පිටු

Sunday, June 7, 2015

ජීවිතයෙන් දවසක්...





දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්....

බස්රියේ කැසට් යන්ත්‍රෙයන් නික්මිලා හිතේ නැවතුණේ ශසිකා නිසංසලාගෙ ගී හඬ... ඇගේ හඬේ තියෙනවා අමුතු සිත් බඳන සෞම්‍ය ගුණයක්..ඒ හඬට මං කැමතියි... ඒත් මේ ගීතයට නම් මං ඒ තරම් කැමති නැහැ. ඇඬියාවක් වගේ දැනෙන එකත් එක හේතුවක්.. ගීතයෙ එක් තැනක එනවා මෙහෙම අදහසක්. 

‘‘ එක්වෙන්න සංසාරෙ පින් මදිව නම්... අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්..‘‘ 

ආදරේ නාමෙන් ඒ දෙන ජීවිත දැක්මත් එක්ක එකඟ වෙන්නෙ කොහොමද?  ඒ ගීතය ගැනම මෑතක මුණුපොතෙත් කතාබහක් ඇති වෙලා තිබුණ බව මට මතක් වුණා.

ගීතය හරහා හිතේ ඇතිවුණු සංවාදයත් එක්ක ඇවිත් බස් එකෙන් බහිද්දි පාරෙන් එහා පැත්තෙ වෙස්ටර්න් මල් ශාලාවෙ අවංමගල්‍යයක්.. දැන්වීමෙ හැටියට එක්කෙනෙක් නෙවෙයි.. දෙන්නෙක්.. 

‘‘එක පවුලෙම දෙන්නෙක් එක සැරේ මැරිල වගෙයි‘‘ ඇන්ටි කිව්වා. 

‘‘ඇක්සිඩන්ට් එකකින් වෙන්න ඇති..‘‘ මමත් ඒ දිහා බලාන උත්තර දුන්නා. මැදි වයස පසුකරමින් ඉන්න යුවළක් බවයි පෙණුනෙ.

‘‘මහත්තයා මැරුණු දුකට නෝනත් එදාම මැරිලා. හාට් ඇටෑක්..‘‘ අපේ කතාබහට මැදි වුණ තුන්වැන්නා බස්නැවතුම ආසන්නයේම නවතා තිබුණු ත්‍රීරෝද රථයේ රියදුරුයි එහෙම කිව්වෙ..

‘‘අයියෝ.. ඇත්තද?‘‘ අපි දිග හුස්මක් ගත්තා.

ශසිකා ගෙ ගීතය ආයෙම මට මතක් වුණා.

‘‘අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්..‘‘ ඒ නම් ඒ විදියටම පතාගෙන ආව ආදරයක් වෙන්න ඇති...



අද දේවධර්ම පන්තියෙ තේමාව නව කිතුනු සාහිත්‍යය.. සාහිත්‍යය කන්නද කියල අහපු රටේ මම තාමත් සාහිත්‍යෙයන් හුස්මගන්න පුලුවන් කියල හිතන කෙනෙක්නෙ.. ඉතින් මාතෘකාව බොහොම තදින් මගේ හිත ඇද බැඳගත්තා. දේශනය කළේ මහින්ද නාමල් අයියා..

දේශනයට අදාළ කරගත්ත සාහිත්‍ය කෘති ගොන්න තමයි ඉතාම වැදගත්. 

ආන්ද්‍රෙ ෂීද් ගේ සාදු සංධ්වනිය - පරිවර්තනය මණ්ඩාවල පංඤ්ඤාවංස හිමි.

හැරල්ඩ් රොබින්ස් ගෙ දේශකයාණෝ - පරිවර්තනය මානෙල් ජයන්ති ගුණසේකර.

ලතින් ඇමරිකානු සාහිත්‍යය විශේෂ කොට පාවුලෝ කොයියෝගෙ කෘති එයිනුත් විශේෂව මිනිත්තු එකොළහ.

අප්‍රිකානු සාහිත්‍යය විශේෂයෙන්ම දම් වද මල් කෘතිය...

ලාංකේය සාහිත්‍යෙය් මංජුල වෙඩිවර්ධන ඔහුගේ බත්තලංගුණ්ඩුව නවකතාව සහ කාව්‍ය නිර්මාණ...

ප්‍රේමය පදනම කොට ගත් ක්‍රිස්තියානි දැක්මෙන් ලියැවෙන නිර්මාණ සහ විචාර කලාවක් පිළිබඳ අදහස...

මේ සංවාදය එක්ක දවස ඉතාම අර්ථපූර්ණයි කියලයි මට හිතෙන්නෙ.

2015.06.06

3 comments:

  1. සාහිත්‍යය කන්නද කියල අහපු රටේ මම තාමත් සාහිත්‍යෙයන් හුස්මගන්න පුලුවන් කියල හිතන කෙනෙක්නෙ.. ++++ එකෙන්ම.. මාත් එහෙම එක්කෙනෙක්නේ.. :)

    ReplyDelete
  2. ඇයි ජෝතිපාලයන්ගේත් තියෙනවා නේද ඔය වගේ සිංදුවක්.
    "එක් වෙන්නට නොහැකි වුනොත් රන් කඳේ
    සැතපෙමු දෙන්නම එක තැන එක මිනිවලේ" කියලා.

    සාහිත්‍යය කන්නද කියල අහපු රටේ දැන් නම් සාහිත්‍යයට නැබුරුවක් තියෙනවා නේද ඉස්සරට වැඩියෙන්.

    ReplyDelete
  3. සාහිත්‍යක වැදගත්කම දැනෙන්නේ ඒකට ලැදි අයට විතරයි..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...