හුදකලාව... හුදකලාවටම සින්න වුණු ජීවිතය. එහි දැවටී සැඟවී ඇති නිශ්චලත්වය, සැනසුම, තවදුරටත් ඇලීම් බැඳීම් නොවන බව දැනෙන හැඟෙන විට
හිතේ ඉපිලෙන ශාන්තිය... විටෙක හිත කීරිගස්වන හුදකලාවේ කාන්සිය. මේව වචනවලින් විස්තර කරන්න අමාරුයි ඇත්තටම..
ඇයි තනියම..? මෙහෙම අහන මිනිස්සුන්ට දෙන්න නිශ්චිත පිළිතුරක් නැහැ. ගැහැණියක් හුදකලාවටම සින්න වුණු තනිකඩ පැවැත්මක්
ජීවිතය ලෙස තෝරා ගන්නේ ඇයි කියල නිකමටවත් නොහිතන සමාජයකට උත්තර මොකටද?
‘‘මං කැමතියි මේ නිදහසට.. සැනසිලිදායක ජීවිතයට..‘‘ එහෙම කියන මඳහසක් පිටුපස උහුළා දරාගත් අනන්ත අප්‍රමාණ
වේදනාවක් ගල්ගැහිල තියෙන්න පුළුවනි. හුදකලාව කියන්නෙ ඒ මිදුණු වේදනාව සියුමැලි ඇඟිලි තුඩින් පිරිමදිමින්
හෙමිහිට හමා එන සැනසිලිදායක සුළං රැල්ලක්.
ඉතින්, වඩා වැදගත් ප්‍රශ්නවලට උත්තර සපයන එක නෙවි, ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය සහ ආදරය එක්කාසු කරගන්න එක.
හුදකලා ජීවිතයක් ඇතුළෙ ප්‍රේමයට ඉඩක් නැහැ කියල
කොයිම වෙලාවකවත් අදහස් වෙන්නෙ නෑ. හදවත හැමදාමත් සිව්දිග දොරටු ඇරගෙන බලන් ඉන්නවා... ප්‍රේමයේ දිව්‍යමය සුළං රැල්ලක් ඇදී එනතුරු. හරියට ෂාන්තාල් වගේ. ලුසියා වගේ. ඇන්ටෝනියෝ වගේ.
එහෙම තමන්ගේ හීන එක්ක තමන්
තුළම පිටුවහල් වුණු ජීවිතවලට ප්‍රේමයේ මායාකාර ඇස්බැන්දුම් මුණගැසීම තරම් භයානක
දෙයක්, ඛේදවාචකයක් තවත් තියෙන්න පුළුවන්ද?
..........
ගොතේ පරිශ්‍රයෙ අසුනකට බරවෙලා උස් හිස්වලින් පෙනී
නොපෙනී යන ඉංගිරිසි උපසිරැසි අල්ලාගන්න කොක් කරක් සේ බෙල්ල කරකවමින් දුෂ්කර අභ්‍යාසයක
නිරත වන අතරෙත් ඉන්දික උඩුගම්පොලගෙ The Night Is Still Young ( La Nuit est Encore
Jeune ) සිනමා සිත්තමේ තේමාත්මක හරය ග්‍රහණයේ
තබා ගැනීමට දැරූ පරිශ්‍රමය තමයි මේ සටහනේ පදනම.
චිත්‍රපටය තුළ මා කළඹවන, කම්පනයට පත්කරන, සියුම්ව මගේ සිත ස්පර්ශ කරන ජීවිතයයි මූලිකවම මේ
වියමනට අන්තර්ගත වෙන්නෙ. ඒ චරිත සහ හැසිරීම් මනෝවිශ්ලේෂණාත්මකව කියවා ගත යුතු බවයි
මට හැඟෙන්නේ. සිනමා කෘතිය දේශපාලනිකව කියවා ගන්න පහසුවෙන්නෙ ඒ
මඟ ඔස්සේ යාමෙන්.
තිර පිටපත් රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, ලේඛකයෙක් ආදී
වශයෙන් සාහිත්‍ය කලා ක්ෂේත්‍රය් විවිධ ඉසව්හි සැරිසරන ඉන්දික උඩුගම්පල ‘කෝකිල
සංධ්වනිය‘ නම් වූ මුල්ම චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක, විචාරක අවධානයට පාත්‍ර වූ
නිර්මාණකරුවෙක්. ඔහුගේ The Night Is Still Young සිනමා කෘතිය ශ්‍රී ලාංකිකයකු නිර්මාණය කළ ප්‍රථම ප්‍රංශ සිනමා කෘතිය
විදියටත් අතිශය වැදගත්.
ෂාන්තාල් - මස් කඩයක මස් කපන, අලවි කරන, විසල් නිවසක හුදකලාව වෙසෙන තනිකඩ ගැහැණියක්. උදේ හවහා ගායනා කරන සෙන් ගායනාවන්ගෙන්, දුම්වැටියෙන්, වයින් වීදුරුවෙන්
තනිකම් දොස් නිවාරණය කර ගැනීමට උත්සාහ දරනා ගැහැනියක්. ෂාන්තාල් සමරිසි කාන්තාවක්
බවට ඉඟි කෘතිය ආරම්භයේම හමුවුණත් එය බියකරු මෙන්ම ඛේදනීය අවසානයක් කරා යාවි කියන
සැකය සිනමා කෘතිය ඇරඹුමේ මට දැණුනෙ නැහැ.
ලුසියා - සුන්දර කෙළිලොල් තරුණියක්. බොහෝ විට සිදුවන්නාක් මෙන් ඒ සොඳුරු කෙළිලොල් ස්වභාවය යට සැඟවී තියෙන්න
කටුක ජීවිත කතාවක්. ජීවිත ගමනක්. සම්භාව්‍ය ගායිකාවක වීමේ සිහිනය සමඟ ප්‍රංශයට සංක්‍රමණය වී සිටින ඇය සමකාමී
ප්‍රේමයක කොටස්කාරිනියක් වෙන්නෙ එක්තරා විදිහකට අහඹු ආක්‍රමණික බන්ධනයක ප්‍රතිඵලයක්
විදියට.
ඇන්ටෝනියෝ - ප්‍රංශයට සංක්‍රමණය වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙක්. කුණු එකතු කිරීම ඔහුගෙ රැකියාව. ආගන්තුක දේශයක ජීවිතය වෙළාගත් හුදකලාව අස්සෙ
ලුසියාගේ සුන්දර සිනහවට ඔහු වසඟ වීමත්, ඒ හඹා යෑම ජීවිතය වීමත් පුදුමයක් නෙවෙයි.
............
ප්‍රංශයේ ගම්බද සොඳුරු පරිසරයක පිහිටි ගොතික්
පන්නයේ සුවිසල් නිවසක ෂාන්තාල් ජීවත් වෙන්නෙ. නිවස ඉදිරිපිටින් යන පාරේ වම් පසින් ඇති විසල් සුළං පෙති කුළුණ, දකුණු පසින් සහ ඉන්ඔබ ඇති තිරිඟු යාය, මේ සියල්ලට ඔබ්බෙන් අනන්තය දක්වා විහිදුණාක් වැනි
නිල් අහස. මේ සියල්ල හරිම සුන්දරයි. නමුත් මේ වටපිටාව තුළ නිරන්තරයෙන් රැඳී ඇති
ඒකාකාරී වෙහෙසකර බව ක්‍රමයෙන් දැනෙන්න ගන්නවා. අවම වශයෙන් සුළං පෙති සොලවන තරමට සුළඟක්වත් හමා නොයන පරිසරයක්. මේ ජීවිත වෙළී පවතින ඒකාකාරී යාන්ත්‍රික බව ඔවුන්
මත ඇති කරවන පීඩනය කෙබඳු විය හැකි ද?
මස් කඩයෙදි ලුසියා ඇහැ ගැටෙන ෂාන්තාල්, ඇයව තමන් සන්තකයට ගන්නට සියුම් දැලක් එලනවා. එය දැලක් එලීමක් යැයි නොදැනෙන තරමට සංවේදී මානුෂීය
සංවාදයන් අතර ක්‍රමික සමීප සබැඳියාවක් ගොඩනැඟෙන විදියටයි දැක්වෙන්නෙ. තමන්ට අවශ්‍ය නොවු සමකාමී ප්‍රේමයක කොටස්කාරිනියක්
වෙන්න ලුසියාට සිද්දවෙනවා. එක් අතකින් සංක්‍රමණික ජීවිතයේ දුෂ්කර බව නිසා ඇයට ෂාන්තාල්ගේ රැකවරණය
වැදගත් වීමත්, තවත් අතකින් ඇගේ ජීවිතය වෙළා පැවති හුදකලාවට අන්
විසඳුමක් පේන මානයක නොවීමත් එයට හේතුවෙනවා.. එම සබැඳියාව කෙසේවත් ද්විපාර්ශ්වීයව සංවර්ධනය වූ අධ්‍යාත්මික ප්‍රේමයක් බවට
සලකුණක්වත් නැහැ.
එවැනි පසුබිමකයි ඇන්ටෝනියෝ ඔවුන් අතරට පැමිණෙන්නෙ. මේ තුන්දෙනාම එකිනෙකට වෙනස් විදියට ඒ වගේම සමාන්තර
විදියට ජීවිතයෙන් පිටුවහල් වූවන්. ඒ පිටුවහල් ජීවිතයේ පීඩනය බෙදාහදා ගන්න පිදුරු ගහක වුණත් එල්ලෙන්න බලාන
ඉන්න චරිත. තුන්කොන් ප්‍රේම කතාවක් ගොඩනැගෙන්නෙ ඒ අනුවයි. තුරුණු මානවකයා සහ ලුසියා අතර ආකර්ශණීය බන්ධනයක්
ඇති වීම ස්වභාවිකයි. එය ෂාන්තාල් ඉරිසියාසහගත කරවීමත් අතිශය ස්වාභාවිකයි.
මෙම අතිශය ස්වාභාවික හැඟීම් කොයිතරම් දුරට මනුෂ්‍යත්වය
සහ මනුෂ්‍ය සම්බන්ධතා කෙරෙහි බලපවත්වනවද? ජීවත්වීම කියන්නෙ ඒ කෙරෙහි සබුද්ධිකව
කටයුතු කිරීමත් නොවේද?
ජීවිතය වෙළා පවත්නා හුදකලාවෙන්, පීඩනයෙන් මිදෙන්න මිනිස්සු විදියට අපි විවිධ උපක්‍රම
හොයනවද? සාහිත්‍ය කලාව, මනුෂ්‍ය සම්බන්ධතා, ආගමික - අධ්‍යාත්මික - සමාජ සේවා වැඩ.. මෙවැනි විසඳුම්. ආගමික ස්තෝත්‍ර ගායනා කළ පමණින් ආගමික වැඩ කළ පමණින්, ආගමික සංකේත ශරීරය පුරා එල්ලා ගත් පමණින් මිනිස්සු
අධ්‍යාත්මිකව පොහොසත් වෙන්නෙ නෑ. ඒ වගේම ජීවිතයේ සැබෑ අර්ථය, සැබෑ විමුක්තිය තම හෘද අභ්‍යන්තරයෙන්ම සොයා පහදවා ගතයුතු දෙයක්. බාහිර සබඳතා, සාහිත්‍ය කලා දර්ශනයන් ඒ සඳහා යම් තරමකට උපකාරී මාධ්‍ය වනු පමණයි.
උදේ හවා බුද්ධ ස්තෝත්‍ර ගායනා කළාට ෂාන්තාල් ඇලීම, ගැටීම අවබෝධ කරගෙන අත්හැරීම ප්‍රගුණ කර නැති බව
පැහැදිලියි. ඇගේ හෘද අභ්‍යන්තරයේ සැඟවී පවතින ඊර්ෂ්‍යාව, ප්‍රචණ්ඩත්වය පළවා හරින්න ඒ ස්තෝත්‍ර ගායනාවට හැකි
වී නැහැ.
ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම දර්ශනය වන බුදු දහමේත්, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආගම්වලත් ආභාෂය ලබන, ඒ ආගම් අදහන ලංකාව තුළම වුවත් මිනිසුන් මෙතරම් ප්‍රචණ්ඩ
ඇයි කියන ප්‍රශ්නය උදේ හවහා අපි අපෙන්ම
අහගත යුතුයිනෙ. උදාහරණ ඕනෑතරම් සපයාගන්න පුළුවනි ලෝකයේ ඕනෑම
රටකින්. දහම සැරසිල්ලක්, බලය පිළිබඳ සාධකයක් මිස අධ්‍යාත්මික විමුක්තියට අදාළ කාරණාවක් නොවන තාක් මේ
ශෝකාන්තයන්හි කෙළවරක් නොවේවි.
බැඳීමක් උපක්‍රමශීලීව ආරම්භ කරගන්න හැකි වේවි
නමුත් බැඳීමක් බලහත්කාරයෙන් පවත්වාගන්න අමාරුයි. ප්‍රේමය මෙන්ම අනුරාගයත් නිරායාසයෙන්ම හදවතෙහි
උපදින දෙයක්. කොන්දේසි කියන්නෙ ප්‍රේමයට කොහෙත්ම අදාළ දෙයක්
නෙවෙයි. තෘෂ්ණාව සහ අයිතිය පිළිබඳ හැඟීමෙන් එන කොන්දේසි
සහිත බැඳීම කෘතිම එකක් වීම වළක්වන්න අමාරුයි වගේම එවැනි බැඳීමකට පැවැත්මකුත් නැහැ. ෂාන්තාල් සහ ලුසියා සබඳතාවය බිඳ වැටෙන්නෙම එය
ගැඹුරු මානව සම්බන්ධතාවක් තුළින් නොඋපදින නිසා.
ෂාන්තාල් කියන්නෙ ධනවාදී සිහින හිත්වල අවුළුවන
යුරෝපාකරය වගේ. ඇගේ මස්කඩයත් එහිම දිගුවක්. ඒ සිහින හඹා යන තාරුණ්‍යය ලුසියා සහ ඇන්ටෝනියෝ. ඒ අයට තමන්ගෙ සිහින වගේම ජීවිතයත් අහිමි වෙන්න තියෙන
ඉඩකඩ වැඩියි. එය හරිම ඛේදනීය යථාර්ථයක්. සංක්‍රමණික ජීවිතයක් ගත කරන මේ නිර්මාණකරුවාට
තමන්ගේම ජීවිතයෙන් වුණත් ඒ ගැන කතා කරන්න හැකි වේවි.
ධනවාදය හැමවිටම සුවපහසුව වැතිරිලා ඉන්නෙ පීඩිත
අසරණ මිනිස්සුන්ගෙ ලේ දහදිය කඳුළුවල. ෂාන්තාල් ලේ මුසු නාන ඔරුවේ වැතිරී සිටින රූප රාමුව මට සිහිපත් කරන්නෙම ඒ
බව.
ඒ මොහොතේ ෂාන්තාල්ගේ මුහුණේ ඇඳී ඇති අපේක්ෂා
බිඳුණු ගැඹුරු වේදනාත්මක ස්වරූපය අමතක කළ නොහැකියි. ඇයගේ පිටේ කොටා ඇති පච්චයේ ගෝනුස්සා කොතරම් සංකේතාත්මක අගයක් දනවනවද යන්න
පසක්වෙන්නෙ ඒ මොහොතෙදි. ගෝනුස්සා හිංසාකාරී සතෙක් වෙන්නෙම උගේ ගමනට බාධා එල්ල වන, අනතුරුදායක අවස්ථාවලදි.. එහෙම නොවන හැමවිටම ගෝනුස්සා කියන්නෙ කාටවත්
කරදරයක් නැති අහිංසක සතෙක්. නමුත් දෂ්ඨ කළත් නොකළත් ගෝනුස්සාගේ දළයෙහි විස රැඳී තියෙනවා..
ලුසියා තමන්ගෙ පිටේ පච්චයට තෝරගන්නෙ සුරංගනාවියක්. ඇත්තටමත් ඈ සුරංගනාවියක් තමයි. නමුත් ඇගේ සුරඟන රැඟුම්වලට, සුරඟන හීනවලට ඉඩක් නොලබාම ඇය ගෝනුසු විසදල පහරට
ලක්වෙනවා. ‘‘ෂාන්තාල් ඇයව මැරුවෙ නැහැ. ඇයට යන්න ඉඩදුන්නා. ඒ මරණය අහම්බයක්..‘‘ කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවනි. නමුත් ඈ ජීවත්වුණු බවටවත් සලකුණක් ඉතිරි වෙන්නෙ නැහැ. ෂාන්තාල් වගකිව යුත්තෙ ඇයගෙ භෞතික මරණයට නෙවි. ඇයගේ සිහින සමඟම කුණු බක්කියක බැහැර කර දමන ඇගේ
ජීවන අපේක්ෂාවන්හි මරණයට. ෂාන්තාල් වගකිව යුතු වෙන්නෙ පිලාත් සම්ප්‍රදායානුකූලව ඉතා පහසුවෙන් අතපිසදා
ගෙන බැහැර කරනා මනුෂ්‍ය සම්බන්ධතාවයක ඉරණමට.
..............
‘‘රැය තවම තරුණයි‘‘ චිත්‍රපටය නාමයේ ඉඳන්ම
නිර්මාණකරුවා සංකේත සංඥා පද්ධතියක් භාවිත කරනවා. ඒ ඔස්සේ පුළුල් කතිකාවකට යොමු වෙන්න පුළුවන්, සංක්‍රමණික ජීවිතවල ඛේදනීය තත්වය, මනුෂ්‍ය සම්බන්ධතා, මිනිස් සන්තානයන්හි ගූඪ පැවැත්ම වගේ කාරණා ගැන. ඒ වගේම ධනවාදයේ ගොදුරු වෙන පීඩිත පන්තියට අයිති
මිනිසුන් ගැන. ධනවාදය තුළ සුන්නද්දූලි වෙලා යන සෞන්දර්යය, ප්‍රේමය උත්තම පරමාදර්ශයන් කරගත් ජීවිත ගැන.
...............
සිනමා සිත්තමට විශිෂ්ඨ අගයක් එක්කරනවා එහි සංගීතය. සංගීතය සිනමා සිත්තමෙන් එසවිලා ප්‍රබලවම හදවත
වැළඳගන්නා මොහොතවල හිතට දැණුනෙ ප්‍රංශ සංගීතවේදියකුගේ හාස්කමක් විය හැකි බව. නමුත් නදීක ගුරුගේ සහ සෙසු සංගීත ශිල්පීන්ගේ නම්
තිරයෙහි දිග හැරෙන විට අප්‍රමාණ සතුටක් වගේම සියුම් ආඩම්බරයකුත් දැණුනා. නදීක පුංචි කොදෙව්වක ජීවත්වෙන විශ්වීය සංගීතඥයෙක්
බව නැවතත් ඔප්පු කරල තියෙනවා.
ආරම්භයේ සිට මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳ අතිශය
සියුම් විවරණයක් සහිතව ඒකතානමය රිද්මයකින් ‘‘රැය තවම තරුණයි..‘‘ ගලා යනවා. ප්‍රේක්ෂකයා ඇලී බැඳී සිටින ඒ සියුම් හැඟීම් සමුදාය හිටිවනම කැඩිල, බිඳිල විසිරිලා යන්නෙ ලුසියාගේ මරණය සහ ෂාන්තාල්
ඇගේ මළසිරුර සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයත් එක්ක. මහත් කම්පාවට සහ කැළඹිල්ලට පත්වන ප්‍රේක්ෂක අප එය එසේ නොවිය යුතුව තිබුණු
බවට තර්ක ගේනවා. ඇත්තටම ඒ අවසානය අපට දරන්න අමාරු නිසා.
මගේ හිත බිඳෙන්නෙත් අන්න එතැනයි. ඒ සත්‍යය පිළිගන්න තියෙන අසීරුව මගේ හිත වේදනාවට
පත් කරනවා. නමුත් අපට අමතක වෙනවා සිනමා කෘතිය තුළම
නිර්මාණකරුවා අපිට කියූ මේ කාරණය.
‘‘හැම සුරංගනා කතාවක්ම සතුටින් කෙළවර වෙන්නෙ නැහැ.‘‘
කුමාරියන්ට, කුමාරවරුන්ට සිද්දවෙනවා තමන් ජීවත් වෙන්නෙ මැඩි ලෝකයක බව තේරුම්ගන්න. හාද්දක් දුන් පමණින් හැම මැඩියෙක්ම කුමාරයෙක්
වෙන්නෙ නැහැ. ඒත් එහෙමයි කියල ළිං මැඩි ජීවිත මගහැරල ජීවිතය
හඹායෑම අතිශය දුෂ්කර ක්‍රියාවක්. එහෙම යන එක සාධාරණත් නැහැ. මැඩියන් කුමාරයන් වන, කුමර කුමරියන්ගේ සිහින සැබෑ වෙන, මේ හැමදෙනාටම එක්ව ජීවත් විය හැකි, නිදහස් අවකාශයක් උදාකර ගැනීම තමයි අප හමුවේ ඇති විශාලතම අභියෝගය.
//නමුත් ඈ ජීවත්වුණු බවටවත් සලකුණක් ඉතිරි වෙන්නෙ නැහැ.//
ReplyDeleteෆ්ලීට් ස්ට්‍රීට් බාබර් ස්වීනී ටොඩ් වගේ ක්‍රමයකින්ද?http://en.wikipedia.org/wiki/Sweeney_Todd
ශාන්ටාල් බුචර් කෙනෙක්නෙ
ඔය කියන චිත්‍රපටය නම් බලල නැහැ ප්‍රා.. ලුසියා ජීවත්වුණු බවට සලකුණත්වත් ඉතිරි නොවන්නෙ නම් බුචර් පන්නයෙන් තමයි.. කෙළින්ම ඒ බව නොපන්නුවත් චිත්‍රපටයේ කම්පනීයම අවස්ථාව තමයි ඒ...
Deleteචිත්‍රපටිය රූපයට නැගුණා ඔබේ සජීවී වර්ණනාවට.
ReplyDeleteඉන්දික උඩුගම්පොල ලාංකිකයෙකු වීම ගැන සියුම් සතුටකුත් ඔහුගේ නිර්මාණකරන හැකියාව ගැන විශාල සතුටකුත් දැනෙනවා. නදීක ගැන නම් කොහොමත් ආඩම්බරයි.
නිර්මාණය සඳහා ඉන්දික සියුම්ම සංවේදීම තැන් කිහිපයක් ලස්සනට හසු කරගෙන තියෙනවා යැයි සිතෙනවා.. චිත්‍රපටිය නැරඹීමට ලොකු ආසාවක් ආවා..
ප.ලි. බොරු කියන්නේ මොකද මේක කියෙව්වම තරු රසී ගැනත් ඉරිසියාවක් ආවා.. ආයේ මේ වගේ අවස්ථා ආවොත් අපිටත් ආරාධනා කරන්න :)
මූණුපොතේ මේ ගැන විස්තර බෙදා හදා ගත් නිසා මට විශේෂයෙන් මතක් කරන්න හිතුණෙ නැහැ.
Deleteඉදිරියෙදි අපට නැවත මේ චිත්‍රපටය බලන්න අවස්ථා උදාවේවි. අනිවාර්යයනේම දැනුවත් කරන්නම්.
මටත් චිත්‍රපටිය බැලුවා වගේ දැනුනා... ඒ තරම් අපූරුවට ලියලා තියෙනවා
ReplyDeleteමම සාමාන්යෙන් චිත්‍රපටි බලන්න කැමති කෙනෙක් නෙවෙයි... හැබැයි කැමති එකක් අහු උනොත් දහ පහලොස් පාරක් බලනවා... මේකෙ නදීකයියා ගැන වර්ණනා කරලා තියෙන විදිහ දැක්කම ආඩම්බරයි... ඒ කාලෙ අපේ බෝයිස් හොස්ටල් එකේ සන්ගීතකාරයා.....
නදීකගෙ සංගීතය අපූරුයි. විශිෂ්ඨයි. එය තවත් හොඳින් රසවිඳින්න නම් ආයෙම චිත්‍රපටය බලන්න ඕන...
Deleteමටත් චිත්‍රපටිය බැළුවා වගේ හැඟුනා...හරිම සජීවියි...මේ වගේ එවුවා වැරදිලා හරි ටී.වී එකේ යන්නැත් එක අපරාධයක්
ReplyDeleteහොඳ චිත්‍රපටි විකාශනය වෙනවත් ඇති. රූපවාහිනී මාධ්‍ය ගොඩක් ජීවිතයෙන් ඈත නිසා ඒ ගැන දැනුවත් නැහැ.
Deleteහොඳම දේ හොඳ චිත්‍රපටි හොයාගෙන බලන එක තමයි.. ඒ ගැන කතා කරන්න පුළුවන් කීපදෙනෙක් එකතු කරගන්නත් පුළුවන් නම් වටිනවා.
මේ වෙද්දි පදනම් ආයතනය, ගොතේ පරිශ්‍රය වගේම මීගමුව හොරණ ප්‍රෙද්ශවලත් හොඳ චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම, සංවාදයන් සිදුවෙනවා. ප්‍රාෙද්ශීය මට්ටමින් මෙවැනි සිනමා දැක්මවල් සංවිධානය වෙනව නම් ඉතින් ලංකාවෙ සිනමා රසිකත්වය මීට වඩා දියුණු තලයකට ගේන්න හැකි වේවි...
"රැය තවම තරුණ" නිදි මරණ අයටනේ...:)
ReplyDeleteහැම සුරංගනා කතාවක්ම සතුටින් කෙළවර වෙන්නෙ නැති බව නම් ඇත්ත තමයි තරු අක්කේ.
ඉන්දිකලාට දිගු ගමනක් යන්න සුබ පතනවා.මේ චිත්‍රපටිය ලංකාවේ චිත්‍රපටි ශාලාවල තිරගත වෙන දවසට ගිහින් බලන්නම්.