Tuesday, October 23, 2012

සිව් දිනක සොඳුරු මතකය...



මද ඉසිඹුවක් ගමු ජීවිත ගමනේ...

හැල්මේ දිව යන ඒකාකාරී ජීවිතේට, විවේකයක් අරගෙන ටිකක් හිතල බලල, අළුත් පණක් අරන් ඉදිරියට යන්න ඉඩක් හදා ගන්න එක මට හිතෙන්නෙ අපි හැමෝගෙම ජීවිතවලට හරිම වැදගත් කියල. රැකියාවෙනුත් නිවාඩු අරන්, එදිනෙදා ජීවිතේ හැම කටයුත්තකින්ම නිදහස් වෙලා විවේකී දින හතරක් ගත කිරී‍මේ වාසනාව උදා කර ගත්තෙ ඒ අරමුණ ඉටු කර ගන්න. ( තනිකඩ ජීවිතේ විශේෂ වරප්‍රසාදයක් තමයි මේ... හංසයෙක් වගේ හිතුමතේ සැරිසරන්න තියෙන නිදහස... ) ශුද්ධවු පවුලේ පැවිදි සොයුරියන් කිහිපදෙනෙක් සමග ඔවුන්ගේ වාර්ෂික ධර්ම විවේකයට (retreat ) සහභාගි වෙන්න මටත් ඉඩක් ලැබුණෙ අපේ තිබුණ දිගුකාලීන සුහද බැඳීම් සහ අනෝන්‍ය තේරුම් ගැනීම නිසාමයි.

කාර්යාලයේ සියලුම රාජකාරි කටයුතු නිසියාකාරව නිම කරල, පාලනාධිකාරයත් දැනුවත් කරල නිවාඩු ගත්තෙ.. මං නැති අතරෙ කාර්යාලෙ යාළුවො ටික මා නිසා කරදරවලට මුහුණ දෙනවට අකමැති නිසා  හැමදෙයක්ම සම්පූර්ණ කළා... ඒක හිතටත් සැනසීමක්...

දුරකථනයට, අන්තර්ජාලයට නිවාඩු දුන්නා... මග හැරිය නොහැකි වූ එකම කෙටි පණිවිඩයක් විතරයි යැව්වෙ දින හතරටම. එයම මොන තරම් සැහැල්ලුවක් ගෙන දුන්නාද හිතට...? අතුරුදහන් වෙන්න කළින් ගෙදර අයව, අමතයි කියල හිතන අයව දැනුවත් කළා කළින්ම, අධ්‍යාත්මික ගවේෂණයකට යන බව කියල. නැත්නම් මම ආපහු එද්දි මාව හොයන්න පොලිසියෙනුත් දාල තියේවි...

තුලන....

අපි ගියේ තුලන පර්යේෂණ මධ්‍යස්ථානයට.. තියෙන්නෙ ගෝණවල, කැලණියේ... ආරම්භ වෙලා තියෙන්නෙ 1974 වර්ෂයේ... තුලන කියන නම ‍මේ තැනට දීල තියෙන්නෙ සන්සන්දනාත්මකව, තුලනාත්මකව නිවැරදි ධර්මාවබෝධයක් ලබා දෙන ස්ථානය කියන අරුතින්.. මෙය අන්තර් ආගමික,  සංස්කෘතික සංවාදයට ඉඩ ලබා දෙන තැනක්.. ආගමික භේද අබිභවා යමින් සෑම දහමකම හරය තුළ වර්ධනය වීමට ඉඩ ලැබෙන තැනක්... ධර්මය තුළ අළුත් වෙන්න මග පෙන්වන තැනක්... ඒ වෙනුවෙන්ම සැදී පැහැදුණු දුර්ලභ පොතපතින් පිරිපුන් අපූරු පුස්තකාල හතරක් පමණ තියෙනවා..

චාම් පුංචි පල්ලිය යැදුමට භාවනාවට අගේ ඇති තැන... බයිබලය එක්ක, ධම්මපදය, භගවත් ගීතාව, කුරානය සම අසුන් දරනවා... පල්ලිය ඇතුළත් පුංචි පුස්තකාලයක් වගේ.. විවිධ ආගමික පොත් තියෙනවා.

චිත්‍ර, මූර්ති, සංගීතය, පොතපත, චිත්‍රපට මේ හැම දෙයකින්මත් තුලන පොහොසත්...  හරියට කලාගාරයක් වගේ... ස්වාමින් වහන්සේ නමක් විසින් අඳින ලද ලස්සන චිත්‍ර රැසක් අපේ නේවාසිකයේ කොරිඩෝර‍ය දිගට එල්ලා තිබුණා. ( පින්තූර ටිකක් ගත්තෙ නැති එක නම් දුකක්... )

නිල්ල පිරුණු පරිසරය සැබවින්ම සිතට ගතට සුවදායකයි....

ඒ සියල්ලම වඩාත් අරුත් ගැන්වෙන්නෙ.. දැනුම් සාගරයක්, දහම් ආකරයක් බඳු ජේසු නිකායික ගරු ඇලොයි පීරිස් පියතුමා නිසයි...


දේවධර්මාචාර්ය පුංචි ළමයා....

ඇලොයි පියතුමා ගැන මම අහල තිබුණෙ ‍බොහොම කළින්.. එතුමා ලියන දේවල් කියවන්නටත් ලැබිල තිබුණා.. නමුත් එතුමාගෙ කතාවක් මුල් වරට ඇහුවෙ සැප්තැම්බර් 29 දින පැවති කිතුසර සංවත්සර උළලේදී.. එකපයින්ම තුලන යන්න කැමති වෙන්න එදා කතාවත් හේතුවක් වුණා ඇත්තටම.

විමුක්ති දේවධර්මය ( Liberation Theolgy ) ගැන ලංකාවෙ ඉන්න දැනුවත්ම, උගත්ම පියතුමා........  
ඒ වගේම හීබෲ භාෂාවෙන් බයිබලය හදාරා ඇති පියතුමෙක්....
බයිබලයේ දේව ධාර්මික පදනම මැනවින් අවබෝධ කර දෙන්න හැකියාව ඇති පියතුමෙක්..
දෙස් විදෙස් විශ්වවිද්‍යාලවල උගන්වන.. ඉංග්‍රීසි බසින් පොතපත ලියා ඇති දැනුම් සාගරයක්...
හීබෲ, ග්‍රීක්, ලතින්, ඉංග්‍රීසි භාෂා දන්නවා... ( තව මම නොදන්න භාෂාත් ඇති. )
පාලි, සංස්කෘත භාෂා දන්න.. බුදුදහම පවා ගැඹුරට හදාරා ඇති පියතුමෙක්...
නිළ සභාවට, වත්පිළිවෙත්වලට අභියෝගයක් වුණ පියතුමෙක්..

ඔන්න ඔය වගේ කාරණා තමයි තුලන යන්න කළින් මම ඇලොයි පියතුමා ගැන දැනගෙන හිටියෙ. ඉතින් මම හිතින් මවාගෙන හිටියා මහා බැරෑරුම් පෙනුමක් එක්ක නළලත් රැලි කර ගෙන ආගම ගැන කියා දෙන පියතුමෙක්ව.

නමුත් තුලනට ඇතුළු වුණ අපිව පිළිගන්න ආවෙ බතික් කමිසයකින්, සරමකින් සැරසුනු හිනා කටක් පුරවා ගත් සරල මනුස්සයෙක්. තුලන හිටිය දින හතර පුරාම එතුමන්ගේ ඒ සරල ස්වරූපය වෙනස් වුණේ නැහැ. වරින් වර මතුවුණ කතා බස්වලදි අපූර්ව චරිතයක ආනුභාවයයි මා අබියස දිග හැරුණේ. අවුරුදු 78 ක් වයස වුණත් තාරුණ්‍යයේ කඩිසරබවකුත්, ළමා වියේ සැහැල්ලු සුන්දරත්වයකුත් එතුමන් තුළින් නිතරම දිස් වුණා....

හැම උදේකම පියතුමා  ඇවිත් අපිට ටිකක් කතා කරල දවස පුරාම සාකච්ඡා කරන්න, භාවනා කරන්න මාතෘකාවක් දීල යනවා. ගැටලු තැන්වලදි අපට අවස්ථාව තියෙනවා පියතුමා එක්ක සාකච්ඡා කරල ඒව නිරාකරණය කර ගන්න. ‍අපි කණ්ඩායම එකතු වෙලා සාකච්ඡා කරමින් ඉන්න වෙලාවට ඇවිත් ඈතට වෙලා අහගෙන ඉන්නව වෙලාවකට පුංචි ළමයෙක් වගේ හිනා වෙවී....

දින දෙකක්ම රාත්‍රී ආහාරයෙන් පසුව අපට චිත්‍රපට බලන්න අවස්ථාවක් ලැබුණා. පළමු දවසෙ " Of Gods & Men" දෙවෙනි දවසෙ " Ten Commandments " චිත්‍රපටිය පෙන්වන්න දෙවෙනි මහළෙ පියගැටපෙළ නගින ගමන් පියතුමා මෙහෙම කියනවා.....

'' මම මේක දෙතුන් සැරයක්ම බලල තියෙනවා. මම ඔයාලට ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කරල යනවා. වැඩ  ගොඩක් තියෙනවා කරන්න. ඔයාල බලල හෙට ඒ ගැන සාකච්ඡා කරන්න. ''  ඒත් චිත්‍රපටිය ඉවර වෙද්දිත් පියතුමා වාඩි වුණ තැනමයි. '' කොයි තරම් බැලුවත් එපා වෙන්නෙ නෑ... '' හිනා වෙමින් එහෙම කියන්නෙ. චිත්‍රපටියෙන් පස්සෙ ඒ ගැනත් ටිකක් කතා බහ කරල  රාත්‍රියටත් සුබ පතල තමයි එතුමා සමු ගන්නෙ...

එතුමන්ගේ පවුලේ සොයුරු සොයුරියන් 12 ක් ලු. ගැහැණු හයයි. පිරිමි හයයි.. පුංචි කාලෙ ගෙදර සංගීතයෙන් පිරී තිබුණු බවයි එතුමා කියන්නෙ. සංගීත භාණ්ඩ බොහොමයක් ගෙදරම තිබුණ නිසා ඒවා වාදනය කරන්නත් ඉගෙන ගත්තලු. මේ සංගීත මතක පොත දිග හැරෙන්නෙ පියානෝව ළග වාඩි වුණාම.. විටෙක ඉතාලි ගීතයක් වාදනය කරන පියතුමා තවත් විටෙක පැරණී සිංහල ගීතයක් වයයි. පියුමෙහි පැණි බොති වන බඹරු... සැළලිහිණි කොවුල් ... එතුමන් වයන තාලයට අපේ ගී හඬ මුසු වන විට ඒ මුහුණ පුරා පැතිරෙන්නේ අපූරු උද්දාමයකි...

'' සංගීතය නැති ජීවිතය හරියට පාස්කු ඉරිදාවක් නැති පාස්කුව වගේ... ගතියක් නැහැ... ''

'' අවුරුදු 5 - 12 ත් අතර ළමයින්ගෙ හිත් වලට යමක් කා වැද්දුවම ඒක මුළු ජීවිත කාලෙම මතක තියෙනවා... මට ලොකු ඕනකමක් තිබුණා ළමයි එක්ක වැඩ කරන්න. ඒත් ඉතින් මාව දේව ධර්මය ඉගෙන ගන්න යැව්වනේ.. ඉන්පස‍්සෙ ඉතින් ඉගෙනගන්නයි, උගන්වන්නයි ජීවිතේම කැප වුණේ.  '' අනතුරුව ළමුන් වෙනුවෙන් කළ නිර්මාණ කිහිපයක් ගැන කතා කළ පියතුමා එහි වීඩියෝ පටයක්ද නරඹන්නට දුන්නා... පියතුමා තුළ තවමත් නිර්මාණශීලී ළමයෙක් ජීවත් වෙන බවයි මට එයින් දැණුනෙ...

පියතුමා උගන්වන දේව ධර්මය අපි මෙතෙක් පල්ලියෙන්, දහම් පාසලෙන් ඉගෙන ගත්ත දේව ධර්මයට වඩා වෙනස්. හිතට සමීපයි. ඒත් සාම්ප්‍රදායික ආගම් අධ්‍යාපනයක හිර වෙලා ඉන්න කෙනෙකුට නම් අභියෝගාත්මකයි. තුලන හිටිය දවස් හතරෙ භාවනා කළ දේව ධාර්මික කාරණා ගැන වෙනම ලියන්න ඕන කියලයි මට හිතෙන්නෙ..

සෙනසුරාදා හැන්දෑවෙ තිබුණ දිව්‍ය පූජාවත් හරිම අපූරුයි. විච්චූර්ණ වැඩ නැති සරල දිව්‍ය පූජාවක්. බයිබලයේ කියවීම් සාකච්ඡා කරන්නයි වැඩි වෙලාවක් ගත්තෙ. එතනදි අපිටත් කතා කරන්න, ප්‍රශ්න කරන්න, පැහැදිලි කර ගන්න  අවස්ථාව තිබුණා. ජීවිතේ පළමු වතාවටයි මම සුදු ලෝගුවක් නැතිව සරම කමිසය ඇඳ ගත්ත පියතුමෙක් පවත්වන දිව්‍ය පූජාවකට සහභාගි උණේ. ජේසුගේ මරණයෙන් පස්සෙ මුල්ම කිතුනු ජනතාව අතරෙ තිබුණු ජීවන පිළිවෙත ආයෙම ඉපදුණා වගේ...

එතුමාගේ ජීවන රටාව හරි අමුතු භාවනාවක් වගේ.. එතුමා දිහා බලන් ඉන්න ගමන් ජීවිත ගමනට එක් කර ගත්ත පාඩම් මහගොඩයි..

'' ඩොක්ටර්ස්ලා කිව්ව මට පිළිකාවක් තියෙනවා කියල.. මාසෙ කීපෙකට කළින්. මම ගණන් ගත්තෙ නෑ.. තව පොත් හයක් විතර ලියන්න තියෙනවා.. මම ඒ වැඩ ටික කරගෙන ගියා. බෙහෙත් බිව්වා. සැහැල්ලුවෙන් හිටිය... දැන් කියනවා ලෙඩේ හොද වේගන එනව වගේලු...

මරණයට බයවෙන්න හොඳ නෑ... Let go… අත් හරින්න... ඒක අවශ්‍යයි. පුංචි බබෙක් වගේ අම්මගෙ බඩේ වතුර බෑග් එ‍කේ පීන, පීන ඇගිල්ලක් උර උර බොහොම සනීපෙට ඉද්දි එන්න බයයි ලෝකෙට... එන්නෙ අඬාගෙන, කෑ ගහගෙන... ආවට පස්සෙ තමයි වැඩේ... මෙන්න බොලේ ආදරය කරන්න කට්ටිය ගොඩයි... වැඩ ගොඩයි.. ඊට පස්සෙ ඉතින් යන්න බයයි... දාල යන්න බෑ කියල අඬනවා.... ආව වගේම තමයි යෑමත්... ඒ ලෝකයත් කොයි තරම් සුන්දරද? අත් හරින්න ඕන... අල්ල ගැනීමෙන් ඒ ගමන සතුටින් යන්න බැරි වෙනවා...

මම හිතුවෙ ජේසු වගේ මම අවුරුදු 33 දි මැරෙයි කියල... ම්හ්... නෑ... දැන් හිතනවා 80 දි මැරෙයි කියල. '' සැහැල්ලු සිනාවකින් සරසා ගත් මුහුණින් එහෙම කියන්නෙ. දැන් මැරුණත් කමක් නෑ. මගේ වැඩ කොටස කරලයි තියෙන්නෙ වගේ හැඟීමකින්....

දින හතරක ධර්ම විවේකයේ ලියන්න කාරණා තව බොහොමයක් තියෙනවා... නැවත හමුවෙමු.

7 comments:

  1. මමත් තුලනට ගියා වගේ දැනෙනවා

    ReplyDelete
  2. හරිම සුන්දර දවස් ටිකක් බව අපිටත් දැනුනා . මේ පියතුමා ගැන මාත් අහල තියෙනවා . ලෙඩ ගැන ඕනෙවට වඩා හිතන්න හොඳ නෑ තමා එතකොට ලෙඩේ වැඩි වෙනවා . මානසිකව වැටුනොත් තවත් වැඩි වෙනවා .
    …ඔයාට හොඳ අවස්ථාවක් ලැබිල තියෙන්නෙ .මානසික සුවයට මේවගේ වැඩ සටහන් වලට සහභාගී වෙන එක ගොඩක් හොඳයි .

    ReplyDelete
  3. අපුරු අත්දැකිමක්... එ වගෙම මෙ පැත්තට අවෙත් අදමද කොහෙද... තව දෙයක් ඔයගෙ බ්ලොග් එකත් පටන් අරන් තියෙන්නෙ මගෙ බ්ලොග් එකත් පටන් ගත්තු මාසෙමයි අයෙමත් එන්නම් ජය..

    ReplyDelete
  4. ඔබ වාසනාවන්තයි කියන්න තමයි ඇත්තටම මට හිතුනේ..:)

    ReplyDelete
  5. අසනීප ගැන නොහිතා ඉන්න එක හිතටත් ලොකු ශක්තියක් කියලා මටත් දැනිලා තියෙනවා..හිතන්න හිතන්න තවත් මානසිකව වැටෙනවා..හිත ශක්තිමත් කරගෙන වෙන දේකට හිත යොමු කරාට පස්සේ ලෙඩක් තිබුණත් හිත සනීපයි කියලා සතුටක් දැනෙනවා...

    ReplyDelete
  6. ධර්ම විවේක ගැන අපේ අම්මා මට දවසක් කියා දීලා තියෙනවා. ඒවට එන්නේ දේශනාවාදී ෆාදර්ලා ලු නෙ ?

    ReplyDelete
  7. //..ශුද්ධවු පවුලේ පැවිදි සොයුරියන් කිහිපදෙනෙක් සමග ඔවුන්ගේ වාර්ෂික ධර්ම විවේකයට (retreat )//

    මොකක්ද අක්කේ මේ චාරිත්‍රය ??

    ගෝනවල කොයි හරියේද මේ මධ්‍යස්ථානේ තියෙන්නේ අක්කේ ? අන්‍යාගමික අයටත් මෙතැනට එන්න පුලුවන්ද ? අක්කා කිව්ව විස්තරෙත් එක්ක මට මෙතන බලන්න එන්න හිතුණා

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...