන්තරයක.ඉතින් ඔය වගේ විඳින්න පුළුවන් පරිසරයක් අපිට නැහැ.එත් මේ ලියවිල්ලත් එක්ක ඒ පරිසරේට මමත් ගමන් ගාස්තු නැතිවම ගියා.

    බාගෙට හදාපු තරු අක්කා ගේ හුදකලා ගෙදර හරි ලස්සනයි....:)

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...