පිටු

Friday, June 12, 2015

ආදරණීය වික්ටෝරියා


ඒ වික්ටෝරියා මතක් වූණේ මේ වික්ටෝරියා නිසා. මේ සටහන ඈ ගැන මතකය හිතේ තදින්ම සටහන් වී ඇති නිසා.

මාස කිහිපයකට පෙර දිනක සෙනසුරාදාවක මම දුම්රියට ගොඩනැගුණා වැඩකට යන්න. මා සිටගත් තැනම සුදු ජාතික තරුණ යුවළක් කුඩා දියණියක සමඟ අසුන් ගෙන සිටියා. ඈ අවුරුදු තුනක් විතර ඇති කියල හිතුණෙ, හරියට වචන උච්චාරණය කළෙත් නැති නිසා. කෙලි පොඩ්ඩ හිටියෙ හරිම නොසන්සුන්ව. ඇයට දුම්රිය ගමන එපා වී ඇති බවකුයි දැණුනෙ. දෙන්න දෙමාල්ලො දූ ව එහාටයි මෙහාටයි මාරු කරගන්නව මිසක ඈ සනසන්න, නළවන්න උත්සාහ කරන පාටක් පෙණුනෙත් නැහැ.

ලංකාවෙ අපි වගේ ළමයි හුරතල් කරන්නෙ නැද්ද සුදු මව්පියන්.. අනේ මන්දා..

රාගමදි මටත් වාඩිවෙන්න ඉඩ ලැබුණා ඒ අම්මයි, දූයි ළඟින්ම. පුරුදු විදියට මම පොතක් දිගෑරගත්තා. සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවමයි, ලංකාවමයි එපා වුණු ගාණට උන්නු දූ සිඟිත්ත මගේ පොතට ආකර්ශණය වෙන්න ගත්තා. ඇය හෙමිහිට පොත අතගාන්න, පොත අදින්න පටන්ගත්තා. පුංචි උන් ඉන්නවනම් මටත් ඉතින් ලෝකෙම අමතක වෙනවනෙ.

‘‘එයා පොත්වලට හරිම ආසයි.‘‘ එහෙම කිව්වෙ දූ ගෙ තාත්තා.

‘‘දූ ගෙ නම මොකක්ද?‘‘ මං ඇහුවා. සිංහලෙන් නෙවි.

‘‘වික්ටෝරියා‘‘ වික්ටෝරියා අම්මයි තාත්තයි එක්ක ඇවිත් තිබුණෙ ජර්මනියෙ ඉඳලා. දන්න ඉංගිරිස්වලින් අපි විස්තර කතාබහ කළා.

ඉතින් මං වික්ටෝරියා එක්ක යාලු වුණා. අපි දෙන්න කොයි තරම් යාලුවුණාද කියනවනම් ටිකකින් කෙලි පැටික්ක මගෙ උකුලෙ. මං ඈව සිංහලෙන් හුරතල් කළා. ඈ ස්වර්ගීය භාෂාවෙන් හිනා උණා. මං ඈට දුම්රිය කවුළුවෙන් ගහකොල පෙන්නුවා. ලංකාව ලස්සනයි නේද ඇහුවා. ඇය දිගින් දිගටම හිනා උණා.

මේ තියෙන්නෙ අපි දෙන්න හිනාවුණ හැටි.. මේ පින්තූරෙ ගත්තෙ වික්ටෝරියාගෙ තාත්තා.


මරදානට එනතුරුම ඈ උන්නෙ මගේ උකුලෙ. නොනවත්වා හිනා වෙවි. දුම්රිය මැදිරියම අපි දිහා බලන් උන්නා.

අම්මා ඇයව මගේ උකුලෙන් අරගෙන තල්ලු කරන කරත්තයෙන් තිබ්බම ඈ මා දිහා බලන් උන්නා හරිම දුක්බරව. ඉන්පස්සෙ අඩන්න ගත්තා. මම ඇගේ පුංචි අත අල්ලගෙන ඈව සැනසුවා. අම්මයි තාත්තයි එක්ක දුම්රියෙන් බැහැල යන තුරුම ඈ මා දිහා බලන් උන්නා. හුදකලා දුක්බර බැල්මකින්. මට වැඩියක්ම ඈ අමතක නොවුණෙ ඒ බැල්ම නිසාමයි.

අනේ පුංචි වික්ටෝරියා......


සමුගන්නට පෙර ඈ මා දිහා බලන් උන්නෙ මෙහෙමයි....


මේ සති අන්තෙ ගෙදර යද්දි තවත් පුංචි අමුත්තෙක් අපේ පවුලට එකතු වෙලා. චූටි මිමීට මල්ලියෙක්. දැනටමත් එක අතකින් චූටි මිමියි, අනිත් අතින් සසෙන් බබයි වඩා ගන්න සිද්ද වෙලා තියෙද්දි අලුතෙන් එකතු වෙන පුංචි අමුත්තො වෙනුවෙන් තව අත් දහයක්වත් මට රාවණා රජ්ජුරුවන්ගෙන් ඉල්ල ගන්න තමයි සිද්ද වෙන්නෙ....

12 comments:

  1. මේ ලිපිය කියෙව්වම මට හිතුනෙ පාට, ජාතිය මොකක් උනත් මිනිස්සු ඔක්කොම එකයි නේද කියලා. රටවල් දෙකක උනත් දෙමව්පියන්ටත් වඩා වික්ටෝරියා තරු එක්ක එකතු වෙලා තියෙනවා. හරිම සංවේදියි :). සමහර වෙලාවකට අහම්බෙන් හම්බෙන අය අපට ගොඩක් ලෙන්ගතුයි/හුරුපුරුදුයි කියල දැනෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. දරුවන් එක්ක ගනුදෙනු කරල මට හොඳට හුරුයි.. මං හිතන්නෙ ඒ නිසා වෙන්න ඇති, වික්ටෝරියා මා එක්ක එකතු වුණේ...

      මට ඈව මතක හිටියෙ නම් අර දුක්බර බැල්ම එක්ක. ඒ මොහොතෙදිත් එයා උන්නෙ මං පැත්තට බරවෙලා මා දිහාම බලාගෙන...

      Delete
  2. ඒ පුංචි දරුවට නම් වැඩි ආදරයක් ලැබෙන්නේ නැහැ වගේ අම්ම තාත්ත ගෙන්

    ReplyDelete
    Replies
    1. එයාලත් ගොඩක්ම තරුණ වයසේ.. ආදරේ නැතිව නෙවෙයි. මට හිතුණෙ තුන්දෙනාම උන්නේ දීර්ඝ දුම්රිය ගමනකින් හෙම්බත් වෙලා...

      Delete
    2. අජිත් අය්ය කියපු දේම මටත් හිතුණ

      Delete
  3. ආදරණීය වික්ටෝරියා කිව්වාම මට මතක් වුනේ අර වික්ටෝරියාවමයි.බලන් ගියාම මේ හැබෑ වික්ටෝරියා කෙනෙක්නේ.ඇත්තටම "ආදරණීය වික්ටෝරියා"කෙනෙක්.

    චුටි මමීගේ මල්ලි බලන්ට එහෙනම් දැන් වැඩි වැඩියෙන් තරු අක්කාට ගමේ යන්ට වෙයි.:)

    ReplyDelete
    Replies
    1. මල්ලි බලන්න ගමේ ගියාට මල්ලි අතටවත් ගන්න ලැබුණෙ නෑ. චුටි මිමීට හොඳටම උණ... මං කළේ එයාව බලාගත්ත එක.

      Delete
  4. Adorable.. No Sinhala today, sorry! (good in one way cas little Victoria would also understand and smile ne.. ha ha.)

    ReplyDelete
    Replies
    1. yeh true..... I think, Love is enough for human relationships. Don't need language

      Delete
  5. මං නං පොඩි උංට කෝලිත්තං කරල උංව හිනස්සනව ඒත් ඔඩොක්කුවට ගන්නෙ නෑ... මොකෝ දන්නවද උංගෙ ප්‍රශ්න පත්තරේට උත්තර දෙනවට වඩා ලේසියි පිසික්ස් පේපර් එක්කට ඇස්පියං උත්තර ලියන එක
    ඔව් ඉදගෙන..
    පොඩි එකා නං සෑහෙන්න හැපි වෙන්න ඇති

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...