පිටු

Friday, August 1, 2014

Walking Path



‘‘ඇයි මේ නාට්‍යයට මේ තරම්ම ක්‍රවුඩ් එකක්... කාලෙකින් ඩ්‍රාමා එකකට මේ තරම් සෙනගක් ඉන්නව දැක්කෙ.

සුපැහැදිලි ඉංග්‍රීසියෙන් කතාව ඇරඹූ නාගරික ඉහළ මධ්‍යම පාන්තික හැඩරුව දැරූ මැදිවියේ කත මගේ සිංහලයට අනුගත වෙමින් එවර කතාව ඇරඹූයේ සිංහලෙනි.

‘‘මං හිතන්නෙ මේ නමට තියෙන ආකර්ශණය වෙන්න ඇති... අගනුවර වටා ඇවිදින මං තීරුවල නිතර දකින වර්ගයේ බාල මහලු තරුණ රූපකායන් නිරීක්ෂණය කරමින් මම පැවසීමි.

‘‘ම්... ඒක තමයි, මමත් ආවෙ වෝකින් පාත් ගැන මෙයාල මොනවද කියන්න හදන්නෙ කියල බලන්න. ඒක කොයි තරම් හොඳ වැඩක්ද? මිනිස්සුන්ට නිදහසේ ඇවිදින්න පුළුවන්නෙ. මේගොල්ලො හොඳ දේටත් ගහනවනෙ...  ඈ පැවසූයේ නොරිස්සුමිනි. එවැනි කුතුහලයකින් හෝ නොරිස්සුමකින් පැමිණියවුන් තවත් වේදැයි මම හාත්පස දෙනෙත් යැව්වෙමි.

ඒ අමුතුම අමුතු ලොවකි. වින්දනයෙන් එහා ගිය සක්‍රිය සමාජ දායකත්වයක් එබඳු ප්‍රේක්ෂක පිරිසකගෙන් ලැබිය හැකි දැයි මසිත මගෙන් ම විමසයි.

අප සිටියේ ලයනල් වෙන්ට් රඟහලේ ආලින්දයේ වූ සෝපාවෙහි අසුන් ගෙන ය. හරියටම පසුගිය 26 වන දා පස්වරු හත ආසන්නයේ ය. ජයම්පති ගුරුගේ අධ්‍යක්ෂණය කළ Walking Path වේදිකා පෙළහර දකිනු රිසියෙනි.

.............................

තිර රෙදි දෙපසට ඇදී යත්ම විවර වූ වේදිකාව මුළුමනින්ම නිල්පැහැයෙන් යුතුය. අහස් නිල හෝ සයුරු නිල සිහිකැඳවන ඒ දීප්තිමත් නිල තවදුරටත් ලාංකීය පොළව මත නෙත්සිත් සනහන වර්ණයක් පමණක්ම නොවන බව ක්ෂණිකව සිහිපත් වේ.

තනි සුදු පැහැයෙන් සැරසුණු නළිනිලියන් මළවුන්ගේ ලොවක් සිහි කැඳවන සුළු ය. නීලාවකාශයක සැරිසරන මළවුන් මෙනි. සියලුම වේදිකා භාණ්ඩ, රංග භාණ්ඩ පවා සුදු පැහැයෙනි. සොහොන් බිමක හිස් බව මතුකරන  නිර්මාණ සැලසුමකි.

නාට්‍යය ඇරඹෙන්නේ 2009 වසරේ මැයි මාසය සිහිගන්වන දර්ශනයකිනි. යුධ ජයග්‍රහණයෙන් උදම් වූ සාමාන්‍ය මිනිස් සමූහයක් අවි අත දැරූ සොල්දාදුවන් සමග විජයග්‍රහණය සමරන අයුරිනි. නිදහස් සහ කෙළිලොල් ස්වභාවයක් දරන එකී මිනිස් සමූහය ඇවිදින මං තීරුවල දිවීමෙහි නිරත අය නිරීක්ෂණය කරනුද, ක්‍රමයෙන් එකී දිවීමට හවුල් වන අයුරු ද, ඒ සමග සමූහයේ පැවැත්ම වෙනස් වන අයුරුද ක්‍රමිකව ගලායන රංග කාර්යය තුළ නිරූපණය වේ.

දෙබස් නැත. අභිරූපණ රංගනයක් මෙනි. සංගීතය භාෂාවෙහි අඩුව සපුරමින් රංග කාර්යයට අත්වැල් සපයයි. ඒ අතර හිනැහෙන, වැළපෙන, සුසුම්ලන හඬ පමණක් ම සවන් ගැටේ.

අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වන රංගය නිරන්තරයෙන් අප අත්දකින සමාජ යථාර්ථයට අවදිවන්නට කරන නිහඬ ඇරයුමකි.

පශ්චාත් යුධසමය තුළ ස්ථාපිත සමාජය, ඇවිදින මං තීරු හරහා ගොඩනැගෙන නව සංස්කෘතිය තුළ සංකේතගතව නිරූපිතය.  නව තාක්ෂණය සමග මිනිස් ජීවිත හුදකලා වන අයුරු, මානව සම්බන්ධතා දුරස් වන අයුරු, ඒකාකාරී රාමුවක ජීවිත සිරගත වන අයුරු වේදිකාව මත දිගහැරේ.

එය හුදෙක් ඇවිදින මං තීරු පිළිබඳ කතාවක් පමණක් ම නොවේ. සමස්ත ලාංකීය සමාජයේ වර්තමාන පැවැත්ම පිළිබඳව වන කතාවකි. තවදුරටත් සාමූහිකව සද්භාවයෙන් එකමුතුවීම, ක්‍රියාකාරී වීම, අදහස් හුවමාරුව සිදු නොවේ. නවීන තාක්ෂණය පුද්ගලයා වඩ වඩාත් හුදකලා සත්වයකු බවට පත්කරවන අයුරු පෙනෙයි.

එකී සමාජය තුළ ප්‍රේමය, මිත්‍රත්වය, කරුණාව, දයාව වැනි මානුෂික වටිනාකම් පවා අඩු ලංසුවට වෙන්දේසි වෙන බව අවබෝධ කරගන්නටත් එයට එරෙහිව පෙළගැසෙන්නටත් වේදිකා පෙළහර පමණක් ප්‍රමාණවත් නොවන බව හැඟෙයි.    

යුද්ධය නිමාවීමෙන් පසු සියලු යසිසුරින් පිරි සමෘද්ධිමත් සිහිනයක ඇලී ගැලී සිටින ජනතාව මිලිටරි සපත්තු පහරින් තිගැස්සෙයි. පීඩාවට පත්වෙයි. පහර කයි. මියැදෙයි. සිතූ පැතූ නිදහස සිහිනයක් බව පසක් කරගන්නා ඔවුන් නිහඬවම වැල යන අතට මැස්ස බඳින යුරු පෙනෙයි. දැනෙයි. මළමිනී මතින් පනිමින් පවා ඔවුන් නිහඬවම මළවුන් සේ දිව යයි. එරෙහිව නැගී සිටින අල්පතර මනුෂ්‍යත්වය පවා මර්දනයට ලක් වේ.

ඒ අතර රණ විරුවන්ව පිදුම් ලැබූ සොල්දාදුවන් කම්කරුවන් ව, උද්‍යාන පාලකයන් ව මහමගට ඇද වැටෙයි. දැඩි මානසික පීඩනයක සිරගතවූ ඔවුන් ද අප සේම පවතින ක්‍රමයේ සිරකරුවන් නොවේද යන ගැටලුව සිත මතුවෙයි.

කුමන සංවර්ධන ඓශ්චර්යයන් සිදුවුවද දරිද්‍රයාගේ තැන වෙනස් වී නැති අයුරු උද්‍යානය අමදින කම්කරුවාගේ ජීවිතය තුළින් නිරීක්ෂණය වේ.  

මෙකී නොකී තවත් බොහෝ සමාජ සංසිද්ධීන් මෙම නාට්‍යය තුළ ප්‍රේක්ෂකයාට අබිමුඛ වේ. විටෙක සිනා මතු වුව ද, සිනහවට වඩා  වැළපිය යුතු තත්වයක් නොවේදැයි සිතේ. සිනහ විය යුත්තේ අප අපටම නොවේද? Walking Path ගැන කියන්නේ කුමක්දැයි දකිනු රිසින් පැමිණි යම් අයෙකු වේ නම් Walking Path හරහා කතා කරන සමස්ත සමාජය පිළිබඳ ඛේදාන්තයට යම් තරමක හෝ අවදි වූවා නම් එය සතුටට කරුණකි.

වේදිකා නාට්‍යයක ගුණාගුණ විවරණය කරන්නට තරම් නාට්‍ය හා රංගකලාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ හැදෑරීමක් මා සතු නොවේ. මේ ලියූවේ Walking Path හි සැරිසැරුමෙන් මට දැණුනු හැඟුණු අදහස් පමණි. ආරම්භයේ සිට අවසානය දක්වා නෙත සිත වේදිකාව මත අලවා තබා ගැන්මට නාට්‍යය සමත් විය. එය නාට්‍යය හා සක්‍රීයව බැඳුණු සැමට සමානව බෙදී යා යුතු ප්‍රශංසාවක් යැයි සිතමි.
 
 

Walking Path වේදිකාව මත රඟ දැක්වෙන අතර ලයනල් වෙන්ට් රඟහලේම චන්ද්‍රගුප්ත තේනුවර විසින් 1983 කළු ජූලි අත්දැකීමට සමගාමීව වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය ද පැවැත්විණි. එය ඉහත නාට්‍යෙයන් ප්‍රකාශිත අදහසම තවත් කලා මාධ්‍යයකින් කියාපෑමකි. සමස්ත සමාජයේ මුනිවත බිඳ හැර යථාර්ථයට අවදි කරනු පිණිස මෙකී කලාකරුවන් දරන වෑයම අගය කළ යුතු ය.

එක් මූර්ති ස්ථාපනයක් එකපිට එක තැබූ ගඩොල් කුළුණු මත මිනිස් හිස් ය. එකී මිනිස් හිස්වල ඇස් කන් නාසා තිබුණද මුව නැත. එනයින්ම ගොලු ය. අප එහි ගොඩවැදුණු සන්ධ්‍යාවේ එකී ගොලු බව සමස්ත කලාගාරය පුරාම විහිදී පැතිරී ගල් ගැහී තිබූ බවක් හැඟිණි.

අනෙක් මූර්තියේ හිස නැති සෙබලෙකි. ඒ සෙබළාට මුවා වී කඩු පොලු ගත් මැර අත් රැසකි. සෙබලා සිටින්නේ අපේ ආරක්ෂාවට නොව එකී මැර සේනාවේ ආරක්ෂාවට බව තේනුවරයන් පවසයි. එය පැහැදිලි සත්‍යයක් බවට මෑතකාලීන බොහෝ අත්දැකීම් සාක්ෂ්‍ය දරන්නේ නොවේද?


නමුත් මෙකී සියලු ප්‍රයත්නයන් කේන්ද්‍රගත වන්නේ කොළඹ මූලික කොටගෙනය. යම්තමින් කුසපොත්ත රවටාගෙන, ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති බලා නින්දට යන සාමාන්‍ය ජනතාව දැනුවත්භාවයෙන් පුබුදුවන්නට සාමාන්‍ය මිනිසුන් අතරටද යා හැකි මාධ්‍ය කලා භාවිතාවක් පිළිබඳව සිතිය යුතු කාලය එළඹ ඇතැයි සිතේ. නොඑසේ නම් සිදුවනුයේ බහුතරය එකම රැල්ලකට ගසාගෙන යන වන විට උඩුගම් බලා පිහිනන අල්පතරවුන් පවා රැල්ලට හසු වී තැලී පොඩි වී, ගිලී යන අන්දම බලා තැවි තැවී සිටීමට විය හැකි ය.

..............................

නාට්‍යය නිම වන විට රාත්‍රිය ය. ත්‍රී රෝද රථයකින් ආපසු එන ගමනේ දුටු කොළඹ අසිරිය සැබවින්ම සුන්දර ය. විහාරමහාදේවිය පහන් වැටකින් ඒකාලෝක ව තිබිණි. මදඅඳුරු අහස පසුබිම් කොටගෙන පුරහල ධවල පැහැයෙන් බැබළෙයි.

නමුදු ඒ සුන්දරත්වය විඳිනු හැකි කොතරම් අල්පතර පිරිසකට ද?

කෘතිමව මවන්නාවූ මෙකී සුන්දරත්වය වෙනුවෙන් අප විසින් දැරිය යුතු පිරිවැය කොතරම් ද?

මේ අසිරිමත් කොදෙව්වේ බහුතරය එකී පිරිවැය වෙනුවෙන් අසීමිත ජීවන බරක් උහුලන දරිද්‍රභාවයේ ගිලී සිටින ජනතාවක් නොවේද?

 

 

 

9 comments:

  1. අපිත් නාට්‍යයක් පෙන්නනවා ලඟදීම :).... සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ නෑ... කවි නැති හින්දද මන්දා...

    ReplyDelete
    Replies
    1. තිසර සින්දු කියනවත් දැක්කා ළඟකදි මූණුපොතින්...

      කවි ලියවුණේ නැති තරම්.. කවියට ස්වයං වාරණ.... කවි විඳීමට මිස කවි ලිවීමට මං ඒ තරම් දක්ෂ නැහැ කියල හිතෙනවා...

      Delete
    2. දක්ෂයි අදක්ෂයි කියා දෙයක් නෑ. වචන අපතේ නොයවා කවි ලියන්න.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. සිනාසිය යුතු නොවේ
    හැඬිය යුතුය අප
    තනිව නොව එකට එක්ව
    ලොව දෙදරන්ට හැඬිය යුතුය අප
    කඳුළු මැවු මිනිසුන්ට
    නිදන්නට බැරි වෙන්ට හැඬිය යුතුය අප
    මම අරඹමි හැඬුම
    එක්වෙනවද ඔබ මට?

    ReplyDelete
  4. ලිපිය ඉතා වැදගත්. ඔබ ඒ සියල්ල අපිටත් රසවිදින්නට ගෙන ඒම ගැන ස්තූතියි...........

    ReplyDelete
  5. වටිනා ලිපියක් ...

    නාට්ටි නං ඉතිං විදානේ එකෙන්ම...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  6. නාට්ටිය බලන්න බැරිවුණු නිසා ඒ ගැන යමක් කියන්න විදිහක් නෑ .
    ලිපිය ලියු ඔබ දැකපු විඳපු දේවල් තුලින් කියවා ගත් දේ, එලෙසින්ම තේරුම් ගන්නට තරම් තර්ක බුද්ධියක් හා විචාර බුද්ධියක් බොහෝ දෙනෙකුටනොමැති වීම ගැන ඇත්තේ කනගාටුවකි.

    ReplyDelete
  7. නලා කාරයෝ ගොඩක් එක්ක තවමත් සමාජයේ තියෙන රික්තක පෙන්වන ඒවාට පිළියම් හොයන,ඒවා ගැන කතා කරන කලාකාරයොත් කිහිප දෙනෙක් හරි ඉන්නවා නේද තරූ අක්කේ ?

    අපේ සමාජේ හරිම අන්ධයි,ගොළුයි,බිහිරියි තමන්ට විපතක් වෙනකම් එක දකින්නේ ඇහෙන්නේ කතා කරන්නේ නැහැ.ඇවිදින්න පාරවල් හැදෙයි,එත් මිනිස්සුන්ගේ හදවතට,බුද්ධියට කවදා පාරවල් තැනේවිද?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...