සාහිත්‍ය මාසය නිම වී ඇති නිසා දැන් මගේ පොත් උණ හොඳ වී
ඇතැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. දැන් දැන් පොත් ගැන කතාබහ අඩු වෙමින් යන බවක්
පෙනේ. නමුත් පොත් කියවන අය සාහිත්‍ය මාසයේ දී පමණක් නොව වසර පුරාමත්, ජීවිත කාලය
පුරාමත් කියවීමේ නිරත වන බව නම් නිසැකය. පොත් ගැන කිසිවක්ම නොලියූ මුත් පසුගිය
කාලයේ පොතක් නොකියවූ දවසක් නැති තරම්ය. ඒ අතර සම්පූර්ණයෙන් කියවා නිම කළ පොත් ලැයිස්තුව මෙලෙසිනි.
මිනිත්තු එකොලහ
- පවුලෝ කොයියෝ ( පරිවර්තන)
ජීවිතය අන් තැනක - මිලාන් කුන්දේරා ( පරිවර්තන )
පරඬැල් - ශාන්ති
දිසානායක
සිටුවර පුවත - රූපා ශ්‍රියානි ඒකනායක
රතු ඉද්ද - කරුණාදාස සූරිය ආරච්චි
ශුද්ධවු ජුදාස් - ( කෙටි කතා ) මංජුල වෙඩිවර්ධන
කියවමින් සිටින ( හිතෙන විට තැනින් තැන කියවන.... නැතිනම්
මුල සිට අගට නොකියවූ ) පොත්
හිරුත් හිම පියල්ලක ( කවි ) - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
ඇහැල ඇමතුමකට ඇහැරෙමි
( කවි ) - මංජුල වෙඩිවර්ධන
පියවි සිහිය සහ තේ පානය - සාමන්ත තැන්නගේ ( පරිවර්තන )
නිසල විල - අචාන් චා හිමිගේ දේශනා ඇසුරින්
මගේ පවුලයි අනෙක් සත්තුයි ( පරිවර්තන )
කිතුසර විසි වසර සංවත්සර ලිපි එකතුව
වැඩි වශයෙන් මට කියවන්නට ලැබෙන්නේද, මවිසින් බ්ලොගයේ
සටහන් තැබුවේද පරිවර්තන පොත් සම්බන්ධයෙනි. පොත්වල අන්තර්ගතයේ ගුණාත්මක බව සේම, ආපට
ආගන්තුක වූ සංස්කෘතීන්, පුද්ගලයන්, සිද්ධීන් පිළිබදව කියවන්නට, දැනගන්නට ඇති
කුතුහලය නිසාම මසිත පරිවර්තන වෙතට වඩාත් ආකර්ශනය වී ඇතැයි සිතමි. සිංහල බසින්
ලියවෙන පොත් වුවද අන් භාෂාවලට පරිවර්තනය වී වෙනත් රටවල අයට කියවන්නට ලැබුණේ නම්
ඔවුන්ද මා වැනිම ආශාවකින්, උවමනාවකින් අපේ කතාත් කියවනු ඇතැයි මට සිතේ. එසේ
සිතන්නට මම කැමති වෙමි.
පසුගිය සතිය තුළ මා කියවූ පරඬැල්, සිටුවර පුවත, රතු ඉද්ද
ගැන යමක් ලිවිය යුතුමැයි මට සිතේ. මෙම කෘති තුනම මට මතක ඇති සැටියට ස්වර්ණ පුස්තක
අවසන් වටයට නිර්දේශ වූ පොත්ය. මෙයින් වඩාත් මා සිත් ගත්තේ කරුණාදාස සූරියආරච්චිගේ
''රතු ඉද්ද'' නවකතාවය. මවිසින් කියවූ කෘති තුන අතරින් ''රතු ඉද්ද'' ඉදිරියෙන්
සිටින්නේ යැයි මම සිතමි.
මතුපිටින් දිව යන අක්ක නගාලගේ කතාවක් ලෙස දිස් වුවද, අප
වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල සැඟවුණු
න්‍යාය පත්‍රයන් පිළිබදව පැහැදිලිව කතා කරන ''රතු ඉද්ද'' නවකතාව, යුද්ධයෙන් පසු
ලංකාවේ සාමය අලෙවි කිරීමට දරණ තැතද, ස්වාභාවික සම්පත් කොල්ල කන ජාන මංකොල්ලයද, ඒ
හරහා මහා පරිමාණ ලෙස සැරිසරන මුදල් ප්‍රවාහයද, දැනුවත්ව හා නොදැනුවත්වම අධිරාජ්‍යවාදී
හස්තවල ගොදුරු වී තම මිනිසුන් තම දේශයේ සම්පත් මුදලට පාවා දෙන මිනිසුන් ගැනද කතා
කරයි. රාජ්‍ය වන නොවන සියලු අංශ වල මතුපිටින් පෙනෙන ක්‍රියාකාරිත්වයන් පිටුපස
සැගවී ඇති අන්තරායකර න්‍යාය පත්‍රයන් පිළිබදව අප අවදි මනසින් සිටිය යුතු බව '' රතු
ඉද්ද '' අපට අනතුරු ඇගවීමක්ද කරයි.
සොබාදහමේ උත්තරීතර බව ගැන නැවත නැවතත් සිතන්නට පෙළඹවීමක්
ඇති කරන ''රතු ඉද්ද'', මනුෂ්‍යත්වය පිළිබදව ද සමාජයේ මතුපිට සම්මතයන්ගෙන් බැහැරව ගොස්
ආදරණීයව දකින්නට, සිතන්නට අප පොළඹවයි. ඉන්දුත්තරා, සඳවතී, ගුණවතී, ලඹිට්ටී, බිනරි,
කෙන්යාවේ ඕන්ජා මෙහි හමු වූ අපුරු ස්ත්‍රී චරිත යැයි මට සිතේ.
නවකතාවේ අඩුපාඩුවක් ලෙස මට දැනෙන්නේ මේ සියලු ජාතික,
ජාත්‍යන්තර කාරණා හසුරුවන සහ මෙහෙයවන දේශපාලනය පිළිබඳව යම් තරමකට හෝ සාකච්ඡා
නොවීමයි. එසේම ''සුන්දරම්'' යනු අවසානයේ දේශයේ විනාශය මෙහෙයවන්නට ජාත්‍යන්තර හස්තයට
ආධාර කරන එල්.ටී.ටී. ක්‍රියාකාරිකයෙක් බව නොකියා කියැවේ. සිංහල ඉන්දුත්තරා නිවැරදි
කාරියක වන විට දමිළ සුන්දරම්, ඇමරිකන් එන්ජි වැරදි කරුවන් බවට පත් වේ. ඒ දැක්ම තුළ
යම් පක්ෂග්‍රාහී බවක් ඇතැයි මට සිතේ. අපේ රටේ විනාශකාරී තත්වයන්ට සිංහල අපිත් වග
කිව යුතු නොවේද?
බරපතළ මාතෘකා කතා බහ වුවද නවකතාව එක හුස්මට කියවිය හැකිය.
රසවත්ය. මෙහි ගස්වැල් පවා පණ ඇති චරිත බවට පත් වී ඇත. මගේ දැනුමේ, අවබෝධයේ, වින්දනයේ
තරමට ''රතු ඉද්ද'' මට අගය කළ හැකි, ආදරය
කළ හැකි කෘතියකි.
( ප.ලි. රතු ඉද්ද ගැන ලියැවුණු කිසිම විචාර ලිපියක් මේ
තෙක් මට කියවන්නට ලැබී නැත. පොත කියවීමෙන් මට දැණුනු හැඟීම් ඔබ හා බෙදා ගන්නට
පමණක් අවැසි විය. පරිවර්තන කියවන තරම්ම උනන්දුවකින් අපේ කෘතිද කියවිය යුතු යැයි මට
සිතේ. ඒ සඳහා ඔබට ද ඇරයුම් කරමි. )
පරඬැල් සහ සිටුවර පුවත කියෙව්වා .. රතු ඉද්ද තවම කියවගන්න බැරි වුනා.
ReplyDeleteඔය පාවුලො කොයියො ගෙ පොත... ප්‍රදර්ශනය පුරාවට හෙව්වත් මට හොයාගන්න බැරි වුනා. [ඒක කියවන්න හරි ආසාවෙන් හිටිය පොතක්]
රතු ඉද්ද වෙනස් තේමාවට මාත් කැමතියි..
ReplyDeleteපවුලෝ කොයියෝ ගේ පොත් හොදද ? මම කියවල නැහැ තවම
ReplyDeleteහිරුත් හිම පියල්ලක පමණක් කියවා ඇත!
ReplyDeleteමෑත කාලයේ කියවූ හොඳම කවිපොත් වලින් එකකි!
ස්තුතියි අපිටත් කිව්වට :) ජය!
ReplyDeleteරතු ඉද්ද ගැන සටහනක් තියන්න මමති හිතාගෙන හිටිය. විශිෂ්ට නවකතාවක්. සිටුවර පුවතත් ඒ වගේ
ReplyDeleteමාත් මේ පොත ගත්තා. මේ දවස්වල කියවන ගමන් ඉන්නේ. ස්තුතියි ඔත්තුවට
ReplyDelete