අපේ පවුලෙ
අය මඩු පල්ලි ගියේ ඇත්තටම ලොකු භක්තියකින්.. ආදරයකින්... අරක්කු සිගරට් බොන
කවුරුවත්ම හිටියෙත් නැහැ අපේ නඩේ. ඒ නිසාමද මන්ද? වැස්සත් අපිට කරුණාවන්ත වුණා. ඉර
අපිත් එක්ක හිනාවුණා. මොකද අපි පල්ලියට ගිහින් ටික වේලාවකින් පෑව්වට පස්සෙ ආයෙම
වහින්න පටන් ගත්තෙ අපි පහුවෙනිදා පල්ලියෙන් පිටත් වෙලා එද්දි. ඒ නිසාම නැවුම් අව්
රැල්ලෙන් මුලදි තෙතබරිත කිළිටි පරිසරය නිසා දැණුනු අප්‍රසන්න ගතිය මැකිල ගියා.
අපි මඩු
පල්ලියෙන් පිටත් වෙලා ඒ ළගපාත තිබුණු අළුතෙන් හැදුව පල්ලියක් බලන්න ගියා. ඒ
පල්ලියත් යුද්දෙ වෙලාවෙ සුන්බුන් ගොඩක් වෙලා. මාස අටක් වගේ කෙටි කාලයකින් විශාල,
ඉතාම අලංකාර පල්ලියක් ගොඩ නගල තියෙනවා නැවත. අල්තාරය ඉදිරියේ පූපය අතින් ගත්
ජේසුගේ රුව අතිසුන්දර සුවිසල් ලී කැටයමක නිරෑපණය කරල තියෙනවා.. කොතරම් විශාල
මුදලක් වැය වන්නට ඇත්ද?
පල්ලි
පන්සල් හැදෙන්නට ඕන තමයි.. ඒත් ඉතින් වැඩියෙන්ම හැදෙන්න ඕනෙ මිනිසුන්ගෙ අධ්‍යාත්මය
නේද? ගොඩ නැගෙන්න ඕන මනුෂ්‍යත්වය නේද? යුද්ධය නිසා අසරණ වුණු මිනිස්සු තාමත් ටකරන්
මඩුවල.. අව්වෙන් වැස්සෙන් පීඩා විඳ විඳ ඉන්නවා. තමන්ගේ ගම්බිම්, ගේදොර අහිමිව අසරණ
වෙලා ඉන්නවා කිසිම දෙයක් කර කියා ගන්න නොහැකිව. එහෙම වටපිටාවක මහ විසාල පල්ලියක්
ඇතුළෙ වැඳ වැටුණම දෙවියන් අපිට ආශිර්වාද කරයි කියල හිතන්නෙ කොහොමද? මං දන්නවා මගේ
හිත මෙහෙම හිතුවට ඒ පැත්තෙ යුද්දෙන් බැට කෑව මිනිස්සු නම් තමන්ට යන එන මං නැති
වෙලා දෙවියන්ට මහ මන්දිරයක් හැදුණට කවදාවත් අහිතක් හිතන්නෙ නැහැ.
මඩු
පල්ලියෙන් පිටත් වෙලා තලෙයි මන්නාරම් යන අදහසිනුයි අපි ඉදිරියට ගියේ. නමුත් දිගටම
මහ වැස්ස. මග දිග හරිම පාළුයි. පාරවල් නම් ඉදි වන බව පේනවා. ඒත් තැනින් තැන තිබුණ
ටකරන් මඩු, දිළිඳු පැල්පත් අපේ රටේ සංවර්ධනය සාමාන්‍ය දුප්පත් මිනිස්සුන්ගෙ
ජීවිතවලින් කොයි තරම් ඈතද කියන එක නැවත නැවත සිහිගැන්වුවා. මට හිතා ගන්න බැරි උණා
ඒ පැත්තෙ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද කියල? හේන් ගොවිතැනින්ද? කුලියක් මලියක් කර
ගන්න පුළුවන් බවක්වත්, රස්සා කරන්න කර්මාන්ත ශාලා ඇති බවක්වත් පෙණුනෙ නෑ. නිදැල්ලේ
හැසිරුණු හරක් රංචු... නිරන්තරයෙන් හමා ආව තෙත ගොම ගන්ධය, ඉඳ හිට පාර දෙපස මුණ
ගැහුණු එළු රෑන් එක් ජීවනෝපායක් ගැන ඉඟියක් දුන්නා... ඔවුන්ගේ ජීවිත බෙහෙවින්ම
දුෂ්කර ඇති.
මන්නාරම්
යන අතරෙ යෝධ වැවත් දැක බලා ගත්තා. අපූරු දර්ශනයක්.. යෝධ වැව වැස්සෙන් ආශිර්වාද ලබල
තමන්ගෙ යෝධ බව පෙන්න පෙන්න බොහොම ආඩම්බරෙන් උන්නා.
මහ වැස්ස නිසාම තලෙයි මන්නාරම් යන අදහස
අත් හැරල අපි තාල්පාඩු වෙරළ සොයන්නට පටන් ගත්තා. අපි කාටවත් දෙමළ දන්නෙ නැහැ.
හමුවුණ ගොඩක් අයට සිංහල දන්නෙ නැහැ. භාෂා ප්‍රශ්නය නිසාම අපිට මුහුදු වෙරළ හොයා
ගන්න බැරි උණා. එක් පාරක් ඉවර වුණේ කලපුවක් වැනි තැනකින්. වාහනෙන් බැහැල බලපු
මල්ලි කිව්වෙ ඒක ඔයක් කියලයි. ඉතින් අපි ආපහු හැරුණා. මගදිත් දැන ගන්නට ලැබුණෙ අපි
ගියේ නිවැරදි පාරෙ බව. ඒත් මුහුදු වෙරළ අපෙන් මග හැරුණා.
මන්නාරමේදි ආසියාවේ විශාලම ගහ ( මම හරිද
දන්නෙ නැහැ), දහදෙනෙකුටවත් බදන්න බැරි විශාල බයෝබැබ් ගහ දැක බලා ගත්තා. ඒ වෙලාවෙ
හොඳටම වැස්ස. ඒ නිසා වාහනේ ගහ වටේ කැරකිලා ගහ පෙන්නල එක්කරන් ආවා.
බොන වතුර ඉවර වෙලා අපි හරි පිපාසෙන්
ඉද්දි ආයෙමත් අපේ වතුර බූලිය පුරව ගත්තෙ මන්නාරම රදගුරු නිවසින්. ඔයාල දන්නවනෙ
මන්නාරමේ රදගුරුතුමා රායප්පු ජෝෂප් රදගුරුතුමා බව. දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම්
වෙනුවෙන් පෙනී ඉන්න ආන්දෝලනාත්මක චරිතයක්නේ.
හැමදේම වෙන්නෙ හොදටයි කියනවනේ. රෑ අටට
විතර මැදවච්චිය පල්ලියට ආවට පස්සෙයි අපි දැන ගත්තෙ කුණාටු තත්වයක් තියෙන බව. මුහුද
රළු බව. ඉතින් හැමෝම මල්ලිට විහිළු කළා ‘‘ ඒක තමයි ජේසු ඔයාට මුහුද ඔයක් කරල
පෙන්නුවෙ කියල ” නැත්නම් අපේ අය මුහුදෙ නාන්න ගත්ත නම් කොහෙන් කෙළවර වේවිද දන්නෙ
නැහැ.
මැදවච්චියෙ පල්ලියෙ ඉන්නෙ මම කාලයක් සිට
දන්නා හඳුනන ගරු ලක්සිරි පියතුමා. මම මල්ලි කියල අමතන හිතවත් පියතුමෙක්. ඒ වගේම
පියතුමාගෙ අම්මත්, ඩේමියන් සහෝදරතුමත්, කාරුණික සිස්ටර්ල දෙන්නෙකුත් අවේලාවෙ කඩා
වැටුණ අපට ගොඩක් උදව් වුණා. පහුවෙනිද උදේ පියතුමා අපි වෙනුවෙන්ම දිව්‍ය පූජාවකුත්
තිබ්බා.
රසවත්ම කතන්දරේ තියෙන්නෙ මැදවච්චියෙන්
පිටත් උණාට පස්සෙ. අපි පිටත් උණේ දවල්ටත් බත් උයාගෙන, පූජාවටත් සහභාගි වෙලා එකොළහට
විතර. ඔන්න අපේ කට්ටියට ඕනලු හොඳ පිට්ටනියක් සෙල්ලම් කරන්න. ගඟක, වැවක, ඇලක දොලක
බැහැල ඇති වෙන්න නාන්න ඕනලු. මේ විදියට වැඩ සිද්ධ උණොත් ගෙදර යන්න වෙන්නෙ මහ රෑට.
ඊළග දවසත් නිවාඩු දාන්නයි වෙන්නෙ. ඉතින් මම කිව්වා මම අනුරාධපුරෙන් කෝච්චියකට හරි
බස් එකකට හරි නගින්නම් කෙළින්ම කොළඹ යන්න... ඔයාල ඇති වෙන්න සෙල්ලම් කරල, නාලා
හිතුණු වෙලාවක ගෙවල්වලට යන්න කියල.
අනුරාධපුරෙන් කෝච්චි බැලුවම පැය දෙකකට
පස්සෙලු කෝච්චි තියෙන්නෙ. කට්ටිය කියනවා තව දුරක් යන් කියල. මොකද මම තමයි ප්‍රධාන
ගායිකාව.. ඒ වගේම මුල ඉඳන් අගට සින්දුවක් පාඩමින් කියන්න පුළුවන් කෙනෙකුට හිටියෙත්
මම තමයි. අත්පුඩියක් ගහල ෂේප් වෙන අයයි, එහෙන් මෙහෙන් කෑලි අල්ලන අයයි තමයි වැඩි.
ශ්‍රාවක ප්‍රතිචාර නොසලකා හරින්නත් හොද නැති නිසා මම තව ටික දුරක් එයාලත් එක්ක
යන්න හිත හදා ගත්තා.
ඔන්න ඔහොම අපි තඹුත්තේගමටම ආවා. එතන
නැවැත්තුවෙ කැවිලි පෙවිලි ගන්න. ඒ අතරෙ කොළඹ බස් එකක් ගියා. ආයෙම මට හිතුණා මහ රෑ
ගෙදර ගිහින් පහුවෙනිද ආයෙ පාන්දර නැගිටගෙන, ගෙදර අයටත් කරදර දීල කොළඹ එනවට වඩා හොඳයි
දැන්මම කොළඹ බස් එකක නගින එක කියල. ඉතින්
කට්ටියට කියල සමු අරගෙන මගේ පොඩි ඇඳුම් කැඩුම් මල්ලත් අරන් මම වාහනෙන් බැස්ස.
කට්ටිය මට අත වන වනා යන්න ගියා. දැන් මට ඇෙඬන්න වගේ. පපුවෙ ගලක් හිර වෙලා වගේ.
ඇස්වල කඳුළු ගලන්න ඔන්න මෙන්න. ‘‘ මොන මෝඩකමක්ද මේ කර ගත්තෙ ” කියල හිතෙනවා. එක
දවසක් නිවාඩු දැම්මත් මොකද මට කට්ටියත් එක්කම ගෙදර යන්නනෙ තිබුණෙ. ඔය වගේ සිතුවිලි
වැල නොකැඩී එනවා.
ඒ අතරෙයි මට මතක් උණේ මේ යන කොළඹ බස්
කුරුණෑගල හරහා නුවර පාරෙන්නෙ කොළඹ යන්නෙ කියල. මදෑ... කර ගත්ත දෙයක්. ඒක මහ වටයක්.
කෙළින්ම අනුරාධපුරෙන් කොළඹ බස් එකක නැග්ග නම් එකම බස් එකයි කොළඹ නොගිහින්ම නවාතැන
කිට්ටුවෙන් බහින්න තිබුණා. දැන් ඉතින් මොනා කරන්නද? ගිය නුවණ ඇතුන් ලවාවත්
අද්දවන්න බැහැ කියනවනෙ. හොඳම දේ කුරුණෑගල ගිහින් එතනින් කොළඹ පහ පාරෙ යන එක. ඔහොම
තීරණය කරල මම කුරුණෑගල බස් එකක නැග්ගා. ටිකට් එකත් ගත්තා රු. 140. බස් එක හැටට
හැටේ වේගෙන් යනවා. ඒත් මගේ ඇස් දෙක මහපාරෙ ඇලවිලා. මග දිගටම අපේ කට්ටියගෙ වාහනේ හමුවෙයි
කියන බලාපොරොත්තුව හිතේ පොදි කනවා.
පැය භාගයක් විතර යන්න ඇති. මෙන්න දෙවියනේ
වාහනේ නවත්තල බඩඉරිඟු කඩයක් ළඟ. ‘‘ හා..... කට්ටිය මං නැතිව බඩ ඉරිඟු කනවා...”
කොහොම හිත හදා ගෙන යන්නද? දෙවරක් හිතුවෙ නැහැ මම. සමහරවිට මේ මග හැරෙන අවස්ථාව
නිසා සෑහෙන කාලයක් මගේ හිත දුක් වෙයි කියල හිතුණා. රියදුරු මහත්තයට කිව්ව මාව
ඉස්සරහින් දාල යන්න කියල. බස් එකෙන් බැහැල ආයෙම ආපස්සට පයින් ආවා බඩ ඉරිඟු කඩේ ළඟට
එනකල්... ඉන් පස්සෙ හිතා ගන්න පුළුවන්නෙ තත්වෙ. දෙවි පිහිටෙන් ආපහු බස් එකට නගින්න
හිතෙන තරමට විහිළු කළේ නම් නැහැ. කට්ටියම මං ආයෙම ගමනට එකතු වුණ එක ගැන සතුටු වුණ
බවයි පෙණුනෙ.
අතරමග පාර අයිනෙ තිබුණ ඉස්කෝලෙක පිට්ටනියකට
බැහැල ක්‍රිකට් ගහල, ලෙස්සල ගිහින් මඩේ වැටිලා මඩත් නාලා, අඹන්වැව නෑදෑ ගෙදරක
ගිහින් එහෙ වැවේ හිත පිරෙන්න නාල රෑ දහයයි ගෙදර
එද්දි. පහුවෙනිදා වැඩටත් ආවා කෙටි නිවාඩුවකින් ජාමෙ බේර ගන්න පුළුවන්
උණා...
( පින්තූර අන්තර්ජාලයෙනි. කැමරාව අරන්
ගියත් ෆොටෝ ගන්න උණේ බොහොම අඩුවෙන්. වැස්ස නිසත්, චූටි දෝණි නිසත්. කැමරාවක් දැක්ක
ගමන් එයාටත් ඕන වෙනවා ෆොටෝ ගන්න. කැමරාවේ හිතසුව පිණිස බෑග් එකේම තියා ගන්න සිද්ධ
උණා.. )
ඔබ මගේ කුතුහලය තවක් වැඩි කරවනවා.
ReplyDeleteකුතුහලය සන්සිදෙන්න නම් ගිහින් එන්නම වෙයි.
Deleteනියමයි :) සමහර වෙලාවල් තියනවා හිතට කැමති විදියට වැඩ කරන්න දෙන්න සිද්ධ වෙන...ඒ වගේ දේවල්වලට මමත් හරිම කැමතියි. අපේ ජිවිතේ කොච්චර කෙටියිද? ඉතින් දවස් බාගෙක නිවාඩුවක් වෙනුවෙන් අරවගේ සතුටක් අහක දාන්න පුලුවන්ද? මටනම් බෑ :)
ReplyDeleteඇත්තටම ඒ වෙලාවෙ බස් එකෙන් බැස්ස එක ගැන මං හරියට සතුටු වෙනවා. මගේ ඔය වගේ ඔලමොට්ටල මෝඩ වැඩ තියෙනවා. හිතේ සතුටට වඩා යුතුකම් වගකීම් ගැන හිතල වැඩ කළ නිසා මට ගොඩක් දේවල් මග හැරුණා කියල හිතෙනවා. දැන් ඒකටත් හරියන්න නිදහස්ව ජීවිතේ විඳිනවා මම.
Deleteකතාව මැවිලා පේන්ඩ ලියලනෙ හරිම ආසා හිතුනා.. ඒත් ඔය වගේ හදිසි ගමන්වලට වඩා මම නම් කැමති දවස් ගානක් නැවතිලා කූඩාරම් ගහගෙන ඉඳලා එන්න.. ඒත් ඉතින් රස්සාත් එක්ක එව්වා කොහේ කොරන්නද?
ReplyDeleteපල්ලි පන්සල් ගොඩනැඟීම ගැන මටත් තියෙන්නෙ අක්කගෙ අදහසම තමයි..
බස් එකට නැගපු කතාව නම් පංකාදුයි.. මමත් ඔය වගේ හදිසි තීරණයක් ගත්තොත් ඒක ගොන්ම ගොන් තීරණයක් වෙලායි නවතින්නෙ... බැහැලා ආපු එකට නං හිනා ගියා.. බඩ ඉරිඟු හින්දද කට්ටිය හින්දද? :)
මමත් ආසයි නිදහසේ කරන සංචාරයට .. ඒත් රස්සාවයි අනිත් වැඩයි නිසා ටිකක් අමාරුයි කාලය හොය ගන්න එක.. මම බස් එකෙන් නම් බැස්සෙ බඩ ඉරිඟු නිසා නෙවෙයි මල්ලි. කට්ටියව දාල යන එක ගැන දුක හිතුණ නිසා..
Deleteමරු ගමනක් නේ. මෙහෙම ගමනක් යන්නත් ආස හිතෙනවා.
ReplyDeleteගමන් බිමන් යන එක හිතට ගතට දෙකටම හොඳයි මල්ලී... ඒ නිසා කොහොම හරි අවස්ථාව හොයා ගන්න.
Deleteමගදි ආපහු වාහනේ හම්බවෙච්ච වෙලාවේ පුදුමයි කට්ටිය වැඩිය මොකුත් නොකිය හිටියා
ReplyDeleteඒක නම් මටත් පුදුමයි තමයි.. මම හිතන්නෙ මම ආපහු ආව එක ගැන සතුටට වෙන්න ඇති.
Deleteගමන ගැන විස්තර කරනකොට හරිම ආසයි. අපේ කට්ටියත් මේ දවස්වල ප්ලෑන් කරනවා යන්න..ඒත් මම නම් කැමති අගෝස්තු මාසයෙදී යන්න. පල්ලියේ මංගල්‍යයටත් එක්කම..බලමු මේ වගේ සුන්දර අත්දැකීමක් විඳගන්න...
ReplyDeleteමංගල්යවයට නම් ගොඩාක් සෙනග ඉඳියි නංගී.. ඒත් මංගල්ලෙට යන එකත් හරිම අපූරු අත්දැකීමක් වේවි. මංගල්යව පූජාව අවසානයේ පල්ලියෙන් සමුගැනීමේ සහ ආශිර්වාද ලබා ගැනීමේ යාච්ඤාව කියද්දි මිනිස්සු අඬනවලු. ඒ යාච්ඤාව හරිම හැඟීම්බරයි...
Deletemamath hath ata wathawakma gihin thiyenawa :)
ReplyDeleteපුංචි කාලෙ ගියාට පස්සෙ මම නම් මේ ගියාම තමයි.
Deleteගමනක් යන්නෙ විනෝද වෙන්න මිස ඉක්මනින් එන්න නෙවෙයි.කවදා ආවත් ගිය කාන්ඩය රක්කම ආපහු එනවා..
ReplyDeleteතරු ඇවිත් තියෙන්නේ මට හුරු පුරුදු පාරකින්.. අනුරාධපුර, තලාව, තමුත්තේගම, ගල්ගමුව,අඹන්පොල දලදාගමමිනුවන්ගැටේ පාදෙනිය හරහා. නියම ගමන දැන්නම් පාර හයිවේ කරලානේ.