පිටු

Monday, November 12, 2012

මළවුන්ගෙ මාසේ මතක සැමරුම්




ජීවිතය තාවකාලික නවාතැන්පළක් පමණි. ආ‍වොත් යා යුතුමය. පැමිණීම ඉපදීම ලෙසත් සමුගැනීම මරණය ‍ලෙසත් අපි හඳුන්වමු. සමුගත්තවුන් මළවුන්ය. මැරුණ අය මත්තේ නහින්නට ඕනෑ නැතැයි අ‍පේ ගම්වල මතයක් ති‍බේ. නමුත් මළවුන් අමතක කර දැමීම සුදුසු නැත. ඔවුන් වෙනුවෙන් පින් දහම් කරමින්, යාච්ඤා කරමින් යන තැනක සතුටින් අළුත් දිවියක් ආරම්භ කරන්නට ඔවුන් ගේ සිත් පහන් වන ‍සේ කටයුතු කිරීම ජීවත් වන්නවුන්ගේ වගකීමකි.

ඉල් මහ කිතුනු බැතිමතුන් වි‍ශේෂාකාර‍‍යෙන් මළවුන් සිහිපත් කරන සමයයි. මළවුන් වෙනු‍වෙන් පින් දහම් කරන කාලයයි. මළවුන්ගේ මාසය ගැන ලියැවුණු හරීගේ හීනලන්තයේ   සටහන බලන්න. ධර්මෝපදේශකයාගේ මළවුන් සිහිගන්වන නොවැම්බරය බලන්න. ඔබට මළවුන්ගේ මාසය ගැන බොහෝ තොරතුරු දැන ගන්නට ලැබේවි. ( මෙම තොරතුරු ලබා දුන් හරී මල්ලීට බෙහෙවින් ස්තුතියි. )

ඉහත සටහන් හේතුවෙන් මළවුන්ගේ මාසය පිළිබදව මා නැවත නැවතත් ලිවිය යුතු නැතැයි සිතේ. මළවුන්ගේ මාසයේ මගේ අත්දැකීම් ඔබ හා බෙදා ගන්නටයි මගේමේ වෑයම. පුංචි කාලයේ මළවුන්ගේ මාසය ඉමහත් ආශාවෙන් පිළිගැනීමට අපට හේතු දෙකක් තිබිණි.

පළමුවැන්න දිනපතා සැඳෑවේ යාච්ඤා කරන්නට සිදු වන කාලය අඩුවීමය.  එදවස අද මෙන් රූපවාහිනියට නිවෙස්වල තැනක් නොවිණි. සෑම දිනකම සැඳෑවේ කිතුනු නිවෙස්වල ජපමාලය උච්චාරණය කරන්නට කාලය වෙන්විය. මෙය දේව මාතාවන් වෙනුවෙන් සිදු කරන යැදුම් පිළිවෙතකි. නවගුණවැල ගනිමින් භාවනා කිරීම හා සමානය. මේ සඳහා පැය භාගයක්වත් ගත වේ. පුංචි අපිට කඩිකුලප්පුවය. එක තැනක පැය භාගයක් සිටීම ඉතාමත් අසීරුය.  එනිසා මේ යැදුම් කාලය පුංචි අපට කටු ඔටුන්නක් මෙන් විය. මළවුන්ගේ මාසයේදී කියන්නේ පුංචි කොන්තයයි. කොන්තයේ සෑම බුබුලක් පාසා කියන්නේ.. ‘‘ ජේසුනී මරියනී” – “ ජේසු මරිය ජුසේතුමෙනි” යනුවෙන් පමණි. ඉතින් මළවුන්ගේ මාසයේදී ජපමාලය කීමට පැය කාලක්වත් ගතවන්නේ නැත. මෙය අපට ඉතාමත් ප්‍රීතිමත් කාරණයක් විය.

අනෙක් සතුට නම් මළවුන්ගේ මාසයේදී බොහෝ විට කන්නට ලැබෙන කෙසෙල් කොලේ ඔතන ලද දානෙ බත් මුලයි. ඒ බත් මුලේ සුවඳ, රසය සිහිපත් කිරීමද චමත්කාරයකි.

අපි පුංචි කාලයේ මළවුන්ගේ දානය දෙන දවසේ ළඟම ඥාතීන් නිවසට රැස් වේ. දානය පිසින්නේ සැමගේ දායකත්වයෙනි. වැඩිහිටියන් ඉවුම් පිහුම් සහ අනෙකුත් රාජකාරි සිදු කරන අතරේ ළමා අපි සිත් සේ සෙල්ලම් කළෙමු. අපට ඇරයුමක් ලැබෙන්නේ දානය බෙදන්නට පෙර සිදු කරන යාච්ඤාවට සහභාගි වීමටයි. මෙහදී මළවුන් වෙනුවෙන් විශේෂයෙන් කරන යැදුම් පවතින අතර, දානය ආසිරි ගැන්වීමද සිදු වේ. දානය බෙදන්නේ යාච්ඤා කිරීමෙන් අනතුරුවය.

දානය දීම සඳහා තෝරා ගන්නේ දුප්පතුන්ය. එසේත් නැතිනම් මිය ගිය ඥාතීන් හා සම වයස් මට්ටම්වල සිටින අයය. පවුලේ ආර්ථික ශක්තිය අනුව දානය දීම සඳහා තෝරා ගන්නා පුද්ගලයින් සංඛ්‍යාව තීරණය වේ.

දානය පිළිගැන්වීම

සාලයේ එක දිගට පැදුරු එළා දානය බෙදා දෙන අය වාඩි කරවන අතර ඔවුන් ඉදිරිපිට පත්තර පිටු හෝ වට්ටි තබා විශාල කෙසෙල් කොල එලනු ලබයි. ඒ මතට මුලින්ම බෙදන්නේ බත්ය. දානය පිළිගන්නා පුද්ගලයාගේ පවුලේ සංඛ්‍යාව සැලිකිල්ලට ගෙන ඔවුන් සියල්ලන්ට ප්‍රමාණවත් වන තරමට බත් බෙදීමට වග බලා ගැනේ. අනතුරුව එක් එක් අය විසින් ව්‍යංජන, අතුරු පස බෙදනු ලැබේ.  රෙදි පිළි පවා පිළිගන්වන අවස්ථා ඇත.



මෙහිදී දානය බෙදීමෙන් අනතුරුව එය ඉඳුල් කිරීම සිදු වේ. එයින් අදහස් වෙන්නේ දානය පිළිගත් තැනැත්තා එයින් බත් කටක් අනුභව කිරීමයි. අනතුරු කාඩ් බෝඩ් පෙට්ටිවල හෝ පන් පෙට්ටිවල සීරුවට අසුරන ලද දානෙ බත්මුල රැගෙන ඔවුහු පිටව යති. අද නම් ප්ලාස්ටික් බේසමට දානෙ බෙදන අවස්ථාද ඇත. ව්‍යංජන ෂොපින් කවරවල දමා බත්පතින් තබයි.

කෙසෙල්කොලයට බත් බෙදා ඒ වටා ව්‍යංජන බෙදූ එදවස අදට වඩා අපූරු යැයි මට සිතේ. ඒ බත් පතක් දිග හරින විට විහිදුණු සුවඳ ප්ලාස්ටික් බේසමකින් කෙසේ නම් ලබන්නද? ගමේ වැවේ නෙළුම් කොලවලින් අඩුවක් නොවුණු නිසා දානය බෙදන්නට අපි නෙළුම් කොලද විටක යොදා ගත්තෙමු.

නිවැසියන්, නෑ හිතවතුන් කෑම ගන්නේ දානය පිළිගත් අය නිවෙසින් පිට වු පසුවය. බොහෝ විට අසල්වැසියන්ට, ගැබිණි මව්වරුන්ට දානෙ බත්මුලක් ගෙන ගොස් දීමද සිරිතකි. දානෙ බත් එකක් පල්ලියේ පියතුමාටද යැවීම  සිදු වේ. ( මත්පැන් ගැන කිසිවක් නොලීවේ අප නිවසේ මත්පැන් පානය කරන කවුරුත් නොමැති නිසා අපේ දානය අමද්‍යප වන නිසා මිස දාන ගෙදරක මත්පැන් භාවිත නොවන නිසා නොවේ. )

දානය දීමෙන් පසු හවස් යාමයේ  පල්ලියේ මළවුන් තැන්පත් කර ඇති පිට්ටනියට ගොස් ඉටිපහන් දල්වා, යාච්ඤා කිරීමටද අමතක නොකළෙමු. සොහොන් පිටි කළඑළි වන්නේ මළවුන්ගේ මාසය එළඹෙන්නටත් මත්තෙනි. සොහොන් කොත්, සොහොන් ගෙවල් සුදු හුණු ගා පිරියම් කෙරේ. අළුත් පස් දමා මළවුන් වැළලූ තැන් නැවත සකස් කරනු ලැබේ. මුහුදුකරයේ නම් සොහොන් කන්ද නැවත සකස් කරන්නේ මුහුදු වෙරළෙන් ගෙනෙන සුදු වැලි දමා පිරියම් කරමිනි. එය සැබවින්ම අපූරු දසුනකි.

එදාට වඩා අද  සිරිත් විරිත් බෙහෙවින් වෙනස් වී ඇත. අපේ ගම්වල බොහෝ දෙනෙකුට හිතේ හැටියට දානෙ වේලක් දෙන්නට අද වත්කමක් නැත. ඇති හැකි අය දෙන්නේ දාන පාටිය. ඇති අයම කති බොති. හිත් රවටා ගන්නට කාට හෝ සුළුවෙන් දන් දෙති.

දානය උයන්නේ කෝකියෙකි. නැත්නම් කේටරින්ය. එදා පැවති සාමුහිකත්වය සහජීවනය අද නැත. කෙසෙල් කොලයේ බත්පත, ප්ලාස්ටික් බේසමට, ලන්ච් ෂීට් ෂොපින්කවරවලට මාරු වී ඇත.

වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් දුප්පත් පවුල්වලට ලබා දීමද දැන් බොහෝ විට සිදු වේ. එහි යහපත් පැතිකඩක් ඇත. දිළිඳු පවුලකට දින කිහිපයක් පිරිමසා ගන්නට එය ප්‍රමාණවත්ය.  වැඩිහිටි නිවාස, ළමා නිවාස සඳහා දානය දීමද සිදු වේ. තමතමන්ටම දාන පාටි දමා ගන්නවාට වඩා එයද හොඳය.

නමුත් මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම, සද්භාවයෙන් දානමාන දීම, දිව්‍ය පූජා පැවැත්වීම අද කාර්යබහුල ජීවන රටාවත් එක්ක වියැකෙමින් පවතී. එම නිසා කර ගන්නා පිනක් ජීවතුන් අතර සිටියදීම කර ගත යුතුය. මළාට පසු අප වෙනුවෙන් පින් දහම් කරන්නට කාලයක් හෝ වත්කමක් ඉදිරියේ ජීවත් වන පරම්පරාවන්ට ඉතිරි නොවනු ඇත.

21 comments:

  1. අන්තිම කොටසට නම් මම 1000% ක් එකඟයි අක්කේ. තමන් කරගත්තු දෙයක් තමා තමන්ට අන්තිමට ඉතුරු වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්තයි මල්ලී.. අපි කරන කියන දේ තමයි අපට ගෙනියන්න වෙන්නේ.

      Delete
  2. පහුගිය සතියේ මළවුන් සිහි කරලා අපේ ගෙදරත් දානයක් දුන්නා. ඒකට සහභාගි වෙන්නවත් මට ඉඩක් ලැබුනේ නෑ. දවස් කීපයක් රටින් පිටව උන්න නිසා. මළවුන්ගේ මාසයේදී සුසාන භූමියේදී සිදු කරන දේව මෙහෙයෙන් පස්සේ...ඉටි පහන් වලින් සොහොන් බිම ආලෝකමත්කරන දිහා බලාගෙන ඉන්න එදා ඉඳන්ම මම ආසා කලා.

    ReplyDelete
    Replies
    1. අඳුර වැටීගෙන එන වෙලාවට පිට්ටනියෙ ඉටි පන්දම් පත්තු කළාම අපූරු ලස්සනක් එනවා තමයි. ඒ වෙලාවට හිතෙන්නෙම නැහැ මේ ඉන්නෙ මළවුන් අතරනෙ... කියල...

      Delete
  3. හ්ම්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  4. බෞද්ධ මට මේ දේ නොතේරේ. ඒත් ඔබ හොඳ දෙයක් ලියා ඇත. සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ ඉන්නෙ සම්පූර්ණයෙන්ම බෞද්ධ පරිසරයක. ගමේ චාරිකාව ගැන කළ විස්තරය නිසයි මට එහෙම හිතුණෙ. ඒ නිසා මේ වගේ සිරිත් ආගන්තුක බවක් දැනීම සාධාරණයි. නමුත් ලිපිය බලල අදහස් දැක්වුවාට ස්තුතියි.

      Delete
  5. ටිකක් දිග කමෙන්ටුවක් දාන්න යන්නෙ සුදුසු නෑ කියලා හිතෙනවා නම් ඉවත් කරන්න..

    1.කතෝලිකයො තරම් මළවුන් වෙනුවෙන් වෙනත් ආගම් වල අය ක්‍රියා කරනවා මා දැක නෑ. මා දැක ඇති වෙනත් ආගමික අවමඟුල් චාරිත්‍ර වලට වඩා කතෝලික අවමඟුල් චාරිත්‍ර හරිම කෙටියි. ඒත් මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම නිතරම සිදුවෙනවා. මළවුන් වෙනුවෙන් මාසයක්ම වෙන්කොට තිබෙනවා. ඒ මාසයේදී මිනී පිටි සුද්ද පවිත්‍ර වෙනවා වගේම අක්කා කියන්නා වගේ දාන ධර්මත් දෙනවා.

    2. නමුත් මේ දාන මාන උපහාර මළවුන්ගේ මාසයටම සීමා කරන්නෙත් නෑ. මළවුන් වෙනුවෙන් වසර පුරාම දිව්‍යපූජා පැවැත්වෙනවානෙ. ඒ වගේ ඒ ඒ අය මියගිය දිනයටත් වෙනම දාන පැවැත්වෙනවා.

    3. //එදවස අද මෙන් රූපවාහිනියට නිවෙස්වල තැනක් නොවිණි.// මිනිසුන්ගේ සමාජීය ජීවිතය පරිහානියට ලොකු හේතුවක් උනා ඔය රූපවාහිනිය. ඉස්සර අපේ ආච්චිලා සීයලා පවුලේ අයවත් වට කරන් රෑට කොන්තේ කිව්වලු. ගමේ වැඩිහිටියො එකතුවෙලා රෑට සතුටු සාමිචියෙ යෙදුනලු. ආච්චිලා එහෙම එකතුවෙලා පැදුරු විව්වලු. ඒත් අද කෝ ඒ චර්‍යයා රටා. දැන් කොන්තේ කියන ගෙවලුත් බොහොම අඩුයි මම හිතන්නෙ. ඒකනෙ ඕකට යස්ස පෙට්ටිය කියන්නෙ.

    4. යාච්ඤා කරනවා කියන්නේ මරණවා වගේ වැඩක් තමයි... :)

    5. //දානය ආසිරි ගැන්වීමද // මේක කරන්නේ කොහොමද?

    6. //මිය ගිය ඥාතීන් හා සම වයස් මට්ටම්වල සිටින අයය// සම වයසේ වගේම අපේ පැත්තෙ නම් මියගිය කෙනාට හැඩහුරුකමින් සමානවීමත් බලනවා

    7. අවමඟුල් චාරිත්‍ර එපාම වූයේ පසුගියදා පැවති ආච්චීගේ අවමඟුලෙනි. අපේ තාත්තා වැඩිමලා වුවත් බාල සහෝදරයන්ට ඕනෑ වුනේ අලුත් පැෂන් අවමඟුලකි. මල බත ද කේටරින්ය. කන්න ඕනෑ පුටුවල ඉඳගෙනය. අර ඉස්සර කෙහෙල් කොළේ බිම ඉඳන් කෑම නැත. මම ලෙඩේ ඇද්දෙමි. ඕන එකක් කරගනිවු කියා ආවෙමි. එයින් පසු පැත්ත පළාතෙ ගියේ නැත.

    8. දාලා තියෙන පින්තූරෙ බත් එක නම් හොඳටම මදි. බත් කන්දක්නෙ බෙදන්නෙ. ඒ වගේම හොදි ජාති දහයක් විතරයි මස් ජාති තුන හතරකුත් ඕනනෙ. ම්ම් ..

    9.අපේ පැත්තෙ දානෙ දෙද්දි මියගිය කෙනා කන්න ආසා ඒවා දෙන්න වග බලාගන්නවා. මියගිය කෙනා නැටුම් තෙල් එහෙම ගන්න කෙනෙක් නම් ඒවාත් ලැබෙනවා දානෙට.

    10.//සුදු වැලි දමා// මූද නොතිබ්බට අපිත් සුදුවැලි දානවා..

    11. අක්කා කියන දැන් දානෙ වෙනස්කම් වලට අමතරව කිව්වොත් ලොකු දානෙ පාටි වල තියෙන තවත් එක් ලක්ෂණයක් තමයි දාන තරඟය. ගමේ අහවලා මෙහෙමයි දුන්නෙ මම ඊට වඩා දෙන්න ඕනෙ කියන හැඟීම. අනික එහෙම දෙන අය දෙන්නෙත් දුප්පතුන්ට නෙමෙයි. දුප්පතුන් දෙන්නෙකුට විතර දීලා ගමේ ඉන්න අනික් මුදලාලිලාට තමා දානෙ එක යවන්නෙ. ඇයි උඹට වඩා හොඳට මම දුන්නා කියන්න එපායැ.

    12. වියළි ආහාර දීම නම් අගය කරමි. නාස්තිය අවමය. දානෙයෙන් උපරිම ප්‍රයෝජන ලැබේ.

    13. දාන හෝ උදව් පදව් වලදී මම දැකපු තව දෙයක් තමයි උදව් අවශ්‍ය ළඟ ඉන්න නෑයා, සහෝදරයා, අසල්වැසියා නොපෙනීම. සමහර වෙලේට තමුන්ගේ සහෝදරයා එදා දවල්ට උයාගන්න සල්ලි නැතුව බඩගින්නෙ ඉන්න පුළුවන්. ඒත් හාල් ගෝනි ගනන් වැඩිහිටි නිවාස ළමා නිවාස වලට දෙන සහෝදරයෝ මම දැකලා තියෙනවා.

    14. //මළාට පසු අප වෙනුවෙන් පින් දහම් කරන්නට කාලයක් හෝ වත්කමක් ඉදිරියේ ජීවත් වන පරම්පරාවන්ට ඉතිරි නොවනු ඇත. // හොඳ අවස්ථාවක්.. ඔබේ ඥාතීන් වෙනුවෙන් පින් දහම් කරනු ලැබේ කියලා ව්‍යාපාරයක් කරන්න පුළුවන්.. :)

    15. අවසාන වශයෙන් මේ ලිපියෙදි මාව මතක් කළාට ස්තුතියි.. දීර්ඝ කමෙන්ටුව වෙනුවෙන් සමාව භාජනය කරන්න..

    ReplyDelete
    Replies
    1. දිග කමෙන්ටුවට ගොඩක් ස්තුතියි මල්ලී... මට අමතක වුණු කාරණා බොහොමයක් ඔයා මතක්කරල තියෙනවා.
      05. දානය ආසිරි ගැන්වීම අපි කරන්නෙ ‘‘ආශිර්වාද මාලාව” කියන යැදුම් පොතේ තියෙන යාච්ඤාවකින්. ඒක කෙටි යාච්ඤාවක්.

      08. පින්තුරෙ නම් අන්තර්ජාලයෙන් මල්ලි.. ඇත්තටම බත් කන්දක් තමා බෙදන්නේ.

      09. මිය ගිය කෙනා කන්න ආස ජාති හදල දෙනවා අපිත්.. නැටුම් තෙල් දෙන වෙලාවලුත් තියෙනවා දානෙට. මට අමතක වුණ කාරණා මතක් කළාට ස්තුතියි.

      ඔයා කියල තියන අනික් කාරණා එක්ක මම එකඟයි...

      Delete
    2. මේ වගේ සංස්කෘතී ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවද?

      නැටුම් තෙල් කියන්නේ මොනවද?

      අපි නම් කරන්නේ නැති බැරි අයට කෑම බීම හා ඇඳුම් අවශ්යාතා සපුරන එක. විශේශයෙන්ම ඇති අයට කෑම වේලක් දෙන්න අපි පෙළඹෙන්නේ නෑ.
      නොවැම්බර් පුරාම සොහොන් වලට මල් තියන එකත් අපි කරනවා. ඊට අමතරව අර කිවුවත් වගේ මිය ගිය අය වෙනුවෙන් හැකි සෑම අවස්තාවකම පූජාවන් තියෙනවා.

      Delete
    3. නැටුම් තෙල් කියන්නේ මත්පැන් වලට... ඒකත් අපූරුවට ගැළපෙන වචනයක්.

      Delete
  6. හැම තැනම දානවලට වෙලා තියෙන්නේ ඔය වැඩේ කියලා මට හිතෙනවා. සහජීවනය නම් පේන්න නැහැ. වෙනම කෝකියෝ ඇවිත් උයනවා. නෑදෑයෝ ටික අමුත්තෝ වගේ ඇවිත් කාලා යනවා.

    ReplyDelete
    Replies
    1. අපේ තිබුණ ලස්සන සිරිතක් තමයි එකමුතු වෙලා වැඩපළ කර ගන්න එක.. දැන් තියන ආර්ථික රටාවයි, අවිවේකී ජීවිතයි එක්ක මේ සහජීවනයෙන් වැඩ කිරීමේ හැකියාව නැති වෙලා තියෙනවා.. කාලය වෙනස්.. ඉස්සර මෙහෙමනේ කියල සතුටු වෙලා දැන් තත්වය පිළිගන්න තමයි සිද්ධ වෙන්නෙ.

      Delete
  7. මේ ලිපිය කියෙව්වම මතක් උනේ මට කුරුසයක අකුරු අඳින්ඩ වැඩකුත් හම්බ උනා. :)

    අර කිව්වත් වගේ ඉස්සර පැදුරේ ඉදගෙන කෙහෙල් කොලේක දානේ කාපු කාළයක් නම් ආයේ එන්නෙම නැති වෙයි.මිනිස්සු කාර්යබහුල වෙලා. ඔක්කොම හැල්මේ දුවනවා.ඒ වගේම හැමදේම වෙනස් වෙලා. ඒ වෙනස මලවුන්ගේ දානෙටත් එකතු වෙලා.

    අර පුංචි කොන්තේ කිව්වම තමා මට මතක් උනේ. ඒක කියනකන්වත් මටයි අපේ මලයටයි ඉන්ඩ බෑ නෙව.

    ඒක නෙමේ තරුරසී අක්කා පුත්තලම් (කොළඹ-පුත්තලම) ලයින් එකේද ඉන්නේ. එහේ නම් මලවුන්ගේ මාසයේ හැම සතියෙම දාන.

    ReplyDelete
    Replies
    1. මම කුලියපිටියෙ මල්ලි... කුලියපිටියෙනුත් ඇතුළෙ තාමත් ගැමි ලක්ෂණ ඉතිරි වෙලා තියෙන ගමක.. අපේ පැත්තෙ වැඩිපුරම ඉන්නෙ සිංහල බෞද්ධ අය.. කතෝලික අය හරිම අඩුයි. මම හිතනවා ඒ වගේ ගම් පළාතක ඉපදීමෙන් මට කතෝලික දහමේ වටිනාකමුත්, බෞද්ධ සංස්කෘතියේ වටිනාකමුත් එකතු කර ගන්න ලැබුණා කියල.

      Delete
    2. කුලියාපිටියේ ඇතුලේ ගම කිව්වේ මොරගනේ, මූනමල්දෙනිය වගේ පැති වල වෙන්ටෑ. එහේ නම් කතෝලික අය අඩුයි තමා. බ්ලොග් ලියන කතෝලික අය ගොඩක් ඉන්නේ කොළඹ පුත්තලම් සීමාවේ නිසයි ඇහුවේ. (මාත් වත්තල ඉන්නේ.:) )

      කොහොම උනත් කතෝලික කෙනෙක් අඳුනගන්න ලැබීමත් සතුටක් !

      Delete
    3. තරුරසී මටත් අගාම් 2කෙම අභාසය ලැබිලා තියනවා අම්මගෙන් කතොලික දහමත් තාත්තගෙන් බොදු දහමත් .... :D තව එක දෙයක් ඔයා කියන විදිහට මම ඉන්නෙත් ඔයලගෙ ගමට කිට්ටු තැනක...:-)

      Delete
    4. සතුටුයි මල්ලි දැන ගන්න ලැබුණට... මූණුපොතේ මුණ ගැහුණ වෙලාවක ගම් පළාත් ගැන කතා කරමු.

      Delete
  8. මලවුන්ගෙ මාසෙ දානෙ අපෙ ගෙදරත් දෙනවා .... එත් මම එක තැනකට එකග වෙන් නැ ගොඩක් වෙලවට මෙ දානෙදි ගොඩක් අය දෙන්නෙ පව්ලෙ කට්ටිය එකතු වෙලා හොදට කාලා රහ මෙර බිලා සතුටු වෙන එක... අන්න එ දෙත් අපි නැවත්තුවොත් දානය තවත් අර්තවත් වෙවි...

    ReplyDelete
  9. දානයක් වගේ පින් කටයුත්තකදි බීමට මුල් තැන දෙන එක නම් මමත් අනුමත කරන්නෙ නැහැ.

    ReplyDelete
  10. 2012 ලිව්වත් අදටත් වටින ලිපියක් අක්කෙ.. මට පුලුවන්නම් මළවුන්ගෙ මාසෙ වත්පිලිවෙත් ගැන ලිපියක් ලිව්වනම් ඒකෙ link එක එවන්න.. තව දෙයක් හරීගෙ හීනලන්තය කරපු අයිය කෝ... එයාට මොකද උනේ..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...