Friday, January 29, 2016

දුප්පත් ම හිතක්...




සිරි සිරි වැස්ස යට
සීතලෙන් ගුලි වෙන
මන්දාරම් අඳුර
වැව් දිය මත ඇඳුණු
තරු එළි සරැලි මත
ස්නේහයම අතුරන...

ඉද්ද ගහ අද්දර
සුදු වළාකුල් බැම්ම
කිරි ඉද්ද හිනාවට
දැහැන්ගත වී මෙන..

සිලි සිලි නදින්
බෝ පත් මුමුණනා
ස්නේහයේ ඇමතුම
නෑසුන ද සවනට
තුන් සිත ම පෑදෙන...

සුවහස් හැඟුම් සිත්තම්
මඳදුරු නිසල අහසෙහි
කවිකම් අමුණන
සුන්දර ම සන්ධ්‍යාව...

දුප්පත්ම හෝඩියකින්
උත්තරීතර වදනක
අකුරු ගළපන හදවතක්
අදත් පෙර ලෙසම
ගොළු විණ...



Friday, January 22, 2016

කව්ද කිව්වේ බොරු අල්ලන්න බෑ කියා තරු.


කියන්නට ලියන්නට බොහෝ දේ ඇත. ඒ අප්‍රමාණ සංතුෂ්ටියෙන් සහ ධෛර්යයෙන් පිරුණු හදිනි. මට කියන්නට ඇති බොහෝ දෑ මේ කවිය තුළ කෞශල්‍යා හෘදයාංගමව කැටි කොට ඇති බැවින් සියල්ලට පළමුව එය ඔබේ දෑස් අබියස දිග හරිමි.  

දවසක් ....

තරුවක් දොරට වැඩි දවසක්
ගමට තරු පෑයු දවසක්
යසට හිරු පෑයූ දවසක්
දෙවැට හිම නෑවූ පලසක්
තවත් එක් දවසක්
පමණක් ම
.... නොවූ ....
දවසක් ....

උදයක් ....
හිච්චි හිත් වල මල් පිපුණු උදයක්
පැන්චන් ව සතුටු කළ චිත්තරපටියක් ....
බනිස් ගෙඩි මැද්දේ
කහ පාට බීම වීදුරු අස්සේ
පිනුම් ගැසු .... ඔට්ටු ඇල්ලූ
පුංචි උන්ගේ සිනා සද්දේ ....

දහවලක් ....
හිරුත් හිම පාට වූ දහවලක්
අළුත් පොත් සුළගේ නැටූ දහවලක්
වේදිකාවක් අහිමි දරුවන්
වේදිකාවක රැඟූ රැඟුමන්
තෙත් කළා මා දෙනෙත් කඳුලින්
වාසනාවන් .... වාසනාවන් ....

සවසක් ....
කලවම් පලා ලියු දෑතක්
ගොයම් බූවට කැපුණු දෑතක්
බුලත් විට ලිප්ස්ටික් දෙතොලින් සිනාසී
කවි පිටු අතගා බැලූ සවසක් ....

විදුලි කම්බිය මත
කාක්කො ත් ඇස් අයා සිටියා
පතහෙ දිය රැලි නොනඟා
මාළු ත් නොසෙල්වී සිටියා
පොඩි සිංනො හිම මල්
බෙල්ල දිගු කර අහන් හිටියා
තරු ඇස් රහස් අසනට
සඳ ත් පොලොවට ඇවිත් සිටියා ....
මිහිමඩලෙ දිය උල්පත
තාත්තෙක් සේ බලා සිටියා ....

බුලත් කොළ පාටයි
මල්ලියේ උඹේ කවි
හුණු වගේ සුදු පාටයි
මල්ලියේ උඹේ කවි
දුම්කොළ වගේ කළු පාටයි
මල්ලියේ උඹේ කවි
බුලත් කෙල වගේ රතු පාටයි
අපි ගැන ලියන උඹේ කවි ....
ටිමා උඹටයි මේ කවි ....

කවි බිජු පැලකරන ගොවියෙකි
අස්වැන්න අන්සතු වුව ද කම් නැති
බොහෝ නාඹර කවි ගස් වලට
ළදරු කල නැළවිලි ගී කී සකි
තිඹිරියාගම සොඳුරු මිනිසෙකි ....

සන්ත බස්තියමේදී හමුවූ
උවන පොත් පිටු අතර හිනැහුණු
ඒ සොඳුරු කවි මිනිසා
නාඳුනන සේ සිටිය විලසා ....
මාව අඳුනන බොහෝ මිනිසුන්
නාඳුනන සඳ මා කව්ද වග
ඔහු මා නොඅඳුනන වග
කරුණක් ද පුදුම විය යුතු හුඟ....

හරි අපූරුයි තරු
ඔබේ ගම් දොර විසිතුරු
හෙට පියාඹන සියොතුන ට
පාර පෙන්වන ඔබේ ඇස් තරු ....

කව්ද කිව්වේ බොරු
අල්ලන්න බෑ කියා තරු....

පුතේ උඹලට පුළුවන්
තරු අල්ලන්න පුළුවන්
තරු නෙළා ගෙනත් දෙන්නට
අම්මෙක් ඉන්න උඹලට
තරු විතරක් නොවෙයි
.... සඳ බඳා ගන්නත් පුළුවන් ....

කෞශල්‍යා කුමුදිනී ජයලත්


මේ කවිය කිය වූ ඇසිල්ලේ දෑස තෙමිණි. මෙතරම්ම අපූරුවට දවසක්ම කවියක් කළේ කෙලෙසින් ද? සැබවින්ම ඒ ආදරය ප්‍රාතිහාර්ය පෑ දවසකැයි යළි යළිදු මට සිතෙයි.

‘‘තරු ඇස් රහස්‘‘ ගමට ගෙන ගියේ සැබවින්ම මා මහා කිවිඳියකැයි උදම් ඇනීමේ චේතනාවෙන් නම් නොවේ. කවියට පෙම් බැන්ඳාට මම තවමත් කවි ළදැරියක බව දනිමි. මග හසර අසමින් කවි ලොව සැරිසරමි.

ජීවිත කාලය පුරාම අසීමිතව මට ආදරය කරන අම්මා, තාත්තා ඇතුළු පවුලේ සැමත්, ඥාති සමූහයාත්, ගම්දොර අසල්වැසි සියලු දෙනාත් සමඟ කවි පොතක් කිරීමේ සතුට බෙදා ගැනීමේ උවමනාව මට තිබිණි. කවි පොත එළිදැක්වීමක් කොළඹ සූදානම් නොකළේද ගමෙහි එවැනි කටයුත්තක් කිරීමේ මහත් ආශාවක් කලෙක සිට මා තුළ පැවති බැවිනි. ඒ මට ආදරය කළ අයට නිසි ආදර ගෞරවය ලැබදෙමින් ඒ සිත් සතුටින් පුරවාලන අදහසිනි. අපේ දරුවන්ගේ සිත්වලට පොත පත කියවීමේ අගයත්, කවියක් ලිවීමට, පොතක් පළ කිරීමට සිහිනයක් ජනිත කිරීමත් මගේ  බලවත් සිහිනයක්ව පැවති බැවිනි.


ළක්‍රිවිය, කිතුසර, පියවර, විණැන මාධ්‍ය හා කලා පදනම සමග ලංකාව පුරා කළ කී දෑහි අරුත ගමට ගෙන යාමේ උවමනාව ද මා තුළ විය. මේ සියලු කටයුතු හැකි අයුරින් එකම දිනක ඉටුකරගන්නට ලැබීම මහත් සතුටකි. 

දිගින් දිගටම වැසි ඇද හැලුණු බැවින් දිනෙන් දින කල් ගිය ඒ සොඳුරු දවස 2016 දුරුතු මහේ 16 වැනි දා උදාවන්නේ එලෙසිනි. එදින උදෑසන ළමා වැඩසටහන, චිත්‍රපට දර්ශනය, සවස කවි පොත ජනගත කිරීමේ උත්සවය, රාත්‍රිය ‘නිවහන නිවන ගී‘ ගීත රස වින්දන වැඩසටහන ගමට අලුත් අත්දැකීමක් මෙන්ම අලුත් අර්ථයක් ද එක් කරමින් සාර්ථක කරගන්නට හැකි විය.

‘‘තරු ඇස් රහස්‘‘ ගමට ගෙන යන්නට මට මඟ පෙන්වූ, ශක්තිය වූ ඔබ සැමට හදවතින්ම ස්තුතියි කියන්නට මට අවසර.............

කවියට මතු නොව ජීවිතයට ද අප්‍රමාණ සහෝදරත්වයේ මහා ශක්තිය වන මංජුල අයියාට ( මංජුල වෙඩිවර්ධන), ඔබ නොවන්නට මගේ කවි, පොතක් ලෙස දොරට වඩින්නට බොහෝ පමාවන්නට ඉඩ තිබිණි.

නිතර මා දිරි ගන්වමින් ‘‘තරු ඇස් රහස්‘‘ සම ප්‍රකාශනයක් ලෙස එළිදක්වන්නට නොපැකිළ අත දුන් සංජීව වඩිගමංගාව, අනූෂා පලිපාන, අනුරාධ වඩිගමංගාව ඇතුළු වඩිගමංගාව පවුලේ සහෝදරත්වයට, සනත් බාලසූරිය අයියාට, දේවිකා වඩිගමංගාව අක්කාට,

දුර බැහැර නොතකා මා වෙනුවෙන් කාලය වෙන් කරගෙන අප ගම් පියසට පැමිණි හිටපු ළ.ක්‍රි.වී. ජාතික අධ්‍යක්ෂ ගරු ජෝ කුරේ පියතුමාට,

සත්කෝරලයේ සොඳුරු නිහතමානී කලාකරුවාණන්, මහා සාහිත්‍යෙව්දියාණන් වන ඩබ්.ඒ. අබේසිංහ මහත්මාට, ඔබේ පැමිණීම මහත්ම ගෞරවයකි.

ගමත් එක්ක කවි රස බෙදා හදා ගන්නට දුර බැහැර ගෙවාගෙන පැමිණි සත්කෝරලයෙන් බිහි වූ තවත් ප්‍රවීණ සාහිත්‍යධරයෙක් වන තිඹිරි අයියාට ( තිඹිරියාගම බණ්ඩාර)

සාහිත්‍ය ලොව මට හමු වූ ලොකු අයියා, ආරම්භයේ සිටම ‘‘මම අනිවාර්යෙයන්ම එනවා තරූ‘‘ කියමින් කතාවක් සඳහා වූ ඉල්ලීමද භාර ගත් අනුරසිරි අයියාට ( අනුරසිරි හෙට්ටිගේ )

ටිම්රාන් කීර්ති, ඩොමිනික් චන්ද්‍රසාලි, ළහිරු කිතලගම නූතන කවි පරපුරේ ළෙංගතු ආදරයට,

පුරා දවසම, ගමේ හැමටම මහා ආලෝකයක් වූ නාමල් අයියාට, ( මහින්ද නාමල් )

වදනින් කියා ලියා නිම කළ නොහෙන නාමල් අයියා, ලාල් අයියා, ප්‍රේමන් අයියා, රොෂානි නංගි, සාලිය ඇතුළු කිතුසර, පියවර, විණැන මාධ්‍ය හා කලා පදනමේ අප්‍රමාණ සහෝදරත්වයට,

දරුවන්ගේ මුවට සොඳුරු සිනා කැන්දූ, තරු ඇස් රහස් එළිදැක්ම දයාර්ද වචනයේ මහිමයෙන් අසිරිමත් කළ ප්‍රභාත් අයියා ඇතුළු ළ.ක්‍රි.වී. පවුලේ ආදරයට,

ආරම්භයේ සිටම ගමේ වැඩේ අපේ වැඩක් කරගනිමින් මට සහය ලබා දුන් කරුණාතිලක හඳුන්පතිරණ සර්ට,

දුරකතන ඇමතුමකින් පමණක්ම වූ මගේ ඇරයුම හදවතින්ම පිළිගත් බණ්ඩාර වැවගෙදර, කපිල ජයවිලාල් හේරත් ඇතුළු ගම් පළාතේ කවියන්ට,

අකුරින් අකුර කියා දී ජීවිතය වියාගන්නට අවැසි ම අඩුමකුඩුම සරි කර දුන් සියලුම ගුරු මව්පියවරුනට,  

මේ කටයුත්තේදී පමණක් නොව, සමස්ත ජීවිතයේ දී මට මහා ශක්තියක් වන අම්මා, තාත්තා, ලොකු නංගී, පොඩි නංගී, මල්ලී, චානක මල්ලී, හංසි නංගී සහ දූ පුතුන්ට, සියලුම නෑදෑයින්ට, හිත මිතුරන්ට,

ලොකූ ගේ වැඩේ තමන්ගේ වැඩක් කරගත් ගම්වැසි ජනතාවට, නොයෙක් අයුරින් උදව් උපකාර කළ සැමට,

පුස්තකාලය වෙනුවෙන් පොත් තිළිණ ලබා දුන් සියලුම දෙනාට,  පැමිණි සෑම කෙනෙකුම පුස්තකාලය සඳහා පොත් රැගෙන විත් තිබිණි. කුලී වැඩ කරන, ගොවිතැන් බත් කරන, දුක් මහන්සියෙන් හරිහම්බ කරන දුප්පත්ම අසල්වැසියා පවා පොතක් ගෙනෙනු දැකීම මට මහා පුදුමයක් මෙන් ම, සතුටක් ද විය.   

හදවතින්ම ස්තුතියි කියමි. ආදරේ යැයි පවසමි.

මේ අවසානයක් නොව තවත් ආරම්භයකැයි අදහමි. අද මෙන් හෙටත් ඔබ මා සමඟ හිඳින බව විශ්වාස කරමි.


ගම් මට්ටමින්, බිම් මට්ටමින් වැඩ කිරීම අද දවසේ අනිවාර්ය කටයුත්තක් විය යුතු යැයි සිතමි. පක්ෂ දේශපාලනය ගැන විශ්වාසය බිඳී ඇති සමයක, පුරවැසියා ශක්තිමත් කරන, පුරවැසි දේශපාලනයට නව අරුතක් එක්කරන සංස්කෘතික, දේශපාලනික දැනුම අවබෝධය ගම් දනව් සිසාරා රැගෙන යන ක්‍රමවත් වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බව මගේ හැඟීම ය. සමාජ ව්‍යාපාරවල ද, ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවල ද අවධානය ඒ කෙරෙහි යොමු වේවා යි ප්‍රාර්ථනය කරමි.





Tuesday, January 12, 2016

හැම ගමකටම දුයිෂෙන් කෙනෙක් !!


‘‘අරගලය වෙනම තියෙනවා.. මිනිස්සු වෙනම ඉන්නවා.“

මම දෑත දෙපසට කර රඟ දක්වමින් පැවසීමි. අප උන්නේ කොල්ලුපිටිය ලිබර්ටියෙන් ‘‘හෝ ගානා පොකුණ“ නරඹා විහාරමහා දේවි උද්‍යානය දෙසට ඇවිද එමිනි. කලෙකින් සුන්දර චිත්‍රපටයක් නැරඹීමේ උද්‍යෝගය විසින් මම ද ළමයෙකු සේ හදවතින් දැල්වෙමින් සිටියෙමි.

ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේවල් හුඟයිලු
ඒ දේවල් දැකල එන්න හීන දකින එක හොඳයිලු...

හිතේ ඇමිණී මිමිණෙමින් තිබූ ගී පද කිහිපයක් ගයමින් මම කලබලකාරී කොලොම්පුරය මැද  හිතේ නිස්කලංකය රිසි සේ රස විඳිමින් හුනිමි.

‘‘ඒක හරි ලස්සන චිත්‍රපටියක්. වැඩිහිටියන්ට, පොඩිහිටියන්ට දෙගොල්ලන්ටම.. ලස්සන පරිසරය, රූප රාමු, සංගීතය, කතාව,  රඟපෑම්.. හැමදෙයක්ම ලස්සනයි. අභව්‍ය ගතියක් තියෙනවා තමයි. ඒක මං හිතන්නෙ උවමනාවෙන්ම කළ දෙයක්.. ඒ නාටකීය ගතිය අස්සෙ කියන්න හදන්නෙ වෙනම ගැඹුරු කාරණයක් ජීවිතය ගැන, ලංකාවෙ දේශපාලනය ගැන, වමේ ව්‍යාපාර ගැන... “

 ‘‘මට මාරෙට හිතට වැදුණා උමා ටීචගෙයි, විප්ලවීය ප්‍රේමවන්තයගෙයි මුල් සංවාදය... හරියට අපි දෙන්න වාද වෙනවා වගේ...“

‘‘අරගලය වෙනම තියෙනවා.. මිනිස්සු වෙනම ඉන්නවා.“

මම පෙම්බරාගේ වමතේ එල්ලී ගතිමි.

කල්පනා ලොවක ඇලී ගැලී උන් ඔහු මවෙත යළි කැඳවනු රිසියෙන් මම හෙමිහිට අත කොනිත්තාලීමි. ඔහු නොවේ ඇස් කොණකින්වත් මදෙස බැලූයේ.

සිනමා සිත්තමේ මුල්ම රූප රාමුවේ ඇස් කන් අලවා සිටින මොහොතක ඒ දෙබස් කණ වැකෙත්මත් මා කළේ ඔහුගේ අත කෙනිත්තීම ය. එවර නම් ඔහු කට කොනකට සිනාවක් නගාගත්තේ මා මන්තරයක් මෙන් නිරන්තරයෙන් මතුරන කාරණය සිහිපත් වී විය යුතුය.

‘‘අරගලය වෙනම තියෙනවා.. මිනිස්සු වෙනම ඉන්නවා. අරගලයයි, මිනිස්සුයි එකතු කරන්න මාවතක් තියෙන්න ඕනි.. මම හැමදාම ඔයාට කියන්නෙත් ඔය ටික... අරගලය තියෙන්න ඕන ගමේ, වැඩබිමේ, පාරෙ, බස් එකේ.. මිනිස්සුන්ට දැනෙන තේරෙන විදියට.. ඒක ලිප්ටන් වටරවුමෙයි, ස්ටේෂන් එක ඉස්සරහයි, මාධ්‍ය සාකච්ඡාවලයි, කප්පරක් චෝදනා පත්‍රවලයි තිබිල මදි.. හැමදාම මුවහත් කර කර කියන එකම වචන සෙට් එක නැතිව. මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන විදියට කතා කරන්න ක්‍රමයක් හොයන්න ඕන.“

 ‘‘ඔයා හිතන්නෙ උමා ටීච මහා විප්ලවයක් කළා කියලද ගමට ගිහින්. ඒ වගේ ගම් කොහෙද තියෙන්නෙ. මුහුදක් දැකල නැති ළමයි ඉන්න. ටීච කෙනෙක්ටයි, ළමයින්ටයි ඉල්ලීම් දිනාගන්න පුලුවන් ගම් කොහෙද තියෙන්නෙ?‘‘ 

ඔහුට අවැසි මගේ කන්කරච්චලයෙන් පැන යාමට විය යුතුය.

‘‘අනේ මෝඩයො, හා දැන් මෙච්චර දියුණුයි කියන මේ කොදෙව්වම ගත්ත උණත් ඒ ගමට වඩා වෙනසක් නැද්ද? මූදෙන් එහා ලෝකයක් ගැන නොදන්න ගාණට නෙවෙයිද ඉහළම තැන්වල ඉඳන් පහළම තැන දක්වා අපේ මිනිස්සු හැසිරෙන්නෙ. කතා කරන්නෙ.. ඇත්තටම හොඳ වැඩක් වෙනුවෙන් බෙල්ල ගහල ගියත් එකතු වෙන මිනිස්සුත් මේ රටේ ඇත්තෙම නැද්ද? ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ මිනිස්සුන්ව එකතු කරන්න කෙනෙක්, එකතු කරන්න තැනක්.. මිනිස්සුන්ගේම තැනක් නැති එක නෙවෙයිද?“  

උමා ටීචගේ උදා රැස්වීමේ නොදන්නා දේ ගැන කතා කළ දරුවා මට සිහිපත් වූයේ නිරායාසයෙනි. එවර කට කොණ සිනාවක් පැන නැංගේ මවෙතිනි. ...... 

මම මෙතෙන්ට පැමිණියේ නොදන්න දේවල් ගැන කතාවක් කරන්න. ඇත්තටම නොදන්නා දේවල් මොනවද කියල මං දන්නෙ නෑ. ඒ හින්දා ඒ ගැන කියන්නත් මං දන්නෙ නෑ... දරුවා කියූ වදන් සිහිපත් කරගනිමින්ම මම මගේ සිතුවිලි නැවතත් ඒ මේ අත පෙරළා බැලීමි.   

දරුවන් අබියස මුහුද දිස්වූවාක් මෙන් මහත් වූ ප්‍රමෝදයකින් මගේ දෑස් පොඩි වඩේ කරත්තයක් අසල නැවතිණි.

‘‘විස්සක දෙන්න.“

‘‘මේකිට පිස්සු.... බේබද්දියක් වගේ කොතැන ගියත් වඩේ...“

‘‘ඇයි!!! බේබද්දන්ට විතරද වඩේ කන්ඩ හොඳ? අපිට ඇලජික්ද?“

වඩේ බහාලන කුඩා කඩදාසි බෑගයට  එක්විටම අත් රිංගවන්නට පොර කමින්ම අපි විහාරමහාදේවියේ ගසක් යට වාඩි ලා ගතිමු.



‘‘මේ රට හදන්න ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයකින් මිස වෙන කිසිම දේකින් බෑ..“ එක කටට වඩයක් ඇද බාමින් තමන්ටත් විශ්වාස නැති සත්‍යයක් ඔහු මවෙත පසක් කරවන්නට උත්සාහ දරයි.

‘‘නිදහසෙන් පස්සෙ හැමදාම මතුරන මන්තරයක්නෙ ඔය. ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයකින් යම් බලපෑමක් කරන්න පුලුවන් වෙයි. ඒත් පැවැත්මක් තියෙන්න නම් ඒකට සාමාන්‍ය මිනිස්සු දැනුවත්ව එකතු වෙන්න ඕනි...“ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර පිළිබඳව පමණක් නොව සෑම දේශපාලන ව්‍යාපාරයක් ගැනම බිඳුණු සිතැති මම එකී හිස් බව දීර්ඝ සුසුමක පා කර හරිමි.

‘‘හීන හඹායන්න ඕන. හීන හැබෑ කරගන්න වැඩ කරන්න ඕන. චිත්‍රපටියෙත් කියන්නෙ ඒකනෙ. විප්ලවීය සිහින වුණත් එහෙමයි...“ ඔහු සිගරැට්ටුවකට අත යවයි. අතට පහරක් ගසාලන මම සිගරැට්ටුව ගෙන බෑගයෙහි ඔබා ගනිමි.

‘‘පේනවනෙ, සිගරට් එකක් බොන්නවත් නිදහසක් නැති රටක්..“ ඔහු හිනැහෙයි.

‘‘මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට විප්ලවීය හීන පේන්නෙ නෑ. එහෙම හීන තියෙන බවවත්, දකින්න ඕන බවවත් මිනිස්සු දන්නේ නෑ. ඒ මිනිස්සු අතර ඉඳන් මිනිස්සු දැනුවත් කරන්න, ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් ඕනි... අර පුංචි උන් මුහුදක් ගැන හිතල තිබුණෙ නැහැනෙ ඇස් නොපේන කෙලි පොඩ්ඩ ඒ ගැන කියනකල්. හීන, අරමුණු හැදෙන්නෙ එහෙමයි.. ඒකට උත්තේජනයක් ඕන. ඒ හීන හැබෑ කරගන්න හයියක් ඕන. සැලසුම් ඕන. ඒකට මගපෙන්වන්න කවුරුහරි ඕන..

.....හැම ගමකටම දුයිෂෙන් කෙනෙක් ඕනෙ.

මිනිස්සු දේශපාලනිකව, සංස්කෘතිකව දැනුවත් කරන්න වැඩ කොටසක් කරන්න පුලුවන් කෙනෙක් හැම ගමකම හදන්න ඕනි. මට හිතෙන්නෙ මේ කොළඹට වෙලා දේශපාලඥයොත් එක්ක පොර අල්ලන්න ඔට්ටුවෙන එක තරමටම වැදගත් බිම් මට්ටමට බැහැල වැඩ කරන එක.

‘කොළඹ ඉඳන් රටේ ජනතාවගෙ රසවින්දනය හදන්න බෑ. ගමේ ඉන්න කෙනෙක් ඒක කළ යුතුයි. ‘ මං දැක්කා ඉරුදින පත්තරේ සංවාදයකදි අඛිල සපුමල් කියල තියෙනවා...

ඒ කතාව ඇත්ත. එක්කො අපි ගමට ගිහින් වැඩ කරන්න ඕනි. නැත්නම් අපි ගමෙන්ම ඒ වැඩේ කරන්න කෙනෙක් ගොඩනගන්න ඕනි. කුඩා කණ්ඩායම් විදියට හැම අස්සක මුල්ලකම වැඩ කරන්න යාන්ත්‍රණයක් හැදෙන්න ඕනි... ආණ්ඩුවල කුනුකන්දල් අවුස්ස අවුස්සා මතවාද එක්ක හැප්පි හැප්පි ඉන්න අතරම ඒ වැඩෙත් කරන්න පුලුවන් නම්  මරු.. අරගලයයි මිනිස්සුයි යා කරන්න පාලමක් ඕනි, උමා ටීච කියන්න වගේම..‘‘  

‘‘පිස්සි.. ඔයා දන්න දේශපාලනේ..“ 

එකී සරදම් සිනාවේ සැඟවී ඇත්තේ විරුද්ධතාවක්ද? එකඟතාවක්ද? තේරුම් ගන්නට උත්සාහ දරමින්ම මම මෙසේ පවසමි.

‘‘හැම ගමකටම දුයිෂෙන් කෙනෙක් ඕන.‘‘




Sunday, January 3, 2016

කුරුලු පාරාදීසය මැදින් මුතු පන්තියට


සොඳුරු ම අරුණැල්ලක පහස........

ඉර එළිය යාම්තමට කෝලිත්තං පාන්නට පටන් ගත්තා පමණි. සුළඟේ තැවරුණ සිහිලැල්ල සෙමෙන් සෙමෙන් හිරු රැස් තුඩගින් සොරකම් කරගන්නාක් මෙනි.

‘‘මීටත් වඩා උදෙන්ම එන්න තිබුණ නම්..“ සිත මිමිණීය. හිමිදිරිය කොතරම් අසිරිමත් වනු ඇති ද? සිහිලැල් වනු ඇති ද? සිත විමසමින් තිබිණි.

අප සිටියේ ආනවිළුන්දාව අභය භුමියේ වැව් සොයුරු සොයුරියන් මහත් සෙනෙහසින් බැඳි අත්වැලක් සේ දිස්වන්නා වූ වෑ කන්ද මත ය. එල්ලංගා නම් වූ පැරණි වාරි ක්‍රමයකට සැකසූ වැව් පද්ධතියක් සතුවීම මෙම අභයභුමිය සතු සුවිශේෂත්වයක් බව මා දැන ගත්තේ පසුව ය.



වැව් දියට පෙම් බැඳි කුරුලු කෙවිල්ලන්...

වැව් දිය සරැළි මත පළිගු සිත්තම් මවනා හිරු එළිය ඇහි පිය මත අමුණන්නේ මහත්ම වූ අසිරියකි. කුරුලු පාරාදීසයක් වූ ආනවිළුන්දාව අභය භූමිය එමොහොතේ නම් කුරුලු කෙවිල්ලන්ගේ දාංගලයෙන් එතරම්ම කලබලකාරීව තිබුණේ නැත. කුරුල්ලන් උඳුවප් සිහිල මැද පිට ගං බලා ගොස් ඇතිවාද, නොදනිමි.


විසල් තුරුපෙළින් හෙවන වූ වෑ කන්ද වටා එක් පසෙකින් වැව ද, තවත් පසෙකින් ළඳු කැලෑව සහ ගම්මණ්ඩියද පසු කරමින් යන විට මැවෙනුයේ අසිරිමත් හරිත දසුනකි. වැව් දිය මත දිය කාවුන්, කොරවක්කන් සැරිසරනු ද, තුරු මත ජලජ ශාක ආවරණ මත කොකුන් නිදහස් සුවය විඳිනු ද දකිත හැකි ය.

විසල් මාර ගස් සෙවණක වැව් දියට මුහුණ ලා තණ බිස්සක වාඩි ගත් විට දවසක්ම වුව නිවී සැනසිල්ලේ දැහැන් ගත වන්නට හැකිය. වැව ද, හරිත තුරු සමූහය ද, කුරුල්ලන් ද, විසල් අහස ද මවන්නේ අපූරු සිත්තමකි. දාංගල් සුළඟ කොපුලත හාදු තබා කඩිමුඩියේ පැන දුවන විට සමාධිගත සිත මොහොතකට සසැලී ඉක්බිති නිවී සැනහී යනු ඇත.

මුතු වැලක අසිරිය මවන මුතු පන්තිය

මුතු වැලක අසිරිය මවන මුතු පන්තිය ධීවර ගම්මානය වෙත යා හැකි පටු ගුරු පාර ඇරඹෙනුයේ ද අභයභූමිය වෑ කන්දේ එක් පසෙකිනි. අභයභූමියට පිවිසෙන මාවත් කිහිපයක් ඇති අතර අප භාවිත කළේ කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ ආනවිළුන්දාව හන්දියෙන් හැරී අභයභූමිය තුළට ගමන් කළ හැකි මාවත ය. තරමක් අබලන් ය. නමුත් මේ වන විට මාර්ගය ඉදි වන ලකුණු පැවති බැවින් සුබවාදී බලාපොරොත්තු දල්වා ගත හැකිය.

වෙල් යායක්, ළඳු කැලෑවක්, ඉස්සන් කොටු රැගත් කලපු දිය මැදින් මුතු පන්තිය ගම්මානය කරා දිවෙන මාවත ද සොඳුරු ය. අපට සොඳුරු වුව එහි ජීවත් වන ධීවර ජනයාට නම් එය තරමක දුෂ්කර ගමනක් ද විය හැකි යැයි සිතේ. 

වසර ගණනාවකට එපිට ළක්‍රිවී දූ දරුවන් සමඟ පුරා දවසක්ම මුතු පන්තිය ගම්මානයේ ගත කළ අයුරු සොඳුරු මතකයකි. එදින රෑ ගිනිමැලය පැවති දෙව් මැදුරු බිම කිසිදු වෙනසක් නැත. එදවස පරිදිම ය. එදා සිටි දරුවන් අද නව යොවුන්, තරුණ දරුවන් විය හැකි ය. හඳුනාගන්නේ කෙලෙසද?


ගම්මානය කෙළවර වනු යේ මහ සමුදුරෙනි. දීප්තිමත් උදෑසන හිරු එළියෙන් නැහැවුණු නිල් සයුර නිරන්තර සිනාවෙන් ආලෝලනය වන්නාක් මෙනි. අහස් නිල ට අත්වැල් අල්ලන්නාක් වැනි දීප්තිමත් නිලකින් සැරසුණු සයුරට සුසුදු රේන්දයක් ඇල්ලූ කලෙක මෙන් දිස්වන ළවැල්ල පිවිතුරු ය. සොඳුරු ය. ඒ නොකිලිටි වෙරළ තීරය සංචාරක ඇස ගැටී විනාශයට පත් වේද යන හැඟුම සිත පෙළන විට මේ ලියවිල්ල ගැන ද සාංකා මතු වේ. 

මා දැල් ඇදෙනා රිද්මය....

දෛනික ධීවර ජීවන අරගලයේ එක් මොහොතක් ඇස ගැටුණේ ඒ මනස්කාන්ත අහස් සයුරු ප්‍රේමය පසුබිමේ තබාගෙන ය. රිද්මයානුකූලව ගැයෙන අම්බාව - ධීවර ගීතය සමඟින් රිද්මයට අසීමිත ශ්‍රමයක් කැටි වන මා දැල් අදිනා ධීවර සමූහයකි. අම්බාවේ බස සිංහල ද, දෙමළ ද වෙන් වෙන් ව හඳුනා ගත නොහැකිය. භාෂාවන් දෙකක මුසුව මෙන්ම කිසිම භාෂාවකට අයත් නොවන වචන පවා ධීවර මුවින් ගිලිහෙන්නාක් මෙනි.


අප්‍රමාණ ශ්‍රමයක් වැය වනු ඇති බවට ගලනා දහදිය ගඟුල සාක්ෂ්‍ය ය. නමුත් ඒ දැල් ඇදීමේ සමස්ත ක්‍රියාවලිය පුරා ඇත්තේ අපූරු ලාලිත්‍යයකි. රිද්මයකි. සුන්දරත්වයකි. ධීවර ජීවිතයේ ‘‘වේදනාත්මක අසිරිය (බත්තලංගුණ්ඩුව නව කතාවෙන් සොරා ගැණුනි.) දෑස අබියස මැවුණු මොහොතකි.

කුරුලු පාරාදීසය මැදින් මුතුපන්තිය කරා ගිය මග ආපසු පැමිණීමේ දී වෙනස් කරන්නට සිදු විය. මාර්ගය පිළිසකර කරමින් පැවති බැවිනි. අහඹු හදිසි වෙනස්වීම් ජීවිතයට එක් කරන විස්මිත අසිරිය කෙබඳුද? 

ආනවිලුන්දාව වැව් පද්ධතියේ තවත් සුන්දර පැතිකඩක් නරඹමින් මයියාව හරහා ප්‍රධාන මාවතට පිවිසෙන්නට ඉඩ ලැබිණි. ඒ තවත් අතීත මතකයකට පියාපත් ලැබදෙමිනි. වසර ගණනාවකට එපිට මයියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ තරුණ තරුණියන් සමඟ දිනක වැඩසටහනක් කළ මතකය සමඟිනි.

සැබවින්ම ජීවිතය අහඹු අසිරිමත් ප්‍රාතිහාර්යයක් නොවේද?  


( ආනවිළුන්දාව අභයභූමිය පිළිබඳව අගනා තොරතුරු රැසක් ‘‘ආනවිලුන්දාව අභයභූමිය , ‘‘තෙත් බිමක අසිරිය - ආනවිලුන්දාව අභයභූමිය  මෙම ලිපිවලින් හමුවනු ඇති. ) 

2015 උඳුවප් මහේ 23 වන දින