Tuesday, July 21, 2015

“සම්සරා“ සංසාර ළතැවුල් මේසා බර ද?


සම්සරා සංසාර ගමන ගැන අලුතින් හිතන්නට දෙයක් එක්කළා යැයි හිතුණෙ නැහැ.  බොහෝ වර දැනෙමින්, හැඟෙමින් තිබුණු ජීවිතය පිළිබඳ හැඟීම් ගොන්නක් ඒ නිස්කලංක රූප රාමු අතර මට නැවත හමුවෙමින් තිබුණා.

ළමා වියේදී පැවිදි බිමට ඇතුල් වෙන ටාෂි තාරුණ්‍යෙය්දී ඉතා දුෂ්කර ධ්‍යානයක් සපුරා නැවත ආරාමයට පැමිණෙනවා. නමුත් ඔහුට මුළුමනින්ම තම ඇතුළාන්ත තෘෂ්ණාවන් අත්හරින්නට හැකි වී නැහැ. අනපේක්ෂිතව හමුවන සුන්දර යුවතියක් නිසා සසල සිතැති ඔහු පැවිදි දිවියෙන් බැහැරව ඇය සමඟ විවාහ දිවියට ඇතුළ් වෙනවා. එය අතිශය සුන්දර, ශෘංගාරාත්මක ප්‍රේමාලිංගනයන්හි සිට එදිනෙදා දිවියේ අපි දකින යාන්ත්‍රික විවාහ දිවියක් දක්වා පරිවර්තනය වන අයුරු සියුම්ව නිරූපිතයි... 

ආලය, රාගය, ගේහසිත ප්‍රේමය, ධනය, බලය මේ සියල්ල අත්කරගත්තත් ඒ කිසිවකින් අධ්‍යාත්මික සංහිඳීමක් අත්නොදකින ටාෂි නැවතත් කසාය වස්ත්‍ර පොරවා නික්ම යනවා... සරල කතා පුවත එලෙස වුණත් ඒ තුළ ජීවිතය, ආදරය, අනුරාගය, ධනය, බලය පිළිබඳව බරපතල කතාවක් සංකේත රැසක් එක්ක සුන්දරව ගලා යනවා.



දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ... හදවත තමන්ගේ ඒත් සතුට අනුන්ගේ...

මේ ගීතය චිත්‍රපටයේත් එක් තැනක හෙමිහිට ඇසුණා මතකයි. කොතැනද හරියටම මතක නැහැ. අර්ථය යම්තමින් දැන උන් නිසාම පසුබිමින් ඇසුණු මේ ගී ඛණ්ඩය වුණත් සමස්ත කතා තේමාව එක්ක කොයි තරම් දුරට පෑහෙනවද කියල දැණුනා.

තමන්ගේ සතුට අනුන්ගේ දෑස් තුළ, අනුන්ගේ හදවත් තුළ, පරිභෝජනවාදය තුළ හොයන්නට යාම ආයෙමත් වේදනාවට පාර කපා ගැනීමක් නෙවෙයිද? තමන්ගේ සතුට තමන් තුළින්ම සොයා පහදාගන්නේ කොහොමද? තමන් තුළින්ම අධ්‍යාත්මික සුවපත්භාවය අයත් කරගන්නට හැකි නම් ජීවිතය කොතරම් සාමකාමී සුන්දර අත්දැකීමක් වනවාද? මම හැමදාමත් මගේ හිතෙන්ම අසමින්, පිළිතුරත් හදවත තුළම ගොනු කරගනිමින් ඉන්නා කතාවක් ඒ....

‘‘වතුර සියල්ලම  හිස් කළත් එක බිංදුවක් හරි ඉතිරි වෙන්නෙ කොහොමද?‘‘ චිත්‍රපටයේ ආරම්භයෙදිම ටාෂිගේ දෑස හරහා අපේ ඇස ගැටෙන ගල් පුවරුවක ඒ වැකිය හමුවෙනවා... චිත්‍රපටය අවසානයේ ටාෂි එතැනදිම ඒ ගල් පුවරුවම අනෙක් පස පෙරළා බලනවා... ‘‘ඒ දිය බිඳුවමයි මහා සමුදුරක් බවට පත්වෙන්නෙ.‘‘ එහි සඳහන්..

ජීවිතයත් එලෙසින්ම වන බව චිත්‍රපටය තුළ ගැඹුරින් සාකච්ඡා වනවා. තණ්හාව ආශාව කොතරම් දුරස් කළත් අංශු මාත්‍රයක් හෝ ඉතිරි වෙනවා. එයම තමයි අවසානයේ මහා දුක්ඛ මහෝඝයක් වෙන්නෙත්. එසේ නොවන්නට ඇලීම් ගැටීම්වලින් තොරව පවතින්න සිහිබුද්ධිය වගා කරගැනීම පහසු දෙයක් නම් නෙවෙයි. ඒ නිසාම නිරන්තරයෙන් හදවතේ ඉරිතැලීම් ඇති වෙන්නත් පුළුවනි. ජීවිත කාලය පුරාම අපි කරන්නෙ ඒ ඉරිතැලීම්වලට තෙල් සාත්තු කරමින් සුවපත් වන්නට උත්සාහ ගනිමින් ඉන්න එක නෙවි ද? ඇත්තටම ජීවිතය කියන්නෙ ඒකට ද?

සම්සරා මනදොළ සපුරාගනිමින් ජීවිතය ලුහුබඳින්නකුගේ ජීවන අන්දරය පමණක්ම නොවේ. එය අයිතියෙන් තොරව ප්‍රේම කරන්නටත්, අවැසි විට අත්හරින්නටත්, ජීවිතය තුළම නැවතී හිඳිමින් ජීවිතය දිනාගන්නටත් ගැහැණිය සතු ශක්තිය පිළිබඳවත් හෘදයාංගමව කතා කරන සිනමා සිත්තමක්.

චිත්‍රපටය අවසානයේ ටාෂි බිරිඳත් දරුවාත් අතහැර පිටව යනවා. ඒ මොහොතේ ප්‍රේක්ෂක හදවතට සම්මුඛ වෙන්නෙ ජීවිතය සොයා යන්නෙකුට වඩා පරාජිතව ජීවිතයෙන් පළායන්නෙක්. ඒ ගමන අතරතුර අනපේක්ෂිතව ඔහු හමුවට එන්නෙ බිරිඳ පේමා.. භික්ෂුවක වූ ටාෂිගේ හදවත පැහැර ගෙන ඔහු ගිහි ජීවිතය කෙරෙහි ඇද බැඳ ගත් ප්‍රේමවන්තියත් ඇයමයි... ටාෂි ජීවිතයෙන් පළා යන මොහොතේ තීරණාත්මකව ඇය කරන කතාව නිරායාසයෙන්ම පේමා චිත්‍රපටයේ කේන්ද්‍රීය සහ ප්‍රබල චරිතය බවට පත් කරනවා.


 ‘‘ බුදු හාමුදුරුවො වුණත් ණයගැතියි තමන් ලැබූ බුද්ධත්වය වෙනුවෙන් යශෝධරාට...“

‘‘තාත්ත කෙනෙකුට පුළුවන් වුණාට මහ රැයක දරුවවයි, බිරිඳවයි තනි කරල පිට වෙලා යන්න, අම්ම කෙනෙකුට බෑ තමන්ගෙ දරුවව එහෙම තනි කරල යන්න.“

නොසැලුණු මනසින් තිර අධිටනින් ඇය පැවසූ කතාවෙන් හිතේ කා වැදිලා, මතකයේ ලියවිලා තියෙන්න එපමණයි. ඇය පවසනවා මේ වෙන්වීම ඇය අපේක්ෂා කළ දෙයක් බව. සියල්ලටම පෙර පිටු පා යාමේ උවමනාව ඇති වුණේ තමන්ට වුණත් එලෙස පහසුවෙන් ජීවිතය අත්හැර යන්නට තමන්ට නොහැකි වූ බවත් ඇය පවසනවා. මේ මොහොතෙදි ටාෂි ගේ අසරණ බවත්, පේමාගේ ධෛර්යවන්ත බවත් විශේෂ කොට දක්වන්නට සිනමාකරු අදහස් කළාද හිතෙන තරම්...

ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන්නත්, ආදරය වෙනුවෙන් අත්හරින්නත් ආදරවන්ත ගැහැනියක් තුළ තියෙන ශක්තිය ගැන පිරිමියෙකුට හිතාගන්නවත් බැහැ. මට හිතුණෙ එහෙමයි...


ආපසු එන්නැයි නොකියාම, යන අතක යන්නැයි නොකියා කියාම පේමා නික්ම යනවා.. ඉනික්බිතිවයි ටාෂි ගල් පුවරුව අනෙක් පස හරවා බලන්නේ.  

විඩාබර වත ඔසවා අහස බලන ටාෂි ඇස් නිලංකාර වන ඉර එළියත් එක්ක දකින්නේ ගොදුරකට කුරුමානම් අල්ලමින් ඈත අහසෙ එකම චක්‍රයක කැරකෙමින් ඉන්න උකුස්සෙක්.. ( රාජාලියෙක්, ගිජුලිහිණියෙක් ද මන්දා.. ) එය හරියට කොයි මොහොතේ හෝ අප ඩැහැගන්නට බලා සිටින තෘෂ්ණාවේ, ආත්මාර්ථයේ සංකේතයක් වගේ.. තවත් පැත්තකින් ගොදුරු ලොබින් සංසාර චක්‍රය තුළ කැරකෙමින් ඉන්න මිනිස්කමේ සංකේතයක් වගේ...

සංසාර ළතැවුල් මේ සා බර ද? නිවී සැනසීම කොතරම් දුර ද? චිත්‍රපටය නරඹා බොහෝ දිනකට පසුවත් ඒ සිතුවිල්ල මගේ හිතේ පෙරළි කරමින් තියෙනවා. 


10 comments:

  1. Replies
    1. ඇත්ත... චිත්‍රපටය ලස්සනයි.... ස්තුතියි..

      Delete
  2. ‘තාත්ත කෙනෙකුට පුළුවන් වුණාට මහ රැයක දරුවවයි, බිරිඳවයි තනි කරල පිට වෙලා යන්න, අම්ම කෙනෙකුට බෑ තමන්ගෙ දරුවව එහෙම තනි කරල යන්න.//
    හිතල බලන්න වෙන කතාවක්...
    දෙපැත්තටම සමබර නැති වුණත් බොහෝ විට වෙන දෙයක් නෙ නේහ්
    හොයල බලන්නම හිතෙනව

    ReplyDelete
    Replies
    1. හ්ම්... හිතල බලන්නකො...

      Delete
  3. හදවත තමන්ගේ උනත් සතුට අනුන්ගේ.. මේ ටික කියෙව්වම චිත්‍රපටිය බලන්නම හිතුණා..

    ReplyDelete
    Replies
    1. හොයාගෙන බලන්න.... මේ චිත්‍රපටය මා ළඟ නැහැ. මාසික සිනමා දැක්මෙදි පෙන්නුව චිත්‍රපටයක්නෙ..

      Delete
    2. ඕකනේ කියන්නේ.. කලින් ඉල්ල ගත්ත ඒවා ආපහු දුන්නේ නැති නිසා දෙන්න බෑ කියුවනම් අහවරයිනේ.. :p

      Delete
  4. ‘‘ බුදු හාමුදුරුවො වුණත් ණයගැතියි තමන් ලැබූ බුද්ධත්වය වෙනුවෙන් යශෝධරාට...“

    ‘‘තාත්ත කෙනෙකුට පුළුවන් වුණාට මහ රැයක දරුවවයි, බිරිඳවයි තනි කරල පිට වෙලා යන්න, අම්ම කෙනෙකුට බෑ තමන්ගෙ දරුවව එහෙම තනි කරල යන්න.“

    හදවත ස්පර්ශ කරන දෙබසක්

    ReplyDelete
    Replies
    1. සිංහල අකුරුත් එක්ක චිත්‍රපටය බැලුවෙ.. මටත් මේ දෙබස් හොඳටම මතක තිබුණා. දැන් චිත්‍රපටිය බලල මාසයකටත් ළඟයි...

      Delete
  5. මේ වගේම සංසාර ආත්ම ගත tamil Flim එකක් තියෙනව එකේ නම Magadeera ඒක බලන්න

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...