පිටු

Thursday, July 19, 2012

දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද ( 01)



'' පුතේ අත ඉක්මන් කරපං''

අම්මා කඩිමුඩියේ තල්කොල පෙට්ටිවලට තවන ලද ‍කෙසෙල් කොල අතුරමින් සිටියාය. මලිති නැවත වරක් බත කූරු ගෑවේ හුමාලයට නිදහස් වන්නට ඉඩ හරිමිනි. අතට වැදුණු හුමාලයේ රස්නයෙන් ඈ තිගැස්සුණාය.

'' තාම හයයි අම්මේ...'' මුවින් එසේ කීවද ඉක්මණින් බත් පෙට්ටි සකසාගෙන ‍ගෙයින් පිටවීමේ අවැසිතාව ඈ සිත පිරී තිබිණි.

'' මගුලක් වගේද? මළගෙයක් උණාම වේලපහින් බත් මේ‍සෙ අරින්න එපායැ.. දුර පළාත්වල ඉන් එන යන ඈයො ඉන්නවනේ... ''

........සුදු අක්කයි, දුවයි ඉතින් තනිවෙනවා නේද?..... මලිතිට සිහින් සුසුමක් පිටවිය.

'' අහස පොළව උහුලන වැඩක්ද මේ.. දැන් ඉතින් අර දැරිවිටයි... කිරිසප්පයටයි යන කල මොකක්ද? '' මලිතිගේ හිත කියෙව්වාක් මෙන් අම්මා  සුපුරුදු ශෝකාලාපය පටන් ගත්තාය.

සුදු අක්කා සරණ බැුණේ වසර ගණනක ප්‍රේමයකට කිරුළු පළවමිනි. ඇය නිදහස් වෙළ කලාපයේ සන්නාලියකව සිටි සමයේ අතරමගක හමු වූ ‍ඉහළ පෙළේ සොල්දාදු උන්නැහේ කෙනෙක් සමග ප්‍රේමයෙන් බැුණාය. ඔහු සැබවින්ම උත්තම ගණයේ මිනිසෙකි. දුප්පත් සුදු අක්කාගේ නිවසට පෑයූ පුර හකි. ජීවිත කතරේ අතරමං වන සන්නාලි පුරවරයේ බොහෝ කෙල්ලන්ට වඩා ඇගේ ඉරණම වෙනස් වූයේ ඒ පුරහ නිසාමය.

පොල්අතු පැළ ඉදිරියෙන් නව නිවසක් ගොඩ නැගිණි. අතිනත් ගත් දෙදෙන නව නිවසට ගෙවැදුණේ තනිවම නොවේ. සුදු අක්කාගේ අහිංසක මව්පියනුත්, එකම මල්ලීත් සමගිනි. සුදු අක්කා මවක වූවාය. දියණිය දැන් සිව් හැවිරිදිය.

නමුදු නොසිතූ මොහොතක පුරහ නිවී ‍ගොසිනි. දැවී අළුවුණු පුරහ සීල් තැබූ පෙට්ටියකය. ඒ මතින් සිංහ කොඩියක් තේජාන්විතව වැතිර සිටී.

මලිතිට දුකය. සැබවින්ම දුකය. නමුත් ඒ දුක අතරින් හිත පුරා සිනා මල් පිපෙමින් තිබිණි. ඒ කතා කරන දෑසක් නිසාය. තමන්ගේ දෑස ද මුව ද පොපියමින් පවතින බව මලිතිට දැනේ. සිය දෑසේ දිදුලන කැල්ම වාරු කර ගන්නට ඈ බොහෝ වර වෙර දැරුවාය. මේ වියෝවකි. දරා ගන්නට නොහැකි වියෝ වේදනාවක සැවොම ගිලෙමින් පවතින මොහොතකි. ඉදින් මෙවන් මොහොතක නෙත කුලකට මිස බැබළීමකට හිමිකමක් නොතිබිය යුතුය.

'' අහිංසක කැලෑ මලක් නේද මචං''

නිවස ඉදිරිපිට දාම් ලෑල්ලක් අබියස සිටි තරුණයින් කණ්ඩායමකට පෙරදා රාත්‍රියේ කෝපි පිළිගන්වා ආපසු ‍හැරෙන විට එවදන් මලිතිගේ සවන් ගැටුණේය.

'' අබ්බගාත අපිට කොයින්ද ඉතින් සුව මල්''

මලිති අසුරු සැණින් ආපසු හැරුණාය. සිතා මතා නොව එය ඉබේම සිදු විය. වදන් ගිලිහුණු වත ඈ වත මතම නැවතී තිබිණි. ඒ දෑස් සිනාසුණි. කතා කරන දෑස මුල්වරට ඈ නෙත ගැටුණේ ඒ නිමේෂයේ දීය.  

තලෙළු පැහැ කඩවසම් ගත, කොටට කැපූ කොණ්ඩය, සුදු ටී ෂර්ටය, දිලෙන දෑස, කට කොණකට නැගෙන මද සිනාව .......... මලිතිගේ හිත ඇී තිබු සිහින කුමාරයාගේ රුව හා  බෙහෙවින් සැසිණි. ප්‍රථම වරට හිතේ විදුලියක් කෙටුවාක් වැනි හැීමක් ඇයට දැණිනි. මලිති වහා ආපිට හැරුණාය. ඇය කෙළින්ම ගොස් නැවතුණේ නිවස පිටුපස තේ පැන් පිළියෙල වන එළිමහන් මේසය අසලය.

තවත් කෝපි බුන් සූදානම්ව තිබිණි.

'' අනේ අම්මෙ තවත් මට බෑ ‍කෝපි ගෙනියන්න... හැමෝම ඉන්නෙ පිරිමි අය.. මල්ලි කෙනෙක් 
යවමුකො...''

හිතේ නැගුණු තිගැස්ම තවත් පහවී නොමැත. නැවතත් ඒ දෙනෙත් කැල්මට හසු වන්නට, ඒ මුව මත පිපෙන සිනා මලක් නෙළා ගන්නට ඕනෑ වුවද අහිංසක ගැමි යුවතියගේ සිත පැකිළෙමින් තිබිණි. දෙපා අවස බවක් දැණිනි. රැය පහන් වුයේ කෙලෙසදැයි ඇයට නිනව්වක් නැත. පාන්දර යා‍මයේ ඩිංගිත්තක් ඇහැ පියා ගන්නට නිවසට පැමිණියද ඇය සිහිනෙන් පවා දුටුවේ ඒ කතා කරන දෑසමය. 


නිමාවක් නොවේ....

මුල්ම වතාවට මගේ බ්ලොග් එකට කෙටි කතාවක් ලිව්වෙ.. මේ පළමු කොටස. දෙවෙනි කොටස ළම එනවා... 

Wednesday, July 18, 2012

අනේ පුංචි සෝරබ්ලා වෙනුවෙන් ඔබත් එන්න...



සරුංගල් ලුහුබින්නා ( The Kite Runner ) කියවා අවසන් කළේ දින කිහිපයකට පෙර... තාමත් හිත කම්පනයකින්, සංවේගයකින් පිරිලා.. ඒ කම්පනය අළුත් වෙනවා හය හතර නොතේරෙන දරුවො දූෂණය කළ, විනාශ කළ ප්‍රවෘත්ති ඇහෙද්දි, දකිද්දි.....

සෝරබ් කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන ළමා චරිතය.. තලේබාන් කැරලිකරුවන් අතින් එයාගෙ දෙමව්පියො මැරෙනවා... කැරලි නායකයෙක් තලේබාන් කොල්ලකරුවන් කිහිපදෙනෙක් අතින් මේ දරුවා ලිංගික අතවරයන්ට ලක් වෙනවා... එය පුංචි සෝරබ්ගේ ජීවිතය කොයි තරම් උඩුයටිකුරු කළාද? වෙනස් කළාද යන්න තේරුම් ගන්න පොත බලන්නම වෙනවා...

මේ වගේ පුංචි සෝරබ්ලා දැන් දැන් අපේ ලක්බිමෙත් ඕනෑ තරම්.... අහන්න දකින්න ලැබෙන්නෙ සිද්ධි කිහිපයක් පමණයි.. ඒත් කාගෙවත් ඇසට නොපෙනී අසරණ වන සෝරබ්ලා කොයි තරම්ද? ලිංගික වශයෙන් අපහරණය පමණක්ම නෙවෙයි,

දරුවන්ව අගය නොකිරීම
නින්දා අපහාස කිරීම
ඔවුන්ගෙ දක්ෂතා මතු කර ගන්නට, වර්ධනය කර ගන්නට අවස්ථාව ‍ලබා නොදීම
නිදහසේ ළමා විය සතුටින් ගත කිරීමට ඉඩ නොදීම
දෙමව්පියන්ගේ මහා පැතුම් බර දරුවන් පිට තැබීම
සතුට, ආදරය, රැකවරණය පිරුණු පවුලක් තුළ ජීවත් වන්නට ඇති අවස්ථාව අහිමි කිරීම
දරුවන්ට සුවසේ ජීවත් වීමට ඇති ස්වභාවික පරිසරය විනාශ කර දැමීම
දරුවන්ට ඇති ආදරය නිසා වෙළපළෙන් මිල දී ගන්නා වසවිස පිරුණු ආහාර පාන ලබා දීම

මෙකී නොකී බොහෝ දේවල් දරුවන්ගේ පෞරුෂය, ළමා වියේ සුන්දරත්වය  දුබල කරන්නට බලපාන ප්‍රබල කාරණා....

ළමා හිංසනය පිටුදැකීමේ ළමා පා ගමන

ඉතින් විවිධාකාරයෙන් දරුවන්ගේ ජීවිතවලට බලපාන අපරාධයන්ට ‍එරෙහිව සමාජය අවදි කරන ළමා පා ගමනක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ( ළ.ක්‍රි.වී. ) ව්‍යාපාරය එක්ව සංවිධානය කරනවා....

දිනය               :-          2012 ජූලි මස 21 වනදා

වේලාව           :-          පෙ.ව. 8.00

ස්ථානය          :-          කොළඹ ගුණසිංහපුර බස් නැවතුම ඉදිරිපිට ක්‍රීඩා පිටියේ සිට ටෙක්නිකල් හන්දිය,                                 මරදාන, පුංචි බෙරැල්ල හරහා ශාන්ත ලූක් දේවස්ථානයට ( බොරැල්ල, කොළඹ 08 -                              ඇක්වයිනාස් ඉදිරිපිට )

ඉතින් මේ පණිවිඩය දන්නා හුනන අය අතරේ බෙදා හරින්න කියල ආදරයෙන් ඉල්ලනවා.. හැකි අය අපේ දරුවන් එක්ක පා ගමනට එක්වෙන්න.

ඔයාල හිතයි මේකට මගේ ඇති සම්බන්ධය මොකක්ද කියල..  මම ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ ( කෙටියෙන් කියන්නෙ ළ.ක්‍රි.වී. කියලයි ) ළමයෙක් විදියට වසර 5 කුත්, ළමුන් කැටුව යන  අනුශාසක කෙනෙක් විදියට ගම් පළාතෙත්, ජාතික මට්ටමෙත් වසර 15 කුත් සේවය කරල තියෙනවා.. ජාති, ආගම් කිසිදු භේදයක් නැතිව සියලුම ළමුන්ට විවෘත වෙන ළ.ක්‍රි.වී.ය මට මගේ දෙවෙනි අම්මා වගේ...  ළමයින් ගැන විශාල ආදරයක්, වගකීමක් මගේ හිතේ ගොඩනැගිල තියෙන්නෙ ඇත්තටම මේ ළ.ක්‍රි.වී. කටයුතු නිසයි...

Friday, July 13, 2012

මැජික් කෝප්පේ මුතු කඳුළු


'' එදාම රාත්‍රියේ මම මගේ මුල්ම කෙටිකතාව ලීවෙමි. මට ඊට මිනිත්තු තිහක් ගත විය. එය මැජික් කෝප්පයක් සම්බ වූ මිනිසෙකු පිළිබ කි‍යැවෙන දුක්බර කෙටි කතාවකි. තමා ඒ කෝප්පය තුළට මුහුණ දමාගෙන හැුවොත් සිය කුළු මුතු බවට හැරෙන බව ඔහුට දැන ගන්නට ලැබෙයි.

හැමදාමත් දුප්පත් වී සිටියත් ප්‍රීතිමත් මිනිසෙකු වූ ඔහු කඳුලක් හෙළුවේ කලාතුරකිනි.

ඒ නිසා සිය කඳුළුවලට තමා ධනවතකු කිරීමට හැකි වනු පිණිස ඔහු තමා දුක්බර කිරීමේ ක්‍රම සොයා ගනියි...... මුතු ගොඩ ගැසෙද්දී ඔහුගේ තණ්හාවද වැඩි වෙයි.

කතාව අවසන් වන‍්නේ පිහියක් අතින් ගෙන, සිය ආදරණීය බිරිඳගේ පණසුන් ශරීරය දෑතේ හොවාගෙන, කෝප්පය තුළට කඳුළු වැටෙන සේ අසරණව වැළපෙමින් මුතු කන්දක් මත වාඩි වී සිටින මිනිසාගෙනි. ''

------------------------------------ef-------------------------------------

ලංකාවෙ අපිත් හරියට මේ මෝඩ මිනිහා වගෙයි කියල මට හිතෙනවා... ස්වභාවික සම්පත්, හොඳ ගුණධර්ම, ඉහළ ශිෂ්ටාචාරයක් තිබුණ අපිත් ඒ හැමදේටම වඩා ධනය, බලය, නිලතල නම්බු නාම, දියුණුව පස්සේ පන්නගෙන ගිහින් දැන් වටිනාම දේවල් අහිමි කරගෙන, ලබා ගත්ත දේවල් භුක්ති විඳින්නත් බැරිව වැළපෙන මේ අසරණ නර පණුව වගෙයි... මුතු හොයාගෙන ගිය ගමනෙදි අපි වැඩියක්ම එකතු කරගෙන තියෙන්නෙ කඳුළු නේද කියල හිතෙනවා අපේ සමාජය ශීඝ්‍රයෙන් පිරිහීගෙන යන හැටි දකිද්දි...

තණ්හාව ශෝකයට මුලයි කියන බුදු වදන සිහි වෙනවා මේ කතාව බලද්දි.. මනඃකල්පිත කතාවක් උණත් හිතන්න ගොඩක් කාරණා තියෙනවා....

මම මේ කතාව උපුටා ගත්තෙ මෙන්න මේ ‍පොතෙන්....

     කෘතිය                    :- සරුංගල් ලුහුබඳින්නා ( The Kite Runner )
     කර්තෘ                     :- ඛලීඩ් හොසෙයිනි
     පරිවර්තනය            :- ගංඟා නිරෝෂණී සුදුවැලිකන්ද
     ප්‍රකාශනය                 :- විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
     මිල                         :- රු. 480

 
තවම පොත කියවන්න පටන් ගත්තා විතරයි.. මුලින්ම පොතේ කවරය.. ඉන්පස්සෙ අනිත් පැත්ත හරවල පිටකවරය... ඊළට මුද්‍රණය ගැන තියෙන විස්තර, කර්තෘගේ වෙනත් කෘති, පෙරවදන් ආදි වූ විස්තර මේ සියල්ලම බලල තමයි කතාව බලන්න පටන් ගන්නෙ....

පොත හරිම රසවත්.. වගේම අර්ථවත් කියල දැනෙනවා... ඇ්ගනිස්ථානයේ මීනා ගැන ලියවුණු පොත කියෙව්වට පස්සෙ ඇ්ගනිස්ථානයෙ ඉන්නෙ මගේ නෑදෑයො වගේ හැීමක් දැනෙනවා.. අන්තවාදී මුස්ලිම්වරුන් නෙවෙයි... තමන්ගෙම මිනිසුන්ගෙ විරුද්ධවාදිකම් සහ ඇමරිකන් ප්‍රහාර හමුවේ අසරණ වන ඇ්ගනිස්ථාන් මිනිසුන්... ඒ අය වෙනුවෙන් වැඩ කරන මීනා වැනි ධෛර්යවන්ත ඇ්ගනිස්ථානුවන්.. මේ අයයි මගේ නෑදෑයො...

aගන් ජාතිකයෙක් ඉංග්‍රීසියෙන් ලියා පළ කළ ප්‍රථම නවකතාව මෙයලු.... මේ නවකතාව චිත්‍රපටයටත් නැගිල තියෙනවලු...

Thursday, July 12, 2012

තනි තරුවක් නිවී දිලෙයි....



තනි තරුවක් අහස් ගැබේ
දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

කෑලි කපන ගණ අුරේ
බියකරු බව මකාලන්න
මුසලබව මකාලන්න
අපමණ වෙහෙසක් දරමින්

දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

නොහැකි නමුත් අුරු තිරය
ඉරා දමා එළිය දෙන්න
සැව නොයා වළා අතර

දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

පැවරුණු කාරිය අකුරට
ඉටු කරමියි සිතා සිතින්
තනි තරුවක් අහස් ගැබේ

දිලී නිවෙයි නිවී දිලෙයි
දිලිහි දිලිහි නිවෙයි දිලෙයි.....

උසස් පෙළ නාට්‍ය හා රංග කලාව හැදෑරුව නිසා නාට්‍ය පිස්සුවක් හැදිලා තිබුණා.. අපේ ගම් පළාත්වල වේදිකා නාට්‍යයක් දකින්න ලැබෙන්නෙ හාවා හ දකින්නා වගේ තමා... ඉතින් ඒ අඩුව මකා ගන්නත් එක්ක වේදිකා නාට්‍ය අත් පිටපත් ‍කියෙව්වා ගොඩාක්...  හෙන්රික් ඉබ්සන්ගේ Public Enemy ( ජන හතුරා ) කියෙව්වම දැණුනු හැීම් තමයි මේ විදියට  කවියක් විදියට සටහන් උණේ... කවියට යටින් මම මෙහෙමත් ලි‍යල තියෙනවා....

'' ඔහු සමාජ සාධාරණය ඉල්ලා ලෝකය හමුවේ හ නැගුවේය. ලෝකයා සවන් වසා ගත්හ. දෙනෙත් වසා ගත්හ. එනමුත් ඔහු කිසිවිටක පසුබට නොවීය''

මේ වගේ දිලෙන තරු මහ‍ ගොඩක් ඕනෙ දැන් අපේ ලෝකයට... එහෙම නේද? 

Wednesday, July 11, 2012

ආසියාවෙ අසිරි ද මේ දිස් වෙන්නේ





ළපටි කැකුළු මල් අකලට පර වෙන්නේ
දිළිු කුසේ ගිනි නිරතුරු දැල්වෙන්නේ
අසරණ ලේ කුලින් බිම නැහැවෙන්නේ
ආසියාවෙ අසිරි ද මේ දිස් වෙන්නේ





( බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් හැමදාම නිර්මාණයක් පළ කරන්න ඕන කියල හිතුවා.. පරණ කවි පොත් දෙකකුත් හොයා ගත්තෙ ඒ නිසයි. ඒත් හැමදාම අහන්න දකින්න ලැබෙන දේවල් නිසා හිත නොසන්සුන්.... අපේ රට මේ යන්නෙ මොන වගේ අනාගතයකටද? ප්‍රේම කවි ලිය ලියා සන්තෝෂ වෙන්න බැරි ගතියක් දැනෙනවා.....

ළමා අපචාර පිටුදැකීමේ පා ගමනක් ළමුන් සමග ජූලි මස 21 වන දා කොළඹ දී පවත්වන්නට සූදානමක් පවතිනවා. වැඩි විස්තර පසුව දන්වන්නම්. හැකි අය සහයෝගය ලබා දෙන්න. ළමුන්ගේ ආයාචනාවන් විදියට පෝස්ටර් සහ බැනර් සහා යොදා ගත හැකි පාඨ ලියා දෙන්න පුළුවන් නම් හරිම වටිනවා . )

Tuesday, July 10, 2012

හිමි අහිමි



හීන් හිනා මලක් අරන් නුඹ ආ ස නෙත් මානෙට
හසරැල්ලක් මුව මත්තේ සෙනෙහෙ සිතින් ඇතිරෙනවා
දෙනෝ දහක් නෙත් එසවී කුහුල් බැලුම් රවන විට
අසරණ සුසුමක් ඇවිදින් සිත පත්ළේ හිර වෙනවා

මුවින් නොකිව් වදන් සිතේ තෙරපී කුලක් උණාට
දොඩමළු නෙත් ඒ වෙනුවට දහක් වදන් මුමුණනවා
අත් පටලා එකම මගක කිසි දින පිය නොමැන්නාට
අපේ දෙසිත් සෙනේහයෙන් බෝ දුර ගමනක් යනවා

දෝරෙ ගලන කුළු ගක් නෙත් බැම්මේ සිර උණාට
 නුඹ අබියස සිත පත්ළේ පැතුම් දහක් පූදිනවා
අහස පොළව කිසිම දිනක සෙනේහයෙන් එක් නොවුණට
නුඹෙ සෙනෙහස වැසි පොදක්ව අහසින් මා වෙත එනවා..




( 1996 ඇහැල මහේ 07 වෙනිදා ලියැවුණු කවියක්... අවුරුදු 16 ක් ගෙවිලා.. පුදුමයි )

Friday, July 6, 2012

කුමුදු මලේ සිරියා... සඳ කාන්ති වැදී සෞම්යා්...




වසත් කල සිහිනෙක
නිසල වැව් තලයක
දියට තුරුළුව
පිපි කුමුදු මල නුඹ......

හිරුත් ගිනිගෙන දැවෙන
ගිම්හානයේ කතරක
හිතුවක්කාර වී වැඩුණ
විස කටු පුර මම.....

මැදියම් හීනෙක තැවරුණ
සෙනෙහෙ සුවට ලොබ කළත් සිත
මේ වැලි කතර මැද හි
කුමුදක් රකින්නේ කෙලෙස මම.....

මේ බොහොම කාලෙකට ඉස්සර ලියවුණ කවියක්.. 1999 වසරේ නොවැම්බර් මාසෙ 12 වෙනිදා හරියටම කියනවනම්.. හේතුවක් ඇතිවම ලිව්වත් නෙවේ.. මේ කවිය පිටිපස්සෙ කිසිම නිධාන කතාවකුත් නැහැ... 2000 දි විතර අපේ ළ.ක්‍රි.වි. යෙ ( ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා සංවිධානය ) කවි කිවිියො 10 දෙනෙක් එකතු වෙලා පුංචි කවි පොතක් පළ කළා ‍'' සෙනෙහසේ නවාතැන'' කියල.. ඒ කවි පොතටත් මේ කවිය ඇතුළත්.. සෙනෙහසේ නවැතැන සැරසුණෙත් මගේ චිත්‍රවලින්... කොයි තරම් අහිංසක ප්‍රයත්නයක්ද ඒක..

අපි වෙනුවෙන් ඒ කවි පොත මුද්‍රණය කළ බර්නි අයියට ගිය මුදලවත් ලැබුණෙ නැහැ.. කාලයක් යනකල් ඒ අයියගෙ ගෙදර අපේ කවි පොත් ගොඩ ගහල තිබුණා... එදා කවි කිවිියන්ගෙන් ඉ හිට හරි අදටත් කවියක් ලියන්නෙ මම විතරමද මන්ද ? ඔන්න අපේ කවියටයි, කවියන්ටයි අත් වෙන ඉරණම....

හදිසියෙම මේ කවිය මට මතක් උණේ මග්ගොන වැඩසටහනට ගිය වෙලාවෙ දැක්ක කුමුදු මල් විලක් නිසා... අපි සෙනසුරාදා උදේ ළමුන් කණ්ඩායමත් එක්ක පරිසර චාරිකාවක් ගියා... මේ චාරිකාව පා ගමනින් සොබාදහම රස විඳිමින් ගිය සුන්දර ගමනක්...... මග්ගොන ළමා නිවාස බිමේ තැන තැන ජලාශ, පොකුණු, බිම් මට්ටමට බැපු හතරැස් ළිං තියෙනවා.. මේ සමහර පොකුණුවල මානෙල්, ඕලු වගේ මල් පිරිලා... එක් පොකුණක් පිරිල තිබුණෙ කුමුදු මල්වලින්.. පොල් අතු අග්ගිස්සෙන් හිරු එළිය පෙරී වැටෙන ඒ උදෑසන මේ පුංචි පොකුණ හරිම සුන්දරව පෙණුනා...

'' ෆාද.... මේ තියෙන්නෙ කුමුදු මල්''  අපට මග පෙන්වපු මේරියස් පියතුමාට මම කිව්වා..

'' ආ...... ඇත්තද.. මේද කුමුදු මල්.... මම දැනගෙන හිටියෙ නැහැනෙ... ෂා.... '' පියතුමා හදවතින්ම කුමුදු මල් අසිරිය වින් .. මේ තරම් පරිසරයට ආදරය කරන, පරිසරය විඳින්න කැමති වෙනත් පියතුමෙක් මට හමුවෙලා නැහැ... මර්සලින් ජයකොඩි පියතුමාත් පරිසරය විඳින්න ඇත්තෙ මේ වගේම ආදරයකින් ‍ගෞරවයකින් වෙන්න ඇති කියල මට හිතෙනවා...

'' මට මේ කුමුදු විල දැක්කම මතක් වෙන්නෙ... සැලළිහිණි සංදේශයේ කවියක්..''

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල්       වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා          පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන        අටින්
කරව පියාසර සකි කොන්ත ගං    තොටින්



උසස්පෙළ පන්තියෙ සිංහල උගන්වපු සෝමා මිස් හරිම ලස්සනට මේ කවිය පහදල දුන්නා..

'' සැළලිහිණියා සංදේශයත් අරගෙන පියාසර කරද්දි එයාට කොන්ත ගං තොට මුණ ගැහෙනවා... ඒ සඳ එළිය දෝරෙ ගලා යන රාත්‍රියක්. හැම තැනම කුමුදු මල් පිපිල තියෙනවා... ස එළියෙ පිපුණු කුමුදු මල් පේන්නෙ හරියට හ රැස් පොරවගෙන ඉන්නව වගේ.. හ එළියත් සුදු පාටයි.. කුමුදු මලුත් සුදු පාටයි... ජල තලාව මතුපිට පරවුණු නෙළුම් මල්වල පෙති විසිරිලා තියෙනවා... හ එළිය ගලන රැයක ළා රත් පාට නෙළුම් පෙති විසිරුණු ජල තලාවක සුදු පාට කුමුදු මල් පිපිල තියෙද්දි කොයි තරම් අපූරුද?

මේ ලස්සනට වශී වෙන සැළලිහිණියාට එතන නවතින්නත් හිතෙන්න පුළුවන්... ඒ නිසා කවියා කියනවා එතෙර වෙනවයි කියන ස්ථිර අධිෂ්ඨානය ඇතිව කොන්ත ගං තොටින් පියාසර කරන්න කියල... ''

කවිය විස්තර කරල මිස් ඒක අපූරුවට අපේ නව යොවුන් ජීවිතවලටත් ගලපල දුන්නා.. සුන්දරත්වයට, බාහිර ඔපයට ආකර්ශණය වෙන එක හරිම ස්වභාවික දෙයක්.. ඒත් ඒ නිසා තමන්ගෙ ජීවිත අරමුණු අමතක කරල දාන්න එපා.. ස්ථිර අධිෂ්ඨානයක් ඇතිව ජීවිත ගමන ඉදිරියට යන්න කියල...

මේ කවියෙ ඊටත් වඩා ලොකු ගැඹුරක් තියෙන බවත් පෙන්වල දුන්නෙ සිංහල ගුරුතුමියමයි...... ඒ තමයි සියල්ල අනියතයි කියන ජීවන සත්‍යතාවය. ඒ නිසා ලෞකික සුන්දරත්වයට ඇලීම් ඇති කර ගන්න එක නිෂ්ඵල දෙයක්.... ලෝකයේ සුන්දරත්වය විින්න ඕන... නමුත් අනවශ්‍ය ලෙස මනසින් හදවතින් අල්ලා ගැනීම නොකළ යුතුයි... මේ කවියේ ගැඹුරු ධාර්මික අරුත එයලු....