ඒ හුදකලා රැයකි. දොරගුළු ලූ නිවසේ
කුටියට වී මා උන්නේ පොතකට සමවැදීගෙන ය. ඉඳහිට ඇතිවන සිහින් තිගැස්මක් හැරුණු විට හුදකලා රාත්‍රීන්
තවදුරටත් මා බියපත් නොකරන්නේ ය. හිත කීරිගස්වන බියකරු හඬක් නඟමින් ඌ ඉගිළ ආවේ එවන්
එක් රැයක ය. ක්ෂණිකව මුළු කුටියම සිය අණසකට නතු කරගන්නට ඒ හඬ සමත් විය. පාස්කු
නාට්‍යයක ජේසු කුරුස ගසේ එල්ලී උන් මොහොත රඟදැක්වූ නළුවකු මිය යන තුරුම පිට හිල්
කළ කුරුමිණියකුගේ කතන්දරය මට සිහිපත් විය.
‘‘අක්කෙ, ඔය වැල් ගෝටුල්ල තියෙන්න අරින්න. කළු
කුරුමිණි වසංගතේ බෝ වෙලා. පොල් පැල විනාස කරනවා. ඒකයි මදු වැල් වැවෙන්න ඇරියෙ.
උන්ට ගොබේට යන්න බැරිවෙනවා පැටලෙනවනේ...‘‘ පෙරදිනක ලොකු නංගී කීවේ පොල්පැල වසාගෙන
ඉවක් බවක් නැතිව වැඩී තිබුණු මදුවැල් ගාල කපා දැමීමට මා සුදානම් වන විට ය. පොල්
කුරුමිණියාගෙන් ගොබේ රැකගන්නට මදුවැල් ගොල්ල සමත් වේවි ද? ඒ මොහොතේත් මට සිතිණි.
ඉතින්, ඔන්න ඒ කළු කුරුමිණියකු දැන් මගේ කුටියේ. ඒ
මා කළු කුරුමිණියකු සමීපව දුටු මුල්ම වතාව ය.
සුදු බිත්ති දිග, වහළ පුරා තටුගසමින් ඌ හෙව්වේ
පිටව යන්නට මගක් විය යුතු ය. මම නිසොල්මන්ව බලා සිටියේ කරකියා ගන්නට දෙයක් නැතිව
ය. අවසන කිසිදු අනතුරක් නැති බව සැක හැර දැනගත්තාක් මෙන් කුරුමිණියා සිමෙන්ති පොළව
මත විශ්‍රාම සුවයෙන් ලැගුම් ගත්තේය. මම හෙමිහිට කොස්ස ගෙන කොහු අතරට ඌව සිරකර සිලි
කවරයකට දමා ගැට ගසා කවුලුවෙන් පිටතට විසි කළෙමි. කළු කුරුමිණියා වුව පොල් කුරුමිණියා වුව, ඌ හුස්ම හිර වී මිය යාවිදැයි දැණුනු
වරදකාරී හැඟීම රෑ පුරා විටින් විට මා සිත සසල කළේය.
උදෑසන අවදි වූ විගස මා කළේ මිදුලට බැස කළු
කුරුමිණියාට කුමක් සිදු වී දැයි සොයා බැලීම ය. තැන තැන සිදුරු වූ සිලි කවරය පමණක්
සිලි සිලියේ සුළඟට සැලි සැලී මිදුලේ විය.
එකී කළු කුරුමිණියා හදිසියේම සිහිකැන්දවූයේ ආදරණීය
වික්ටෝරියාගෙන් ලද කුරුමිණි රුව රැගත් ඇරයුම් පත ය. ‘‘ආදරණීය වික්ටෝරියා‘‘ ත්‍රිමාණ
කියවීමක් මැයෙන් මොහාන් රාජ් මඩවලගේ මාගම් සෝලිය, ලොවීනා, ආදරණීය වික්ටෝරියා නවකතා
ත්‍රිත්වය පිළිබඳව විද්වත්, සහෘද තිදෙනෙකුගේ කියවීම් ඇතුළත් කෘතිය එළිදැක්වෙන්නේ 10
වැනි බදදා සවස 3.00 ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ය.
ඇරයුම පරිදි එදින එහි සිටින්නට අදහස් කරගෙන
සිටිමි.
මෑත භාගයේ මොහාන් තරම් බැනුම් ඇසූ, විවේචනයට ලක්
වූ ලේඛකයකු තවත් නැතැයි සිතේ. කෙසේ නමුත් මාගම් සෝලියෙන් ඇති පදම් සෝලි විඳින්නට
පෙරට තැබූ පය ආරක්ෂක පියවරක් පසුපසට ගෙන ලොවීනා සමඟ සීරුමාරුවට පැමිණි ඔහු ඉක්බිතිව ආදරණීය වික්ටෝරියා සමඟ අතිනත ගත්තේය.
‘‘ආදරණීය වික්ටෝරියා‘‘ ඇසුරෙන් පසු ඈ සම්බන්ධව
ලියන්නට බොහෝ දේ පෙළ ගැසී තිබිණි. නමුදු කාලය හරස් විය. බොහෝ දෙනෙකු වික්ටෝරියා
ගැන ලියා තැබූ බැවින් ඒ අදහස එලෙසම යටපත් වී ගියේය.
ඔහුගේ නවකතා ත්‍රිත්වයම යටත්විජිත
පාලන සමයට අයත් ය. ඉතිහාසයටම ඇදෙමින් සොයා පාද ගන්නා අතීත තතු වර්තමානය විනිවිදින්නට
කැටපතක් කොට අප එවෙත ඇද බැඳ තබාගන්නා මොහාන් නවකතා කලාව තුළ දැනටමත් ස්වකීය ගමන්මගක් සලකුණු කර ඇත.
මොහාන්ගේ සෑම නවකතාවක් සමඟම අත්වැල් බැඳගත්
පර්යේෂණාත්මක ශ්‍රමයක් ඇති බව ද පැහැදිලි ය. සමහර විට ඒ පර්යේෂණාත්මක දැනුම්
සම්භාරයම කෘතියේ සාහිත්‍යමය ගුණයට එරෙහිව නැගී සිටින අවස්ථා ද දක්නට ඇත. ඓතිහාසික
සංසිද්ධීන් සත්‍යය සහ මායාව අතර දෝලනය කරමින් සදාතනික දේශපාලනික, සමාජ යථාර්ථයන්
මෙන්ම පුද්ගල ජීවන අරගලයන්ද සහෘද සමාජය
අබිමුව තබන්නට ඔහු සිය ප්‍රබන්ධ කතා කලාව උපයෝගී කොට ගනියි.
ආදරණීය වික්ටෝරියා ගෙන් පසු..... කවුරුන් විය හැකිද? කුමක් විය හැකිද? කෙසේ නමුත් ඔහු සාහිත්‍යයික පිම්මක් වෙනුවෙන් හැදෑරීමක ඉන්නා බවට විවාදයක් නැත.
ස්වකීය ලේඛන කෞශල්‍යය සහ සාහිත්‍යයික ශ්‍රමය තව තවත්
ඔපමට්ටම් කර ගනිමින් අර්ථපූර්ණ රසපූර්ණ නිර්මාණ සමඟ ඉදිරියේදීත් මොහාන් අප හමුවනු ඇතැයි අපේක්ෂා කරමි.
මොහාන්ගේ ඔය පොත් තුනම මම කියවලා තියෙනවා."මාගම් සොලියට""ආදරණිය වික්ටෝරියාටත්" වඩා "ලොවිනා"ට මම කැමතියි.
ReplyDeleteඒ වගේම මොන මොනවා හරි කරලා මෝහන් තමන්ගේ පොත් ටික විකුණාගන්න හොඳ මාකටිං එකක් කරනවා නේද?
නිර්මාණකරුවට තමන්ගෙම නිර්මාණ වෙනුවෙන් පෙනී හිටින්න, ඊටත් වඩා අලෙවි කරන්න සිදුවීම නම් ලංකාවෙ කලාව සාහිත්‍යය මූණ දීල ඉන්න ඛේදවාචකයක් කියලයි මට හිතෙන්නෙ.
Deleteමොහාන් ගෙ පොත්වලට මං ගොඩක්ම කැමතියි කියන්න බැහැ. මොකද ඒ රචනා ශෛලිය මගේ හිත ස්වභාවයෙන්ම ඉල්ලන භාෂා රටාවෙන් තරමක් ඈතයි. ඒත් එහෙමයි කියල මම අකමැති නැහැ. තේරුම්ගන්න අසීරුවකුත් නැහැ.
මාගම් සෝලිය, ලොවීනට වඩා ආදරණීය වික්ටෝරියාවල එන දේශපාලන කතන්දරය ගැඹුරින් කියවගන්න ඕන කියල මං හිතනවා..
කතා තුනෙන් එකක්වත් කියෝල නෑ.. මොකද කරන්නේ ඉතින්? :)
ReplyDeleteඒකට කමක් නැහැ. එන්න. අපිට කයියක්වත් දාන්න බැරියැ..
Deleteමොහාන් ගෙ ලොවීනා කියවන ගමන් මේ දවස්වල.
ReplyDeleteඅනික් පොත් දෙකනං කියෝල තියේ. කොහොමහරි මොහාන් කතා ශෛලයට මමනං ගොඩක් කැමතියි.
පොත් තුනම ලගටම ලැබිලත් තාම කියවන්න ඉස්පාසුවක් උනේ නෑ..
ReplyDeleteමං ඔය මාගම් සෝලිය කියලා දැන් වසර තුන හතරකට පමණ කලින් අරගෙන තියෙන්නේ වෙනත් ලේඛකයෙකු ගේ පොතක්.
ReplyDeleteලොවීනා නම් කියෙව්වා. හොඳ නිර්මාණයක්.