මරුද මඩු රැජිණියනේ - ප්‍රේම වැඩූ මෑණියනේ
සැමට පිදූ පෙම් නොමිනේ - ඔබට කැපවෙමු
නිතිනේ
වප් මහේ දින හතරක නිවාඩුවක් ලැබෙන්නට නියමිතව තිබුණ නිසා මාස ගණනකට පෙර සිටයි අපි මඩු වන්දනා ගමන සැලසුම් කරන්නට පටන් ගත්තෙ.. මරද මඩු කියන්නෙ සිංහලෙන් නම් ‘‘ කුඹුක් වැව ” කියන අර්ථයලු. මරද මඩු කියන ප්‍රදේශයේ ඉදි කළ දේවස්ථානයේ තැන්පත් කළ දේව මාතා පිළිරුව නිසා මරද මඩු මෑණියෝ, මඩු පල්ලිය යන නම ලැබෙන්නට ඇති. මඩුපල්ලිය ගැන මගේ හිතේ තියෙන්නෙ සිහිනයක් වගේ බොඳවුණු මතක රැසක්...
· ඒ කාලෙ මඩු පල්ලි ගියාම මහා ගස් යා
කරගෙන කූඩාරම් හදාගෙනයි අපි උන්නෙ.. ( ඒ මහා ගස් වීර, පලු, සියඹලා ගස්... තවමත්
ඒවා විරාජමානයි මඩු පල්ලි භුමිය වටාම... ) කූඩාරම වට කළේ අම්මලගෙ, ආච්චිලගෙ පරණ
සාරිවලින්.... එළියෙ ලිප් බැඳගෙන බත් ඉව්වා. ඒ බත් කවද්දි ඉඳ හිට වැලි කැටත්
හැපුණා...
අපූරු සියඹලා
ගස් දෙකක්... එයාලගෙ වයස කීයද? හිතන්නත් අමාරුයි.
|
·
ඒ කාලෙ අපේ
ගෙදර ලීයෙන් හැදුව ලොකු තේ කොල පෙට්ටියක් තිබුණා මඩු පල්ලි යද්දි බඩු දාගෙන යන්නම...
·
මට මතක
හැටියට ගොඩක්ම ලොරිවලින් තමයි පල්ලි ඇවිත් තිබුණෙ.. කරත්තත් තිබුණා.
·
නාන්න
ටිකක් දුරක තිබුණ ගඟකට හරි ඔයකට හරි ගියා මතකයි... නහය මිරිකගෙන බයෙන් බයෙන්
ගිලුණා.. ඒත් ඔලුව යට ගියේ නෑ.
·
අපේ වාඩිය
ළගම වාඩිය හදා ගෙන තිබුණු දෙමළ යුවලක් මහ හයියෙන් රණ්ඩු උණා.. එක වචනයක්වත් තේරුණේ
නැති උණත් ඒක රණ්ඩුවක් කියල හිතුණෙ මහ සද්දෙට අතපය විසි කරමින් කළ කතාවක් උණ නිසයි.
·
කඩපිල්වල
ඇවිදිද්දි මම බොම්බයිමොටයි වෙළෙන්දෙක් පස්සෙන් ගියා. පාට පාට කටට ගත්ත ගමන්
දියවෙලා යන පැණි රස බොම්බයි මොටයි කන එක අපේ පුංචි කාලෙ විසිතුරු හීනයක්නේ.... අම්මල,
මම්මල දැක්කෙ නැහැ මම යන වග. පප්ප දුවගෙන ඇවිත් මාව වඩා ගෙන අරන් ගිහින් අම්මලට
බැන්න මතකයි. ළමය ගැන සිහියක් නෑ කියල.
·
අවසන්
වතාවට මඩු පල්ලි ගිය මතකය මගෙ හිතේ යාන්තමට රැඳිල තියෙනවා.. අම්ම නම් කියන්නේ ඒ 82
වසරේ බවයි. ඒ සැරේ මඩු පල්ලි ගිහින් එන අතරෙ මහා බියක් අපි වටේ සැරිසැරූ බව මතකයි.
එක පිම්මට ලොරි පෙළ කැලෑ පාරවල් පසු කරගෙන ආව මතකයි. ‘‘ මග රැදෙන එක අවදානම්. තුවක්කු
ගත්ත කොල්ල කල්ලියක් ඉන්නවා. ” අතරමගක ඇසුණු ඒ වචන නිසා හැමෝම වගේ හිටියෙ තැති
ගැන්මක.
ඉන්පස්සෙ
අවුරුදු තිහක්ම මඩු යන්න ලැබුණෙ නැහැ. පොඩි නංගියි, මල්ලියි කවදාවත් මඩු පල්ලි
ගිහින් තිබුණෙත් නැහැ... දරු මුණුබුරන් එක්ක මේ සැරේ මඩු පල්ලි ගිය ගමන අතිවිශේෂ
වෙන්නෙ ඒ නිසයි.
ඒ විතරක්ම
නෙවෙයි දරු හතරදෙනෙක්ගෙ බරත් එක්ක පවුලක් විදියට අපිව දුර ගමනක් එක්කරගෙන යන්න
අම්ම තාත්තට වත්කමක් තිබුණෙත් නැහැ. දැන් අපි හැමෝම රස්සාවල් කරන නිසා හිතේ බරක්
නැතිව ගමනක් යන්න එළියට බහින්න පුළුවන් වීමත් ලොකු සැනසීමක්... වන්දනා ගමනක් යන
සතුටටත් වඩා මට දැණුනෙ පවුලේ හැමෝම පිරිවරාගෙන ගමනක් යන්න ලැබීමේ සතුට...
චිරි
චිරි චිචිරි චිරි...
මන්නාරම්
පාරෙන් මඩු දේවස්ථාන පාරට හැරෙන තැන විශාල තොරණක් ඉදි වෙලා තියෙනවා. ‘‘ මඩු පල්ලිය
බේර ගත්ත ගමන් අපේ ජනාධිපතිතුමා හදපු තොරණ” සන්ධාන සාමාජිකාවක් සතුටින් අගය කළා. මහින්ද
රාජපක්ෂ මඩු දේවස්ථාන වාහල්කඩ වගේ නමක් දාලා තියේද කියල මමත් එබිල බැලුවා. එහෙම
එකක් නම් පේන්න තිබුණෙ නැහැ.
අපි මඩු
පල්ලියට ළඟා වෙද්දි 27 සෙනසුරාදා උදේ 11 ට විතර ඇති. ඒ වෙද්දිත් වැස්ස... වාහනෙන්
බැස්ස ගමන් හරිම අප්‍රසන්න හැඟීමක් දැණුනෙ. හැමතැනම මඩ වෙලා.. ඒ මදිවට ඉඳුල් දාලා..
කුණු බක්කි පෙනි පෙනීම බිමට ඉඳුල් හලන්නෙ මොන හිතකින්ද මන්ද? කට වරද්දගන්න නරකයි
කියනවනෙ මේ වගේ පුදබිමකට ආවම. ඒ නිසා කට බෙරි කරගෙන හරි අවස්ථාවට මුහුණ දෙන්න සිදු
වුණා... කොහොම වුණත් පල්ලිය සහ ඒ අවට නම් ඉතාම පිරිසිදුව, පිළිවෙලට තිබුණා.
යන එන තැන
පරිසරයට හානි නොකර පිරිසිදුව තියා ගන්න තරම් සංවේදීකමක් නැති මිනිස්සු ඉන්න රටක්
කොයි තරම් අවාසනාවන්තද? විශේෂයෙන්ම රැක ගත යුතු ස්වභාවික සෞන්දර්යයෙන් අගතැන්
ගන්නා දේශයක් මෙවැනි මිනිසුන් නිසා කොයි තරම් අසරණ වෙනවද? අප්‍රසන්න තැනක් වෙනවද?
පල්ලිය පේන
මානෙන් නවතින්න ගෙයක් ගත්තට පස්සෙ අපි වටපිටාව අතු ගාල පිරිසිදු කර ගත්තා. ඉන්නෙ
දවස් දෙකයි වුණත් හිත සතුටින් ඉන්න ඕනනේ. මුලින්ම පල්ලියට ගිහින් දණ ගහල වඳිද්දි
නම් හිතට ලොකු සැනසුමක් දැණුනා. කාලෙකින් ළඟම යාළුවෙක් මුණ ගැහිල සතුටු සාමීචියෙ
යෙදෙනව වගේ....
පයාගලින්
ආව ලොකු වන්දනා නඩයක් නිසා අපට අපූරු යැදුම් මෙහෙයන් කිහිපයකටම සහභාගි වෙන්න හැකි උණා.
එයින් වඩාත්ම හිත් ගත්තෙ රාත්‍රියෙ ලූර්දු ගුහාවේ ඉඳන් පල්ලිය දක්වා ඉටි පන්දම්
දල්වගෙන යාච්ඤා කරමින් ආ පා ගමන. රාත්‍රියේ සීතල සුළග, ඉටිපන්දම්වල අහිංසක ආලෝකය, හෙමිහිට
මුමුණන යැදුම් හඬ, පා ගමනින් ඉටි පන්දමක් අරන් යන චූටි දෝණිගේ හුරතල් වැඩ, ඈතින්
පෙණුන පල්ලිය.... මේ හැම දෙයක්ම නිසා ඒ වැහි බීරුම පිරුණු අන්ධකාර රැයට අපූරු
චමත්කාරයක් එකතු වෙලා තිබුණා.
පහුවෙනිදා උදේ
හතටයි සිංහල පූජාවක් තිබුණෙ. නමක් නොදන්න පියතුමා අපූරු දේශනාවක් දුන්නා. කාලෙකට පස්සෙ
හොඳ දේශනාවක් කියල හිතමින් මමත් අහන් හිටිය. ඒත් මෙන්න අන්තිමට කියපි ‘‘කතෝලිකකම තුළ
පමණයි විමුක්තිය තියෙන්නෙ. මඩු මෑණියන්ට අපි කළ යාච්ඤා නිසයි රටට සාමය උදා වුණේ ” කියල.
මගේ හිත හුළං බැස්ස බැලුම් බෝලයක් වගේ උණා. ආදරය, සාමය හරහා මනුෂ්‍යත්වයේ උත්තරීතර තලයට ගියාම විමුක්තිය ලැබෙනවා
කියලයි මම හිතන්නෙ. ඒකට ආගම් භේදයක් තියෙන්න කොහෙත්ම විදියක් නැහැනෙ.
අනික
ඇත්තටම අපිට සාමයක් ලැබිල තියෙනවද? යුද්දය නම් ඉවර වුණා තමයි. ඒත් යුද්දයේ ගිනි
පුපුරු නිවිලද? යුද්දයේ කඳුළු උල්පත් නැවතිලද? අවතැන් වුණ මනුෂ්‍ය ආත්මවලට සැබෑ
සැනසීමක් ලැබිලද? එහෙමනම් කොහොමද හිතන්නෙ
අපිට සාමය ලැබිල තියෙනවා කියල. සැබෑ සාමයක් උදා කර ගන්න අපි තව කොතරම් නම් හදවතින්
වෙනස් මිනිසුන් විය යුතුද? සංවේදී විය යුතුද? පරිත්‍යාගී විය යුතුද?
පූජාව ඉවරවෙලා
මම නවාතැනට ආවෙ ටිකක් පමා වෙලා. එද්දි කට්ටිය ඉන්නවා මූණු බෙරි කරගෙන. ‘‘තාත්ත
පල්ලියෙන් ආව අඬාගෙන.” අම්මත් එහෙම කිව්වෙ
ඇස්වල කඳුළු පුරෝගෙන. ඒ මොකෝ කියන ප්‍රශ්නෙ ඇස් දෙකේ රන්දගෙන මම බලා හිටියා.
‘‘ තාත්තට
සතුට වැඩිකම... ඉස්සර අනුන්ගෙ ලොරිවල මඩු පල්ලි එද්දි එයා හිතුවලු කවද හරි දවසක
මගේම වාහනයක එන්න ඕන කියල. අද ඉතින් ඒ හීනෙ සැබෑ වෙලා දරු මුණුබුරෝ එක්කම එන්න
ලැබුණනේ.. ඒකට ඔය කඳුළු පෙර පෙර ඇඬුවෙ. ”
නංගි පැහැදිලි කරද්දි රතුවුණු ඇස්දෙකෙන් හිනා වෙවී තාත්ත බලන් හිටිය. මටත් පපුවෙ ගලක් හිර උණා වගේ දැණුනා ඒ වෙලාවෙ.
නංගි පැහැදිලි කරද්දි රතුවුණු ඇස්දෙකෙන් හිනා වෙවී තාත්ත බලන් හිටිය. මටත් පපුවෙ ගලක් හිර උණා වගේ දැණුනා ඒ වෙලාවෙ.
අපේ අම්මා නම් එකම එක වතාවක් මඩු පල්ලි ගිහින් තියෙනවා. මම නම් ගිහින්ම නෑ. මේ ලිපිය කියෙව්වට පස්සේ ගිහින් එන්න ආස හිතුනා.
ReplyDeleteලාංකික කතෝලිකයෙක් උණාම අනිවාර්යයෙන් යන තැනක්නෙ මඩු පල්ලිය. හැබැයි මම නම් ආස සෙනග නැති දවසක ගිහින් ඉන්න තිබුණ නම්. මේ දවස්වල ගොඩක් මඩු එන්නෙ යාපනේ හරි වෙන කොහෙ හරි විනෝද චාරිකා යන අය ගමනෙ අතරමග. ඒ නිසාම මඩු පල්ලිය කලබලයෙන් වැඳ පුදා ගෙන යන තැනක් වෙලා. කිසිම නිස්කලංකබවක් නැහැ.
Deleteමාත් මඩු යන්න ආසාවෙන් ඉන්නවා . තලවිලනම් ගිය සතියේ ගියා .
ReplyDeleteඅපේ මිනිස්සු ඉතින් ගිය තැන වනසනවනේ තරු . මටනම් හිතෙන්නේ භක්තියක් හැඟීමක් නැති අය මෙහෙම කරන්නේ .
ඔයාගේ තාත්තගේ ප්‍රාර්ථනාව ඉටු උන එක ගැනනම් ගොඩක් සතුටුයි .
තලවිල පල්ලියත් මම හරිම ආස තැනක්.. ඔයාට මඩු පල්ලිත් යන්න අවස්ථාවක් ලැබෙයි ගිම්...
Deleteඅනේ මට තේරෙන්නෙ නැහැ ඇයි මිනිස්සු මේ හැටිම පරිසරය වනසන්නෙ කියල. කෝටි ගණන් ස්වභාවික සම්පත් විකුණමින් ජාවාරම් කළේ නැති උණත් ඔලුව හැරෙන අතේ කෙල ගහල හරි කන බොන ඉතුරු බිතුරු ඔහේ දාල හරි පොඩි මිනිහත් පරිසරය විනාශ කරනවා.
මම තිස් පාරකටත් වඩා තලවිල නම් ගිහින් ඇති.. ගමනාගමනය දියුණුවීමත් මිනිසුන්ගේ පිරිහීමත් එක්ක තලවිල ගමන නම් දැන් එච්චර ගතියක් නෑ..
Deleteඅන්තිම ටික කියවද්දි නම් ඇහැට පොඩි කඳුලක් ආවා.....
ReplyDeleteඅපේ තාත්තා අරක්කු, සිගරට් නොබොන ආගමට ළැදි බොහොම හිත හොද මනුස්සයෙක් නංගි. එයා හැමදෙයක්ම නැති කර ගත්තෙ වාහනවලට තිබුණ ආශාව නිසා. ගත්තු වාහන නිසාම ණය කන්දක හිර වෙලා ඉද්දි අනුන්ගෙ වාහනවල වැඩ කරල තමයි ණය බේරුවෙ. අවුරුදු ගාණකට පස්සෙ ගිය අවුරුද්දෙ එයාගෙ උපන්දිනේට එයාම ණය වෙලා ආයෙත් මේ වාහනේ ගද්දි අපි හැමෝම දොස් කිව්ව. මට හිතෙනවා එදා තාත්ත ගොඩක් අසරණ වුණා කියලත්.
Deleteඒත් මඩු පල්ලියෙදි තමයි මට තේරුණේ ඇණුම් බැණුම් මැද තාත්ත ඉටු කර ගෙන තියෙන්නෙ කොයි තරම් අහිංසක ප්රාලර්ථනයක්ද කියල. වාහනයක් හිමි කර ගැනීම මං හිතන්නෙ තාත්තගේ පුංචි කාලෙ ඉඳල ගොඩ නැගිල තියෙන බරපතලම සිහිනය වෙන්න ඇති.
අපේ අම්ම කියන විදියට අයියා ඉපදුනාට පස්සෙ එකම එක සැරයක් මඩු යන්න ලැබුනලු. මම ඉපදෙද්දී (87) යුද්ධයට මඩු පල්ලියත් අහුවෙලා. ඊට පස්සෙ ආයෙම අම්මට යන්න අවස්ථාවක් ලැබුනා. සාම ගිවිසුමක් නිසා. එතකොටත් තදින්ම යුද්ධය. ඒත් මඩු වන්දනාවේ යන්න ලැබුනා. මම නම් ගියේ නෑ. අම්ම විතරයි. අම්ම ගෙදර එනකක් අපි උන්නෙ බයේ ගැහි ගැහී...
ReplyDeleteමම නම් ගියේ එකම එක සැරයයි. ඒ ගිය වුරුද්දේ අගෝස්තු මාසයේදී... ඒ ගමන ගැන මට නම් ලියන්න ලැබුනේ නෑ. එතකොට මට බ්ලොග් එකක් තිබුනේ නෑනෙ...
ඔය කූඩාරම් ගැන අම්මත් කියනවා. අපි නම් ගිහින් උන්නේ පල්ලිය ලඟ කුලියට ගත්ත ගෙවල් වල... පලු වීර ගස් එහෙම දැක්කා. ගෙඩිත් කන්න ලැබුනා... අපි යද්දී පෑවිල්ල නිසා වතුර එහෙම අඩුයි. ...
පූජාව තියලා ඉවර වෙද්දී මගෙ ඇස් වලත් කඳුළු...අනේ මන්දා ඒ ඇයි කියලා...ආයෙමත් යන්න ආසයි..ලඟදිම යන්න බලාපොරොත්තුව ඉන්නවා...
දේව මෑණියන්ට කැප කළ පල්ලි ලංකාවෙ ඕන තරම් තියෙනවා. ඒත් මඩු පල්ලියෙදි මේ දැනෙන විශේෂ හැඟීම සමහර විට පරම්පරා ගාණක් තිස්සෙ අපේ හිත්වල පැලපදියම් වුණු භක්තියත්, ආදරයත් එක්ක මුහු වෙලා එන හැඟීමක් වෙන්න ඇති.
Deleteලංකාවේ හතර කොනේම ඇවිදල තිබුණත් මම තාම මඩු ගිහින් නෑ. මේ ලිපිය කියෙව්වම යන්නම හිතෙනවා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
මඩු පල්ලිත් ගිහින් එන්න.. ඒ ගැන ඔබේ අදහසත් ලියන්න.
Deleteආගම්වාදී ප්‍රශ්ණ ගැනනං කතාකරලා වැඩක් නෑ...
ReplyDeleteධර්මය කියන්නෙ ප්රරශ්නවලට විසඳුමක් මිසක ප්රබශ්න ගොඩක් නෙමෙයිනෙ. ඒත් ඉතින් දැන් තියෙන්නෙ ධර්මය නෙවෙයිනෙ ආගමික ආයතනනෙ. ආයතනවල බලය රැක ගන්න බෙදීම් ඇති කරනවා. ගොඩ වැඩි කර ගන්න හිතලයි එහෙම කරන්නෙ. ඒත් වෙන්නෙ මිනිස් සම්බන්ධතා, වටිනාකම් කැඩිල බිඳිල සුණුවිසුණූ වෙලා යන එක.
Deleteමඩු පල්ලි යාම ගැන නම් කියන්න කතා ගොඩාරියයි.. ආච්චිලාගෙ අම්මලාගෙ කතාවල ඉඳන් ලොකු ඉස්ටෝරියක් තියෙනවා.. මමත් කොටි ඉන්න කාලෙ නම් ගියා.. ඊටපස්සෙ යන්න වුනේ නෑ..
ReplyDeleteමෙන්න ඒ ගමන ගැන ලියපුවා..
http://dreamsofharee.blogspot.com/2012/02/5.html
තාත්තගේ බලාපොරොත්තුව ඉටුවීම ගැන නම් සන්තෝසයි..
ඔයාගෙ මඩු පල්ලි අත්දැකීමත් මම කියවන්නම් මල්ලි. ඇත්තටම පස්සෙ තමයි මටත් හිතුණෙ තාත්තට ඒක කොයි තරම් ලොකු දෙයක් වෙන්න ඇත්ද කියල.
Deleteහරිම සංවේදියි අන්තිම ටික. මටත් කඳුළු එනවා තව ටිකෙන්. ඔන්න ඒකෙන් මේකෙන් තරු අක්කගේ වයසත් දැන ගත්තා :)
ReplyDeleteමම ලොකු අක්ක කෙනෙක් නේද? මම 78 ඉපදුණේ නංගි.
Deleteඔහ් ලොකු අක්කා කෙනෙක් නේන්නම්..අනේ ඇත්තටම මම හිතාගෙන හිටියේ නංගි කෙනෙක් කියලා. ඒකයි තරු කියලා කතා කරේ...
Deleteඅපි එක එක්කෙනා වෙන වෙන ආගම් ඇදහුවත් අපේ ආගමික ස්ථානයකට ගියාම අපිට දැනෙන හැඟීම ගොඩක් දුරට එක සමානයි නේද?
ReplyDeleteඒක ඇත්ත.. මම ගොඩක් ආසයි පන්සල් යන්නත්. හැබැයි කොතැන වුණත් සෙනග අඩු නිස්කලංකගතියක් දැනෙනවට තමයි මම කැමති.
Deleteoyage kathawa ahuwama akke aththamai matath madu palli yanna asa hithuna. eth eka kawadawath haba nowena hinayak bawa mama dannawa.mokada ape agame hatiyata api wandanawe yanne anuradapure, polonnaruwa, kataragama wage than walane. apita thiyena welawath ekka e than wala yanneth harima aduwen. e nisayi madu palli gamana hinayak kiwwe.
ReplyDeleteයාපනේ පැත්තෙ චාරිකාවක් යන අතරෙ මඩු පල්ලියටත් ගිහින් එන්න පුළුවනි නංගි. හැබැයි බලන්න නම් විශේෂ දෙයක් නැහැ. කිතුනු අයගෙ වන්දනා ස්ථානයක් කියන හැඟීමෙන් ගිහින් බලල එන්න පුළුවනි.
Deleteමඩු පල්ලි වගේම තේවත්තේ බැසිලිකාව බලන්න යන්න ටික කාලයක ඉදන් හිතේ තියෙනවා. මඩු පල්ලි කෙසේ වෙතත් මුලින් තේවත්තේ හරි ගිහින් එන්න ඕනේ
ReplyDeleteඔයා ගොඩක් දවසක ඉදන් තේවත්තෙ පල්ලි යන්න ඕන කියනවා නේද? ගොඩක් ළඟයිනේ මල්ලි.
Deleteමම මඩුපල්ලි ගයා යුද්දධ සහමුලින්ම අවසන්වෙලා මාස දෙකකට විතර පස්සේ..ඒ අත්දැකිම නම් නියමයි. අලුයම 5 ට මඩු පල්ලියට ගිහින් උදේ පූජාවටත් හිටියා. සාමාන්‍ය ජනයාගෙන් තොරවූ සමයක් නිසා රිසි සේ වැඳ පුදාගත්තා. මම බෞද්ධයෙක් හැටියට දේවස්ථානය භාරව සිටි සිංහල පූජකතුමාටත් එදා නම් සෑහෙන්න සතුටුක් දැනුන බව තේරුනා උන්වහන්සේ ගෙන් මම විමසපු දේවල් ගැන පිලිතුරු දෙනකොට
ReplyDeleteඅයියත් නොගිය තැනක් නැහැ වගේ. මම තාම සිරීපාදේ ගිහින් නැහැ. ලබන අවුරුද්දෙවත් යන්න ඕන.
Deleteඅගෙයි
ReplyDeleteආරධනාවට තරු රසි වෙත යොමුවුනා ලියන්න මම හැමදාමත් ඇවිත් යන්නම්.
ReplyDelete