කඨෝර ගී රැල්ලකින් කන්අඩි දෙදරවමින්, ඉන් නොනැවතී එක
සීරුවට හූ තලමින් ඉගිල්ලී ආ පුද්ගලික බස් රථය අගනුවර
බස්නැවතුමට ගාල් වූයේ මහත්වූ ස්වාමිභක්තියෙන් ආලෝලනය වූ බලුපැටියකු හීන්සීරුවේ
කූඩුවට ගාල්වෙන්නාක් වැනි සංයමයකිනි. අවසන් මගියා ව නිස්කාන්සුවේ බස්රථයෙන් බසින මා දෙස රියදුරු හෙලූයේ නෝක්කාඩු
බැල්මක් බව වටහා ගන්නට තරම් මගේ සිත සිහිබුද්ධියෙන් පසුවූයේ නොවේ.
මේ සිහිනයෙන්
ද? හැබැහින් ද? නිනව්වක් නැත. මම හෙමිහිට ඇවිද යමි. නාගරික දාංගල් හුළඟට කෙහෙරැලි
නිරාවරණය වනුයේ වසර ගණනාවකිනි. නිශ්චිතව ම ගණනය කළහොත් වසර හතරකි. කල්ප කාලයක් සේ
ගෙවුණාවූ නිමේෂයක් බඳු වසර හතරකි. ඇහිපිය එසවීම අසීරු ය. එතරම්ම අව්කාස්ටකය
නුහුරුය. ආගන්තුකය. කෙහෙරැල් මෙතරම්ම නටන්නේ ප්‍රීතියෙන්ද, නොරිස්සුමින්ද නොදනිමි.
අවසන් වතාවට කොළඹ පයගැසූදා මුරුගසං
වරුසාවක් ඇද හැලුණා මට මතක ය. කොළඹ ම සේදී ගිය තරමි. පළමු යුධ ජයග්‍රහණ සැමරුම් පෙරපුහුණුවට
අගනුවරට පැමිණි සොල්දාදුවෝ තැන් තැන්වල කූඩාරම්වලට ගාල් වී නිමක් නැතිව ඇද හැලෙන
වැස්ස දෙස බලා සිටියහ. ගාලු මුවදොර පිටිය කෙළවරක වේදනාවෙන් දැවෙන ඇස්දෙකකින් පිටාර
ගලන කඳුළු වැස්සකි. ඒ කඳුළු වැස්සේ හිමිකාරිය මේ මම ම නොවුණිද? සැබවින්ම එදා මට අවැසි වූයේ ජාතිවාදී උන්මාදයෙන්
පුපුරු ගසන මේ කොදෙව්වම දැවී හළු වී යන සේ සාප කරන්නටය. නමුත් නොනැවතී ගලන කඳුළු
වැස්සක හේදි හේදී මා බලා උන්නා පමණි.
කෝවලන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා කෑ
ගසන්නට මා කන්නගී නොවුණි. ප්‍රාතිහාර්ය පාන්නට තරම් ශක්තිමත් ප්‍රේමයක් මා සතු
නොවුණිද? සන්තකයේ වූ ප්‍රේමණීය ස්මරණයන්ගෙන් පළා යනු පිණිස මා එදා උඩරට මැණිකේ දුම්රියට ගොඩ වී ඇත්තේ
සදාකාලිකව හද මත මිදෙනු පිණිස මතක සම්භාරයක් රැස් කරගෙන බව පසක් වූයේ දිනෙන් දින
සීතලට ගල්ගැහෙන හදවත හුරුපුරුදු උණුසුමක් සොයා අප්‍රමාණව ළතවෙන අතර ය.
එදා මා අගනුවර හැරගියේ නැවත කිසිදිනක
අගනුවර දකිනු රිසින් නම් නොවේ. නමුත්, පූර්ව නිශ්චිත නිගමන ජීවිතය සම්බන්ධයෙන්
සැමවිටම සාධාරණ නොවන බව අදහාගන්නට සිදුවන අවස්ථාද එළඹේ.
හරියටම ඉන් වසර හතරකට පසුව....
භූගත
ජීවිතයෙන් මිදෙන්නට අවැසි වූයේ ඇයිදැයි සිතන්නට නොවෙහෙසෙමි. තර්කයක් නැත. ඔබේ සිංහල
කවි පද ඇමිණු ඇරයුම්පත මා හුදකලා කඨෝර අන්ධකාරයෙන් එළියට ඇද දමා ඇත. මේ සිංහල කවි
පද කියවන කිසිවකුත් ඔබ උපතින් දෙමළ යැයි නොඅදහනු ඇත. දෙමළ වුව, සිංහල වුව කිම? මේ
සියල්ල ඉක්මවූ මනුෂ්‍යත්වයකින් ඔබ නිරන්තරව දැල්වී උන් බව පමණක් හද මත කෙටී ඇත.
සදාතනිකව නොමැකෙන ලෙසිනි.
‘‘අපි ජීවතුන්
අතර..........”
එන්න... අත්වැල් බැඳගන්න
ජීවිතය වෙනුවෙන් ජීවිතය පුද දුන්
නොමැරුණු මිනිසුන් සමඟ
අත්වැල් බැඳගන්න... ඔබ එන්න...
මළගිය මිනිසුන් අතරින් මිදී
ප්‍රේමයේ දිව්‍යමය හුස්ම ගෙන
ඔබ එන්න...”
ජූලි 23 සවස 3.00 ට - විහාරමහාදේවී එළිමහන්
රඟබිමට.....
( උත්තරා ඔයා එන්නම ඕන.... ආදිත්‍ය වෙනුවෙන්
විතරක්ම නෙවෙයි ලෝකය වෙනුවෙන්, ආදරය වෙනුවෙන් ඔයා එන්නම ඕන...)
ඇරයුම්පත අගිස්සේ ලියා තිබිණි. මීන වරල් සේ
සැලෙන ලෙලෙන ඒ අතකුරු නිර්මලා ගේ ය.
- නිමාවක් නොවේ මේ ඇරඹුමක් පමණි... -
තරැරසී වාගෙම එදා මා අගනුවර හැරගියේ නැවත කිසිදිනක අගනුවර දකිනු රිසින් නම් නොවේ. මමත් වතාවත් එහෙම ලීවා මතකයි.
ReplyDelete“මේ කොළඹ කළු අහස..
යළි දකින්නේ කුමට....
දමා යන්නට කිසිත්...
ඉතිරි වී නැති දිනෙක...
තවත් කුමකට රැඳෙනු ...
මේ පාළු සොහොන් බිම...“
එහෙම කිව්වත් ආයෙම කොළඹ එන්න වුණා.
ඒ තමයි ...කොළඹ...
මේ නම් කතාවක් අයියේ.... මම නම් දැන් අවුරුදු 14 ක් තිස්සෙම අගනුවර.... මම ගමට කැමතියි.. කොළඹටත් කැමතියි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකලින් කොමෙන්ටුව මකන්න උනා.
Delete“නිමාවක් නොවේ මේ ඇරඹුමක් පමණි...“ කියන වාක්‍යය මම කියවල තිබ්බෙ
“නිමාවක් නොවේ ‘නම්‘ ඇරඹුමක් පමණි...“ කියලයි. ඉතින් ඒක කොච්චරනම් ඇත්තක්ද කියල හිතිලයි ඒ කොමෙන්ටුව දැම්මෙ.
අපි කොළඹට අකමැති කොළඹින් පිටතදි නොපෙනෙන යතාර්ථයන් කොළඹදි ඕනෑවටත් වඩා වැඩියෙන් පේන නිසාද කියල වෙලාවකට මට හිතෙනව...
මේ ටිකක් දිගට ලියන්න හිතන් ඉන්න කතාවක් නිසයි.. එහෙම ලිව්වෙ...
Deleteමම නම් කොළඹට අකමැති නැහැ... මේ මහපොළවෙ කොතනට වුණත් ආදරය කරන්න අපට පුලුවන් වෙන්න ඕන...
//මීන වරල් සේ සැලෙන // ලස්සණ අදහසක්.
ReplyDeleteමුලු ජීවිතේම නිමාවක් වෙන්නේ නෑ කවදාවත්. නවත්තපු තැනකින් අපි ආයෙම පටන් ගන්නවා තරූ...
ජීවිතේ කතා නම් නිමාවක් නැහැ තමයි.. ඒත් මේ කතාව ගැන අදහස නම් මට ආවෙ පහුගිය ජූලි 23 වැඩෙත් එක්ක..............
Deleteම්ම්ම්...මට කමෙන්ට් කරන්න තරම් මේක ගැඹුරු වැඩිද මන්දා
ReplyDeleteඑහෙමටම ගැඹුරු නැහැ නේද?
Deleteමනුෂ්‍යත්වය උතුම් කොට සලකන සමාජෙක සිංහල,දෙමළ,මුස්ලිම් භේද නැහැනේ තරු අක්කේ.
ReplyDeleteආයෙත් එන්නේ නැහැ කියලා අපිව හැර යන දේවල්,ආයෙමත් එන්නේ නැහැ කියලා අපි දාලා එන දේවල් කොයි තරම් තියෙනවාද ආයෙමත් අපිව හොයාගෙන එන අපි හොයාගෙන යන.
මට මේකට කමෙන්ට් කරන්න තේරුමක් නෑ.. ගැඹුරු කතාවක්.
ReplyDelete