පිටු

Wednesday, April 25, 2012

තරු ලකුණක්ද ? ගිනි දළුවක්ද ?



විරහ කඳුලැලි ගඟක පාවී
වියෝ දුක් ගිනි සුළ රැ‍ල‍්ලේ
අතරමං වී ඔහේ පාවී
පාළු නිම්නෙට ඇදී ආවෙම්...

මගේ දුක් ගිනි මටම පවරා
අනුන් දුක් ගිනි නිවනු රිසියෙන්
ලොවේ යහපත නිසා කැප වී
ජීවිතේ දිගු කලක් ගෙව්වෙම්....

සැනසුමෙන් දිවි ගෙවෙන අතරේ
හුදකලාවම මිහිරි සැපකැයි
සිතා දිවි මග තනිව යන්නට
පෙර දවස මා පැතුම් පිරුවෙම්....


නොසිතු මොහොතක සෙමින් පතිතව
ප්‍රේමයේ නව අරුණු දහරක්
හුදකලා ලොව එළිය කරනට
මෙත් සිතින් අද කරයි ඇරයුම්.....

අවසරයි හද දොර අරින්නට
හදේ සපුරා ලැගුම් ගන්නට
ජීවිතේ දිගු ගමන යන්නට
ආදරේ තරු ලකුණ වන්නට.....

Thursday, April 19, 2012

අනේ අපොයි... අපේ ස්වාමි....



ස්වාමි ගැන අහිතක් හිතන එක, දොසක් ලියන එක ස්වර්ග සම්පත්තිය අහිමි වෙන්න තරම් පාපයක්ද මන්ද? එයාලත් අපි වගේම පෘතග්ජන මිනිස්සුනෙ... අපි කොයි කා අතිනුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්... වැරදි කරන එක මිනිස් ගතියක් සමාව දෙන එක දේව ගතියක්... මේ උපහැරණ හැමදේම දැනගෙන හිටිය උණත් අපේ ස්වාමි එන්න එන්නම දුෂ්ට වෙනවා ව‍ගේ දැනෙන නිසාත් මට ඉරිදට විතරක් හරි පල්ලි යාම වහකදුරු වගේ තිත්ත වෙමින් පවතින නිසාත් මේ ගැන ලියන්න හිතුණා.. අපේ ස්වාමි නම් බ්ලොග්ස් බලන්නෙ නැතිව ඇති.. ඒත් බලන කොයියම්ම ස්වාමි කෙනෙක් හරි ඩිංගක් මේ ගැන හිතුවොත් මට ඇති....

අපේ ස්වාමි හරිම‍ හොදයි.. ශ්‍රද්ධාවන්තයි... භක්තිවන්තයි... අපේ ශ්‍රද්ධාව, භක්තිය වැඩි දියුණු කරන්නත් බොහොමයක් දේ කරනවා... ඒත් එන්න එන්නම ඉරිදා පූජාවට සෙනග අඩුවෙනවා... හැබැයි මාසෙ පළවෙනි අහරුවාදා ශු. අන්තෝනි මුනිතුමාගෙ නු‍වානෙට නම් වාහනවලින් දුර බැහැරින් පවා සෙනග ඇදෙනවා... එක අතකින් ස්වාමිට විතරක්ම දොස් කියල වැඩක් නැහැ.. අපේ මිනිස්සුන්ට ඕනෙ දේව දයාව නෙවෙයිනෙ.... ලෞකික සම්පත්ති වැඩි දියුණු කර ගන්න එක... ශු අන්තෝනි මුනිතුමාට අල්ලස් දුන්නම ඒ වැඩේ කර ගන්න පුළුවන් කියල තමයි මිනිස්සු හිතන්නේ.

අපේ ස්වාමි පල්ලියට එද්දි මිනිස්සු, ළමයි ගල්බීත වෙලා ඉන්නෙ... කොයි වෙලේ මොනාට බනියිද දන්නෙ නැහැ කියල ... ඒ වෙලාවට හැමෝම කොන්තෙ කියනවා... ස්වාමිට බයේ අමාරුවෙන් ගොඩ නගාගන්න භක්තිය ගැන ‍දේව මෑණියන්ට උණත් අනේ කියල හිතෙනව ඇති...

පුටු සද්ද උණත් දොස්...( මොන එහෙකට ප්ලාස්ටික් පුටු අරන් දුන්නද මන්ද පල්ලියටමම නම් ඒකට හරි විරුද්ධයි... ඉස්සර වගේ හැමෝම බිම වාඩිවෙලා පූජාව ඇහුවනම් මොකද වෙන්නෙ... පුටු අරන් දීලා නම් පිනක් නෙවෙයි කරගෙන තියෙන්නෙ පවක්... පූජාව පටන් ගත්ත වෙලාවෙ ඉල අවසන් වෙනකල් පුටු සද්ද වෙනවා.. මට නම් කේන්ති එනවා ඒ වැඩේට...  )

ළ‍මයෙක් ඇුවත් දොස්... ළමයි ඉතින් එක තැනක තියා ගන්න පුළුවන්ද? දේව රාජ්‍යය අයිති බාලයන්ට උණාට පල්ලිය නම් ළමයින්ට අයිති නෑ වගේ... ඉස්සර පූජාව ඉවර උණ ගමන් ළමයි ‍හැමෝම අල්තාරෙට දුවල ගිහින් ස්වාමිට ජේසු පිහිටයි කියල විනවා.. ස්වාමිත් ළමයින්ගෙ ඔලුව අතගාලා ආශිර්වාද කරනවා.. අපේ පල්ලියේ මේ කටයුත්ත චාරිත්‍රයක් වෙලා තිබුණෙ... ආව ස්වාමිලා ටික දවසකින්ම ඒකට පුරුදු උණා.. අකුල් හෙළුවෙ නැහැ.. හැබැයි මේ ස්වාමි ඇවිත් ටික දවසකින්ම ළමයින්ව නැවැත්තුවා.. අල්තාරය ශුද්ධවු තැනක්.. ළමයි එතෙන්ට ඇවිත් දලන එක හො නෑ කියල... අනේ ‍ජේසු අද වගේ දවසක හිටිය නම් !

ඊළට තේමාව, දේශනය, දැන්වීම් මේ කොයියම්ම අවස්ථාවකදිත් කාට හරි බැණ වදිනවා... සමහර වෙලාවට ‍දේශනාවෙදි පාදක කර ගන්නෙ කාගෙන් හරි අහගත්ත ඕපදුපයක්... මිනිස්සුන්ව හොින් නැත්නම් නරකින් දේව රාජ්‍යයට ඇදගෙන යන්න ඕන කියල වෙන්න ඇති ස්වාමි හිතන්නෙ... පල්ලි එන්නෙ නැති මිනිස්සුන්ට බණිද්දි ආව මිනිස්සු බොහොම අමාරුවෙන් ඒව අහගෙන ඉන්න ඕන. මිනිස්සුන්ගෙ වැරදි කියන්නෙ දේශනාවෙදි ප්‍රසිද්ධියෙම... නමක් ගමක් නොකිව්ව උණත් කවුද කැමති තමන්ගෙ කුණු රෙදි ප්‍රසිද්ධියෙ අපුල්ලනවට. අනික ගමක් උණාම ඕනම කෙනෙක් දන්නවා ස්වාමි කා ගැනද මේ කියන්නෙ කියල... ඉතින් මිනිස්සු කේන්තියටයි, ලැජ්ජාවටයි පල්ලියෙන් ඈත් වෙලා යනවා... අනේ ඉතින් මීට වඩා දයාන්විත, මානුෂික ක්‍රමයක් නැද්ද මිනිස්සුන්ගෙ හරි වැරැද්ද පහදල දෙන්න. මට නම් හිතෙන්නෙ නාස්තිකාර පුත්‍රයා බාර ගත්තා වගේ දයාවකින් වැළ ගන්න ඕන මිනිස්සුන්ව  ස්වාමි කොන් කරල දානවා කියලයි... මේ මිනිස්සුන්ගෙ ජීවිතවලට ළං වෙලා පුද්ගලිකව හොද නරක පහදලා දුන්න නම් කොයි තරම් හො? පවෙන් අත්මිදෙන්නත්, දෙවියන්ට ළංවෙන්නත්, ස්වාමිට ගරු කරන්නත් හිත් පැහැදේවිනෙ එහෙම උණොත්...

දවස් හයක් ජීවිත සටනෙ හෙම්බත් වෙලා ඉරිදට පල්ලි යන්නෙ ඇණුම් බැණුම් අහගෙන ඉන්න නෙමෙයි හිතට සැනසීමක් එකතු කර ගන්නය කියලා ඒකවත් නැති පූජාවකින් කුමන ඵලයක් ද කියල දැන් බොහෝ දෙනෙක් අල්ලපු මීසමේ පුංචි පල්ලියක ඉරිදා පූජාවට යනවා.... හැබැයි අපේ තාත්ත  '' අපි පල්ලි යන්නෙ දෙවියන් හින්ද මිසක ස්වාමි හින්ද නෙවෙයි '' කියල පුරුදු විදියට අපේ පල්ලියෙ පූජාවටම යනවා... ඒත් මට නම් ස්වාමිගෙ දේශනාව අහන් ඉන්න සමහර වෙලාවලට හිතෙනවා අපරාදෙ පල්ලි ආවෙ ගෙදරට වෙලා ගහක් කොලක් දිහා බලන් උන්න නම් මීට වඩා හොදයි කියල.

තවත් ලොකු වැරැද්දක් සිද්ධ වෙනවා අපේ ස්වාමිගෙන්... ඒ තමයි වැඩි ඇසුර ඇති හැකි අය එක්ක... නැති බැරි අය ගැන තැකීමක් නැති එක... ඇති හැකි අයගෙ දුකට සැපට ගෙදරටම ඇවිත් සම්මාදම් වෙන ස්වාමි නැති බැරි මිනිස්සුන්ගෙ වග විස්තර වත් අහල බලන්නෙ නැහැ... මහ බ්‍රහස්පතින්දා පූජාවෙ පාද දෝවනයට අඬ ගහල තිබුණ ගෝලයොත් ඇති හැකි පවුල්වලම තමයි... ස්වාමි අප්පිරියාවක් නැතිව ඒ පාද දෝවනය කරන්න ඇති... මොකද යානවාහනවලින් යන්න, ටයිල් පොලොවෙ ඇවිදින්න පින් කරල තියෙන පංචස්කන්ද නිසා...

කුලී වැඩ කරන ගමේ කොළුවෙක් විහිළුවට කියන්නෙ මෙන්න මෙහෙම...
'' අපි තාම උත්සාහයෙන් නැගිටින අයනෙ.. අපේ ‍‍‍‍පෝන්වලට ාදගෙන් කෝල් එකක් එන්න තව සෑහෙන කාලයක් යයි....."  කියලයි.
මේක විහිළු කතාවක් උණාට හිත් අමාරුවක ලකුණුත් ගෑවිලා තියෙනවනෙ.

ස්වාමි කාන්තාවකට ආදරය කරනවා නම්, හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවනම්, දුම්වැටියක් බොනවනම්, ඒක මැදිහත් හිතකින් බලන්න පුළුවනි අපි හැමෝම මනුස්සයොනෙ කියල... පව්නෙ දෙවියන් වෙනුවෙන් ජීවිතේම කැප කළා උණත් තනිකමක් දැනෙන අවස්ථා ඇතිනෙ... යාම්තමට හිත් කොණකට හරි දැනෙන ආදරයක උණුසුමක් නැතිව ජීවිතේ කොයි තරම් අමාරුද?

ඒත් ඉහතින් දක්වපු කාරණා නම් බොහොම බරපතළයි කියලයි මට හිතෙන්නේ... මොකද මිනිස්සු ඈත් වෙන්නෙ ස්වාමිගෙන් පල්ලියෙන් විතරක් නෙවි.... දෙවියන්ගෙනුත් ඈත් වෙනවා ‍නොදැනීම... ස්වාමිගෙ කල්ක්‍රියාව නිසා...... ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර ගම්වල විවිධාකාර මිනිස්සුන්ගෙ හිත්වලට කතා කරන්න පුළුවන් දේව ධර්මයක් දූත කාර්යයේ යෙදිල ඉන්න ගිහි පැවිදි පූජක හැමෝම වෙනුවෙන් නිර්මාණය විය යුතු කාලය ඇවිදින් කියල මට හිතෙනවා....  

Wednesday, April 11, 2012

නව අවුරුදු කුමරියත් අසරණයි....






එරබුදු මල් සිනා සලන සොුරු වසන්තේ
කොවුල් ගීත මියුරු සරින් ඇසෙයි දසන්තේ
සුසුම් හෙළන හිත් බෝමයි සතර දිගන්තේ
අවුරුදු කුමරිය ළතවෙයි තනිව වසන්තේ....

දිළිු පැළේ සිිති මුවට සිනා කොයින්දෝ
දිළිු පැළට කළඑළි ගෙන එන්නෙ කවුරුදෝ
රසමසවුළු නොව කුසගිනි නිවන්නෙ කවුදෝ
අවුරුදු කුමරිය කොයි අත සොයන්නෙ කවුදෝ......

නැකැත් නැතත් හැමදා හිත ගිනි ඇවිළෙන්නේ
හාල් මිටක් නැති නැකතක් කුමට වඩින්නේ
දො‍ළොස්මහේ පැතු පැතුම් බොවී යන්නේ
සුසුම් රැගෙන නව අවුරුදු කුමට ලබන්නේ......

උහුළන්නට බැරි බදු බර දුරු වී යන්නයි
වංචා, දූෂණ, නාස්ති නැති වී යන්නයි
සුදු වාහන, අතුරුදහන් යළි නොඇසෙන්නයි
උතුරුකරේ දමිළ සොයුරු සිත් සැනහෙන්නයි

අගති අයුක්තිය දුරු වී ඇත්ත දිනන්නයි
භේද බින්න දුරු වී සැනසුම ලැබ දෙන්නයි
නැති බැරි අත මිට සරු වී සතුට ලැබෙන්නයි
තුන්සිය හැටපස් දවසෙම අවුරුදු වෙන්නයි......

Friday, March 30, 2012

තරුගේ කවි නොකවි - 02 -




චැට් නිසා ලියවුණු කවි....

චැට් ගැන සමාජයේ තියෙන්නෙ හොඳ ආකල්පයක් නොවුණත් පරිගණකයක් ඇසුරු කරන වැඩි දෙනෙක් ඉඳ හිට හරි චැට් කරනවා... කම්මැලිකම නැති කරගන්න. පාළුව මකා ගන්න. අළුත් යාළුවො අඳුන ගන්න. සල්ලි හොයන්න... මේ වගේ සාධනීය අරමුණු වගේම පැහැදිලි කරල ලියන්නවත් බැරි අප්‍රසන්න අරමුණු වෙනුවෙනුත් චැට් භාවිතා වෙනවා...

මේ '' අන්තර් ජාල සුහද පිළිසඳර '' ගැන මගේ උපාධි නිබන්ධනයක් වෙනුවෙන් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළා මම 2010 වසරෙ... ''අන්තර්ජාල සුහද පිළිසඳර භාවිත කරන පුද්ගලයින‍්ගේ මානසික හා සමාජයීය චර්යාවන් අධ්‍යයනය කිරීම '' එහෙමයි ව්‍යාපෘතිය මම නම් කළේ... චැට් මගින් අහුඹු විදියට තෝරා ගත් 25 දෙනෙක් ගැන කළ සමීක්ෂණයක් ඇසුරින් තමයි ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළේ... නමුත් එය පරිපූර්ණ නිබන්ධයක් තරමට දුර ගියේ නම් නැහැ. හැබැයි ඒ අධ්‍යයනය නිසා දැන ගත් දේවල්, අවබෝධ කර ගත් දේවල්වලින් පොතක් ලියන්න පුළුවනි.

පොතක්, කවියක් කියවනවා රස විඳිනවා වගේ මිනිස් හදවත, මනසත් කියවන්න පුළුවන්... ඉන්‍ටර්නෙට් චැට් තුළින් උණත් මේ දේ කරන්න පුළුවනි.... චැට්වලදි මුණ ගැහෙන අය කියන්නෙ ඇත්තම නම් නෙවෙයි. බොරු ගොඩක් අතරෙ උණත් යම් යම් සංවේදී කාරණා මතු වෙනවා...  මේ මිනිස් ජීවිත කියවීම... ඕපදූප සෙවීමට එහා ගිය උතුම් අරමුණකින් සිද්ධ වෙන්න ඕන කියන එකයි මගේ අදහස...

වඩා යහපත් ලොවක් හදන්න චැට් මගිනුත් යම් දායකත්වයක් ලබා ගන්න පුළුවන්.... '' ඔබ මේ ලොවට ආදරේ නම්, මුළු ලොවම ඔබටත් ආදරෙයි " කියන ‍මගේ ආදරණීය ජීවිත තේමාව චැට් තුළදිත් රැක ගන්න මම උත්සාහ කරන නිසාම හොඳ හිත් ඇති අය අඳුන ගන්නත්, අඳුන ගන්න අය තුළ ඇති හොඳ ටික වටහා ගන්නත්, හොයා ගන්නත් මට හැකි උණා.... ගන්නම දෙයක් නැති අයත් නැතුව නෙවෙයි.. මනුෂ්‍යත්වයේ අඳුරු අහුමුළු අපි කොයි කාගෙත්  ජීවිතවල නැතිව නෙවෙයිනේ....මේ කතාව චැට් ගැන නම් නෙවෙයි... ඒ ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න වේවි....

චැට් යහළුවෙක් නිසා මාතින් ලියවුණු ගීත රචනාවක්  ගැනයි අද ලියන්න හිතුවෙ....

මැද පෙරදිග රැකියාවක ‍යෙදුණු එක් සොහොයුරෙක් මගේ චැට් යහළුවන් අතර හිටියා.. චැට්වලදි මුණ ගැහුණු යහපත් පුද්ගලයෙක් විදියටයි ඔහු මගේ මතකයේ රැදෙන්නෙ.... ( ඒ යහපත්කම මගේ චැට් ප්‍රතිපත්තිවලට සාපේක්ෂව ගොඩනැගුණක්ද විය හැකියි. ) ඔහු පුංචි දියණියකගේ පියෙක්... ඒ වන විට දියණියට වයස අවුරුදු එකහමාරක් විතර. ඔහු නිතරම දූ පැටිය ගැන කතා කළා... මට ‍‍‍දුවගේ පොටෝ එකකුත් බලන්න එව්වා... මතකයි... දුරු රටක පාළුව තනිකම මකා ගන්න පිළිසඳර කාමරයක මිතු දම් ගොඩ නගා ගත්තත් ඔහු තමන්ගෙ පවුලට ගොඩාක් ළැදිව හිටි කෙනෙක්.... ( අවසර කල් රහස් තැන වරදෙ බැදෙන්නෙ ගැහැණු විතරක්ම නම් නෙවෙයි... ) සංගීතයට වඩාත් ප්‍රිය කළ ඒ සොයුරා ලංකාවෙදි සංගීත කණ්ඩායමකත් වැඩ කළාලු... ඉතින් මේ මතකයත් එක්ක වැඩ ඇරිල යන වෙලාවක බස් එකේදි ආව අදහසක් අනුව මම බස් ටිකට් එකේ මෙහෙම පද ටිකක් ලිව්වා...

කැණිමඩල සුවඳ කර පිපුණු මල් කැකුළ
ඉන්දු සයුර මුතු කොදෙව්වේ....
වැලි කතර තනිව රන් කාසි හොයන
අප්පච්චිගෙ හිත නුඹ ළඟයි දුවේ....

පස්සෙ බෝඩිමට ගිහින් බස් ටිකට් එකෙන් කවි පද ටික දිනපොතට අරගෙන හෙමිහිට හිතල බලල... ඉතුරු පද ටික ඇමිණුවා....

සිතුවිලි සයුරේ කිමිඳී
කිරි සුවඳ සිනා මුතු කැටයක්
අරන් ඇවිත් ඔ‍බගේ...
හිත ළඟින් තියා ගමි...
උණුසුම විඳ ගමි
පාළු නිසල රෑ තුන් යාමේ.......

දිගු ජීවිත වන්දනා‍වේ....
ගිමන් නිවන මුදු පවන් රොදක්
ඈත එපිට මව්බිමේ ඉඳන්
හමා එන තුරා බලා හිඳිමි
ඒ නුඹයි.. නුඹේ රන් සිනා මලයි...
මගේ රත්තරන් දෝණියේ....

විද්‍යුත් තැපෑලෙන් මේ පද පේළි ටික යැව්වම දු පැටියගෙන් දුරස් වෙලා හිටි ඒ අප්පච්චි ගොඩක් සතුටු උණා.. තනුවකුත් දාල ගීතය පටිගත කළා කියල කිව්වත් මට කවදාවත් ඒ ගීතය අහන්න නම් ලැබුණෙ නැහැ... දැන් ඒ දෝණි ඉස්කෝලෙ යනවත් ඇති....


Thursday, March 22, 2012

නොපිරුණු බණ්ඩි ගෙඩියකින් මැවුණු හිනාවක්...;



නොපිරුණු බණ්ඩි ගෙඩියකින් මැවුණු හිනාවක්...

ඒ 1999 අවුරුද්ද... අපේ ළමා සංවිධානයේ වාර්ෂික තේමාව දැනුවත් කරමින් ලංකාව පුරා දීර්ඝ චාරිකාවක යෙදුණු අපේ කණ්ඩායමේ නවාතැන්පළ වුණේ පොළොන්නරුව දෙව් මැදුර. පොළොන්නරුව අවට ළමා සමිතිවල දරුවන්ට වාර්ෂික තේමාව දැනුවත් කිරීමයි එදින සිදු වුණේ... ඒ වසරේ තේමාව වුණේ '' හිමිකම් සුරකිමු ළමා අපේ " යන්නයි...  අපි උදේ වරුව පුරාම ළමයින්ට කියා දුන්නා ආදරය, අධ්‍යාපනය, ආහාර, රැකවරණය, පිළිගැනීම, අගය කිරීම වගේ දේවල් තමයි පුංචි අපේ හිමිකම් කියලා.. ඒ දේවල් අපට හිමි වෙන්න ඕන වගේම අනිත් අයටත් ඒ හිමිකම් ලබා දෙන්න අපි මහන්සි වෙන්න ඕන කියලත් අපි දරුවන්ට කියා දුන්නා... තමන් වගේම තවත් පුංචි යාළුවන්ට හිමිකම් ලබා දෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියල අපි ගීත, නාට්‍ය ජවනිකා, කතන්දර උදව් කර ගනිමින් පැහැදිලි කරන්න උත්සාහ කළා... මේ වෙද්දි ඇත්තටම තේමාව දැනුවත් කිරීමේ වැඩසටහනත් එක්ක අපි හොද හැටි පදම් වෙලා හිටියෙ.. පියතුමා ඇතුළුව අපි හතර පස්දෙනාගේ කණ්ඩායම ඇස් බැල්මකින් උණත් ඊළගට එන්න ඕන අදහස ‍, ගීතය, ජවනිකාව, විරාම අභ්‍යාසය මොකක්ද කියල දැන ගෙන උන්නා...

වරුවක වැඩසටහනක් ඉවර වෙනවා කියන්නෙ හොද ගණන්... ඒත් මේ වගේ වැඩසටහනකදි මොන තරම් මහන්සි දැණුනත් ආරම්භයේ ඉඳන් අවසානය දක්වා ඉඳීම අපේ වගකීමක්...

කොහොමින් කොහොමින් හරි දවල් කෑම වේලාව එළඹුණා. සාමාන්‍යයෙන් ආහාර වේලකට කළින් අපි අත් පිරිසිදු කර ගන්න හැටි, ආහාර ගනිද්දි පිළිපදින්න ඕන සිරිති විරිත් වගේ කාරණා ගැනත් කියා දෙනවා. ඒ ‍ව‍ගේම කෑම ගන්න කළින් අදහන දහම සිහි කරලා, ඒ කෑම වේල හදන්න උදව් වුණු හැමෝම මතක් කරල, කන්න නැතිව බඩගින්නෙ ඉන්න අයවත් සිහි කරලා පැතුමක් කරනවා... පැතුමක් කියන්නෙ යැදුමක්. යාච්ඤාවක්. අපේ ළමා එකමුතුවල හැම ආගමකම ළමයි ඉන්න නිසයි අපි පොදුවේ පැතුමක් කරන්නේ.....

ඉතින් පුරුදු විදියට දැනුවත් කිරීම්, පැතුම් හෙම ඉවර වෙලා අපි ළමයින්ට කිව්වා කණ්ඩායම් විදියට කෑම කන්න කියල. ඒ වෙද්දි කණ්ඩායම් බෙදලා තිබුණෙ... එක් එක් ළමා සමිතිවල ළමයි මිශ්‍ර වෙන විදියට. කෑම බෙදා හදා‍ගෙන කන්න නිසයි කණ්ඩායම් විදියට වාඩි වෙලා කෑම ගන්න කියන‍්නේ... එත‍කොට දුප්පත් සරල බත්පතකට උණත් වැඩි යමක් එකතු වෙනවනේ....


අපි කෑම කන්න යන්න කළින් ළමයි වටේ රවුමක් යන්නෙ එයා‍ලගෙ බෙදා හදා ගැනීම කොහොමද කියල බලන්නයි. මේ වගේ සොයා බැලීම්වලදි ඇස්වලට කඳුළු එන අත්දැකීම් ලැබිලත් තියෙනවා. හොරොව්පතානෙ හමු වූ පුංචි එකෙක්ගෙ කෑම පෙට්ටියක බතල අල දෙකකුයි, පොල් ටිකකුයි තිබුණා.... තවත් පොඩි එකෙක් ළඟ බත් ටිකකුයි වැටකොළු කෑලි දෙක තුනකුයි තිබුණේ. සරු බත්පතක් තිබුණේ බොහොම කලාතුරකින්. ඒත් බෙදා හදා ගනිද්දි මේ අඩුපාඩුකම් බොහෝ දුරට මැකිලා දුප්පත් බණ්ඩියකට උණත් රස බත් කටක් ලැබුණා...

මෙදත් සුපුරුදු විදියට අපි කෑම කන දරුවො වටේ ඇවිදිමින් ටිකක් හොයා බැලුවා... මමයි, නිලන්ති අක්කයි.. එක කණ්ඩායමක් ළඟ නතර උණාම දැක්කෙ හරිම දුක්බර දසුනක්. පුංචි දුවෙක් පත්තර කඩදාසියක පාන් පෙති දෙකක් ඔතාගෙන ඇවිත් තිබුණා පොල් සම්බෝල ටිකක් එක්ක. ඒ කණ්ඩායමේම බත්, නූඩ්ලස් වගේ සරු කෑ‍ම වේලක් හිමි දරුවනුත් හිටියා....

" පුතේ ඔයා යාළුවන්ට පාන් පෙත්තක් බෙදල දෙන්න... සම්බෝලත් එක්ක පාන් හරි රසයිනේ.. " පුංචි දැරියට අපි කිව්වා.
" ඔයාලගෙ කෑමවලිනුත් ටික ටික යාළුවට දෙන්න. බෙදා හදා ගෙන කන්න ඕනනේ.. " අනිත් අයටත් කිව්වා.. දැරිය බොහොම ලස්සනට හිනා වෙලා පාන් පෙත්තක් බෙදා දුන්නා.. දරුවො කීප දෙනෙක්ගේ මූණු වෙනස් උණා. එක්කෙනෙක් ඉක්මණින් පාන් කෑල්ල පැත්තකට කළා. එක්කෙනෙක් තමන්ගේ බත් එක කිට්ටු කළා කන්න කියල.. ඒත් ඒ මූණෙ හිනාවක් තිබුණෙ නැහැ. අපි දෙන්න ටිකක් ඈතට උණා. අර චුටි බඩට බත් කටවල් කිහිපයක් ලැබුණා. ඒත් පාන් කෑලි කවුරුවත් කෑවෙ නැහැ. ඒවා කුණු කූඩෙට ගියා.. පස්සෙ පොඩ්ඩි ටැප් එකට අත් දෙකම අල්ලල වතුර උගුරු කිහිපයක් බොනව පෙණුනා...

" පව් අපි නිසා පොඩි එකීට පාන් පෙත්තත් නැති උණා." අපි උදේ ඉඳන් කතා කළ දේවල් හුළඟට ගහගෙන ගිහින්ද? ඇයි පුංචි හිත් ‍මේ තරම් දරුණු. ඇති නැති පරතරය මල් කැකුළුවලටත් විස පුරවනවද?

අපි වෙනුවෙන් සරු ආහාර වේලක් සූදානම් වෙලා තිබුණා.. ඒත් නිලන්ති අක්කටයි, මටයි හිතට අමාරුයි. අර පුංචි දැරිවි මැවි මැවී පෙණුනා.. කෑම බෙදා ගෙන අපි එළියට ආවෙ පොඩ්ඩිවත් ළං කර ගෙන බත් කටක් කවන්න හිතාගෙන.

අනේ පව් පුංචි එකී සී‍සෝ පදිනවා... හරිම ලස්සන හිනාවක් ඒ මුණෙ ඇඳිලා තිබුණා.... බාගෙට පිරුණු බණ්ඩි ගෙඩියට ඒ හිනාව උදුර ගන්න බැරි වෙලා.... අපි අත වැනුවා.. හෙමිහිට සීසෝ එකෙන් බැහැලා ඈ අපි ළඟට දුවගෙන ආවෙත් ඒ හිනාවෙන්මයි.... ලොකු පෙරැත්තයකින් පසුවයි බත් කටවල් දෙක තුනක් කවන්න පුළුවන් උණේ...

හැම දවසකම අවසානෙ අපි දවසේ කළ කී දෑ ගැන විග්‍රහයක් කරනවා. පල්ලියෙ ඉස්තෝප්පුවෙ වාඩි වෙලා රජරට හුළ‍‍ෙඟ් සිහිල විඳ ගනිමින් එදත් අපි සුපුරුදු විදියට අපේ දවසේ මෙහෙවර ගැන පසු ඇගයුම් සාකච්ඡාවක නිරත උණා... නිලන්ති අක්කයි මමයි අපේ අත්දැකීමත් බෙදා ගත්තා... '' අර පොඩ්ඩිගෙ කතාව " ඒ ගැන කතා බහ බොහොම දුරට ඇදුණා...

" අපි ‍මේ තරම් මහන්සි වෙලා කාලය ශ්‍රමය කැප කරලා කරන දේවල්වල ඇත්තටම ප්‍රතිඵලයක් නැද්ද?" අපේ ප්‍රශ්නෙ උණේ ඒකයි...

'' අපි බලාපොරොත්තු වෙන නව ලෝකෙ එක දවසින් ගොඩ නගන්න බැහැ නංගි... ඒකට කාලයක් ගත වේවි... " බර්නි අයියා කිව්වා.. " අද අපි කියන මේ දේවල් මේ පුංචි අය වැඩිහිටි උණ දවසක හරි මතක් වේවි. එක සිතුවිල්ලක් එක ක්‍රියාවක් හරි වෙනස් වේවි... හැම දෙයක්ම වෙනස් නොවුණත්, මුළු ලෝකයම යහපත් නොවුණත් අපිට පුංචි හරි වෙනසක් කරන්න පුළුවන්... "

"බාලයන් තුළින් නව ලොවක් " ඒ අපේ ළමා සංවිධානයේ ( ළ.ක්‍රි.වී. - ළමා ක්‍රියාකාරී වීරයෝ ) දැක්ම.. දර්ශනය... දරුවන්ගේ අධ්‍යාත්මික වෙනස, ඒ තමයි අපේ පැතුම..... සැබෑ කර ගන්න අමාරු පැතුමක්... ඒත් ඒ නිසාම උත්සාහය අත් හරින්න බැහැනෙ... මට මතක් උණේ ජවහර්ලාල් නේරු තුමාගෙ ප්‍රසිද්ධ කියමනක්....

" අපි ශ්‍රේෂ්ඨ අරමුණක් උදෙසා කැප වී සිටින පුංචි මිනිස්සු වෙමු. අපගේ අරමුණෙහි ඇති ‍ශ්‍රේෂ්ඨත්වය නිසාම ඒ ශ්‍රේෂ්ඨත්වයෙන් බිදක් අප වෙත ද ආරෝපණය වෙයි..."

පසුවදන........

ළ 
.ක්‍රකි්‍රක්‍රි.වී.කියන්නේ... කෙටි නම... දිගු කළාම ළමා ක්‍රිකි්‍රයාකාරී වීරයෝ... මෙය ළමා වව්‍යාපාරයක්...
දර්ශනය - " බාලයන් තුළින් නව ලොවක්"
පැතුම - " ක්‍රිකි්‍රයාකාරිත්වය පදනම් කර ගත් භෞතික හා මානව වෙනසක් තුළ ළමුන්ගේ අධ්‍යාත්මික වෙනසක් ඇති කිරීම
ළ.ක්‍රි.වී. ආරම්භ උණේ 1954 වසරේ.. ඒ ප්‍රංශ ජාතික ගරු පීලික්ස් මෙවල් පියතුමාගේ අදහසක් ලෙස...
ජාති, ආගම්, කුල භේද කිසිවක්ම නැති ‍අපේ ළමා ව්‍යාපාරය අවුරුදු 5 - 15 ත් අතර සියලුම ළමුන්ට විවෘතයි...

මම ළ.ක්‍රි.වි. දරුවෙක් වුණේ 5 වසරෙ ඉද්දි... ඉන්පස්සෙ මම මගේ ළමා සමිතියටම අනුශාසක කෙනෙක් උණා 1997 වසරෙදි... එදා ඉඳන් අද දක්වාම මම ළ.ක්‍රි.වි. අම්මගෙ දරුවෙක්.. ළ.ක්‍රි.වී. ය මම සලකන්නෙ මගේ දෙවැනි අම්මා විදියට.. ජීවිතය දකින්න, විඳින්න මම පුරුදු උණේ ළ.ක්‍රි.වී. ය තුළින්... ඒ නිසාම මම ළ.ක්‍රි.වී.යට ණයගැතියි... ඉතින් ළ.ක්‍රි.වී.ය තුළ මා ලද බොහෝ අත්දැකීම් ඔබ හා බෙදා ගන්නට රිසියි.. ඒ සඳහා හැකි අයුරින් ඉදිරියේ දී මගහසර පාදා ගන්නම්..... 

Thursday, March 15, 2012

තරුගේ කවි නොකවි....


මම දක්ෂ කවිකාරියක් නම් නෙවෙයි... ඒත් පුංචි කාලෙ ඉඳලම කවියට මගේ ලොකු ඇල්මක් තිබුණා.. ඒ නිසා මගේ අතිනුත් කවි ‍නොකවි අනන්ත ලියවුණා.. ලියැවෙනවා... කවිය නිසා තෑගි ලබපු, සම්මාන ලබපු, ප්‍රශංසා ලබපු, කවියෙන් අනිත් අයව සතුටු කරපු මම, කවියක් නිසාම අප්‍රමාණ හිත් වේදනාවකුත් විඳල තියෙනවා... කෙටියෙන්ම කියනවනම් කවියක් නිසා ජීවිතේ ඇණගෙන තියෙනවා... ඉතින් කවිය එක්ක මගේ තියෙන්නේ අපූර්වාකාර බැඳීමක්.. කොයි තරම් හිත රිදුණා උණත් කවියට තාමත් මම ආදරෙයි.... ජීවිතයයි කවියයි එකට යා වෙලා ආව ගමනේ එක් එක් අවස්ථාවන් මේ කවි පිටුවට එක් කරන්න මම හිතුවා.. ලියපු කවි, රස වින්ද කවි, කවි ගැන කවියො ගැන මගේ අදහස් මේ පිටුවට අනාගතයේ දී එක් වේවි..... කවිය‍ට ඇළුම් කරන ඔබත් මා එක්ක එක් වේවි.... ඒ කවි කතා අතර මගේ ඉරණමේ හැරවුම් ලක්ෂයක් වුණු කවි පද කිහිපයත් ඔබට හමු වේවි.... ඒක කවදා කොහොම ලිය වේවිද නම් මම දන්නෙ නැහැ...


පුංචි කාලෙ පුංචිකමට ලියූ කවි......

දෙකේ තුනේ පන්තිවල ඉද්දි මට මතකයි උදෑසන, මුහුද ගැන කවි ලිව්වා.. ඒවායෙ පද නම් හරියටම මට මතක නැහැ... මුහුද ගැන ලියපු කවි පන්තියේ අන්තිම පදය ජීවිතයත් මුහුද වගේ කියන අදහස මතු කරන්නක් වුණා... පන්ති භාරව හිටිය ටීච මාව ළගට කැන්දල ඇහුවා පොතකින් බලලද ලිව්වෙ කියලා... මට මතක හැටියට පොතකින් බැලුවෙ නම් නැහැ... ඒත් ඒ වගේ අදහසක් ඒ තරම් පුංචි කාලෙක හිතට එන්න විදියක් නැහැනෙ... ඒ නිසා කොහේදි හරි කියවපු මතකයක්වත් තියෙන්න ඇති.... හෝඩියෙ පන්තියට ගිහින් අ යනු ආ යනු ලියන කාලෙත්, අම්ම පස්සෙන් ගමේ පුස්තකාලෙට ගිහින් කතන්දර පොත් වල පින්තූර බලන, අකුරු එකතු කර කර කියවන පුරුද්දක් මට තිබුණා... ඒ නිසා කොහේ හරි පොතකින් ඇවිත් හිතේ ඇලවුණු අදහසක් මුහුද කවි පන්තියෙදි එළියට පනින්න ඇති.....

උදෑසන ගැන මා අතින් ලියවුණු කවි පන්තියත් අගය කෙරුණා පන්ති කාමරයෙදි.. යාන්තමට මතකයි.. ඒත් ඒකෙ එක පදයත්වත් මතක නම් නැහැ...

ඉන් පස්සෙ මට මතක තියෙන කවිය තමයි.... ඉස්කෝලෙ යන්න බැරි පුංචි ළමයෙක් ගැන ලිව්ව කවියක්.. ඒ අදහස නම් ආවෙ අපි ඉස්කෝලෙ යන පාරෙ තිබුණ කොහු මෝලෙ ළමයි නිසයි... කො‍හුමෝල් ජීවිතෙත් සමහර වෙලාවට අහිකුණ්ටික ජීවිතයක් වගේ තමයි.. අම්මල, තාත්තල කොහු මෝලෙන් ‍ කොහු මෝලට යද්දි දුවා දරුවන්ටත් ඒ පස්සෙන් යන්න වෙනවා... ඒ නිසා ඉගෙනුමෙන් දුරක් යන්න ඒ දරුවන්ට ලැබෙන ඉඩ කඩ හරිම අඩුයි... අම්මල, තාත්තල ආදරෙන් දරුවන් රැක බලාගෙන ඉන්න රත්තරන් පුංචි පවුල් කොහු මෝල්වල ඇත්තේ අ‍තේ ඇගිලි ගණනටත් අඩුවෙන්... බිදුණු, විසිරුණු නෛතික හරි සෙනෙහවන්ත හරි බැම්මක් නැති පවුල් අප්‍රමාණයි... කා‍ගෙ හරි හෙවණක වැටිලා යාන්තමට කාල ඇදල ඉන්න අසරණ දරුවො හිග නැහැ... ඒ පුංචි කාලෙ මට කොහු මෝල් ජීවිතේ තේරුණේම නැහැ... කොහු මෝල් ළමයින්ව අපි ගණන් ගත්තෙ නැහැ...  එහෙම උණේ පන්ති පරතරය ගැන හැගීමක් නිසා නම් වෙන්න බැහැ... ඒ ළමයින්ගෙ අපිළිවෙලයි, අපිරිසිදුකමයි නිසා වෙන්න ඇති... අද නම් එහෙම දරු රෑනක් උණත් ළගට අරන් තුරුළු කර ගන්න තරම් දයාවක් හිතේ ගොඩ නැගිලා තියෙනවා....

කොහුමෝලෙ ළමයින්ට ආස නැති උණත් අපි කොහු බත් කන්දට නම් ආස උණා... කොහු මෝලෙ අබලන් ගේට්ටුවෙන් ඇතුල් වෙලා, මට්ට වල ළගින් ඇවිත් කොහු බත් කන්ද නැගල අනිත් පැත්තෙන් වැව ගාවින් පාරට ගොඩ වෙන්න අපි පුරුදු වෙලා හිටියා.. ඒක කෙටි පාරක්.. ඉස්කෝල ඇරිල පයින් එන්න ලැබෙන අහඹු අවස්ථාවකදි තමයි ඒ කෙටි පාරෙන් ආවෙ... කොහු බත් කන්දට නැග්ගම උඩින් අහස නිල් වියනක් වගේ... වම් පසින් තාර පාර.. ඊට එපිටින් රතු නෙළුම් පිපිණු වැව.. දකුණු පැත්තෙන් ඈතට විහිදෙන කුඹුරු යාය.. කාලෙන් කාලෙට මේ සිත්තමේ වර්ණ වෙනස් උණා... ඒත් ඒ හැම කාලෙකම අමුතු ලස්සනකුත් තිබුණා....

කොහු බත් කන්ද පුරා ඒ ‍මේ අතට පාරවල් විහිදිලා තිබුණා.. කොහු මෝලෙ ගැහැණු මිනිස්සු ලොකු කොහු බත් කූඩා ඔලුවෙ තියාගෙන කන්ද උඩට ඇවිත් හලල ආයෙම බැහැල ගියේ හිනාවක්, සතුටක් නැති හිස්ම හිස් මුහුණුවලින්... ඒ කොහුබත් කූඩා නිසා කන්ද පුරාම තව පුංචි පුංචි කදු හැදිලා තිබුණා.. සමහර වෙලාවට අපි මේ කදු අතරෙ හැංගි මුත්තං කළා...

අද කාලෙ වගේ නම් මේ කොහු බත් කදු ගාණෙ යන්න ළමයින්ට හීනෙන්වත් ඉඩක් ලැබෙන්නෙ නැහැ... දූෂණය කරල මරල දාලා කියල අහන්න ලැබේවි... ‍ඒ වාගෙ සිද්දි ඇහෙද්දි, දකිද්දි හිත කීරි ගැහිල යනවා... අපේ පුංචි කාලෙ කොයි තරම් නිදහස්ද, නිස්කංලකද, ආරක්ෂිතද කියල හිතෙනවා....

අයියෝ ඔන්න ඉතින් කවි කතාව දිග වැඩි උණා....

කොහු මෝල්වල ඉන්න කාගෙත් ඇදුම් පැළදුම් දුඹුරු පාටයි.. අවපැහැ ගැන්විලා.. ගොමස්කඩ වෙලා... ඒ ඇදුමක හැබෑ ‍පාට මොන වගේද කියල හිතා ගන්නවත් බැරි තරම්.... අව පැහැ ගැන්වුණු ජංගි කොට, රෙදි කෑලි, ගවුම් කොට  ඇද ගත්ත පුංචි ළමයි ඒ කොහු මෝලෙත් ඕන තරම් හිටියා... හිමිදිරියට කොහු මෝලෙන් පිටවෙලා ඉස්කෝලෙ යන ළමයි අතරට එක් වෙන්න තරම් වාසනාවන්ත උණ  ළමයිනුත් හිටියා... මට හොදටම මතක තියෙන්නෙ එක පුංචි ගැහැණු ළමයෙක් සමහරදාට කම්බි වැටේ එල්ලිලා... නැත්නම් අබලන් ගේට්ටුවෙ එල්ලිලා ඉස්කෝලෙ යන ළමයි දිහා බලන් උන්න හැටි... සමහර විට ඒ ළමයා ඉස්කෝලෙ යන වයසෙ නෙමෙයි වෙන්නත් ඇති... ඒත් හතරෙ, පහේ පන්තියෙදි ලියවුණු කවියට පාදක උණේ නම් ඒ පුංචි ගැහැණු ළමයා...

කඩමළු වූ චීත්තයක් නිතරම ඉණ දැවටෙන්නේ
දුක්බර පෙනුමකුයි නිතරම දෑස් කොණේ දිස්වන්නේ
පාසල් යන ළමුන් වෙතටයි නිතර දෑස යොමු වෙන්නේ
......................................
කොටස් තුනක් තිබු‍ණ කවි පන්තියෙ දැන් මගේ මතකෙට එන්නෙ ඔය ටික විතරයි ඔන්න... ආයෙම කවි කතාවකින් හමු වෙමු....


Wednesday, March 14, 2012

ආයුබෝවන් 2012



Add caption

ආයුබෝවන් 2012

සුබ නව වසරකි ලෝකය අබියස
රත් වූ ගෝලය භූමිය පුපුරණ
කැළඹුණ වායුව කුණාටු විසුරණ
කකියන රුධිරය කැරලි බිහි කරන
සුබ නව වසරකි ලෝකය අබියස
මිනිසා විසින්ම මිනිසා පරදන......

( දෙසැම්බර් 31 රෑ 12 ට මල් ටිකක්, පහනක් ජේසු ළග පූජා කරල නව වසරට ආසිරි පතන එක මගේ පුරුද්දක් වෙලා තිබුණා.... 31 රෑ නැත්නම් ජනවාරි පළවෙනිදා උදේ පූජාවකට සහභාගි උණා අනිවාර්යයෙන්ම.. ඒත් මේ සැරේ මම ඒ කිසි දෙයක් කළේ නැහැ... හරිම උදාසීන ගතියක් දැණුනා... දුරුතු මහේ මුල්ම දවසෙ ගියේ ලොකු ආච්චිගෙ මළගමට...... පුංචි කාලෙ ඉන්ම ලොකු ආච්චිට මම ගොඩාක් ආදරේ කළ නිසා....

2012 නව වසර සොබාදහම, සාරධර්ම, ජීවිත සංතුෂ්ටිය මේ හැම දෙයක් එක්කම බලද්දි සුබදායක වේවි කියල හිතන්න නම් අමාරුයි... ඒත් මගේ හිතේ අධිෂ්ඨානයක් තියෙනවා හැකි උපරිම විදියට මේ නව වසරෙදි ඒ හැම දෙයක්ම රැකගන්න කැපවෙන්න.... )

Monday, March 5, 2012

අම්මා නැති දා.....


මම සාමාන්‍යයෙන් ගෙදර යන්නෙ සති අන්තයේ.... පහුගිය සති අන්තයේ ග‍මට ඇතුල් වෙද්දිම කලබලයක් ගාණයි.. නංගිලගේ ගේ වත්තෙ සෙනග පිරිලා... බැකෝ එකකුත් එනවා.. හැමෝගෙම මුහුණුවල දුකක් තැවරිලා... මමත් ගෙදර යාම පැත්තකින් තියල එතෙන්ට ළං උණා.. අපේ අයියලගෙ ( බාප්පගෙ පුතා )  වැස්සි මැරිලා... පුංචි පැටියට තවම මාසයක් පිරිලත් නැහැ... අයියගෙ දූල දෙන්නයි.. වටේ පිටේ පොඩ් එව්වො ටිකයි ඉකි ගගහ අඩනවා...
බලන් ඉන්න අමාරුම දේ තමයි පුංචි පැටිය උම්බෑ කියල කෑ ගගහ අම්ම වටේ කැරකෙන එක.. හරියට පුංචි දරුවෙක් අම්මේ කිය කියා අම්මව හොයනව වගේ... තාම කිරි බොන ව‍යසේ පුංචි පැටියනේ....
බැකෝ එකෙන් වත්ත පහළ ලොකු වලක් කපන්න ගත්තා....
මම දෝණිත් ( නංගිගෙ චූටි දුව. අවුරුද්දයි මාස 08 යි එයාගෙ වයස... ) වඩාගෙන එතෙන්ට ළං උණා...
අනේ පව් අනේ....තැත්තා පව් අනේ..... දෝණි චූටි කටින් කියනවා.. එයාට දුක පුංචි පැටිය කෑ ගහන විදියට... “ අතගාන්න... අතගාන්න එයා මට කියනවා... හැබැයි ළට ගියාම මගේ බෙල්ලෙ එල්ලෙනවා... පැටියට ළං වෙන්නෙත් නැහැ..... බයගුල්ලි...
ඔන්න බැකෝ යන්ත්‍රය වල කපල ඉවරයි.. ඉන්ප‍ස්සෙ වැස්සි අම්මගෙ කඹේ බැකෝ එකේ අතේ ගැට ගහල හෙමිහිට ඇදලා වලට දැම්මා... අනේ පව් පුංචි පැටිය වළ ලටම ගිහින් උම්බෑ කියල කෑ ගහනවා... “ අනේ අම්මේ මාව දාල යන්න එපා කියනවා වගේ... හැමෝගෙම ඇස්වල කුළු... පොඩි කට්ටිය නම් ඉකි ගගහ අනවා... කොළු පැටව් ටික වහු පැටියව අල්ල ගත්ත... නැත්නම් ඌ අම්මගෙ වලට පනිනවා...
චූටි අක්කගෙ පුතත් තාම පුංචියි.. අපේ දෝණිත් තාම මරණය කියන්නේ මොක්කද දන්නෙ නැහැ.... මේ පුංචි හිත්වලට මොනා දැනෙයිද දන්නේ නැහැනෙ...  ඒ නිසයි මම කිව්වෙ.. “ හොරු ගෙනියයි කියල තැත්තව හංගනවා..’’ කියල...
භූමදාන වැඩ ඉවරයි.. පෙරපර සන්දි ගැලපීමේ කතා වටයකින් පස්සේ අපි විසිරිලා ගියා...
හොරු  ගෙනියයි... අලට දම්මා...” ඉන්පස්සෙ දෝණි හැමෝටම කියනවා... “ ඔව් දැන් තැත්තව කාටවත් ගෙනියන්න බැහැ...” දෝණිට පිළිතුරුත් ලැබෙනවා....
සෙනසුරාදා දවසම අයියගෙ දූල දෙන්නයි.. එයාලගේ සෙල්ලම් නඩේ යාළුවො ටිකයි වහු පැටිය වටේමයි... කිරි පොවනවා...  තණකොල කවනවා.. ඒත් පැටිය සැරින් සැරේ උම්බෑ කියල කෑ ගගහ අම්මගෙ වළ වටේ කැරකෙනවා... පහුවෙනිදා පාන්දරත් වහුපැටිය ‍ගොඩක් කෑ ගැහුවළු... නංගි කිව්වා... පව් ඉතින් පැටියට බඩගිනි දැනෙනවත් ඇති.. අම්මගෙ උණුසුම නැතිව තනිකමක් දැනෙනවත් ඇති...
ඉරිදා උදේ හරිම දුක හිතෙන වැඩක් උණේ... පැටිය අහල පහල ගෙවල්වල ඉන්න හරක් ළට කෑ ගගහ යනවා.. අම්මව හොයනවා ඇති.. ඒත් කිසිම තැනකින් පැටියට හො පිළිගැනීමක් ලැබුණෙ නැහැ... පැටියගෙම කිරි අම්මත් හොම්බෙන් ඇනල පැටියව එළවල දැම්මා.. පුංචි හරි කරුණාවක් ලැබුණේ අනුල නැන්දලගෙ වස්සගෙන් විතරයි.... අයිය කෙනෙක් ලැබුණට පැටියගෙ හිත පිරුණෙ නැහැ වගේ...  ඌ ආයෙමත් කෑ ගගහ අම්මව හොය හොයා යන්න පටන් ගත්තා.... පොඩි උන් ටිකත් වහු පැටියගෙ පස්සෙන් යනවා...
හවස මං ආපහු එන්න එද්දි පුංචි යාළුවො ටික වහු පැටියට ගෙයක් හදන්න මහන්සි වෙනවා... ලී දු දෙක තුනක් ‍හිටවලා.. පැටියත් බිම වැතිරිලා ඉන්නවා.. අම්මව හොයලම මහන්සියි වගේ.... පැටිය ගැන නම් හරිම දුකයි.. ඒත් මේ පුංචි කට්ටියගේ එකමුතුකමයි, ආදරයයි දකිද්දි සතුටකුත් දැනෙනවා... මේ මනුස්සකම් වැඩිහිටියො වෙද්දිත් තිබුණොත් හොයි......
අනේ පැංචෝ, අම්ම ගියේ ආපහු එන්න පුළුවන් ගමනක් නෙවිනේ.... ඒ නිසා මේ පුංචි යාළුවන්ගෙ ආදරෙන් සැනසිලා හිත හදාගෙන ජීවිතේට මුහුණ දෙන්න..”