ඊයෙ බෝඩිමට හොරු පැනල. මගේ කාමරේ පිස්සන් කොටුවක්
වගේ අවුස්සල දාලා... සන්තකේට තිබුණ පුංචි පුංචි රත්තන් බඩු කෑලි ටිකයි, අත්
ඔර්ලෝසු තුනකුයි තව ඉමිටේෂන් මාල වලලු කරාඹු ඔක්කොමයි අරන් ගිහින්... කුඩු ටිකකට
සල්ලි හොයන්න ඕන උන කෙනෙක් වෙන්න ඇති.
හිතට හරි දුකයි. පුංචි මාල පෙත්ත ගත්තෙ මම 10 පන්තියෙ විතර ඉද්දි පොතේ එකතු වෙලා තිබුණ ශිෂ්‍යත්ව
සල්ලි අරන්..... පුංචි ලස්සන කුරුසිය මගේ මම්මා දුන්නු තෑග්ගක්... ඒකත් අවුරුදු
විස්සක් විතර පරණයි. සුදු ගල් අල්ලපු කරාඹු කුට්ටමට මං හරිම ආසයි. මුද්ද ගැන,
අනිත් දේවල් ගැන හිත හදා ගන්න පුළුවන් වුණත් අර මාල පෙත්ත, කුරුසිය, කරාඹු දෙක
තමයි හැම වෙලේම හිතේ මැවෙන්න. මේව වටින්නෙ රත්තරං නිසාම නෙවෙයි. ඒවත්
එක්ක බැදුණු මතකයන් වගේම දාඩිය මහන්සිය නිසා.
අතීතයට එක් වුණු ආදර කතාවක සුන්දර මතක සටහනක් වුණු අත්
ඔර්ලෝසුව ලැබුණු දා අතේ දාලා හැඩ බැලුව විතරමයි. ඒක කවදාවත් අතේ බඳින්නෙ
නැහැ කියලයි හිතන් හිටියෙ. දැන් ඉතුරු පෙට්ටිය විතරයි... ඒ ගැන නම්
හිත හදා ගන්න පුළුවනි. ආදරය නැති කොට තෑගි මොකටද?
හැමදෙයක්ම අනිත්‍යයිනෙ කියල හිත හදා ගන්න හැදුවට හිත
දුකින් බරවෙන එක නවත්තගන්න පුළුවන්කමක් නෑ. ඒත් මට නැති උණේ නම් මොනාද කියල
හිතුණෙ, වෙච්ච ඇබැද්දිය බලන්න ගෙදරට ආව කෙනෙක් නිසයි. අද උදේ අපේ ෆාද මල්ලි
( බෝඩිමේ ඇන්ටිගෙ පුතා ) ත්‍රීවීලයකින් ආවා අපේ දුක සැප බලන්න. එයා ආව ත්‍රීවීල්
එකේ ඩ්‍රයිවර් ළාබාල තරුණයෙක්. ආපහු යද්දියි දැක්කෙ කකුලක කොරයක් තියෙන වග.
‘‘ ඇයි මල්ලි කොර ගහන්නෙ” මම ඇහුවා.
‘‘ ඇක්සිඩන්ට් එකක් උණා අක්‍කෙ. බස් හෝල්ට් එකේ ඉද්දි
කාර් එකක් යට කර ගෙන ගියා. ” ඔහු කලිසම්
කකුල නවල පෙන්නුවා. පව් දෙයියනේ විලුඹ කොටේ විතරයි තියෙන්‍නෙ. දරු දෙන්නෙකුත්
ඉන්නවලු. ත්‍රීවීල් එකෙන් තමයි ජීවත් වෙන්නෙ.
ඒ මල්ලිට නැති වෙලා තියෙන දේ හැටියට මගේ රත්තරං මොනාද
රත්තරං කියල හිතුණා.
මේ වගේ දුක් අමාරුකම් මැද දාඩිය මහන්සියෙන් ජීවත්
වෙද්දි තරුණ පිරිසක්... තවත් තරුණ පිරිසක් හොරමැරකම්, අපරාධවලට යොමු වෙලා ඉන්නෙ
කාගේ වරදින්ද? සමස්තයක් විදියට දැන් අපේ රටේ අපරාද වැඩියි. හොරකම් වැඩියි. මේ
පිරිහීම වළක්වන්න නීතිය, පොලිසිය විතරක්ම මදි කියලයි මට හිතෙන්නෙ.
මනුස්සකම සංවර්ධනය කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ආගම
දහම, පාසල, පවුල, මාධ්‍ය, රජය මේ හැම දෙනාම එකාවන්ව එකමුතු වෙලා තමයි මේ ව්‍යාපෘතිය
දියත් කරන්න ඕන. ඒක ඉතින් කොන්ක්‍රීට් සංවර්ධනේ තරම් ලේසි නැහැ. කොමිස් ගහන්න
විදියකුත් නෑ. ක්ෂණිකව ලාබ ලබන්නත් බැහැ. කැපවීමයි, හොද හිතයි, ඉදිරි දැක්මකුයි තියෙන්න
ඕන.
හනේ..අක්කට වෙච්ච දේ ගැනනම් දුකයි. ඇත්තටම ඒ වගේ බඩු වල වටිනාකම දැනෙන්නේ සල්ලිවලට නෙමෙයි හිතට. අන්තිමට ලියපු ටිකනම් ඇත්ත තමා. මිරිවැඩි සඟලක් ඉල්ලා ඇඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා කියලා සින්දුවක් තියෙන්නේ..
ReplyDeleteහැමදේම අනිත්‍යයි.
ReplyDeleteඒ නිසා නැති වෙච්ච දේවල් වලට වඩා අපට ලැබිලා තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඕන. නමුත් අපේ කරුමෙකටද මන්දා අපට හිතෙන්නෙම නැති වෙච්ච දේවල්මයි. ඒ අතින් අර මනුස්සයාට නැති වෙච්ච දේ ගැන නම් දුකයි.
හ්ම්ම්ම් ඔවා ඉතින් කරන උදවියට පල දෙනවමයි... කර්මය කියලා දෙකුත් තියනවනෙ
ReplyDeleteජීවිතේ අපි කාටවත් තින්දු කරන්න බැ. සංසාරෙක හැටි..
ReplyDeleteඑන්න සමකය වටේ (samakaya wate)යමු රවුමක්
අනේ..තරූ අක්කා.. රත්තරන් ටික ගැන මටත් දුක හිතුනා. මගේ කරේ තියෙන්නෙ මම ලොකු ළමයෙක් වෙච්චි වෙලාවෙදී අම්මා දාපු චේන් පොටක් මම ඒක රැකගෙන ඉන්නෙ පණ වගේ... ඒක දවස් බිම වැටිලා මම දන්නෙවත් නැතුව...අඬ අඬ ඒක හෙව්ව හැටි මට තාම මතකයි..ඒදා මට ඒ දැනුන දුක මොනතරමක්ද....
ReplyDeleteදැන් මොනවා කරන්නද...
හැම පුංචි දෙයක් එක්කම මතක සටහනක් තියෙන නිසා නැති වීම දරාගන්න අපහසුයි. ඊටත් වඩා දේවල් නැති වුණු කෙනෙක් දැක්කහම අර හැඟීම යට යනවා. මම වරක් දැක්කා අත් දෙකම හා කකුලකුත් අහිමි වුණු අවුරුදු 20ක සොල්දාදුවෙක්. එයාව දකින අපට විශාල දුකක් ඇති වුණත්, එයා හුඟක් ධෛර්යසම්පන්නයි.
ReplyDeleteහොරකමට වංචාවට හුඟක් වෙලාවට පාදක වෙන්නෙ, රස්සාවක් නැතිකමට වඩා "ඉක්මන් සල්ලි" හොයන අවශ්‍යතාවයම තමා.
හරි අපරාධයක්නේ . අතීත වටිනාකමක් එක්ක සබැඳුන කුඩා දෙයක් වුනත් නැති වුනහම දුක තමයි . තරු හිත හදාගත් උපේක්ෂා සහගත බවට මන් කැමතියි
ReplyDeleteමතකයන් එක්ක බැදුණු දේවල් නැති වුනාම හරි දුකයි තමය.... ඒත් ඉතිං හිත හදා ගන්නවා ඇර කරන්න දේකුත් නෑනේ... අර තරුණයා ගැන නම් දුක හිතුනා...
ReplyDeleteඇත්ත තමයි අනේ මන්දා. අපිට දෙයක් නැති උනාම අපි දුක් වෙනවා එත් අපිට වඩා දෙවල් නැති වෙච්චි මිනිස්සු ඉන්නවා නේද කියලා හිතෙද්දි දැනෙද්දි අපේ දුක දුකක්ද කියලා හිතෙනවා. හ්ම්ම්...
ReplyDelete