Monday, March 30, 2015

මරියාගේ රමණය ඇත්තෙන්ම රමණීය ද?




නදීකා අප යෙහෙළිය යකඩ ගැහැණියකැයි විටෙක මට සිතේ. ඇය හිතුවක්කාරී ය. නොදැමෙන සුළු ය. නිර්භය ය. ආසියාතික සමාජයේ කාන්තාවට එල්ල වී ඇති පීඩනය සම්බන්ධයෙන් ඇය නිතරම ආවේගශීලී වන්නී ය. එයට එරෙහි වන්නී ය. අත දිග හැර අතුල් පහර ගසන්නී ය. ඇගේ මුල්ම නවකතාව ‘දියොනිස් දෙවොල පාමුලහි දී ද මේ නිර්භය කාන්තාමය කම්මුල් පහර දරුණුවට එල්ල වූ බව මතක ය. මරියාගේ රමණයඇගේ වේදිකා නිර්මාණය ද එබඳුම ප්‍රයත්නයකි.


නදීකාගේ ‘දියොනිස් දෙවොල පාමුල‘ නව කතාවේදී ත් මෙම නිර්භය බවත්, ස්ත්‍රීවාදී දැක්මත් පැවතියද  කිව යුතු සියල්ල එක පැහැර කියා පෑමට යාමෙන් මෙන්ම සාහිත්‍යමය රීති නොසලකා හැරීමෙන් නවකතාවක් ලෙස දුබල වූ අවස්ථා තිබිණි. අදහස් ප්‍රකාශනයේ ඍජු බවක් තිබුණද, මරියාගේ රමණයඅවසන රඟහලෙන් නික්මී එන විට පෞද්ගලිකව මවෙත යම් හිස්බවක් ඉතිරි වුණේ අපේක්ෂිත නාට්‍යමය සෞන්දර්යය ගිලිහී ගිය නිසාවෙන්දැයි  තවමත් සිතමි.


මරියාගේ රමණයනම දුටු සැණින් තිගැස්සී ගියෙමි. සාම්ප්‍රදායික කිතුනු පසුබිමකින් පැවත එන මා දැඩි ආගම්වාදිනියක නොවූව ද ජේසු ගේ මව වූ මරියා තවමත් මගේ අධ්‍යාත්මික ජීවිතයේ උත්තරීතර තැනක ස්ථානගතව සිටින්නී ය. එය මඟ හරින්නට හෝ බිඳ දමන්නට උවමනාවක්වත් සාධාරණ හේතුවක්වත් මට නැත. නාට්‍යයේ නම දුටු සැණින් මා තිගැස්සෙන්නේ එබැවිනි.


මරියා යන්නෙන් නදීකා අදහස් කරන්නේ ජේසුස්ගේ මව වූ මරියා ද, පව්කාර ස්ත්‍රීය ලෙසින් ද විටෙක ජේසුස්ගේ පෙම්වතිය ලෙසින් ද සැලකෙන මග්දලාහි මරියා ද යන්න නොදනිමි. නාට්‍යයේ තේමාත්මක ගලායෑම දෙස බලන විට මග්දලාහි මරියා යම් නෑකමක් දරන්නේ යැයි සිතිය හැකි නමුදු, මරියා නාමය යොදා ගැනීම සහ නාට්‍ය තේමාව අතර පැහැදිලි බන්ධනයක් සෙවීම ද  අපහසු ය. කෙසේ නමුත් නාට්‍යයේ නම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් බව පැහැදිලිය. 


වැඩිවිය පත් වීමත් සමඟ තම පියා වෙතින් දුරස් කරන දැරියක ජීවිත කාලය පුරා ඒ අහිමි වූ පිය සෙනෙහස සොයා යන්නීය. මරියා නම් වන ඇයට පණ පොවන්නේ නදීකා ම ය. ඒ සෙවීම විටෙක ප්‍රේමණීය වන අතර විටෙක අනුරාගී වන්නේය. විටෙක කුටුම්භගතව සාම්ප්‍රදායික කාන්තා භුමිකාවකට උර දෙන ඇය යුග පුරුෂයෙකුගේ සෙවණැල්ල වන්නට පෙරුම් පුරන්නීය. විවාහ සංස්ථාව තුළ ක්‍රමයෙන් හුදකලා වන මරියා විකල්පයක් ලෙස අනුරාගී ආක්‍රමණයක බැඳෙමින් ඒ තුළ අධ්‍යාත්මික සංහිඳීමක් සොයා යන්නී ය. ඇගේ ප්‍රේමවන්තයාටත් වඩා ඔහුගේ පූසා මරියාගේ හිත හඳුනාගනියි. ඈ සමඟ සංවාදගත වෙයි. විවාහය තුළවත්, ප්‍රේමය තුළවත් හමුනොවන ජීවිත සංවාදයක් මේ හුදකලා පූසා සමඟ ඇති වීමෙන් සංකේතාත්මකව අද ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල එක් ඛේදනීය පැතිකඩක් නිරූපණය කරයි.  


ඒ කොතැනකදීවත් තම ජීවිත අපේක්ෂාවන් පූර්ණ නොවන බව පසක් කර ගන්නා මරියා අවසන ජීවිතය සොයා මඟට බසින්නී ය. නාට්‍යය අවසන් වන්නේ ළමා වියේ තම පියා විසින් තිළිණ කළ පින්කි නම් බෝනික්කියත් තුරුළු කරගෙන ප්‍රේක්ෂාගාරයේ අඳුර මැදින් පිට වී යන මරියා ගෙනි. 


නාට්‍යයේ තේමාව කාලීන ව වැදගත් සංවාද කළ යුතු මාතෘකාවකි. විවාදයක් නැත. නමුත් දැඩි ලෙසම ස්ත්‍රීවාදී වීම පුරුෂ විරෝධී ස්වභාවයක් ඉස්මතු වීම සාධාරණ නොවේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව අපි සියල්ලන්ම මේ ධනවාදී, පරිභෝජනවාදී සමාජ පැවැත්මේ ගොදුරු ය. වහලුන් ය. ගැහැණිය මෙන්ම පිරිමියා ද සිටින්නේ පීඩනයක බවත්, බොහෝ විට එකී පීඩනය පුපුරා යන්නේ ගැහැණිය මතින් බවත් පැහැදිලි ය. නාට්‍යය තුළ මරියාගේ විවාහක පුරුෂයා මෙන්ම, ප්‍රේමවන්තයා ද අසරණ පුරුෂ ප්‍රාණීන් නොවේදැයි සිතේ. නාට්‍යයේ ප්‍රධාන භූමිකාව මරියා වුව ද, ඇගේ ජීවිත අරගලය තුළ මේ හුදකලා පුරුෂ ලෝකයේ පීඩනය, ඛේදවාචකය ඉතා සියුම්ව මතු වේ.    



තම හුදකලා ලෝක තුළ විඳවමින් ජීවත්වන්නට ඉඩ හැර මරියා ඔවුන් අතහැර යාම සාධාරණ ද? 


මරියාට නම් ඒ සඳහා සාධාරණ හේතු ඇති බව පැහැදිලි ය. පොදු සමාජ යහපත වෙනුවෙන් විප්ලවවාදී අරගලයක නිරතව සිටි රැඩිකල් පෙම්වතා කුටුම්භගත වීමත් සමඟ සාම්ප්‍රදායික ස්වාමිපුරුෂ භුමිකාවට ඇතුළත් වීම ඇයට නොරිසි ය. 

පාවුලෝ කොයියෝගේ ‘පියෙද්රා ගඟ බඬ හිඳ මම වැළපුණෙමි නවකතාවේ පිලාර් සිය ප්‍රේමවන්තයාගෙන් දුරස් වී යන්නේ ද සිය ජීවන අරමුණු අත්හැර සාම්ප්‍රදායික ජීවන රටාවට අනුගත වීමට ඔහු දරණ උත්සාහයට දක්වන විරෝධයක් ලෙසිනි. මරියාද එලෙසින්ම එරෙහි වන්නී ය. තමන් ට තව දුරටත් සිය සාම්ප්‍රදායික බිරිඳගේ, ගෘහණියගේ භූමිකාව තුළ හුස්ම ගත නොහැකි බව ඇය  පසක් කරගනියි. 


විවාහ සංස්ථාවෙන් එපිට ඇය සොයා යන ප්‍රේමය තුළ වුව ලිංගික පරිහරණයකට එහා ගිය වෙනස් තත්වයක්, අධ්‍යාත්මික සබඳතාවක් ඇයට හමු නොවේ. ගැහැණියගේ ශරීර කූඩුවට ලිංගික අර්ථයට එහා ගිය අර්ථයක් නොදෙන සමාජය කෙරෙහි ඇගේ විරෝධතාව මතුවන්නේ තම ශරීරය මාරු කිරීමට අවැසි බව පැවසීමෙනි. තම ශරීරයේ සෑම රෝම කූපයකටම ආදරය කරන බව කියන ඇය ම විටෙක තම ශරීරය ප්‍රතික්ෂේප කරයි. පුරුෂමූලික සමාජය කාන්තා ශරීරය මත පටවන පීඩනය අන් සියලු පීඩනයන් අභිබවන බව මෙයින් ධ්වනිත නොවන්නේද?


කෙසේ නමුත් සමාජය තුළ ගැහැණු පිරිමි ලෙස වෙන් වෙන් ව ගොස් ලබා ගත හැකි දිනුමක් නැතැ යි තවමත් මම විශ්වාස කරමි. අන්‍යෝන්‍ය තේරුම් ගැනීමෙන්, ප්‍රේමයෙන් යා යුතු ගමනකි අප හමුවේ ඇත්තේ. මනුෂ්‍යත්වය දිනවීම වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගැඹුරින් විග්‍රහ කරගැනීම අත්‍යවශ්‍ය ය. එය ප්‍රේමයෙන් කළ යුතු කටයුත්තකි. එහි වැඩි වගකීමක් ස්වභාවයෙන්ම කාන්තා පාර්ශවයට පැවරේ. සෑම පිරිමි පෞරුෂයක් පිටුපසම මව, සොයුරිය, යෙහෙළිය, පෙම්වතිය, බිරිඳ ආදී වශයෙන් ප්‍රබල ස්ත්‍රී භුමිකාවක් පවතින බව අමතක කළ නොහැකිය. ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව අප සියල්ලන් ධනවාදයේ, පරිභෝජනවාදයේ අතකොළු වී ඇති බව ද අවබෝධ කරගෙන මනුෂ්‍යත්වය දිනවීම වෙනුවෙන් පොදු ගමනක් අරඹන්නේ නැති නම්, අපි සියල්ලෝම පරාජිතයෝ වෙමු. 


මරියාගේ රමණය වේදිකා සම්ප්‍රාප්තියේ දී ලිංගික ජවනිකා කිහිපයක් ප්‍රබල ලෙස ඉස්මතු වීමත්, අවශේෂ ජවනිකාවන්හි ඒ ජවය නොවීමත් නිසා නාට්‍යමය ගලා යාමට සිදුවූයේ හානියකි. විවාහ සංස්ථාවේ සහ ප්‍රේම බන්ධනයේ මූලික අවස්ථා නිරූපණයෙන් පසුව ඒ මනුෂ්‍ය සම්බන්ධතා බිඳ වැටීමට හේතු වූ පුද්ගල, සමාජ, ආර්ථික පසුබිම දීර්ඝ ආත්ම කථනයක් ලෙස ගෙන ඒම තේමාවට සාධාරණයක් ඉටු කළද, රංග කාර්යයේ සාර්ථකත්වයට එමඟින් සාධාරණයක් ඉටු වී යැයි සිතිය නොහැකිය. 

කෙසේ  නමුත් නදීකා ගේ නවකතාව පුරුෂ මූලික සාහිත්‍ය ලෝකයේ නිර්භය ස්ත්‍රී මැදිහත් වීමක් ලෙස අගය කළා මෙන්ම ‘මරියාගේ රමණය‘ නාට්‍යය වේදිකාව තුළ නිර්භය කාන්තා මැදිහත්වීමක් ලෙස අගය කරන්නට පසුබට නොවෙමි. 

සමාජ,ආර්ථික,දේශපාලන පරිහානිගත වටපිටාවක  රමණය පමණක් නොව ජීවිතය වුව රමණීය නොවන දේශයක, කලාත්මක සංයමයකින් තම නිර්මාණ කාර්යයන් ඔපමට්ටම් කරගන්නේ නම් ජීවිතය සම්බන්ධයෙන් වන නදීකාගේ නිර්භය මැදිහත්වීම් මීට වඩා හෘද සංවේදී සමාජ කතිකාවකට දායක වනු ඇත.


 

Friday, March 27, 2015

දැන් ඉතින්




දැන් ඉතින් ඔක්කෝම හරි
ඔබ හිතනවත් ඇති

ගඟ දිය නිසංසලේ
සයුරු මඟ ගත්තාට
ගඟ පත්ල කැකෑරෙන දිය සුළි
නැතැයි සිතනුයේ කොහොම

වියෝ වේදනාවෙන්
සසැලෙන
ගං දෑලවර තුරුලිය
මුදාහළ පැතුම් පෙති
ගඟ දියට කොතරම් බරද
සිතන්නටවත් හැකිද

නිසංසලේ සයුරු මඟ ගත්තාට
පියෙද්රා ගඟ සේම
රොන් මඩ සමඟ කැලතුණු
අපමණක් පැතුම් පොදි
ගං පත්ළ සැඟව ඇති


දැන් ඉතින් ඔක්කෝම
හරි කියා ඔබ සිතුවාට


( දිනමිණ 2015.03.17 වසත් සුළඟ කවි පිටුව) 

Monday, March 23, 2015

අතීතෙන් හමනා ඉඟුරු තේ සුවඳක්




වියළි පරඬලා පත් අතරින් එබී
සීනු මල් යාය මඳහස නඟයි
කජු මල් පොකුරු මැද
නාඹර කජු ගැටව්
වසන්තයෙ පෙරමඟට අත වනයි.... 


වතුසුද්ද සුදු සේල
දිග හරින හිමිදිරිය
හුරුපුරුදු කුරුළු ගී
රැව් නැඟෙයි.....


ගේ අවට ළඳු කැලේ
කර උස්ස උස්සා
කවුරු හෝ එන්නේද
මඟ බලයි....


සීත මීදුම මැදින්
පිණි කැටිති ඇද හැලෙයි
සිතුවිලිත් මිදේවිද
මට සැකයි...


ලොකූ එන්න තේ බොන්න
කියනා හඬක්
සිහිනෙකින් මෙන්
හද පිරිමදියි....




 

Wednesday, March 18, 2015

කව් මී විත සුරතින් ගෙන




‘‘දැන් මගේ හිත සැහැල්ලුය. මව්බිමෙන් බෝ දුරක සිටිය ද, ඇවිදින වීදියක් ගානේ, පසු කරන කඳු ගැටයක් ගානේ, සීතල මූදු වතුරක, සරත් සමයේ නැඟෙන කහ රතු ළදල්ලක, සිසිරයේ හිම කැටිත්තක, වසන්තයේ පුංචි කුරුළු ගීතයක, කෝච්චියේ වැඩ ඇරී ගෙදර එන විඩාබර මිනිසුන් අතර, ඉඳහිටක මොහොතක් නතර වී කතා බහ කළ නොකළ මුහුණක ආදී මෙකී නොකී සෑම තැන ම මටත් නොදැනී බොහෝ කවි නිමිති මා ඇතුළු හද වෙත රිංගයි. කැලති කැලතී තිබී බොර පාටින්, කාලයත් සමඟින් රොන් මඩ වගේ පහළට බැස නිදා හිඳ, නො සිතූ නො විරූ මොහොතක ක්ෂණයකින් ඇවිළී ඒ කවිය උපදී. මම එය විඳිමි. අනතුරුව ලියමි. නැවතත් ලියමි.” 

එසේ ලියූ නිරාෂ ගේ කවි හිත සොයමින් මම මරදාන සතර අත ඇවිද්දෙමි.
 
‘‘සුදු කතක් හා මධු විතක්.. කවි පොතක්.. සරසවි පොතක්..” 

මරදාන ප්‍රධාන පොත්හල් එකකවත් පොත නොවිණි. කවියට කුඩම්මගේ සැලකිලි උරුම බව සිතින් සිතමින්, අවසන කොල්ලුපිටිය සාන්ත මයිකල් දෙව්මැදුර ඉදිරිපිට සරසවි  පොත් හළේ පහළම රාක්කයක පොත් අතර සැඟවී සිටි සුදු කත සොයා ගතිමි. සුරත රැඳි මී විත ද සමඟ.
 
ඉදින් දැන් මගේ හිත ද සැහැල්ලු ය. ඒ සැහැල්ලුව සමඟ ම රත්න ශ්‍රී මඟ හැර යමි. පසුපිට රැඳී සිටින කම්මැල්ලවීර අමතක කරමි. මඟ සලකුණු කුමටද? හුදකලාවම සුදු කත ඇසුරට පත් වෙමි. කව් මී විතකින් මත් වෙමි. මම සිතුවෙමි.

කවි විඳීම මිස කවි ගැන ලිවීම එතරම්ම රිසි ව්‍යායාමයක් නොවේ. කවියට මෙන්ම කවියනට ද ඇල්පෙනෙති තුඩකින් හෝ රිදවීම නොරිසි බැවිනි. කවි විඳින්නට මිස කවි පබඳින්නට එතරම් සමත්කමක් ද නොවන බැවින් විඳුම ම මූලික සුදුසුකම කොටගෙන නිරාෂගේ කවි හිතට එබෙමි

නිරාෂ ගුණසේකර ගේ සුදු කතක් හා මධු විතක් කෘතියේ සිත් ගත් බොහෝ කවි අතරින් සන්තානගත සංවේදනා අවදි කළ පුද්ගලානුභූතීන් මෙන්ම සමාජානුභුතීන් රැගත් කවි කිහිපයක් පිළිබඳව පමණක් මගේ විඳුම සටහන් කොට තබමි. සැම කවියක් තුළම සැඟවුණු දිගු කතාවක් ඇත. හැඟීම් ගොන්නක් ඇත. ලියන්නේ නම් පොතක්ම ලියන්නට කරුණු කාරණා ඇති බැවින් මවිසින් මට ම සීමා මායිම් පණවා ගතිමි


නිරාෂ විදෙස්ගතව සිටින කවියෙකි. අන්‍ය දේශයක දන්නා හඳුනන මෙන්ම නාඳුනනවුන් අතරද ඔහු ලබන අත්දැකීම් කවියට වස්තු විෂය වූ අවස්ථා ඇත. මව්බිමේ ගෙවුණු දිවියත්, ආගන්තුක දේශයක දැනෙන හුදකලාවත් අතර කවියා විටින් විට සැරිසරයි. වර්තමානය හද පෙළන විට අතීතය මතක සුවඳක්ව හදට එබෙයි. වෙසෙසින්ම අතීතයෙන් එබී හිත කළම්බන ප්‍රේමයක උණුසුමක් දැනී නොදැනී යයි. උපන්බිමත්, දිවි ගෙවන බිමත් අතර ඔහුගේ සිතුවිලි සැරිසර බොහෝ කවිවලට වස්තු විෂය වන බව දැනෙයි.  

දෙලොවක් මැයෙන් යුත් පළමු කවිය පන්ති විෂමතාවය තුළ ගිළී ගිය අතීත ප්‍රේමයක සුවඳක් අතිශය සංවේදීව හදවත කළම්බයි.

දෑසේ නොතැවරුණි නම් නුඹ
රෑ සිහින තිප්පොලවල
වවුල් හප මග හැර හැර
උඩිනුඩින් අඩි තිය තියා
මගේ ලෝකේ මම තව...

කවියා, කවිය ළමා වියේ මතකයන් කැන්ඳමින් හිම කුමරියගේ සුරංඟනා කතාව මත තබා විග්‍රහ කරගනියි. නමුත් ඇත්ත ජීවිතය සුරංගනා කතාවක් නොවේ. ඇය සුරඟනක් විය හැක. නමුත් ඔහු කෙට්ටු කළු දුප්පත් කොල්ලෙකි. රජ රට ගොවියකුගේ පුතෙකි. රජරට පුරවරයටත් එහි අතීතශ්‍රීයටත් පෙම් බඳින්නෙකි. ඇයට ඒ සියල්ල සෙල් ලිපියක් තරමට අපැහැදිලි දුරස්තර දෙයකි. එකී ප්‍රේමය දළුලන්නට සරු පසක් නොමැතිවම මැළ වී ගිය පෙම් පුවතකි. සුලබ පෙම් කතාවකි. නමුත් දුලබ වදන් වියමනකින් එය අපූර්වාකාරයෙන් හදවතට සමීප කරන්නට කවියා සමත් වෙයි

සුදු සෛන්ධවයකු පිටින් බැස
නිදිගත්ත එ කුමරිගෙ
නින්ද බිඳලනු වෙනුවට
ඔබ කියූ කතාවේ
අඟුටුමිට්ටන් මැදට පැන
උනුන් අත් අල්ලන්
අටවෙනියෙකුව
නොහඬා  සිනාසෙමි අද....

අහිමි වන දේ වෙනුවෙන් දුරස්ව යන අය වෙනුවෙන් හඬා වැටෙන විට ඒ කඳුලින් අප අසලින්ම ඉන්නා අයගේ රුව බොඳ වී යන බවත්, හිමි වී ඇති සියල්ල දකින්නට ඇති ඉඩ මැකී යන බවත් පැහැදිලි සත්‍යයකි.  නමුත් පවතින යථාර්ථයට අවදි වන, අත්විඳින ස්නේහයෙන් සංහිඳීමට පත්වන ස්වාමි පුරුෂයකුගේ සිතුවිලි කියැවෙන ‘‘ආපසු ඇවිත් කවිය ද මගේ සිත් ගති

හැරී අන්තිම වතාවට
ගිහින් එන්නම් වත් නොකියාම
ශේෂ කර ගිය නුහුරු සිනහව
තත්පරෙන් එක් බිඳකි
උහුළගනු බැරි මහ බරකි....

එය එසේ වුවද, කථකයා හදවත ස්පර්ශ කර සැඟවී ගිය පෙම මත ම මියෙන්නට නොසිතයි. යථාර්ථයට අවදි වෙයි. දරුවන්ගේ සුරතල් හඬින් සිහිනයට සමුදෙයි. දරු ස්නේහයෙන් දැදිරි වන හදවත අයාලේ තටු ගසා ඉගිළුණු සිත දම්වැල් ලා බඳියි. ජීවිතය වෙනුවෙන් කැප වන බිරින්දෑගේ වුවනත ඈත දුර ගිය හදවත නැවත කුටුම්බය වෙත රැගෙන එයි. විවාහ සංස්ථාව තුළ හැඟීම් සඟවාගෙන සිරගත වන ස්වාමිපුරුෂයෙකු නොව තාවකාලික හැඟුම් පසුපස එළවා නොගොස් යථාර්ථයට අවදි වන මිනිසකු, සැබෑ ප්‍රේමයට ඉඩදෙන ස්වාමිපුරුෂයකු මම මේ කවිය තුළ දකිමි

රිසි සේ සොබාදහම සමඟ දිවි ගෙවූ අතීතයක මතක සුවඳට ඉව කරන ‘‘නිද්‍රා කවි පෙළ වඩාත් මා සිත් ගත්තේ එයින් මතු වන සොබාදමේ අසිරියත්, ධ්වනි මාධුර්යයත් නිසාය. වර්තමානයට අයත් නොවන එකී සොඳුරු විඳුම සිහිනයක් බව පසක් වන විට සුසුමක් ද නැඟේ. රටින් බැහැරව සිටින අයෙකුට පමණක්ම නොව උපන් බිම තුළම සමාජ ආර්ථික අර්බුද සමඟ ඒකාකාරී යාන්ත්‍රික දිවියක ගැට ගැසී සිටින අපට ද එය සිහිනයක්ම පමණක් නොවේද? තවත් අතෙකින් මේ කවිය ව්‍යංගයෙන් පවසනුයේ අතීතයේ ගිළිහී ගිය ප්‍රේමයක අසිරියම ය. අන්ධ අඳුරේ මන්දහාස නඟනුයේ ඒ අතීත මතක සුවඳ නොවේ යැයි කාට නම් කිව හැකි ද?

අන්ධ අඳුරේ වැතිරෙමි
මන්ද ස්වරයෙන් හිනැහෙමි
හංඟගෙන හිටි මතක රැළි මැද
තුංග ඔරු බඳ පැද යමි.... 

‘‘පිරිත් නූල කාව්‍ය සංකල්පනාව වඩාත් සිත් ගත්තේ එහි ඇති අපූර්වත්වය මෙන් ම ආදරවන්ත බවද නිසාවෙනි

තුන් වරුවකට යැයි
නුඹතින් බැන්ද පිරිත් නූල
තුන් අවුරුද්දකුත් ගිය තැන
තවමත් මා සුරතෙහි එලෙසම...
සජ්ජායනා කොට මනරම්
සිරි මධුර වූ හඬෙකින
කැටි කළ නමුතු එහුයෙහි
පවර වූ අනත් බුදු ගුණ..

සුළඟ සේ හොරෙන් ඇවිදින්
මගෙ අත අරන් රහසින
බැන්ද උණුසුම් ප්‍රේමෙහි
රැකුණෙමි මාත් නොදැනිම

ජීවිතයේ නෙක පිරිපත විඳ දරා ගනිමින් ඉදිරියට යන ගමනේ ඒ සියල් සලකුණු කහ ගැහී කිලිටි වුණු පිරිත් නූලේ රැඳී ඇතැයි කථකයා සිතයි. ජීවිතයේ කමටහන වී ඇත්තේද ඒ පිරිපතම බව ඔහු පවසයි. පහන් තරුවකින් ගලා එන රන්වන් කිරණක් ලෙස ඒ ගෙවුණු මග ඇය පිළිබඳ මතකය ඔහු සමඟ වෙයි. ජීවිතය දරාගන්නට ශක්තිය වී ඇත්තේද ඒ ප්‍රේමය ම යැයි හැඟේ. ප්‍රේමය බොළඳ බව සැබවි. ප්‍රේමය සොඳුරු වන්නේද එකී බොළඳ බව නිසාම නොවේද? අත බැඳි පිරිත් නූලේ ධාර්මික අගයට වඩා ප්‍රේමණිය අගය දකින කවි සිත හා සහෘදගත වීම මට වඩාත් පහසු යැයි හැඟේ

අහම්බෙන් හමු වූ යුවතියක් හදවත කළම්බන අපූරුව ‘‘ස්වෝන්ස්ටන් වීදියේ දී දුටු යුවතිය ඉඟි කරයි. කවි පොත අතපත් සැණින් පළමු කවිය කියවා අවසන් කවියට එබී බැලූයෙමි. පළමු කවියත්, අවසන් කවියත් එක පැහැර හදවත ලැගුම් ගත්තේ එලෙසිනි. මොහොතේ සිට හංස වීදියේ හංසාඟනාව මා සිත පැහැර ගත්තීය. එය සිහිනයක් වන් සොඳුරු කවියකි. පද ගැළපුමේ අපූර්වත්වය කවිකම්හි හසළ කුසලතා මැනවින් මතුකර දක්වයි

හංස වීදිය කොණක හසඟනකි නෙත් එළන
කංස දුම් වළාවට නේත්‍රා දිලිසෙමින
වංස කුල ගොත් බිඳැර රාත්‍රිය නිවී යන
සංසාරය ම අතරමග නතර කළ ලෙසින...

රන්මුවා දුනු දියැද හී සර හදවතට මුදා හැර හංසිය සැරසෙන්නේ සඳ කිඳුරු දඩයමට ය. කිඳුරා නම් කථකයාම විය යුතුය. එසේ නම් කිඳුරිය කොහිද? කිඳුරා ගොදුරු වනු ඇතිද

හංස වීදියට උදාවන රාත්‍රිය සීමා මායිම් බිඳ හැර දමන බව සත්‍යයක් මුත්, කථකයා ඉන් එහා ගිය මනුෂ්‍යත්වයේ ස්නේහයේ සුවඳක් හඹා යන්නේද සිතන්නට කාරණා කවිය තුළම ඇත

ඇබින්ඳක් සඳ එළියෙ නුඹේ නෙත කියවගමි
කාන්තිය ඇතුළෙ ඇති කුමක්දෝ අහුලගමි
කාන්සිය සරතැසට පිනිපොදක තෙත සොයමි
පාන්දර පමා වී උදා වන්නැයි පතමි....

නිරාෂ පෙර කතාවෙහි ලා පවසන්නක් මීළඟ කවියට ඌණපූර්ණයක් වශයෙන් මෙහි බහාලමි.

“A Glass of Merlot” painting by Victor Bauer

‘‘මධුවිතකට උණත් නියම අර්ථයක් ලැබෙන්නේ, මධු සේම ඉතා පරෙස්සමෙන් තෝරා බේරා වෙන් කරගත් සහෘද හිතවත් දැනුමැත්තන් සමඟ එක් වී අර්ථවත්, රසවත් හෘදයග්‍රාහී යමක් ගැන කතාවෙද්දී පමණි..... මධුවිතක් යනු සැමවිටම බෝතල් කළ කවියකැයි යන කියමන සත්‍ය වන්නේ එවිට යැයි මට සිතේ.‘‘

එකී කියමන මින් පෙර අසා නැතිවා වුණත් සුදු කතක් හා මධු විතක් ලෙස නම් තබන ලද කවි එකතුවේ මධු සාද හා බැඳී ඇති කවි කිහිපයක්ම හමුවේ. ‘‘මධු විත කවිය සිත් පැහැර ගත්තේ ඒ හා බැඳුණු කවි සිත හුරුපුරුදු ආත්මීය සුවඳක් රැගෙන ආ හෙයින් ද විය හැකිය

මධු විතක් පිදුවා තමයි
නමුත් ඒ හිතකින්ම මැයි
රිදී පෑරී ඉසියුම් කවි සිත
බීර පෙණ සේ උතුරන්න
මධු විතක් පිදුවා තමයි....

බිඳෙන් බිඳ මත්ව රහසෙම
වෙඬරු සේ උණුව හදවත
දිළිසෙද්දි නුඹේ ඇස් කොණ
එය ම කවියකි සුමිතුර.....

කවියනට මධු විත කොතරම් සමීප ද අපි දනිමු. මධු විත ඉසියුම් කවි හිත් අවදි කරන බව කියැවෙයි. කවි හිතක් හා මධු විතක් පෑහෙන අයුරු සරලව කියා පාන මෙකව මධු විතකින් අවදි වන කවි සිතක් ගැන සොඳුරු ඉඟියක් වන්නා සේම, එකී හදවත හිමි දුක්ඛ මහෝඝයක් දරා සිටිනා සොඳුරු මිනිසකුට ය යන්නත් ඉඟිකරයි.

තමන් අත් විඳින දෑ ඇසුරෙන් මෙන්ම අසන කියවන ජීවන පුවත් ඇසුරෙන්ද ජීවිතාවබෝධය පුළුල් වන අපූරු කවි ගොතන්නට නිරාෂ සමත් වන බවට නිදසුන් කිහිපයක්ම ගෙන හැර දැක්විය හැකිය. ගල් අඟුරු පතළේ කැනරි කුරුල්ලා, කුකුළන් කෙටවීම, පුංචි යක් පැටියා කියූ කතාවක්, ෆ්‍රීඩා , කඔරු ඉකෙයා ඒ අතර අමතක නොවන මතක එක් කරයි

අතීතයේ ගල් අඟුරු ආකාරවල වාතාශ්‍රයක් නොමැති පසුබිමක වායුව විෂ වීම පිළිබඳව අනතුරු ඇඟවුම් සංඥාව ලෙස මුලින්ම ජීවිතය පරිත්‍යාග කළ කැනරි කුරුල්ලා ගැන ලියැවුණු කවිය සංවේදී ය.

මහ අඳුරු මූසලක
දෙනෝදාහක් කෑ ගහන
ඩක්කු එහෙ මෙහෙ යන
බෝර පුපුරන හඬ මැද
හිත නිවූ එකම එක සැනසිල්ල
ඇබිති කහ කුරුල්ලෝ....

අඳුරු දෝනා පතුළේ කූඩුවක සිර වීගෙන එකම ගීතය හැමදාමත් ගයන ඒ කැනරි කුරුල්ලා ඒ දෝනාවෙහිම ජීවන අරගලයෙහි යෙදී ඉන්නා දුක් විඳින මිනිසුන්ට ඇති එකම සැනසීමත් වන්නේය. නමුත් කුරුල්ලාගේ ගීතය නවතින මොහොත ජීවිත පරිත්‍යාගයේ මොහොතකි. තම දිවි බේරාගෙන දෝනාවෙන් උඩට දිව එන මිනිසුන්ට කුරුල්ලා ගැන සංවේගයක්ද ඇති වේ

ජීවන සටන අතරමැද පරිත්‍යාගයන්ද පාවාදීම්ද අත්හැර දැමීම් ද කොතෙකුත් හමු වනු ඇත. කුමක් කරන්නද? මේ සියල්ල මැද ජීවත් විය යුතු නොවෙමුද? ගීතයක් ගයමින්ම ජීවිතයෙන් සමුගන්නා කැනරි කුරුල්ලා සමහර විට අපට වඩා වාසනාවන්ත විය හැකිය. වස්තු විෂයේ අපූර්වත්වය සහ සංවේදී බව හේතුවෙන් එකපැහැර සිත් ගත්තද, මෙම කවියේ පද ගැළපුම තවත් කාව්‍යමය ගුණයෙන් ඔපමට්ටම් කළ හැකිව තිබිණැයි මම සිතමි.

සමලිංගිකත්වය ජනප්‍රිය මාතෘකාවක් වුව ද, තවමත් අප සමාජයේ ඒ පිළිබඳව ඇත්තේ ජුගුප්සාජනක හැඟීමකි. නමුත් සමරිසි බවද සොබාදහමට අනුගත මනුෂ්‍ය සම්බන්ධතාවක් බව වටහා ගැනීමට, එසේ පිළිගැනීමට හැකි වන්නේ නම් එය ද මිනිස්කමකි. ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාර්ඩෝ ඩාවින්චි තම ගෝලයකු සමඟ සමරිසි පෙමක බැඳුණු පුවතක් වස්තු විෂය කොටගෙන එකී ජියාන් ජියාකොමෝ ගේ සිතිවිලි ලෙසින් ලියැවුණ “පුංචි යක් පැටියා කියූ කතාවක් අපූර්ව කාව්‍ය ගෙත්තමකි. අනුරාගයද, ප්‍රේමයද, විරහවද කැටි කොට ගත් කවියකි.

ඩාවින්සි සිතුවමක් අඳිමින් හිඳියි. ජියාකොමෝ හෙවත් සලායි (පුංචි යක් පැටියා) එකී සිත්තමේ නිරූපණ ශිල්පියා ය. ඩාවින්සි සිත්තමට දැහැන් ගත වී හිඳියි. සලායි ගේ සිතුවිලි සැලි සැලී විසිරෙයි

නුඹේ දිලිසෙන පෙරළෙන - තියුණු ඇස් බෝල පෙනෙද්දි
මට තවත් ඉන්න බැහැ මෙහෙම
වමතින් රැගෙන පින්සල - පද්ද පද්දා සුරුවමට
නොමරා මරනවා ඔබ මා....

ඉඳහිට තටුගසන පරවියකු බිඳලන
ගූඪ නිහඬතාවය ඇරෙන්නට
සුසුම්ලන දෙහිතක්ය
මේ රුදුරු ගොතික් කැටයමතර...

සිරකාරයකු වී මා - වචන නැති කතාවක
හදවතේ මුද්‍රාවෙ අමුතු ඉරියව්වක...... 

අතීත ජීවිත සක්මනේ ප්‍රේමණීය ඉසව් සිහිගැන්වීමෙන් අනතුරුව සලායි මෙලෙස පවසයි.

එනමුත් පතන්නේ මා නම්
නුඹේ ලෝකෙන් පුංචි වියතක්...

සමරිසි වුව වෙසෙස් රිසි වුව ප්‍රාර්ථනා නම් එකම නොවන්නේ ද? හැඟුම් එකම නොවන්නේද? විඳුම් විඳවුම් එකම නොවන්නේද? ඒ මනුෂ්‍ය ස්වභාවයට සහෘද සිත අවදි කරවීම ද සමාජ සත්කාර්යයකි.

නිරාෂගේ බොහෝ කවි තරමක් දිගු ය. ඒ අතර ක්ෂුද්‍ර බව නිසාවෙන් මෙන්ම, ක්ෂුද්‍ර බව තුළ මහා ගැඹුරක් කැටි කොට ගත් නිසාවෙන්ම හිත් අදනා කවි සිඟිත්තක් වන්නේය. “වෙසක් හා වෙසඟනන් මැයෙන් යුත් එකව මෙලෙසිනි.

ඇලවිලා සව් කරදහි
කූඩු හැම තැන දිළිසෙති
පිටින් හැඩ රුව බෝමැති
ඇතුළෙ පන්දම් ඇවිළෙති...

කියන්නේ වෙසක් කූඩු ගැන ය. මාතෘකාවට වෙසඟනන්ද ඈඳා ඇත. වෙසඟන නම් වන ගැහැණිය ළය ඇවිළෙන ගින්දර ගැන ඉඟි කෙරෙන්නේ වෙසක් කූඩුවෙහි ඇතුළත ඇවිළෙන පන්දමෙනි. මතුපිට දිලෙන තරමටම බොහෝ ජීවිත ඇතුළත සොඳුරු නැත. මතුපිටින් අත ගා ජීවිත ගැන පූර්ව විනිශ්චයන් දිය නොහැක්කේද එබැවිනි

මීටත් වඩා සංවේදී ලෙස ගැහැණියකගේ හදවත විවරණය කරන කවියක් ලෙස ‘‘සුනාමියෙන් දෙවසරකට පසුව කවිය මම දකිමි


දොරැරියෙමි
නාඳුනන නිවහනේ
දවසේ පළමු හුස්මට

සුනාමියෙන් ස්වාමියා අහිමි වූ බව කොතැනකවත් ඍජුවම නොකීවද ඇය තනියම ජීවිතයට මුහුණ දෙන බව හැඟෙයි. නමුත් ඉතිහාසයේ කෙදිනකවත් නොපිපි මල් ගෙමිදුල පිපෙන බව පැවසීමෙන් ඇගේ වත්මන් දිවිය පිළිබඳ ඉඟියක්ද සැපයේ.

නෙත් මානයේ නොතිබුණද
දිගු කතාවක හෝ හඬ
ඈතින් විත් මතක් කර
යළි නෑසී යයි රහසේම...

සුනාමියෙන් උන්හිටි තැන් අහිමි වූ අයට නිවාස හිමි වුණේ බොහෝ විට මුහුදු වෙරළින් ඈත ය. සුපුරුදු මුහුද ද, සුපුරුදු ජීවිතය ද තව දුරටත් ඈ සමීපයේ නොවේ. නමුත් ඒ අතීතය විටින් විට මතකයෙහි ඇඳී මැකී යයි.

පුංචි බෙලිකටු සිහි කළත්
ලුණු ගැහුණු හැටි බිම් පස
චීත්ත කොණෙන් පිස ලා
නෙතග කැටි වූ මතක...

සිනාසෙන්නට වෙර දරමි
බලා
මගේ බිම් තඹුරු මල් දෙස ම.....

බිම් පස ලුණු ගැහී ඇත්තේ කඳුළිනි. ඒ බව සිහි කරන්නේ පුංචි බෙලි කටු පමණි. බෙලි කටුව යනු ප්‍රාණය සිඳී ගිය ජීවිතයකි. ඇගේ ජීවිතයෙත් ප්‍රාණය සිඳී බිඳී ගොසිනි. නමුත් ඒ බව වගකට ගන්නේ කවුරුන්ද? ඇය චීත්ත කොණින් කඳුළු පිස ලා ගනියි. ජීවත් වන්නට අවැසි කඳුළු නොව ධෛර්යය ය. ඇය සිනාසෙන්නට වෙර දරන්නේ ඇගේ දරුවන් දෙස ම බලමිනි. කොතෙක් මල් පිපුණද ගෙමිදුල ඇගේ සිත සැනහෙන්නේ ඇගේ බිම් තඹුරු මල් දැක්මෙන් ම පමණි. හුදකලා ගැහැණියකගේ වේදනාව ද, ධෛර්යය ද, දරු ස්නේහය ද, තනිකඩ ගැහැණියක මේ සමාජය තුළ මුහුණ දෙන පීඩනය ද මේ කවියෙහි කැටි වී ඇත.

එහෙයින්ම ‘‘සුනාමියෙන් දෙවසරකට පසුවවඩාත් මගේ සිත ඇඳ බැඳ ගත්තේය. කවියා නොකියා කියන මහා ජිවිත කතාව සුනාමියෙන් දෙවසරකට පසුත් ඇදි ඇඳී, බිඳි බිඳී, රිදි රිදී යන ජීවිතවල දෝංකාරය ය. මේ කව සැබවින්ම සිත කම්පනය කරන්නේය. ව්‍යංගය උපරිමයෙන් යොදා ගත් අතිශය සංවේදී කවියකැයි සිතමි

පුද්ගල ආත්මීය හුදකලාව මෙන්ම සමාජයීය හුදකලාව ගැන කියැවෙන ‘මුහුණු, ‘බෝසත් සඳ කවි ද සිත් ගති. ‘දිවි මහරු සතුට තේමාත්මකවත්, කාව්‍යාත්මකවත් අගනේ ය. අපි සතුට සොයාගෙන කෙතරම් වේගයෙන් දිව යන්නේද කිවහොත් නොදැනිම සතුට අපෙන් මඟහැරී යන බව කොතැනක හෝ කියවූ බව සිහිපත් විය

කවි පණස් දෙකකි. ප්‍රමාණාත්මකව වැඩි වීම විටෙක රස වින්දනයට බාධාවකි. විශේෂයෙන්ම අපගේ කාර්යබහුල යාන්ත්‍රික දිවි පෙවෙත සමඟ සංඛ්‍යාත්මකව වැඩි වීම ගැටලුවක් වන නමුදු,  වර්තමාන ලාංකීය කවියන් මුහුණ දෙන අධ්‍යාත්මික, සමාජයීය, ආර්ථික අර්බුද පිළිබඳව සිතන විට ගුණාත්මක බව ගැන මිස පොතකට ඇතුළත් විය යුතු කවි සංඛ්‍යාව පිළිබඳව කිසිවක් පැවසීම සාධාරණ නොවන බව දනිමි.

නිරාෂගේ කවි කොටස් දෙකකට වර්ග කරමි. වඩාත් සිත් ඇද බැඳ ගත් සහ එතරම්ම ම සිත දිනා නොගත් යනුවෙනි. එතරම්ම සිත් නොගත් කවි නම් ඇත්තේ අල්පයකි. ඉතාමත් අල්පයකි. ‘‘කවියක සරල බව තුළම මහා ගැඹුරක් ද, මහා ගැඹුරක අති සරල බව ද දකින්නට මා හැමදාමත් කැමතිය. පෙරදවදනෙහි සඳහන් කළ අන්දමට නිරාෂගේ එකී කැමැත්ත කවිය තුළින් දුරස් ව නැති බව පැහැදිලි ය. එකී කැමැත්තම විටෙක කාව්‍යමය ගුණය අවම කරන්නට ද හේතු වී ඇත. කවි බස හැසිරවීමේදී මඳක් සකසුරුවම් වූවා නම් යෙහෙකි යැයි කවියට ළෙංගතු සිතින් යෝජනා කරමි.

සමස්තයක් ලෙස ‘‘සුදු කතක් හා මධු විතක්කාව්‍යමය මධු විතක් ම විය.  එකී මධු විත අතින් ගත් සංයමයෙන් හිත නඩත්තු කරන හිතුවක්කාර කවියකු මේ කව් පද අතරින් විටින් විට එබිකම් කරයි. බොහෝ සංකල්පනාවන්හි සොඳුරු අරුත් මැවෙන්නේ ඒ සංයමයෙන් යථාර්ථය දකින හිතුවක්කාර කවි සිත නිසාවෙනැයි මට සිතේ.

නිරාෂ මව්බිමේ නොඉන්නා කමින්දෝ ඔහුගේ නව කවි එකතුව පිළිබඳව ලාංකේය සමාජයේ සැලකිය යුතු සංවාදයක් මතු නොවුණි. මේ සටහන ඒ හිඩැස පුරවන්නට යම් තරමකින් හෝ සමත් වනු ඇතැයි අපේක්ෂා කරමි.