පිටු

Thursday, July 30, 2015

උත්තරාරාමයේ උත්තරීතර සුව සදන මෙත් සිහිල



හරිත තණ පලස අතරින් පතර වැතිර සිටින ගල් තලාවන් ය. සෙවණ සදන විසල් තුරු ලිය ගොමු ය. පසෙක පවන් රැලි මත සිහිල් දිය බිඳිති අතුරන පස් පියුමෙන් සුසැදි වැව් තලය ය. ඉන් ඔබ්බෙහි හරිත තුරු වියන ඉහළින් දිස් වන සුදෝ සුදු කිරි වෙහෙර ය. ඒ අතර මහා ගල් පව්වක නිමැවුණු බුදුන් වහන්සේගේ මෛත්‍රී කරුණා ගුණයෙන් පිරිපුන් සෙල් රූ පෙළ ය. මහාවංශයට අනුව උත්තරාරාමය යැයි නම් ලද පොළොන්නරුව ගල් විහාරය අවිදු අඳුරට, මෝහාන්ධකාරයට ගොදුරු ව තෘෂ්ණාවෙන්, මමංකාරයෙන් නොනවතින ජීවන අරගලයක යෙදී සිටින මනුෂ්‍ය හදවත් නිවා සැනසිය හැකි අපූරු පින්බිමකි.

උත්තරාරාම ලෙන් විහාරය මහා පරාක්‍රමබාහු රජ සමයේ (ක්‍රි.ව.1153-1186) ශිල්ප කලාවන්හි පවා පැතිර පැවති අධ්‍යාත්මික ප්‍රබෝධයට නිහඬ සාක්ෂි මෙනි. මේ පින්බිමට පිවිස ශෛලමය බුද්ධ ප්‍රතිමා දෙස නිවුණු මනසින් දැහැන්ගතව සිටින විට අතීත කලාකරුවන්, ශිල්පීන් සතු වූ කෞශල්‍යයට, කලාත්මක සංයමයට, විවේකී බුද්ධියට, අධ්‍යාත්මික දියුණුවට තවත් සාධක කුමකටදැයි සිතේ.  

හිඳි පිළිම දෙකක්, හිටි පිළිමයක් සහ ඔත් පිළිමයක් එකම තැනක එකම පව්වක මෙතරම්ම විශිෂ්ඨව නිර්මාණය වූ අන් කිසිදු තැනක් ලෝකයේ නැත.

මකර තොරණ පසුබිම් වූ හිඳි පිලිමය

උත්තරාරාම පුදබිමේ හරිත තැන්න මතින් වැලි පෙතේ පා තබා එන විට මුලින්ම අප ඇස ගැටෙනුයේ වීරාසනයෙන් පද්මාසනයක් මත වැඩ හිඳිනා මකර තොරණක් පසුබිම් කරගත් සමාධි පිළිමයකි. අඩි 15 ක් පමණ උසින් යුක්ත ය. සමාධිගත වූ බුදු රුව ධ්‍යාන මුද්‍රාව සහිත ය. පාංශුදේහදාරී රූපකාය ඍජු ය. අභිමානවත් නමුදු සන්සුන් මුදු ගුණය ද මැනවින් නිරූපිත ය.
මකර තොරණේ විමානවල  තැන්පත් කළ කුඩා බුදු රූ ය. මකර තොරණ සියුම් කැටයමින් අලංකෘත ය. පද්මාසනය රැඳි මණ්ඩපය පවා මනරම් සිංහ, අශ්ව රූප මෙන්ම මල් මෝස්‌තර කැටයමින් සමලංකෘත ය.


විද්‍යාධර ගුහාවේ හිඳි පිළිමය

කළු ගල ඇතුළට හාරා කුළුණු දෙකක් සහිතව සාදන ලද ලෙන තුළ වැඩ හිඳින පිළිම ය උස අඩි 4 ක් පමණ වේ. මුල් හිඳි පිළිමය මෙන් ම වීරාසනයෙන් පද්මාසනයක් මත වැඩ හිඳිනා ධ්‍යාන මුද්‍රාව සහිත හිඳි පිළිමයකි. බුදු රුවේ සිරස ට ඉහළින් ඡත්‍රයකි. පිටුපස තොරණ සහ පිලිමය දෙපස සිංහ, දොරටුපාල, දේව හා බ්‍රහ්ම රූ කැටයම් කොට ඇත. පද්මාසන මණ්ඩපය ද කැටයම් සහිත ය. පිළිමය දෙපස බුදුන් වහන්සේට පවන් සලන ඉරියව්වකින් යුත් චාමරධාරී රූ දෙකකි. අතීතයේ මෙම තොරණ වර්ණ ආලේප කර තිබූ බවටත්, ප්‍රතිමා ගෘහය ෆ්‍රෙස්කෝ ක්‍රමයට අනුව බදාම හා බිතු සිතුවම් ඇඳ තිබූ බවටත් සාධක හමු වී ඇත. විශේෂයෙන් ම මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප්‍රකාශිත ඉන්ද්‍රසාල ගුහාව සංකේතවත් වන බවට මතකයක් පවතී. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා මෙම විද්‍යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙන් සිතුවම්වලට වඩා අග්‍රගණ්‍ය බව ප්‍රකාශ කර ඇත.


මහා කරුණාවෙන් ලොව නිරීක්ෂණය කරන හිටි බුදු රුව

උස අඩි 22 ක් පමණ වන වන මෙම හිටි පිළිමය බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක ආනන්ද තෙරුන් වහන්සේගේ බවට ද මතයක් පවතී. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිහිගන්වන සැතපෙන පිළිමය අසලින්ම නෙලා ඇති හෙයින් ද, පිළිමයේ දෑත් තබාගෙන ඇති ඉරියව්වද එකී මතයට හේතු සාධක වී ඇතැයි සිතිය හැකි ය. මෙම හිටි පිළිමයෙන් බුදුන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාව නිරූපණය වන බවට ද තවත් මතයකි. පද්මාසනය, ලම්බකර්ණ, මුදු ගැසුණු කෙස්, ඍජු රූපකාය ආදී ලක්ෂණ නිරීක්ෂණය කරන විට මෙම පිළිමය බුදුන් වහන්සේ ම නිරූපණය කරන බවට සැකයක් නැත.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සඳහන් කරනුයේ මෙය පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව බවයි. එම මුද්‍රාව අරුත් ගන්වන්නේ බුදුන් වහන්සේ මහා කරුණා නෙත යොමු කර ලෝක සත්වයා නිරීක්ෂණය කරන ආකාරයයි. මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියන් ගේ අදහස එය තෛයිලෝක්‍ය විජය මුද්‍රාව බවයි.

ශෛලමය නෙළුම් මලක් මත නෙළූ පිළිමයේ සිරුර තුන් තැනකින් නැමුණු ස්වභාවයක් දරන්නේ, සැහැල්ලු ඉරියව්වක පසුවන බවක් පෙන්නුම් කරමිනි. ඉදිරියෙන් බලන විට විටෙක කණස්සලු ස්වභාවයක්ද, කල්පනාකාරී ගැඹුරු ස්වභාවයක් ද දක්නට ලැබුණ ද පසෙකින් හිඳින්නකුට මඳහසක් සහිත සැහැල්ලු ස්වභාවයක් දර්ශනය වනු ඇත.


සිංහ සෙයියාවෙන් සැතපෙන බුදුන් වහන්සේ

දිග අඩි 46 ක් වන මෙම බුද්ධ ප්‍රතිමාව ගල් විහාරයේ විශාලම ප්‍රතිමාව ද වේ. බුදුන් වහන්සේගේ පිරිනිවන් මංඤ්චකය නිරූපණය වන බවට ද, බුදු හිමි සැතපෙන අවස්ථාවක් බවට ද මෙම පිළිමය ගැන මත ඉදිරිපත් වී ඇත. කොට්ටය මත තැබූ වම් අත මත බුදුන් වහන්සේගේ හිස සැතපී ඇත. සයනාසනාරූඪ සිරුරක හැඩය, සැහැල්ලුවෙන් නිදි සුව විඳින වත මඬලක ප්‍රභාසම්පන්න බව, සිරසේ බර දරන කොට්ටය යටට එරී ඇති ආකාරය පවා මූර්තිමත් වන විශිෂ්ඨ නිර්මාණයකි. කොට්ටයේ මුහුණත ද අලංකාර කැටයමින් යුක්ත ය.


රළු කළු ගලක අසිරි පෑ විස්මය

ගල්විහාර බිමේ සැම ප්‍රතිමාවක් ම, සැම කැටයක් ම අසිරිමත් ය. අග්‍රගණ්‍ය ය. ගල් පව්ව වුව විශිෂ්ට කලාකරුවන් අත මැටි පිඩක් තරම් සුමට වන බවට අගනාම නිදසුනකි මේ. වඩාත්ම ඓශ්චර්යය වන්නේ රළු කළු ගලක බුදුන් වහන්සේගේ ආරෝහ පරිණාහ දේහයත්, මුදු කරුණා ගුණයත්, සමාධිගත භාවයත් මෙතරම් විශිෂ්ඨව නිමවා තිබීම ය. ප්‍රතිමාවන්හි භාවයන් නිරූපණය වන අන්දම ද විස්මිත ය. නරඹන්නා රැඳී සිටින කෝණය අනුව එකම ප්‍රතිමාවෙන් වුව ද විවිධ භාවයන් හඳුනා ගත හැකි වනු ඇත. බුදු වුවනත රැඳී ඇති සමාධිගත නිවුණු ස්වභාවය එදා කලාකරුවන් තුළත්, සමාජය තුළත් පැතිර පැවති සංහිඳියාව මූර්තිමත් කරන්නේ යැයි සිතිය හැකිය.

සිරුරටම ඇලී යන පරිද්දෙන් නම්‍යශීලීව දක්වා ඇති සිවුරේ රැලි ස්වභාවය සමාන්තර සරල රේඛා දෙකක් ලෙසින් කැටයම් කොට ඇත. එමඟින් සිවුරේ මුදු සිලිටි ස්වභාවය මැනවින් නිරූපිත ය.

"කළු ගල් කපා තනන ලද මේ කලුගල් විහාරය පැහැදිලිවම එහි විශේෂ ලක්ෂණ අනුව අසාමාන්‍ය නිර්මාණයකි. මෙය ශ්‍රී ලංකාවේ බෙහෙවින් ම කැපී පෙනෙන අතිවිශිෂ්ට නිර්මාණයකි. ඊට සම කළ හැක්කක් ඉන්දියානු උප මහද්වීපයේවත් නැත"
                                                  ~එච්.සී.පී.බෙල්~  

ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල් මහතාගේ මහත් ගෞරවාදරයට ලක් වූ උත්තරාරාමය ඔහු උත්කර්ශයට නඟන්නේ එලෙසිනි.

ගල් විහාර පුද බිම අවට පරිසරය ද, බුද්ධ රූ පෙළ ද මානව සන්තානයන් නිවා සනසන කෙම් බිමකි. මෙය පූජනීය භූමියක් වන්නා සේම ලක් ඉතිහාසයේ අධ්‍යාත්මික ප්‍රබෝධයේත්, ශිල්ප කලා ප්‍රවීණත්වයෙත්, සමෘද්ධිමත්භාවයේත් එකමුතුවෙන් උපදින සංහිඳියාව මැනවින් ප්‍රකට කරන අග්‍රගණ්‍ය අධ්‍යාත්මික කලාගාරයකි.


( පොසොන් පොහොය නිමිති කොටගෙන පොළොන්නරුවේ පවත්වන දළදා පෙරහැරට සමගාමීව එළිදක්වන දළාදාභිවන්දනා සමරු කලාපයට ගල් විහාර පුදබිමේ සැරිසර ඇසුරින් සහ අන්තර්ජාලයෙන් ලබා ගත් තොරතුරු ආශ්‍රයෙන් සැකසූ ලිපියකි.)








11 comments:

  1. ලිපියනම් අගෙයි.. කියෙව්වමත් සිත පහන් වෙනවා.. ඒත් දැන් දැන් ඔය හැම වන්දනාවක්ම කරන්න කට්ටිය පොළොන්නරුවම තෝර ගන්න එක ගැනනම් මගේ මනාපයක් නෑ ඒ හැටි. බයි ද වේ.. මේක දැනටමත් පලවුණු ලිපියක් නේද ඒ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. මේක පළවුණේ ජුනි මාසෙ.. මට අමතක වෙලා තිබුණෙ...

      මම පොළොන්නරු ගියේ මැයි මාසෙනෙ.. ඒ ගියේ මගේ කැම්පස් යාළුවෙක්ගෙ ගෙදර.. ජනාධිපතිගෙ ගෙදර නෙවි අයියෝ...

      Delete
  2. ලිපිය අගෙයි............ මොනවා වුණත් වැදගත් විස්තර ගොඩක් ඒකතු කරලා ලියලා තියෙනවා.... ටිකක් වෙනස් වර්ගයේ ලිපියක් වුණත් අගෙයි තරු.............

    ReplyDelete
    Replies
    1. සමරු කලාපයට අවශ්‍ය වුණේ පොලොන්නරුව සම්බන්ධ ඓතිහාසික ලිපියක්.. ගල් විහාරයට කැමති නිසත්, ළඟදි යැවුණ නිසත් තමයි මේ මාතෘකාව ගැන ලියන්න හිතුවෙ...

      Delete
  3. රැස්වෙහෙර හා අවුකන සංසන්දනයකුත් පස්සෙ ලියන්න

    ReplyDelete
    Replies
    1. රැස් වෙහෙර ගියේ 99 අවුරුද්දෙ මට මතක හැටියට. අවුකන ගියේ ඊටත් කළින්ද මන්දා.. මේ තැන්වලට ගිහින්ම තමයි ලියන්න ඕනි....

      ඇත්තටම ගිහින් ටිකක් නිස්කලංකව ඇවිදල ලියන්න තියෙනවනම් සාර්ථකයි වැඩේ...

      Delete
  4. කෝමද පොටො ගත්තෙ ගන්ට දෙන්නෑනෙ. උං කැම් එක උදුර ගන්නව.
    පරයි. නෙද්දකිං විතරක්.

    අගේ ඇති ලිපියක්. ජයවේවා

    ReplyDelete
  5. වටිනා ලිපියක්.මගේ බිලොග් එකටත් ඇවිල්ලා යන්න එන්න

    http://manomandira.blogspot.com/

    ReplyDelete
  6. සැතපෙන පිළිමයේ කොට්ටයට තියාගෙන ඉන්න අතේ යටි පැත්තේ පලුවක් ගැලවිලා ගිය හැටි ගැන විස්තරේ දන්නවා නේද?

    ReplyDelete
  7. සඳපහන් රැයක ගල්විහාරය ඉදිරිපිට ගල්තලාව මත හිඳ ගතකල හෝරා කිහිපයක මතකය දශක තුනකට ආසන්න කලක් ගෙවුනද තවමත් මසිත පහන් කරවයි. ආනන්දයෙන් පුරවාලයි.

    ඒ හා යම් තරමකට හෝ ආසන්න වනුයේ ඊටද වසර කිහිපයකට පලමු රුවන්මැලිසෑ සලපතල මළුවෙහි ගෙවුනු තවත් එවන් සදානුස්මරණීය රැයක මතකයන්ට පමණි.

    ReplyDelete
  8. කෝ ඉතින් පොළොන්නරුවේ එක්ක යන්නම් කිව්වාට තාම මාව එක්ක ගියේ නැහැනේ තරු අක්කා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...