Thursday, May 7, 2015

සොඳුරු සැරිසර පුලතිසි පුරවර



අන්තර්ජාලයෙනි.

‘‘ඔයා ට ඉතින් ගහක් කොලක්, ඇලක් දොලක්, තරුවක්, මලක්, පොතක්, කවියක් තිබ්බම හොඳටම ඇති නෙ ජීවත් වෙන්න..“ 

රෑ නවයට විතර පෑළ දොරින් ගෙට ගොඩවෙන මං දිහා බලල එහෙම කිව්වෙ සේපාලි.. ඒ වෙසක් පුන් පෝයට කළින් දවස. එතෙක් මං උන්නෙ පරාක්‍රම සමුද්‍රයට ආයුබෝවන් කියල දෙකේ ඇල දිග පිටමං වෙලා යන ජල දහරට පා ඔබාගෙන ඇල අද්දර ගල් පඩියක වාඩිවෙලා... 

පුන් පෝය හඳ නිසා හාත්පස එළියයි.... ඇල අද්දර සුදු අරලිය ගස්වලින් ගිලිහුණු මල් දිය දහර එක්ක හාද වෙලා නො එනා ගමන් යන්නෙත් හරිම සතුටින්.. මම වාඩි වෙලා උන්නෙත් ඉපැරණිකම හිතාගන්නත් බැරි තරම් දාර කඳක් ඇති සුදු අරලිය ගහක් යට... විටින් විට ගස යට පොදි ගැහෙන මඳ අඳුර අතරින් සුදු අරලිය මල් කැරකි, කැරකී දිය මත ට පා වුණා. අරලියා කොල අතරින් එබිකම් කර කර හඳ හිනැහුණා...

හිතේ හැටියට ඇලේ බැහැල දිය නෑවට පස්සෙත් මට ආපහු එන්න හිතුණෙ නැහැ. ඒ තරම්ම පරිසරයේ නිස්කලංකය හිත පැහැර ගත්තා. ඒ නිසයි ටික වෙලාවක් අහසයි, සඳයි, ඇලයි, අරලියා මලුයි එක්ක තනිවුණේ.... 

සරසවි ජීවිතේ යාවජීව මිතුදම් ලංකාවෙ සතර කොනට වෙන් වෙලා තිබුණත් තවමත් අපේ හදවත් ඒ කිචි බිචියට, ඒ ආදරයට කොයි තරම් ලෝබ ද කියල ආයෙමත් දැණුනා පසුගිය දීර්ඝ සති අන්තයේ දීර්ඝ සංචාරය නිසා. 

සතිඅන්තය ඇරඹුණේ ගලගෙදරින්.. මධුයි, පුතා පූජනයි මමයි... මැයි දෙවෙනිදා හිමිදිරියෙම නුවරින් පිටත් වුණු අපි අකුරණ, මාතලේ, දඹුල්ල, හබණ හරහා දහවල උදාවෙද්දි පොළොන්නරුවෙ. කඳුවැටි මීදුමේ වැතිරිලා ඉද්දි, මාතලේ හරිත පරිසරය උදා හිරු එළියෙන් නැහැවෙද්දි, දඹුල්ල කලබල නගරයක්ව නිදිගැට හරිද්දි, හබරණ විසල් කැලයත්, පුලතිසි පුරවරයේ වැව්, දාගැබ් වෙහෙර විහාර හිතට නැවුම් බවක් එක් කළා... 

පරාක්‍රම සමුද්‍රයත්, අතීත නටබුන් බිමත් ආසන්නයේ තියෙන සේපාලිගෙ නිවස මට ආගන්තුක නැහැ. ගේ පිටුපසින් ගලන දෙකේ ඇල වගේ ම, ගෙදර ඇත්තන්ගෙ ආදරයත් හිත නිවනවා.. ඒත් මේ සැරේ යද්දි ලොකු අඩුවක් තිබුණා. ඒ තමයි වෙනද අපිව ආදරයෙන් පිළිගන්න අම්මා නැති එක. වසර 12 කට පමණ පෙර මම මුල්ම වතාවට පොළොන්නරු ගිය වෙලාවෙ තමන්ගෙ දූල දෙන්නට වගේම මටත්, ලස්සන සල්වාර් එකක් අන්ඳලා, කොණ්ඩ මෝස්තරයක් දාලා, මලක් ගහල ඥාති මංගල්‍යයකට කැන්දන් ගිය, නෑදෑ හිතමිත්‍රයන්ට දැන් මට දුවල තුන්දෙනෙක් ඉන්නවනේකියල මාව අඳුන්නල දීපු අම්මව මතක් වෙලා මගේ ඇස්වල කඳුළු පිරුණා..
 
ගල් විහාර සැතපෙන පිළිමය - පින්තුරය තරු

වෙසක් පෝය දවසෙ උදේ වරුව පොළොන්නරු යුගයේ විශිෂ්ඨත්වය නිහඬවම කියා පාන නටබුන් වූ මාලිග, වෙහෙර විහාර, පොකුණු බලන්න වෙන් වුණා. 
පැරකුම් මාළිගය - පින්තුරය තරු

‘‘කාමරේට එක්කෙනා ගානෙ බිසෝවරු තියන් උන්න හින්ද කියන කරන දේවල් නෑහෙන්න මේ තරම් පළලට බිත්ති බැඳල තියෙන්නෙ.“ සේපාලි  සීරියස් විදියට කිව්වෙ පැරකුම් මාලිගයෙදි. ඈ එහෙමයි. කවට කතා මවන්න දක්ෂයි. රස සාගරයක්. ඉන්න තැනක පාලුවක් නෑ.

‘‘අන්න කිව්ව කතාවක්... සීතල ආරක්ෂා කරගන්නයි පළල් බිත්ති බැන්දෙ.‘‘ එහෙම කිව්වෙ සමන්ත අයියා හිනාවෙවී. ඒ සරසවි සමයෙදි සේපාලි දළදා පෙරහැර බලන්න ගිහින් හොයාගත්ත ප්‍රේමවන්තයා. දැන් ඔහු තමයි ඇගේ ස්වාමිපුරුෂයා. දෙදරු මව්පියන්.... බොහොම ලස්සනට ජීවත් වෙනවා එදා වගේම ආදරෙන්.

නිශ්ශංක ලතා මණ්ඩපය -  පින්තුරය තරූ

පරාක්‍රමබාහු මාලිගය, රාජ සභාව, කුමාර පොකුණ, වටදා ගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, සත්මහල් පාය ආදී වූ පැරණි අසිරිය මධූ ගෙ සරසවි ජීවිතෙන් පස්සෙ යටපත් වෙලා තිබුණු පීඩිත පන්තියේ අරගලයට පණ දුන් බවක් පෙණුනා.

‘‘මට මේව දකිද්දි මතක් වෙන්නෙම තරංගි, එදා සාමාන්‍ය මිනිස්සු මොන තරම් මර්දනයක්, පීඩනයක් ඇතුළෙ මේවට ශ්‍රමය දෙන්න ඇතිද කියල..“

සංවාද සාකච්ඡාවලට වඩා මගේ හිත නැවතුණේ දෑසින් දකින නටබුන් හරහා හිතේ මැවෙන අතීත අසිරියත් එක්ක.. ඒ කාලෙදි සාමාන්‍ය ජනතාවට මේ බිමට ඇතුළ් වෙන්නවත් අවසර ලැබෙන්න නැතිව ඇති. මගේ හිත කිව්වා. අතීතයේ මේ පුද බිමක් ද? නැතිනම් පූජනීයත්වය පවා රාජ තේජසින් වැසුණු අධිආරක්ෂිත කලාපයක්ද? එහෙමත් නැත්නම් රාජ්‍යත්වයත්, ධර්මයත් පොදු ජනතාවටත් සැනසුමක් වූ පින් බිමක් ද?

ගල් විහාරයේ සමාධි පිළිමය - පින්තුරය තරූ

වඩාත් සිත නිවී සැනසුණේ ගල්විහාර පුද බිමේ දි. සිල් ගත් සැදැහැවතුන් පුදබිමේ ගල් තලා මත, තණ බිස්ස මත සුදෝ සුදට.. කුඩා දරුවන්ගේ සිට ආච්චිල සීයල දක්වාම සිල් ඇත්තො... ලස්සන දසුනක්.. ගල් විහාරයේ සමාධි පිළිමය, ගෘහය තුළ හිඳි පිළිමය, හිටි පිළිමය, සැතපෙන පිළිමය පැය කිහිපයක් නොවේ, දවසක්ම වුවත් දැහැන්ගත වන්නට අපූරු කමටහනක්... 

පින්තූරය තරූ

පිහිටි පර්වතය හාරා මෙවන් පිළිම නෙලන්නට තරම් එදා මිනිසුන් තුළ කොතරම් විශ්‍රාමයක්, ශ්‍රද්ධාවක්, ශිල්ප කලා ප්‍රවීණත්වයක් තියෙන්නට ඇත්ද?
 
‘‘මේ පිළිම නෙලන්න ගිහින් කී දෙනෙක් අත පය නැති කරගන්න ඇත්ද? තුවාල කරගන්න ඇත්ද?‘‘ ඒ මධූ... 

‘‘මොනා උණත් මිනිස්සු හරිම භක්තියකින් ආශාවකින් කැපවීමෙන් මේ පිළිම නෙලන්න ඇති.. නැත්නම් මේ තරම් සියුම් නිර්මාණ බිහිවෙන්නෙ නෑ..‘‘ පිළිම දෙස ම බලන් ඉද්දි මට හිතුණෙ එහෙම.. පාලක පන්තියේ මර්දනයට බියෙන්, එහෙමත් නැත්නම් මුදල් ගැන තෘෂ්ණාවෙන් කුලී වැඩක් විදියට මේ පිළිම නෙලුවා යැයි හිතන්නට මගේ හිත ඉඩදෙන්නෙ නැහැ.. 

‘‘මෙතන ලස්සනම රෑට.. ඕන තරම් වෙලා ඉන්න පුළුවන්..‘‘ එහෙම කිව්වෙ සමන්ත අයියා. ගල්විහාර භුමියේ පොලිස් මුරපලෙත් සේවය කරල තියෙන හින්දා එයා බිම් අඟලක් නෑර දන්නවා. ඇත්තටම පහසුවෙන් හැමතැනම ඇවිදින්න හැකිවුනේ සමන්ත අයියා රියදුරු විදියටත්, මඟපෙන්වන්නා විදියටත් අපි වෙනුවෙන් කාලය කැප කළ නිසා... 

‘‘මට ඕනෙ හොඳට හඳ පායල තියෙන දවසක රැයක මෙතන ඉන්න..“ මම කිව්වා.

‘‘වෙසක් පොසොන් නැතිව වෙන පෝය දවසක එමු. මේ දවස්වල මෙතන හරිම කලබලයි..“ සේපාලි ගේ එකඟතාව පළවුණේ එහෙම.




සංචාරයෙන් පස්සෙ වෙසක් කූඩු හැදුවෙත් අපි හැමෝම එකතු වෙලා. අම්මත් නැතිව තාත්ත තනියෙන් ඉන්න මහගෙදරටත් එක්කම.. මව්පිය, දූ දරු බැඳීම් ආදරයෙන් පිරෙද්දි ජීවිතය කොයි තරම් සුන්දර වෙනවද?

ගමේ පන්සලේ සිල් ඇත්තන්ට ගිලන්පස ලෑස්ති කරගෙන හවස විද්‍යාලෝක විහාරස්ථානයට ගියා. ඒකත් ජීවිතේ පළමු වතාවට ලැබුව වෙනස්ම අත්දැකීමක්.. ජීවිතයෙන් සමුගත් සේපාලිගේ අම්ම වෙනුවෙනුයි ඒ ගිලන්පස දානය පිරිනැමුණෙ. සීතල කඳුළු...

පරාක්‍රම සමුද්‍රෙයේ වැව් බැම්මට වෙලා රෑ අහර ගන්නට තිබුණු සැලසුම මහා වැස්සත් එක්කම හේදිලා ගියා. ඒත් රෑ හතට විතර වැව් බැම්ම දිග ගිය සවාරිය සොබාදහමත් එක්ක බැඳුණු අසිරිමත් මොහොතක්.. එක් පසෙකින් වැව.. අනෙක් පසින් ඈතට දිවෙන කුඹුරු යාය. විසල් අහස.. වෙසක් සඳ.. මේ අසිරිය සනිටුහන් කරගන්නට තරම් මගේ කැමරා ඇස පොහොසත් නොවීම දුකක්... ( ඡායාරූප ගත්තෙ දුරකථනයෙන් )

පරාක්‍රම සමුද්‍රය - From telradio.wordpress.com


සුන්දර ම සංචාරයක්, නිස්කලංකම දින කිහිපයක් පුලතිසි පුරවරයේ ගත කරල පසුවදා හබරණ, දඹුල්ල, කුරුණෑගල හරහා ආයෙම කොළඹට... ඒ සංචාරයෙන් අත්පත් කරගත් ශාන්තියෙන් තවමත් හිත පිරිලා...

30 comments:

  1. තවත් චාරිකා සටහනක්.
    හ්ම් අසරණ මා ගැන දුක හිතුනා.

    ReplyDelete
    Replies
    1. අසරණ ඔයාවත් එක්කරගෙන යන්නම් දවසක...

      Delete
    2. ඒ දවස එනතුරු බලා හිඳිමි.

      Delete
  2. බොහොම ස්තූතියි තරූ..අපූරු සටහනක්..ඒ වගේම සිත පහන් කරවන පින්තූර......

    අවුරුදු අටක් පුලතිසිපුරවරය අසබඩ රැකියාව කල හින්දම මටත් ඔය ගල් විහාරය, රන්කොත් වෙහෙර, නිශ්ශංක ලතා මණ්ඩපය හිතට ඉතාම සමීපයි.

    / මැයි දෙවෙනිදා හිමිදිරියෙම නුවරින් පිටත් වුණු අපි රක්වාන, මාතලේ, දඹුල්ල, හබණ හරහා දහවල උදාවෙද්දි පොළොන්නරුවෙ. /

    රක්වාන ? රක්වානක් එහෙ තියනවද?...අකුරණ කියල නම් තියනව නගරයක්...

    / ‘‘මට මේව දකිද්දි මතක් වෙන්නෙම තරංගි, එදා සාමාන්‍ය මිනිස්සු මොන තරම් මර්දනයක්, පීඩනයක් ඇතුළෙ මේවට ශ්‍රමය දෙන්න ඇතිද කියල..“ /

    අනුරාධපුර , පොළොන්නරුව යුගවල සාමාන්‍ය ජනයා ජීවත්වුනු අන්දම ගැන මම දන්න විදිහට තවමත් එකඟතාවයක් නෑ. මගෙ මුල්ම රැකියාව පුරාවිද්‍යාව සම්බන්ධව නිසා මම හොඳටම දන්නවා ඒ ගැන බොහොම වාද විවාද පැවතුනා ඒ දවස්වල ඉඳලම. සාමාන්‍ය මිනිස්සු බොහොම නිදහස් නිවහල් ජීවිතයක් ගෙව්ව කියල එක මතයක්...... ඔවුන් දැඩි බැඳීම් වලින් තෙරපුනු දරිද්‍ර ජීවිතයක් ගතකලාය කියල තව මතයක්......ඒ ගැන, ඒ කියන්නෙ ඒ යුගවල සාමාන්‍ය මිනිස්සු ගෙව්ව ජීවිතය පිළිබඳව විධිමත් පර්යේෂණයක් කෙරිල නෑ තාමත් මම දන්න තරමට.

    / පිහිටි පර්වතය හාරා මෙවන් පිළිම නෙලන්නට තරම් එදා මිනිසුන් තුළ කොතරම් විශ්‍රාමයක්, ශ්‍රද්ධාවක්, ශිල්ප කලා ප්‍රවීණත්වයක් තියෙන්නට ඇත්ද? /

    ඊටත් අමතරව මම හිතන්නෙ තරූ ඔය පිළිම නෙලූ කලා ශිල්පීන් තම කාර්යයෙහි නිරතවන්නට ඇත්තෙ භාවනාවකට සමවැදිල වෙන්න ඕන.

    භාවනාව යනු,
    මිනිස් වාසයෙන් හුදකලාව,
    මහා වන ගහනයක වනස්පතියක් සෙවණෙහි,
    නෙතු තරව පියාගත්වන,
    බවුන් වැඩීම පමණක්ම නොව,

    මහ ගල්කුලක,
    බිඳෙන් බිඳ යකුළු පහරින් බිඳහැර,
    බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවැඩි සිතැතිව,
    බුදු සිරස මතුකිරීමද,
    භාවනාවක්ම වේ.

    / ‘‘මට ඕනෙ හොඳට හඳ පායල තියෙන දවසක රැයක මෙතන ඉන්න..“ මම කිව්වා. /

    මුළු රැයක්ම නොවුනත් පැය හත අටක් මම එහෙම ඉඳල තියනව.... දෙපාරක්ම... කවදාවත් ඇතිවීමක් නොවන සොඳුරු අත්දැකීමක් ඒ...

    ReplyDelete
    Replies
    1. //රක්වාන ? රක්වානක් එහෙ තියනවද?...අකුරණ කියල නම් තියනව නගරයක්.../// මටත් ඕකම හිතුනා.. රවී අයියා, ගලගෙදර ඉඳන් එනකොට අකුරණ ට එන්නේ නැතුව අලවතුගොඩට එන්න පුළුවන් මට මතක විදියට පූජාපිටිය හරහා..

      Delete
    2. අකුරණ පහුවෙලා මාතලේට කළීන් හමුවුණා මීදුමෙන් වැහුණු ලස්සන කඳු පෙළක්.. ඒ හරිය රත්තොට ද.. මට නම මතක නෑ...

      Delete
    3. රවි හැකිනම් කියන්න මට කියවන්න පොත් ටිකක් මේ කාලය සම්බන්ධව... මම උසස්පෙළට චිත්‍ර කළ නිසා මේ සම්බන්ධයෙන් තරමක දැනුමක් තියෙනවා.. ඒ තරම් ගැඹුරට ගිය දැනුමක් නම් නෙවෙයි...

      ඇත්තටම මේ පිළිම නෙලන්නට ඇත්තෙ භාවනාත්මකව තමයි... සිවුරේ රැලිවල පවා තියෙන ලාලිත්‍යය බලන්න.. පුදුමාකාර සංයමයකින් මේ වැඩේ කරන්න ඇති නිසැකවම...

      Delete
    4. ස්තුතියි වරද පෙන්වා දුන්නට... මම බෝර්ඩ්වල තිබුණ නම් බලල තමයි ගමන් මාර්ගය සඳහන් කළේ....

      නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගන්න ඕන නැති නිසා මම ඒ ටික හැදුවා හොඳේ..

      Delete
  3. ලස්සන ලිවිල්ලක් හලෝ.. සමහර අර්ථ කතන අතර මාත් මං මුලා උනා..

    ReplyDelete
    Replies
    1. සමහර සිතුවිලි එක්ක මාත් අතරමං වුණා තමයි... අප්පා...

      Delete
  4. //‘‘ඔයා ට ඉතින් ගහක් කොලක්, ඇලක් දොලක්, තරුවක්, මලක්, පොතක්, කවියක් තිබ්බම හොඳටම ඇති නෙ ජීවත් වෙන්න...”//

    පොඩ්ඩිටත් මෙහෙමලු. ගමන ගැන කියවනකොටම හිත ශාන්තියෙන් පිරිලා යනවා...:)

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි... ආයෙම යන්න හිතයි.... සොබාදහමත් එක්ක නිස්කලංකව ඉන්න ලැබෙන එක කොයි තරම් වටිනවද කියල දැනෙන්නේ මේ අගනුවර කලබල අතරට මැදිවුණාම...

      Delete
  5. මාත් මීට අවුරුදු ගානකට කලින් වතාවක් ඔය හැම දේම බලාකියාගෙන ආවා.. මුලින්ම ගියේ නම් පොඩි කාලේ හන්දා ඕවා ගැන ඒ හැටි මතකයක් නෑ..

    ‘‘ඔයා ට ඉතින් ගහක් කොලක්, ඇලක් දොලක්, තරුවක්, මලක්, පොතක්, කවියක් තිබ්බම හොඳටම ඇති නෙ ජීවත් වෙන්න..“

    මේ දවස් වල මාත් එහෙමම තමයි..

    ReplyDelete
    Replies
    1. කොයි තරම් හොඳද මල්ලි.. සැනසීමයි එහෙම ජීවිතේ...

      Delete
  6. වටිනා සටහනක් වගේම සුන්දර සේාය රූ ගොනුවක්

    ReplyDelete
  7. පොලොන්නරුව හා සුදු අරලිය මෙච්චර ප්‍රමෝට් කරන්නේ මෙයා පට්ට ටොයියෙක්ද කොහෙද හැක්..
    ඉස්සර ත්‍රීකුණාමලය- කොළඹ- බදුල්ල අතරේ දුවන කාලේ මේ රූට් එක ඔක්කොම හොඳටම රන් කරල තියෙනවා. :) (දැන් හිතයිද දන්නෑ මේ යකා ප්‍රයිවෙට් බස් කාරයෙක්ද කොහෙද කියලා..) ඇලේ බැහැල නාන එක, වැව් බන්ට් එකේ ඉඳන් රෑට සෙට් වෙන විදිය, පැත්තක කුඹුර පැත්තක වැව.. මැවි මැවී පෙනුනා මේක කියවද්දී..

    ReplyDelete
    Replies
    1. ටොයියෙක්ද නම් මන්දා... හැබැයි යාළුවගෙ ගේ තියෙන්නෙ ජනාධිපතිතුමාගේ ගේ කිට්ටුව තමයි...

      ඔය රෑක වැව් බැම්මක සෙට් වෙනවා වගේ දේවල් කාන්තා පාර්ශවයට අකැප එක කොයි තරම් අපරාධයක්ද?

      Delete
  8. සුදූ අරලියා මල දැක්ක ගමන් හෝටලේ මතක් උනා, අර ටෙලියත් මතක් උනා, එකේ ලස්සනට රඟපාපු ඩිල්ෂාන් ගෙ වත්මන් බිරිඳ මතක් උනා , බෞද්ධ මුස්ලිම් හුටපට සහ රිෂාද් බදුයුදීන් සහ විල්පත්තුවත් මතක් උනා.
    ලස්සන සටහනක්. දිගටම ලියන්න. අපි බලනවා...

    ReplyDelete
    Replies
    1. සුදු අරලියා කතාව සුජීව ප්‍රසන්නආරච්චිගෙ නේද? ටෙලිය බලපු බවක් නම් මතක නෑ.. සුදු අරලිය හෝටලයත් අවුරුදු දොළහකට කළින් දැක්ක වගේ නෙවි දැන්නම්.. ඒකත් රජ මාළිගයක් වගේ තමයි...

      ස්තුතියි මල්ලි... දිරිගැන්වීමට...

      Delete
  9. හිතට වැදුන ලිවිල්ලක්

    ReplyDelete
  10. ලස්සනයි තරු ,මේ දැන් පුලතිසි පුරවරයට ගියා වගේ දැනුනා . මාත් හරිම ආස තැනක් ගල් විහාරෙ . කොච්චර වෙලා හිටියත් මදි . ගියාම වැඩි වෙලාවක් ගත කරන්නෙ එතන .

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ගිම් ඔයා නිතර යැවෙනවා වගේ...

      ලස්සන අත්දැකීමක් තමයි... මටත් ආයෙම වතාවක් ඉක්මනින් යන්න හැකි වේවි.

      Delete
  11. මාත් පරාක්‍රම සමුද්‍රයට ගොඩක් කැමතියි. ඒ වගේම ගල්විහාරය සහ වටදාගෙට. හිතේ මැවෙන්න ලස්සනට ලියල තියෙනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. හිතේ ඇඳුණු දේවල් හිත්වල මැවෙන විදියට ලියන්න ලේසියි මං හිතන්නෙ..

      Delete
  12. Replies
    1. ස්තුතියි නෙළුම් යාය...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...