පිටු

Wednesday, June 17, 2015

ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව්ලොවක් වේ....


‘‘ඇයි ලොකු මම්මෙ එයාල අඬන්නෙ..‘‘

චූටි දූ ඇහුවෙ නේපාල භුමිකම්පාවෙන් විපතට පත්වුණු ජනතාව ගැන පෙන්වන රූප රාමුවක් දැකල.

‘‘ නේපාලය කියන රටේ පොලව හෙල්ලිලා, ලොකු පිපිරීමක් වෙලා ගොඩක් අයගෙ ගෙවල් කැඩිලා, මිනිස්සු මැරිලා, තුවාල වෙලා ඒ හින්දයි එයාල අඬන්නෙ.‘‘

‘‘ඉතින් ඇයි පොලව පිපිරෙන්නෙ?“

දෙයියනේ දැන් කොහොමද මං ඒක තේරුම් කරන්නෙ.. 

‘‘ මේ  මහ පොලවත් අපි වගේම හුස්ම ගන්නවා. මේ ගහ කොලත් හුස්ම ගන්නවා. හැමෝම හුස්ම ගන්නවා. දැන් අපි මහ පොලව උඩ ගොඩක් ගොඩනැගිලි හැදුවම, කොන්ක්‍රීට්වලින් පිරෙව්වම පොලවට හුස්ම ගන්න ඉඩක් නැති වෙනවා.........

එතකොට පොලව උඩ තියෙන ගහකොල කපල දැම්මම, තණකොල සේරම සුද්ද කළහම පොලවට හෙවණ නැති වෙනවා. සීතල නැතිවෙනවා. පොලව ගොඩක් රත්වෙනවා. හුස්ම ගන්නත් ඉඩ නැතිවෙලා, ගින්දර වගේ රත්වෙන්නත් උණාම තමයි ඉවසගන්නම බැරිව පොලව පුපුරන්නෙ.. පොලව හෙල්ලෙන්නෙ... පොලව හෙල්ලිලා පිපිරිලා යන එකට තමයි භුමිකම්පාව කියන්නෙ.. ‘‘

අවුරුදු පහ ඉස්මත්තෙ ඉන්න දෝණිට තේරුම් කරන්න වචන ගොඩක් ඕන උණා. ඇය ඇස් ලොකු කරගෙන අහන් උන්නා.

.............

මගේ ගේ පිටුපස පතහක් එක්ක පොඩි ලඳු කැලෑවක් තියෙනවා. පතහ අයිනෙම උස්ව නැගුණු ගහ වැහෙන්නම වැල් ගොල්ලක් ඇතිරිලා. අප්‍රමාණ සර්ප බියක් තිබුණා වුණත් මේ වැල් ගොල්ල කපල දාන්න මට හිතෙන්නෙ නැහැ. ඒ වැල් ඇතිරිල්ලෙ නම නොදන්නා මල් පිපෙන වැලුත් තියෙනවා. චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා. සමනල්ලුත් නිතරම මේ වැල් ගොල්ලෙ මලින් මලට පියඹනවා.  

මගේ කුඩා ගෙමිදුල මුළුමනින්ම වැහිල තියෙන්නෙ උඳුපියලිය සහ තණකොලවලින්. වරින් වර කපන තණකොල වුණත් ගහක් මුලටම එකතු කරනවා මිස මං කවදාවත් පුච්චන්නෙ නැහැ. අපේ ගෙදර මහා පරිසරවේදිනිය ලොකු නංගිත් හරිම විරුද්ධයි කොල අතු පුච්චන එකට. 

වියපත් වෙලා මරණය වැළඳගන්න මිනිස් සිරුරක් වගේම ගහකින් වැටෙන කොලයක්, අත්තක්, දණ්ඩක් පවා මහ පොලවට දිරා යා යුතු බවයි මගෙත් හැඟීම. ඒ අදහස මට දුන්නෙ නාමල් අයියා. ජීවිතේ හමුවුණ තවත් මහා පරිසරවේදියෙක්.

‘‘සුරකිමු සොබාදහම සහජීවනය පතා..‘‘ ළක්‍රිවී තේමාව වුණු වසරක අනුශාසක සම්මේලනයෙදි නාමල් අයිය කිව්ව කතාවක් මට තවම මතකයි.

‘‘නංගි මල්ලි අපි පුරුදු වෙලා ඉන්නවා, මිදුල එහෙම නැත්නම් වත්ත අතුගාලා කොල ටික එකතු කරල පුච්චන්න. ඒක හරිම වැරදි වැඩක්. වේලිලා වැටෙන කොල, අතු රිකිලි වුණත් අයිති ඒ ගහට.. ඒ ගහට ජීවත්වෙන්න තමන්ගෙ මුලු ශක්තියම යොදවන මහ පොළවට. ඒ නිසා අතු ගාන කොල රොඩු ටික ගහ මුලටම එකතු කරල ඒ ගහට පොහොර වෙන්න ඉඩදෙන්න ඕන....‘‘



මහ පොළවටත් හුස්ම ගන්න ඉඩ ඉතිරි කරන්න ඕන. මහ පොළවටත් අපිට වගේම හෙවණ, සිසිල, සැනසුම, ආදරය ඕන. පොලෝ තලය උඩ හිතුමතේ කොන්ක්‍රීට් තට්ටු අතුරන එකත්, පොලිතින් ප්ලාස්ටික් පුරවන එකත්, පොළවට සෙවන සිහිල හදන ගහකොල, හරිත තණ පලස් උදුරල විසිකරන එකත් මහා පාපයක් කියලයි මට හිතෙන්නෙ.

පුද්ගලික කාබන් පියසටහන අවම කරගන්නත් අපි හැකි තරම් උත්සාහ කරන්න ඕන. වායුගෝලයට කාබන් මුදාහරින, වායුගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න දායක වෙන පුද්ගල ක්‍රියාකාරකම්වලින් හැකි තරම් ඈත් වීමත් හරිම වටිනවා.


මේ කාරණා මතක් වුනේ අද ‘‘ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය‘‘ බව උදේ ගුවන් විදුලියෙන් අහන්න ලැබුණු මොහොතෙ.

9 comments:

  1. \\ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දිනය// ඉස්සෙල්ලම මේක කියෙව්වේ කාන්තාකරණය කියල..ආයි ඇස් ලොකු කරල බැලුවම ර යන්න දැක්කේ.. හැක්..
    මගේ අදහසනම් මේ ජගත් දින ලෝක දින එහෙම නැතිකරල හැම හැමදිනයක්ම හැම දේටම වෙන් කරන්න ඕනි. නැත්නම් අපේ ඉන්න 'ලෝක' අණ්ඩපාලලා එක දවසක් ඒ ගැන කතා කරල ඉතුරු තුන්සිය හැට හතර දවසම ඒවා කනවා.

    ReplyDelete
    Replies
    1. මාත් මුලින් දැක්කේ කාන්තාකරණ කියලා :D

      Delete
  2. කමියා ගේ කතාවට එකඟයි. අනික වෙන්නෙම ඒකයි.
    කොල ගස්යට එකත් කරල තියෙන එකෙන් ගහට පෝර වෙන එක ඇත්ත. ඒත් කඩු ගුල් වුණත් ඉක්මණට හැදෙනව නෙ. එතකොට නං එපා වෙනව නේ

    ReplyDelete
  3. කමියා ගේ කතාවට එකඟයි. අනික වෙන්නෙම ඒකයි.
    කොල ගස්යට එකත් කරල තියෙන එකෙන් ගහට පෝර වෙන එක ඇත්ත. ඒත් කඩු ගුල් වුණත් ඉක්මණට හැදෙනව නෙ. එතකොට නං එපා වෙනව නේ

    ReplyDelete
  4. ඔබේ ලිපිය හරිම අසාවෙන් කියෙවුවා..
    බිල්ඩින්,, ප්ලාස්ටික් ඔය දේවල් ඇත්තටම පොළවට බරක්ද කියලා හිතෙනවා මොකද ඔය දේවල් ඔක්කොම මේ පොලවේ තියෙන දේවල් වලින් නේ හදල තියෙන්නේ වෙන ග්‍රහ ලෝකෙකින් ගෙනත් නෙමේ නේ. හැඩය වෙනස් වෙලා විතරනේ :D

    ReplyDelete
  5. අසිරිමත් පරිසරය

    ReplyDelete
  6. කාන්තාරකරණය නවත්වන්න කොච්චර උත්සාහ කලත් දවසක් ඒවී ගස් කොලන් නැති වෙලාම යන.. ඒක ඉතින් අපේම වරද.. එදාට ඒකට උත්තරත් අපිටම හොයන්න වේවි..

    ReplyDelete
  7. පරිසරේ එක්ක ජිවත් වෙන්න පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට උගන්වන්න ඕනේ.එතකොට ලොකු වුනාමත් ඒ ළමයි ඒ දේවල් වලින් දුරස් වෙන්නේ නැහැ.
    "දරුවකු සුදුසු මාර්ගයේ පුහුණු කරපන්න.එවිට වයස් ගත වූ විටත් ඔහු එහින් අහක්ව නොයන්නේය"කියලා බයිබලේත් තියෙන්නේ.

    තනි තනිව හරි පරිසරේ රැක ගන්න එකතු වුනොත් එක හෙටට හොඳ ආයෝජනයක්.

    ReplyDelete
  8. අපිත් කාන්තාරකරණය වෙලා.තෙතමනයක් සරු බවක් හිතේ නෑ.පරිසරය රැකෙයිද ඉතින්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...