Wednesday, January 28, 2015

කළු සිරකරුවෙක්... සුදු පාලකයෙක්..


1968 වසර...

ආදරවන්ත පුංචි පවුලක් මහා සමුදුරින් වටවුණු කුඩා දූපතකට එනවා. ඒ දකුණු අප්‍රිකාවේ රොබින් දිවයින. තරුණ වයසෙ තාත්තයි, අම්මයි, පුංචි දුවයි, පුතයි... මේ පැමිණීම තාත්තගෙ රැකියාවත් එක්ක සම්බන්ධ බව බොහොම පැහැදිලියි. රොබින් දූපත කියන්නෙ එක්තරා විදියකට සිර කඳවුරක්. මිලියන 25 ක් පමණ වූ කළු ජාතිකයින් ස්වකීය මව්බිමේම පිටුවහල් කොට මිලියන 4 ක් පමණ වූ සුදු ජාතිකයින් ඉතාම අමානුෂික විදියට ඔවුන් පාලනය කළ යුගයක් මේ.

මේ තරුණ තාත්තා සිරකරුවන් භාරව ඉන්න සුදු ජාතික පාලකයෙක්. ඔහු නමින් ග්‍රෙගරි.


ග්‍රෙගරිට පැවරෙනවා විශේෂ රාජකාරියක්. අතිවිශේෂ කළු ජාතික සිරකරුවෙක් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව හිඳීම සහ ඉහළට වාර්තා කිරීම. කවුද මේ සුවිශේෂ කළු ජාතිකයා. ඒ අන්කිසිවකු නොවෙයි. දකුණු අප්‍රිකානු නිදහස් අරගලයට උරදෙන තරුණ නෙල්සන් මැන්ඩෙලා. ඔහු සිරගතව සිටි වසර 27 ක කාලයෙන් වැඩිම කාලසීමාවක් ගතවුණේ රොබින් දූපතේ.

මේ සඳහා ග්‍රෙගරිවම තෝරගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ ඔහු කළු ජාතිකයින්ගේ මව්බස දැන සිටීම. ළමා වියේ කළු ජාතික මිතුරෙකු සමඟ ඇති කරගත් මිත්‍ර බන්ධනය නිසා ග්‍රෙගරි ‘‘කාපිරි ලවර් ලෙස අන්‍යයන්ගේ විහිළුවටත් ලක්වන අවස්ථා තියෙනවා. කෙසේනමුත් වර්ණ භේදවාදය සම්බන්ධව සංවේදීව මැදිහත් වන පුද්ගලයෙක් බවට පත්වෙන්නට ග්‍රෙගරිගේ ළමා වියේ මේ මිත්‍ර බන්ධනයත් යම් බලපෑමක් කරන බව පැහැදිලියි.

කළු සිරකරුවෙක්... සුදු පාලකයෙක්..

මේ පරස්පරය අධ්‍යාත්මික පෑහීමක්, ලෝකයේ පරමාදර්ශී වෙනසක් ඇති කළ ජනනායකයකුගේ නිදහසත්, මනුෂ්‍ය සංහතියට සදාතනික පූර්වාදර්ශ සැපයූ දේශපාලන ගමනක සංධිස්ථානයත් දක්වා වර්ධනය වන්නේ කොහොමද?

එය සංවේදී සිනමා සිත්තමක් ලෙස විඳින්නට ඉඩ ලැබුණා මෙවර මාසික සිනමා දැක්මෙදි. ( ජනවාරි 25 ඉරිදා සවස මීගමුව මාරිස්ටෙලා විදුහලේදි.)


"Good Bye Bafana"

Director: Bille August

......................

මැන්ඩෙලා සහ ග්‍රෙගරි අතර ඇති වන අධ්‍යාත්මික බන්ධනයත් සුවිශේෂ මනුෂ්‍ය සම්බන්ධතාවක්. චිත්‍රපටය තුළ ඒ සම්බන්ධතාව ගොඩනැගෙන ආකාරයත්, එය එකිනෙකාගෙ ජීවිතවලට බලපාන ආකාරයත් සියුම්ව කියැවෙනවා.


ජීවිතය පිරෙන්නෙ.. ජීවත් වන බව දැනෙන්නෙ සම්බන්ධතා නිසා.. බැඳීම් නිසා. මනුෂ්‍ය සම්බන්ධතා විතරක්ම නෙවි. ගහකොල, ඇලදොල, සතාසීපාවුන්, ඉර,හඳ,තරු වගේම සාහිත්‍ය කලාව මේ සියල්ල අපේ ජීවිත පුරවන බැඳීම්.. බැඳීම් දුකක් බව ඇත්ත. ඒත් අපට මේ බැඳීම්වලින් තොරව ජීවත්වෙන්නත් අමාරුයිනෙ. බැඳීම් දුකක් වෙන්නෙත් තණ්හාවෙන් පිරුණම. අයිතිකර ගැනීමේ ආශාවෙන් එහා ගිය නිදහස් සම්බන්ධතා මිනිස් හදවත් සුවපත් කරනවා. එතනට යන්න නම් අපි අධ්‍යාත්මිකව ගොඩක් පොහොසත් මිනිසුන් වෙන්න ඕන. ඒක දුෂ්කර ව්‍යායාමයක් බව ඇත්ත.  

සමහරවිට එපාමයි කියල හිතන බැඳීම් කාලෙකදි හද ගැඹුරේම තැන්පත් වෙන බැඳීම් වෙනවා. කාලෙකදි අකමැතිම පුද්ගලයො තවත් කාලෙකදි ජීවිතේ ළඟින්ම ඉන්න අය වෙනවා... බැඳීම් තහවුරු වෙන්නෙ හෝ වියැකී යන්නෙ කාලයත් එක්ක. එහෙම නේද?





Thursday, January 22, 2015

සිරගත නොවූ සිතුවිලි





‘‘කවිය යනු එය ලියන්නාට ඉතාම ආත්මීය දෙයකි. කවිය බොරු නොකියයි. සැබෑ කවියෙකු නිරුත්සාහයෙන් තම සත්‍ය ඇතුළාන්තය හෙළිවීමට ඉඩහරිනු මිස ව්‍යාජ අදහස්වලින් තම නිර්මාණ සැරසීමට උත්සාහ ගන්නේ නැත.


හෝ චි මිං වැනි මිනිසුන්ට බුද්ධිය සහ සංවේදීතාව යනු දෙකක් නොව එකකි. ඔහුගේ ප්‍රසිද්ධ ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් අතර රහස් දොරවල් නොතිබුණි. වේදනා මුසු අත්දැකීමක් යනු ඔහුට ක්‍රියාත්මක වීමට මෙන්ම කාව්‍යමය ප්‍රකාශනයකට ද කෙරෙන ඇරයුමක් විය.”

- ෆාන් නුආන්

ජුලියස් පුචික්ගේ පෝරකයේ සටහන් , ඈන් ෆ්‍රෑන්ක්ගේ දින පොත කියවන විට හදවත පෙළූ කම්පනීය හැඟුම තවමත් මතකය. ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථා දිනපොතක සටහන් වනුයේ අවමව නොවේද? බොහෝ විට දිනපොතක සටහන් වනුයේ වේදනාව, හුදකලාව, සාංකාව වැනි අතිශය සංවේදී හැඟුම් ය. අප දිනපොතට වඩාත් සමීප වනුයේ සමාජ ජීවිතයෙන් බැහැරව හුදකලා වන විට ඇති වන සාංකාබරිත හැඟීම් මුදාහැරීමේ මඟක් ලෙස ද? දිනපොත යනු සන්තානගත සියුම් හැඟීම් දරා සිටින්නාවූ ස්නේහවන්ත මිත්‍ර සන්ධානයක්ද?

හුදකලාවේ සාංකාවත්.... චමත්කාරයත්, විප්ලවීය අරමුණු බිඳ දමන්නට ලොවක්ම එරෙහිව පෙළ ගැසෙන විට එක් ධෛර්යවන්ත මිනිසකුගේ හදවතෙහි පැන නගින සුවහසක් අපේක්ෂාත් පිළිබඳව කියැවෙන අපූරු දිනපොතක් ඇසුරට ලැබිණි. සාමාන්‍ය දිනපොතකටත් වඩා හදවතට සමීප වෙමින් හදවතේ සියුම්ම පටක පවා කම්පනය කරන්නට මෙකී දින සටහන් සමත් වන්නේ එය ලියැවී ඇත්තේ කවියෙන් බැවිනි.

රෝස මලක් විකසිත 
වෙයි මුකුලිත වෙයි
නිමක් නැතිව එය
පිපෙයි යළිත් මැළවෙයි

එනමුත් සුසුවඳ
මැදිරි තුළට එළඹෙයි
සිරකරුවන්ගේ
ළතැවුල් පුබුදාලයි...



වියට්නාම් විප්ලවයේ සදාඅනුස්මරණීය පෙරගමන්කරු හෝ චි මිං චීනයේ සිරගතව සිටි වසරක පමණ කාලය තුළ දින සටහන් ලෙස ලියා තැබූ කවි එකතුව ( Prison Diary ) ලක්ශාන්ත අතුකෝරල විසින් අපේ බසින් අපේම ආත්මීය ප්‍රකාශනයක් ලෙස කියවාගන්නට ‘‘සිරගත නොවූ සිතුවිලි නමින්‘‘ අප හමුවේ තබා ඇත.



‘‘සරත් කල රාත්‍රිය“ විප්ලවීය සිරකරුවකු ඇස ගැටෙන අයුරු...

තුවක්කු ගෙන
මුරකරුවෝ
නැගිට සිටිත්
ගේට්ටුවෙහි

සදත් කැටුව
වලා තීරු
ළැසි ගමනින් යයි අහසෙහි
මෙහෙයුමකට පිටත්ව යන

යුද්ධ ටැංකි ඇණියක් මෙන්
මකුණෝ දනි පනි ගා යති

රැස් වන සහ විසිරී යන
මදුරු රෑන් පවා නියම
සටන් ගුවන් යානා මෙනි....


පරිවර්තනයක් යැයි නොදැනෙන තරමට කවිය සිංහල අකුරු සමග මනාව සුසංයෝගී වී ඇත. “පරිවර්තනයේදී මිය යන්නේ කවියයි.“ යන ප්‍රකට අදහසට ලක්ශාන්ත අභියෝග කර ඇති බව චූලානන්ද සමරනායක සිය පසුවදන තුළ සදහන් කරයි. එය අතිශයෝක්තියක් නොවන බව මගේද හැගීමයි.

පරිවර්තක විසින් එක්කර ඇති සවිස්තරාත්මක පෙරවදනත්, පරිශිෂ්ටය ලෙස එක් කර ඇති ෆාන් නුආන්ගේ සටහනත් හෝ චි මිං ජීවන පතිපදාව, ජීවන ගමන්මග ගැඹුරින් ස්පර්ශ කරන්නට අත්වැලකි.

‘‘වියට්නාම නිදහස උදෙසා විශ්වාස කළ නොහැකි තරම් අධිෂ්ඨානයකින් අරමුණු සහ පෙරමුණු සකසමින් සිය තරුණ විය විප්ලවයේ ගිනි දලු තුළ මනාව තවාගත් න්ගුයෙන් අයි කුවොක්ගේත්, සටනින්ම දිනාගත් නිදහසත්, මාතෘ භුමියේ පෞඪත්වයත් දිවි දෙවෙනි කොට රකිමින් අලියෙකුගේ කණට රිංගා ගත් කටුස්සෙකු මෙන් ලෝක බලවතුන් සලිත කරන වියට්නාමයක් ගොඩනැගූ හෝ චි මං නමැති අභීත රාජ්‍ය නායකයාගේත් කලබලකාරී පරිපුර්ණ දිවියෙහි නිසොල්මන් මධ්‍ය ලක්ෂ්‍යය ලෙස ඔහුගේ Prison Diary නමැති මෙම කුඩා කවි පොත හැදින්විය හැකිය.”
පරිවර්තක සටහන - 18 පිටුව

කවීන් දහසකගේ පැදි එකතුවක් කියවීම මැයෙන් හෝ චි මං ලියා තබන මෙ කව, කවියෙහි සියුම් භාව ප්‍රකාශනය, සෞන්දර්යය පමණක් නොව සමාජමය කාර්යභාරයෙහි වැදගත්කම පිළිබඳවද නැවත නැවතත් සිතන්නට අප පොළඹවාලන්නේ නොවේද?



පෙර කවියන් රිස්ස වුනේ
සද-මල්-හිම සහ සුළඟෙහි
මීදුම්- කඳු- දිය දහරෙහි
රුසිරු ගායනා කෙරුමයි


එහෙත් අප යුගේ කවිවල
ගොරහැඩි වැකි තිබිය යුතුයි
කවියන් දැන් ප්‍රහාරයට
යන බලමුළු තැනිය යුතුයි...



 ( සූරිය පොතකි. මිල රුපියල් දෙසියයකි. ගමන් බෑගයේ හොවාගෙන කියවමින් සිටින පොත මගේ ඉල්ලීම මත මා අත තබා ගියේ ලාල් අයියා ය. ස්තුතියි අයියේ... )



Monday, January 12, 2015

අනේ අපිටත් දෙන්න මහත්වරුනි ජීවිතය ටිකක් හුස්ම ගන්න......





සන්ධ්‍යාව කොටුව දුම්රිය නැවතුම අබියස එකත්පස්ව බලා හුන්නේය. ඒ ජනවාරි 06 වන දා ය. ලසන්ත වික්‍රමතුංග සහ උතුරු දකුණු ඝාතනය වූ අනෙකුත් මාධ්‍යෙව්දීන් සැමරුම ඡන්ද උණුසුම මැද ම සිදු විය. එහිදී යාපනයේ සිට පැමිණි මාධ්‍යෙව්දියකු කළ කතාව කම්පනීය හැඟුමක් සමඟ සිතේ සනිටුහන් විය. ( සමාවෙන්න ඔහුගේ නම අමතකය. සඳට නෑකම් කියන නමකි.)

‘‘මා එක්ක තව කීපදෙනෙක් ලසන්ත සැමරුමට සහභාගි වෙන්න කොළඹ ආවා. නමුත් තර්ජන නිසා අතරමැදදි එයාලා ආපහු හැරුණා. නමුත් අපට මඟපෙන්වූ, පුරෝගාමී වූ ලසන්ත වැනි මාධ්‍යෙව්දීන් වෙනුවෙන් පැමිණිය යුතුමයි මම හිතුවා. ඒ නිසා මේ අවස්ථාවට සහභාගි වුණත් ඇත්තටම මගෙ හිතෙත් බයක් තියෙනවා. දැන් ආපහු යන්නෙත් මම බයෙන්. ඒත් මම මගේ යුතුකම ඉටුකරන්න අද මෙතැනට ආවා.“

කතාව නිම වූ සුළු මොහොතකට පසු සෙනග අතරින් රිංගා ඔහු නික්ම යන අතර මුව රැඳි සිනාවට පිළිතුරු සිනාවක් දෙන්නට හැකි වීම සතුටකි.මට ඔහු ගැන දැණුනේ අපමණ ගෞරවයකි.

........................

අද කාර්යාලයේ මුස්ලිම් සගයෙක් මා වෙත පැමිණියේය.

‘‘තරංගි මිස්, මටත් විශේෂ ආරාධනාවක් තියෙනවා. පාප්වහන්සේ එන මීටින් එකකට. මට විස්තර හොයල දෙනවද එතන වෙන්නෙ මොනවද කියල...“

අන්තර්ජාලය පිරික්සා බැලීමි. ඒ පාප් වහන්සේ සමඟ 13 සැදෑවේ පැවැත්වෙන අන්තර් ආගමික නායක හමුවක් බව පහදා දුනිමි.

‘‘තරංගි මිස් බලන්න... ඔයාලගෙ පාප් වහන්සේ පිළිගන්න අළුත් නායකයෙක් ලැබුණා. හොඳ නායකයෙක් ලැබුණා. ඒක හරියට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබුණ වගේ...“

ඔහු සිනාසෙමින් පැවසීය. වටපිට බලා හෙමිහිට ය. ඒ දෑස්වල නලියන වාර්ගික භේදයන්ගෙන් තොර යහපත් සමාජයක් පිළිබඳ අපමණක්  බලාපොරොත්තු හඳුනානොගන්නට තරම් අසංවේදී නොවෙමි. මන්දයත් අලුත්ගම වාර්ගික ගිනි ඇවිලෙන විට ඒ දෑස්වල ඇවිළුණු බිය ද මා හොඳින්ම වටහා ගෙන සිටි බැවිනි. 

....................

මූණුපොත තුළ අතීත සක්මනක යෙදෙන විට 2013 නොවැම්බර් මස මවිසින් ඔබ හා බෙදාගත් සාමිනාදන් විමල් කවියාගේ සංවේදී කවියක් ඇස ගැටිණි. 

සාමිනාදන් විමල් දමිල කවියාගේ හෘදයාංගම කවියක්...
2012.08.25 රාවය මංජරිය


යාපනේ අඹ  
--------------

දකුණුලකෙන් පේවීගෙන
නාගදීපෙට වන්දනාවේ එන
මහත්වරුනි, ගන්න මේ අඹ  
ගන්න, නෝනාවරුනි මේ අඹ

කර්තකොලොම්බම් මේ අඹ  
ලැබුණේ නැති කොළොම් තොටට  
ගන්න, මහතුනි මේ අඹ සැක හැර  
නීරස නොවෙයි සහතිකයි.
මේ අඹ යාපනේ අපේ ජීවිතය තරමට

අනේ මහතුනේ මේ අඹගස් යට  
අපේ ලේ කඳුළු සේසත යට වී ඇත 

පලා ආ විට පොරෝනය අතට ගෙන  
අනේ, අපිට සෙවණ දුන්නේ මේ අඹ ගස්ය

කපා දෙන්නං පළුවක් රස බලන්නට 
මහතුන්ට කකා යන්න, එපා සල්ලි  
අනේ අපිටත් දෙන්න මහත්වරුනි
ජීවිතය ටිකක් හුස්ම ගන්න......


.............

වෙනසක් වෙනුවෙන් ඡන්දය භාවිත කළ උතුරු නැගෙනහිර ජනතාවට කොටි ලේබලය ඇලවීම කොතරම් පාපයක්දැයි මට සිතේ. මට මේ දෙමළ මුස්ලිම් ජනතාව පිළිබඳව දැනෙන්නේ මහත් ගෞරවයකි. සෙනෙහසකි. ඔවුන් ඉල්ලා සිටින්නේ බියෙන් සැකෙන් තොරව නිදහසේ හුස්මක් ගත හැකි යහපත් සමාජයක් නොවේද? 

ඔවුන් සමඟම දකුණේ අපිත් ඉල්ලන්නේ එයම නොවේද? මානව ගරුත්වය, නිදහස සුරැකෙන සමාජයක්...!!!! ආර්ථිකය කටු ඔටුන්නක් නොවන ජීවිත පැවැත්මක්..!!!!

‘‘අනේ අපිටත් දෙන්න මහත්වරුනි
ජීවිතය ටිකක් හුස්ම ගන්න.....“

Monday, January 5, 2015

අළු අහස යට.......



මං උන්නෙ තනියම. තට්ට තනියම. මුළු ගේ පුරාමත් තිබුණෙ ඒ හීතලට මිදුණු තනිකම. අතින් අල්ලල හැඩතල මනින්න පුළුවන් විදියෙ ගල්ගැහුණු හුදකලාවක්. ඒ මදිවට වැස්ස. දවස පුරාම එක සීරුවට. හුස්ම ගන්නත් ඉඩක් නොදී අහසට. දරාගන්නම බැරි දුකක් මුදාහරිනවා වගේ අඳුරු වළාකුළු කඩන් වැටුණා මහපොළවට වැහි බින්දු වෙලා. පෙඟුණු පාන් ගෙඩියක් වගේ පොලව. අඩිය තියද්දි රබර් සෙරෙප්පුවත් යට කරගෙන චිරි චිරි ගාලා වතුර ඉල්පුණා ඇඟිලිකරු අතරිනුත්. සමහර වෙලාවට මඩ. එළියට බහින්නවත් හිතක් තිබුණෙ නෑ. මං ගෙටම වෙලා උන්නා ගෙට උණු ගෑණු ළමයෙක් ගාණට. කිසි සද්දයක් නැතිව. හිත හිත.

දවස් ගාණක් වැස්ස. එක දිගට. එක හුස්මට. එක තානයට. වෙනසක් නැතිව.

චිරිබිරි ගාන දියබත් තණ බිස්ස වගේ හිතත් තෙත් වෙවී තෙත් වෙවී තිබුණා. හිත පුරා නෝක්කඩු වැස්සක්. ඒත් ඇහි පියන් යට තෙතක් තිබුණෙම නැති තරම්. මේ තරම්ම ඇස්වලට වධ දෙන එක සාධාරණ නැහැ. හිත ගිවිසුමක බැඳිලද මන්දා. හිත ටොන් ගාණක් බරට දැනෙද්දි ඇස් මහා හුදකලාවක ඇලිල ගැලිලා උන්නෙ වගේ වගක් නැතිව. කම්මුල්වලට වස කම්මැලි ගතියක් දැණුනා නිකමටවත් හිනාවක් දකින්න නැතිව.

අස්සෙ සාලෙ හරි මැදම නත්තල් ගහයි. ගවලෙනයි. කොහෙත්ම ගැළපුණේ නෑ. නත්තලක් තිබුණද කියලවත් මතක නැති ගාණට හෝන්දු මාන්දු වෙච්ච ලෝකයක් මැද්දෙ නත්තල් ගහ විතරක් දිලිසි දිලිසි තිබුණා. දියබත් වුණ නත්තල අතීතයට එකතු වෙලා දවස් දෙකක්ම ගෙවිලා තියෙද්දිත්.

ජනේලෙන් වැස්ස දිහා බලන් ඉඳල ( කොච්චර වෙලාවක්ද මන්ද) ආපස්සට හැරෙද්දිම මට පෙණුනෙ නත්තල් ගහ. ඒක හරියට මට අයිති නැති වෙනත් ලෝකයක් වගේ. මට අයිති නැති මොකක්දෝ උත්කර්ෂයක් අයිති කරගෙන උජාරුවට ඉන්න නත්තල් ගහ ගැන මට දැණුනෙ ඉරිසියාවක්. ගවලෙන නං දුප්පත් පාටයි. ඒත් නත්තල් ගහ........ ?  

මං එක සැරේටම තීරණය කළා ඒ සරුවපිත්තල වෙස්තට්ටුව සාලෙන් අයින් කරල දාන්න. හැමදාම තිබුණ පාළු පාට තමයි සාලෙට හරියටම ගැළපෙන්නෙ. හැමදාම තිබුණ වගේ.... හ්ම්....

නත්තල් ගහේ සැරසිලි එකින් එක අයින් කළා. කළින් අවුරුද්දෙ ඒ සැරසිලි දාලා තිබුණු කවර එහෙමම තිබුණා. මේ අවුරුද්දෙත් ඒ කවරවලටම ඒ විදියටම අයින් කළ ලටපට එකතු කළා. දිලිසෙන රැලි පටි එක් කවරයක. පාට පාට බෝල, රිදී පාට සීනු තවත් කවරයක. කඳුළු බින්දු අමුණල හැදුව වගේ පේන මුතු පට පෙට්ටියක. ඒ පෙට්ටිය මුතුපට ගනිද්දි ලැබුණු පෙට්ටියමයි. පෙට්ටිය වටේ ගැට ගැහුව රිදී නූලත් ඒ එදා නූලමයි. නත්තල් ගහ අකුලල පත්තර කඩදාසියකින් ඔතල දාර ඉරුණු කඩතොළු පෙට්ටියට දැම්මා. ඒ පෙට්ටියත් අවුරුදු ගාණකට කළින් නත්තල් ගහ ගෙනා පෙට්ටියමයි.

නත්තල් ගහ ඇඳුම් වැටේ යට  තට්ටුවෙ. සැරසිලි බෑග අල්මාරියෙ. කළින් අවුරුදුවලත් ඒව තිබුණෙ එතනමයි. එහෙමම යි.

ළියෙ වැස්ස. තාමත් වැස්ස. කෙළවරක් නැති වැස්ස. වැස්ස... වැස්ස....

ඉන්පස්සෙ ගවලෙන. ගවලෙනේ සුරුවම් එකින් එක අරගෙන ඉටි කවරවලට දැම්මා. ඒ කවරත් කළින් ඒවමයි. ගවලෙනේ පිදුරු ටික අවුරුදු දෙකක්වත් පරණ ඇති. නෑ, අවුරුදු තුනක්. ඔව්. අවුරුදු තුනක්. ගෙට ගෙවදුණාට පස්සෙ ආව තුන්වැනි නත්තල මේ. පිදුරු, මුල්ම නත්තලට ගෙනා පිදුරු. ගවලෙන් බඩු පෙට්ටිය... ඒත් ඒ පරණ පෙට්ටියමයි. සුරුවම් ටික පිදුරු අතර දවටල පෙට්ටියට දැම්මා. පෙට්ටිය කුස්සියෙ කබඩ් එකට දැම්මා. කිසි වෙනසක් නැහැ. කළින් අවුරුදුවල වගේමයි.

නත්තලක් ආවෙ අපරාදෙ වගේ හැඟීමක් මට දැනෙමින් තිබුණා.

තේක්ක කොල උඩට හුදකලා වැහි බින්දු වැටෙමින් තිබුණා. තට්... තට්... තට්...

සාලෙ මැද එකතු වුණු රොඩු බොඩු එකතු කරල එළියට දාලා ගින්නක් අවුළුවන්නයි මට ඕන උණේ. ගිනි පෙට්ටියත් තෙත් කැවිලා. ගිනිකූරු දෙකට තුනට නැවිලා කැඩිල බිඳිල ගියා මිස ගිනි පුළිඟු ඇබින්දක්වත් මතු වුණේ නැහැ. උත්සාහය අත්ඇරල දමල මං අහස දිහා බලන් උන්නා.

අහස බුම්මගෙන. කඳුළු ඉවර වෙලා වගේ. අළු අහසෙ සුදුමැලි ලපයක් තිබුණා ටිකක් විසාලෙට. ඒ ඉර වෙන්න ඕනෙ. ඉස්පිරිතාල ඇඳක දිගාවෙලා ඉන්න ලෙඩෙක් වගේ සුදුමැලි ඉර අහසෙ වැතිරිලා උන්නා.  

මතුමක සංඥා දල්වමින් දුරකථනය හඬ නැඟුවා. මගේ ඇස් දුරකථන තිරයෙ මොහොතක් නැවතිලා උන්නා. සතුටක්වත්, දුකක්වත් මොකක්වත් දැණුනෙ නැහැ. නත්තල් දවස පුරාමත් බලන් උන්නා තමයි. ඒත් දැන් නත්තල ගෙවිලා දවස් දෙකයි.

‘‘සුබ නත්තලක්...” එහා ඉමෙන් ඇසුණා. මං උත්සාහ කළා හිනාවෙන්න. හිනාවෙන්න ඒ තරම්ම අමාරුද? හිත නිකම්ම නිකං හිස් කඩදාසියක්. එතන කවියක් තියා කඳුළක්වත් තිබුණෙ නෑ. පිටසක්වලින් ආව කවුදෝ කෙනෙක් වගේ මට මාව ම දැනෙමින් තිබුණා. 

‘‘එසේම වේවා..“ මට එහෙම කියවෙන්න ඇත්තෙ පුරුද්දට. 

‘‘මම එදා දවසම බිව්වා. මිස් කෝල් එක දැක්කා. කතා කරන්න විදියක් තිබුණෙ නැහැ...‘‘

‘‘ආහ්...‘‘ හිත ගැස්සුණා. සුසුමක් පිට පැන්නා.

කොහොම වුණත් ඒ වෙද්දිත් නත්තල ඉවර වෙලා හුඟාක් කල් වගේ මට දැනෙමින් තිබුණා.